Home » සිනමාවේ පෙම්වතෙක් වෙන්නත් මට පුළුවන්

සිනමාවේ පෙම්වතෙක් වෙන්නත් මට පුළුවන්

රංගන ශිල්පී, නිෂ්පාදක සහ තිර රචක කැලුම් ආර්යන්

by Thanushika
May 8, 2025 10:36 am 0 comment

ආකර්ෂණීය බව, ප්‍රේමනීය සිනහව, මනා පෞරුෂය , කඩවසම් බව රංගන ශිල්පියෙක්ට ආභරණයකි. මේ සියලු දෙයින් සම්පූර්ණ වුවත් රංගන ශිල්පියෙක්ට රංගනය පිළිබඳව දක්ෂතාවය තිබිය යුතුමය. රඟපෑමේ හැකියාව මෙන්ම නර්තනය, සටන් කලාව ආදී දෑ සඳහාද දක්ෂතාවය තමා සතුවීමත් සාර්ථක රංගන ශිල්පියෙක් වීමට ඉවහල් වනු ඇත.

කැලුම් ආර්යන් යනු කඩවසම් බව මෙන්ම රංගනය, නර්තනය සහ සටන් කලාවටද දක්වන හැකියාවත් සමඟින් සිංහල සිනමාවට පය තැබූ තරුණයෙකි. ඔහු රංගන ශිල්පියෙක් පමණක්ම නොවේ. ඔහු චිත්‍රපට නිෂ්පාදකයෙකි. තිර රචකයෙකි. සටන් අධ්‍යක්ෂකවරයෙකි. නර්තන ශිල්පියෙකි. කැලුම්ට සිනමාවේදී බොහෝවිට ලැබුණේ ක්‍රියාදාම චිත්‍රපටය. රඟපාන්නට ලැබුණේ සටන්කාමී චරිතය. එහෙත් ඔහුට ප්‍රේමවන්තයාගේ චරිතය රඟන්නටද සුදුසුකම් ඇති බවද පෙනෙන්නට ඇත. මෙවර කැලුම් ආර්යන් සරසවිය පිළිසඳරට පැමිණියේ ඔහුගේ නවතම තොරතුරු පිළිබදව සහ සිංහල සිනමාවේ වත්මන් තත්ත්වය පිළිබඳ කතාකිරීමටය.

සරසවිය පිළිසඳරකට සහභාගී වෙන්නේ බොහෝම සතුටින්. සිනමාව පිළිබදවත්, කලාකරුවන් පිළිබඳවත් කතා කරන, දිගු ඉතිහාසයක් ඇති පුවත්පතක් සරසවිය. මට මින් පෙරත් අවස්ථා කිහිපයකදී සරසවිය පුවත්පත සමඟ සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ටික කලකට පසු සරසවිය සමඟ සම්බන්ධ වූ නිසා මගේ පෙර කලා කටයුතු වල මතකයන් සහ මගේ අලුත්ම සිනමා තොරතුරු හෙළිකරන්න මම කැමතියි. ඉදිරියේදී මම රඟපෑ සහ තිර රචනයෙන් දායක වූ චිත්‍රපට කිහිපයක් තිරගත වීමට නියමිතයි. මට සිනමාව ගැන ලොකු උනන්දුවක් ආදරයක් ඇති නිසාමයි සිනමාවට පා තැබුවේ. මම මුලින්ම උනන්දු වුණේ ලියන්න. ඒ හැකියාවෙන් මම ප්‍රයෝජනයක් ගන්න හිතලා සිනමාවට උචිත කතා ලියන්න පටන් ගත්තා. පසුව තිර රචනාත් මගේම උතසාහයෙන් ලියන්න පටන් ගත්තා. මම පොඩි කාලේ ඉඳන් දෙමළ හින්දි චිත්‍රපට නිතර නරඹපු කෙනෙක්. ඒ ආභාසයත් මට තිබුණා. මුලින්ම තිර පිටපත් සොයා ගෙන බලන්න පටන් ගත්තා. ඉන්පසු මමත් තිරපිටපත් රචනයට පුරුදු වුණා. තිරපිටපත් ලියන්න පටන් ගත්තේ මට නළුවෙක් වෙන්න තිබුණ ආසාව නිසාමයි. එසේ ලියමින් සිටින විට මම සිතුවා මට ඒ පැත්තෙනුත් දෙයක් කරන්න හැකිබව. ඒ අනුව තමයි මම රෂ් චිත්‍රපටයේ තිරරචනය ලියන්න පෙලඹුණේ. මම රෂ් චිත්‍රපටයට තිර රචනයෙන් සම්බන්ධ වුණේ එහි රඟපාන්න හිතාගෙන. නමුත් අධ්‍යක්ෂවරයාගේ තීරණය වුණේ එය නෙවෙයි. ඔහුට අවශ්‍ය වුණේ ජනප්‍රිය නළුවෙක් ඒ සඳහා යොදා ගන්න. කවුරුත් කැමැති තමන් කරන චිත්‍රපටයට ජනප්‍රිය චරිත යොදා ගන්න. ඒ කාලේ මම එතරම් ජනප්‍රිය නැහැ. එනිසා මට ඒ අවස්ථාව මඟ හැරීගියා. චිත්‍රපටයට මුදල් ආයෝජනය කරන නිෂ්පාදකයා සිතන්නෙත් තමන්ගේ චිත්‍රපටයට ජනප්‍රිය චරිත සම්බන්ධ කර ගන්න. අධ්‍යක්ෂකවරයා සහ නිෂ්පාදකයාගේ පැත්තෙන් බැලුවොත් එය සාධාරණයි. ඔවුන් දෙදෙනාම උත්සාහ ගන්නේ තමන්ගේ චිත්‍රපටය සාර්ථකව තිරගත කරගන්න. ඒ විතරක් නෙවෙයි චිත්‍රපට ශාලා හිමියනුත් සිතන්නේ ඒ ආකාරයෙන්. මමත් දැන් නිෂ්පාදකවරයෙක් නිසාත් මා මේතාක් ලැබූ අත්දැකීම් අනුවත් ඒ පිළිබදව තේරුම් ගැනීමේ ශක්තිය මට තිබෙනවා. අපේ රටේ සිනමාවේ නියැළෙන ඇතැම් අදහස වෙන්නේත් ජනප්‍රිය චරිත යොදාගෙන චිත්‍රපට කළොත් පමණයි සාර්ථක කියලා. මේ කාරණයත් විශේෂයෙන් කිවයුතුයි. නවක නළුවෙක් යොදාගෙන පසුගිය කාලයේ නිෂ්පාදනය කළ ආදරණිය ප්‍රාර්ථනා චිත්‍රපටය අතිසාර්ථකව තිරගත වුණා. එවැනි චිත්‍රපට තවත් තියෙනවා. මම රඟපෑ මුල්ම චිත්‍රපටය ගෝරි. එය සාර්ථකව තිරගත වුණා. ඒ නිසා නවකයන් රඟපෑව කියලා චිත්‍රපට අසාර්ථක වෙන්නේ නැහැ. ඇතැම් චිත්‍රපට තියෙනවා ප්‍රවීණයන් රඟපෑවත් අසාර්ථක වන අවස්ථා. මේ දෙපිරිසටම සතුටු විය හැකි විදිහට සිනමා නිර්මාණ බිහිවිය යුතුයි.

මෝස්තර නිරූපණය කරන බොහෝ දෙනෙක් අද රඟපෑමටත් පිවිසෙනවා. මමත් එසේ පැමිණි කෙනෙක්. මෝස්තර නිරූපණය පැත්තෙන් මම ඉහළටම ගියා. වෙළඳ දැන්වීම්වලටත් පෙනී සිටින්න අවස්ථාව ලැබුණා. මට රඟපාන්න දැඩි ආශාවක් තිබුණ නිසා තෝරා ගැනීමේ පරික්ෂණ වලට ගිහින් ප්‍රතික්ෂේප වූ අවස්ථාත් තියෙනවා.

දිනක් මා සුප්‍රසිද්ධ වෙළඳ ආයතනයකට ගියා. එහිදී මට ඩිසයිනර් කෙනෙක් හමුවුණා. ඔහු මාව දැකල කතා කළා. ඒ නිසා මට රංගනය සඳහාත් අවස්ථා ලැබුණා. මම රැකියාව කළේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ. රංගනයට තිබූ ආසාව නිසාත්, ඒ සඳහා කාලය කැප කිරීමට සිදුවන නිසාත් මම රැකියාවට සමුදුන්නා. රංගනයට වගේම නිෂ්පාදනය පැත්තටත් පොඩි කැමැත්තක් තිබූ නිසා නිෂ්පාදකයෙක් විදිහටත් දැන් වැඩකටයුතු කරගෙන යනවා. රඟපෑම වගේ නෙවෙයි නිෂ්පාදනය කියන්නේ අවදානමකට මුහුණදීමක්. නිෂ්පාදනය කියන දේත් හරියට කළොත් අසාර්ථක වෙන්නේ නැහැ. නිෂ්පාදකයෙක් විදිහට අපව හඳුනාගත් විට බොහෝ අය සිතන්නේ අපි මහා ධනවතුන් විදිහට. එහෙත් නිෂ්පාදකයා පමණයි දන්නේ කොහොමද ඒ කටයුත්ත කරන්නේ කියලා. කෝටි ගණන් මුදල් යොදවන්න තනි කෙනෙක්ට අපහසුයි. බොහෝ නිෂ්පාදකවරුන් කරන්නේ තමන්ගේ හිතවත්කම් මත සහ තමන් අවට තිබෙන සම්පත් යොදාගෙන සිනමා නිර්මාණ කරන එක. නැත්නම් කිහිපදෙනෙක් එකතු වෙලා චිත්‍රපටයක් නිෂ්පාදනය කරනවා. මම කලින් සඳහන් කළාක් මෙන් නිෂ්පාදකයා විතරයි දන්නේ ඔවුන් මුදල් ආයෝජනය කරන්නේ කෙතරම් අමාරුවෙන්ද කියලා. ලාභපාඩු දෙකම සමසේ දරාගන්න බලාපොරොත්තුවෙන් තමයි නිෂ්පාදනයට අතගැසිය යුත්තේ. නිෂ්පාදකයා ගැනත් කතා කළ අවස්ථාවේ මේ ගැනත් සඳහන් කළ යුතුයි. නිර්මාණකරුවන් කරන චිත්‍රපට ක්‍රමානුකූලව තිරගත කිරීමේ නිසි ක්‍රමවේදයක් අවශ්‍යයි. ඇතැම් චිත්‍රපට අවුරුදු ගණන් පරණ වුණාට පස්සේ රිලීස් වෙන්නේ. සමහර චිත්‍රපට ඉක්මනින් රිලිස් වෙනවා. එසේ වෙන්නේ කොහොමද කියනදෙ ගැන ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ නිසා චිත්‍රපට ප්‍රදර්ශනය පිළිබඳ හරියාකාර ක්‍රියා පටිපාටියක් තිබිය යුතුමයි. එසේ තිරගත වීම ප්‍රමාද වීම නිසා එයින් අසාධාරණයක් වෙන්නේ රංගන ශිල්පීන්ට. චිත්‍රපට තිරගත කිරීම් කල් යෑම නිසා ඇතැම් තරුණ නළු නිළියන් මංගල දර්ශනයට එන්නේ විවාහ වෙලා දරුවන්ද ලැබුණට පස්සේ. හොඳ නිර්මාණ බිහිවෙනවා නම් ප්‍රමාද වී එළිදැක්වූවත් නිර්මාණයේ තත්වය හොඳ නම් ප්‍රේක්ෂකයා එය වැලඳ ගන්නවා. ඒ නිසා අපි නිතරම උත්සාහ කළ යුත්තේ තත්වයෙන් උසස් නිර්මාණ බිහි කරන්න. මමත් නිතරම උනන්දු වෙන්නෙ රංගනය පැත්තෙන් සහ නිෂ්පාදනය පැත්තෙන් ප්‍රේක්ෂකයන්ට දැනෙන යමක් කරන්න. මා දිගටම රංගනයේ යෙදෙනවා. මට බොහෝ විට ලැබෙන්නේ සටන්කාමී චරිත. මට සිනමාවේ පෙම්වතා වෙන්නත් පුළුවන්. රංගන ශිල්පියෙක්ව එකම රාමුවකට කොටු කළ යුතු නැහැ. මාවත් එවැනි චරිත වලටම කොටු කරලද කියලත් සිතෙනවා. සිංහල සිනමාවේ දුෂ්ට, සටන්කාමී චරිත රඟපාන්න ශිල්පීන් හිඟ බවක් පේනවා. මට එය හොඳීන්ම කිරීමේ හැකියාව තිබෙන නිසා වන්නටත් පුළුවන් වැඩිවශයෙන් එවැනි වූ චරිතම ලැබෙන්නේ. මට ලැබෙන ඕනෑම චරිතයක් භාරගන්න කැමතියි. නමුත් ඒ කරන චරිතයෙන් මට වටිනාකමක් ලැබෙන චරිත සඳහා පමණයි මම සිතන්නේ. ඒ වගේම මට ලැබෙන චරිතය තුළ මගේ රංගන හැකියාව පෙන්විය හැකි චරිතයක් විය යුතුයි. කවදා හෝ මට ප්‍රේමවන්තයාගේ චරිතය ලැබුණොත් මගේ රංගනයේ සැබෑ වෙනසක් ප්‍රේක්ෂකයන්ට දැක ගන්නට හැකියාව ලැබේවි. ඒ ගැන මම පුංචි ඉඟියක් දෙන්නම්. ඉදිරියේදී තිරගත වීමට නියමිත සීමා චිත්‍රපටයේ මගෙ චරිතය වෙනස් මඟක් ඔස්සේ දිවෙන චරිතයක්. මම රඟපෑ තවත් චිත්‍රපට කිහිපයක් ඉදිරියේදී තිරගත වීමට නියමිතයි. ආදරණීය සිහිනයක්, ෂටප්, සූර්‍යදේවී වැනි චිත්‍රපටවල මගේ රංගනය දැකගන්න පුළුවන්. මා ලියූ ජීවා චිත්‍රපටයත් නුදුරේදීම තිරගත වෙයි. ගිය වසරේ මා රඟපෑ ගෝරි චිත්‍රපටය වෙනුවෙන් මාව නිර්දේශ වුණා නැඟීඑන නළුවා සඳහා. සම්මානයකට නිර්දේශ වීමත් සතුටට කාරණයක්. මගේ නම කියවෙන විට සිතට දැනුනේ ආඩම්බරයක්. සම්මාන නොලැබුණත් අපි රඟපාන චරිත වලට ප්‍රේක්ෂකයන්, රසිකයන් කැමති නම් එයත් සම්මානයක් ලැබුණා හා සමානයි.

වත්මන් සිනමාවට තරුණ පිරිසගේ උනන්දුවක් ඇති බව පෙනී යනවා. එය සුබ ලකුණක්. එහෙත් ඒ පිරිසට මුහුණ දෙන්නට සුදුවන ගැටලු ගැනද කතාකළ යුතුයි. නවකයන්ගේ ක්‍රියා කලාපයද ගැනද තමන් ජ්‍යේෂ්ඨයන් යැයි කියා ගන්නා රංගන ශිල්පීන් ප්‍රසිද්ධියේ කතා කරනවා.අතීතයේ සිනමාවේ සිටි ශිල්පීන් වගේ නෙවෙයි අලුත් පරම්පරාව වෙනස්. තරුණ පිරිස තමන් ගැන හිතල කටයුතු කරන්නේ. ඔවුන් තමන් කරන චරිතය වෙනුවෙන් නියමිත වටිනාකමක් නියම කරනවා. ඔවුන් ලස්සනට පිළිවෙළකට ජිවත් වෙන්න උත්සාහ කරනවා. ඒනිසා ඇතැම් ජ්‍යේෂ්ඨයන්ට රුස්සන්නේ නැති බවක් පේනවා. හැම ජ්‍යේෂඨයෙක්ම එහෙම නෙවෙයි. සුළු පිරිසක් විතරයි එසේ කියන්නේ.

අපේ රටේ ඉන්න ප්‍රවීණ රංගවේදියෙක් වන රවීන්ද්‍ර රන්දෙණිය මහතා කිසිදාක නවකයන් විවේචනය කරමින් කතා කරන්නේ නැහැ. ඔවුන්ට අපහාස කරන්නේ නැහැ. එයින් පෙන්නුම් කරන්නේ එතුමාගේ හැදියාව, වැදගත්කම. එවැනි ජ්‍යේෂඨයන්ට අපි ගරු කළ යුතුයි. නවකයන් තමයි කවදා හෝ සිංහල සිනමාව ඉදිරියට ගෙන යාමට ඉන්නේ. මම නිතරම නවකයන්ට අවස්ථාව දෙනවා. අපි කවුරුත් මෙ තැනට ඇවිත් තියෙන්නේ නවකයන් ලෙස ඉඳලා.

ලොකු උත්සාහයක් දරලා ක්ෂේත්‍රයට පැමිණි මම දිගටම මෙහි රැඳී සිටිනවා. විටෙක මම රංගන ශිල්පියෙක්, තිර රචකයෙක්, නිෂ්පාදකයෙක්. ඉදිරියේදී තවත් වෙනස්ම මුහුණුවරකින් සිනමා ප්‍රේක්ෂයා ඉදිරියට එන්න මම සූදානම්. අධ්‍යක්ෂකවරයෙක් වීමේ බලාපොරොත්තුවක් මගේ සිතේ තිබෙනවා. ඒ සඳහා මම මේ දිනවල සූදානම් වෙනවා. ලංකාවේ කා අතරත් කතා බහට ලක්වෙන ඉතා සුන්දර සිනමා නිර්මාණයක් ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයන්ට අනාගතයේදී තිළිණ කරන්න බලාපොරොත්තු වෙනවා.

සිංහල සිනමාව ගැන කතා කරද්දී ඉදිරියේදී පැවැත්වෙන සරසවිය සම්මාන උලෙළ ගැනත් කතා කළ යුතුයි. එවැනි සම්මාන උලෙළකට සහභාගී වන්නට ආරාධනා පතක් ලැබෙනවා කියන එකත් වාසනාවක්. තමන්ට සම්මාන ලැබුණත් නොලැබුණත් තවත් සහෝදර රංගන ශිල්පියෙක්ට ,ශිල්පිනියෙක්ට අත්පොළසන් හඩක් දෙන්න උලෙළට පැමිණෙන්න පුළුවන් නම් ඔවුන් තමයි සැබෑ කලාකරුවන් වන්නේ.

කැලුම් ආර්යන් හට බොහෝ විට සටන්කාමී චරිත ලැබුණත් ඔහු සිනමාවේ පෙම්වතා වන්නටද සුදුසුකම් ඇත. ඔහු සතු කඩවසම් පෙනුමත් ප්‍රේමය මුසු බැල්මත් එයට ගැළපෙන බව කිවහැක. සිංහල සිනමාවේ ප්‍රේමනීය චරිතයකින් නුදුරේදීම ප්‍රේක්ෂකයන්ට දැකබලා ගන්නට ලැබේවි යන බලාපොරොත්තුවෙන් ඉතා ආදරණීය ලෙස ඔහු සරසවිය පිළිසඳර නිමා කළේය.

 

[email protected]

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT