Home » ලාංකේය කලාකරුවන්ගේ ආලේඛ්‍ය චිත්‍ර ප්‍රදර්ශනය කෙරෙන

ලාංකේය කලාකරුවන්ගේ ආලේඛ්‍ය චිත්‍ර ප්‍රදර්ශනය කෙරෙන

by Thanushika
August 21, 2025 12:40 am 0 comment

ඈන් සදාහරන්, ක්‍රිෂ් ලියනාඩෝ සදාහරන් සහ ක්‍රිෂෙල් මෙලීසා සදාහරන් එක්ව ඉදිරිපත් කරන beyond Imagination චිත්‍ර ප්‍රදර්ශනය අගෝස්තු මස 22, 23, 24 යන දිනවලදී උදෑසන 9 සිට රාත්‍රි 8 දක්වා කොළඹ 7 ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී පැවැත්වේ. බහු මාධ්‍ය චිත්‍ර ප්‍රදර්ශනයක් වන මෙය ලාංකේය රංගන ශිල්පීන්, ගායක ගායිකාවන් ඇතුළු කලාකරුවන්ගේ ආලේඛ්‍ය චිත්‍ර ද සහිත බහුවිධ මාධ්‍ය යොදාගෙන නිර්මාණය කළ චිත්‍ර සියයකින් පමණ සමන්විත චිත්‍ර ප්‍රදර්ශනයකි. beyond Imagination චිත්‍ර ප්‍රදර්ශනය ඈන්, ක්‍රිෂ් සහ මෙලීසා යන මව,පුතු හා දියණිය යන එකම පවුලේ සාමාජිකයන් විසින් පවත්වනු ලබන චිත්‍ර ප්‍රදර්ශනයක් වීම විශේෂිතය.

beyond Imagination චිත්‍ර ප්‍රදර්ශනයේ නියමුවරිය ඈන් සදාහරන් ලෙස හඳුන්වා දීම වරදක් නොවේ. මේ වන විට චිත්‍ර ගුරුවරියක වශයෙන් සේවය කරන ඇය සිය වැඩිමහල් පුතු හා කුඩා දියණිය ද සමඟින් මේ ආකාර වූ ප්‍රදර්ශනයක් පැවැත්වීම විශේෂිතය. මෙබඳු චිත්‍ර ප්‍රදර්ශනයක් පැවැත්වීමේ වැදගත්කම පිළිබඳ ඔවුන් සමඟ කළ කතා බහකි මේ.

මේ චිත්‍ර ප්‍රදර්ශනයේදී අපි තිදෙනා එක්ව චිත්‍ර සියයක් පමණ ඉදිරිපත් කරනවා. ඒ අතරේ ක්‍රිෂ් ලියනාඩෝ මගෙ පුතා විසින් ආලේඛ්‍ය චිත්‍ර දාහතක් ඉදිරිපත් කරනවා. ඒ චිත්‍ර සියල්ලම ලාංකේය කලා ක්ෂේත්‍රයට සම්බන්ධයක් සහිත ශිල්පීන් මූලික කරගෙන නිර්මාණය වීම විශේෂත්වයක්.එනම් ලාංකේය සංගීත ක්ෂේත්‍රය වගේම සිනමා කලා ක්ෂේත්‍රයට සම්බන්ධ කලාකරුවන්ගේ රුව තමයි ඔහු ආලේඛ්‍ය චිත්‍රයට නඟා තිබෙන්නේ. ඒ වගේම අපි තුන්දෙනා විවිධ ශෛලීන් යටතේ ඇඳපු චිත්‍ර තමයි මේ ප්‍රදර්ශනයට අපි ඉදිරිපත් කරන්නෙ. එනම් මිශ්‍ර මාධ්‍ය යොදාගෙන. මොකද අපි දැකල තිබෙන බොහෝ චිත්‍ර නිර්මාණය වෙන්නෙ එකම ශෛලියක් ඔස්සේ. අපි හිතුවා අපේ චිත්‍ර වෙනස් විදියකට කරන්න ඕන කියල.

ඒවගෙම මගේ දුව මේ ප්‍රදර්ශනයට ඉදිරිපත් කරන්නෙ ළමා චිත්‍ර. ඒ කියන්නෙ සත්තු, මල් වගෙ චිත්‍ර ඇය විසින් ඇඳ තිබෙන්නෙ. විශේෂයෙන්ම ඇය ඉතා හොඳීන් වර්ණ භාවිත කර තිබෙනවා මේ චිත්‍ර නිර්මාණය කිරීමේදී. ඇය චිත්‍ර විස්සක් විතර මේ ප්‍රදර්ශනයට ඉදිරිපත් කරනවා.

ඔබේ පළමුවැනි ප්‍රදර්ශනයද මේ ?

නැ. මගෙ නව වැනි ප්‍රදර්ශනය මේ. මම චිත්‍ර ශිල්පය හැදෑරුවේ කලාසූරි ජයසිරි සේමගේ මහත්මයා යටතේ. දෙදහස් පහ වර්ෂයේදී තමයි මගෙ මුල්ම ප්‍රදර්ශනය පැවැත්වුවේ. එය ඉදිරිපත් කළේ අපි කණ්ඩායමක් විදියට. මුල් කාලයේදී අපි ගොඩක්ම සර්ගෙ ස්ටයිල් එක තමයි අනුගමනය කළේ. හැබැයි දැන් මේ වතාවෙ මම එයින් බැහැරව වෙනස් විදියකට තමයි චිත්‍ර ඉදිරිපත් කරන්නේ.

මම මගෙ පශ්චාද් උපාධිය සම්පූර්ණ කළේ 2019දීයි. එහිදී මම මිශ්‍ර මාධ්‍ය ඔස්සේ චිත්‍ර නිර්මාණය කිරීම ගැන හැදෑරුවා. මෙතනදි සේමගේ සර්ගෙන් ඉගෙන ගත් දේවල් මිශ්‍ර මාධ්‍ය යොදාගනිමින් මගෙ නව නිර්මාණ ඉදිරිපත් කර තියෙනවා. ඒ ඔස්සේ මගෙම අනන්‍යතාවක් ගොඩ නඟාගන්න උත්සාහ කළා. මගෙ චිත්‍රවල මම කාන්තා රූප තමයි වැඩි වශයෙන් ඉදිරිපත් කරන්නෙ. ඒකට සේමගේ සර්ගෙ ආභාසය බලපාන්න ඇති. එතුමා කාන්තා රුව හරි ලස්සනට වර්ණවත්ව ගොඩනඟපු කෙනෙක්.

beyond Imagination චිත්‍ර ප්‍රදර්ශනය ඉදිරිපත් කරන්න බලපෑ කාරණා මොනවාද ?

පාසලේ මට තිබෙන අත්දැකීම් අනුව දරුවන්ට චිත්‍ර හෝ වෙනත් කලා විෂයක් හදාරන්න මව්පියන්ගෙන් ලැබෙන අනුබලය හරි අඩුයි. මේ අඩු අනුබලය නිසා කලා විෂයන් ගොඩක් සමාජයෙන් ඈත් වෙනවා. නමුත් ඇත්තටම සංවේදි දරුවෙක් සමාජයට තිළිණ කරන්න නම් අපි කලා විෂයන් දරුවන්ට ඉගැන්විය යුතුයි. චිත්‍ර විෂයෙන් ඉවසීම ඇතුළු බොහෝ ගුණාංග අපට ගොඩක් ප්‍රගුණ කළ හැකියි. එය භාවනාවක් වැනියි. මේ විෂය හරි සංවේදී විෂයක්. ඉතින් ඒ නිසා ඒ කරුණු සියල්ලත් සැලකිල්ලට ගෙන දුවත් පුතත් එකතු කරගෙන මේ ප්‍රදර්ශනය කරන්නේ සමාජයට, විශේෂයෙන් දරුවන්ට පණිවිඩයක් දෙන්න. මේ විෂය ගැන ඔවුන් තුළ පෙලඹවීමක් ඇති කරන්නත්.

නූතන දරුවන් මේ විෂය කෙරේ ඇති උනන්දුව කොයි වගේද ?

මේවැනි විෂයන් කෙරේ ඔවුන්ගේ අවධානය යොමු කරවාගැනීම පහසු නෑ. නමුත් සීමිත කොටසක් සිටිනව ඔවුන් ලස්සනට ඉවසීමෙන් මේ විෂය එක්ක කටයුතු කරනවා. ඒ වගේම ඉතා ලස්සනට චිත්‍ර අඳීන දරුවන් ඉන්නවා.චිත්‍ර කියන්නෙ විෂයක් නැතිකමට තෝරාගත යුතු විෂයක් නොවේ. මේක උනන්දුවෙන් වුවමනාවෙන් කළ යුතු විෂයක්. මොකද මානව ශිෂ්ටාචාරයේ ඉතිහාසයේ පටන් මේ විෂය ඇතුළෙ තියෙනව. ඒ නිසා මේක හරිම පුළුල් විෂයක් ඒ වගේම සංවේදි විෂයක්. මේ ප්‍රදර්ශනය වෙනුවෙන් අපි තිදෙනාත් කාලයක් අරන් සූදානම් වුණේ.

එකම පවුලේ තිදෙනකු සම්බන්ධ වන මෙවැනි ප්‍රදර්ශනයකට සූදානම් වීමේදී ඔබේ දරුවන්ට හදා දුන් පසුබිම මොන වගේද ?

බොහෝ වෙලාවට මම අඳීන දිහා මෙයාල බලා හිටියා. පුංචි කාලෙ ඉඳන් ම එහෙමයි. ඔවුන් දෙදෙනාම දැනට පාසල් අධ්‍යාපනය ලබනවා. පුතා මරදාන සාන්ත ජෝසප් විද්‍යාලයේත්, දුව කොළඹ 7 සාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේත් ඉගෙනුම ලබන්නේ. කාලයත් එක්ක පුතා ඔහුගේ ම චිත්‍ර ශෛලියක් වර්ධනය කර ගත්තා. ඉතින් ඒ පසුබිමත් එක්ක තමයි මම චිත්‍ර ප්‍රදර්ශනයක් තියන්න සැලසුම් කරන අතරතුරේ එයාලගෙනුත් ඒ ගැන විමසුවේ. ඇත්තෙන්ම අපි තිදෙනාම යම් කාලයක් ගෙන මේ සඳහා සූදානම් වුණේ. ඒ නිසා ඔවුන්ගේ අනිකුත් ඉගෙනුම් කටයුතුවලට මේ අවස්ථාව බාධාවක් වුණේ නැහැ.

beyond Imagination චිත්‍ර ප්‍රදර්ශනයේ සුවිශේෂි අවස්ථා මොනවාද ?

අප ඉදිරිපත් කර තිබෙන ආලේඛ්‍ය චිත්‍ර සියල්ලම නිර්මාණය කර තිබෙන්නේ ලාංකේය කලා ශිල්පීන්ගේ රුව සහිතවයි. පෙර පැවසූ ලෙසම එබඳු චිත්‍ර දාහතක් මේ ප්‍රදර්ශනයට ඇතුළත්. විශේෂත්වය තමයි ඒ එක් එක් රුව එදින ඒ කලාකරුවන් අතින්ම විවෘත වීම. ඔවුන් එදින මේ ප්‍රදර්ශනයේදි තමාගේ ආලේඛ්‍ය රුව තමා අතින්ම විවෘත කරන්ට පැමිණීම විශේෂ අවස්ථාවක් විදියට අපි දකිනවා.

[email protected]

සේයාරූ – මාලන් කරුණාරත්න

සමුද්‍රිකා වර්ණකුල

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT