මාර්ටින් වික්‍රමසිංහ ශූරින් විසින් ලියන ලද කෙටි කතා හතරක් ඇසුරින් ප්‍රවීණ ටෙලිනාට්‍ය අධ්‍යක්ෂ සුදත් රෝහණ විසින් මිට වසර 30ට පෙර අධ්‍යක්ෂණය කරන ලද ටෙලිනාට්‍ය සතරක තිර පිටපත් පසුගියදා මුද්‍රණයෙන් දොරට වැඩියේය. මෙම ග්‍රන්ථ සතරම ප්‍රකාශයට පත් කරන ලද්දේ මාර්ටින් වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය විසිනි. වර්තමානයේ වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ ලේකම් වශයෙන් කටයුතු කරනුයේ වික්‍රමසිංහ මහතාගේ පුත් දොස්තර රංග වික්‍රමසිංහයන්ගේ පුත් මාලින් වික්‍රමසිංහයි. එනම් මාර්ටින් වික්‍රමසිංහයන්ගේ මුනුපුරායි. මෙම ග්‍රන්ථ පිළිබඳත් වර්තමානයේ වික්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ කාර්ය භාරය පිළිබඳත් කතා බහකට පසුගියදා අප ඔහු හමුවුණෙමු.
වික්‍රමසිංහයන්ගේ කෙටිකතා ඇසුරින් සුදත් රෝහණ රූපවාහිනි මාධ්‍යයට රචනා කළ ටෙලිනාට්‍ය සතරක තිර පිටපත් පසුගියදා මුද්‍රණ ද්වාරයෙන් එළිදුටුවා. ඒවා ප්‍රකාශයට පත් කරනු ලැබුවේ වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය මඟිනි. මෙවැනි කර්තව්‍යයක් සිදු කරන්නට පෙලඹුණේ ඇයි?
අපි මේ වගේ දෙයක් මීට කලින් කරලා තිබුණේ නෑ. සුදත් රෝහණ මහත්මයා ඇවිත් අපිත් සමඟ සාකච්ඡා කළාම අපිටත් හිතුණා එවැනි දෙයක් කළොත් හොඳයි කියලා. ඒ නිසා තමයි අපි මේ තිර පිටපත් මුද්‍රණය කරන්න එකඟ වුණේ. මේ කෙටිකතා මගේ සීයා ලියපු ඒවා වුණාට මේවා ශ්‍රව්‍ය දෘශ්‍ය මාධ්‍යයට එනවිට වෙනස් ආරක් ගත්තා. ඒ වගේම තමයි මේ ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයින් අතර අතිශයින්ම ජනප්‍රිය වුණා. කොහොම නමුත් මේ සියල්ලෙම වස්තු බීජය වන්නේ වික්‍රමසිංහයන් නිසා අපට වගකීමක් තිබෙනවා මේවා සංරක්ෂණය කරන්න. මේ කෙටි කතා අදටත් භාරකාර මණ්ඩලය මඟින් මුද්‍රණය වෙනවා. නමුත් කෙටි කතා ඇසුරින් කළ ශ්‍රව්‍ය දෘශ්‍ය නිර්මාණයේ තිර පිටපත ඉන් එහා ගිය වෙනත් සාහිත්‍යමය අත්දැකීමක් ලබා දෙන නිසා තමයි අපි මේවා මුද්‍රණය කළේ.
මේ තිර පිටපත් කෘතීන්හි දක්නට ලැබෙන සුවිශේෂ දෙයක් තමයි කිව් ආර් කේතය ස්කෑන් කර ඕනෑම අයෙකුට මේ ටෙලිනාට්‍යය නැරැඹීමට ඇති හැකියාව. මේ අදහස කාගේද?
මේ අදහසත් අපිට ගෙනාවේ සුදත් රෝහණ ම තමයි. මම හිතන්නේ මීට කලින් මේවගේ අත්දැකීමක් සාහිත්‍ය කෘතියක් හා රූපමාධ්‍යයක් අතර බැඳීයාවක් මේ ආකාරයෙන් සිදුවී නැහැ. මේ ප්‍රථම වතාවට වෙන්න ඕන මෙහෙම සිද්ධ වෙන්නේ අපි හිතමු මේ ටෙලිනාට්‍යවල තිර පිටපත කියවමින් සිටින පාඨකයෙකුට කිසියම් දර්ශනයක් ඒ මොහොතේ නරඹන්නට අවශ්‍ය වෙනවා කියලා. කිව් ආර් කේතය හරහා ඒ අදාළ දර්ශනය ඔහුට ඒ මොහොතෙම නරඹන්න හැකියාව තිබෙනවා. මේ ටෙලිනාට්‍ය සියල්ලම අපි ඔන් ලයින් අප් ලෝඩ් කරලා තිබෙන්නේ. අපිටත් අවශ්‍යතාවය තිබෙන්නේ වැඩි දෙනෙක් අතරට මේවා ගෙනියන්නයි. මේ ටෙලිනාට්‍ය හතරට පසුබිම්වූ කෙටි කතා හතරත් ඉතාම වැදගත් කෙටි කතා හතරක්. කතාව සරල වුණාට මේ කතා හතර යටින් දිවෙන අති විශාල සමාජ යථාර්ථයක් තිබෙනවා. ‘මව‘ වගේ කෙටි කතාවක් ගත්තත් , ඒ කතාවේ එන විදියට අම්මා මැරුණට පස්සේ ඔවුන් ලෝකය දිහා බලන විදිය හරි වෙනස්. ‘උපාසකම්මා‘ ගත්තත් , සිසිලියාට පාඩමක්‘ ගත්තත් මේ කෙටි කතා අතරින් මතුපිටින් අපිට පෙනෙන දෙයට වඩා විශාල සමාජ යථාර්ථයක් මේ මඟින් පෙන්නුම් කරනවා. සමාජය කියන්නේ මහා සංකිර්ණ දෙයක් කියලා තේරුම් ගන්න එක ගොඩාක් වැදගත්. ‘මව‘ කියන ටෙලිනාට්‍යයේ දෙන්නෙක් එක විදියකට හැදිලා නමුත් ලෝකය දිහා දෙන්නා බලන්නේ දෙවිදියකට. මට හිතෙන්නේ සීයා තුළ තිබුණු මනෝ විද්‍යාව, සමාජ විද්‍යාව, මානව විද්‍යාව ඇතුළු කුදු මහත් විෂයයන් සියල්ල මේ කෙටි කතා ඇතුළේ තියෙනවා කියලයි. මේ ඔහුගේ කෙටි කතා තුළ පමණක් තිබුණ විශේෂ ලක්ෂණයක් නොවෙයි. ඔහුගේ නව කතා ගත්තත් මේ පොදු ගුණාංගයන් වරින් වර ඒ කතා තුළ දක්නට ලැබෙනවා.
වික්‍රමසිංහ භාරකාර මණ්ඩලය දැන්ඔබ තුමා යටතේද පාලනය වෙන්නේ?
නෑ. අපේ ඉන්නවා වෙනම භාරකාර මණ්ඩලයක්. එහි සාමාජිකයන් පිරිසක් ඉන්නවා. දැනට එහි හය දෙනෙකු ඉන්නවා. එහි මම තමයි ලේකම් හැටියට කටයුතු කරන්නේ. සභාපති හැටියට කටයුතු කරන්නේ මලින්ද වික්‍රමසිංහ. අපේ අයියා කෙනෙක්. ඔහු බී. කේ වික්‍රමසිංහයන්ගේ පුතෙක්.
ඔබේ පියා වෙන්නේ එතකොට?
මම වෛද්‍ය රංග වික්‍රමසිංහයන්ගේ පුතා. තාත්තා තමයි ඉස්සර භාරකාර මණ්ඩලයේ ලේකම් හැටියට කටයුතු කළේ. තාත්තා අසනීප තත්වයෙන් පසුවන නිසා දැන් මම තමයි ලේකම් හැටියට කටයුතු කරන්නේ. අපේ භාරකාර මණ්ඩලයේ සියලු දෙනා එකතු වෙලා තමයි මෙහි තීන්දු තීරණ ගන්නේ.
පසුගිය සාහිත්‍ය මාසය වෙනුවෙන් වික්‍රමසිංහයන්ගේ අලුතින් මුද්‍රණය වුණු ග්‍රන්ථ මොනවද?
ඒකට එකතු වුණු නවතම පොත් එකතුව තමයි සුදත් රෝහණ විසින් කරපු මෙම ටෙලිනාට්‍ය පිටපත් කෘති හතර. ඒ වගේම තව සීයා ඉංගී‍්‍රසියෙන් ලියපු කෘති වගයක් තිබෙනවා ලිට්රිචර් කියලා. ඒ කෘතිය ආචාර්ය ඩබිලිව්. ඒ අබේසිංහයන් අතින් සංස්කරණය වෙලා මේ සාහිත්‍ය මාසයට අලුත් කෘතියක් විදියට එළි දැක්කා. සීයා ලියපු සියලු පොත් දිගටම අපි ඉදිරියට ප්‍රින්ට් කරගෙන ආවා. ඒක ඒ විදියටම ඉදිරියටත් පවත්වාගෙන යනවා. දැන් අපිට පොත් 150ක් වගේ තිබෙනවා ප්‍රින්ට් කරන්න. සීයා හිටිය කාලේ තිබුණේ 75-80 ක් වගේ තමයි. ඊට පස්සේ අපි විවිධ සංස්කරණයෙන්, පත්තරවලට ලියපු ලිපි ආදිය එකතු කරල පොත් වශයෙන් මුද්‍රණය කරලත් තිබෙනවා. ඒ නිසා දැන් අපිට පොත් 150 ක වළේ ප්‍රමාණයක් තිබෙනවා. අපි මේක කරන්නේ හුදෙක් ලාබ ලැබීමේ අරමුණින්ම නොවෙයි. අපි මේක සමාජ සේවයක් හැටියටත් කරන්න බැඳීලා ඉන්නවා. අධ්‍යාපනික වශයෙන් බැලුවමත් මේ පොත්වලට විශාල වටිනාකමක් තිබෙනවා. අද මේ මොහොත වනවිටත් බොහෝ පිරිසක් මේ පොත් හොයනවා.
ඇත්තටම බැලුවොත් සීයා ගේ ‘සත්ත්ව සන්තතිය’ කියන පොත මුලින්ම මුද්‍රණය වෙලා තියෙන්නේ මගේ මතකයේ හැටියට 1932 වෙන්න ඕන. දැන් වුණත් මම හිතන්නේ නෑ ඒ තරම් සම්පූර්ණව පරිණාමවාදය ගැන පොතක් කවුරුත් ලියලා ඇතියි කියලා. මම දන්න තරමින් ලංකාවේ කෙනෙක් එහෙම ලියලා ඇති කියලා. පරිවර්තනය කරපු පොත් නම් ඕන තරම් ඇති. එක්දාස් නමසිය තිස් ගණන්වල ලියුවා කියන්නේ, ඒ කාලේ එංගලන්තයේ වත් පරිණාමවාදය ගැන ඔය තරම් දැනුමක් තිබුණ කාලයක් නොවෙයි. මේ පොත ලියලා තියෙන්නේ සාමාන්‍ය ජනතාවට පරිණාම වාදය ගැන දැන ගන්න. ඒ වගේ පොත් ගොඩක් තියෙනවා සමාජයක් හැටියට අපිට බාහෝ දේවල් ඉගෙන ගන්න හැකි.
ඔබේ සීයා ගේ පොත් අතුරින් ඔබේ අවධානය දිනා ගත් සහ ඔබ ආස කරන පොත් මොනවද?
මඩොල් දූව අංක එක. ඒක මම හිතන්නේ මට විතරක් නොවෙයි, මේ රටේ ඕන කෙනක් ගෙන් ඇහුවොත් කියයි ඒකට සුවිශේෂ කැමැත්තක් තියෙනවා කියලා.. ඊට අමතරව මම සීයාගේ විරාගය පොතට කැමැතියි. ඒක හරිම වෙනස් අත්දැකීමක් දෙන පොතක්. අරවින්ද ගේ චරිතයට මම කැමතියි. විරාගය බැලුවම අපිට ගොඩක් හිතන්න දේවල් තියෙනවා. ඒ සිතුවිල්ලට මම කැමැතියි. මම සීයාගේ බවතරණයටත් ගොඩක් කැමැතියි. සාමාන්‍යයෙන් සීයාගේ නව කතා ඇරුණම මම අනෙක් පොතුත් බහුතරයක් කියවලා තියෙනවා. මම ඒවයෙන් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා. සීයා සාමාන්‍යයෙන් මේ කෘති හරහා සමාජය දෙස බැලුවේ එක විදියකට. බොහෝ වෙලාවට සම්ප්‍රදායිකව බැලුවේ නෑ. ඉන් එහාට ගිය දැක්මක් සීයාට තිබුණා. ඒක නිසා ඒවගේ පොතුත් මම කියෙව්වා.
මේ පොත් කියවිමේ පෙළඹවීම ඔබට ඇති වුණේ කාගෙන්ද?
මම හිතන්නේ මට ඒ පෙලඹවිම ඇතිවුණේ මගේ තාත්තාගෙන්.මොකද සීයා නැති වෙන කොට මම හරි පුංචියි. නමුත් සීයා ගැන මතකය හොඳට මට තියෙනවා. සීයායි ආච්චියි පල්ලෙහා ගෙදර ඉන්නකොට අපි හිටියේ උඩ ගෙදර. මට එතකොට අවුරුදු 5-6 ක් විතර ඇති. මම සාමාන්‍යයෙන් දවසට එක වේලක් කන්නේ සීයයි ආච්චියි එක්ක. මට හොඳට මතකයි සීයා පුස්තකාලේ වාඩි වෙලා ඉන්නවා. අපි ඉස්කෝලේ ඇරිලා ඇවිත් සීයා හොයාගෙන අපි එතෙන්ට යනවා. සීයාගේ ලියන මේසේ උඩ ලාච්චුවේ තිබුණා පොඩි කැන්ඩොස් චොක්ලට්ස්. අපි ගියාම ඒක ඇරලා එකක් දෙනවා. ඒවගේ වයසක ඉන්නකොට මට කියවන්න තරම් පෙලඹීමක් ඇති වෙන කාලයක් නොවෙයි. නමුත් අපේ තාත්තා සීයා නිසා කියවන්න පෙලඹුණ කෙනෙක්. ඒ පෙලඹීම තාත්තා අපිටත් ඇති කළා. අපේ පවුලේ අයට හැමෝටම ඒ පෙලඹීම තිබුණා.
සීයාගේ බොහෝ නිර්මාණවලට ඔහුගේ ගම කොග්ගල පසුබිම් වෙලා තිබෙනවා. ඇත්තටම ඔබලාට තිබෙන අත්දැකීම් මොනවද කොග්ගල ගැන?
අපි පොඩි කාලේ ඉඳලම කොග්ගල ගියා. මට ඇත්තටම සීයා එක්ක කොග්ගල යනවා මතකයක් නෑ. නමුත් අපි පොඩි කාලේ කොග්ගල දැන් මාර්ටින් වික්‍රමසිංහ කෞතුකාගාරය තිබෙන ගෙදර ගිහින් ඉන්නවා. එතකොට කෞතුකාගාරයක් කරලා නෑ. සීයා නැතිවුණේ 1976 දි නේ. ඒ 1976- 86 කාලය ඇතුළත අපි එහේ ගිහින් ඉන්නවා මට මතකයි. අපි යනකොට පවුලේ කට්ටිය ඔක්කොම යන්නේ. ඒක හරි විනෝදාත්මක කාලයක්. ළිඳෙන් නාලා කොග්ගල ඔයට ගිහින් ඔරු පදිනවා. මඩොල් දූවට ගියෙත් ඔරුවෙන්. හවසට මේ දුපතට හරියට කුරුල්ලෝ එනවා. පුදුම තරම් ලස්සන පරිසරයක්. ඒක දැක්කම මට හිතාගන්න පුළුවන් සීයට ඔහොම ලියන්න පුළුවන් වුණේ කොහොමද කියලා. දැන් ඉතින් ඒ පරිසරය ටිකක් වෙනස් වෙලා.
සීයා නැතිවුණාට පස්සේ භාරකාර මණ්ඩලය පටන් ගත්තේ කොහොමද?
තාත්තා විතරක් නොවෙයි, තාත්තාගේ සහෝදර සහෝදරියන් එකකොම එකතු වෙලා තමයි මේ භාරකාර මණ්ඩලය හැදුවේ. ඊට අමතරව සීයා සමඟ සමිපව කටයුතු කළ ආචාර්ය ගුණදාස අමරසේකර, දයාපාල ජයනෙත්ති වැනි මහත්වරු කීපදෙනක්මත් හිටියා. කොහොම හරි සීයාගේ උපන් මහ ගෙදර අපි කෞතුකාගාරයක් බවට පත්කළා. සීයාගේ බොහෝ පොත් පත් නම් තියෙන්නේ ජාතික පුස්තකාලයේ. ඒහි වෙනම කොටසක් සීයාගේ පොත් පත් වෙනුවෙන් වෙන්කළා. ජාතික පුස්තකාලය පටන් ගන්නකොටම ඒ කොටස වෙන්කළා. පොත් 6000ක් දැන් එතන තිබෙනවා. සීයාගේ පෞද්ගලික පුස්තකාලයේ තිබුණ පොත් ඒවා. මෙතන අපි කරන්නේ සීයා විසින් රචිත පොත් ඉදිරියට මුද්‍රණය කරමින් පවත්වාගෙන යන එක. දැන් අපි ඕන කෙනෙකුට ඔන් ලයින් පොත් ඕඩර් කර ගන්න පුළුවන් ආකාරයට මෙහි ක්‍රමවේදය සකස් කරලා තිබෙනවා .
වික්‍රමසිංහයන්ගේ පොත් සංරක්ෂණය ඇරුණු කොට භාරකාර මණ්ඩලයෙන් සිදුවන වෙනත් දේ තිබෙනවාද?
ඔව්. ගොඩාක් තිබෙනවා. දැන් අවුරුදු 20ක් තිස්සේ අපි සාහිත්‍ය දේශන මාලාවක් කරගෙන යනවා. ඉස්සර අපි පාසල් මට්ටමින් තමයි කළේ. දැන් අපි ඒක විධිමත්ව ව්‍යාප්ත කරලා තිබෙනවා. විවිධ රජයේ හා පෞද්ගලික ආයතනයන්හි සාහිත්‍ය රුචිය වර්ධනය කරවීම උදෙසාත් දැන් අපි ඒක භාවිත කරනවා. මින් අපේ අභිප්‍රාය වන්නේ මේ රටේ ජනතාව අතර සාහිත්‍යයට නැඹුරු වන්නන්ගේ ප්‍රමාණය වැඩිදියුණු කිරීම සහ හොඳ සාහිත්‍ය රුචිකත්වයෙන් යුතු පිරිසක් බිහිකරලීම. සමාජයක් හැටියට කියවීම පුරුදු පුහුණු නොකළොත් යහපත් සමාජයක් බිහිවෙන්නේ නෑ. අපි කියවනවා වැඩි නම් සමබර විදියට හිතන්න පුරුදු වෙනවා. මේ සම්මන්ත්‍රණ මාලාව අපි කරන්නේ සමාජ සත්කාරයක් විදියට .
වික්‍රමසිංහයන්ගේ දරු මුනුපුරෝ වෘත්තියමය වශයෙන් වෙනත් පැතිවලට යොමු වුණු පුද්ගලයන් නේද?
ඔව්. ඒ අය මේකෙන් ජිවත් වෙන අය නොවෙයි. මම වුණත් අයිටි පැත්තෙන් ඉහළට අධ්‍යාපනය ලැබූවෙක්. නමුත් තාත්තා සහ මහප්පාගේ ඉල්ලීම වුණේ මේක බාර අරගෙන කරගෙන යන්න කියලා. මම අයි ටි පැත්තට නැඹුරු වුණත්, මම මේක කරගෙන යන්නේ හරිම ආසාවකින්, කැමැත්තකින්. මොකද මම පොත් කියවන්න කැමැත්තක් දක්වන කෙනෙක් නිසා. මම හිතුවා මේක ඉදිරියට ගෙනයන එක මගේ වගකීමක් කියලා. එක පැත්තකින් මට හිතුණා මේක මම රටටත් කරන සේවයන් කියලා. ලංකාවේ පුරවැසියන්ගේ මනස දියුණු කිරිමක්නේ මේකෙන් සිදු වෙන්නේ.
ඇත්තටම සීයා නවකතාකරුවෙක් විදියට මේ රටේ ප්‍රසිද්ධ වුණාට ඔහු නවකතාවලට වඩා වෙනත් විෂයන් සම්බන්ධයෙන් තමයි වැඩිපුර දේවල් ලියලා තියෙන්නේ. නවකතා ලියලා තියෙන්නේ 14 ක් හෝ 13ක් තමයි අනිත් ඔක්කොම තියෙන්නේ වෙන විෂයන්. විද්‍යාව මානව විද්‍යාව, සමාජ විද්‍යාව, සාහිත්‍ය විචාරය, බෞද්ධාගම, ඉතිහාසය වැනි වෙනත් විෂයන් කෙරහි ඔහු නැඹුරු වී ඇති අවස්ථා වැඩියි.
ඇත්තටම මට ඕන ඒ වෙනත් විෂයයන් පාඨකයන් අතර ජනප්‍රිය කරවන එකයි. මේ හැම විෂයක් පිළිබඳ ම කෙනකුට සරලව ඉගෙන ගත හැකි විදියට ඔහු ලියලා තියෙනවා. සත්ත්ව සන්තතිය ගත්තොත් පරිණාම වාදය පිළිබඳ සරලව ලියලා තිබෙනවා.
ඔබ වික්‍රමසිංහයන්ගේ මුනුපුරා වීම ගැන මොනවද හිතෙන්නේ?
ඇත්තටම මට හරිම ආඩම්බරයි. මම හිතන්නේ සීයා උගතෙක් වුණාට හරි සරල ජිවිතයක් ගතකළ කෙනෙක්. ඒ ගැනත් අපිට ආදර්ශය දුන්නේ සීයා. අපේ පවුලේ හැමදෙනාම ඒ සරල ජිවිතයට හුරුවෙලා තියෙන්නේ.
ඔබේ පරම්පරාවේ අය ලියන්න පෙලඹුණේ නැතිද?
සීයාගෙන් පස්සේ මගේ තාත්තා, ලොකු නැන්දා වගේ ලියන්න පෙලඹිලා හිටියා. ඊට පස්සේ මගේ පරම්පරාවේ අය අතරින් රූපා සපරමාදු ගේ පුතා ලියන්න පෙලඹිලා ඉන්නවා. එයා ලියන්නේ ඉංග්‍රීසියෙන් ඌෂා ඒකනායක කියලා අපේ නංගි කෙනෙක් ලියන්න පෙලඹිලා තියෙනවා.
අපිට ඇත්තටම කියන්න තියෙන්නේ බාරකාර මණ්ඩලය හැටියට කියවීම හුරු කිරීම. ඒ වගේම අපේ සංස්කෘතිය පිළිබඳ දැනුම වැඩි කිරීම. වික්‍රමසිංහයන් පිළිබඳ වාර්තා චිත්‍රපටයකුත් භාරකාර මණ්ඩලය සතු වෙනවා. දැනට අපි ඒක පෙන්වමින් පවතිනවා. මේ දිනවල සුදත් රෝහණ මහතා විසින් තව එකක් නිර්මාණය කරමින් පවතිනවා.
සේයාරූ – නිශ්ශංක විජේරත්න
හේමාලි විජේරත්න