අප.ජීවත්වන්නේ එක වත්තක ය. ඒ වත්ත වන්නාහී නේකවිධ තුරුලතාවලින් ඇළ දොළ ගංගා සහ දිය ඇලි මෙන්ම එකිනෙකට වෙනස් නමුත් එකිනෙකට සමානූපාතී විෂම කලාපවලින් සමන්විත ය. අප ජීවත්වන මේ අලංකාර භූමියට ගමක් නොකියා වත්තක් යැයි කීමට බලපෑ ප්‍රධාන හේතූන් කිහිපය පළමුව සුපැහැදිළි කිරීම මාගේ වගකීමක් ලෙස සිතා පළමුව එය ඉටු කළ යුතුමය.
ගමක් යනු තැන තැන ඈතින් විසිරුණු නිවාස ඒකක සමූහයකින් සුසැදි තනි ඒකකයක් වන අතර වත්තක් යනු එකිනෙකට ඉතාමත් ආසන්න නිවාස ඒකක රැසක එකතුවකි.
ගමක ජීවත්වන බොහෝ පිරිස් ඒකීය සාම්ප්‍රදායික සිරිත් විරිත් රකිමින් ග්‍රාමීය ජන ජීවිතය ඉදිරියට රැගෙන යන අතර වතු ජනයා ඒ ඒ මොහොතේ බලපාන කාලගුණික සහ දේශගුණික මෙන්ම භූමියෙහි සිදුවන ක්ෂණික විපර්‍යාසයනට මුහුණ දෙමින් යාවත්කාලීන ජීවිතයකට හුරු වී සිටින්නෝය.
ග්‍රාමීය ජනතාව එදිනෙදා සිදුවන කෝන්තර බොහෝ කාලයක් අල්ලාගෙන මුහුණ නොබලා විරසකභාවයට පත්ව සිටින අතර වතු ජනතාව ඒ මොහොතේ බැණ ගනිමින් කුකුල් කේන්තිය නිවී ගිය පසුව හොඳම යාළුවන් වන බව මම ද අත්දැකීමෙන් දනිමි.
මෙන්න මෙවැනි කාරණා නිසාම අප සියලුදෙනා ජීවත්වන්නේ එකම වත්තක බව මට නැවතත් කිව හැකිය.
මේ වත්තෙහි දළ පිඹුර පළමුව ඔබට කීම මේ කියන්නට සැරසෙන රස කතා මාලාව ඔබේ සිතෙහි ඇඳ ගැනීමට ප්‍රබලව හේතුවනු ඇතැයි මම සිතමි.
අපගේ නිවාස සමූහයෙහි කෙළවරෙහිම මා ගෘහමූලිකයා වන තරුණී නිවසයි. ඊට යාබදව රමණී අක්කාගේ බුදුසරණ නිවෙස පිහිටා ඇති අතර ඊට ඉදිරියෙන් චක්සුගේ කම්පියුටර් වැඩපොළයි. වැඩපළට ඉදිරියෙන් අරුණි අක්කාගේ ජෝතිෂ්‍ය මැදුරයි. ඊට අල්ලා කුඩා ගොඩැල්ලෙහි රූපාන්ති ජීවත්වන මිහිර නිවෙස පිහිටා ඇති අතර ඊට ඉදිරිපස සරසවිය කලාගාරය පිහිටා තිබේ.
මා අද මේ කියන්නට සූදානම් වන්නේ ඒ සරසවිය නිවෙසේ එසේත් නොමැතිනම් කලාගාරයේ ජීවත්වන අරුම පුදුම සංවේදී සුන්දර මිනිසුන් ගැන මා දකින විදිය ගැනය.
මේ සියලුමදෙනා මාගේ මිතුරන් මිතුරියන් මෙන්ම අක්කලා අයියලා සහ මල්ලිලාය. සරසවිය පුවත්පතෙහි කලක් කටයුතු කළ නියෝජ්‍ය කර්තෘවරයා ලෙසද මෙය ලිවීමට මා හට ආරාධනා කිරීම පිළිබඳ පළමුව ස්තූතියි
මේ ගෙදර ලොක්කා හෙවත් ගෘහ මූලිකයා නුවන් නයනජිත් කුමාර හෙවත් අපේ ආදරණීය නුවන් අයියාය. ලෝකයාම ඔහුව දන්නේ ආචාර්ය නුවන් නයනජිත් කුමාර ලෙසටය. ලේක් හවුස් නම් ලෝ පරසිදු පුණ්‍ය භූමියට පැමිණි කාලයේ සිටම නුවන් අයියා එකම වගේය.
“ ආ මඟ කෙටියි යායුතු මඟ දුරයි” කී කාලයේ මා ආසා කළ නුවන් අයියාවම මට ඊයේත් ලේක් හවුසියේදී හමුවිය.වයසට නොයන රහස කුමක්දැයි මා ඔහුගෙන් කිසිම දවසක අසා නැති නමුත් ඊට ප්‍රධානම හේතුව සිනාසීම විය හැකිය. මොකද නුවන් අයියා කිසිම දවසක තරහින් පුපුරනු මා මෙතෙක් දැක නැත.එසේම නුවන් අයියා ඈඳීගෙන එක ඉරියව්වක සිටිනුද මා මෙතෙක් දැක ඇතුවාට මට අමතකය.
කඩියෙකු මෙන් කාර්‍යසූර, බඩියකු මෙන් නිහතමානී, ගල් පඩියක් සේ නොසැලෙයි.
ඇවිදින දැනුම් ගබඩාවක් වන අපේ කතාවේ ගෘහ මූලිකයා දුරකථන ඇමතුමක් ලද විට ඇවිදින කොමියුනිකේෂන් එකක් බඳුය.
ඒ අපේ නුවන් අයියාගේ හැටිය. සියුම් සිනාවත් සිහින් හඬැති කතාවත් නුවන් අයියාට මානව දයාවේ කලාව අපූරුවට වපුරුවාලන්නට මා පිය උරුමයෙන් ලද ස්වර්ණමය ආභරණයක් යැයි මම සිතමි. පියකු සහ පුතකු එකම පුවත්පතක කර්තෘත්වය හෙබවූ අමිල වාර්තාවද හිමි වනුයේ නුවන් අයියාටමය. දිවංගත ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී ඒ.ඩී.රන්ජිත් කුමාර මහතා එසේත් නොමැතිනම් නුවන් අයියාගේ ආදරණීය පියාණන්ද මේ මොහොතේ ගෞරවාදරයෙන් යුතුව මතක් කළ යුතුය. නොදන්නා දෙයක් සුපැහැදිළි ලෙස කියාදීමට නිර්ලෝභී වූ රන්ජිත් මහත්තයා සේම නුවන් අයියාද මා ඇතුළත්ව අසනා ඕනෑම අයකුට දන්නා දේ හරියටම පැහැදිලි ලෙස කියාදෙන ගුරුවරයකු බවද අත්දැකීම් ඇසුරෙන් ලියා තැබිය යුතුය.
ගෝලාකාර බිත්තර පේස්ට්‍රි කන්නට නුවන් අයියා කැමැතිය. ඒ බව දන්නේ කෙසේදැයි නො අසන්න. නොකියමි.
ඒ කීවේ ගෘහ මූලිකයා ගැනය.මේ අසිරිබර පියැස්ස යට ජීවත්වන එකිනෙකා ගැන මා දකින විදිය දකින ලෙසටම ලියන්න යැයි මට කීවේ අපේ ලොකු අයියා හෙවත් චන්දන අයියාය. චන්දන දයා සිරිවර්ධන යනු සරසවියට ගසට පොත්ත මෙන් බැඳුණු ප්‍රතාපවත් චරිතයක් බව අනාදිමත් කාලයක සිට සරසවිය කියවන්නන් දන්නා දෙයකි. මේ ලොකු අයියා හිටි ගමන් ම කොකු අයියා වන්නේ අසාධාරණය හමුවේ බව මා දන්නේ මා ලේක් හවුස් ආයතනයට පැමිණ ටික කාලයක් ගිය පසුවය. බුදුසරණ පුවත්පතේ පතාක යෝධයකු වූ දිවංගත ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී දයා සිරිවර්ධනයන්ගේ පුතණුවන් යැයි චන්දන අයියා කාටවත් කියනු මා අසා නැත. එවැනි මාධ්‍යගුරුවරුනට උපහාරයක් ලෙස මා එතුමන් සිහි කළ යුතුය.එහෙත් කුමක් ඉවත් නොකළද මේ කොටස මේ ලිපියෙන් ඉවත් කරන ලෙස චන්දන අයියා බලපෑම් කරනු ඇත.
“ අනේ බං මේ කෑල්ල කපල දාමු නේද බං”
ඒ ස්වරය එසේය.
“එකසිත පිටු ටික දාමුද කොල්ලෝ”
චන්දන අයියා සරසවිය පිටු සැකසුම් දෙපාර්තමේන්තු ප්‍රධානී චක්සු වන්සිත් සමඟ වැඩ අරඹන්නේ එසේය. මා හිතාදර චක්සු ගැන පසුවට කතා කිරීමට බලාපොරොත්තු වන බැවින් දැන් ආයෙත් කතාව චන්දන අයියා වෙතටය.
මා දුටු දවසේ සිටම චන්දන අයියාද එකසේමය. ඔහු අඳීන පලඳීන විදිය හෝ ඇඳුම්වල පාට හෝ වෙනස් වනු මා වසර විසිදෙකකට ආසන්න කාලයකදී දැක නැත. එසේම චන්දන අයියාගේ කතා විලාසය හෝ මාතෘකාද කිසිදා වෙනස් වන්නේ නැත. ඒ සියලුදේ ඇතුළත ඔහුගේ වෙනස් නොවන තවත් ගුණයක් වන්නේ හෘද්‍යාංගම හිතවත්කමය. මා ලේක් හවුස් ආ මුල්ම කාලයේ හමුවූ ඔහු තවමත් එසේමය.
චන්දන දයා සිරිවර්ධන යනු කියන දේ කියන විදියටම ඕනෑ නසරාණියෙක් යැයි මට කිව හැකි අත්දැකීම් ඇත.
“ මල්ලි හෙට උදේ 10.00ට පිටු හදනවා. උඹ බීල පිස්සු කෙළල උදේ ආර්ටිකල් එක නෑ කියන්න එපා “
සරසවියේ නියෝජ්‍ය කතුවරයා ලෙස චන්දන අයියා වැඩ කළ සමයේ ඔහු මට කියන්නේ එසේය. එහෙම කිව්වොත් අනිවාර්යයෙන් 10.00ට ආර්ටිකල් එක දිය යුතුමය. නැත්නම් බොක්ක හොඳ චන්දන එන්නේ කොක්කද අතැතිවමය.වැඩක් භාරදුන් මොහොතේ සිටම චන්දන අයියා ඉන්නේ ඒ වැඩේ පස්සේය. ( මේ ලිපිය ලියන්නට බාරදුන් මොහොතේ සිට ලියා අහවර වනතෙක් ලද අත්දැකීම් ද ඊට වෙනස් නොවූ බව සැලකිය යුතුය)
ඒ චන්දන අයියාගේ හැටිය. හිටි ගමන් ළිපට භූම්තෙල් දැම්මා සේ ඇවිළෙන චන්දන අයියා ඒ ඇසිල්ලේම නිවෙනු මා ඕනෑතරම් දැක ඇත.
පුවත්පත් කලාවට සේම අපේ චන්දන අයියා තවත් එක් ක්ෂේත්‍රයක ප්‍රවීණයකු වන්නේය. ඒ පොල්වගාව ගැනය. පොලීසියානුවන්ටත් වඩා, පොල් පිළිබඳ පර්යේෂකයන්ටත් වඩා චන්දන අයියා පොල් වගාව ගැන දන්නා බව මම දන්නේ අප ජීවත්වන වත්තේ එකිනෙකා සමඟ කරන කතා බහ මටද නිතර ඇසෙන නිසාය.
කෙසේ හෝ වේවා චන්දන අයියා සරසවියට ගෞරවනීය ආදරයක් දක්වන සෘජු, සංවේදී මෙන්ම හෘද්‍යාංගම මිනිසෙකු සේම මිතුරකු බව කිව යුතුමය.
ඊළඟට එන්නේ සරසවිය සුවඳ කරවන සුපුෂ්පිත පුෂ්පානන්දය වෙතටය. ඒ අපේ හේමාලි අක්කාය. ඇය ලෝකයම දන්නේ හඳුනන්නේ හේමාලි විජේරත්න ලෙසට ය. හේමාලි අක්කාගේ ලිපි මා ආධුනික පුවත්පත් ලේඛකයකු කාලයේද කියවා අධ්‍යයනය කර ඇති බව පළමුව ලියා තබන්නේ ඇයට එසේත් නැත්නම් අපේ අක්කාට කරනු ලබන ගෞරවයක් ලෙසටය. ඉන් පසුව මා ආසා ආදරය කරන්න්නේ හේමාලි අක්කාගේ හුස්ම ගන්නා අකුරුවලටය. හේමාලි අක්කාගේ අකුරු සහ ඒ අකුරින් ලියන ලියමන් එතරමටම අලංකාරය. නිර්මාණශීලී ලේඛනයේ මුරණ්ඩු අත්හදාබැලීම් ඕනෑතරම් මා හේමාලි අක්කාගෙන් දැක ඇත. සෑම විටම අනෙකා ලියනදේට හාත්පස වෙනස් දේ වෙනස් ලෙස ලියන්නට ඇය බය නැත. ඒ නිකමට කීවේ හේමාලි අක්කාගේ පත්තර බස සහ මුරණ්ඩු සෞම්‍ය අකුරු විජ්ජාව ගැන මා දකින විදිහ ය.
මෙසේ මා වැනූ හේමාලි අක්කාගේ කට සැරය. අපි එකක් කීවෝතින් අක්කා දහයක් කියන්නීමය. කුණුහරුපයක් වුවද සෞම්‍යව බෙදා ගත හැකි තරමට ඇය සමාජශීලීය.
“ ඔව් බං ඒකනේ “ හේමාලි අක්කා සහෘදයින් සමඟ කතා කරනා හැටි එසේය. දැන් කාලයේ අපට හමුවන ටෙලිෆෝන් ජර්නලිසම් කරන නෝනලාට හේමාලි අක්කාගෙන් ගත හැකි උගතමනා ශිල්පයක් ගැනද මෙහි මතු ආරක්ෂාව පතා ලියා තැබිය යුතුය.
මා දන්නා කාලයේ සිට හේමාලි අක්කා ෆෝන් එකකින් නළු නිළියන් ගේ සාකච්ඡා හෝ පුවත්පතට අවශ්‍ය දේ ලබා ගත් බවට අසා නැත. එදා සිටම හේමාලි අක්කා සම්මුඛ සාකච්ඡා පවත්වන්නේ ඔහුට හෝ ඇයට සැබෑවට සජීවිවම සම්මුඛවය. එහි ඇති ආනන්දය සහ සතුට දැන් මා ඇය අත්විඳගනු දකින්නේ හේමාලි විජේරත්න රූපයෙන් නොදන්නා නළුවකු නිළියක සෙවීම අපහසු කාරණාවක් වීම නිසාය. එදා රිදී තිරයේ පතාක යෝධයන් ගේ සිට මෙදා පුංචි තිරයේ පුංචි චරිතයට පණ පොවන ආධුනික නළු නිළියන් පවා හේමාලි අක්කා හොඳීන්ම හඳුනන්නේ “ අපේ හේමාලි“ ලෙසට ය.
අපි ජීවත්වන තැන වත්තක් ලෙසට මා හැඳීන්වූවා ඔබට දැන් අමතකව ඇත. අපේ වත්තේ එකිනෙකට වෙනස් චරිත ජීවත්වන බවද මා කී බව යළිත් මතක් කර ගන්න. මේ වත්තේ හේමාලි අක්කාද විශේෂ වන්නේ ඇයද විහිළු තහළුවට උපන් හපන් නිසාය.
අපේ වත්තේ සද්දෙ වැඩි වෙද්දී අපේ ගෙදර දොර ඇරගෙන මම එළි බසින්නේය. ඒ සද්දය තරමක් උත්සන්න වෙන විටය.එසේ එළියට පැමිණෙන විට “ යකෝ කතා නොකර පත්තර කරන්න පුළුවන්ද බං” එසේ කියන්නී අපේ හේමාලි අක්කාය.ඒසේ සිදුවී විනාඩි කීපයක් යනතෙක් අපි අතර තරහවක් ඇරඹෙන්නේය. විනාඩි කීපයකින් යළි අප නෙත ගැටුණු විටදී “ මල්ලී උඹ හවස කුසුමාසන බලන්න යනවද? “අසන්නීද හේමාලි අක්කාය.එතකොට මතක් වෙන්නේම “ඉංගම්මාරුව“ය. ඉංගම්මාරුව බැලුවෝ එහි වෙසෙන අයගේ සමඟිය සහ අප්‍රකට ආදරය ගැන හොඳීන් දන්නෝය.
ඒ සැබෑ හේමාලි අක්කාගේ හැටිය.ලේක් හවුස් ආයතනයේ පමණක් නොව ලංකාවේ සෑම පත්තර කන්තෝරුවකම ඉන්නා අය හේමාලි අක්කාගේ ගජ මිතුරන් ය. හොඳ තෙත හදවතක් නැති කෙනෙකුට එසේ ජීවත්වන්නට බැරිය.
හේමාලි අක්කා කොහොමත් ලස්සනය. පිළිවෙළය. ඒත්… සන්ග්ලාස් දැම්මාම අක්කා තවත් ලස්සන බව ඒ සඳහා නිතර උනන්දුවීම පිණිස මතක් කළ යුතුමය.
අපි ජීවත්වන සුන්දර වටපිටාවට වඩාත්ම ප්‍රේම කරන තවත් චරිතයකි. ඒ සමුද්‍රිකා වර්ණකුල අක්කාය. මා පරිසරයට ප්‍රේම කරනවා යයි කීවේ සමුද්‍රිකා අක්කා කිසිදු දිනක අපේ මල්වත්තට ශබ්ද දූෂණය කරන්නේ නැත. සමුද්‍රිකා අක්කා කතා කරනු මා දැක ඇති මුත් රූපය නොදකින මොහොතක නිශ්චිත වශයෙන් ඇයගේ හඬ හඳුනා ගැනීමට තරම ඒ හඬ මට මතක නැත. ඇය එතරමට නිවුණු සැනසුණු නිහඬ චරිතයක ලෙසටයි මා දකින්නේ.
සමුද්‍රිකා අක්කා අතුරු මිතුරු,මිහිර පුවත්පත්වල කලක් සේවය කළද ඇය මා හඳුනා ගන්නේ ආරෝග්‍යා පුවත්පත මුද්‍රණය වන කාලයේදීය. ආරෝග්‍යා පුවත්පත සඳහා උපරිම දායකත්වයක් දැක්වූ සමුද්‍රිකා වර්ණකුල ආරෝග්‍යා හි සහ මිහිරෙහි නියෝජ්‍ය කතු පදවියද දැරුවාය. කලක් ලේක් හවුස් රේඩියෝවේ නිවේදිකාවක් ද වූ ඇය එදවස කළ ගුවන් විදුලි වැඩසටහන් බොහෝ දෙනකු සුව මඟට ගෙන ඒමට ඔවා දුන් ඒවා බවද කිව යුතුය.
එකවරම සරසවියට මාරුවක් ලැබූ සමුද්‍රිකා අක්කා අහසින් පොළවට වැටුණක් මෙන් වෙනස්ම ක්ෂේත්‍රයකට එක් වන්නේ 2022 වසරේදීය. ඉන් පසුව ඒ කලාවේ සුක්කානම අල්ලා ගත් සමුද්‍රිකා අක්කා අද වෙනතෙක්ම සරසවිය පවුලේ රැඳෙමින් සේවය කරන්නීය.
හීන්දෑරි සමුද්‍රිකා අක්කා දකිනා ඕනෑම කෙනෙකු සමඟ කුලුපගව සිනාසෙන්නීය.නිහතමානීවම ඔළුව සලන්නීය. සරසවියට ආභරණයක්ව දිදුලන්නීය.
ඊළඟට එන්නේ ගොඩක් දේ කියන්නට ඕනෑ ඒත් ඇතැම් දේ ස්වවාරණයෙන්ම නොලිය සිටිය යුතුයැයි මමද තහංචි දාගන්නා කෙනෙක් ළඟටය. ඒ නිශ්ශංකය. සරසවිය ධාවනය වන රියක් නම් එහි එක් රෝදයක් ලෙස නිශ්ශංක හැඳීන්වීම වරදක් නැතැයි සිතමි. සරසවියේ ඡායාරූප ශිල්පියා වන නිශ්ශංක එසේත් නැතිනම් දේශමාන්‍ය නිශ්ශංක විජේරත්න..උනන්දුවාය. ඕනෑම දෙයක් බෑ නොකියම ඌ (ආදරේට) සියලුම දේ සොයමින් සරසවිය නේකවිධ ආභරණයන්ගෙන් සරසවාලයි. ඡායාරූප ශිල්පියකුට එහා යමින් මාධ්‍යවේදියකු ලෙසටද දස්කම් දක්වන නිශ්ශංක වතු ජනතාව සමඟ ඉතා සුහදශීලී මිත්‍රත්වයක් ගොඩනඟාගත් සගයෙකි. ඉඳහිට කුණුහරුප කතාවක් හෝ දෙපැත්ත කැපෙන කතාවක් කියන විට මමද ඇතැම්විට ඔහු සමඟ එක්ව එය පෝෂණය කරනු ලබන්නේ පත්තර කන්තෝරුවල ඒ සතුට සහ අපේ බසින් කියනවා නම් ඒ ආතල් එක තිබිය යුතුම නිසාය.
නිශ්ශංකයා හැමෝටම ආදරය කරන චරිතයක් බව කිවමනාය. කට සද්ද වුණත් උගේ හිත සහ හදවත බොහෝ සයිලන්ට් කූල් එකක් බව වටහා ගැනීමට කාට හෝ කරදරයක් විය යුතුය. අපේ වත්තේ කාට කරදරක් වේද නිශ්ශංක ඒ සඳහා පිහිටවීමට පෙරමුණ ගන්නේමය. ඒ නිසාම නිශ්ශංකට සියලුදෙනා කිව්වද නොකීවද ආදෙර්ය. වගකීමක් වගවීමෙන් ඉටු කිරීමට නොබියවම භාරදිය හැකි නිශා වල බහිමින් කල්ලි ගැසෙමින් කරනා ආතල් කතා බහ ඒකාකාරී බවෙන් අපේ ජනී ජනයා සිනාවෙන් මුසපත් කරවන්නේය.නිවාඩුවක් පෝයක් අලුත් අවුරුද්දක් ගාණකටවත් නොගන්නා ඌ සරසවියේ ගමනට දෙන ශක්තියට රෙස්පෙක්ට්…මචං…
ඊළඟට මතක්වෙන්නේ බය නැති නයනාංජලී දෙහිපිටිය අක්කාය. නයනාංජලී අක්කා දුටු පළමු දිනයේම මට මතක අක්කා නොව අක්කා දමා සිටි මල් මල් හෙයා බෑන්ඩ් එකය. නයනාංජලී අක්කා සරසවියට එක් වන්නේ සරසවිය සම්මාන උලෙළ සමඟය. අවසන් වරට පැවැති තිස්පස් වැනි සරසවිය සම්මාන උලෙළ වෙනුවෙන් දිවා රෑ වෙහෙසුණු නයනාංජලී අක්කා ප්‍රවීණ රංගන ශිල්පී සෝමසිරි දෙහිපිටිය මහතාගේ ආදරණීය දියණිය බව මා දැනකියා ගත්තේ පසු කාලයකදීය. සැවොම සමඟ ඉතා මිත්‍රශීලී නයනාංජලී ද සරසවියේ තරමක සයිලන්ට් චරිතයකි.
ලේක් හවුස් මාධ්‍ය ඇකඩමියෙන් මාධ්‍යකරණය ගැන උගත් ඇය ඉන් පසුව ක්‍රමානුකූලව ආ ගමනේ අදවනවිට සැවොම දන්නා හඳුනන මාධ්‍යවේදිනියක් ලෙස දස්කම් දක්වන්නීය.
නයනාංජලී අක්කාගේ බර කොතරම්ද මා දන්නේය. එක්වරක් හදිසියේ පය පැටළුණු අක්කා උස්සන්නට වූයේ මටය. බර දන්නේ ඒ නිසාය.ඇය කඩියකු මෙන් කඩිසර මී මැස්සෙකු මෙන් කලබල නමුත් නිවුණු සැනසුණු චරිතයක් ලෙස මා ඇසුරු කළ කාලයේ දැන ගතිමි. ෆැෂනබල් නයනාංජලී අක්කා ද සරවිය සරසන මල් කිණිත්තේ මලකි.
සරසවියට එක් වූ අලුත්ම සම්පත මලින්ත විතානගේය. මලින්ත මලයා ළඟින් ඇසුරු කිරීමට කාලයක් නොලැබුණද මා ඔහු පිළිබඳ දැන කියා ගත්තේ ඔහු එක් වරක් සරසවිය අපේ ස්ටූඩියෝවේ කළ සාකච්ඡාවක් දෙස බලා හිඳීමෙනි. ඔහු ඇසූ ප්‍රශ්න සහ සිනමාව ගැන කළ කතා බහ මා අසා සිටි බවක් මේවනතෙක් ඔහුද නොදන්නවා ඇත. නමුත් සරසවියට එවන් නව දැනුමැති නව මාධ්‍යවේදියකු සම්පතක් බව කිව යුතුය. විදෙස් චිත්‍රපට සහ ඒ ආශ්‍රිත යාවත්කාලීන දැනුමක් ඇති මලින්ත මලයා අනාගතයේ සරසවිය වෙනුවෙන් කතුතුමන් කළ හොඳ ආයෝජනයක් ලෙස සිතමි.
එසේම කාටවත් කරදරයක් නැති අමල් අයියා ගැනද කිය යුතුමය. අමල් යශෝමන් ජයසිංහ ද කාලයක පටන් ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදී නාමාවලියේ සිටින ජ්‍යේෂ්ඨයෙකි. සිළුමිණ,දිනමිණ සහ ලේක් හවුස් ආයතනයේ පුවත්පත් සඳහා මාධ්‍යකරණයෙන් දායකත්වය දැක්වූ අමල් අයියාගේ ලොකුම විනෝදාංශය ලිවීම බව මම සිතමි. කනට කොඳුරා කිවයුතු දේ කියන අමල් අයියා ඉතා නිවුණු සැනසුණු මහත්මා ගුණයෙන් සුපෝෂ්‍ය අයෙකි. ඔහු කිසිවකුටත් කරදරයක් නැති ක්ලීන් සූට් අදින මහත්මයෙකි.
මාධ්‍යවේදියකුට අමතරව අමල් අයියා දක්ෂ ගායන ශිල්පියෙකි. පණ්ඩිත් අමරදේවයන් ගේ ගීත ගැයීමට ඔහු තුළ ඇති විස්මිත හැකියාවෙන් තවමත් හෙතෙම හරිහමන් ප්‍රයෝජනයක් නොගත් බව මගේ පෞද්ගලික හැඟීමයි. කුමන හෝ කාර්‍යකට කවුරුන් හෝ හමුවීමට පැමිණියහොත් අමල් අයියා ඔහුට කතා කරන තුරුම බලා හිඳීයි. ඒ ඔහුගේ මහත්මා ගතියයි.
සරසවියේ අකුරු අතර රැඳෙන මනෝජ් රුක්මල් කුමාරසිංහ ද වසර කිහිපයකට ඉහතදී සරසවියට සම්බන්ධවූ මාධ්‍යවේදියෙකි. අපගේ සෝදුපත් අංශයේ පූර්ණකාලීන සාමාජිකයකු වන මනෝජ් සරසවියට කුඩා කල සිටම කොන්දේසි විරහිතව පෙම් කළ බව මා අසා ඇත. ලක්බිම, ලංකාදීප සහ මව්බිම පුවත්පත් සමඟද කටයුතු කළ මනෝජ් ද සරසවියේ සුවඳ පාඨක සැමට බෙදීමට ලබාදෙන සහය බොහෝය.
දැන් කතු මඩුල්ලේ තතු කියා නිමවෙමින් පවතී. අමතක අතපසු වූ දේ ඇත්නම් මම සමාව අයදිමි.
දැන් කතු මඩුල්ල ගැන කතා අහවරයි.
ඊළඟට කතා කරන්නේ සරසවියේ සැරම සවිය සපයන චක්සු වන්සිත් අබේවික්‍රම ගැනයි. චක්සු සහ මම සමකාලීන මිතුරන් වේ. මම ඔහු අමතන්නේ කියන්නේ වන්සි පුතා ලෙසයි. එදා සිට අද දක්වාම නොබැඳුණු මිතුදමක් හිමි චක්සු සැබෑ දක්ෂයකු යැයි අවිවාදයෙන් මට ලියා තැබිය හැකිය. සිංහල බසෙහි මෙන්ම මාධ්‍යකරණ හරඹයෙහි ප්‍රකට යෝධයකු වූ නැසීගිය ආචාර්ය රංජිත් ඇල්.අබේවික්‍රමයන්ගේ පුත්‍රයා වන චක්සු සයිලන්ට් කාර්‍යසූරයෙකි. සරසවිය පුවත්පතෙහි නිර්මාණ කතුවරයා වන චක්සු තමාගේ රාජකාරිය දේව කාරිය කරගත් අයෙකි. ඔහුගේ මුවෙහි සිනාවක් නැති වෙලාවක් මා දැක නැත. ඉස්සර ඔහුට කවුරුන් හෝ බණින විටද ඔහු කරන්නේ සිනාසෙන එකය. වසර දශක දෙකකට ආසන්න කාලයකට පසුවද අදද එය එසේමය. ඔහු ලෝකය පෙරළුණද ගණන් ගන්නේ නැත.
ඔබ අතරට එන සරසවියේ පිටු ලස්සන කරමින් පිළිවෙළ කරන චක්සුුවා ඉහළ ගුණාංගයන්ගෙන් සපිරුණු කලණ මිතුරකු ලෙස මට හැඳීන්වීමේ අයිතියක් ඇත.
ඉස්සර ඔහු බයිසිකල් සූරයෙකි. ලංකාවට ආ අලුත්ම වර්ගයේ බයිසිකලයක් මිලට ගත් ඔහු සමඟ ඒ බයිසිකලයේ පළමු ගමන ලෙස කොළඹ කරක් ගැසූ අතීතයක් අපට තිබුණි. නිවී සැනසී එළිය විහිදුවාලන වන්සි පුතා මා දුටු හැම විටම කොක් හඬලා සිනාසී අහන්නේ “ වට්ස්ඇප් මෑන්” ලෙසය. එය අප සුබ පතා ගැනීම උදෙසා වසර විස්සකට වැඩි කාලයක් භාවිත කළ වචනයකි.
චක්සුුවා සරසවියට පමණක් නොව අනෙකුත් සෑමදෙනාටම උදව් අවශ්‍ය මොහොතක බෑ නොකියා ඉදිරිපත්වන හැන්ඩ්සම් මිතුරෙකි. සරසවිය මෙතරම් ලස්සන කරන වන්සිට ගෞරවය.
ඊළඟට කියන්නේ නිලක්ෂි ආරියරත්න ගැනය. ඇය සරසවියේ මාධ්‍යවේදීන් ලියන සෑම අකුරකම මුද්‍රිත හුස්මයි. අකුරෙන් අකුර අමුණා සරසවිය ලස්සන කරන නිලක්ෂිද ලස්සන තරුණියකි. සිනාවෙන්ම වැඩ කරන ඇය අඬන්නට පටන් ගතහොත් නවත්තන්නටද බැරිය. එය එසේ කීවේ ඇයගේ සංවේදී බව කියා තැබීමටය.
බොහෝ විවාහ විශ්ලේශකයන් අනාවැකි පවසන්නේ මෙම සම්මාන උලෙළින් පසුව ඇයගේ විවාහය සිදුවන බවය. තමාගේ හිමිකාරයා සරසවිය සිනමා සම්මාන උලෙළකදී පවා හමුවිය හැකි බව නිලක්ෂි මතක තබාගැනීම වැදගත් ය. ඇයද බොහෝ කාලයක සිට සරසවිය සැරසීම පිණිස කටයුතු කරන්නියකි.
ඇය ගැන මතකයට නඟන මොහොතේ සරසවියේ මීට පෙර මෙම තනතුර දැරූ ගාමිණී අයියාද මතක් කළ යුත්තේ ඔහු ලේක් හවුස් ආයතනය වෙනුවෙන් වසර පනහකටත් වඩා කළ සේවය ඇගයීම පිණිසය.සරසවියේ මගේ පළමු කොපිය ටයිප් කළේද ගාමිණී පෙරේරා අයියාය.ඔහුට දිගාසිරි පැතීමටද මෙය අවස්ථාව කර ගැනීම යෝග්‍යයැයි සිතන නිසාම මෙලෙස මම ලියා තබමි.
සරසවිය ඩිජිටල් යුගයක් කරා ශීඝ්‍රයෙන් පැමිණීම ජයග්‍රහණයකි. ඒ සඳහා කැපවූ අය අතර ගයාන් රත්නායක මුලින්ම හිඳීන චරිතයකි. ඩිජිටල් මාධ්‍ය ඒකකයේ ගයාන් නැත්නම් ගයියා සරසවියේ දෘශ්‍ය මාධ්‍ය කටයුතුවල භාරකරුවාය. අස්සක් මුල්ලක් නෑරම සියලු දේ සරසවියේ ඩිජිටල් මාධ්‍ය වෙත ගෙන ඒමට ගයියා ගහන ගේම සුළුපටු නැත. මුහුරත් මාධ්‍ය හමුවක් ඇති සෑම තැනම ගයියා පෙනෙන්නට ඉන්නේය. ඩිජිටල් මෙහෙයුමේ සිටින සියලුදෙනා ගයියාගේ මිතුරන් ය. කඩියෙක් වාගේ කලබල ගයියා කවියෙක් මෙන් සුමට ය. ගයියා සහ සරසවිය ගහට පොත්තක් ලෙස බැඳෙන්නේ ඒ නිසාය.
අවසානයේ සමන්ති කුලසේකර ගැන කියන්නට උවමනාය. සමන්ති අපේ පරිශ්‍රයේ එහෙමත් නැත්නම් අපේ උද්‍යානයේ නඩත්තු කටයුතු කරන්නීය.සැමට අවශ්‍ය පහසුකම් කඩිනමින් සපයන සමන්ති ඉතා අවිහිංසක චරිතයකි. ඇය නිහඬව කරනා සේවය සරසවිය ඇතුළු අනෙකුත් සියලු වාර ප්‍රකාශනයන්ගේ උන්නතිය වෙනුවෙන් වක්‍රව බලපානු ලබන සාධකයකි. සමන්ති කරන රාජකරියට අප සැමගේ ස්තූතිය හිමිවිය යුතුයැයි සිතමි.
දන්නා පරිදි අපේ සනුහරේ ගැන ලියා අවසන් ය.
මට පැවරුණු වගකීම සරසවියේ අය ගැන මා දකින විදිය ලිවීමය. මෙය මා අපේ එවුන් ගැන පෞද්ගලිකව දකින ආකාරයි.
මේ මොහොතේ සරසවිය මෙතැනට ගෙන ඒමට මෙතෙක් කැප කළ සියලුම කතුවරුන්ට සහ මාධ්‍යවේදීනට මාගේ ගෞරවනීය ආදරය පිළිගැන්වීමට මම කැමැත්තෙමි.
අපි සියලුදෙනා එක් වත්තක පිපුණු සුවඳ මල් යැයි මම සිතමි. ඒ මල්වල සුවඳ සදාකාලිකව සැමගේම මතක සුවඳක්ම වේවායි පතමි.
ප්‍රධාන කර්තෘ – තරුණී
චතුර ගීතනාත් බණ්ඩාර