Home » ‘සින්දු කෝලම’ ගීතයේ හා කෝලම් නාටකයේ සංකලනයක්

‘සින්දු කෝලම’ ගීතයේ හා කෝලම් නාටකයේ සංකලනයක්

සංගීතවේදී, විශාරද සුදත් සමරසිංහ

by Thanushika
August 28, 2025 12:24 pm 0 comment

කෝලම් සංගීත කලාව වෙනත්ම ආකාරයට ගෙන ඒමටත් නැවුම්ව රසයක් ප්‍රේක්ෂකයාට ගෙන ඒමටත් ඔහුට අවශ්‍ය වුණා.විවිධ වෘත්තීන්වල සිරවී සිටින ප්‍රේක්ෂකයා සජීවීව හාස්‍ය රසයේ අතරමං කිරීමට රසබර ගීත එකතුවකින් නිර්මාණය කරනය ලද ‘සින්දු කෝලම’ වේදිකා නාට්‍යය ශාස්ත්‍රපති, ප්‍රවීණ සංගීතවේදී විශාරද සුදත් සමරසිංහගේ කුලුඳුල් නිර්මාණයකි. වේදිකා නාට්‍යයකදී කෝලම් සම්ප්‍රදායට වැඩි නැඹුරුවක් මේ නිර්මාණයෙන් ප්‍රේක්ෂකයා හමුවට ගෙන ඒ ඔහු. විවිධ පර්යේෂණාත්මක සංගීත කලාව උපයෝගී කර ගනිමින්මේ වේදිකා නිර්මාණය අද නිර්මාණය කර ඇත. පාසල් පද්ධතිය තුළද ජන සංගීතයද බැහැර වී යන යුගයක ජන සංගීතයද උපයෝගී කොට ගනිමින් මේ නිර්මාණය කර ඉදිරි පරම්පරාවට එය ආරක්ෂා කරදීමත් ඔහුගේ මූලික අභිලාසය වේ. මේ සිංදු කෝලම නාට්‍ය රචකයා මෙන්ම අධක්ෂකයාද වනුයේ සුදත් සමරසිංහයි. මේ ඔහු සරසවිය සමග කළ කතාබහයි.

‘සින්දු කෝලම’ කියන්නේ මොකක්ද?

වේදිකා නාට්‍යයක්. ඒත් මේ නාට්‍ය නිර්මාණය සාමාන්‍ය වේදිකා නාට්‍යයක් නොවෙයි. මෙය කෝලම් කලාව වගේම ගීතය යන දෙකම කැටි කළ නිර්මාණයක්. සින්දුව ගැයුමක්, කෝලම රැඟුමක් මේ දෙකෙහි සංකලනයෙන් ප්‍රේක්ෂකයාට සොඳුරු අද්දැකීමක් ලබන්නට හැකියි. නාට්‍ය කලාව එන්නට පෙර අපි දැක්කේ කෝලම්. පහතරට උඩරට සබරගමු ලෙස කෝලම විවිධ දේවල්වලට එදා ගැමියන් යොදාගත්තා. ඒකට ප්‍රධාන හේතුව එතුළින් ප්‍රේක්ෂකයාට පුදුමාකාර හාස්‍ය රසයක් ලැබීමයි. ලෙඩදුක් පවා සුව කිරීමට භාවිත කළා. මානසික පීඩනය, දුක, කලකිරීම වගේ අපේ සිතේ ඇතිවන අපහසුතා මගහරින්නට කෝලම හරිම වැදගත් වින්දනයක් ගෙන එනවා. යම් කෙනෙක් හාස්‍ය උපදන යමක් කළාම ‘කෝලං කොරනවා’ යැයි ඉස්සර ගැමි ව්‍යවහාරයේ තිබුණා. හාස්‍ය රසය ගීතයෙන් ඉදිරිපත් කිරීම මගේ මේ නාට්‍ය නිර්මාණයයි. ප්‍රේක්ෂකයාට නාට්‍යයක් බලන ස්වරූපයෙන් බැහැරවට ගොස් රසවින්දනාත්මක කාල හෝරාවක් ගෙන ඒමට දිගු කලක සිටන් ගත්තු උත්සාහයක ප්‍රතිඵලයකී.

මේ සංගීත ප්‍රසංගයක්ද?

නැහැ. සංගීත ප්‍රසංගයයකදී වාදක කණ්ඩායම, ගායකයා සහ ප්‍රේක්ෂකයා අතර හමුවක් සිදුවනවා. එහිදී වේදිකාව තුළ මවන විවිධ රටාවන් තුළින් වෛයිවර්ණයෙන් ආලෝකමත් වුවත්, අන්ධකාරය ප්‍රේක්ෂකයා නොදැනුම්වත්ව විඳීනවා. ‘සින්දු කෝලම’ වේදිකා නාට්‍යයේදී ප්‍රේක්ෂකයාව ආලෝකවත් වෙනවා. එය තෝරාගත් රස කතා පහක් ගීත සහ දෙබස් යන සංකලනයෙන් කෝලම් කලාව ආශ්‍රයෙන් වේදිකාවේදී ගලා යනවා. ගීත රසය, හාස්‍ය රසය වගේම වේදිකාවේ සජීවී නාට්‍යයක් රසවින්දනය ගෙනඒමේ කලා නිර්මාණයක්. ලෙසටයි මම මේ පසුගිය දින වේදිකාගත කළේ.

නාට්‍යයක් කරන්න හිතුවේ ඇයි?

වර්තමාන සංගීත සන්දර්ශනවලදී ප්‍රේක්ෂකයාගේ රසාස්වාදය මීට දශයකට පෙර පැවැති ආකාරයට වඩා වෙනස්වී ඇති බව පැහැදිලියි. ප්‍රේක්ෂකයාගේ සංගීත රසයට වඩා ඔහු පිනවන්නට සන්දර්ශන රසය බෙදා දීම ඊට හේතුවයි. අද වේදිකාවේ ගායන ශිල්පීන්ට වඩා ගීත ගායනා කරන්නේ රංගන ශිල්පීන්. මේක එක්තරා ආකාරයක විකෘතියක්. ඒවගේම තවත් ආකාරයක ව්‍යාපාරයක්. ගායකයෙක්ට එක් සංගීත සන්දර්ශනයකදී ගීත හතර පහක් සඳහා ලක්ෂ දෙක තුනක් ගෙවනවා. සමහර ශිල්පීන් ඔවුන්ගේ ජනප්‍රියත්වය නිසා ඊට වැඩිය මුදලක් අයකරනවා. ඒත් රංගන ශිල්පියෙකුට ඔවුන්ගේ කලා මාධ්‍යයෙන් එතරම් මුදලක් උපයාගැනීමට අසීරුයි. ටෙලි නාට්‍යයකට ඒතරම් ගෙවන්නේ නැහැ. මේ නිසා ඔවුන් යම්තම් එහෙන් මෙහෙන් ගායනය ඉගෙනගෙන විවිධ රූපවාහිනී වැඩසටහන් හරහා ගීත ගායනා කරමින් අමු රසයක් මවන්නට පෙලඹිලා තිබෙනවා. එය දැන් සංගීත සන්දර්ශන ලෙසත් ජනප්‍රියව තිබෙනවා. නළු නිළියන් සුන්දරයි, රසවත් වගේම ප්‍රේක්ෂක ආකර්ෂණය වැඩිපුර ලැබෙන පිරිසක්. ඔවුන් ගීත ගැයීමේදී ප්‍රාසංගික රසය මිස සංගීත රසයක් ලැබෙන්නේ නැහැ. ගීතයක් රසවිඳීම වෙනනම රසයක්. සංගීතය, පද සහ හඬ සංකලනයෙන් ඇති කරන රසයක් අපේ හදවතට, මොළයට සහ බුද්ධියට එක්කරනවා. බොහෝ නළු නිළියන්ට හරියට ස්වර පිහිටවගන්නට හෝ ශ්‍රැතියේ පිහිටන්න හැකියාවක් නැහැ. සමහරු ඇත්තටම බෙරිහන් දෙනවා හෝ අඬුම් ස්වරයෙන් මුමුනනවා. ඒත් ඔවුන්ගේ ප්‍රාසංගිකත්වයට ලොල් වූ ප්‍රේක්ෂකයන් ගීත රසය වෙනුවට වෙනස්ම දෙයක් විඳීන්නට දැන් පුරුදුව සිටිනවා. මේ තත්ත්වය ඇත්තටම සංගීතයටත් අපේ ගායන ශිල්පීන්ටත් කරන අපරාධයක්. ඔවුන් කාලාන්තරයක් ඉගෙනගෙන වර්ධනය කළ රසවත් හැකියාවන් විකෘතිමත් සංගීත මාධ්‍යයක් හේතුවෙන් වියැකී යන්නට පටන් අරගෙන තිබෙනවා. එයද බරපතළ තත්ත්වයක් බවට පත්වී හමාරයි. නව පරම්පරාව ගමන් කරන්නේ නවීන තාක්ෂණයත් සමඟයි. එය වෙනස් කරන්නට නව මානයක් හොයනවා නම් එය සෙවීමේ මාර්ගය මම පාදා ගත්තා. විකෘත්තියෙන් ප්‍රේක්ෂකයා මුදවා ගැනීමට මාධ්‍යක් අවශ්‍යයි. ඒ සඳහා මේ පර්යේෂණාත්මක ප්‍රාසංගය වෙනස මම නිර්මාණය කළා.

මේ ප්‍රස්තුතයට විශේෂ හේතුවක් තිබෙනවා

මෙවැනි තේමාවක් තෝරාගැනීමට හේතු කිහිපක් තිබුණා. කුඩා කල සිටම අප පුරුදු වෙච්ච යම් කලාවක් තිබුණා. සංගීතවේදීන් වුවත් අපත් හාස්‍ය රසය, කතාන්දර කීමේ හැකියාව තිබෙන කලාකරුවන්. අපි ගීතයක් ගයනා කරලා වේදිකාවෙන් ඉවත්ව යනවා. ඒත් අපිටත් වේදිකාව තුළ සැරිසරමින් ප්‍රේක්ෂකයාව හාස්‍ය රසය නංවමින් විනෝදය සංග්‍රහ කළ හැකියි. දශක හතරකට වැඩි මගේ සංගීතඥ හා අධ්‍යාපනඥ වෘත්තීය ජීවිතයේදී මා ඇසූපිරූ තැන්වලදී හමුවුණු අමතක නොවන හාස්‍ය රසය රැන්දූ කතා තිබුණා. මිතුරන් කියපුවා, අපි මුහුණ දීපුවා වගේ අත්දැකීම් ඇතුළේ තිබුණු ඒවායින් පහක් නාට්‍යය රසකරන්නට තෝරාගත්තා. මේ තෝරා ගත්ත ටික හොඳම ඉස්තරම්ම පෙරාපු කතා ටික කියලයි මට කියන්න පුළුවන් වෙන්නේ. තවත් ඊට එහා ගිය දේවල් තියෙනවා. ඒත් කාල කළමනාකරණය තුළ වේදිකාවක ප්‍රේක්ෂකයා රඳවා ගන්න පුළුවන් කාලයක් තියෙනවා.එයට අනුචිත වෙලයි මම මේ නිර්මාණය කළේ.

මේ නිර්මාණකරණයේදි මොනවගේ අභියෝගද පැමිණියේ?

මම යම් නිර්මාණයක් කරනකොට ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න බලාගෙන තමයි නිර්මාණය කරන්නේ.

නාට්‍යයෙහි ගීත 50කට වැඩි ප්‍රමාණයක් වේදිකාවේදී වාදනය වෙනවා. මේ ගීත 50 සම්පූර්ණයෙන්ම නොවූවත් ගීත කොටස් ලෙස ගායනය වෙනවා. ගීතය අතරතුරදී හාස්‍ය රංගන දෙබස්ද තිබෙනවා. මේ නිසා රංගන ශිල්පීන්ට ගීත වැඩි ගණනක පද මතකයේ තබාගැනීමට සිදුවනවා. මුලදී ”මට පුළුවන්’ යැයි කියාගෙන ආවත් නාට්‍ය පුහුණුව අතරතුරදී ”මට මේක කරන්න බැහැ” යැයි කියල නාට්‍ය ශිල්පීන් කිහිප දෙනෙකුම ඉවත් වුණා. රංගන ශිල්පිනිය නම් ගායනයට ඉතා දක්ෂ කෙනෙකු නිසා ආරම්භයේ සිටම ඉතා ඕනකමින් සහභාගි වුණා. මේ තත්ත්වය මම මුහුණ දුන්න එක අභියෝගයක්.

මේ වැනි කෝලම් සංගීත නාට්‍යයක් මීට පෙරදී කරල තිබුණේ නැහැ. මේ නිසා නාට්‍ය අතරතුරදීත් පිටපත සංස්කරණය කරන්නට සිදුවුණා. එහි සංස්කරණ කටයුතු තවත් කිරීමට හැකියාව තිබෙනවා. ගීත 50කට වැඩි ප්‍රමාණයක් ඉදිරිපත් කිරීමේදී සමහර ගීත සම්පූර්ණයෙන්මත් සමහර ඒවා ගීත ඛණ්ඩ වශයෙනුත් දෙයාකාර යි. එහිදී වාදක කණ්ඩායම දුරකථන පවා විසන්ධි කර නාට්‍යයට පූර්ණ අවධානය යොමුකර සිටීම අත්‍යවශ්‍යයි. දෙබස් අතරේදීම එක්වරම ගීත ගායනය සිදුවීමේදී සංගීතය සැපැයුමත් අඛණ්ඩ විය යුතුයි. ඒ නිසා වාදක කණ්ඩායමත් පිටපත පසුවිපරම් කළ යුතුයි.මෙහි නාට්‍ය පුරා රංගනයට එකතුවන්නේ රංගන ශිල්පීන් තිදෙනෙකු පමණයි. ඒත් කතා 5ක් නාට්‍යයෙහි අන්තර්ගතයි. මේ නිසා චරිත අතර මාරුවීමේදී රංගන ශිල්පීන් හොඳීන්ම අවධානයෙන් සහ කඩිනමින් සූදානම්ව සිටීම ඔවුන්ට ඇති අභයෝගයක්.

රංගන ශිල්පීන් තමා කරන චරිතයට අමතරව ගීත ගායනය එදා සිටම ප්‍රචලිත දෙයක් නේද?

රංගන ශිල්පීනුත්, ගායන ශිල්පීනුත්, චිත්‍ර ශිල්පීනුත් මේ කවුරුත් කලාකරුවන්. ඒ සියලු දෙනා විශේෂ දක්ෂතා සමූහයකට වැඩි ගණනක් පිහිටනවා. ඒක කලාවේ අර්ථයයි. ඒත් අපි වෘත්තීමය වශයෙන් කලාව කරගෙන යාමේදී එක් කලා මාධ්‍යයක් ප්‍රගුණ කර එය ජීවිකාව කරගැනීම හරිම වැදගත්. ඒ නිසා ඒ මාධ්‍යයේ විශේෂිත නිර්මාණ බිහිවෙනවා. වර්තමානයේ සිටින සමහර නළු නිළියන්ට මුදල් ඉපැයීමට තරම් කලා නිර්මාණ බිහිවන්නේ නැහැ. ඒ ක්ෂේත්‍රයේ ආදායම් සාපේක්ෂව අඩුයි. ඒ නිසා ඔවුන් සංගීතය සහ රංගන හැකියාව බද්ධ කර වෘත්තියක් හදාගෙන සංගීතයට විශාල අසාධාරණයක් කරනවා. ඉස්සර හිටපු සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා, නිළි රැජින ආචාර්ය මාලිනී ෆොන්සේකා, ප්‍රවීණ රංගධර ජෝ අබේවික්‍රම වගේ ආකර්ශනීය නළු නිළියන් රඟපෑම පමණයි කළේ. ප්‍රවීණ ගායන ශිල්පීන් ශිල්පිනියන් ඔවුන්ට රඟපෑමට ගීත ගායනා කළා.ඒත් ජනප්‍රිය රංගන ශිල්පී විජය කුමාරතුංග එය අබිබවා ගියා, මාලිනී ෆොන්සේකාට ලස්සනට ගීත ගායන හැකියාව තිබුණා. ඒත් ඇය ගීත ගැයුවේ නැහැ. විජය කුමාරතුංග ගීත ගායනා කළත් ඒක රැකියාව කරගන්න ගියේ නැහැ. ඒ සැමටම ප්‍රතිපත්තියක් තිබුණා. කලාව රැකගත්තා. සිනමාව තුළ ගායනයයි රංගනයයි කියන්නේ දෙකක්.ඒ තේරුම්ගෙන හැම ශිල්පියෙක්ම ඔහුගේ කාර්යභාරය මැනවින් ඉටු කළා.

ගීත 50කට වැඩි ගණනක් නිර්මාණයට යොදාගත්තේ කුමන හේතුවක් නිසාද?

ලාංකේය ජන සංගීතය අදට වසර සිය දහස් ගණනකට එහා දිව යන දෙයක්.

සිංහල ගීත ඉතිහාසය හරිම වටිනා එකක්. එය පීරලා නාට්‍යයට උචිත යැයි හිතුණු ගීත තෝරාගත්තා. ගීත ක්ෂේත්‍රයෙහි එදා මෙදා තුර අමරණීයත්වය පත් වුණු රසබර ගීත සහ භාවපූර්ණ ගී පදමාලා සහිත ගීතද නාට්‍යයේ අඩංගුයි. ගීත කෝලමක් වුනාම ගීත පනහකට ආසන්නවත් ප්‍රමාණයක් අන්තර්ගත යුතුයි.නාට්‍ය පටන් ගන්න කාලයයි අවසන් කරන කාලයයි අධ්‍යක්ෂකවරයා තීරණය කළ යුතුයි. ඒ පදනම මත සිටගෙන මම මේ නිර්මාණයට ගීත පනහක් ඇතුළත් කළේ. ඒකාකාරී ජීවිතෙන් මිදිලා මෙවැනි නිර්මාණයක් බලන්න එන ප්‍රේක්ෂකයාට නැවුම්ම අත්දැකීමක් මට ගේන්න ඕන වුණා.

ප්‍රේක්ෂකයා ඒකාකාරී බවින් මුදවා ගන්නට මොනවගේ නිර්මාණදැයි කළ යුත්තේ.?

විශේෂයෙන් මෙවැනි නිර්මාණයන් තමයි ප්‍රේක්ෂකයා හමුවට දැන් වර්තමානයේ ගෙන ආ යුත්තේ.දේශපාලනය හාස්‍යය හැමදාම දකින දේටවැඩිය ඉන් ඔබ්බට ගිය හොඳ තිර පිටපත් රචනාවන් තිබිය යුතුයි.අපේ සංස්කෘතිය අන් රටවලට නොදෙවෙනි සංස්කෘතියක් අපට තිබෙන්නේ.ඒ හැම දේයක්ම පෝෂණය වී තිබෙන්නේ හොඳ ජන සංගීතය සහ ජනප්‍රවාද ඇතුළත් කොට නිර්මාණය කරන නිර්මාණ තුළයි.හොඳ පෝෂණය වෙච්ච නර්තන ශෛලීන් ද අප සතු වෙනවා.ඒ සියලු දේවල් උපයෝගී කරගෙන නව නිර්මාණ බිහි කරනවා නම් ප්‍රේක්ෂකයාට රසවිඳීමේ හැකියාව ඇතිවෙනවා.

ඉදිරි ගමන ඔබේ කුමනාකාරයෙන් සිදුවෙයිද?

සංගීතයත් සමඟම හොඳ නිර්මාණ රැසක් සමාජයට දායාද කිරීම තමයි මගේ ඒකායන බලාපොරොත්තු වන්නේ.

වර්තමානයේ සංගීතයට අත්විඳීන්ට තිබෙන හේතු කාරණා දුරුකරගෙන නව පරම්පරාවත් හොඳ සංගීත ලොවක් තුළ ගෙන ඒම මගේ තවත් එක් අරමුණක් වෙනවා. ඒ තුළට ඔවුන්ට මෙවැනි නිර්මාණ හැකියාවන් පිළිබඳව අධ්‍යයනයන් ලබාදීමටත් මගේ කැමැත්ත තිබෙනවා. අනාගත පරම්පරාවට මට කියන්න තිබෙන්නේ අපේ සංස්කෘතිය හා සභ්‍යත්වය තුළ හොඳ නිර්මාණයන් සමාජයට දායාද කරන්න කියන එකයි.

සංගීත කෝලම පිටුපස සිටින්නේ කවුරුන්ද?

ප්‍රධාන භුමිකාව වන මාස්ටර් ලෙස මම එකතු වෙනවා. “බබී” ලෙස රංගන ශිල්පිනී ඉවංකා පීරිස්ද, ” හබී ” ලෙස නවක රංගන ශිල්පී රවිඳු ගිම්හාන ද චරිත මවනවා. සංගීතය මෙහෙයවීම සංගීත ශිල්පී වජිර සුමින්දගෙනි. ශබ්ද පරිපාලනය වාද්‍ය ශිල්පී මලිත් අනුරාධයි. නාට්‍යයේ මංගල දර්ශශනය පසුගිය 17 වැනිදා ගම්පහ සිරිකුරුස විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී වේදිකාගත කළා. විශාල ප්‍රේක්ෂක ප්‍රමාණයක් මේ නිර්මාණය එදා රසවින්දා. ඉදිරියේදී මේ නිර්මාණය දිවයිනේ සෑම ප්‍රදේශයකම වේදිකාගත කරන්න තමයි මගේ මීළඟ බලාපොරොත්තුව තිබෙන්නෙත්.

[email protected]

සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT