නිවස විශේෂාංග ‘රෑ මනමාලි’ සඳහා හොඳම නිළිය වෙන්න රවීගේ සහයෝගය හේතු වුණා

‘රෑ මනමාලි’ සඳහා හොඳම නිළිය වෙන්න රවීගේ සහයෝගය හේතු වුණා

-ප්‍රවීණ රූපණවේදිනී වීණා ජයකොඩි

by Thanushika
May 30, 2024 12:31 pm 0 comment

විශිෂ්ට රංගනවේදී රවින්ද්‍ර රන්දෙණිය වෙනුවෙන් පවත්වනු ලබන “සිංහල සිනමාවේ රවීන්ද්‍රය” රවී අඩසියවසක ආත්මභාෂණය නමැති උපහාර උළෙල පිළිබඳව සහ රවින්ද්‍ර රන්දෙණිය පිළිබඳ සිය සොඳුරු මතකයන් විශිෂ්ට රංගනවේදිනී වීණා ජයකොඩි සරසවිය හා මතකාවර්ජනය කළේ මෙලෙසිනි.

“රවින්ද්‍ර රන්දෙණිය වෙනුවෙන් මෙවැනි උපහාර උළෙලක් පැවැත්වීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් රවින්ද්‍ර රන්දෙණිය පදනමට සහ එහි සාමාජිකයන් සියල්ලන්ටමත් මගේ ස්තුතිය පිරිනැමීමට කැමැතියි. ඇත්තෙන්ම මේ උපහාර උළෙල පවත්වන්න තිබ්බේ මීට කලිනුයි. කෙසේනමුත් ප්‍රමාදවී හෝ කලාවට සම්බන්ධ පිරිසගේ එකමුතුවෙන් මෙවැනි උපහාර උළෙලක් රවී වෙනුවෙන් පැවැත්වීමට සංවිධානය කිරීම ගැන සතුටට පත්වෙනවා. අපේ කාලයෙන් පසුව රවින්ද්‍ර වගේ කලාකරුවන් පිරිසක් සිටියිද කියන එකත් මෙවැනි සිනමාවක් තිබේවිද කියන එකත් සැකයි.

රවින්ද්‍ර සමඟ මම සිනමාවේ කටයුතු කළ කාලයට ගියොත් නොයෙක්වර ඔහු එක්ක මම රංගනයේ යෙදී තිබෙනවා. ඔහුත් සමඟ රඟපෑම හරිම පහසුයි…ඔහු අනෙකාවත් තේරුම් ගෙන ඔහුගේ චරිතයට අවශ්‍ය පසුබිම පිළිබඳ ගැඹුරින්ම අධ්‍යයනයක නිරතවෙලා තමයි රංගනයට පිවිසෙන්නේ. ඔහුව මට මුලින්ම මුණගැසෙන්නේ 1979 තිරගත වූ “චූඩා මාණික්‍ය ” චිත්‍රපටයෙන්. පසුව රවිත් එක්ක “රෑ මනමාලි, තවලම, සුරබිදෙන” වැනි චිත්‍රපට රැසකම රඟපෑමට අවස්ථාව උදාවෙනවා. “රෑ මනමාලි” චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් මට හොඳම නිළිය සම්මානයත් හිමිවෙනවා. එකී සම්මානය මට ලබාගැනීමට මගේ රංගනය පමණක් නෙවෙයි රවීන්ද්‍රගෙන් මට ලැබුණු සහයෝගය උපයෝගී වෙන්න ඇති කියා අදටත් මම විශ්වාස කරනවා. එහි ගෞරවය මම ඔහුට නිතැතින්ම ලබාදෙනවා. රංගනයේදී ඔහු අනෙකාට උපරිම සහයෝගය දෙන රංගන ශිල්පියෙක් ලෙස හඳුන්වන්න පුළුවන්. මටත් ඒ සහයෝගය හොඳීන්ම ඔහු ලබාදුන්නා මගේ රංගන කාර්යය දියුණු කරගැනීමට .අදටත් මම ඔහුට ස්තුතිවන්ත වෙනවා . “සුරබිදෙන” චිත්‍රපටයේ මට කරන්න ලැබුණේ අසීරුතම රංගනයක්. එහෙත් එය සාර්ථක කරගැනීමටත් ඇතැම් සම්මාන උළෙලයන්වලදී “: හොඳම නිළිය, හොඳම සහය නිළිය” සම්මානයට පාත්‍රවීමට ඔහුගෙන් මට ලැබුණු සහය ප්‍රයෝජනවත් වුණා කිව්වොත් හරි. මමයි රවියි අතර රංගන කාර්යයේදී මනා වැටහීමක් තිබුණා. ඔහු සිය චරිතය ගැන උපරිමයටම අධ්‍යයනය කරලා රංගනයට යොමුවෙන කෙනෙක්. අධ්‍යක්ෂවරයා, කැමරා ශිල්පියා සමඟ මනා සබඳතාවක් ඔහු ගොඩනඟා ගත්තා. ඔහුගේ රංගනයේ විශිෂ්ටත්වය නිසාම අපට ඔහු සමඟ කරටකර රංගනයක යෙදෙන්න පුළුවන් වුණා . අනෙක ඔහු කවදාවත්ම කලා ක්ෂේත්‍රය තුළදී ප්‍රශ්න, ගැටුම් ඇතිකරගත්තේ නැහැ . රංගන කාර්යයේදී මට සහාය දුන්නා පමණක් නොවෙයි ඉන් එහාට ගිය නර්තන ප්‍රසංගයක් වූ රිදී රැයක් වැඩසටහනේදී ද මට උපරිම සහයක් දුන්නා. නර්තනයටත් මනා දක්ෂතාවක් තිබූ රවින්ද්‍ර වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑම කලාකරුවෙක්. ඒවගේම හොඳ හදවතක්, සංවේදී මානුෂික ගුණාංග රවීන්ද්‍ර රන්දෙණිය සතුව තිබුණා. එසේම සිනමා ප්‍රේක්ෂකයාගේ ආදරය වැලඳගත්, ප්‍රේක්ෂක හදවතට කිඳාබැසිය හැකි විශිෂ්ට චරිත රැසක් සිනමාවේදී රවින්ද්‍රට ලැබුණා. මම නම් එය දකින්නේ ඔහුගේ වාසනා මහිමය සමඟ ලද දෙයක් ලෙසයි.

රවින්ද්‍ර සතුවූ පෞරුෂය භරිම වෙනස්. ගාමිණී ෆොන්සේකා, ටෝනි රණසිංහ, රොබින් ප්‍රනාන්දු වගේම රවින්ද්‍ර රන්දෙණියත් වෙනස්ම චරිතාංග නළුවෙක් වුණා. රවින්ද්‍රලා ඉන්නේ සිනමාවටම එක්කෙනායි. ඔහුගේ ඒ පෞරුෂය වෙනත් අයකුට ගන්නත් බැහැ වගේම එවැනි පෞරුෂවත් චරිතයක් දේශීය සිනමාවේ නැවත බිහිවෙන්නේත් නැහැ. සිනමාවට අමතරව පුංචි තිරයේත් ටෙලිනාට්‍ය රැසකම ප්‍රධාන භූමිකාවන් කිහිපයක්ම රවින්ද්‍ර රඟදැක්වුවා. කස්තුරි රණසිංහ අධ්‍යක්ෂණය කළ “මහ ඇත් පවුර” ටෙලිනාට්‍යයේ මගේ සහෝදරයා ලෙසයි ඔහු රඟපෑවේ. එහි රූගත කිරීම කරන සමයේත් ඔහු සැබෑවටම මගේ සහෝදරයෙක් වගේ වුණා. පුංචිතිරය තුළද දැවැන්ත පෞරුෂයක් ඔහු ගොඩනඟා ගත්තා. රවින්ද්‍ර රඟපාන ටෙලිනාට්‍යයක් ප්‍රේක්ෂකයන් නරඹන්නේත් හරිම ආසාවෙන්. ඔහුගේ රංගනය නිර්මාණයට දැවැන්ත ආලෝකයක් ලබාදුන්නා කිව්වොත් හරි. අනෙක රවින්ද්‍ර නිතරම අනෙකාට උදව් උපකාර කළ පුද්ගලයෙක් ඇත්තෙන්ම මේ මොහොතේ රවිට උපහාර උළෙලක් පැවැත්වීම කාලෝචිත ක්‍රියාවක්. කලාකරුවකුට දිය හැකි උපරිම ගෞරවය ඇගැයීමයි. ඉතින් ලබන 05 වැනිදා ඇගැයුමට ලක්වන සිනමාවේ තුළ ප්‍රේක්ෂක ආදරය උපරිමයෙන් දිනාගත් සිනමාවේ දුෂ්ටයාට මගේ උණුසුම් සුබපැතුම් පිරිනමන්න මෙය අවස්ථාවක් කරගන්නවා. හිතවත් රවී, ඔබට නිදුක් නීරෝගී චිරජීවනය පතන අතර සුබ උපන් දිනයකට සුබාශිංසනද පිරිනැමීමට මෙය අවස්ථාවක් කරගන්නවා. එඪඵඩ කධභප ඩ්චනනර ඕඪපබඩඤචර අචමඪ.

 

[email protected]

මනෝජ් රුක්මල් කුමාරසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT