ඉන්දියානු මලයාලම් සිනමාවේ පතාක යෝධයතු වූ ප්‍රවීණ සිනමාකරු සාජි එන්.කරූන් ගේ වියෝව ඉන්දියාවට පමණක් නොවේ ලෝකයේ සිනමාවට ආදරේ කරන බොහෝ දෙනා තුළ ශෝකය ජනිත කළහ. පසුගිය දා සිය දිවි ගමන නිමා කළ ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදකවරයකු මෙන්ම කැමරා ශිල්පීයකු ද වූ සාජි එන් කරූන්ගේ හිඩැස යළි පිරවිය නොහැකි එකකි. ඒ ඔහු ඉන්දියානු සිනමාවේ පමණක් නොව ලෝක සිනමාවේ ද නමක් දිනා සිටි අයෙකු වීම නිසාය.
රෝගාතුරවීම නිසා පසු ගිය අප්‍රේල් 28 දා කේරළයේ තිරුවානන්තපුරම් හි පිහිටි සිය නිවසේ දී දිවි ගමන නිමා කරන විට ඔහු 73 වැනි වියේ පසු විය. 1952 ජනවාරි 01 දා ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කොල්ලම් හි උපත ලබන සාජි නීලකාන්තන් කරුණාකරන් සිනමාකරුවෙකු ලෙස ප්‍රකට වන්නේ සාජි එන්. කරුන් යන නමිනි.
කේරළ සිනමාවෙන් දැවැන්ත ඉන්දියානු සිනමාවට ප්‍රවිශ්ට වන ඔහු ඔහුගේ මංගල චිත්‍රපටය වන “පිරවි” (1988) චිත්‍රපටය තුළින්, චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු සහ කැමරා ශිල්පියෙක් ලෙසට වඩාත් ප්‍රකට විය. එම චිත්‍රපටය 1989 කෑන්ස් චිත්‍රපට උලෙළේදී කැමරා ඩි’ඕර් – මෙන්ෂන් ඩි’හොනර් සම්මානය දිනා ගනු ලැබිණි. එසේම පිරවිචිත්‍රපටය ලොව බොහෝ සිනමා විචාරකයින්ගේ පැසසුමට ද ලක් වූ සිනමා කෘතියක් විය.
මෙම “පිරවි” චිත්‍රපටය එකළ ශ්‍රී ලංකාව තුළ ද බෙහෙවින් ජනප්‍රියත්වයට පත් විය. මෙරට බොහෝ සිනාමාකරුවන්ට දඔහුගේ නිර්මාණ වලින් ලැබුණේ ඉහළ ආභාසයකි. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ දක්ෂ සිනමා අධ්‍යක්ෂකවරයකු වූ ප්‍රසන්න විතානගේ මහතා පිරවි චිත්‍රපටය නැරඹීමෙන් තමා තුළ හටගත් ප්‍රකම්පනය පසු කලෙක පුරහඳ කළුවර චිත්‍රපටය නිර්මාණය කිරීමට තමාට උත්තේජනයක් ඇති කළ බව කියා සිටියේය. එම චිත්‍රපටය සේම තමාගේ ප්‍රථම සිනමා නිර්මාණය වූ සිසිල ගිනි ගනී චිත්‍රපටය 1998 කේරළ සිනමා උළෙලේ තිර ගත වීමෙන් පසු සාජි එන්. කරූන් මහතා ඒ ගැන දැක්වූ ප්‍රශංසාව ද ඉතාම ගෞරවයෙන් සිහි කරන බවත් ප්‍රසන්න විතානගේ මහතා මා වෙත පැවසීය. සාජි කරූන් වැනි කෘතහස්ත සිනමාකරුවකුගේ නිර්මාණාත්මක භාවිතාව ඉතා ඉහළ ගුණාත්මක භාවයක පවතින බව ද විතානගේ මහතාගේ අදහස විය.
සාජි එන්. කරූන් අධ්‍යක්ෂණය කළ “පිරවි” (1988), “ස්වහම්” (1994), “වනප්‍රස්තම්” (1999) සහ “කුට්ටිස්රාන්ක්” (2009) වැනි චිත්‍රපට ඉන්දියාව තුළ මෙන්ම අන්තර්ජාතික වශයෙන් ද බොහෝ ඇගැයීමට පාත්‍ර වූ සිනමා කෘති විය. පිරවි චිත්‍රපටය අන්තර්ජාතික චිත්‍රපට උලෙළ 70කට ආසන්න
සංඛ්‍යාවක ප්‍රදර්ශනය වූ අතර, ඔහුගේ දෙවැනි චිත්‍රපටය වූ ස්වහම් (1994) චිත්‍රපටය දකෑන්ස් චිත්‍රපට උලෙළේ පාම් ඩි’ඕර් සම්මානය සඳහා නිර්දේශ විය. එසේම වානප්‍රස්තම් (1999) කෑන්ස් සිනමා උලෙළෙහි ප්‍රදර්ශනය විය. ඔහුගේ “කුට්ටි ස්රාන්ක්” චිත්‍රපටය 2010 දී හොඳම වෘත්තාන්ත චිත්‍රපටය සඳහා ජාතික සම්මානය දිනා ගත්තේය. කුට්ටි ස්රාන්ක් චිත්‍රපටය සඳහා ඔහු තෝරා ගත් එක් ප්‍රධාන නිළියක් වූයේ අප රටේ දක්ෂ රංගන ශිල්පිනියක් වූ මීනා කුමාරි ය. සාජි මහතා ඇයව ඒ සඳහා තෝරා ගැනීම ම ශ්‍රී ලංකාවට කරන ලද ගෞරවයක් වේ.
පද්ම ශ්‍රී සම්මානය සහ ප්‍රංශ ගෞරව සම්මානයක් වන “Order of Arts and Letters” සම්මානයෙන් පිදුම් ලැබූ සාජි එන්. කරුන් ගේ චිත්‍රපට, ජාතික සම්මාන හතක් සහ කේරළ ප්‍රාන්ත සම්මාන රාශියක් දිනා ගෙන තිබීම ද සුවිශේෂී ය. ඔහු ඉන්දියාවේ චිත්‍රපට සහ රූපවාහිනිය සඳහා වූ පළමු ඇකඩමිය වන කේරළ ප්‍රාන්ත චලන චිත්‍ර ඇකඩමියේ ආරම්භක සභාපතිවරයා වූ අතර 1998 සිට 2001 දක්වා අන්තර්ජාතික කේරළ චිත්‍රපට උළෙලේ (IFFK) විධායක සභාපතිවරයා ද ලෙස කටයුතු කලේය.
කේරල ප්‍රාන්ත රජය විසින් පිහිටුවන ලද ඉහළම චිත්‍රපට ගෞරවය වන මලයාලම් සිනමාවට ජීවිත කාලය පුරාම ඉටු කළ දායකත්වය වෙනුවෙන්, ජේ. සී. ඩැනියෙල් සම්මානයෙන් ඔහු පිදුම් ලැබීය. මලයාලම් සිනමාවේ උරුමය අන්තර්ජාතික ප්‍රේක්ෂකයින් වෙත ගෙන ගිය විශිෂ්ට චිත්‍රපට නිෂ්පාදකයින් අතර ඔහු වැජඹුණි.
පසුගිය 2024 වර්ෂ අවසානයේ කේරලයේ පැවති අන්තර්ජාතික චිත්‍රපට සංරක්ෂණ වැඩමුළුවේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් පැමිණි ඔහු සමඟ මා හට කතා බහ කිරීමට අවස්ථාව ලැබීම භාග්‍යයක් විය. ශ්‍රී ලංකාවේ ද හොඳ සිනමාවක් තිබෙනවා. මට මතකයි දශක කිහිපයකට පෙර ඉතා හොඳ චිත්‍රපට ලංකාවේ බිහි වුණා. විශේෂයෙන් එම චිත්‍රපටකරුවන් බොහෝ දෙනෙකු ඉන්දියානු සිනමාකරුවන් සමඟ ද සම්බන්ධකම් පැවැත්වූවා. ඔවුන් අපේ සිනමා කෘති වලින් ද යම් යම් සිනමාත්මක උකහා ගැනීම් කර තිබෙනවා. ඒක හොඳ දෙයක්. එයින් සිනමාකරුවන්ගේ නිර්මාණාත්මක ආභාසය පොහොසත් වනවා යි ඔහු මා සමඟ පැවසීය. තවද ඉන්දියාවේ ෆිල්ම් 33 ආයතනය හා අන්තර්ජාතික 234 ආයතනය ප්‍රංශ රජයේ ද අනුග්‍රහය ඇතිව ඉන්දියාවේ සිනමා කෘති ආරක්ෂා කිරීමට ගෙන යන වැඩපිළිවෙළ ඔහු අගය කලේය. එමඟින් ශ්‍රී ලංකාවේ චිත්‍රපට ආරක්ෂා කර ගැනීමට ද අවශ්‍ය පහසුකම් සලසා ගැනීම වැදගත් බව ද ඔහු තව දුරටත් පෙන්වා දුන්නේය. විශේෂයෙන් ආසියාවේ සිනමාවේ ආරක්ෂාව හා දියුණුව තමා අපේක්ෂා කරන බව ද සාජි එන්. කරූන්ගේ අදහස විය.
මෙවැනි දක්ෂ සිනමා කරුවෙකුගේ නික්ම යාම කේරළ සිනමාවට පමණක් නොව ලෝකයේ විශිෂ්ට සිනමාවක් අපේක්ෂා කරන සෑම සංස්කෘතියකටම පිරිමැසිය නොහැකි පාඩුවකි.