වර්තමානයේ සිංහල සිනමාවේ නව පිබිදීමක් දක්නට ලැබීම විශේෂත්වයකි. විවිධ වූ ශානරයන්ට අයත් සිනමා සිත්තම්වලින් සිනමා තිරය හැඩවී ඇත. ඒ හැඩ වූ සිනමා තිරයට නවක රංගන ශිල්පීන්ගෙන් ලැබුණේද මහඟු රුකුලකි. ඔවුන් නිසා සිංහල සිනමා අඹර බැබළෙන්නට විය. විවිධ භූමිකා ඔස්සේ තම රංගන හැකියාවන් විහිදා ලූ රංගන ශිල්පීන් ඒ අතර කැපී පෙනිණ. ඇතැම් ශිල්පීන් සිනමා ප්‍රේක්ෂකයන්ගේ අවධානය සහ ආදරය දිනා ගැනීමට සමත් විය.
2024 වසරේ වැඩිම ආදායමක් ලැබූ චිත්‍රපට පොකුරට අයත් වූ ප්‍රියන්ත කොළඹගේ අධ්‍යක්ෂණය කළ ‘ මන්දාරා’ චිත්‍රපටය ප්‍රේක්ෂක ආකර්ෂණයට ලක්වූ චිත්‍රපටයකි. එහි එන විශ්වගේ චරිතයද ආකරෂණීය බවක් ගෙන තිබුණි. මේ දිනවල කවුරුත් කතා කරන්නේ ඔහු ගැනය. ඔහු මේඝ මනුරද විහඟ සූරියආරච්චිය. එහෙත් ඔහු සිනමාවේ ප්‍රකට වන්නේ මේඝ සූරියආරච්චි නමිනි. පසුගිය කාලයේ ඔහු දෙස් විදෙස් අවධානයට ලක්වූ චරිතයකි. ඒ රංගන ශිල්පියෙක් නිසා නොව Mr. Sri Lanka ජයග්‍රහණය කරමින් Mr. World ලොව ජයගන්නට පා නැඟූ තරුණයෙක් නිසාය. ඔහු එහිදී Best Costume අංශයෙන් ජයග්‍රහණය අත්කර ගනිමින් මේ පුංචි දිවයිනේ නාමය ලොව පුරා රැව් පිළිරැව් දීමට සැලැස්වීය. එතැන් පටන් මේඝ සූරියආරච්චි යන නාමය ශ්‍රී ලාංකික ජන සමාජය අතර ප්‍රචලිත විය. ඉතාමත් ආකර්ෂණීය චරිතයක් වූ මේ කඩවසම් තරුණයා ගැන පසුගිය ජූනි 24 වැනිදා නැවතත් කරළියේ කතාබහට ලක්වූයේය. 36 වැනි කැලීන් සරසවිය සිනමා සම්මාන උලළෙදී වසරේ ජනප්‍රියම නළුවා සහ නැගී එන නවක නළුවා සම්මානයෙන් පිදුම් ලැබුවේ මේඝ සූරියආරච්චිය. සුපුරුදු සුහද ලීලාවෙන් ඔහු පසුගියදා සරසවිය හමුවට පැමිණියේ හිමි කරගත් සම්මාන දෝත දරාගෙනය. මෙතෙක් ආ ගමන් මඟ පිළිබඳ මේඝ තම හඬ අවදි කළේ මෙසේය.
මගේ සම්පූර්ණ නම මේඝ මනුරද විහඟ සූරියආරච්චි වුවත් මම ආස කළෙ මේඝ කියන නමට. ඒ නිසා තමයි මම මේඝ සූරියආරච්චි නමින් පෙනී සිටින්නේ. මම මුලින්ම කැමරාවක් ඉදිරියේ පෙනී සිටියේ අවුරුදු තුනේ හතරේ සිටයි. එහෙත් සිනමා කැමරාවක් ඉදිරියේ පෙනී සිටියේ 2012 දී. මගේ පියා , කපිල සූරියආරච්චි තිර රචනය කොට අධ්‍යක්ෂණය කළ ‘ ප්‍රතිරූ’ චිත්‍රපටයෙන්. ඒ මම අ.පො.ස සාමාන්‍ය පෙළ කරන කාලේ. එහි රූගත කිරීම් සිදුකළෙ 2010 වසරේදි. මම සිනමා කැමරාවක් ඉදිරියේ මුලින්ම රංගනය ඉදිරිපත් කළෙ ‘ ප්‍රතිරූ’ සඳහා. 35mm සෙලෝ ලයිඩ් පටයක. ‘ ප්‍රතිරූ’ චිත්‍රපටයේ මට රංගනයේ යෙදෙන්න තිබුණේ ජෝ අබේවික්‍රම ප්‍රවීණ රංගවේදියා සමඟ. එය මට වටිනා අවස්ථාවක් වුණා. ඔහු සිංහල සිනමාවේ දැවැන්තයෙක් . ඔහු සිනමා පුස්තකාලයක් කිව්වොත් නිවැරදියි. මම රංගනයේ දිගටම රැඳී සිටින්න උත්තේජනයක් ඇති කළේ ජෝ අබේවික්‍රම මහතා. එතුමා තුළ තිබූ සංස්කෘතික දැනුම, ජීවිතය පිළිබද තිබූ අත්දැකීම් සිනමා රස්තියාදුව නිසා ලබාගත් දැනුම මා හා බෙදා ගත්තා. එය මගේ රංගන ජීවිතයට ලැබුණු තිළිණයක්.
කුඩාකල සිට මම ගැවසුණේ කලාවත් සමඟ. පැරණි කළු සුදු චිත්‍රපට මෙන්ම ළමයින්ට සුදුසු විදෙස් චිත්‍රපට බලන්න මම පුරුදු වෙලා සිටියා. සිනමා රංගන ශිල්පියෙක් ලෙස ප්‍රේක්ෂකයන් ඉදිරියට ගියේ ‘ සිනේමා’ චිත්‍රපටයෙන්. සිනේමා චිත්‍රපටයේ රංගනයේ යෙදෙන විට මම රංගනය පිළිබද හදාරා තිබුණේ නැහැ. සිනෙමා හි රූගත කිරීම් අවසන් වූ පසු රංගනය හදාරන්න පටන් ගත්තා. ඉන් කලකට පසුව තමයි ‘ මන්දාරා’ සඳහා මා දායකත්වය ලබා දුන්නේ.
මන්දාරා අධ්යක්ෂ ප්‍රියන්ත කොළඹගේ තමයි මාව එහි රඟපෑමට තෝරා ගත්තේ. ඔහු සිනෙමා තිරගත වීමට කලින් සිනේමාහි ට්‍රේලර් එක දැකලා මට කතා කළේ. රංගන ශිල්පීන් සහ නිරූපණ ශිල්පීන් රාශියක් තෝරා ගැනීමේ පරීක්ෂණය සඳහා සහභාගී වී සිටියා. ඔඩිෂන් වාර නවයකින් පසුව විශ්වගේ චරිතයට මාව තෝරා ගත්තා. විශ්ව චරිතය , ආධුනිකයෙක් වූ මට එක්තරා අභියෝගයක් වුණා. අවුරුදු 12 ක වයස් පරතරයක් ඇතුළත දිගහැරෙන චරිතයක් නිසා මගේ ඇතුළාන්තයෙන් පවා වෙනස් විය යුතු ආකාරය පිළිබද මා දැනුවත් වුණා. ප්‍රියන්ත කොළඹගේ මහතා වැනි අධ්‍යක්ෂකවරයෙක් නවකයෙක් හමුවිය යුතු හොඳම අධ්‍යක්ෂකවරයෙක්. ඒ වගේම ඔහුගේ සෑම නිර්මාණයක්ම ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළද ගත්තා.
සරසවිය සිනමා සම්මාන උලෙළ වසරේ නැගී එන නවක නළුවාට හිමි සම්මානය මට ලැබෙන්නේ ‘ මන්දාරා’ හි විශ්වගේ චරිතය නිසා. හිතේ පොඩි බලාපොරොත්තුවක් තිබුණා මගේ නම නිර්දේශ නාම අතරට හෝ ලැබෙයි කියල. නමුත් සම්මානය හිමිවේ යැයි සිතුවේ නැහැ. ජනප්‍රිය නළුවා සම්මානය මෙතරම් ඉක්මණින් හිමිවේ යැයි කියා සිතුවේත් නැහැ. මන්දාරා චිත්‍රපටය ආකර්ෂණීය චිත්‍රපටයක් වුණා. පසුගිය වසරේ මාස හයක පමණ කාලයක් චිත්‍රපටය සිනමා ශාලාවල ප්‍රදර්ශනය වුණා. ඒ හරහා මට ලැබුණ ප්‍රතිචාරත් ඉහළ ගියා. මන්දාරා තිරගත වූ කාලයේදීම තමයි මම ර්ප. එධපතඤ තරඟයට සහභාගී වුණේ. එහි ඕඥඵබ ඛ්ධඵබභථඥ අංශයෙන් මම ජයග්‍රහණය හිමිකර ගත්තා. එයින් පසුව මගේ නම ජනතාව අතරට ගියා. මගේ රසිකයන්ගේ , ප්‍රේක්ෂකයන්ගේ ආදරය මට හිමි වුණා. ජනප්‍රිය නළුවාට හිමි සම්මානය මට හිමිවන්නට එයත් බලපාන්න ඇති. නැඟී එන නළුවාට සහ ජනප්‍රියම නළුවාට හිමි සම්මාන ද්විත්වයම එක් රංගන ශිල්පියෙක්ට හිමිවූ ඉතිහාසයේ පළමු අවස්ථාවත් මෙයයි. ඒ පිළිබද මට තිබෙන්නේ නිහතමානී ආඩම්බරයක්. එය මගේ ජීවිතයේ අමරණීය මොහොතක්. මේ ලැබුණ සම්මාන දෙකටම මම උපරිම සාධාරණයක් ඉෂ්ට කරනවා.
මේ දිනවල මම රඟපාන, ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ අධ්‍යක්ෂණයක් වන දේවි කුසුමාසන ඉතා සාර්ථකව තිරගත වෙනවා. හේමාල් රණසිංහ, උදාරි වර්ණකුලසූරිය සමඟ මම ඇන්ඩ්රිගේ භූමිකාව නිරූපණය කරනවා. දේවි කුසුමාසන කියන්නේ ඉතිහාසය වෙනස් විදිහට දකින, හරි විදිහට කියවන චිත්‍රපටයක්. එය ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැලඳ ගත්තා.
ඉදිරියේදි සූරිය සුළඟ, අග්නික සහ සීගිරි යන චිත්‍රපට තිරගත වෙන්න තියෙනවා. තුෂාර තෙන්නකෝන්ගේ අධ්‍යක්ෂණයක් වන ‘ රාවණ’ චිත්‍රපටයේ රූගත කිරීම් මේ දිනවල සිදුවෙනවා. තවත් චිත්‍රපට කිහිපයක වැඩ කටයුතු ගැන සාකච්ඡා කරමින් ඉන්නේ. ඒ වගේම මා මුලින් සඳහන් කළ පරිදි මම අධ්‍යක්ෂකවරයෙක්. මම අධ්‍යක්ෂණය කළ මෙරීන් ඩ්‍රයිව් චිත්‍රපටය තිරගත වීමට නියමිතයි. එය මම අධ්‍යක්ෂණය කරන පළමු වැන්නයි.
මෙම වසරේ සරසවිය සම්මාන උලෙළට දෙමළ භාෂිත චිත්‍රපට ද්විත්වයක් ඇතුළත් වී තිබුණා. එය යහපත් තත්වයක්. මගේ අදහස නම් සිංහල චිත්‍රපට ත්‍රයි භාෂාවෙන් හඬ කැවිය යුතුයි. නැතහොත් දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවෙන් උප සිරැස යෙදිය යුතුයි. අපි නිර්මාණ කළ යුත්තේ ශ්‍රී ලංකාව ඇතුළත ජීවත් වන සෑම පුරවැසියෙක්ටම දැනෙන්න සහ විඳින්න.
වර්තමානයේ සිනමාවට හොඳ කාලයක් උදා වී තිබෙනවා. එකිනෙකට වෙනස් වූ නිර්මාණ බිහිවූ කාලයක්. ඒ වගේම දක්ෂ රංගන ශිල්පී ශිල්පිනියන් පිරිසක් බිහි වුණා. ප්‍රේක්ෂකයන් සිනමා ශාලා වටා නැවතත් රොක් වුණා. එනිසා නිර්මාණකරුවන්, රංගන ශිල්පීන් ලෙස අපට වගකීමක් පැවරිලා තියෙනවා. ශ්‍රී ලාංකික ජනතාව සිනමාව වැලඳ ගන්න විදිහේ නිර්මාණකරණයේ යෙදීම. අපේ සිනමාව අන්තර් ජාතික මට්ටමට ගෙන යා හැකියි.
මම රංගනයේ යෙදෙන්නේ නිර්මාණ තෝරා බේරාගෙන රංගනයට අමතරව මම අධ්‍යක්ෂකවරයෙක්, රංගන ශිල්පියෙක් ලෙස සිනමාව වෙනුවෙන් යුතුකම් ඉෂ්ට කළ යුතුයි. අපෙන් පසු පරපුරක් ඇති කළ යුතුයි. ඒ පරපුර සිනමාව භාර ගන්නා සිටින කට්ටිය. සිනමාවේ නියැළෙන්න, සිනමාවට ආදරය කරන තරුණ පිරිසක් ඉන්නවා. මා ඉගෙන ගත් දේ යාවත්කාලීන කරගනිමින් එම පිරිසට මාර්ගය පාදා දීම තමයි මගේ එකම අරමුණ.
මේඝ සූරියආරච්චි පියවරෙන් පියවර ඉදිරියට තැබූ රංගන ශිල්පියෙක් . දුඹුරු පැහැති නෙත් යුගලකට හිමිකම් කියන ඔහුට එය එක් අතකින් ආභරණයකි. එහෙත් විටෙක ලැබෙන චරිත අනුව එහි පැහැය සඳහා ගැටලු මතු වෙන අවස්ථාද ඇති බව ඔහු පැවසීය. තම පියාගේ පූර්ණ ආශීර්වාදය මත මෙතරම් දුරක් ඒමට මඟ කියා දුන් තම පියා පිළිබද ඔහුට ඇත්තේ මහත් භක්තියකි. 36 වැනි සරසවිය සිනමා සම්මාන රාත්රියේදී සම්මාන ද්විත්වයක් තම දෝතට තුරුලු කර ගනිද්දී ඔහු තම පියාව අමතක කළේ නැත. තම ආදරණිය පියාණන්ට වේදිකාවට ආරාධනා කරමින් පීතෘ භක්තිය හදවතින්ම පුදකළ මේඝ සූරියආරච්චි ඉදිරියේදී සිනමාවට අවැසි මහඟු සම්පතක් බවට පත්වනවා නොඅනුමානයි.
නයනාංජලි දෙහිපිටිය