ඇය සිනමා සහ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයට පා තබන්නේ අවුරුදු කුමාරියක් ලෙස කිරුළු පැලැන්දූ නිසාවෙනි. අවුරුදු කුමාරියක් ලෙස අභිෂේක ලැබූ ඇයට රංගන ශිල්පිනියක් ලෙස වැජඹීමට කලා ලෝකයේ දොරටු විවර විය. පසුගියදා සිනමා තීරයේ දිග හැරුණු විනෝෂා කිරිවන්දෙණියගේ ” Hello From The Other Side ” චිත්‍රපටයෙන් අපට අපූරු චරිතයක් දැකගත හැකිවිය. ඇය දිල්කී දිසානායක. සැබෑ පෙනුම මුවැත්තියක බඳු වුවත් චිත්‍රපටය තුළ ඇගේ චරිතය නපුරු ස්වභාවයක් ගෙන ඇත. චිත්‍රපටයේ ඇගේ රංගනය නෙත ගැටෙන විට ප්‍රේක්ෂකයාගේ හිතට ඇය පිළිබඳ තරහක් ඇතිවීම වැළැක්විය නොහැකිය. ආදරණීය සැමියාට, ආදරණීය බිරිඳක වීම පසෙකලා සිහින ලොවක පාවෙන්නට හීන දකින තරුණ බිරිඳකගේ චරිතයට පණ පොවන දිල්කී සැබෑ ජිවිතයේ නම් සැබෑම ආදරවන්තියකි. මේ රුවැත්තිය සරසවිය හමුවේ මෙලෙස ඇගේ රංගන දිවිය ගැන අදහස් දැක්වූවාය.
Hello From The Other Side දෙවැනි චිත්‍රපටය. පළවෙනි චිත්‍රපටය වුණේ සෝනා. මම කලා ක්ෂේත්‍රයට පිවිසෙන්නේ අවුරුදු කුමරිය තරඟයකින් ජයග්‍රහණය කිරීමත් සමඟ. මුලින්ම රඟපාන්න ලැබුණේ පුංචි තිරයේ අතිශයින්ම ජනප්‍රිය වූ දෙවෙනි ඉනිම නාට්‍යයේ චරිතයක් තමයි මට මුලින්ම ලැබුණේ. මම රංගනය විශේෂයෙන් හදාරා තිබුණේ නැහැ. පාසල් කාලයේදී කළේ නර්තනය. පාසලේදී නර්තන පැත්තෙන් විවිධ ඉසව් සඳහා සහභාගී වුණා. එහෙත් පාසලේදී මම රංගනය පැත්තෙන් කිසිම දෙයක් කළ කෙනෙක් නෙවෙයි.
අවුරුදු කුමරි තරඟයෙන් ජයග්‍රහණය කිරීමෙන් පසුව තමයි මට දෙවැනි ඉනිමේ රඟපාන්න අවස්ථාව ලැබුණේ. ඉන්පසු ‘ හදවතේ කතාව ‘ ටෙලි නාට්‍යයේ රඟපෑවා. එහිදී තමයි මට දමිත් අයියාව මුණගැසුණේ. (දමිත් විජයතුංග ) දමිත් අයියා මේ චිත්‍රපටයේ ප්‍රධාන චරියට ඉන්නවා කියල මම දැනගත්තහම මට ලොකු සතුටක් ඇතිවුණා. හදවතේ කතාව කරන කාලේ ඇතිවූ අපේ හිතවත් කම දිගටම තිබුණා. Hello From The Other Side චිත්‍රපටය ලැබුණෙත් දමිත් අයියා නිසා. ඔහු සහ හදවතේ කතාවේ ශබ්ද පරිපාලනය කළ අයියා තමයි මාව යෝජනා කරල තියෙන්නේ.
Hello From The Other Side චිත්‍රපටයේ අධ්‍යක්ෂිකාව, විනෝෂා අක්කා මට නිතර දුරකතනයෙන් කතා කළා. මාව ඒ චරිතයට තෝරා ගෙන පිටපත මා අතට ලබා දුන්නා. සමාජයේ කතා කරන්න අකමැති මාතෘකාවක් පිටපතේ ලියවිලා තිබුණා. ඖෂධ ජාවාරම ගැන. පිටපත කියවගෙන යනවිට මට හරි ආසාවක් ඇති වුණා. මේක මට ලැබුණේ ප්‍රධාන චරිතයක්. කේතකී කියන හෙදියකගේ චරිතය. ඒත් ඒ චරිතය නපුරුයි. සැබෑ ජීවිතයේදී මම නපුරු නැහැ. මට ඒ චරිතය අභියෝගයක් වුණා. පිටපතේ තිබුණ සමහර දර්ශනවලට පෙනී සිටින්නේ කොහොමද කියන දේ ගැටලුවක් වුණා. එක් දර්ශනයක් තියෙනවා දමිත් අයියා සමඟ ප්‍රේමයෙන් පසුවන මොහොතක්. දමිත් අයියා ඒ සඳහා මට හොඳ සහයෝගයක් ලබා දුන්නා. දමිත් අයියාව මම කාලයක සිට දන්නවා. එයා මට හොඳ සහෝදරයෙක්. ඒ නිසා ඒ අතිශය ප්‍රේමණීය මොහොත මට හොඳීන් නිරූපණය කරන්න හැකිවුණා. එතන දමිත් අයියා වෙනුවට මා නොදන්නා චරිතයක් සිටියානම් ඒ දර්ශනයේදී මට අපහසුතාවයක් දැනෙන්නට ඉඩ තිබුණා.
චිත්‍රපටයේ ඉතා බැරෑරුම් දර්ශනයක් විදිහට මට දැනුණේ ක්ෂේත්‍රයේ දක්ෂ රංගන ශිල්පියෙක් වන සූජීව ප්‍රියාල් අයියා සමඟ තනිවෙන දර්ශනය. මට ඒ රූපගත කිරීමේදී බය හිතුණා. සූජීව අයියා ක්ෂේත්‍රයේ ඉන්න අපිට වඩා වැඩිමහල් කෙනෙක් නිසා. ඒත් සුජීව අයියා මගේ ළඟට ඇවිත් මගේ හිතේ තිබූ බය, අපහසුතාවය මඟ හැරෙන්න කතා කළා.
” මේක චරිතයක් විතරයි” ඒ ගැන හිතලා රඟපාන්න කියලා උපදෙස් දුන්නා. මම පිටපත ගැන මගේ සමීපතමයන්ව දැනුම්වත් කරලා තිබුණේ. ඒ නිසා මට ගැටලුවක් වුණේ නැහැ.
Hello From The Other Side චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ විනෝෂා අක්කා මට ශක්තියක් වුණා. ඇයත් කාන්තාවක් නිසා මට කිසිම ආකාරයක ගැටලුවක් නොවෙන්න වගබලා ගත්තා. විනෝෂා අක්කාගේ හිතේ තිබූ දේ සැබෑවක් කරන්න හැකිවීම ගැන මට සතුටුයි. මෙම චිත්‍රපටයට පාදක වූ කතාව සත්‍ය කතා පුවතක්.
මගේ චරිතයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර වලින් නම් අඩුවක් නැහැ. ඒත් මගේ චරිතය දිහා බලලා ‘ ඇයි ඔච්චර නපුරු’ කියලා තමයි චිත්‍රපටය නරඹපු බොහෝ දෙනා විමසුවේ.
එදා චිත්‍රපටයේ මංගල දර්ශනය තිබුණ දා ශාලාවට ඇතුළුවන විට එතන අවට සිටි අය මා දිහා ආදරෙන් බැලුවා. ඒත් චිත්‍රපටය නරඹලා පිටතට පැමිණෙන විට ඇහුවේ ‘ ඇයි ඔයා නපුරු වුණේ කියලා. මට ලැබුණ චරිතය හෙදියකගේ චරිතය. ඇය කුඩා කාලේ සිටම දුක් විඳපු චරිතයක්. බොහෝ කරදර වලට ලක් වූ තරුණියක්. ඇයට එසේ වූයේ අධික දරිද්‍රතාවය නිසා. ඇයට කුඩා කල නොලැබුණ ලස්සන ලෝකය ඇය තරුණ වියට පැමිණි පසු කෙසේ හෝ ගොඩ නඟා ගන්න උත්සාහ කරනවා. ඇයට අවශ්‍ය මුදල්, යාන වාහන, සුපිරි නිවාසයක්. ඇය ඒ ලෝකය හැබෑ කරගන්න වෙර දරන කෙනෙක්. ආදරණීය, කරුණාවන්ත සැමියෙක් ලැබුණත් ඒ ලැබෙන ජීවිතයට ඇය තෘප්තිමත් නැහැ. ඇය හිතන්නේ ජීවිතය තවත් ලස්සන වෙන්න නම් අවශ්‍ය මුදල්ම විතරයි කියලා. මෙවැනි චරිත සමාජයේ ඕනෑතරම් ඉන්නවා.
Hello From The Other Side චිත්‍රපටයෙන් ප්‍රධාන වශයෙන් කියවෙන ප්‍රධානම මාතෘකාව ඖෂධ ජාවාරම පිළිබඳ. ඒ ගැන කතා කරන්න සමාජයේ බොහෝ අය මැළි වෙනවා. ඒත් විනෝෂා අක්කා එඩිතරව ඒ අභියෝගය බාර ගෙන තිබුණා.
මම මේ දිනවල තවත් චිත්‍රපටයකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ ‘ කාදල්’ කියන චිත්‍රපටය. මම එහි කරන්නේ සහය චරිතයක්. මට ලැබිලා තියෙන්නේ දඟකාර චරිතයක්. මට ගැලපෙන චරිත විතරයි මා බාර ගන්නේ. මට ලැබෙන හොඳ චරිතවලින් ප්‍රේක්ෂකයා අතරට යන්න මම කැමතියි. ඒ වගේම ජනප්‍රිය චරිතයක් වෙන්න ආසයි.
මම ක්ෂේත්‍රයට ආවේ අවුරුදු කුමාරියක් වීම නිසා. මම රංගනයට ප්‍රිය නිසාම ක්ෂේත්‍රයේ දිගටම රැඳී සිටින්න බලාපොරොත්තු වෙනවා. අවුරුදු කුමාරියක් වු නිසාම ඉදිරියේදී රූ රැජින තරඟ කිහිපයකට සහභාගී වෙන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නේ. එවැනි අන්තර්ජාතික තරඟාවලිය කිහිපයක් සඳහා ඉල්ලුම් කර තිබෙනවා. ඒ පිළිබඳ නවතම තොරතුරු ඉදිරියේදී හෙළිදරව් කරන්නෙත් මුලින්ම සරසවිය පුවත්පතට. ඒ නිසා ඒ ගැන වැඩි විස්තර ඉදිරියේදී සරසවිය පුවත්පත මඟින් ප්‍රේක්ෂකයන්ට, මගේ ආදරණීය රසිකයන්ට දැනගන්නට සලස්වනවා.
මම මේ ගමන ආවේ තනියම. අද මම ඉන්න තැන ගැන මට සතුටුයි. මගේ පිටුපසින් මගේ ආදරවන්තයා ඉන්නවා. එය මගේ ගමන් මඟට විශාල හයියක්. ඒ වගේම හැම වෙලාවෙම මගේ ළඟින් ඉන්න මගේ ආදරණීය පුංචි අම්මාවත්, මගේ යහළු යෙහෙළියන් කීපදෙනාවත් මම මේ අවස්ථාවේ ආදරෙන් මතක් කරනවා.
මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ටත් විශේෂයෙන් ස්තුතියි කියන්න අවශ්‍යයි. Hello From The Other Side චිත්‍රපටයට මට ලබාදෙන ප්‍රතිචාර මට වටිනවා. ඉදිරියේදීත් මගේ රංගනය ඇතුළත් නිර්මාණ කිහිපයක් ඔබට දැකගන්න හැකිවේවි.