ජගන් මෝහිනී – මධුර භාෂිණී
චාරු දේහිනී – කමල වාසිනී
සරස්වතී දේවි – නමස්තේ – සරස්වතී දේවී
අමර භූෂිණී – මන්ද හාසිනී
විජය රංජනී – ශාස්ත්‍ර ධාරිනී
සරස්වතී දේවී – නමස්තේ – සරස්වතී දේවී
කම්පිත කංචන මාලා කුජිත කිංකිණි නූපුර ජාලා
පාද සරෝජේ කටී තටාකේ චංචල නර්තන ලීලා
ජගන් මෝහිනී – මධුරභාෂිණී
චාරු දේහිනී – කමල වාසිනි
සරස්වතී දේවී – නමස්තේ – සරස්වතී දේවී
මීන මකර පංකජ රූපාකුල අංකිත කුංකුම රේඛා
පූර්ණ කුම්භමිව පීන පයෝධර පූරිතාමෘත ධාරා
භාග්‍ය සාධන පුණ්‍ය මූර්තිධර සුරකුල අභිරූපා
දේහි දේහි වරදායක හස්තේ ශූභ මංගල මුද්‍රා
ජගන් මෝහිනී – මධුර භාෂිණී
චාරු දේහිනී – කමල වාසනී
සරස්වතී දේවී – නමස්තේ – සරස්වතී දේවී
සරස්වතී සම්මාන සදාදර අභිනන්දන පූජා
සාධය පුරය කරුණා මෘත ජල කලාකාමී ගංගා
ගේය පද රචනය – ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
තනු නිර්මාණය හා ගායනය – පණ්ඩිත් අමරදේව
සරසවිය අභිනන්දන ගීතය දෙවෙනි වන්නේ අපේ රටේ ජාතික ගීයට පමණි. කලාවට අධිපති සරස්වතී දේවිය අභිනන්දනය කිරීම කිසියම් කලා කටයුත්තක් ඇරැඹුමත් සමඟ සිදුවන්නකි. සරස්වතී දේවීය අභිනන්දනය කිරීම, භාරතීය කලාකරුවාගේ ආවේණික ලක්ෂණයක් ද වන්නේය. 1964 සරසවිය සම්මාන උලෙළේ ඇරැඹුම වෙනුවෙන් සරස්වති අභිනන්දන ගීතයක අවශ්‍යතාව දැඩිව දැනෙන්නට විය. ප්‍රථම සරසවිය සම්මාන උලෙළේ සංවිධායක මණ්ඩලයේ ප්‍රධානියා වූ සරසවිය කර්තෘ විමලසිරි පෙරේරා මහතාට මෙම අවශ්‍යතාව දැඩිව දැනෙන්නට විය. ඔහු මෙම ගීතය ලියවා ගැනීම සඳහා තෝරා ගත්තේ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ය. බහුශ්‍රැත දැනුමත්, පෙර අපරදිග ගීත කලාව පිළිබඳවත්, පුවත්පත් කලාව පිළිබඳවත්, හසළ දැනුමක් ලබා තිබූ මානවසිංහයන් මෙම අමරණීය ගී පබැඳුම රචනා කරනු ලැබීය.
මෙම ගී පබැඳුම රචනා වන මොහොතේ ඒ අසලට වී සිටි කෙනෙක් වන්නේ ආර්.ඩී ගුණරත්නයන්ය. එවක සරසවිය පුවත්පතේ පුවත්පත් කලාවේදියකු ලෙස කටයුතු කළ ආර්.ඩී.ගුණරත්නයන් පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන මහාචාර්ය ධුරය දරනු ලැබීය. අදටත් මෙම ගී පබැඳුමේ උපත ගැන මතකය අවදි කරන්නට සිටින එකම ජීවමාන සාක්කිය ද වන්නේ මහාචාර්ය ආර්.ඩී.ගුණරත්නයන්ය. සරසවිය සම්මාන උලෙළේ උත්පත්තියත් සමඟ බිහිවන සරස්වතී අභිනන්දන ගීතයේ උත්පත්තිය ගැන මහාචාර්ය ආර්.ඩී.ගුණරත්නයන් පවසා සිටින්නේ මෙවැනි කතාවකි. විමලසිරි පෙරේරාට මානවසිංහයන් හමුවී සරසවිය සම්මාන උලෙළේ ගැයීමට ගීයක් රචනා කර ගැනීමේ දැඩි අවශ්‍යතාවයක් තිබිණි.
ඔහුගේ පෙරැත්ත පරිදි මමත් විමලසිරි සමඟ මානවසිංහයන්ගේ ගෙදරට ගියෙමු. ඒ යන දවස වන විටත් මානවසිංහයන් සිටියේ අසනීප තත්ත්වයෙනි. විමලසිරි පෙරේරාගේ ඉල්ලීම අහක දැමීමට සිත් නොදුන් මානවසිංහයන් පැය දෙක තුනක් අප සමඟ කතාබස් කරමින් කාලය ගත කළේ අසනීප තත්ත්වයද නොතකමිනි.
ඒ කතාබහේදීම කොළයක් අතට ගත් මානවසිංහයන් ගී පදවැලක් එක හුස්මට ලියාගෙන ගියේය. ඒ වන විටත් බොහෝ රෑ බෝවී තිබිණි. ඒ ගැන වගක්වත් සිතට නොගත් අපිද මානවසිංහයන්ගේ අතින් ලියවෙන ගීතය කුමක්ද යන්න කුතුහලයෙන් යුතුව දෑස් දල්වාගෙන සිටියෙමු. එක හුස්මට ලියාගෙන ගිය ඔහු ටික වෙලාවකින් විමලසිරි පෙරේරා මහතා අත කොළ කැබැල්ලක් තැබුවේ විමලසිරි මෙන්න මේ පද ටික කියමිනි. මේ අවස්ථාවේ මානවසිංහයන් අපූරු ඉල්ලීමක්ද කරනු ලැබීය. මේ පද ටිකට තනුව දාගන්නත් කියවගන්නත් ඕනෑ අමරදේවයන් ලවා. විමලසිරි උඹේ ඉල්ලීම මම ඉටු කරලා දුන්නා. දැන් මේක අරන් ගිහින් මගේ ඉල්ලීම ඉටු කරපන්. එයයි මානවසිංහයන්ගේ ඉල්ලීම වුණේ.
ජගන් මෝහිනී මධුර භාෂිණී
චාරු දේහිනී කමල වාසිනී
සරස්වතී දේවී වන්දේ සරස්වතී දේවී…. ගීතය අද රට පුරා සරස්වතී අභිනන්දනය. වෙනුවෙන් ගැයෙන ගීතය ලියැවුණේ එපරිද්දෙනි. මමත් විමලසිරි පෙරේරාත් පසුදිනෙක මානවසිංහයන් ලියූ එම ගීතය අමරදේවයන් වෙත ලබාදෙමින් ඔහුගේ ප්‍රාර්ථනය ඉටු කර දෙනු ලැබීය.
ප්‍රථම සරසවිය සම්මාන උලෙළේ දීම තවත් සුවිශේෂී කාරණා දෙකක් සිදු වූයේද සරස්වතී දේවියගේ ආනුභාවය නිසාමද නොදනිමි.
සරස්වතී අභිනන්දන ගීතය ලියා දුන් චන්ද්‍රරත්න මානවසිංහයන්ට ප්‍රථම සරසවිය සම්මාන උලෙළේදීම හොඳම ගීත රචනය සඳහා රන්මුතු දුව චිත්‍රපටයේ පාරමිතා බල… ගීතය සඳහා සරසවිය සම්මානය හිමිවීමත් සුවිශේෂී විය.
එය හෙළ කලාවේ සුන්දරත්වය නිර්මාණාත්මක වදන් මාලා තුළින් රසික මනසට මුසු කිරීමට කාලාන්තරයක් තිස්සේ ඉටු කළ මහඟු සේවය සඳහා මානවසිංහයන්ට සරස්වතී දේවිදුන්ගේ උපහාරයක් විය.
සරසවිය සම්මාන උලෙළේ දී සහෘද සිත් සතන් සරසවිය අභිනන්දන ගීතය ගයමින් මොහොතකට භාවාත්මක සංයමයකට පත්කළ අමරදේවයන්ට ගම්පෙරළිය චිත්‍රපටයේ හොඳම සංගීත අධ්‍යක්ෂණය වෙනුවෙන් සරසවිය සම්මානය මෙම ප්‍රථම සරසවිය සම්මාන උලෙළේදීම ලැබීම අමරදේවයන්ට සරස්වතී දේවිදුන් ලබාදුන් තවත් සුවිශේෂි උපහාරයක් විය.
චන්දන දයාසිරිවර්ධන