Home » ස්ත්‍රීවාදයේ අනාගතය : කලාව, ක්‍රියාකාරීත්වය සහ දකුණු ආසියානු කාන්තාව’ ප්‍රදර්ශනය එළැඹෙන 08 දක්වා

ස්ත්‍රීවාදයේ අනාගතය : කලාව, ක්‍රියාකාරීත්වය සහ දකුණු ආසියානු කාන්තාව’ ප්‍රදර්ශනය එළැඹෙන 08 දක්වා

by Thanushika
October 2, 2025 12:30 am 0 comment

ඉතිහාසඥ ආචාර්ය අර්ෂියා ලොඛන්ද්වාලා (Dr. Arshiya Lokhandwala) විසින් මෙහෙයවන ලද ‘ස්ත්‍රීවාදයේ අනාගතය: කලාව, ක්‍රියාකාරීත්වය සහ දකුණු ආසියානු කාන්තාව’ යන තේමාව මූලික කරගත් දකුණු ආසියාතික ස්ත්‍රීවාදී කලාකරුවන්ගේ නිර්මාණ ඇතුළත් කලා ප්‍රදර්ශනය නැරඹීම සඳහා පසුගිය දින අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය එක්වූවාය. මෙම ප්‍රදර්ශනය කොළඹ ජාතික කෞතුකාගාරයේ ලෝටස් කලාගාරයේ දී පසුගිය 26 වැනිදා ආරම්භ විය. මෙම කලා ප්‍රදර්ශනය හරහා ස්ත්‍රීවාදයේ අනාගතය, ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ අසමානතාවය, සමාජභාවය මත පදනම් වූ පද්ධතිමය හිංසනය යන කාරණා ප්‍රශ්න කරන අතරම ස්ත්‍රී ශක්‍තිය, ස්වාධීනත්වය සහ සහයෝගීතාවය සැමරීමට ලක් කරයි.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, නේපාලය, බංගලාදේශය හා පකිස්ථානය යන දකුණු ආසියානු රටවල් නියෝජනය කරමින් ස්ත්‍රීවාදී කලාකාරිනියන් එකොළොස් දෙනෙකුගේ නිර්මාණ මෙහි දී ප්‍රදර්ශනය කෙරිණි. ඔවුන් සිය රටවල් තුළ ස්ත්‍රීන් මුහුණ දෙන අර්බුද මෙම කලා නිර්මාණ හරහා ඉදිරිපත් කොට තිබුණි. එමෙන්ම මෙම ප්‍රදර්ශනය ලොව රටවල් කිහිපයකම ප්‍රදර්ශනය කිරීම සිදුවන අතර මින් පෙර නේපාලයේ කත්මණ්ඩු නුවර දී මෙය පවත්වා ඇත. ශ්‍රී ලංකාවේ දී මෙම ප්‍රදර්ශනය සැප්තැම්බර් 26 වන දින සිට ඔක්තෝබර් 08 වැනි දා දක්වා කොළඹ ජාතික කෞතුකාගාරයේ ලෝටස් කලාගාරයේ දී පැවැත්වෙනු ඇත.

මෙම අවස්ථාව සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති කීර්ති වැලිසරගේ, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සනෝජා කස්තුරිආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු දෙස් විදෙස් කලාකරුවන් සහ සම්භාවනීය අමුත්තෝ රැසක් එක්වූහ.

 

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT