සිනමා ක්ෂේත්රයේ නියැළීමට වයස් සීමාවක් අවශ්‍ය නැත. අවශ්‍ය නිර්මාණ හැකියාව සහ නිසි අධ්‍යයනය පමණි. වර්තමානයේ සිනමාපට නිර්මාණයන්ට අතගසා තිබෙන්නේ සිනමාව ගැන හොඳීන් දන්නා පරිණත නිර්මාණකරුවන්ය.
මින් වසර පනස් හතරකට පෙර පාසැල් ළමුන් පිරිසක් එකතු වී කළ චිත්‍රපටයක් ගැන ඔබ කවුරුත් අසා ඇත. ඇතැම් විට එය නැරඹු පිරිසද සිටින්නට පුළුවනි. කොළඹ ආන්නද විද්‍යාලයේ දඟකාර එහෙත් නිර්මාණශීලී කොලුගැටව් පිරිසක් එක්කාසු වී තැනූ “නිම්වළල්ල” චිත්‍රපටය ශ්‍රී ලාංකීය සිනමාව මවිතයට පත් කෙරූ සිද්ධියක් විය.
1970 නොවැම්බර් 18 “නිම්වළල්ල” චිත්‍රපටය මරදානේ එල්ෆිස්ටන් ඇතුළු සිලෝන් තියේටර්ස් සමාගමට අයත් සිනමා ශාලාවල ප්‍රදර්ශනය විය. නිම්වළල්ල චිත්‍රපටයේ සියලු කටයුතු වලට දායක වී ඇත්තේ ආනන්ද විද්‍යාලයේ ඉහළ ශ්‍රේණිවල ඉගෙනුම ලැබූ සිසුන්ය.
ඉන්පසු පාසැල් සිසුන් පිරිසක් විසින් තැනූ චිත්‍රපටයක් ගැන අපිට අසන්නට නොලැබිණි. සිංහල සිනමාවට නැවුම් බලාපොරොත්තු රැසක් එක් කරමින් එවැනිම සිසුන් පිරිසක් එක්ව තැනූ අපූරු චිත්‍රපටයක් පසුගිය දා සිනමා තිරය මත දිගහැරිණි.
මෙවර එහි කතානායකයින් බවට පත්වූයේ රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ සිසු සිසුවියන්ය. ” රොකට් ” නමින් නම්කර තිබූ සීවලී සිසුන්ගේ සිනමා සිත්තම පසුගිය දා සිනමා ලෝකයේ දැවැන්තයන් ඉදිරියේ තිරගත විය.
“රොකට්” චිත්‍රපටය සියයට සියයක් සීවලී සිසුන්ගේ වැඩක් “. ඒ රොකට් සිනමා අහසට යැවීමට ශක්තිය පෙර ගමන්කාරිනියගේ වදන්ය. එය සත්‍යයකි. ” රොකට්” චිත්‍රපටයේ තිරපිටපතේ සිට රංගන කටයුතු දක්වා චිත්‍රපටයක් සෑදීමේදී සිදුවිය යුතු සියලු දෑ සිදුකර ඇත්තේ සීවලී දරුවන්ය.
උසස් පෙළ සඳහා සීවලී මධ්‍ය මහා විද්‍යාලයට පියනැඟූ නඳුන් දර්ශන පේමතිලක සිසුවා සිනමාවට දැඩිලෙස ඇලුම් කරන චරිතයකි.
සිනමාපටයක් තැනීමට මුලින්ම අදහස පහළ වන්නේ නඳුන්ගේ සිත තුළයි. තම සිතතුළ මෝදු වූ සිහිනය කෙසේ හෝ සැබෑ කරගන්නට ඔහුට හැකිවිය. එය සමස්ත සීවලී දරුවන් සියලුම දෙනා ලැබූ ජයග්‍රහණයකි.
රොකට් ගැන කතා කරන්නට නඳුන් පසුගිය දිනෙක පත්තර මහගෙදරට ගොඩවූයේ තමන් සමඟ රොකට් තැනූ සඟයන්ද සමඟිනි.
” මම සීවලී මධ්‍ය මහා විද්‍යාලයට ආවෙ උසස් පෙළ හදාරන්න. ඊට කලින් මම ඉගෙන ගත්තෙ රත්නපුර කුලරත්න විද්‍යාලයේ. සිනමාවට ගොඩක් ප්‍රියකරන කෙනෙක් මම “.
“රොකට්” චිත්‍රපටයට කලින් අපි කළේ “සේයා” නමින් කෙටි චිත්‍රපටයක්. ජාතික පුවත්පත් මණ්ඩලය මඟින් සංවිධානය කරපු කෙටි චිත්‍රපටි තරඟාවලියක් සඳහා අපි “සේයා” ඉදිරිපත් කළා. ප්රජාතන්ත්රවාදය සහ මිනිසත්කම යන තේමාව යටතේ තමයි අපි “සේයා” නිර්මාණය කළේ. “සේයා” පිටපත ලිව්වේත් මම. ඒක අධ්‍යක්ෂණය කළේ ” රොකට් ” නිෂ්පාදනය කළ දෙනුවන් සමරසිංහ. හොඳම කෙටි චිත්‍රපටි දහය අතරට තේරුණා ” සේයා”.
“අපේ පාසලේ තියෙනවා “ස්වර්ණහරිත” නමින් සිනමා සංගමයක්. අපි නැවතත් ඒක ක්‍රියාකාරී කළා. ඉන්පසුව තමයි “සේයා” කෙටි චිත්‍රපටය කෙරුණේ. සේයා කළාට පස්සේ අපිට ආයෙ අයේ මොනවා හරි දෙයක් කරන්න හිතුණා සිනමාවට සම්බන්ධ. හැබැයි ඒක නමක් පවතින දෙයක් වෙන්න ඕන කියලත් හිතුණා.
“අපි මුලින්ම කළේ සකුන්තලා මුණසිංහ මිස්ට අපේ අදහස දැනුම් දීපු එක. එතුමිය ඉතාමත් සතුටට පත්වුණා අපේ අදහස අහල. සකුන්තලා මිස් එතැන් පටන් අපිව දිරිමත් කරමින් අපිත් සමඟ මේ කටයුතුත්තට මුල පිරුවා.
“අපි අපේ අදහස විදුහල්පතිතුමාට දැන්වූවා. ඇත්තටම එතුමා කිසිම බාධාවක්, බලපෑමක් කළේ නැහැ. සර් ගොඩක් අගය කළා අපේ අදහස. එතුමා පොරොන්දු වුණා අපිට පූර්ණ සහය දෙන්න. ඒ වගේම තමයි අපෙන් පොරොන්දු ගත්ත ඉගෙනීමේ කටයුතු වලට බාධාවක් නොවන විදිහට මේ වැඩේ කරන්න කියල.
” මම පිටපත ලියල සූදානම් වුණා “රොකට්” නිර්මාණය කරන්න.
පිටපත ලිව්වත් මම හිටියෙ ප්‍රශ්නයකට මැදි වෙලා. චිත්‍රපටයක් හදනව කියන්නෙ දැවැන්ත වැඩක්. විශාල මුදලක් වැය වෙනව”.
මම නිතරම කල්පනා කළේ අවශ්‍ය මුදල් සොයා ගන්නෙ කොහොමද කියල”.
“ගෙදර ඉන්න වෙලාවෙත් මම ඒ ගැන තමයි නිතර කල්පනා කළේ”. මම තමයි මේ අදහසට මුල් වුණේ. ඒ නිසා ඒ ගැන මට හිතන්න වුණා”.
” මම එහෙම කල්පනා කරද්දී ඒක මගේ අම්මට තේරුණා. අම්මා ඇහුව මගෙන් මොකක්ද ප්රශ්නය කියල. මම මැදි වෙලා ඉන්න ගැටලුව ගැන අම්මව දැනුම්වත් කළා”.
” අම්මා එවේලේම සකුන්තලා මිස්ට කතා කළා. අම්මා මිස්ට පොරොන්දු වුණා සල්ලි ටිකක් දෙන්නම් වැඩේ පටන් ගන්න කියල. අම්මා රුපියල් පනස්දහසක් දෙන්න පොරොන්දු වුණා. ඒ මුදල අරගෙන අපේ වැඩේ පටන් ගන්න කිව්වා.
දරුවන්ගේ සිතුම් පැතුම්, දරුවන්ගේ ප්‍රශ්න තේරුම් ගත හැක්කේ දෙමව්පියන්ට පමණි. විශේෂයෙන් දරුවාගේ සියුම් හෝ වෙනසක් දැනෙන්නේ පළමුව මවටයි. උපන් දා සිට මවත් දරුවාත් අතර පවතින්නේ ශක්තිමත් බැඳීමක්.
නඳුන්ගේ කනස්සලු ස්වභාවයත් නඳුන්ගේ මවට දැනෙන්නට ඇති. තම පුතා ඇතුළු රොකට් චිත්‍රපටයට සම්බන්ධ අනෙක් දූ පුතුන් වෙනුවෙන් ඇය දුන් මුදල ගැන ඇයට බරක් නොදැනෙන්නට ඇති.
මෙහි මුලින්ම සඳහන් කළ කොළඹ ආනන්දයෙන් නිර්මාණය කරන්නට යෙදුණු “නිම්වළල්ල” සිනමා පටය තනද්දී ඔවුන්ට ද මෙම ගැටලුවටම මුහුණ දෙන්නට සිදු වී ඇත. “නිම්වළල්ල” සෑදීමට සියලුම කටයුතු සූදානම් කර තිබුණත් මුදල් ප්රශ්නය ඔවුන්ට බාධකයක් වී ඇත.
එහෙත් ඒ බාධකයට මදක් හෝ අස්වැසිල්ලක් ලෙස නිම්වළල්ල අධ්යක්ෂ රංජිත් ලාල්ගේ දෙමව්පියන් ඒ සඳහා රුපියල් දස දහසක මුදලක් ලබාදී චිත්‍රපටයේ වැඩ කටයුතු පටන් ගන්නා ලෙස දැනුම් දී ඇත. කෙතරම් සමාන ද ඒ සිදුවීම. එදා කොළඹ ආනන්ද සිසුන් පිරිස මුහුණ පෑ එම සිද්ධියටම මෙදා සීවලී සිසුන් මුහුණ පෑහ. එහෙත් දෙපිරිසම බාධක හමුවේ හිස ඔසවා තම හීන සැබෑ කරගත්හ. දෙමව්පියන් තම දරුවන්ට කුමන ප්‍රශ්න ආවත් තම දරුවන් කිසිදු විටෙක අත්නොහරින බව එදා නිම්වළල්ල සහ මෙදා රොකට් හමුවේ ඔප්පු වී ඇත.
රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් තම සිනමා සිහිනය සැබෑවක් කරගන්නට, ඒ සඳහා මුදල් සොයාගැනීමට තවත් ව්‍යාපෘති කිහිපයක් දියත් කර ඇත. ඒ ගැන තොරතුරු නඳුන් කියා සිටියේ මෙසේය.
” අපේ එකම අරමුණ වුණේ කොහොම හරි චිත්‍රපටය හදන එක. අපි ඒ වෙනුවෙන් ව්‍යාපෘති කීපයක් කළා. අයිස්ක්‍රීම් අලෙවියත් කළා. වාහන සේදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළා.
ඒ මඟින් අපි සල්ලි ටිකක් හොයාගත්ත. සකුන්තලා මිස් අපිට ඒ වෙලාවේ ලොකු ශක්තියක් වුණා. එතුමියගේ වේතනය චිත්‍රපටයේ වැඩ කටයුතු සඳහා යෙදෙව්වා. එහෙම කළේ ස්වකැමැත්තෙන්. ඒ වගේම මිස්ගේ මහත්මයා අමිල තිලකරත්න, නිමල් ගුණරත්න යන හිතවතුන් මුදල් ලබා දුන්නා.
සීවලී සිසු සිසුවියන්ගේ “රොකට්” තැනීමට සැලසුම් දියත් කරන්නේ 2022 දී. සියලු බාධක හමුවේ කෙසේ හෝ තම නොපසුබට උත්සායෙන් ඔවුන් රොකට් තැනීමට මුල් පියවර තබන්නට මඟ පදා ගත්තේය .
” අප ඉදිරියේ තිබුණ ලොකුම ගැටලුව වුණේ චිත්‍රපටය රූගත කිරීම් සඳහා අවශ්‍ය උපකරණ සපයා ගැනීම.
” අපිට ඒ කාර්යයට සහය දුන්නේ සකුන්තලා මිස්ගේ මහත්මයා. අමිල තිලකරත්න මහතා. ඔහු චිත්‍රපටයේ නිෂ්පාදනය පැත්තෙනුත් දායක වුණා. අමිල මහතාට ස්ටුඩියෝ එකක් තිබෙන නිසා උපකරණ ලබා ගැනීමේ දී අපිට සහයෝගය ලබා දුන්නා. ඒ වගේම තමයි අපේ පාසැලේ ආදි ශිෂ්‍යයෙක් වූ සම්පත් ගුණසේන මහතා. එයා ගාව තිබුන කැමරාව අපිට දුන්නා.
මේ හැමෝගෙම උදව් ඇතිව අපි ලස්සන වැඩක් කළා.
“රොකට්” චිත්‍රපටය ගැන කතා කරන විට ඔවුන් කතා කරන්නෙ මෙය සියයට සීයක් සීවලී නිර්මාණයක් බවයි. එහි රඟපාන රංගන ශිල්පීන් සියලු දෙනාමත් සීවලී විද්‍යාලයට සම්බන්ධ චරිතයයි. පාසැල් දරුවන්ගේ සිට විදුහල්පතිතුමා, ගුරුවරුන් , ස්වේච්ඡා සේවකයින්, ආරක්ෂක සේවකයින් අතරින් තෝරාගත් චරිත මේ රොකට් සඳහා රංගනයෙන් දායක වී ඇත.
අපි තිර පරීක්ෂණ පැවැත්වූවා. පාසලේ අපේ යාළුවො ගොඩාක් එයට සහභාගී වුණා. එහෙත් වැඩි දායකත්වයක් ලබා දුන්නේ අපේ සිනමා සංගමයේ සාමාජික සාමාජිකාවන්. ආදි සිසුන්වත් අපි සම්බන්ධ කරගත්ත”.
” අපෙන් බොහෝ අය අහන ප්‍රශ්නයක් තමයි ඇයි රටේ සිටින ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පීන් මේ සඳහා යොදා නොගත්තේ කියල. මුලින්ම අපිත් ඒ ගැන සාකච්ඡා කළා. ඒත් පසුව අපි තීරණය කළා අපේම කට්ටිය පමණක් යොදාගන්න. සියයට සීයක් සීවලී නිර්මාණයක් කියල කටපුරා කියන්න පුළුවන් වුණේ ඒ නිසා”.
” තවත් විශේෂයෙන් දෙයක් කිව යුතුයි. මේක ටීම් වර්ක් එකක්. අපි හැමෝම කණ්ඩායමක් විදිහට එකමුතුව වැඩ කළා. හැමොම තමන්ට පැවරුණු රාජකාරිය විතරක් කරල පැත්තකට වුණේ නැහැ. මම මෙහි පිටපත් රචනය කළා. රඟපෑව. ඒත් අනෙකුත් වැඩ වලටත් සම්බන්ධ වුණා. ලයිට් එකක් අල්ලන්න කවුරුත් නැති වෙලාවට අපේ සකුන්තලා මිස් ලයිට් ඇල්ලුව. තරාතිරම නොබලා අපි හැමෝම සහයෝගයෙන් වැඩ කළා.
ඉතාමත් වෙහෙස මහන්සි වී, කැපවී බාධක මැද නිම කළ ” රොකට් ” සිනමා පටය මෙතරම් ජනප්‍රිය වේයැයි කියා සීවලී දරුවන් නොසිතන්නට ඇත. ඔවුන්ගේ බලාපොරොත්තුව වී තිබුණේ මෙය පාසැල් ප්‍රධාන ශාලාවේ පෙන්වීමටයි.එහෙත් සීවලී දරුවන්ද නොසිතූ ලෙසට ඔවුන්ට කොළඹ ප්‍රදේශයේ සිනමා ශාලාවකට රොකට් ගෙන ඒමට මඟපෑදුණ ආකාරය ගැනද නඳුන් විස්තර කළේය.
“අපි හිතුවෙ පාසලේ ප්‍රධාන ශාලාවේ ඹ්ඡ්ච් තිරයක චිත්‍රපටය පෙන්වන්න. ඒත් අපේ ඒ පුංචි බලාපොරොත්තුව ඊට වඩා දුරගෙන යන්න අපිට සුන්දර පුද්ගලයෙක් මුණගැසුණා. ඔහු තමයි තිස්ස නාගොඩවිතාන චිත්‍රපට සමාගමේ විධායක නිෂ්පාදක රොෂාන් සංජීව මහතා . රොෂාන් මහතා අපිට යායුතු ඉදිරිමඟ පැහැදිලි කළා. ඒ සඳහා මඟ පෙන්වීමට ඔහු අපිට උදව් කළා.
අපි මුලින්ම තීරණය කළේ රත්නපුර නිව් ඉම්පීරියල් ශාලාව අරගෙන ඒකේ රොකට් මංගල දර්ශනය තියන්න. ඒත් රොෂාන් මහතා උදව් කළා රොකට් මංගල දර්ශනය වැල්ලවත්තේ සැවෝයි ප්‍රිමියර් එකේ පවත්වන්න.
එදා දවස අපිට කවදාවත් අමතක වෙන්නේ නැහැ. අපේ රටේ ඉන්න කලාකරුවන්, මාධ්‍යවේදීන් විශාල පිරිසක් එදා අපේ රොකට් බලන්න ඇවිත් හිටියා”.
නුවන් දර්ශන සිනමාවට ඇල්මක් දක්වන සිසුවෙක්. ඒ පිළිබඳ තොරතුරු සහ ඔහුගේ මතු බලාපොරොත්තු ගැනද නඳුන් සරසවියට කියන්නට අමතක කළේ නැත.
” මම පුංචි කාළේ ඉදන්ම අපිට ගැළපෙන චිත්‍රපටි බලන්න පුරුදු වෙලා හිටියෙ. මම සිංහල චිත්‍රපටි වගේම තෙලිගු, මලයාලම්, ඉංග්‍රීසි චිත්‍රපටි නරඹන කෙනෙක්.
” මගේ එකම බලාපොරොත්තුව තමයි සිනමාව ගැන ඉගෙන ගන්න එක. විදේශීය රටකට හරි ගිහින් මම ඉගෙන ගන්නව. ඉගෙන ගෙන සිංහල සිනමාව වෙනුවෙන් මම මට හැකිදේ කරනව. මම පාසැල් කාලයේ නාට්‍ය හා රංග කලාව හදාරල තියෙනවා. චාමික හත්ලහගහවත්ත සර්ගේ ගෝලයෙක්. මේ වන විට මට තිරපිටතක් ලියන්න ආරාධනා ලැබිල තියෙනවා.
මේ තොරතුරු අතරේ රොකට් නිපැයුමේදී සිදුවූ අමතක නොවන සිදුවීම් ගැන විස්තර නඳුන් සරසවිය කතා බහට එකතු කළේය.
“චිත්‍රපටයේ එක දර්ශනයක් තිබුණා පොලිස් ජීප් එකක් අපේ ගෙදරට එන. ඒ දර්ශනයේ මමත් පෙනීසිටිනව. දන්නේම නැතුව මගේ කකුල උඩින් තමයි ජීප් එක ගියේ. ඒත් ලොකු අනතුරක් නම් සිදුවුණේ නැහැ “.
“ඒ වගේම අපි අපහසුතාවට පත් වූ සිද්ධියකුත් තියෙනවා. කුඩු ජාවාරම්කරුගේ චරිතයට පණපොවනා අයියට හදිසියේ රට යන්න සිදුවුණා. හරියටම චිත්‍රපටයේ හඬකැවීම් පටන් ගත්තදාම. අපි කලබල වුණා මොකද කරන්නෙ කියල. ඒත් අපිට ඒකට විසඳුමක් සොයාගන්න පුළුවන් වුණා. අපේම ආදි ශිෂ්‍යයෙක් ඉදිරිපත් වෙලා ඒ චරිතය වෙනුවෙන් හඬ මුසු කළා. චිත්‍රපටයේ රඟපාන්නේ අවුරුදු විසිගණනක කෙනෙක් වුවත් හඬ මුසු කළේ අවුරුදු පනහක කෙනෙක්. ඒත් කිසිම වෙනසක් දැනුනේ නැහැ. වයස ප්‍රශ්නයක් වුණෙත් නැහැ.
“රොකට්” චිත්‍රපටයට දායක වූ සීවලී සිසුන්ගෙන් බොහෝ දෙනා අනාගතයේදී දක්ෂ සිනමා කරුවන් වේවි. ඔවුන්ගේ අඩුපාඩු පෙන්වා දෙමින් ඔවුන් යායුතු මඟ හරියාකාරව පෙන්වා දුනහොත් මේ දරුවන්ට ලෝක සිනමාවටද යා හැකිය. “රොකට්” චිත්‍රපටය වෙනුවෙන් ලැබෙන ප්‍රතිචාරද ඉහළයි.
“අපිට හොඳ ප්‍රතිචාර ලැබෙනව. හිතාගන්න බැරි විදිහට. මම දවසක් ගියා චිත්‍රපටය පෙන්වන හෝල් එකකට. ඒ වෙලාවේ කාන්තාවක් ඇවිත් මගෙන් ඇහුව පුතේ ඔයාට කරදරයක් නැහැ නේද කියල. මගෙ ළඟ හිටියා සකුන්තලා මිස්. මිස්ගෙනුත් අර කාන්තාව ඇහුව ඔයා නේද මේ පුතාට උදව් කළේ කියල. මට පුදුම හිතුණා. ඒ කාන්තාවට දැනිල තිබුණේ මෙය සැබෑ ජීවිතයේ සිදුවූ සිදුවීමක් විදිහට. ඒ තරම් ඔවුන්ට රොකට් චිත්‍රපටය දැනිල තියෙනවා”.
” ඇත්තටම මටත් හරි සතුටක් දැනුණා. ඒ වගේම තමයි අපේ රොකට් චිත්‍රපටය පුළුල් තිරයක දකින කොට හිතේ ඇතිවන හැඟීම් ගැන කියන්න වචන නැහැ”.
“අපිට මේ සඳහා සහයෝගය ලබා දුන් සැමටම ස්තුතියි කියන්න මම මේක අවස්ථාවක් කරගන්නව. විශේෂයෙන් අපේ හිටපු විදුහල්පතිතුමා නීල් ධම්මික වතුකාරවත්ත මහතා, අමිල තිලකරත්න මහතා, ඉන්ද්‍රානි චන්ද්‍රලතා මහත්මිය (නදුන්ගේ මව), නිමල් ගුණරත්න මහතා වගේම විද්‍යාලයේ ගුරුභවතුන්, ආදි ශිෂ්‍යයන්, අපේ යාළුවො හැමෝම, පාසැලේ සහෝදර සිසු සිසුවියන් සහ චිත්‍රපටයට සම්බන්ධ වූ සියලුම දෙනා ආදරයෙන් මතක් කරනව.
” ඒ වගේම තමයි අපේ ආදරණීය දෙමව්පියන් මතක් කරන්නම අවශ්‍යයි . ඔවුන්ගේ ආශීර්වාදය නොතිබෙන්නට අපේ රොකට් එක සිනමා අහසට යවන්න බැරි වෙනවා”.
සිහිපත් කළයුතු සුවිශේෂී චරිතයක් තමයි මගේ හැදින්වීමේ හැටියට සිනමා රංගනයේ රජු ජෝ අබේවික්රමයන්. එතුමා අධ්‍යාපනය ලබල තියෙන්නෙත් සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ . මම අහල තියෙනවා අතීතයේ සීවලී විදුහල කොටස් තුනකට බෙදිල තිබුණා කියල. ජෝ අබේවික්රමයන් ඉගෙන ගෙන තියෙන්නේ ගඟබඩ සීවලී විදුහලේ. එතුමාගේ ගම රතනපුර ලෙල්ලුපිටිය.එතුමා වැනි රංගධරයෙක් අපේ පාසැලට නෑකම් කීම අපිට ආඩම්බරයක්.
පවුලේ තෙවැනියා ලෙස මෙලොව එළිය දුටු නඳුන්ට සිටින්නේ වැඩිමහල් සහෝදරයෙක් සහ සහෝදරියකි. ඔහුගේ පවුලේ කිසිවෙක් කලාවට සම්බන්ධ නැත. එහෙත් නඳුන් රංගන ශිල්පියෙක් ලෙස, තිර පිටපත් රචකයෙක් ලෙස සිංහල සිනමාව ජය ගනීවි .
සීවලී සිසුන්ගේ රොකට් වෙනුවෙන් නඳුන්, සියලුම ශ්‍රී ලාංකික ජනතාවගෙන් ආදරණිය ඉල්ලීමක් කළේය.
“අපි වෙනුවෙන් රොකට් බලන්න”
අපේ අඩුපාඩු පෙනවල දෙන්න ”
පාසැල් සිසු සිසුවියන් විසින් කරපු මේ නිර්මාණය ගැන ඔබගේ ප්‍රතිචාර ලබාදෙන්න”
ඒ අපි හැමෝම වෙනුවෙන් කරන ඉල්ලීමක්.
කෑගල්ල, රඹුක්කන, ඇඹිලිපිටිය, ඇහැළියගොඩ ප්‍රදේශයන්හී තිබෙන සිනමාශාලා වලින් රොකට් බලන්න පුළුවන් “.
සරසවිය සමඟ කතා කරන මේ මොහොතේ අපි කාටත් සතුට ගෙනදුන් ආරංචියක් ඔබටත් කියන්නම්”.
“රොකට්” පිටරට වලටත් පියාඹන්න නියමිතයි. අපේ ආදි සිසුන්ගෙන් ආරාධනා තියෙනවා ඔවුන් ඉන්න රටවලට රොකට් එක එවන්න කියල .ඉදිරියේ දී අපිට ඒකටත් සූදානම් වෙන්න වෙයි .
නඳුන් ඒ ආරංචිය ලබා දුන්නේ සීවලී ශිෂ්‍යයෙක් ලෙස මහත් අභිමානයකිනි.
“රොකට්” එකට නැගී සිනමා ලොව වටා සැරිසරන්න සූදානම් වන සීවලී දූපුතුන් ඇතුළු රොකට් සිනමා අහසට නැංවීමට පෙර මඟ ලියූ නඳුන් දර්ශන පේමතිලක ඔබට ජය අත්වේවා !
සේයාරූ – නිශ්ශංක විජේරත්න
නයනාංජලි දෙහිපිටිය