ප්‍රවීණ කැමරා අධ්යක්ෂවරයකු වන තිමති වීරරත්නයන්ගේ බාල දියණිය ලෙස 1973දී උපත ලද ඩියැන් හේමමාලි සංගීතා වීරරත්න, කලා ක්ෂේත්රය තුළ “සංගීතා වීරරත්න” නමින් ජනප්‍රියව සිටින්නීය. වාණිජ සිනමා නිර්මාණයන්හි රංගනයෙන් සිනමා ලොවට පිවිසි ඇය, ක්‍රමයෙන් කලාත්මක සිනමාව තුළ ද සිය රංගන ධාරිතාව විහිදුවාලීමට සමත්වූවාය. පසුකාලීනව පුංචිතිරය ඔස්සේ ද ඇය ප්‍රේක්ෂකයාට සමීපවූවාය. තම පියා වූ තිමති වීරරත්නගේ මඟපෙන්වීම තුළින් නිශ්චල ඡායාරූප ශිල්පය හදාළ සංගීතා වීරරත්න, මුල්වරට රංගනයෙන් දායකවූයේ සිය පියාගේම නිර්මාණයක් වූ “රේල් පීලි”(1987) ටෙලිනාට්‍යය සඳහාය.
ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් අධ්‍යක්ෂණය කළ “ගොළු හදවත” ටෙලිනාට්‍යයේ පාසල් සිසුවියකගේ චරිතයකට ජීවය දෙමින් රූපවාහිනී ප්‍රේක්ෂකයා අතරට ද ඇය පැමිණියාය.
රෝයි ද සිල්වා අධ්‍යක්ෂණය කළ “It’s A Matter Of Time” (1991) චිත්‍රපටය තුළින් සිනමාවට පා තැබූ ඇය එම කාලය තුළම ආනන්ද වික්‍රමසිංහයන් අධ්‍යක්ෂණය කළ “යසස” චිත්‍රපටය ද ගාමිණී ෆොන්සේකා අධ්‍යක්ෂණය කළ “නොමියෙන මිනිසුන්” චිත්‍රපටය ද ආදී වශයෙන් වෙනස්ම හැඩතලයන්ගෙන් යුත් චිත්‍රපට ද්විත්වයේ රඟපාමින් වාණිජමය සේම කලාත්මක රංගනයෙහි කුසලතා මැනවින් පෙන්වීමට සමත්වූවාය.
එච්.ඩී. ප්‍රේමරත්නගේ “සප්ත කන්‍යා” (දීප්ති), ගාමිණී ෆොන්සේකාගේ “නොමියෙන මිනිසුන්” (මාරි), වසන්ත ඔබේසේකරගේ “මාරුතය”(කුමාරි), “දොරකඩ මාරාව” (සුභාෂිණී), සුමිත්‍රා පීරිස්ගේ ” දුවට මවක මිස” (තුෂාරි), වසන්ත ඔබේසේකරගේ “සලෙලු වරම” , ප්‍රසන්න විතානගේගේ “පවුරු වළලු ” , උදයකාන්ත වර්ණසූරියගේ “බහුභාර්යා”, එච්.ඩී. ප්‍රේමරත්නගේ “කිණිහිරියා මල්”, බෙනට් රත්නායකගේ “අස්වැසුම”, ජයන්ත චන්ද්‍රසිරිගේ “ගරිල්ලා මාර්කටින්” , “ඝරසරප” ආදී කලාත්මක සිනමා කෘතිවල ප්‍රේක්ෂක -විචාරක
ඇගයුමට ලක්වූ රංගනයන් ඉදිරිපත් කිරීම ඇගේ සිනමා රංගනයේ කැපී පෙනෙන සුවිශේෂී සංධිස්ථාන වශයෙන් පෙන්වාදිය හැකිය.
සංගීතා වීරරත්න වසර කිහිපයක්ම සරසවිය සිනමා සම්මාන උලෙළේ ජනපි‍්‍රය නිළිය සම්මානය මෙන්ම හොඳම නිළිය සම්මානයද හිමිකර ගැනීමට සමත් වූවාය. 1994 පැවැති 22 වැනි සරසවිය සිනමා සම්මාන උලෙළේදී හොඳම නවක නිළිය සම්මානය හිමිකරගත්තේ එච්.ඩී.ප්‍රේමරත්න අධ්‍යක්ෂණය කළ “සප්ත කන්‍යා” චිත්‍රපටයේ “දීප්ති” නැමැති තරුණියගේ රංගනය වෙනුවෙනි. එසේම 1996 පැවැති 24 වැනි සරසවිය සම්මාන උලෙළේදී මාරුතය චිත්‍රපටය වෙනුවෙන් කුසලතා සම්මානයක්ද ඇය දිනාගත්තාය. සරසවිය හොඳම නිළිය ලෙස දෙවරක් සම්මානිත වූවාය. ඒ 2002 වසරේ පැවැති 27 වැනි සරසවිය සම්මාන උලෙළේදී බෙනට් රත්නායක අධ්‍යක්ෂණය කළ “අස්වැසුම” චිත්‍රපටයේ කළ ප්‍රබල රංගනය වෙනුවෙන් සහ 2010 පැවැති 32 සරසවිය සිනමා සම්මාන උලෙළේදී මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ “උප්පලවණ්ණා” චිත්‍රපටයේ උප්පලවණ්ණා තෙරණිය ලෙස කළ රංගනය වෙනුවෙනි.
කලාත්මක-වාණිජ චිත්‍රපටවල මෙන්ම “දවල් මිගෙල් රෑ දනියෙල්”, “ජොන්සන් ඇන්ඩ් ගොන්සන්”, “සැපට දුකට සනී” වැනි විකට චිත්‍රපට සඳහා ද ඇගේ රංගන ධාරිතාව මුසුකිරීමට නොපසුබට වූවාය. සරසවිය ජනපි‍්‍රය නිළිය ලෙස ද ඕ වසර කිහිපයක්ම සරසවිය සම්මානයෙන් පුද ලැබුවාය.
2002, 2003, 2004, 2007, 2010 වර්ෂයන්හි පැවැති 27, 28, 29, 31,32 සරසවිය සම්මාන උලෙළවලදීය.
2007 වසරේ පැවැත්වූ 31 වැනි සරසවිය සම්මාන උලෙළෙදී 2005 වසර හා 2006 වසර සඳහා සංගීතා ජනපි‍්‍රය නිළි සම්මාන දිත්වයක් දිනාගනු ලැබුවාය.
පසුකාලීනව ටෙලිනාට්‍ය හරහා පුංචිතිරයේ ප්‍රේක්ෂක ආදරය දිනාගැනීමට ද ඕ සමත්වූවාය. ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ “නාඳුනන පුත්තු” , අනුරුද්ධ ජයසිංහගේ “ධවල කන්‍යා”, සුරංජන් විජයනාමගේ “දාමිණී”, මොහාන් නියාස්ගේ ” සීතාම්බර සළු”, බර්මින් ලයිලි ප්‍රනාන්දුගේ “තීර්ථ තරණය” ආදී ටෙලිනාට්‍ය උදාහරණ වශයෙන් දැක්විය හැකිය. සරසවිය, OCIC, ජනාධිපති, ස්වර්ණසංඛ, විචාරක ආදී සිනමා සම්මානවලින් පුද ලද සංගීතා වීරරත්න, වසන්ත ඔබේසේකර අධ්‍යක්ෂණය කළ “සෙව්වන්දි” චිත්‍රපටය හරහා නිෂ්පාදිකාවක ලෙස ද දොරටවැඩියාය.
සේයාරුව ටෙනිසන් එදිරිසිංහ
මනෝජ් රුක්මල් කුමාරසිංහ