නිවස විශේෂාංග රවීගේ රංගනයේ විශිෂ්ටත්වය නිසයි මගේ රංගනයත් සාර්ථක වුණේ

රවීගේ රංගනයේ විශිෂ්ටත්වය නිසයි මගේ රංගනයත් සාර්ථක වුණේ

- ප්‍රවීණ රූපණවේදිනී ස්වර්ණා මල්ලවආරච්චි

by Thanushika
May 30, 2024 12:25 pm 0 comment

විශිෂ්ට රූපණවේදී, සිනමාවේදී රවින්ද්‍ර රන්දෙණිය වෙනුවෙන් රවින්ද්‍ර රන්දෙණිය පදනම විසින් පවත්වනු ලබන උපහාර උළෙල පිළිබඳ අදහස් දැක්වීමට විශිෂ්ට රංගනවේදිනී ස්වර්ණා මල්ලවාරච්චි සරසවිය හා මෙසේ එක්වූවාය.

“ඇත්තෙන්ම මේ උපහාර උළෙල පැවැත්වීමට හැකිවීම සම්බන්ධයෙන් හරිම සතුටක් තිබෙන්නේ. රවින්ද්‍ර රන්දෙණිය පදනම මගින් මෙම උපහාර උළෙල පවත්වන්නේ. මෙකී උළෙල පසුගිය වසරේ තමයි අපි මුලින්ම පවත්වන්න තීරණය කළේ. එහෙත් ඔහුගේ සිනමා කලා දිවියට වසර 50ක් පිරෙන්නේ මේ වසරෙ නිස සිනමා දිවියේ 50 වසරක සැමරුම මූලික කරගෙන ඔහුගේ උපන් දිනයද යෙදෙන මේ වසරේ ජුනි 05 වැනිදා උපහාර උළෙල පවත්වන්න අපි තීරණය කළා. “සිංහල සිනමාවේ රවීන්ද්‍රය රවී සිනමා අඩසියවසක ආත්මභාෂණය අභිනන්දන උපහාර උළෙල නමින් මෙය නම්කර තිබෙන්නේ. මෙවැනි උපහාර උළෙලක් සංවිධානය කිරීම ලෙහෙසිපහසු කාර්යයක් නොවේ. මේ ව්‍යායාමය සැබැවින්ම අගය කළ යුතුයි. මෙකී උළෙල සාර්ථක කරගැනීමට මහාචාර්ය සුනිල් ආරියරත්න, රංග කලංසූරිය, සුනිල් ෆොන්සේකා, රවින්ද්‍ර ගුරුගේ, රවි ලියනගේ, උපාලි ආරියසිංහ, අරුණ ගුණරත්න, උපුල් නිශාන්ත යන පිරිසෙන් හොඳ සහයෝගයක් ලැබුණා. ඒවගේම රවින්ද්‍රගේ ආදරණීය බිරිඳ ප්‍රීති රන්දෙණිය සහ දියණිය උමා රන්දෙණියත් උපරිම සහයෝගය ලබාදෙනවා. ඒවගේම මෙහි පිටපත බන්දුල නානායක්කාරවසම් අතින් ලියවෙන්නේ. රෝහණ වීරසිංහ සංගීත අධ්‍යක්ෂණයෙන් එකතු වෙනවා. එසේම උපහාර දිනයදා රවින්ද්‍ර පිළිබඳ සිංහල සහ ඉංග්‍රීසි භාෂා ද්විත්වයෙන් ලියවුණු ග්‍රන්ථ 2ක් එළිදැක්වෙනවා. සිංහල ග්‍රන්ථය රචනා කළේ ගාමිණී වේරගම යි.

ඉංග්‍රිසි ග්‍රන්ථය රචනා කළේ උදිත දේවප්‍රියයි. රංග කලංසූරිය ඔහුගේ ගෝල පිරිස වන නවක පරපුර ද මෙම උළෙලට හවුල් කරගෙන තිබෙනවා. එම නවක පිරිසගේ උනන්දුව ගැනත් හරිම සතුටුයි වගේම ඔවුන්ගේ කැපවීම, උද්‍යෝගය වෙනුවෙන් ඔවුන්ට ස්තුතිය පිරිනමනවා. කලා ක්ෂේත්‍රය නියෝජනය කරමින් මා ඇතුළුව මාලිනී ෆොන්සේකා, සනත් ගුණතිලක, අනෝජා වීරසිංහ, කමල් අද්දරආරච්චි, මහේන්ද්‍ර පෙරේරා, උමාලි තිලකරත්න යන පිරිසත් මේ කාර්යය සඳහා ඉතා කැපවීමෙන්, භක්තියෙන් සිය දායකත්වය ලබාදුන්නා. රවී සමඟ මම සිනමාවේ කටයුතු කිරීම ගැන කතා කරද්දි “දඩයම, බවදුක, බවකර්ම, සාගර ජලය මදි හැඬුවා ඔබ සන්දා, මායා අනන්ත රාත්‍රිය, මදාරා පරසතු” වැනි චිත්‍රපට රැසකම ඔහුත් සමඟ රංගනයේ යෙදීමට මට අවස්ථාව ලැබුණා. එහිදී “දඩයමේ” රංගනය සුවිශේෂියි. “දඩයම” මෙරට සිනමාවේ හැරවුම් ලක්ෂ්‍යයක් වූ චිත්‍රපටයක්නේ. රවීගේ රංගනයේ විශිෂ්ටත්වය නිසාමයි මටත් මගේ රංගනයන් සාර්ථක ලෙස කරගත හැකිවූයේ. ඔහු යම් චිත්‍රපටයක රංගනයට පිවිසීමේදී ඔහුට ලැබෙන චරිතය පිළිබඳ මනා අධ්‍යයනයක්, හැදෑරීමක් ගැඹුරින්ම සිදුකරනවා. අධ්‍යක්ෂවරයා සහ කැමරා ශිල්පියා සමඟ ඔහු ඉතා සමීපව ගනුදෙනු කරමින් සිය චරිතය පෝෂණය කරගැනීම සිදුකරනවා.

ඒවගේම ඔහු සමඟ රංගනයේ යෙදීම අනෙක් ශිල්පියාට, ශිල්පිනියට හරිම පහසුවක් වෙනවා. රංගන කාර්යයේදී රවීගෙන් ලැබෙන සහය නම් අති විශිෂ්ටයි. සෑම අයෙක් සමඟම සමීපව කටයුතු කිරීමේ ගුණාංගය වගේම මානුෂික ගතිලක්ෂණ ඉතා ඉහළින්ම රවින්ද්‍ර රන්දෙණිය නමැති ජ්‍යෙෂ්ඨ රූපණවේදියා තුළ දක්නට ලැබෙනවා. ඇත්තෙන්ම රවීගේ රංගනයෙන් සිනමා නිර්මාණයට විශාල ආලෝකයක් ලැබෙනවා .ඒවගේම රවී කියන්නේ ඉතා ක්‍රියාශීලී පුද්ගලයෙක්. ඔහු සෑම උළෙලකටම, යම් අයකුගේ ප්‍රණාම උළෙලකට වගේම තමන්ගේ ජීවිතයට හෝ කලා ක්ෂේත්‍රයට සම්බන්ධවූවෙක්ගේ අවමංගල්‍යයකට, එවැනි හිතවතෙකුගේ මවකගේ, පියකුගේ අවමංගල්‍යයකට එහෙමත් අනිවාර්යයෙන් සහභාගි වෙන කෙනෙක්. කලා ක්ෂේත්‍රයේ අයකුට කොහේ හෝ උපහාර ප්‍රණාම දැක්වීමක් තිබුණද එතැනට රවීගේ සහභාගිත්වය අනිවාර්යයි. ඒවගේම ක්ෂේත්‍රයට සම්බන්ධවූවන්ගේ දුකකදී පිහිටවෙන ඒවගේම ආර්ථික අපහසුකම් ඇති අවස්ථාවකදී ඕනෑම අයකුට උදව් උපකාර කිරීමට හැකි මානුෂීය, සංවේදී හදවතක් තිබෙන චරිතයක් තමයි රවින්ද්‍ර රන්දෙණිය කියන්නේ. එසේම රවී නිතරම පොත්පත් කියවීම තුළින් සිනමාව හෝ වෙනත් ක්ෂේත්‍රයක් සම්බන්ධව නිරන්තර දැනුම ලබාගත් කෙනෙක්… ඔහුගෙන් නව පරපුරට ගතහැකි පාඩම් අප්‍රමාණයි. රවින්ද්‍ර රන්දෙණිය පදනම සංවිධානය කරනු ලබන මෙම උපහාර උළෙලට මම මගේ දායකත්වය වගේම ආශීර්වාදය ද පිරිනමනවා. අපේ සිනමාවේ ජ්‍යෙෂ්ඨ රංගධරයාණෙනි, ඔබට නිදුක් නීරෝගී සුවය මෙන්ම සුබ උපන් දිනයකට ආසිරි පතන්නෙමි.

[email protected]

මනෝජ් රුක්මල් කුමාරසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT