සංගීතය යනු අපගේ මනසට ඔසුවකි. සංගීතයෙන් මිනිසා පෝෂණය වූ කළ යහපත් සමාජයක් ගොඩනැඟිය හැකිය.
ස්වර රටා මැවෙමින්, නාද රටාව වැයෙමින්, ගී පදවැල් ඇමිනෙමින්, තැනෙන්නා වූ ගීතය දෙසවනට ඇසෙන විට අපේ මනසට අමුතුම නිදහසක් ලැබෙනු ඇත.
වර්තමානය වන විට සංගීතය භාවිතයෙන් හෘද රෝගීන් පවා සුවපත් භාවයට පත් කරන බව ලෝකයේ ඇතැම් රටවලින් වාර්තාවේ එහෙයින් වෛද්‍යවරුන් නිර්දේශ කරන ඖෂධ වලට වඩා ශක්තියක් සංගීතයේ ගැබ්ව පවතින බව සිතිය හැකිය.
සංගීතයට සවන් දීමෙන් මානසික ආතතිය අඩුවන අතර හෘද ස්පන්දන වේගය අඩුකර ගත හැකි බව පොතපතෙහි සඳහන්. සංගීතය මිනිසාගේ ලෙඩ රෝග සඳහා උපකාර කර ගැනීම සංගීත චිකිත්සාව ලෙස හැඳීන්විය හැකිය.
වර්තමානය වන විට ලෝක ජනගහනයෙන් වැඩි පිරිසක් විවිධ වූ හේතු සම්බන්ධයෙන් මානසික පීඩාවන්ට මෙන්ම මානසික ආතතියට ලක්ව ඇත. එය බොහෝ උග්‍ර වූ විට සියදිවි හානිකර ගැනීම් දක්වා වර්ධනය වී ඇත.
ශ්‍රී ලංකාවට ද මේ තත්ත්වය අදාළ වේ. ලංකාවේ බොහෝ පිරිසක් ගත කරන්නේ යාන්ත්‍රික ජීවන රටාවකි. උදෑසන සිට තම රැකියාව සමඟින් පොර බදිමින් ඔවුන් ගත කරන්නේ ඒකාකාරී ජීවන රටාවකි.
එවන් වූ පරිසරයකට සංගීතයෙන් ශක්තියක් දීමට කෙනෙක් සිටීම කෙතරම් වාසනාවක්ද? එය සිදුකළ යුත්තේ සංගීතය පිළිබඳ දැනුමක්, සංගීතය පිළිබඳ මනා පුහුණුවක් සහ හොඳීන් අධ්‍යයනය කළ කෙනෙක් විසිනි.
වර්තමානයේ එවන් චරිතයක් අපට හමුවුණි. යහපත් සමාජයක් ඇති කිරීමේ අරමුණින් දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා ඔවුන්ගේ මනස සංගීතයෙන් සුවපත් කරන ඔහු සංගීත උපදේශක අධ්‍යක්ෂ ප්‍රදීප් බෝගහවත්ත.
ඔහු කතාබහ ඇරඹුවේ ඔහුගේ සංගීත දිවියේ ඇරඹුමේ සිටයි.
මම පාසල් ගියේ කොළඹ ඉසිපතන විද්‍යාලයට. පුංචි කාලෙ ඉඳන්ම මම සංගීතයට ලැදියි. පාසල් කාලයේ මම මුලින්ම බට නලාව වාදනය කළා. මම ඒ ගැන කොහෙන්වත් ඉගෙන ගත්තේ නැහැ. සහජයෙන් මට ඒ හැකියාව පිහිටලා තිබුණා.
හය වසරේදී මාව පාසලේ කැඩෙට් බෑන්ඩ් එකට තේරුණා, මම බටනළා වාදනයට දක්ෂ නිසා. පාසලේදි මගේ සංගීත ගුරුවරුන් වුණේ ලක්ෂ්මන් විජේසේකර මහතා සහ ආනන්ද වීරසිරි මහතා. එවැනි දක්ෂ දෙපළක් යටතේ තමයි මම දිගටම සංගීත පුහුණුව ලැබුවේ.
අ.පො.ස. සා.පෙළ පන්තියට එන විට මට සෑම සංගීත භාණ්ඩයක් වගේ වාදනය කරන්න පුළුවන් හැකියාව මට තිබුණා.
මගේ ගුරුවරුන් දෙපළ මගේ හැකියාව හොඳීන් තේරුම් ගෙන තිබුණ.
පාසලේදී මගේ මිතුරන් වුණේ ධනංජය සෝමසිරි සහ මහින්ද පැස්කුවල්. අපි තුන්දෙනා පාසලේ උත්සවවලදී සංගීතය පැත්තෙන් එකතුවෙලා වැඩ කළා. මේ වන විටත් ඔවුන් ලංකාවේ දක්ෂ සංගීත ශිල්පීන්.
ඔය අතරේ ලක්ෂ්මන් සර් මාව සංගීත අධ්‍යක්ෂ රෝහණ වීරසිංහ මහත්මයාට බාර දුන්න.
“අපේ ඉස්කෝලේ දක්ෂ කොල්ලෙක්.”
ඒ විදිහට තමයි ලක්ෂ්මන් සර් මාව හඳුන්වා දුන්නේ රෝහණ සර්ට.
ඉන්පසුව මම රෝහණ සර්ගේ සංගීත වැඩවලට සම්බන්ධ වුණා. සර් මාව සර්ගේ සංගීත පටිගත කිරීම්වලට සම්බන්ධ කරගත්තා.
ඒකාලේ මම ලංකාවේ සිටින දක්ෂ සංගීත ශිල්පීන් සමඟ වැඩ කළා.
සංගීත් වික්‍රමසිංහ, ආනන්ද පෙරේරා, මහින්ද බණ්ඩාර, ඩී. ඩී. ගුණසේන වැනි දක්ෂයින් සමග.
ඒ කාලේ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වූ සිනෙත් බෑන්ඩ් එක හැදුවේ මම.
ඔය අතරේ මට කේමදාස මාස්ටර්ව මුණගැසුණා. කේමදාස මාස්ටර්ගේ මානසවිල ඇතුළු අනෙකුත් ඔපෙරාවලට මම වාදනය අංශයෙන් දායක වුණා. එතුමාගෙන් මම සංගීතය ගැන හොඳ දැනුමක් ලබා ගත්තා.
එතුමාගේ සංගීත අධ්‍යක්ෂණය වූ දඬුබස්නාමානය ටෙලි නාට්‍යයේ වාදනයෙන් දායක වෙන්න මට අවස්ථාව ලැබුණා.
මේ හැම දෙයකින්ම මම මගේ සංගීත ඥානය දියුණු කරගත්තා.
එවැනි චරිත මුණගැසීම මගේ සංගීත දිවියේ හැරවුම් ලක්ෂ්‍යය කිව්වොත් නිවැරදියි.
ඒකාලේ මම වයසින් බාල කෙනෙක්. ඒ වයසට මට සංගීතය වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරන්න අවස්ථාව ලැබුණා.
මගේ දක්ෂතාවය දුටු රෝහණ වීරසිංහ සර් එතුමාගේ පන්ති වලට මාව සම්බන්ධ කරගත්තා. අවුරුදු 18 ක් මම සර්ගේ පන්තිවල ඉගැන්වීම් කටයුතු කළා. ඒ අතරේ මට දීපිකා ප්‍රියදර්ශනී මහත්මිය ආරාධනා කළා එතුමියගේ ගෝලයින්ටත් ඉගැන්වීම් කටයුතු කරන්න කියලා. දීපිකා මහත්මිය ගාවත් මම වසර 12ක් සංගීතය ඉගැන්වීම් කළා. ඉන්පසු වසර 6ක් කීර්ති පැස්කුවල් මහතාගේ පන්තිවල කීබෝඩ් වාදනය ඉගැන්වීම් සිදුකළා. ඊට අමතරව හඬ පුහුණුව ලබා දුන්නා.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ අවුරුදු 19ක් සංගීත උපදේශකවරයෙක් විදිහට සම්බන්ධ වෙලා වැඩ කළා.
එහිදී ත්‍රිවිධ හමුදාවම වෙනුවෙන් තමයි සංගීත උපදේශකවරයෙක් විදිහට කටයුතු කළේ.
ප්‍රදීප් බෝගාවත්ත සැබෑවටම දක්ෂයෙක්. ඔහුගේ කතාබහේදී මූලාරම්භයේ සිට කළ දීර්ඝ විස්තරයෙන් ඒ බව මනාව පැහැදිලි වෙයි.
කොතරම් දක්ෂයෙක් වුවත් ඔහු ප්‍රසිද්ධිය පිටුපස හඹා නොගිය චරිතයක්.
මම එතරම් ප්‍රසිද්ධිය සොයා ගිය කෙනෙක් නෙවෙයි. ඒත් මම මගේ ගමන යනවා.
ප්‍රදීප්. ලංකාවේ සුප්‍රසිද්ධ ගායක ගායිකාවන් ගණනාවකට ගී තනු නිර්මාණය කර ඇත. ඇන්ජලීන් ගුණතිලක, ප්‍රදීපා ධර්මදාස, මිල්ටන් මල්ලවආරච්චි, රනිල් මල්ලවආරච්චි, පි‍්‍රයනාත් රත්නායක සහ නැසී ගිය ග්‍රැන්විල් රුද්‍රිගු ඇතුළු ප්‍රවීණ, ජනපි‍්‍රය ගායක ගායිකාවන්ට මිහිරි ගී තනු ප්‍රදීප් අතින් නිර්මාණය වී ඇත.
එකළ ජාතික රූපවාහිනියේ කාගේත් හදවත්, දෙසවන් අමන්දානන්දයට පත්කළ වැඩසටහනක් ලෙස මනෝහාරී වැඩසටහන හඳුන්වා දිය හැක. මනෝහාරී ඇතුළුව තවත් රූපවාහිනී වැඩසටහන් රැසක ඔහු වාදකයෙක් ලෙස කටයුතු කර ඇත.
“මම රූපවාහිනියට සම්බන්ධ වැඩසටහන් වලට දායක වුණේ පාසැල් කාලයේ සිට. ඒ කාලේ රූපවාහිනියේ තිබුණ උදාර කියල වැඩසටහනක්. එහි සංගීතය අධ්‍යක්ෂණය කළේ මම. සංගීත වැඩසටහන් බොහෝමයකට සම්බන්ධ වෙන්න පුහුණුව මම ලබා ගත්තේ පාසැල් කාලයේදීමයි.
සංගීත විෂය සියලු දෙනාම ඉගෙන ගතයුතු බවයි ප්‍රදීප් බෝගහවත්ත පවසන්නේ. ඔහු පවසන අන්දමට සංගීතය භාවනාවකි. මනස නිරවුල්කර ගැනීමට ඇති එකම මඟ සංගීතය බව ඔහුගේ අදහසයි.
“මම දෙන උපදෙස තමයි හැමදෙනාම සංගීතයට පි‍්‍රය කළ යුතුයි. තමන්ගේ ජීවිතයට සංගීතය බද්ධ කරගත යුතුයි.”
“සංගීතය ඉගෙන ගන්න කියන එකෙන් මම අදහස් කරන්නේ විභාග සමත් වෙන්න ඉගෙන ගන්න දෙයට නෙවෙයි. අද මිනිස්සු මැෂින් වගේ වෙලා. තමන්ගේ නිවසේ උදවිය එක්කවත් කතා කරන්න වෙලාවක් නැහැ. දරුවන්ට ළමා කාලයක් නැහැ. ඔවුන් තාක්ෂණික මෙවලම්වලට හුරු වෙලා. සෞන්දර්ය කියන දේ ඔවුන් තුළ නැහැ. එකනෙකාට ගරු කිරිමක්, ආදරයක් නැහැ. සෞන්දර්යට, කලාවට ඔවුන් යොමු කිරීමට මම උත්සාහ කරනවා. මම හිතනව ඒ උත්සාහය සාර්ථකයි කියල. මම කරපු වැඩසටහන්වලින් මට ලැබෙන ප්‍රතිචාරවලින් ඒ බව කියන්න පුළුවන්.”
“මම පසුගිය කාලේ හමුදා කඳවුරුවලට ගිහින් සංගීත චිකිත්සාව පිළිබඳ වැඩමුළු කළා. අපේ රණවිරුවන් පුදුම වුණා. ඒ වැඩසටහන් වලදි. සමහර හමුදා නිලධාරීන්ගේ, සෙබළුන්ගේ ඇස්වලට කඳුළු ආව. ඔවුන් එදා තමයි දැන ගත්තේ මනස සුවපත් කරන්න සංගීතයට හැකිබව. ඒවගේ රටපුරා හමුදා කඳවුරු රාශියකට මම ගිහින් වැඩසටහන් කරල තියෙනවා.
‘සංගීතයෙන් ජීවිතයක් ජීවත්කරන්න පුළුවන්. ජපානය වගේ දියුණු රටවල හදවත් රෝගීන් සඳහා සංගීත චිකිත්සාව යොදා ගන්නවා”
“අපේ සාමාන්‍ය ජීවිතයේදී වුවත් හිතට වේදනාවක් දැනෙන මොහොතක මිහිිරි සංගීතයකට සවන් දෙන්න පුළුවන්නම් ඉබේම අපේ මනසට සහනයක් ලැබෙනවා. හිතේ වේදනාව නැති කරන්න සංගීතයට පුළුවන්.
“අපේ රටේ පමණක් නොවෙයි ප්‍රංශය, ජර්මනිය, ඩුබායි ඇතුළු රටවල් ගණනාවකට ගිහින් සංගීත වැඩසටහන් කරල තියෙනවා. දැනටත් ආරාධනා ලැබෙන විදිහට සහභාගී වෙනවා.”
“මම අපේ රටේ දරුවන්ට සහ වැඩිහිටි යන දෙපාර්ශ්වයටම සංගීත දැනුම ලබා ගන්න පුළුවන් විදිහට ඇකඩමියක් ආරම්භ කළා. නුගේගොඩ, දෙල්කඳ ප්‍රදේශයේ මගේම ඉබභඤඪධ එකක් පවත්වාගෙන යනවා.”
ලොව වටා සහ රටවටා සංගීත වැඩමුළු පවත්වාගෙන යමින් දරුවන්ගේ සහ වැඩිහිටියන්ගේ මනසට නිදහසක් ගෙනදෙන මේ අපුරු රසවතා තමාගේම කියා පවත්වාගෙන යන සංගීත අකඩමියෙන් කෙරෙන කටයුතු ගැන මෙසේ තොරතුරු හෙළි කළේය.
“ඛ්පඥඵජඥදඤධ” නමින් මම සංගීත ඇකඩමි එකක් පවත්වාගෙන යනවා එක ඕනෑම වයස්මට්ටමක ඉන්නා අයට සම්බන්ධ වෙන්න පුළුවන්.”
“විභාග සඳහා ඉගැන්වීම නෙවෙයි එහි අරමුණ”
“දවස පුරා ඒකාකාරී ජීවන රටාවකට හුරු වූ පුද්ගලයින්, තමාගේ රැකියාවේ පීඩනයත් සමඟ පොර බදින පුද්ගලයින්, සෞන්දර්යයට ඇලුම් කරන්නන් තනිකම නිසා ආතතියට පත් වූවන් ආදී මේ සෑම තරාතිරමකම අය මා සොයා එනවා.”
ඒ වගේම තමයි පුංචි දරුවන් හරි ආසාවෙන් මගෙන් ඉගෙන ගන්න එනවා.
හරිම දක්ෂ දරුවන් ඉන්නවා ගායනයට වාදනයට හැකියාව ඇති.
ඒ දරුවන් සංගීතය තුළින් යහපත් පුරවැසියන් බවට පත් කිරීම තමයි මගේ එකම අරමුණ.
මගෙන් ඉගෙනගන්න දරුවන් සංගීතය පැත්තෙන් කලා ලෝකය ඉහළ තැන්වල ඉන්නවා දකින්න මම ආසයි.
වර්තමානය වන විට විවිධ රූපවාහිනී නාලිකා වල පැවැත්වෙන රියැලිටි වැඩසටහන් තුළින් සංගීත ක්ෂේත්‍රයට එන ළමා තරුණ පිරිස ගැනද ප්‍රදීප් මෙසේ තම අදහස් ඉදිරිපත් කළේය.
අද ළමා පිරිසක් තරුණ පිරිසක් ප්‍රසිද්ධිය පසුපස හඹා යන්න පුරුදු වෙලා.
වර්තමානයේ සංගීත කලාව වෙනත් පැත්තකට යනවා කියලා තේරෙනවා. ඒ තත්ත්වය මගහැර ගත යුතුයි.
රියැලිටි වැඩසටහන් තුළින් එන පිරිස බලාපොරොත්තු වෙන්නේ ජනප්‍රියතාවය. එයාලා ගායනා කරන්නේ ජනප්‍රිය, ප්‍රවීණ ගායක ගායිකාවන්ගේ ගීත. ඒ මඟින් තමයි ඔවුන්ව ජනප්‍රිය වෙන්නේ. එයින් පිටතට ඇවිත් ප්‍රසංගවල ගායනා කරන්නෙත් අනුන්ගේ ගීත. ඔවුන්ටම කියලා නිර්මාණ කරන්න පෙලඹෙන පිරිස බොහොම අඩුයි.
කළ යුත්තේ එය නෙවෙයි තමන්ට ආවේණික හඬින් තමන්ගේම කියන එක් ගීතයක් හෝ එළිදැක්වීම.
රියැලිටි වැඩසටහන් වලින් එන දක්ෂයින් පිරිසක්ද ඉන්නවා. ඔවුන් හරි යහපත් දෙයක් සමාජයට දෙනවා නම් හොඳයි සංගීතය පැත්තෙන්.
එම වැඩසටහන්වලින් කලා ක්ෂේත්‍රයට සංගීත ක්ෂේත්‍රයට එන පිරිසට හරි මාර්ගය පෙන්වීම එම මාධ්‍යවල වගකීම වෙන්න ඕන.
සංගීත ලෝකේ ඉහළට යන්න නම් ඒ පිළිබඳ මනා දැනුමක් අධ්‍යයනයක් තිබිය යුතුයි.
ඉන්දියාව වැනි රටවල රූපවාහිනී වැඩසටහන් තුළින් ජයග්‍රහණය කළ ඇතැම් අය අද වනවිට ලෝක ප්‍රසිද්ධ ගායික ගායිකාවන් බවට පත්වී සිටිනවා.
උදාහරණ විදිහට සෝනු නිගම්, ශ්‍රෙයා ගෝසාල්, අර්ජිත් සිං වැනි ජනප්‍රිය දායක ගායිකාවන් රියැලිටි වැඩසටහන්වලින් කලා ලෝකයට ආපු ශිල්පීන්.
අපිටත් පුළුවන් වෙන්න ඕනෙ එහෙම චරිත බිහිකරන්න.
අලුතින් තනුවක් හෝ නිර්මාණය බිහිකරන්න පුළුවන් පිරිසක් බිහි කළ යුතුයි. ඒ වගේම තමයි ගීත රචනා කලාවත්.
ප්‍රේමකීර්ති ද අල්විස්, බණ්ඩාර ඇහැලියගොඩ, බන්දුල නානායක්කාරවසම් වැනි ප්‍රවීණයන් අතින් ලියවුණ ගීත කොතරම් නම් හරවත් ද රසවත්ද
හමුදා කඳුරු වලට සංගීත වැඩසටහන් කරන්නේ ගියාම එතුමන්ලා ලියපු ගීත අසන්න සැලැස්සුවාම ඇතැම් වෙලාවට ඔවුන් පුදුම වුණා මේ ගීත ඇතුලේ තියෙන්නේ කතන්දර නේද කියලා.
මීට කදිම උදාහරණයක් තමයි ගුණදාස කපුගේ ගායකයාණන්ගේ හඬින් ගැයෙන ආචාර්ය රත්න ශ්‍රී විජේසිංහයන් අතින් ලියැවුණු “සිංහල සින්දු කියන නලළේ තිලක තියන” කියන ගීතය. එහි ගැබ්වෙලා තියෙන්නෙ කතාවක්.
ඉතින් එවැනි සුන්දර ගීත දැන් ලියවෙනවා අඩුයි හරසුන් ගීත තමයි අපිට වැඩිපුර අහන්න සිදුවෙලා තියෙන්නේ.
මම තරුණ පිරිසට නිතරම උපදෙස් දෙන්නේ යහපත් ගීත කලාවකට යොමු වෙන්න කියලා.
ගායනයේදී රංගනයේදී කටහඬ වැදගත්ම සාධකයකි. ගීතයක් ගයන විට නිවැරදි අයුරින් හඬ පවත්වාගෙන යාම වැදගත්. රංගනයේදී දෙබස් උච්චාරණය කිරීමේදී හඬ වැදගත් වේ. ප්‍රදීප් තම එකට මේ හරහා හඬ පුහුණු කිරීම් කටයුතුද සිදු සිදුකරයි. රංගන ක්ෂේත්‍රයේ ගායන ක්ෂේත්‍රයේ ශිල්පීන් ද තමන් යටතේ ඒ සඳහා පුහුණුව ලබන බව ප්‍රදීප් බෝගාවත්ත සරසවිය හමුවේ පැවසුවේය.
මගේ ඇකඩමිය තුළින් හඬ පුහුණු කිරීම් කටයුතුත් මම සිදුකරනවා. ටෙලි නාට්‍ය රංගන ශිල්පීන් ශිල්පිනියන් මගේ යටතේ හඬ පුහුණුව ලබලා තියෙනවා තියෙනවා. ඔවුන් අද වන විට තමන් නියැළෙන ක්ෂේත්‍රයේ සාර්ථක ගමනක් ගිහින් තියෙනවා.
ඒ වගේම තමයි සංගීත භාණ්ඩ වාදනය පුහුණු වෙන්න පිරිස පැමිණෙනවා.
මේ සියලු දෙනා එකතු කරගෙන ප්‍රසංගයක් කරන්න මම බලාපොරොත්තු වෙනවා.
මම මුලින්ම සඳහන් කළා වගේ සංගීතය කියන්නේ මනසට සංවේදී බවක් ගෙන දෙනව. මට අවශ්‍ය සංගීතය තුළින් මිනිසුන් යහමගට යොමු කරන්න. සංගීතය තුළින් කළ හැකි දේවල් බොහෝමයි.
ඉදිරියේදීත් මම රට වටා යන්න බලාපොරොත්තු වෙනවා සංගීත චිකිත්සක වැඩසටහන් සඳහා. ඒවගේම තමයි පිටරට සංචාර කිහිපයකටත් යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.
සරසවියත් සමඟ කතා කරන මේ අවස්ථාවේ තරුණ පිරිසට පණිවිඩයක් දිය යුතුයි.
දක්ෂ තරුණ පිරිසක් අපට ඉන්නවා.
තරුණ පිරිසට පුළුවන් අලුත් නිර්මාණ කරන්න සංගීත කලාව වෙනුවෙන්. තමන්ගේ ගීයක් ගයන ගායකයෙක් වෙන්න. අලුතින් ගීත ලියන්න.
අතීතයේ අපේ රටේ හිටපු ප්‍රවීණතම ගීත රචකයෙක් වූ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා අතින් ලියැවුණේ අති සුන්දර ගීත. ඔහු අවට සිදුවන දේ නිරීක්ෂණය කරමින් ගී ලියූ කෙනෙක්.
ඒ දක්ෂ චරිත ආදර්ශයට ගන්නවා නම් අපේ තරුණ පරපුරට විශාල සේවයක් කරන්න පුළුවන් සංගීතය වෙනුවෙන්.
අති දක්ෂ ගායකයෙක් වන රූකාන්ත ගුණතිලක වැනි අය දිහා බලලා අපේ දරුවන්ට යමක් ඉගෙන ගන්න පුළුවන් ඔවුන් හොඳීන් සංගීතය අධ්‍යයනය කරපු උදවිය.
සුහද කතාබහ අවසන් අදියරට පැමිණි මොහොතේ ඔහු තම ගිටාරයේ රැගෙන වාදනය කරමින් හිමිහිට ගී පද පෙළක් මුමුනන්නට පටන් ගත්තේය.
මේ ලොව ගැඹුරුයි අත්ත බිඳෙයි
පය බුරුලෙන් පුතුනේ
මා සිත සවියයි බිය නොමවෙන්
යා හැකි දුර බොහොමයි…
ඉහත සඳහනි කර ඇත්තේ ප්‍රදීප් ගැයූ ගීතයේ මුල් පේළි කිහිපයයි. මෙම ගීතය රචනා කොට ඇත්තේ නිලාර් එන් කාසිම්. ගීතය ගායනා කරන්නේ ජනප්‍රිය ගායක රනිල් මල්ලවආරච්චි සහ ඔහුගේ පුත් පවන් මල්ලව ආරච්චිය.
මෙම ගීතයට සුමියුරු තනුව නිර්මාණය කර ඇත්තේ සංගීත උපදේශක අධ්‍යක්ෂක ප්‍රදීප් බෝ ගහවත්තයන්ය.
ඔහු විසින් තනුව දැමූ ගීතය ගයමින් සරසවිය පිළිසඳර නිමා කළේය.
තවත් සුමි යුරු ගීතනු රැසක් සංගීත ලොවට දායාද කරමින් සංගීතයෙන් මිනිස් මනස සුවපත් කරන්නට හැකි වේවා යැයි සරසවිය ප්‍රාර්ථනා කර සිටියි.
නයනාංජලි දෙහිපිටිය