සප්ත ස්වරයේ මනෝරම්‍ය බව මිනිස් හද සන්තානය සුවපත් කරයි. ගායන අඹරේ දිලෙන ගීතරු කාන්තිය රසික හදවතේ සදානන්දනීය වන්නේ ඒ ලෙසයි. ඕ තරු පොකුරක තාරකාවකි. ජානමය උරුමයෙන් ලද ප්‍රතිභා පූර්ණත්වය ද රුව ගුණ හා මුසු වූ නිහතමානී බවද රසික හද තුළ ඇය සදාතනික කර ඇත.
එතෙරද මෙතරද ජන හද බැන්දු ජනපි‍්‍රය ගායන ශිල්පිනී විශාරද අනුරාධා පෙරේරා අද සරසවියෙන් ඔබ හමු වෙයි.
කලා පවුලක ඉපදුණු ඔබේ සංගීත පසුබිම ගැන සිහිපත් කරමින් අපේ කතාබහ අරඹමු ද?
මගේ ආදරණීය පියා ප්‍රවීණ ගායන ශිල්පී ෂෙල්ටන් පෙරේරා. ඒ වගේම එතුමා තබලා වාදකයෙක්. අම්මා ප්‍රවීණ ගුවන් විදුලි ශිල්පීනි ශෂි පෙරේරා. සහෝදර සහෝදරියන් අතරින් මමත් සතිෂ් අයියත් තමයි ගීත ගායනයට සම්බන්ධ වුණේ.
මම පවුලේ බාලයා නිසා අම්මයි තාත්තයි සන්දර්ශනවලට යන විට මමත් එක්කරගෙන යනවා.
මුලින්ම අම්මා එක්ක සරලගී වැඩසටහනකට ගීයක් ගායනා කළා. එතකොට මට වයස අවුරුදු දහයක්වත් නැහැ. ඉන්පසු තාත්තා එක්කත් ගුවන් විදුලි සරල ගී වැඩසටහනකට මමත් සතිෂ් අයියත් දෙදෙනාම ගීත ගායනා කළා.
දවසක් මාතර සංගීත සංදර්ශනයකට යන දවසක නුවන් අයියා (නුවන් ගුණවර්ධන) සහභාගී වුණා. එදා මාතර සංදර්ශනයේදී අහම්බෙන් වගේ මටත් ගීතයක් ගායනා කරන්න අවස්ථාවක් ලැබුණා. ඉන් සතියකට පමණ පසු නුවන් අයියා අපේ ගෙදර ඇවිත් ඔහුගේ ගීත මාලා 85 කැසට් පටයට ගීත කීපයක් ගායනා කරන්න දුවට ආරාධනා කරන්න ආවේ කියලා කිව්වා. ඉන්පසු නුවන් අයියාගේ “ගීත් මාලා 86 සාවන් මේලා නුවන් ගීත මාලාහි සහාය ගායිකාව ලෙසත් ගීත ගායනා කළා.
එල්ෆින්ස්්ටන් හෝ ටවර් රඟහලේදී නුවන් අයියාගේ ප්‍රසංගයක මා ගීත ගායනා කරනවා දැකලා තාත්තා අම්මා එක්ක කියා තිබුණා “කෙල්ල හොඳට සින්දු කියනවා අපි උගන්නමු” කියලා.
ඉන්පසු 1986 වසරේ තාත්තා මියගියාට පසු තාත්තාගේ සිතේ තිබුණු ලොකුම බලාපොරොත්තුව ඉටු කරන්න අම්මා මමත් අක්කාත් ඉන්දියාවේ භාත්ඛණ්ඩෙ විශ්වවිද්‍යාලයට ඇතුළත් කළා. එහිදී මා ගායනය හා සිතාර් වාදනය විශාරද දක්වා ඉගෙන ගෙන ලංකාවට ආවා.
සංගීතය හදාරලා ලංකාවට ඇවිත් නිවේදිකාවක් වෙන්නේ කොහොමද?
ඇත්තටම ඒ වෙද්දි රැකියාවක් කිරීමේ උනන්දුවක් තිබුණේ නැහැ. නමුත් රූපවාහිනියේ සේවය කළ අපේ පවුලේ හිතවතා සමන් කුමාර ලියනගේ මට දවසක් කිව්වා සිරස කියලා අලුත් රේඩියෝ එකක් පටන් ගන්නවා ඒකට සම්බන්ධ වෙන්න කියලා. ඒ පෙරදාක නිසා මා ගිහින් නිමල් ලක්ෂපතිආරච්චි මහත්මයා හමු වුනාම හෙට ඉඳලම ඇවිත් වැඩ කරන්න කියලා කිව්වා.
ඒ මගේ මුල්ම රැකියාව. මට පැවරුණේ හින්දි ගීත සිංහලට පරිවර්තනය කරන්න.
මම ඉතාම ආසාවෙන් උනන්දුවෙන් එම රාජකාරිය ඉටුකළා. පැරණි ලස්සන හින්දි ගීත අහන්න ඒවා සිංහලට නඟන්න එහිදී හැකි වුණා.
එහෙම කාලය ගත වෙද්දි එක දවසක් අපේ චාමික රොෂාන් නිවේදකයා මට කිව්වා දැන්වීමක් සඳහා නිවේදිකාවක් නොවන කෙනෙකුගේ හඬක් අවශ්‍ය බව. එදා ඒ ඉදිරිපත් කිරීමෙන් පසුව ඒ කාලයේ අද වගේ නෙවෙයි, ලිපි එවන යුගය නිසා විශාල ලිපි ප්‍රමාණයක් ලැබෙන්න පටන් ගත්තා. ඉන්පසු නිමල් ලක්ෂපති ආරච්චි මහත්තයා මට සිව් සිය සක්වළ කියන හින්දි ගීත වැඩසටහන කරන්න ඇරයුම් කළා. ඉන්පසු තවත් වැඩසටහන් වලට මා සම්බන්ධ වුණා. නිහාල් වික්‍රම එදිරිසූරිය මෙහිදී සිහිපත් කළ යුතුමයි. ඔහු බෙහෙවින් මේ සඳහා උපකාර කළා.
ඔබේ ආදරණීය පවුල ගැනත් අපි කතා කරමු.
මගේ ආදරණීය ස්වාමිපුරුෂයා ස්කන්ධ කුමාර්. ඔහු සිරස ආයතනයේ ඉංජිනේරු අධ්යක්ෂවරයෙක් විදියට සේවය කළා. ඉන්පසු අපි ඩුබායිවල පදිංචියට ගියා.
දැන්නම් පදිංචි කැනඩාවේ. අපට පුතෙක් ඉන්නවා. ඔහු ආකාෂ්
පුතා විශ්වවිද්‍යාල අධ්‍යපනය ලබනවා දැන් රැකියාවක නිරත වෙනවා. ඔහුගේ විෂය Automotive Engineering වෘත්තියක් ලෙස සංගීත කටයුතුවල නිරත නොවුණත් විනෝදාංශයක් විදිහට ගිටාර් වාදනය වගේම යාළුවෝ සමඟ ගීත පටිගත කිරීම් කරන අවස්ථාද තිබෙනවා.
ඔබේ වත්මන් ගීත නිර්මාණ මොනවාද?
නව නිර්මාණ කිහිපයක් කළා. දිලීප අබේසේකර රචනා කළ දර්ශන වික්‍රමතුංග සංගීතවත් කළ ගීයක් ගායනා කළා. වික්ටර් රත්නායකයන්ගේ සංගීතයට එතුමා සමඟ යුග ගීයක් ගායනා කළා මගේ මිතුරියන් වන ප්‍රියානි පී රණසිංහගේ ලස්සන පදමාලා කිහිපයක් රෝහණ ධර්මකීර්තිගේ සංගීතයත් සමඟ ගායනා කළා.
අපේ නැසී ගිය පැරණි නිළියක වන ලීනා ද සිල්වාගේ දියණිය පූර්ණා රූපසේන රචනා කළ ආචාර්ය සුජාතා අත්තනායකයන්ගේ සංගීතයෙන් මව් ගුණ ගීයක කොටසක් ගායනා කළා. එය මේ වන විට අවසානයට කළ නිර්මාණයයි.
ඉදිරි කලා කටයුතු ගැනත් ඔබේ ආදරණීය රසික රසිකාවන් දැනගන්න කැමති ඇති.
හොඳ නිර්මාණ කරන්න කැමතියි ලංකාවට පැමිණෙන අවස්ථාවලදී නව නිර්මාණ කිහිපයක් කරනවා.
එදා මගේ, කලාමැදිරි එළි, ඔබ නේන දා. කාලය ළඟයි, මට නුඹ හිමි නැති බැව් වලට රසිකයින් බෙහෙවින් ඇලුම් කළා. ඒ නිසා ඒ ගීත ටොක් චාට් වල පළමුවෙනි ස්ථානයේ තිබුණා. අදත් රසිකයින්ගේ ආදරය එදා වගේම ලැබෙනවා. දුර රටක සිටියත් ළඟට ඇවිත් කතාබහ කරද්දි ඒ ළෙන්ගතු බව හදවතට දැනෙනවා. ඒ ආදරය වෙනුවෙන් සිතක් සුවපත් කරන ගීතයක් හෙටත් මා ගායනා කරනවා.
දිස්නා කුමාරි අල්විස්