මේ දිනවල රෝගාතුරව සිටින වසන්ත විට්ටච්චි නම් කලාකරුවාට ආධාර පිණිස “සුබ සහ යස” වේදිකාගත වෙනවා…වසන්තව ඔබට දැනෙන්නේ කොහොමද …?
වසන්ත ගත්තම වසන්ත කියන්නේ පැකේජ් එකක්. ඔහු එක් කරුණක් සඳහා පමණක් දක්ෂයෙක් නෙවෙයි. ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත කියා කියමනක් තිබෙනවා. එහෙත් ඒ කතා අතික්‍රමණය කර ඊට එහාගිය චරිතයක් තමයි වසන්ත කියන්නේ. එතුමා ක්ෂේත්‍ර රැසක් නියෝජනය කරනවා. මූලික වශයෙන් රඟපෑම, අංගරචනය, වේදිකා පසුතල නිර්මාණ ක්‍රියාවලිය, වැඩකටයුතු සැලසුම් කිරීම ආදි ඒ සියල්ල කැටිවුණු යහපත් මිනිසෙක් කියන්න පුළුවන්. මේක දැනෙන්නේ ඔහුත් සමඟ කාලයක් වැඩකරද්දී. මාත් සමඟ ඔහු දීර්ඝකාලීනව වැඩකළා.
වසන්ත සමඟ ඔබේ මිතුදමේ ඉතිහාසයට ගියොත්….?
ඔව්, මා සමඟ ඉතා දීර්ඝ කාලයක් වසන්ත විට්ටච්චි කලා ලොව තුළ සැරිසරා තියෙනවා.මාත් සමඟ කලා දිවියේ වැඩිපුරම සැරිසැරූ මිතුරාත් ඔහුයි කිව්වොත් නිවැරදියි. මම නිෂ්පාදනය, අධ්‍යක්ෂණය කළ සියලුම වේදිකා නාට්‍යවල ඔහු රංගනයේ යෙදුණා. අපි දෙන්නා එකට අංගරචනා වැඩකටයුතුවලත් යෙදී සිටියා.සමහරක් නිර්මාණවල ඔහු අංගරචනය පමණක් කළා. එහෙත් එහිදීත් අපි මුණගැසුණා.මාත් එක්ක ලෝකය පුරාම ගමන් කළ මිතුරාත් වසන්තයි. මගේ කලා ජීවිතයේදී මේ පෘථිවියේ බොහෝ තැන්වල ගිය මිනිසා ඔහුයි. ඒ සෑම අවස්ථාවකදීම මහා විශාල සහයෝගයක් ඔහුගෙන් තිබෙනවා. තමන්ගේ කටයුත්ත පමණක් නොව සෑමදෙනාගෙම වැඩවලට ඔහු උදව් කරනවා. මාත් සමඟ ඔහු මේ කලා ලොවේ ඉතිහාසයේ සිටම සුන්දර ලෙස පැමිණි පුද්ගලයෙක්. මට ඔහු මුල්වරට මුණගැසෙන්නේ සෝවියට් සංස්කෘතික මධ්‍යස්ථානයේදී. ඒ කාලයේ අපි වැඩමුළු පවත්වනවා. ඒ අපේ භද්‍ර යෞවනයේ. අපි රංගනය කියන දේ සොයමින් ගිය කාලයක් ඒ කාලය. මේ රංගනය කියන දේ කොහොමද සොයාගන්නේ, අමුණගන්නේ කොහොමද, මේක ඇකඩමික්ද, වසන්තත් එක් පැත්තකින් මේක සොයමින් ගියේ.
වසන්ත විට්ටච්චගේ මේ අසනීප තත්ත්වය කලා ක්ෂේත්රයට විශාල පාඩුවක් නේද.?….. ඇත්තෙන්ම, ඔහුගේ අසනීප තත්ත්වය අපේ ක්ෂේත්රයට කියාගන්න බැරිතරම් පාඩුවක්. ක්ෂේත්රයේ බොහෝ තැන් පුරවන්න ඔහු අවස්ථාව ලබාදුන්නා එහෙත් ඔහුට දැන් ඒවා කරන්න බැහැ. ඔහු පරම්පරා කිහිපයක් සමඟ වැඩකළා. මේ මොහොතේ ඔහුගේ නීරෝගී සුවයයි අපි ප්‍රාර්ථනා කරන්නේ. ඔහු වේදිකාවට නැතිවම බැරි මිනිසෙක්. ඔහු වේශනිරූපණ ක්‍රියාවලියේත් සුවිශේෂියි. සම්මාන 50කට ආසන්නව ඔහු ලබාගෙන තියෙනවා. එතුමාව අපි අගය කළා මදිදෝ කියලත් සිතෙනවා. ඔහු අසනීප වෙන තෙක්ම ඔහුව අගය නොකළේ මන්ද කියා විටෙක සිතෙනවා.
ඔහුගේ රෝගී තත්ත්වයත් සමඟ ඔහුට ආධාර පිණිස ඔබ “සුබ සහ යස” වේදිකාගත කරනවා. ඒ පිළිබඳ විස්තර කළොත් …?
ඔව්, වසන්තගේ රෝගී තත්ත්වය වියදම් සහිත රෝගයක්. බොහෝ ඖෂධ මිල අධිකයි.සමහර ඒවා පිටරටින් ගෙන්වන්න ඕන. ඒ මූල්‍යමය ප්‍රශ්න නිසා අපි වසන්ත වෙනුවෙන් යම් සද්කාර්යයක් කරමු කියා තීරණය කළා. ඒ සද්කාර්යයට හේතුපාදක වුණේ “සුබ සහ යස” වේදිකා නාට්‍යය. ඒ නාට්‍යයේත් ඔහු “චරක”නමැති චරිතය නිරූපණය කළා. එකී සද්කාර්යය පෙරදැරි කරගෙන අගෝස්තු මස 19 වැනිදා හෙවත් පොහොය දිනයේ සවස 3:30ට සහ 6:30ට එල්ෆින්ස්ටන්හිදී සයිමන් නවගත්තේගම ශූරීන්ගේ “සුබ සහ යස” වේදිකාගත කිරීමට සැලසුම් කළා. මේ කාර්යය සඳහා “සුබ සහ යස” කණ්ඩායමම සද්භාවයෙන් උදව් කරනවා. එක මිටට එක රෑනට එකතුවෙලා ඔවුන් සහයෝගය දෙනවා. ඔවුන් කිසිවෙක් මූල්‍යමය පරමාර්ථයෙන් තොරව මෙය එදිනට වේදිකාගත කරන්නේ. මෙහි විකිණෙන සෑම ටිකට්පතකම මුදල එදිනම සවස වසන්තගේ බිරිඳට ,පවුලේ කෙනෙකුට, ඥාතියකුට වේදිකාව මතදීම ලබාදීම සිදුකරනවා.ඒ නිසා මේ කාර්යයේ විනිවිදභාවයත් හරිම අපූරුයි. එදින “සුබ සහ යස” නරඹන ඔබලා ආසනයේ හිඳගන්නා මුදලට පුණ්‍යකර්මයක් හෙවත් පින්අතේ වැඩක් කරනවා යන හැඟීම ඇතිකර ගන්න . එදින රසවත් සන්ධ්‍යාවක් වේවි.රසවින්දනාත්මක හෝරා කිහිපය විඳගන්න කියා අපි ගෞරවයෙන් ආරාධනා කරනවා.මෙය ආනන්දයෙන් ප්‍රඥාව කරා ගමන්කරන සුවිශේෂී කාර්යයක් . මේ පිළිබඳ රඟහල ජනක නමැත්තාට 077-4435500 දුරකතන අංකයට කතාකර ටිකට් වෙන්කර ගන්න පුළුවන්.
“සුබ සහ යස” ලාංකේය වේදිකා සම්ප්‍රාප්තිය ගැන සිහිකළොත්….?
“සුබ සහ යස” තමයි මම මුලින්ම නරඹපු වේදිකා නාට්‍යය. 1970 දශකයේ මුල්භාගයේ මෙය නිපදවුණේ. මගේ මතකය නිවැරදිනම් 1973 මැයි මස 14/15 වගේ ලුම්බිණි රඟහලේදී පළමුවරට වේදිකාගත වුණේ. මේ නාට්‍යයත් සමඟ ලාංකේය සමාජයේ වේදිකා නාට්‍ය කලාව තුළ වෙනස්ම වූ හැඩයක් ඇතිවුණා. කතිකාවක් ගොඩනැඟුණා.
“සුබ සහ යස” වේදිකා නාට්‍ය කලාවේ සුවිශේෂී සංධිස්ථානයක් වීමට හේතු පැහැදිලි කළොත් …..?
“සුබ සහ යස” වේදිකාගත වීමත් එක්ක විශාල ප්‍රේක්ෂකාගාරයක් නිර්මාණය වුණා. මෙහි ඇති ප්‍රහර්ෂය ප්‍රේක්ෂකාගාරය සමඟ ගනුදෙනු කළා. දර්ශනවාර 10,000කට වඩා ලංකාවේ වැඩිම වාර ගණනක් වේදිකාගත වුණේත් මේ නාට්‍යයයි. ලාංකේය ජනසමාජය තුළින් වෙනස්ම වූ හැඩතලයක් “සුබ සහ යස”නිර්මාණය කළා. මේ හේතු නිසාම “සුබ සහ යස” ලාංකේය වේදිකා නාට්‍ය කලාවේ සංධිස්ථානයක් වුණා. ලාංකේය වේදිකා නාට්‍ය කලාව ගැන රචනයක් ලිව්වොත් “සුබ සහ යස”ට සුවිශේෂී පිටුවක් වෙන්වෙනවා. මේක යුගයක් නියෝජනය කළ නාට්‍යයක් කියන්න පුළුවන්.”දුවන” නාට්‍ය සංකල්පය යටතේ මෙය ගැනිය හැකියි. මොකද්ද මේ දුවනවා කියන එකෙන් අදහස් කළේ.. කවුරුහරි ගහන්න එනවද කියා කෙනෙක්ට සිතෙන්න පුළුවන්. ප්‍රේක්ෂකාගාරය තමයි පස්සෙන් එළවන්නේ. ඒ නිසයි නාට්‍යයට දුවන්න වෙන්නේ. අපේ ගමට, නගරයට එන්න කියා “සුබ සහ යස” පසුපසින් ප්‍රේක්ෂකයා පන්න පන්න එළවනවා. දුවනවා කියන සංකල්පය එන්නේ 70 දශකයේ දී. ඊට පෙර “මනමේ, සිංහබාහු, හුණුවටයේ කතාව” වැනි නිර්මාණ තිබුණත් ඒවා විවිධ සමාජ ස්ථරයන් නියෝජනය කරමින් වේදිකාගත වුණා හැරෙන්න “දුවන” සංකල්පය ඒවාගේ තිබුණේ නැහැ. ඒවගේම අනුරාධපුරය, කලාවිය, පදවිය වැනි දුෂ්කර ප්‍රදේශවල “සුබ සහ යස” පෙන්වන්න කට්ටිය බස් එක අරන් ඒ ප්‍රදේශවලට යන්න ජනවාරි 01වැනිදා බස් එකට නැග්ගම ආයේ බස් එක ඒ ප්‍රදේශවලින් එන්නෙ ජනවාරි 31. ඒ කියන්නේ නාට්‍යය මාසය පුරාම දුවනවා කියන එක. අදටත් අපි නළුනිළි කණ්ඩායම, කාර්මික පිරිස බස් එකට නැග්ගම අධික වේගයෙන් අර ප්‍රත්‍යන්ත නගර කරා බස් එක දුවනවා. එහි හරිම අපූර්වත්වයක්, විනෝදයක් තිබුණා
“සුබ සහ යස” වේදිකාගත කරන්න බසයේ යන ගමනත් විනෝදජනක වුණා…..?
ඔව්, මේ නාට්‍යය පෙන්වන්න බස් එකේ යන ගමන සෞන්දර්යාත්මක, සංවාදශීලී ගමනක් වුණා. බසයේදී සමහරු ජීවිතය ගැන කතා කරනවා, සමහරු ආදරය ගැන කතා කරනවා, සමහරු දේශපාලනය කතා කරනවා, සමහරු බස් රථය ගැන කතා කරනවා, සමහරු නාට්‍යය ගැන කතා කරනවා, සමහරු මුකුත්ම කතා කරන්නෙ නැහැ මේ සියල්ල අසාගෙන යනවා. මේක හරිම ලස්සන ගමනක් . ඒවගේම නාට්‍ය කණ්ඩායම නමැති පවුලේ ඒකරාශි වීමක්. බස් රථය තුළ නොයෙකුත් සංවාද ගොඩනැඟෙනවා. ඒ දේවල් නාට්‍ය කණ්ඩායම් බසය තුළ ඇතිවුණේත් “සුබ සහ යස” සමඟයි. මේ සියලු සිදුවීම් නාට්‍යෝචිත අවස්ථා වුණා. මේවා ජීවිතයට හොඳ පාඩම් වුණා. ඒ අත්දැකීම් විඳගත්ත කෙනෙක් තමයි වසන්ත විට්ටච්චි කියන්නේත්.
වසන්ත විට්ටච්චි ඔබේ නිර්මාණ රැසකටම දායක වුණා නේද…..?
මම නිෂ්පාදනය කළ “පැන්ස දෙකේ හංසයා”නාට්‍යයට වේශනිරූපණයෙන් දායකවුණා. 2000දී මම නිර්මාණය කළ “පාදඩ අසපුව ” වේදිකා නාට්‍යයට වේශනිරූපණයෙන් වගේම රංගනයෙන්ද දායකවුණා. ඒ වගේම මගේ “ගැබ්බර මිනිසා” වේදිකා නාට්‍යයේ වෛද්‍යවරයකුගේ චරිතයක් කළා. බන්දුල විතානගේ ශූරීන්ගේ “රෝමය ගිනිගනී” නව නිෂ්පාදනය මම කළා. එහිත් වසන්ත චරිතයක් කළා.” “සුබ සහ යස”හිත් ප්‍රධාන චරිතයක් කළා . ඒවගේම ලාංකේය නාට්‍ය කලාවේ බිහිවූ පරාක්‍රම නිරිඇල්ලගේ “ගැලීලියෝ ගැලිලි”, ධර්මසිරි බණ්ඩාරනායකගේ “යක්ෂාගමනය”, ජයලත් මනෝරත්නයන්ගේ “තලමල පිපිලා”, ජයන්ත චන්ද්‍රසිරිගේ “අත්, මෝරා”, අජිත් මෙන්ඩිස්ගේ “කෑම ලෑස්තියි”, මගේ “සුදු කළු” ආදී නාට්‍ය රැසකම වසන්ත රංගනයේ යෙදුණා .
“සුබ සහ යස” වේදිකාගත කිරීමට ඔබලාට සහය දෙන යම් පිරිසක් සිටිනවාද…..?
ඔව්, ඇත්තෙන්ම දැන් ඔය රඟහල.තඬ කියන ආයතනය උදව් කරනවා. ඔවුන් තමයි මෙහි සංවිධානාත්මක කටයුතු සිදුකරන්නේ. මූල්‍යමය සංවිධාන කටයුතු අප විසින් තෝරාගත් හැඩවලට සැලසුම් වෙන්නේ. මූල්‍යමය වශයෙන් කවුරුත් තවම මෙයට දායකවී නැහැ මෙය ප්‍රචාරණය වීමෙන් පසු ඒ සඳහා කවුරුන් හෝ ඉදිරිපත් වේවි. අපි කියන්නේ සියලුදෙනාම ඇවිත් “සුබ සහ යස” නරඹන්න කියලා
සයිමන් නවගත්තේගම ශූරීන් සමඟ ඔබේ ගනුදෙනුව ඇතිවූ ආකාරය විස්තර කළොත් …..?
මම මුලින්ම නරඹුවේත් “සුබ සහ යස” වේදිකා නාට්‍යය.මට එතුමාව හමුවීමේ අවශ්‍යතාවක් තිබුණා .ඔහුව මුණගැසෙන්න ගිය සෑම මොහොතකම මාව එතුමා වැඩිය ගණන්ගත්තේ නැහැ. මම නැවත නැවත ඔහුව මුණගැසෙන්න යද්දි ඔහුගේ මනසේ මාව රැඳී සිටියා. වද දෙද්දි ඔළුවේ රැඳෙනවා කියනවනේ. (සිනහවෙමින්) එහිදී නවගත්තේගම ශූරීන් කිව්වා “සුදු කළු” කියලා මම වේදිකා නාට්‍යයක් කරනවා එහි කළු ජාතික ගරිල්ලකුගේ චරිතයක් රඟපාන්න තියෙනවා කියලා .ඒකේ නැටුමක් තිබ්බේ. 18 දෙනෙක් විතර නටන අවස්ථාවක මමත් එහි එක්කෙනෙක් විතරයි. ඉන්පසු එතුමා “සුදු කළු” වේදිකා නාට්‍යයේ මට උප ප්‍රධාන චරිතයක් දුන්නා. සුදු පොලිස් නිලධාරියාගේ දෙවැනියා ලෙස ශිවම්බා නමැති කළු පොලිස් නිලධාරියකුගේ චරිතයක්. එය මට සුවිශේෂී අවස්ථාවක් වුණා. පසුකාලීනව එකදිගටම මම ඒ චරිතය නිරූපණය කළා. ඒ නිර්මාණය 1980 විතර නවගත්තේගම මහතා නිර්මාණය කළේ.1992දී ඒ නිර්මාණය නැවත වේදිකාගත කරන්න මට ඕන වුණා.ජූඩ් ශ්‍රීමාල් එය නිෂ්පාදනය කළා. අපි දෙන්නා “සුදු කළු” දෙවැනි නිෂ්පාදනයක් කළා. එය රාජ්‍ය නාට්‍ය උළෙලටත් එකතු කළා. හොඳම නිෂ්පාදනය දෙවැනි ස්ථානය ලැබුණා. හොඳම සහය නළුවා, හොඳම වේදිකා පරිපාලනය ඇතුළු සම්මාන රැසක්ම එයට හිමිවුණා. ඒ ජයග්‍රහණ ලැබුණෙත් නවගත්තේගම මහතා සමඟ කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙසයි. නවගත්තේගමයන්ගෙන් “සුදු කළු” පිටපත අරගෙන නව අධ්‍යක්ෂණයක් කළා. එහි මුඛ්‍ය අර්ථයට හානිනොවෙන්න, දෙබස් වෙනස් නොකර නැවත මම නිර්මාණය කළේ. ඒ නිර්මාණයත් සර්වකාලීනයි. මෙහිදී සයිමන් නවගත්තේගමයන් මගේ හැඩතල දැක “සුබ සහ යස’ හි යසලාලක තිස්ස රජුගේ චරිතය කරන්නැයි ආරාධනා කළා. එය දැවැන්ත ආරාධනාවක්. මම නැරඹූ පළමු වේදිකා නාට්‍යයේ මාව ප්රහර්ෂයට ලක්කළ චරිතය නැවත මට රඟපාන්න ලැබීම දෛවෝපගත සිද්ධියක්. මම ඒවනවිට අධ්‍යාපන කාර්යයක නිරතව සිටි නිසා ජයලත් මනෝරත්නයන්ට ඒ සඳහා මම ආරාධනා කළා. යසලාලකතිස්ස මනෝරත්න කරද්දි මම සුබ චරිතය කළා. පසුව මනෝරත්න අවිවේකී වුණාම මම යසලාලක තිස්ස වෙනවා. නිහාල් ප්‍රනාන්දු “සුබ” වුණා.අද වෙද්දි මම යසලාලක තිස්ස වෙනවා. “සුබ” ලෙස මහේන්ද්‍ර වීරරත්න රඟපානවා. ඒ දක්වා මම “සුබ සහ යස” සමඟ ගමනක් ආවේ සයිමන් නවගත්තේගමයන් සමඟ මගේ තිබූ ගනුදෙනුවේ ප්‍රතිඵලයක් ලෙස කියයි මට නම් හිතෙන්නේ .
ඔබ බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේ සභාපති තනතුරට පත්වූ පසු මෙහි සිදුකළ වෙනස්කම් ගැන කීවොත් …..?
මේ තනතුර මම භාරගනිද්දි මෙතැන තරමක් අකර්මණ්‍ය වෙලා තිබ්බේ. ඉන්පසු මෙහි සුවිශේෂී කාර්යයන් කිහිපයක් මම සිදුකළා. හිටපු නිලධාරි මණ්ඩලයත් ඉන්නවා. අලුත් පිරිසකුත් ගත්තා. මෙහි වහල පද්ධතිය හැදුවා. රංග ශාලාවේ ආසන පිළිසකර කළා. රඟහලේ නම වෙනස් කළා “තියටර් 7” කියලා. කොළඹ 7 තිබෙන රඟහලක් නම් කළම්බු 7නේ. ඒ නිසා “තියටර් 7” කියා වෙනස් කළා. තියටර් 7 පොළ කියා එකකුත් අපි කළා දවස් 4,5ක්. තියටර් 7 ළමා නාට්‍ය ඇගයීම නමින් ළමා නාට්‍ය උළෙලක් පැවැත්වුවා. පළාත් සභාවෙන් ප්‍රතිපාදන ලබාගෙන මෙහි තිබුණු හිස් පොකුණ අලුත්වැඩියා කළා. සුවිශේෂී රංග ශාලාවක් බවට මෙය පත්කළා.
අද වනවිට වේදිකාවේ තත්ත්වය ඔබ කෙසේද දකින්නේ …..?
වේදිකාව සක්‍රියයි. ප්‍රේක්ෂකයෝ නාට්‍ය බලන්න එනවා.. වේදිකාවේ ටිකට් මිල වැඩියි කියා සමහරු කිව්වට චිත්‍රපටයක් බලන්න ගියොත් වියදම කොච්චර ද බලන්න. ධ්ර්චය සිනමාශාලාවක් තියෙනවා හැව්ලොක් සිටි ආයතනයේ ..එහි ටිකට් එකේ මිල 4800යි.ඒකත් මිනිස්සු බලයි. අලුත් අත්දැකීමක්නේ. වේදිකා නාට්‍ය ටිකට් තමයි අඩුම මිලකට යන්නේ. සුළු මුදලකට ටිකට් එකක් විකිණුණාට වේදිකාවෙන් ලැබෙන රසය අතිවිශාලයි. අද වෙද්දි තාරුණ්‍යය හොඳ ජවයකින් වේදිකාව කරගෙන යනවා.එය සතුටුදායක තත්ත්වයක්
සිනමාවට ඔබේ දායකත්වය සහ අද සිනමාවේ තත්ත්වය ඔබ දකින්නේ කෙසේද ….?
මට සිනමාව සමඟ නම් වැඩිපුර ගනුදෙනු කරන්න ලැබුණේ නැහැ. සුදත් මහදිවුල්වැවගේ “සුදු කළු සහ අළු”, සරත් ධර්මසිරිගේ “භේරුණ්ඩ පක්ෂියා”, ජයන්ත චන්ද්‍රසිරිගේ “ඝරසරප”, පරාක්‍රම නිරිඇල්ලගේ “අයෝමා”, ජැක්සන් ඇන්තනීගේ “අබා” , උදයකාන්ත වර්ණසූරියගේ “ගින්දරී” වගේ විවිධ ශානරවල චිත්‍රපට කිහිපයකට දායක වුණා. මේ මෑතක ජයන්ත චන්ද්‍රසිරිගේ “දේවි කුසුමාසන” චිත්‍රපටයට දායක වුණා. මේ දිනවල විනෝදජනක චිත්‍රපටයක රඟපානවා .තව කිහිපයකට කතාකර තියෙනවා. අද චිත්‍රපටත් ප්‍රේක්ෂකයා නරඹනවා. එලෙස කෙලෙස කිව්වට කෙලෙස ද කිය් බලන්න මිනිස්සු යනවා
නව තාක්ෂණය පැමිණීමත් සමඟ සිනමා ශාලා වැසීයාම පිළිබඳ මොකද ඔබ සිතන්නේ……?
රූපවාහිනිය ආව අලුත ලෝකයේ එහෙම වෙනස්කම් වුණා. සිනමාව බිඳවැටේවි, නැතිවෙයි කියා සමහරු සිතුවා. බටහිර නිර්මාණකරුවන් සිනමවට ගැළපෙන, රූපවාහිනියට නොගැළපෙන නිර්මාණ හැදුවා. “ටයිටැනික්”ගන්න. ඒක ටෙලිවිෂනයේ බලන්න බැහැ. ඒක බලන්න ඕනේ දැවැන්ත තිරයෙමයි. “ස්ටාර් වෝර්ස්”දැවැන්ත තිරයක බලන්න ඕනේ..ඒකට බටහිර නිර්මාණකරුවා සන්නද්ධ වී සිටියා. අපි සන්නද්ධ වුණේ නැහැ කියලයි මගේ නම් අදහස. සිනමාවට ගැළපෙන කතා ප්‍රවෘත්තියක් අරගෙන එය සිනමානුරූපීව හැඩකළොත් ප්‍රේක්ෂකයා නැවත සිනමාශාලාවේ අසුන වෙන්කර ගන්නවා. අද බොළඳ කතා, ප්‍රේම කතාවලටත් සෙනඟ ඉන්නවා.
අද පවතින ටෙලිනාට්‍ය කලාව ගැන ඔබේ දැක්ම පැහැදිලි කළොත් …..?
ටෙලිනාට්‍ය කලාව ගැන නම් ප්‍රශ්නයක් තිබෙනවා. මෙගා ටෙලිනාට්‍ය සහ නළුනිළියන් මෙහෙයවන්නේ ඒ ඒ නාළිකා විසින්මයි. තිරරචනාවල දුර්වලතාත් තිබෙනවා.රූපවාහිනියේ ඉතිහාසයයි වර්ණවත්ම. තරුණ පිරිස එදා බිහිවූ “දඬුබස්නාමානය, කඩුල්ල, පළිඟු මැණිකේ” වගේ නිර්මාණ කධභ ඊභඡඥ එකේ සොය සොය නරඹනවා. අද ඉන්න අය ඒවා නරඹා නැහැ. ටෙලිනාට්‍ය කලාව තුළ මම යාවත්කාලීන වෙමින් ඉන්නවා තවමත්.ඉතිහාසයේ තෝරාගත් නිර්මාණවල හැඩතල නැවත නිර්මාණය කරමු කියා ඊළඟ පරපුරේ නිර්මාණකරුවන්ට කියන්න කැමැතියි. අද තාක්ෂණය දියුණු වුවත් තවම අපි ඉන්නේ සාකච්ඡා මට්ටමේ ටෙලිනාට්‍ය කලාවක. වෙනස් ශානරවල ටෙලි නිර්මාණ බිහිවීම හොඳයි. ඒත් ඒවායේ අර්ථයක් තිබිය යුතුයි. සවිඥානිකව, මනසට ගෝචර වන, සමාජ පැවැත්මට ගැළපෙන, සාරධර්ම වර්ධනය වන නිර්මාණ බිහිවිය යුතුයි. හොඳ ටෙලි නිර්මාණවලට තවමත් ප්‍රේක්ෂකාගාරයක් තිබෙනවා
අධ්යක්ෂණ කාර්යයට යොමුවෙන්න අදහසක් නැද්ද……?
වේදිකාවේ අධ්යක්ෂණ කාර්යය සිදුකළා. මේ ප්රශ්නය කිහිපදෙනෙක්ම මගෙන් ඇහුවා. මගේ අවිවේකීභාවයත් ඊට හේතුවක්. අවිවේකී බවෙන් මිදුණු පසු ටෙලිනාට්‍ය අධ්යක්ෂණයට මම බොහෝදුරට යොමුවේවි. බොහෝ අය කියන්නේ චිත්‍රපටයක් කරමු කියලා.
ඔබේ කලා දිවියේ ගුරුතත්හිලා සැලකිය හැකි පිරිසක් වේද…..?
මම 1970 දශකයේ මැද කලාවට යොමුවෙන්නේ. ඒ එද්දිත් මට තේරුණා මෙය අධ්‍යයනය කළ යුතු විෂයයක් කියලා. මේක ඇකඩමික් කියලා. ඒ කාලයේම ජර්මන් ජාතික මහාචාර්යවරයකු වන “නෝබට් ජේ. මයර්” නමැත්තා ලංකාවට එනවා. එතුමා යටතේ තමයි අපි මේ අධ්‍යාපනය ලබන්නේ. මම ජයන්ත චන්ද්‍රසිරි, කමල් අද්දරආරච්චි, ජූඩ් ශ්‍රීමාල්, චිත්රාකුමාරි කළුබෝවිල වැනි පිරිසක් මේ කණ්ඩායමට එකතු වෙනවා. එයින් දැනට රංගනයේ ක්‍රියාකාරීව ඉන්නේ මමයි කමලුයි. ජයන්ත අධ්යක්ෂණ කාර්යයට ගියා.නෝබට් ජේ. මයර් තමයි අපේ පළමු නාට්‍ය ගුරුවරයා. සයිමන් නවගත්තේගමත් මේ අතර සුවිශේෂියි.ඔහුත් මගේ කලා දිවියේ ගුරුවරයෙක්. චිත්‍රපට කලාවේ ගාමිණී ෆොන්සේකා, එච්.ඩී. ප්‍රේමරත්න වැනි පිරිස. ගාමිණී ෆොන්සේකාගේ “සාගරයක් මැද” චිත්‍රපටයේ මම සුළු චරිතයක් කළත් ඉන් බොහෝ දේ ඉගෙනගත්තා .ඉන්පසු මමයි ජයන්තටයි ශිෂ්‍යත්වයක් ලැබෙනවා නාට්‍ය වැඩබිමකට යන්න නැඟෙනහිර ජර්මනියේ. එහි මාසයක් විතර ගතකරනවා.එහිදී අපට හමුවුණු ගුරුවරයා වුණේ “ෆිදෙල් ක්රාවුස්”. ඔහුගෙනුත් බොහෝදෑ ඉගෙනගන්නවා. ලංකාවට ආ පසු “පළිඟු මැණිකේ” කරද්දී ධම්ම ජාගොඩ ශූරීන් මගේ ගුරුවරයා බවට පත්වෙනවා
ලේඛන කලාවට යොමුවූයේ නැද්ද ……..?
ලේඛන කලාවේදී තිරරචනා පැත්ත ගත්තොත් මම තිරරචනා 03ක් ලිව්වා. එකක් “තරුවක් පොළොවට” නමින්.ඒක ටෙලිනාට්‍යයක් ලෙස විකාශය වුණා. “පතොක් පාලම” ටෙලිනාට්‍යයේත් තිරරචනය කළා.. මේ දිනවල ලියා අතරමැද නවතා තිබෙනවා “සඳට ආදරෙයි” නමින් ටෙලිනාට්‍යයක්. තව නිර්මාණයක් ලියන්න අදහස ඔළුවේ සැරිසරනවා. පොතක් ලිව්වා “පාදඩ අසපුව සමඟ අමෙරිකාවට” නමින්.එය අපේ ගමනක චාරිකා සටහනක්.එහි අපේ ශූරකම්, මෝඩකම්, හපන්කම් ඇතුළත් වෙනවා. මගේ ජීවිත කතාව මේ දිනවල ලියමින් පවතිනවා.ලබන වසරේ එය එළිදැක්වීමට හැකිවේවි .
“බෝගල සවුන්දිරිස්” රංගනය සම්මානයට නිර්දේශ වී එය ගිලිහී යාම ඔබට තදින්ම බලපෑවා නේද…..?
ඒ සම්මානය පෙනිපෙනී නොපෙනී ගියා. එහි කම්පනය තවමත් තිබෙනවා. මම ඒ චරිතය වෙනුවෙන් බොහෝ සේ මහන්සි වුණා. සවුන්දිරිස් චරිතය මම ප්‍රේම කළ චරිතයක්. ඔහු ඇත්තෙන්ම ප්‍රේමනීය මිනිසෙක්.බොහෝ අය ඒ සම්මානය මට ලැබේවි කියා බලාපොරොත්තු වුණා. ප්රේක්ෂකාගාරයත් එය බලාපොරොත්තු වුණා. ඒ ගැන එකල දැවැන්ත සමාජ කතිකාවක් ඇතිවුණා. ඉන්පසු සම්මාන පිට සම්මාන ලැබුණත් ලේ, කඳුළු, දහඩිය සුවඳ තිබුණේ “සවුන්දිරිස්” චරිතය තුළයි… ඒගැනයි කනගාටුව තියෙන්නේ. ඒ වේදනාව තවමත් නැත්තේම නැහැ.
ක්ෂේත්රයට පිවිසෙන නවක පිරිස ගැන ඔබේ දෘෂ්ටිය පැහැදිලි කළොත් ….?
කියන්න බැරිතරම් නවක දක්ෂයෝ පිරිසක් අද ඉන්නවා. ඇකඩමික් ළමයින් ඉන්නවා. විශ්වවිද්‍යාල හරහා හොඳ අධ්‍යාපනයක් ලබලයි ඔවුන් එන්නේ. ඒවගේම ඔවුන් හැමෝම එන්නේ වේදිකාවෙන්. ඔවුන් වේදිකාවේ දුක දන්නවා. මම විශ්වාස කරනවා ඔවුන් මේ කලාව ගෞරවයෙන් ඉදිරියට ගෙනයාවි කියලා. හැබැයි තවත් කණ්ඩායමක් මේ කලාව ශක්තිමත් කළා කියන දේ ඔවුන්ගේ ඔළුවේ තබාගන්නවා නම් හොඳයි. අපිට පෙර පරපුර මේක ශක්තිමත් කළ නිසානේ අපට මේ ගමන යන්න හැකිවුණේ.
මනෝජ් රුක්මල් කුමාරසිංහ