ප්‍රවීණ සිනමා නළු රවීන්ද්‍ර රන්දෙණිය වෙනුවෙන් පසුගියදා පැවති උපහාර උළෙල අති උත්කර්ෂවත් අන්දමින්, කාගේත් කීර්ති ප්‍රසංශා මැද අවසන් වූවා. මෙම උළෙල පසුපස සිටි ආර්ථිකමය හයියට අපේ රටේ දේශිය ව්‍යාපාරිකයකු සිටිය බව මේ වන විටත් බොහෝ දෙනෙක් දන්නා කරුණක්. සරස්වතී සහ ලක්ෂ්මි එක්තැන් වූ තැන මැවෙනා ඒ සොඳුරු නිමැවුම පසුගියදා අපි අත්දුටුවා. අපි හැමදාමත් සරස්වතී ගැන විවිධ අයුරින් කතා කලද සරස්වතිය ඉහළට ඔසවා තබන ලක්ෂ්මි පිළිබඳ වද කතා කළ යුතුයැයි මෙවර අප සිතුවා.
එය එසේ වන්නේ මෙකී ව්‍යාපාරිකයා හුදු ව්‍යාපාරිකයකු පමණක්ම නොවන නිසාය. ඔහු කලාවට ඉතාමත්ම කැමැති, කලාව ඇසුරේ තම ජිවිතය වඩවා ගත් තැනැත්තෙකි. ඔහු අන් කිසිවකු නොව රවීන්ද්‍ර රන්දෙණිය උපහාර උළෙලේ ප්‍රධාන අනුග්‍රාහක දායකත්වය සැපයූ ෆ්‍රීලන් සමුහ ව්‍යාපාර අධිපති ජයරත්න ගමගේය.
මෙම ව්‍යාපාර සමූහයට කලාව හා බැඳුණු සෘජු සබඳතාවයක් නොවුවත්, මෙරට ප්‍රධාන පෙළේ කුළුබඩු නිෂ්පාදන ආයතනයක් වශයෙන් නොමැකෙන නාමයක් තබන්නට ඔවුහු සමත් වූහ. වර්තමානය වනවිට මෙරට පමණක් නොව විදේශිය වශයෙන්ද තම ව්‍යාපාර ජාලය පුළුල් කර ගත් ඔවුන් එම ක්ෂේත්‍රය තුළ කීර්තිමත් නාමයකට හිමිකම් කියන්නට සමත් වූවන්ය. මෙකි විශ්වසනීය නාමය මෙවර ඔවුන් යොදා ගත්තේ මේ රටේ දශක ගණනාවක පුරා ජනතා ආකර්ෂණය දිනාගත් දේශිය සිනමාව වෙනුවෙනි. මෙරට සිනමා කර්මාන්තය තුළ මෙන්ම, සිනමා කලාව තුළ අති විශිෂ්ට නාමයක් රඳවමින් හෙළ සිනමා කලාවට අනුපමේය මෙහෙවරක් කළ, වර්තමානයේ මෙරට සිටින ශ්‍රේෂ්ඨතම කලාකරුවකුට උපහාර පුදන්නට සිය අනුග්‍රාහක දායකත්වය සපයමින් ඔවුන් මෙරට සිනමා ක්ෂේත්‍රය තුළ තම නාමය අමරණීය ලෙසින් සනිටුහන් කළේය. මෙහි වටිනාකම අදට වඩා ඔවුනට දැනෙනුයේ අනාගතයේදීය. මෙවන් කලා කටයුත්තක් වෙනුවෙන් අනුග්‍රාහක දායකත්වය දරන්නට පෙළඹුන කාරණා පිළිබඳව එහි අධිපති ජයරත්න ගමගේ මහතා පසුගියදා අප සමඟ කල කතා බහක දී මෙසේ අනාවරණය කළේය.
‘‘ඇත්තටම මම රවීන්ද්‍ර රන්දෙණිය උපහාර උළෙල වෙනුවෙන් සම්බන්ධ වෙන්නෙව හරිම අහම්බයකින්. මොකද මීට ප්‍රථම අපේ ආයතනය මෙවැනි අවස්ථාවක් වෙනුවෙන් සම්බන්ධ වී තිබුණේ නෑ. මේ අවස්ථාව පිළිබඳ මා දැනුම්වත් කරන්නේ මගේ හොඳම මිතුරකු වන කිරිබත්ගොඩ චානක බ්‍රාස් අධිපතිතුමන්. එතුමන් සහ රවීන්ද්‍ර රන්දෙණිය සමීප හිතවතුන් සහ අසල්වැසියන්. ඔහු තමයි මට මෙවැනි උත්සවයක් පවතිනවා හැකිනම් අනුග්‍රාහක දායකත්වයක් දක්වන්න කියන ආරාධනාව කළේ.
ඉතින් මේ සම්බන්ධව අපි නොයෙක් වර හමුවි කතා බහ කළා. මුලින්ම අපි රවීන්ද්‍ර රන්දෙණිය මැතිතුමන්ගේ නිවසේ සාකච්ඡා වට කිහිපයක් පැවැත්වූවා. මේ සාකච්ඡාවන් සමඟම මට හිතුණා අපි මේකට දායකත්වයක් දැක්වුවොත් හොඳයි කියලා.
රවීන්ද්‍ර රන්දෙණිය කියන්නේ මේ රටේ සිනමාවට වටිනා වස්තුවක් ඔහු සිනමා ක්ෂේත්‍රයට කළ සේවාව පිළිබඳ මට තියෙන්නේ ගෞරවනීය හැඟීමක්. අපි කුඩා කල පටන්ම ඔහු රඟපෑ චිත්‍රපට නරඹලා, ඔහු අපගේ වීරයෙක් බවට පත්වුණු කෙනෙක්. ඉතින් එවැනි කෙනෙක් වෙනුවෙන් මෙවැනි උපහාරයක් පිරිනමන්න මට දායක වෙන්න ලැබෙනවා කියන එක මට විශාල සතුටක් අභිමානයක්. මම ජිවිතේ කිසිදු දිනක හිතුවේ නෑ ඔහු වැනි මගේ ලෝකයේ සිනමා විරයෙක් බවට පත්වී සිටි කෙනෙකු වෙනුවෙන් මට මෙවැනි අනුග්‍රහයක් දක්වන්න පුළුවන් වෙයි කියලා. ඉතින් ඒ නිසා මම කැමැති වුණා ඔහු වෙනුවෙන් කරන මෙම ප්‍රණාම උළෙලේ ප්‍රධාන අනුග්‍රාහක දායකත්වය දක්වන්න.‘‘
සිනමාව යනු මායාවකි. එහෙත් ඒ මායා ලෝකය තුළ සිටින්නන් අපේ හදවතේ ජිවත් වෙන අපූරුව කොයි තරම් දැයි මේ කතාවෙන්ම පැහැදිලි වන්නකි. කුඩා කල චිත්‍රපට වලින් දුටු, තමන්ගේ ලෝකයේ වීරයන් වෙනුවෙන් තමන් ව්‍යාපාරිකයෙකු වී, ජීවිතය ජයගත් මිනිසෙකු වීමෙන් පසු දක්වනු ලබන කෘතවේදිත්වය කෙතරම් අගනේද? රවීන්ද්‍ර රන්දෙණිය වෙනුවෙන් ජයරත්න ගමගේ මහතාගේ ආදරය, ගෞරවය ඔහු පළකරනු ලැබූයේ එපරිද්දෙනි.
‘‘ ඇත්තටම මම විශ්වාස කරන දෙයක් තමයි අපි කෙනෙකුට කෘතගුණ දක්වන්න ඕන ඒ පුද්ගලයා ජීවිතුන් අතර ඉන්නවිටයි. ඔහු හෝ ඇය තම ක්ෂේත්‍රයන් වෙනුවෙන් කළ අසීමිත කැප කිරිම්, වෙනුවෙන් යම්කිසි ගෞරවයක් පුද කරන්නේ නම් එය ඔහුගේ හෝ ඇයගේ ඇස් පනාපිට සිදුකළ යුතුයි. නැතිනම් කෙනෙක් මිය ගිය පසු අප කෙතරම් ගුණ කථන පැවැත් වුවත්, තෙරම් උපහාර උත්සව සංවිධානය කළත් මම හිතන්නේ ඒකෙන් පලක් නෑ කියලයි. ඉතින් රවින්ද්‍ර රන්දෙණිය මහතාගේ ජිවිතේ ඇස් පනාපිටම ඔහු වෙනුවෙන් දක්වනු ලබන ආදරය, ගෞරවය කෙතරම්ද කියලා ඔහුට එදා දැක ගන්නට ලැබුණා. ඒ නිසා එතුමන්ට කොයි තරම් සතුටක්, තමන්ගේ ජීවිතය පිළිබඳ අභිමානයක් ඇති වෙන්න ඇතිද?
අපි කෙනෙකුට ලබා දිය යුත්තේ අන්න ඒ වගේ සතුටකුයි. මේ උපහාර උත්සවයට අපේ අනුග්‍රාහකත්වය දෙන්න මම තීරණය කරලා අපේ කළමණාකාරිත්වය ඒ පිළිබඳ දැනුම්වත් කළාම විවිධ ප්‍රශ්න කිරිම් තිබුණා. මේ වෙනුවෙන් අපට ලැබෙන්නේ මොනවද? යනාදිය පිළිබඳ?
ඇත්තටම කළමණාකාරිත්වයෙන් එවැනි ප්‍රශ්න කිරීම් එන එක සාධාරණයි. මොකද අපි මීට ප්‍රථම මෙවැනි දේ වෙනුවෙන් අනුග්‍රාහක දායකත්වයන් පිරිනමල නැති නිසා. නමුත් මම ඔවුනට පැහැදිලි කළා මෙවැනි කර්තව්‍යයක තිබෙන වැදගත්කම. ඇපි මේ කරන්න යන්නේ මේ රටේ ප්‍රවීණතම කලාකරුවෙක් වෙනුවෙන් උපහාර පිදීමක්. මේක මේ මොහොතේ නොමැති වුණත්, පසුව හරි අපිට ප්‍රතිලාභ ලැබේවි කියල. කොහොම හරි මගේ ඉල්ලීමට කළමණාකාරිත්වයත් එකඟ වුණා. ඒ අනුව තමයි අපි මෙම උළෙලට අනුග්‍රාහක දායකත්වය පිරිනැමුවේ.
කලාව පිළිබඳ කිසිදු හැඟීමක් නැති පුද්ගලයෙකුට මෙවැනි තීන්දු තීරණ එක්විටම ගැනීමට කිසිසේත් පහසු වන්නේ නැත. එහෙත් ජයරත්න ගමගේ මහතා ගේ යටි සිත තුළ පැවැති ආදරණීය කලාකරුවා මේ මොහොතේ ව්‍යාපාරිකයා අබිබවා නැඟී සිටින්නට ඇති බව අපේ හැඟීමයි. ඔහු සිනමාවට පෙම් බඳීනුයේ පාසල් වියේ කුඩා ශිෂ්‍යයකුගේ කාලයේ සිටය. ඒ අතීතය ඔහු අප හා සිහිපත් කරන්නට එක් වූයේ මෙලෙසය.
‘‘ මගේ කුඩා අවදිය ගෙවුණේ තිස්සමහාරාමයේ. මම පාසල් ගියේ තිස්සමහාරාමයේ දෙබරවැව මහා විද්‍යාලයට. ඒ කාලේ දෙබරවැවැ තිබුණා අසෝකා කියලා සිනමා ශාලාවක්. මම චිත්‍රපට බලන්න පුරුදු වුණේ එතැනින් තමයි. ඒ කාලේ ශත 60ක් දීලා චිත්‍රපට බලපු අතීතය මට තාමත් මිහිරි මතකයක්. අපි ඒ කාලේ චිත්‍රපට බැලුවේ ගැලරියේ ඉඳන්. ඒ කාලේ චිත්‍රපටවලට ගැලරියෙන් ලැබුණු විසිල් පාරවල් එහෙම තාමත් මට මතකයි. ඒ දවස්වල තමයි රවීන්ද්‍ර රන්දෙණිය මගේ සිනමා ලෝකයට එන්නේ. ඔහු පැමිණෙන්නේ දුෂ්ටයෙක් විදියට. බොහෝවිට ඔහු කරපු චරිත අපේ ආදරය දිනා ගත් චරිත නොවෙයි. පස්සේ කාලෙකදි තමයි තේරුණේ ඔහු තෙකරම් ප්‍රතිභා පූර්ණ නළුවෙක්ද කියලා. අපේ නොකැමැත්ත ඔහු දිනා ගත්ත කියන්නේ ඒ ඒ චරිතයන්ට ඔහු ඉතාම හොඳීන් ආරොපණය වෙලා තියනවා කියන එකනේ. කොහොම වුණත් මගේ උසස් අධ්‍යාපන කටයුතු වලට අපිට තිස්සමහාරාමය හැරදාලා මාතරට එන්න සිද්ද වෙනවා. විශ්වවිද්‍යාලයට යන්න ලකුණු මදි වෙන නිසා එතැනින් පස්සේ තමයි මම ව්‍යාපාර පැත්තට යොමු වෙන්නේ.
ඒ කාලේ මගේ පවුලේ ඥාතියෙක් හිටියා කුඩා මිරිස් මෝලක් තිබුණු. ඒ මිරිස් මෝලේ උදව්වට මම එතැන්ට එනවා. මම හීනෙකින්වත් හිතුවේ නෑ ඒ ගමන මේ වගේ විශාල ගමනකින් කෙලවර වෙයි කියලා. ඒ මෝලේ වැඩ කරන ගමන් මම සේල්ස් රෙෆ් විදියට පසුකාලීනව වැඩ කරන්න පටන් ගත්තා. මේ මෝල අයිතිවුණේ ලැනි. ඩී ගමගේට සහ එතුමාගේ බිරිඳ වූ ජයවති ගමගේ මහත්මියට. මේ යුවළට දුවලා දෙන්නෙක් හිටියා. ඉන් වැඩිමල් දියණිය මම විවාහ කර ගත්තා. ඊට පස්සේ පවුලේ ව්‍යාපාරයක් විදියට අපි මේක ගොඩනඟන්න පටන් ගත්තා. වසර 2002 දි තමයි අපි මේ ආයතනය ෆ්‍රී ලන් එන්ටර්ප්‍රයිසස් පුද්ගලික සමාගම වශයෙන් ගොඩ නැඟුවේ. දැන් මගේ නෝනා යසෝදා සහ ඇගේ නැගණිය තනුජාත් මේ ආයතනයේ අධ්‍යක්ෂවරියන් විදියට කටයුතු කරනවා. මගේ බිරිඳගේ පියා කුඩාවට පටන් ගත්ත මේ ව්‍යාපාරය අද හවුල් ව්‍යාපාරයක් බවට පත්වෙලා. දැන් අපි අලුත් අලුත් නිෂ්පාදන හඳුන්වාදෙමින් සාර්ථකව ඉදිරියට පවත්වාගෙන යනවාත විදේශිය වශයෙන් රටවල් ගණනාවකට අපේ නිෂ්පාදන අපනයනය වෙනවා. අපේ නිෂ්පාදන සියල්ලම අපි කරන්නේ දේශිය අමුද්‍රව්‍ය භාවිතා කරලා. මේ වනවිට අපේම අලෙවිසැල් 50ට ආසන්න ප්‍රමාණයක් දිවයින පුරා ස්ථාපනය කරලා තිබෙනවා. මාතර, ගාල්ල, තිස්සමහාරාම, මහනුවර ඇතුළු ප්‍රදේශ ගණනාවක ෆ්‍රීලන් කුළු බඩු අලෙවිසල් නමින්.
මෑත භාගයේ අපි අලුත් නිෂ්පාදනයක් ලෙසින් කරි සෝයා එකක් හඳුන්වා දුන්නා. ඒ වගේම තමයි මස්කරි තුනපහ අපි තමයි මුලින්ම හඳුන්වා දුන්නේ.”
ව්‍යාපාරික ලෝකයෙ නව දැනුම සොයමින් ඔහු තම ව්‍යාපාරය සාර්ථකත්වයේ ඉහළ හිණි පෙත්ත දක්වා ගමන් කරවීමට අවැසි දැනුම, අවබෝධය හා හැකියාවද ඔහු සතුයි. මේ තාක් පැමිණි ගමන් මඟ තුළ ඔහු ඔහුගේ දක්ෂතාවට පෙන්නුම් කර හමාරයි. ව්‍යවසායකයකු ලෙසින් තමන් ආයොජනය කරනු ලබන මුදල් වෙනුවෙන් කිසියම් ලාභයක් බලාපොරොත්තු වෙන්නාක් මෙන්ම ඔහු යහපත් බලාපොරොත්තු මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙන්, තමන් ධාර්මිකව උපයා ගන්නා මිල මුදල් යහපත් සිතින් ප්‍රදානය කරන්නටද කිසිවිටෙකත් මැළි නොවෙයි. කෙතරම් කාර්ය බහුල දිවි පෙවෙතක් ගත කළ ඔහු කුඩා කාලයේ පටන් ඇලුම් කළ සිනමාව, කලාව වෙනුවෙන් තම සිතේ උපන් සෙනෙහස කිසිදා ඔහුගෙන් ගිලිහී නොයයි. අදටද විවේකයක් ඇති සෑම මොහොතනම මේ අසිරිමත් සිනමාවේ අසිරිය නරඹන්නට ඔහු අමතක නොකරයි.
‘‘ ඇත්තටම මීට ප්‍රථම මට කලා කටයුත්තකට කියලා සම්බන්ධ වෙන්න අවස්ථාවත් සැලසුණා නම් සැලසුණේ, මා මිතුරු බන්දුල නානායක්කාරවසම් මහතා නිසාවෙන්. එතුමාගේ ‘රෑ ඉර පාන’ වැඩසටහන මාතර කරන්න මම තමයි අනුග්‍රාහක දායකත්වය සැපයුවේ. ඒක තමයි මම හිතන්නේ කලා කටයුත්තකට කියලා මම මුලින්ම සම්බන්ධ වුණේ. නමුත් සිනමාව සම්බන්ධයෙන් කිසිම වැඩකට මේ වනතුරු මම සම්බන්ධ වෙලා හිටියේ නෑ. කොහොම නමුත් දෛවෝපගත විදියට මගේ සිනමා වීරයා වෙනුවෙන්ම ඒ සම්බන්ධය ගොඩ නඟා ගන්න මට අවස්ථාව හිමිවුණා.
මුල් කාලයේ මම චිත්‍රපට නරඹන ප්‍රේක්ෂකයෙක් විදියට ගාමිණී, ජෝ, ටෝනි, විජය වැන්නවුන්ට මගේ හිත බැඳීලා තිබුණා. ඊට පස්සේ කමල් අද්දරආරච්චි, ජැක්සන් ඇන්තනී, වැන්නන්ට මම කැමැති වුණා. කොහොම වුණත් කලාකරුවන් වෙනුවෙන් පැවැත්වෙන මෙවැනි උත්සව සම්බන්ධයෙන් මට කියන්න තියෙන්නේ ඔවුන් මෙරටට කරපු සේවය වෙනුවෙන් මෙවැනි උත්සව උපහාර පැවැත්වීම ඉතාම වටිනා ක්‍රියාවක්. නමුත් පෞද්ගලික අංශයේ අපි මේවට ඉදිරිපත් වුණත්, මම විශ්වාස කරනවා රජය පැත්තෙන් මීට වඩා මැදිහත් වීමක් ඔවුන් වෙනුවෙන් සිදුවිය යුතුයි කියලා. මොකද ඔවුන් සිය දායකත්වය සපයන්නේ සමස්ත ජාතියක් වෙනුවෙන්මයි. ඔවුන් ජිවිත්ව සිටින කාලයේදි මෙවැනි උපහාර උත්සව පවත්වලා ඔවුන්ව සතුටු කරන එක හරිම වැදගත් දෙයක්.
සේයාරූ – නිශ්ශංක විජේරත්න
හේමාලි විජේරත්න