– මගෙ හයියට හිටපු අම්මා නැතිවුණාම මමත් ඉවරයි කියලයි එදා මට හිතුණා
– මගෙ සංගීත ගමනට අම්මා තදින්ම විරුද්ධ වුණා
– පුංචි කාලෙ පටන්ම මට තිබුණු සිහිනය තමයි ගායිකාවක් වෙනවාමයි කියන එක
– ෆ්‍රෙඩී අයියා මගෙ ගායනය ගොඩක්ම අගය කළා..
තවලම චිත්‍රපටයට මට ගීතයක් ගයන්න එන්න කියලා ගාමිණී ෆොන්සේකා මහත්මයාගෙ පණිවුඩයක් අරන් එදා ආවේ වික්ටර් අයියා
” මගේ ගායන ජිවිතයේ තියෙන එකම බලාපොරොත්තුව ආචාර්ය රෝහණ වීරසිංහයන්ගේ සංගීතයට ගීතයක් ගයන්නයි. ඒක මගෙ ලොකුම සතුටක්..ලොකුම ආසාවක් ”
ඇයගේ ළයාන්විත කටහඬට හිමිවන්නේ නොදෙවැනි තැනකි. ගුවන් විදුලියේ විශිෂ්ට ශ්‍රේණියේ ගායනවේදිනියක වන ඕ තොමෝ උපතින් දමිළ කාන්තාවක වුවද සිංහල , හින්දු , දමිළ, ආදී විවිධ භාෂා සිරිතෙන් සිය ආනන්දනීය ගැයුම් සිරිත ඉහළින්ම සිරිමත් කළාය. ඈ ගැයූ සිංහල ගීතයට අපේ ගීත ලෝලිහු ආශක්ත වූ අයුරුද …ප්‍රසංග වේදිකාවේදීද ඇයගේ ගායන සිරිතට හිමිවනුයේ සුවිශේෂී ස්ථානයකි…
මේ අන් කිසිවකු නොව එදාමෙදාතුර සිංහල, දමිළ චිත්‍රපටවලට සේම සිංහල ගීත කලාවටද සිය ගැයුම් සිරිතෙන් අමිල නිමල මෙහෙවරක යෙදුණු අපේ විශිෂ්ට ශ්‍රේණියේ ගායන ශිල්පිනිය එස්. කලාවතී හෙවත් කලාවතී තුෙරෙයිසාමි මහත්මිය ය…
“සරසවිය ” වෙනුවෙන් ඇය සමඟ කතාබහ කරන්නට මඟ පෙන්වාදෙමින් හඳුන්වා දුන් අපේ ප්‍රවීණ ගායනවේදිනිය යමුනා විමෝදිනී මහත්මියට ප්‍රථමයෙන් කෘතවේදී වෙමි.
අපේ කලාවතී මහත්මිය හමුවන්නට ගිය ගමනේදී එකල සරසවිය පත්තරය තමන්ට ලැබදුන් සවිය නැවත නැවතත් කෘතවේදිව සිහිපත් කරමින් ඕ මුව නොසෑහෙනසේ සරසවිය ට ස්තූතිය පුද කරන්නට වූවාය…
“අවුරුදු 45 කට විතර පස්සෙ සරසවිය මාව සොයාගෙන පැමිණීම ගැන මම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා”
“එස්. කලාවතී…ඔබේ නම.?”
“ආ..ඔව්. ඒ මගෙ මහත්තයාගෙ නම එස්. එක්ක. සින්නසාමි කලාවතී…මම කලාවතී තුෙරෙයිසාමි..”
ඈ සතුටු ස්වරයෙන් කියන්නීය. එදා අප ආශක්ත කළ ඇයගේ රමණීය හඬ ස්වරය තවමත් එලෙසම යැයි මට ඉඳුරාම සිතෙයි.
කොළඹ, මරදානේ පෙරුමාල් රාසම්මා හා මුනියණ්ඩි තුෙරෙයිසාමි මවුපිය දෙපළට සිටියේ දියණියන් ම සය දෙනෙකි. එම සයදෙනා අතර අපේ ආදරණිය කතා නායිකාව කලාවතී පවුලේ තුන්වැන්නිය වන්නීය.
“මගෙ ලොකු අක්කා නාගම්මාල්…දෙවන අක්කා පරමේශ්වරී, ඉන්පස්සෙ මේ මම, ඊළඟට තුරෝපති අම්මාල්, කනගම් පූජම්, ෂන්මුගම් වල්ලි මේ අය තමයි මගේ නංගිලා..”
ඇයගේ කතාබහ අතිශයින් සැහැල්ලු ය. බස උච්චාරණය ද සිත්ගන්නා සුලුය. ඕ සිනාමුසු මුහුණින්මය.
කොළඹ, මරදානේ හින්දු විදුහලේ ඉගෙනුමට ගිය ඕ පාසලේ පැවැති විවිධ ප්‍රසංගවලදී ඉදිරියෙන්ම කැපී පෙනුණු සිසුවියක්ම වූවාය…
“අපේ ඉස්කෝලේ සරස්වතී පූජාව..මවුපිය දිනයේ උත්සව..වගේ විවිධ සංගීතමය අවස්ථා නිතර තිබුණා ..හැම ළමයෙක්ම තමන්ගෙ කලා කුසලතාවන් මෙහිදී ඉදිරිපත් කරන්නම ඕනා. සමහරදාට මම රඟපානවා. නැතිනම් ගයමින් රඟපානවා..අපේ සංගීත ගුරුතුමිය මාව ළඟින්ම තියාගෙන මට ගොඩක් දේ කියාදුන්නා…ඉස්කෝලෙදි මට ගායනය පැත්තෙන් විශේෂ අගැයුමක් දීල තිබුණා.. මගෙ කටහඬ වගේම ගායනයත් ගුරුතුමිය ඉහළින්ම අගය කරමින් ලොකු උවමනාවකින් මට ගායනය වගේම සංගීතයත් ඉගැන්වූවා..”
“අපොයි ඔව්..මගෙ අම්මාට හොඳට ගයන්න පුළුවන්..ඒ වගේම මගෙ තාත්තාටත් ගයන්න වයන්න දෙකම පුළුවනි. මගෙ සහෝදරියන්ටත් ගායනය පුළුවන් …”
ඒ ටික ඈ කීවේ මා විමසූ පැනයකදීය..
පාසලේ සංගීත ගුරුතුමිය සේම එහි විදුහල්පතිතුමාද අපේ ආදරණීය කතා නායිකාව කලාවතී සමීපයේ සිට ඇයගේ ගායනයට අතහිත දුන්නේය. ඕ තොමෝ සමස්ත ලංකා පාසල් මට්ටමේ තරඟාදියෙන් ඉහළින්ම සමත්ව පාසලටද ගෞරවය ලැබ දුන්නාය. තම ආගමේ ස්තෝත්‍ර ගායනා කර්ණාටක සංගීතයට ගයමින් රන් පදක්කම්ලාභිනියක වූවාය. ඒ 1966 දීය.
“ඔයා දන්නවත් ඇති අමල්. අපේ පාසලේ විවිධ ප්‍රසංගවලදි එක එක නාට්‍ය ගායනයෙන් ඉදිරිපත් කරනවනෙ. ශිවලිංගම් දෙවියන්ගෙ දේව කතා ඇසුරෙන් දුක හිතෙන නාට්‍යයක් පෙන්නුවා. මම එහි ගයමින් රඟපෑවා.. මේවා දැකල තමයි විදුහල්පතිතුමා මට නිතර දිරිමත් කරමින් උදව් දුන්නෙ..සමහර දාට විදුහල්පතිතුමා ලියාදෙන ගීත හා නාට්‍යවලත් මම රඟපෑවා..ගැයුවා..”
අපේ ආදරණීය කලාවතී කියන්නීය.
ඇයගේ ගායන කුසලතා ප්‍රකටව යාමෙන් රටපුරා කෝවිල්වල ස්තෝත්‍ර ගායනයට ඇයට ඇරියුම් ලැබුණාය.
“මං හරහා අපේ පාසලටත් රන් පදක්කම් ..සම්මාන ලැබුණා…ඇත්තමයි ..විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලයම මට ගොඩක් ආදරය කළා..”
මේ අතරේදී ලබනා සතුට ඉරිතලා යන අසුභ ආරංචියකින් ඈ හඬා වැලපෙන්නට වූවාය. තම ආදරණීය පියාණන් රිය අනතුරකට බඳුන්ව මියයාම ඊට හේතුව විය.
අපේ ආදරණීය කලාවතී ගුවන් විදුලියේ සරල ගී පරීක්ෂණයෙන් විශිෂ්ට ශ්‍රේණියේ ගායන ශිල්පිනියක ලෙසින් සමත් වූවාය..ගුවන් විදුලියට ඕ හාපුරා කියා ගැයූ දමිළ ගීතයේ අරුත වූයේ නිවසේ මකුළුවා තනන මකුළුදැල පිළිබඳ කියැවෙන රස ගීතයකි. එහි පදරචනය ඉන්දියාවේ වල්ලි අප්පා විසිනි.
සංගීතය ඉගෙනුම ලබමින් පාසල් වියේ සිටියදීම ඇය ප්‍රසංග වේදිකාවටද ඇරියුම් ලද්දාය..
“ගෝල්ෆේස් එකේ ප්‍රසංගයට ගයන්න ගියාම ගායක ගායිකාවන් ගොඩක් අය මට හමුවුණා”
ඇයගේ ජිවිතයේ හැම ගමනකදීම ඈ අත අල්වාගත් ගමනින් ළඟම සිටියේ ඇයගේ ආදරණීය අම්මාය.
“මං වැඩිවියට පත්වුණාම මගෙ සංගීත ගමනට අම්මා තදින්ම විරුද්ධ වුණා. මම දුක්වුණා.. දරුවා සංගීත පන්තියට එවන්න කියල ගුරුතුමිය අම්මා ට ලියුමක් දුන්නා..ඒත් අම්මා කැමති වුණේම නැහැ. අම්මා නිතර මාව ආරක්ෂා කළ නිසා… පස්සෙ විදුහල්පතිතුමා අපේ ගෙදරටම ආවා..එතුමා අපෙ අම්මාට කරුණු පැහැදිළි කළා..කලාවතී දුව ගායනයට දක්ෂයි. හොඳ අනාගතයක් දුවට තියෙනවා කියලා..පස්සෙ ..ඔන්න ඉතිං අම්මා කැමති වුණා. මාව පන්තිත් අම්මා එක්කන් ආවා…”
සතුටු සිනාවෙන් එසේ කී ඇය නිහඩව ම බිම බලා සිටින්නට වූවාය.
“මගෙ රත්තරන් අම්මා පිළිකාවකින් නැතිවෙනකොට මට වයස 18 ක් විතර ඇති. මගෙ හයියට මට හිටපු අම්මා නැතිවුණාම මමත් ඉවරයි කියලයි එදා මට හිතුණෙ.”
ඈ සුසුමක් හෙළන්නීය.
පාසලේ විදුහල්පතිතුමා ඇයගේ ගායනා කුසලතා දැක තුටුව ඇයට සංගීතයට වැඩිදුර ඉගෙනුම වෙනුවෙන් ඉන්දියාවට යාමට කටයුතු සැලැස්වූයේය..
“ඔයාගෙ කටහඬ හොඳයි. ලස්සනයි. ඉන්දියාවට යන්න යන වියදම් මං බලාගන්නම් ..කියල එතුමා කිව්වත් මට ඒ අවස්ථාව නැතිවුණා..මගෙ අම්මා ඒ වෙද්දි බොහොම ලෙඩගානේ හිටිය නිසා මට අම්මාව දාල යන්න දුක හිතුණා.”
ආදර සම්බන්ධතා කෙරෙහි සිත් නැති අපේ ආදරණීය කලාවතී ඉක්මනින් විවාහ කරදෙන්නට පවුලේ අය කටයුතු කළහ. ඒ අතරේදීය ඇයගේ ජීවන සහකරු ඇය වෙනුවෙන් ඇගේ වැඩිහිටියන් හමුවන්නට නිවසටම පැමිණියේ.
“ඉතිං ..ගෙදරිනුත් බල කරනවනෙ කසාද බඳීන්නම කියලා. මම රේඩියෝ සිලෝන් එකට යන එනකොට මාව දැකල පැහැදුණු කෙනෙක් අපෙ ගෙදරටම ඇවිත් මං ගැන ගෙදරින් ඇහුවා..එයා නුවර කෙනෙක්. ඒ තමයි සින්නසාමි මහත්තයා. එයාට දමිල ගීත ලියන්න පුළුවන්. සංගීතයටත් හරිම කැමතියි. ෂෙල්ටන් ප්‍රේමරත්න ..සෙල්වරාජා..ඒ. මහේන්ද්‍රන් සංගීතවේදීන් එයා ලියාදුන් ගීතවලට තනු දමා දුන්නා…”
“ම්.ම්…ම් මං ගැයූ ගීත මේ වනතුරු කවුන්ට් කරල නම් නැහැ. මං හිතන්නෙ ගීත දහසකටත් වැඩි ඇති. ඒ අතර දමිළ ගීතත් ගොඩයි.”
අපේ කතා නායිකාව කලාවතී සින්නසාමි මහතා සමඟ යුගදිවි ගමන් ඇරඹුවාය.
එම විවාහයෙන් ඕ පුතුන් දෙදෙනකුගේ හා දියණියකගේ ආදරණීය මවක වූවාය..කමලනාදන් ලොකු පුතුද විමෝජ් පොඩි පුතුද සංගීතය හැදෑරූ අයවෙති. ගුවන් විදුලියටද සම්බන්ධවද කටයුතු කරති. ප්‍රකට වාදකයන්ද වෙති. දියණිය සංගීතා ගැයුමට හපනියක වුවද ඈ සංගීත ක්ෂෙත්‍රයට නොඑන්නීය.
ගුවන් විදුලියේ විශිෂ්ට ශ්‍රේණියේ ගායිකාවක වූ ඇයට තවත් ඉහළම ශ්‍රේණියකට අවස්ථාව උදාවූයේ ඉන්දියාවේ සිට ගුවන් විදුලියට පැමිණි සංගීත විද්වතුන් පිරිසකගේ ප්‍රධානත්වයෙන් පැවැති ගායන පරීක්ෂණයකදීය.
“පුංචි කාලෙ පටන්ම මට තිබුණු සිහිනය තමයි ගායිකාවක් වෙනවාමයි කියන එක. එය ඉටුවුනාණෙ.. ගුවන් විදුලිය මට අතහිත දුන්නා. මං කෘතවේදී ව එය මතක් කරන්නේ…”
ඕ තොමෝ මේ වනවිට විවිධ භාෂාවන්ගෙන් රචිත ගැයූ ගීත අතරින් ගැයූ සිංහල ගීතද අපමණය. සිංහල චිත්‍රපට ගීත ගායනයටද අවතීර්ණ වූ ඇය සිංහල චිත්‍රපට 50 ක් පමණ සිය ගැයුම් සිරිතෙන් සිරිමත් කළාය. බොහෝ දෙනකු නොදන්නා නමුත් ඇය රංගන ශිල්පිනියකද වන්නීය…
ආචාර්ය වික්ටර් රත්නායකයන් දිනෙක ඈ නිවසට පැමිණියේ ගාමිණී ෆොන්සේකා මහතාගේ පණිවුඩයක්ද රැගෙනය.
“තවලම චිත්‍රපටයට මට ගීතයක් ගයන්න එන්න කියලා ගාමිණී ෆොන්සේකා මහත්මයාගෙ පණිවුඩයක් අරන් එදා වික්ටර් අයියා ආවේ. නංගි ඔයාට පුළුවන් හොඳට ගයන්න. බැහැ කියන්න එපා කියල වික්ටර් අයියා මට කිව්වා..වික්ටර් අයියාගෙ ගෙදරදි පුහුණු වෙලා එම ගීතය ගැයුවා. එහි සංගීතයත් වික්ටර් අයියාගෙමයි. පද රචනය සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න මහත්තයගෙ. ”
“පෙම්බර ස්වාමී..සූර්ය ස්වාමී…නැතිදෝ හදේ මෛත්‍රී ගුණේ..” යැයි ළයාන්විත ස්වරයෙන් පද පෙළ ගැයුමින් සිරිමත් කළ ඕ .අන්න ඒක තමයි ඒ ගීතය යැයි මදෙස බලා මුවපිරුණු සිනාවකින් කීවාය. ඒ 1977 වසරේදීය..එය ගාමිණී ෆොන්සේකා මහතාද ඈ හමුවූ මොහොතේ මහත්සේ අගය කළේය.
ඉන්පසුව ඈ “සරුංගලේ” චිත්‍රපටයටද දමිළ බසින් ගීතයක් ගැයුවාය. එතැනදීද “ඔයා ලස්සනට ගීතය ගැයුවා යැයි ගාමිණී මහතා ඇයගේ ගැයුම අගය කරමින් කීයේය…
ඉන්දියාවේ පැවැත්වෙන සංගීත ප්‍රසංගයකට එහි ගායනය වෙනුවෙන් ඇය කැඳවා යන්නට ඉන්දියාවේ පිරිසක් ඈ සොයා පැමිණියද දින තුනකින් ඉන්දියාවට යායුතුව තිබියදී පාස්පෝට් අත නොතිබීමෙන් ඒ ගමන අහිමිව ගිය බව ඈ කීවේ කනගාටුවකිනි.
දිනෙක සංගීතඥ ස්ටැන්ලි පීරිස් ඇය හමුවූයේය..
“ඔයා දන්නවද ෆ්‍රෙඩී අයියා.. එයත් එක්ක ගයන්න අපි යුග ගීතයක් ලෑස්ති කරල තියෙනවා. ඒකට ඔයා සූදානම් වෙන්න”
එයට කැමැත්ත දුන් අපේ ආදරණීය කලාවතී එය පටිගත කරන ස්ටූඩියෝවටද ගියාය.
ඒ ගැන ඇය සිනාසෙමින් අපට කීවේ මෙබන්දකි.
“මේ කතාව නම් මං කිසිම පත්තරේකට අද වනතුරු කියල නැහැ. සරසවියට තමයි දැන් මම කියන්නෙ ..තේ කූඩය පිටේ බැඳන්…” කියන යුග ගීතයේ තැනෙක තියෙනවනෙ මාත්තියා මොකද්ද මට විහිළු කරන්නේ කියලා පදයක්..මං අන්න ඒ පදයට අකැමැති වුණා…ඒක මට හිතට ඇල්ලුවේම නැහැ.. ඉතිං මට ඒ පදය කියන්න ලැජ්ජා හිතුණා..ඒ හන්දා මං ගයන්න බැහැමයි..බැහැමයි කියලා කිව්වා ..
ෆ්‍රෙඩී අයියා එහා කාමරේ ඉඳන් කාටදෝ කියනව මට හොඳටම ඇහුණා ..ඒ ආපු එකී මේ සින්දුව කියයිද බන් ” කියලා..
“උඹත් එයාට කියල බලපන්කො කියලත් කෙනෙක් ෆ්‍රෙඩ් ට කිව්වා… ඒකත් මට හොඳට ඇහුණා..මං එතකොට කළුයි.කෙටිටුයිනෙ..පස්සෙ පස්සෙ මං ඒ සින්දුව ගයන්න කැමති වුණා. පස්සෙ ෆ්‍රෙඩී අයියා මගෙ ගායනය ගොඩක්ම අගය කළා.. ඉන්පස්සේ ඉතින් ෆ්‍රෙඩී අයියා එක්ක මං කැසට් කළා. ෆ්‍රෙඩ් රාත්‍රිය ප්‍රසංගය කළා. එයා එක්ක චිත්‍රපටවලට ගැයුවා..ඇත්තමයි මගෙ ජිවිතය වෙනස් මගකට හැරුණේ ” තේ කූඩය පිටේ බැඳන් ” කියන ගීතය නිසයි…”
ඈ උස්හඬින් සිනාසෙමින් කියන්නීය.
“අනේ අමල්..ඇත්තමයි ..මගෙ ජිවිතයේ මාව අදටත් ජීවත් කරවන්නෙ ෆ්‍රෙඩී අයියා සමඟ ගයපු තේ කූඩය පිටේ බැඳන් කියන ගීතයයි. ..”
“ආචාර්ය රෝහණ වීරසිංහයන්ගෙ සංගීතයට මට එතුමා සමඟ ගයන්න ලැබෙනවානම් ඒක තමයි මගෙ ලොකුම සිහිනය..එතුමා සමඟ ගයන්න …ඒ සිහිනය සැබෑවෙන්න කියලා දෙවියන්ගෙන් මං ඉල්ලනවා.”
අපේ සොඳුරු කතා නායිකාව එසේ කියා අවිහිංසකව සිනාසුණාය.
“ඇත්තමයි අමල්…අපේ රටේ මිනිස්සු මට ගොඩක් ආදරෙයි. මම රටට ආදරෙයි. අපේ සිහල මිනිසුන් ට ආදරෙයි. හැමෝටම ආදරෙයි. අපි බේද වෙලා මොකටද… අර රටේ කලබළ දවස්වලදි මටත් ප්‍රශ්න ආවා..සිංහල හා මුස්ලිම් මිනිස්සු කෑ ගහල ඒ මිනිසුන් ට කිව්වා අපේ කලාවතීට කරදර කරනවානම් ඊට කලින් අපිව මරන්න කියලා…මං අපේ රටට ..මිනිසුන්ට ගොඩක් ආදරෙයි ..”
මම ඇයගෙන් තවත් දේ විමසුවෙමි.
“මගෙ ගීත ලෝකයේ මට හොඳම ගීත ටිකක් ලැබීමම මගෙ වාසනාවක්.. පැරණි ගී ත ගොඩක් ස්ටැන්ලි මහත්තයා මට බාරදුන්නා.. හොඳට පුහුණු වෙලා ඉදිරියට මේවා ගයන්න කියලා. පෙම් කැකුළ පිපී ..පහත් තැනින් යයි ගලා ජලේ ….වගෙ ජනප්‍රිය පැරණි ගීත.. මම යන ප්‍රසංගවලදි
ත් රසිකයන් මගෙන් ඉල්ලන්නෙත් ඒ පැරණි ගීතමයි..”
අද ගායනය වෙනුවෙන් රන් පදක්කම් දිනූ ඈ 2021 දී මෙලඩි ක්වීන් ” නමින් රන් පදක්කමින් හරසරට බඳුන් වූවාය. “උතුරු කුරු සටන” හි හොඳම ගායනයට හිමි සුමති සම්මානයෙන් ඕ පිදුම් ලැබුවේ 2000 වසරේදීය..සරසවිය සම්මානයටද තමන් පාත්‍ර වූ බව ඇය කීවේ සාඩම්බරනීය සිනාවකිනි. ජනප්‍රිය ගායිකා සම්මානයෙන්ද කලාභූෂණ සම්මාන ඇතුළු තවත් සම්මාන රැසකින් සම්මානිත වූ අපේ ආදරණීය කලාවතී මහත්මිය ඒ ලද වටිනාකම් පිළිබඳව වඩාත් සතුටට පත්ව පසුවන්නීය ..
තමන්ට අතහිත දුන් එස්.ඩී බාලසුබ්‍රමනියම්, ස්ටැන්ලි පීරිස්, හේමසිරි හල්පිට, වී.පී. ගනේෂන්, ටී.එෆ් ලතීප්, ෂෙල්ටන් ප්‍රේමරත්න, තම සංගීත ගුරුතුමිය නාග පූෂනී තනිගාසලම් ,සෝමනාදන් , බජනේෂ්වරී ෂන්මුගරත්නම්, ආර්. සෝමනාදන් සංගීත ගුරු පියවරුද , සුයම්බූලිංග බාගවදර් ගුරුතුමිය ද සරත් ද අල්විස්, අසෝක පීරිස්, සරත් දසනායක, සරත් වික්‍රම, බුද්ධි කීර්තිසේන, සරත් ගලප්පත්ති, වික්ටර් රත්නායක ආදී තවත් අයවලුන්ද සිහිපත් කරමින් ඈ සිත්පුරා කෘතවේදී වූවාය…
“මාත් එක්ක සිටි පැරණි මිතුරිය අමිතා වැදිසිංහ..යමුනා විමෝදිනී ..ජී.එස්.බී රාණී..බෙග් මාස්ටර්..සූර්යකුමාර් මුත්තලගේ. සුජාතා අක්කා වගේ ගොඩක් අය මට ආදරය කළා..මාත් එයාලට හරිම ආදරෙයි…”
ඇයගෙන් සමුගන්නට මොහොතක් තිබියදී ඇය සරසවියට නැවතත් ස්තුතිය පුදකළාය…මම ඇයට දිගාසිරිි පැතුවෙමි.
අපේ ආදරණීය කලාවතී මහත්මියගේ දුරකතන අංකයයි මේ…0772799139.
අමල් යශෝමන් ජයසිංහ