හඬකැවීම් කලාවෙන් දක්ෂතම හඬකැවීම් ශිල්පියාට හිමි සම්මානයෙන් ඔහු ඉකුත්දා පිදුම් ලැබීය. ගුවන්විදුලියේ සහ සමාජමාධ්‍ය ජාලයේ හඬකැවීම්හි නිරත වන හෙතෙම සම්ප්‍රවේශකයකු ලෙස ද ක්‍රියාකරයි. පාසල් වේදිකාවෙන් නිවේදන කලාව අරඹා, අද වනවිට ජාතික තරුණ සේවා සභාවට ද සිය දක්ෂතාවන් මුදාහරින ඔහු නමින් හර්ෂ විරාජ් වන්නේය. ඔහුගේ නිර්මාණාත්මක හැකියාවන් සමාජ සේවාවන් වෙනුවෙන් ද දායාද කරමින් නිවේදන, හඬකැවීම්, සම්ප්‍රවේශක ආදී භූමිකා රැසක් ඔස්සේ කලාවේ නිහඬ ගමනක් යමින් සිටියි. හර්ෂ, සිය කලාදිවිය පිළිබඳ කතා කිරීමට සරසවිය හා මෙසේ එක්විය
පසුගියදා ඔබ “හඬ රංගනය” වෙනුවෙන් සම්මානයට පාත්‍රවුණා. ඒ පිළිබඳ විස්තර කළොත් ….?
ඔව්, කොළඹ ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ ඉකුත් දා පැවති සම්මාන උළෙලේදී මට හැකිවුණා 2024 වසරේ දක්ෂතම හඬකැවීම් ශිල්පියාට හිමි සම්මානය ලබාගැනීමට. මේ සම්මානය මට ලැබුණේ පින්න ප්‍රඩක්ෂන් ආයතනය හරහායි. ඒ එහි විකාශය වන “පින්න මතක අඩවිය” නාට්‍ය මාලාවේ හඬකැවීම වෙනුවෙන්.
මේ දිනවල ඔබ නිරතවන කලාකටයුතු මොනවාද …?
AR Production යූටියුබ් නාළිකාව හරහා විකාශය වන “කඳුළු මනාලිය” නාට්‍යයේ අභිලාෂ් නමැති වෛද්‍යවරයාගේ චරිතයට හඬ මුසුකරනවා. ඊට කාටූන් කතා කිහිපයකටද හඬකැවීමෙන් දායක වෙනවා
නිර්මාණාත්මක හඬකැවීම පිළිබඳ ඔබේ දැක්ම මොනවගේද ….?
නිර්මාණාත්මක හඬකැවීම යන්නෙන් මම අදහස් කරන්නේ අපට හඬ මුසුකිරීමට ලැබෙන චරිතයට අපේම කටහඬ උපයෝගී නොකර අදාළ චරිතයට අවශ්‍ය හැඟීම් සහ අදාළ චරිතයේ ස්වභාවය ශ්‍රාවකයාට (අසන්නාට) දැනෙන ලෙස නිර්මාණශීලීව හඬ හැසිරවීමයි. හැමෝටම නිර්මාණාත්මක හඬකැවීමට හැකියාව ලැබෙන්නේ නැහැ . එයට සුවිශේෂී දක්ෂතාවක්, හැකියාවක්, හුරුවක් තියෙන්න ඕනේ තමන්ගේ හඬ තමන්ට ලැබෙන චරිතයට අනුව නිවැරදිව, නිසිපරිදි මෙහෙයවීමට. මෙන්න මේ දේ තමයි නිර්මාණාත්මක හඬකැවීම ලෙස මමනම් දකින්නේ
සම්ප්‍රවේශක භූමිකාව තුළ ඔබ සිටිනුයේ කවර ස්ථානයකද……?
සම්ප්‍රවේශක භූමිකාව ගත්තම ඒක සුවිශේෂී භූමිකාවක් වෙනවා නිවේදනය, හඬකැවීම් ආදී ක්ෂේත්‍ර තුළ. පාසල් වේදිකාවෙන් පටන්ගත්ත මම මේ වෙද්දි සම්ප්‍රවේශක භූමිකාව තුළ සුවිශේෂී කඩඉම් රැසක්ම පසුකරනවා. ජාතික තරුණ සේවා සභාව සංවිධානය කළ විවිධ වැඩසටහන් වෙනුවෙන් මම මගේ සම්ප්‍රවේශක කාර්යයේ නිරතවෙනවා. ඒවගේම මගේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වන පන්නල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කරන යම් යම් වැඩසටහන් සඳහා ද සම්ප්‍රවේශක කාර්යයෙන් දායකවෙනවා. පින්න ර්‍ථපධඤභජබඪධද ආයතනය මඟින් සිදුකරන පින්න 24 ×6 ප්‍රවෘත්ති විකාශනයේ නිවේදකයකු ලෙසත් මම කටයුතු කරනවා
ඔබේ සම්ප්‍රවේශක භූමිකාවේ ආරම්භක අවධියට ගියොත්….?
සම්ප්‍රවේශක භූමිකාවට මම මුලින්ම අත්පොත් තබන්නේ මම අධ්‍යාපනය ලැබූ ගිරිඋල්ල වික්‍රමශීලා ජාතික පාසලෙන්. එහිදී විකුම්සර මාධ්‍ය ඒකකයේ ප්‍රවෘත්ති නිවේදකයකු විදිහට මම මගේ සම්ප්‍රවේශක භූමිකාවට අත්පොත් තබන්නේ. පාසල් අධ්‍යාපනයෙන් පසුව සමාජ මාධ්‍යජාලා හරහා මගේ හඬ ලබාදෙනවා. එහිදී මුලින්ම ෂයින් ජ්ර් නාළිකාවේ ප්‍රවෘත්ති නිවේදකයකු ලෙස කටයුතු කළා.
හඬකැවීම් කලාවේ ඔබේ වත්මන් භූමිකාව මොනවගේද …..?
එහි වත්මන් භූමිකාව ගැන කීවොත් මේ වෙද්දි මම චරිතාංග හඬකැවීම් ශිල්පියකු ලෙස කටයුතු කරනවා. විවිධ ස්වරූපයෙන්, විවිධ කෝණයන්ගෙන්, විවිධ ශානරයන්ගෙන් මගේ හඬට ආදරය කරන අසන්නන්ගේ (ශ්‍රාවකයාගේ) රසවින්දනයට මගේ හඬ ලබාදෙන්න මේවෙද්දී මම කටයුතු කරනවා. ඒ නිසා මේ වෙද්දි මම චරිතාංග හඬකැවීම් ශිල්පියා යන භූමිකාවෙයි නිරතවන්නේ
හඬකැවීමට යොමුවූ ආකාරය සිහිපත් කළොත් ….?
පාසල් අධ්‍යාපනයෙන් පසුව මට අවස්ථාව ලැබෙනවා හඬකැවීම් ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් රැසකගේ ඇසුර ලබන්නට. ඒ සමඟ මට සමාජ මාධ්‍යජාලා ආයතන බොහොමයක ප්‍රධානීන් හඳුනාගන්නටත් ලැබෙනවා. ඔවුන්ගෙන් ආරාධනා ලැබෙනවා ඔවුන්ගේ නාළිකා සඳහා මගේ හඬ ලබාදීමට. එහෙමයි මම හඬකැවීම් ක්ෂේත්‍රයට මුලින්ම යොමුවෙන්නෙ
මුල්ම හඬකැවීම් අත්දැකීම මොනවගේද ….?
ෂයින් ජ්ර් නාළිකාවේ විකාශය වූ “හිතුමතේ” ගුවන්විදුලි නාට්‍යයේ “රදීව්”ගේ චරිතය තමයි මගේ මුල්ම හඬකැවීම් අත්දැකීම වෙන්නේ. ඒ චරිතය සෙල්ලක්කාර, නිතරම කපටිකමින් ජීවත්වන, තමන්ගේ දේ පමණක් ඉටුකර ගැනීමට උත්සාහ කරන තරුණයකුගේ චරිතයක්. මේ චරිතයට ප්‍රවේශ වෙන්න මට මුලින්ම අපහසු වුණා. ඒ මගේ ජීවිතයේ පළමු හඬකැවීම් අත්දැකීම නිසා . කෙසේනමුත් මම උපරිමයෙන් ඒ චරිතයට සාධාරණය ඉටුකළා කියා සිතනවා. මගේ හඬකැවීම් දිවියේ හැරවුම් ලක්ෂ්‍යය වුණේත් රදීව් චරිතයයි
ඔබේ හඬින් රසවත්වී ශ්‍රාවකයා අතර කතාබහට ලක්වූ චරිතත් ඇති….?
අනිවාර්යයෙන් . මගේ හඬින් රසවත්ව ප්‍රේක්ෂකයන් අතරට ගිය චරිත කිහිපයක්ම තිබෙනවා . ඒ අතරින් මා කලින් කියූ “හිතුමතේ” ගුවන්විදුලි නාට්‍යයේ “රදීව්”ගේ චරිතය සුවිශේෂීයි. එසේම ජ්ර් අඩවියේ විකාශය වූ “සංජානා” ගුවන්විදුලි නාට්‍යයේ “මහිම”ගේ චරිතය. මේ චරිත ද්විත්වය මගේ හඬකැවීම් දිවියේ ජනප්‍රිය වූ ශ්‍රාවකයා අතර බොහෝ කතාබහට ලක්වූ චරිතය දෙක ලෙස සලකන්න පුළුවන්. අදටත් මිනිස්සු මට මගේ නම නොකියා “මහිම”කියලා අමතන අවස්ථා තිබෙනවා. රදීව්ගේ චරිතය හඬකවද්දී සමහරු සමාජ මාධ්‍ය හරහා බැණලා තිබුණා, මාව විවේචනයට ලක්කර තිබුණා. සමහර අවස්ථාවල ශ්‍රාවකයා මගේ මරණය පවා අපේක්ෂා කළ අවස්ථා තිබුණා. ඒ සෑම දෙයකින්ම මම සතුටට පත්වුණා රදීව්ගේ චරිතයට හොඳීන්ම සාධාරණය ඉටුකළ නිසානේ මට මේ වගේ ප්‍රතිචාර ලැබෙන්නේ කියලා. ඒ නිසා මම ඒ චරිතයට තවතවත් හොඳීන්ම මගේ හඬ මුසුකරන්න උත්සාහ කළා. මේ චරිත ද්විත්වය තමයි මගේ හඬකැවීම් දිවියේ මාව ඉදිරියටම ඔසවා තැබුවේ.
සම්ප්‍රවේශක භූමිකාව තුළ සුවිශේෂී සංධිස්ථාන ගැන කියනවා නම්……?
කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ජාතික තරුණ සේවා සභාව සංවිධානය කළ “යොවුන් පුරය” වැඩසටහනේ අවස්ථා රැසකම එහි මාධ්‍ය ඒකකයෙහි නිවේදකයකු ලෙස කටයුතු කිරීමට අවස්ථාව ලැබුණා. එය මගේ සම්ප්‍රවේශක භූමිකාවේ සුවිශේෂී සංධිස්ථානයක් කියන්න පුළුවන්. රජයේ සහ ජාතික තරුණ සේවා සභාවේ අනුග්‍රහයෙන් රැගෙන ආ “යොවුන් පුරය” වැඩසටහනේ මට ලැබුණු අවස්ථා ජීවිතයේ කිසිදා අමතක කරන්න බැහැ. එකී අවස්ථා සම්ප්‍රවේශකයකු ලෙස මගේ හඬ සමාජගත කිරීමට ලැබුණු හොඳම අවස්ථා කියා මා සිතනවා.
සමාජ මාධ්‍ය හරහා ද ඔබේ ඔබේ හැකියාවන් මුදාහැර තිබෙනවා. ඒ ගැන කතා කළොත් …?
ඔව්, මේ වෙද්දි මුහුණු පොත, යූටියුබ් ඉන්ස්ට්‍රග්‍රෑම් මේ ආදී සියලුම සමාජ මාධ්‍යජාලාවලට මගේ කටහඬ මුදාහැර තිබෙනවා විවිධ චරිතයන් ඔස්සේ. ඒ පිළිබඳ හරිම සතුටුයි. මම කවදාවත් සියැසින් නොදුටු ප්‍රේක්ෂකයන්ගේ, ශ්‍රාවකයන්ගේ ආදරය නිරන්තරයෙන් මට ලැබෙනවා මේ සමාජ මාධ්‍යජාලාවලට මගේ හඬ මුසුකිරීමත් සමඟ. මේ වෙද්දි නිර්මාණ රැසකට මගේ හඬ දායකත්වය ලබාදෙනවා. මට උපරිම ජනාදරයක් මේ වෙද්දිත් සමාජ මාධ්‍යජාල හරහා ලැබී තිබෙනවා.
ඔබේ නිර්මාණාත්මක හැකියාව සමාජ සේවා කටයුතු වෙනුවෙන් ඔබ යොදාගන්නවා නේද ….?
මගේ නිර්මාණාත්මක හැකියාව සමාජ සේවාවන් වෙනුවෙන් යොදාගැනීමට මම නිරන්තරයෙන්ම කටයුතු කරනවා. මේ වෙද්දි ජාතික තරුණ සේවා සභාව මඟින් ග්‍රාමීය මට්ටමින්, ප්‍රාදේශීය මට්ටමින් , දිස්ත්‍රික් මට්ටමින් සංවිධානය කරන යම් යම් උත්සව, රැස්වීම් අවස්ථා වෙනුවෙන් මම නිවේදන කාර්යයෙන් මගේ හැකියාව මුදාහරිනවා. එසේ ඔවුන්ට මගේ සහාය ලබාදෙනවා. විවිධ ආගමික, සංස්කෘතික උත්සව වෙනුවෙනුත් මගේ නිර්මාණාත්මක හඬ දායකත්වය නිවේදන කලාව තුළින් ලබාදීම කරනවා
හර්ෂ විරාජ් නමැති නිවේදකයා ගැන ඔබට කෙසේද දැනෙන්නේ…..?
හර්ෂ විරාජ් භූමිකාව ගැන කතා කළොත් මම කැමැතියි මටම අනන්‍ය වූ මගේම හඬින් ජනගත වීමට. මම කිසිම මොහොතක වෙනත් කෙනකු අනුකරණය කරමින් මගේ හඬ ලබාදෙන්නේ නැහැ කිසිම මාධ්‍ය ආයතනයකට. නිරන්තරයෙන් මම මගේ හඬ පුහුණු කරනවා. යම් යම් පාඨමාලා හදාරනවා. විශිෂ්ට රංගනවේදිනී අනෝජා වීරසිංහ මහත්මිය යටතේත් කාලයක් පුහුණුවීම් සිදුකළා . මෙවැනි පාඨමාලා තුළින් මම මගේ හඬ දියුණු කරගන්නවා. මම තව කෙනකු අනුගමනය කරනු විනා අනුකරණය කිරීමක් නම් කරන්නේම නැහැ
හඬකැවීම් , නිවේදක, සම්ප්‍රවේශක ආදී භූමිකා තුළින් වඩාත් කැමැත්තක් දක්වන්නේ කවර අංශයටද……? එයට විශේෂ හේතුවක් තිබේද …..?
මම විශේෂයෙන්ම කැමැත්තක් දක්වන්නේ හඬකැවීම් භූමිකාවටයි. ඇත්තෙන්ම මම කැමැතියි මගේ හඬ විවිධ ශානරයන්, පැතිකඩයන් ඔස්සේ ජනගත කිරීමට. අනික මගේ හඬ නිසා ” ආ, මේ ඉන්නේ හර්ෂ නේද…? ” කියා හඳුනාගත නොහැකි තරමටම සමාජගත කරන්න මම කැමැතියි. මම සිතන්නේ එයයි මගේ සාර්ථකත්වය කියලා. එනිසා මම මේ ක්ෂේත්‍ර සියල්ලෙන්ම හඬකැවීම් ක්ෂේත්‍රයට වඩාත්ම ඇල්මක් දක්වනවා කිව්වොත් නිවැරැදියි.
ජාතික තරුණ සේවා සභාව සමඟ ඔබේ ගනුදෙනුව සිදුවූයේ කොහොමද ….?
පාසල් අධ්‍යාපනය අවසන්වීමත් සමඟ මට හැකියාව ලැබෙනවා මගේ ගම් ප්‍රදේශයේම ජාතික තරුණ සේවා සභාව නියෝජනය කරන තරුණ සේවා නිලධාරිනියගේ අනුදැනුමෙන් සහ ඇගේ ආරාධනයෙන් යුක්තව ජාතික තරුණ සේවා සභාවට එක්වීමට. ඒ හරහා ගම් මට්ටමින් මට තරුණ සංචිතයේ සභාපති ධුරය වගේම අනෙකුත් තනතුරුවලත් කටයුතු කරන්න අවස්ථාව ලැබෙනවා. ඉන්පසු එහි ප්‍රාදේශීය මට්ටම දක්වා ගමන් කිරීමට ලැබෙනවා, ප්‍රාදේශීය මට්ටමේ සංස්කෘතික වැඩමුළු වගේම තරුණ සේවා සභාව හරහා සිදුකරන වැඩමුළු වෙනුවෙනුත් මම මගේ දායකත්වය ලබාදෙනවා. පන්නල ප්‍රාදේශීය බලමණ්ඩලයේ නොයෙක් තනතුරු ලබාගෙන ඒ තනතුරුවලට අදාළ කටයුතු සිදුකරන්න මට අවස්ථාව ලැබුණා
වත්මනෙහි නිවේදන කලාව සහ සම්ප්‍රවේශක භූමිකාව තිබෙන්නේ කවර තැනකදැයි ඔබේ විග්‍රහය පැහැදිලි කළොත් ….?
මේ වෙද්දි නිවේදනය සහ සම්ප්‍රවේශක භූමිකාව ගැන කතා කරද්දී එතරම් සුබදායී පිළිතුරක් ලබාදෙන්න අපහසු තත්ත්වයකයි අප ඉන්නේ. වර්තමානයේ නිවේදකයෝ දිනෙන් දින බිහිවෙනවා. තමන්ගේ ශරීර ස්වභාවය, තමන්ගේ මූල්‍යමය හැකියාව, තමන්ගේ සමාජ තත්ත්වය අනුව අද බොහෝදුරට නිවේදකයන් බිහිවෙන්නේ. එහෙත් ඔවුන් ඇත්තෙන්ම මේ පිළිබඳ පාඨමාලාවක් හෝ, යම් පුහුණුවක්, අධ්‍යයනයක් හෝ නොමැතිව ක්ෂේත්‍රයට පැමිණීම නිසා මේ වෙද්දි නිවේදන ක්ෂේත්‍රය වගේම සම්ප්‍රවේශක භූමිකාව තුළ විශාල අර්බුදකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා. මේක තමයි මේ ක්ෂේත්‍ර ද්විත්වයේ දැනට වත්මන් තත්ත්වය ලෙස මට දැනෙන්නේ. නිසි අධ්‍යයනයන්, පුහුණුවක් නොමැතිව මේ ක්ෂේත්‍රවලට පැමිණ කටයුතු කරගෙන යාමේදී ඔවුන් පත්වන අපහසුතාවන් නිරන්තරයෙන් මම දකිනවා. එනිසා අද වනවිට මේ ක්ෂේත්‍ර දෙකම එක්තරා අර්බුදකාරී තත්ත්වයකට පත්ව තිබෙනවා.
කලා ක්ෂේත්‍රයේදී ඔබට ගුරුහරුකම් දුන් පිරිසකුත් ඇති….? එසේම ඔබ අධ්‍යයනය කරන ගුරුතත්හිලා සලකන පිරිසකුත් ඇති ….?
කලා ක්ෂේත්‍රයට මම අත්පොත් තබන්නේ මගේ පින්බිම කියා මම සෑම මොහොතකම හඳුන්වන, මාව මේ තත්ත්වයට ගත් ගිරිඋල්ල වික්‍රමශීලා ජාතික පාසලයි. ඒ පාසලෙන් ලද ගුරුහරුකම් නිසයි අද මම මේ විදිහට යම් තැනක ඉන්නවානම් ඉන්නේ. නාට්‍ය කලාවට, හඬකැවීම් ක්ෂේත්‍රයට කැමැත්තක් දක්වන්න මට නිරන්තරයෙන් ශක්තියක් වුණේ ප්‍රවීණ නාට්‍යවේදියකු, ආචාර්යවරයකු වන පාලිත ලොකුපෝතාගම ගුරුපියාණන් වගේම මේ වෙද්දි අප අතරින් වියෝවී සිටින සුනිල් දයානන්ද කෝණාර ගුරු පියාණන් යන දෙදෙනාගේ ගුරුහරුකම්.. ඔවුන් නිරන්තරයෙන් මට ගුරුහරුකම් ලබාදුන්නා . මොවුන් දෙදෙනා මගේ කලාදිවිය තුළ වන්දනීය ගුරුවරුන් දෙදෙනකු ලෙස මම සලකනවා. ඒවගේම කලාව තුළ මට ගමනක් යෑමට උදව් උපකාර කළ තවත් කිහිපදෙනෙක් ඉන්නවා. ඒ අතර රංගන ශිල්පි රාජසිංහ ලෝලුවාගොඩ මහතා, පින්න Production අධිපති බුද්ධික පින්නදූව මහතා, ෂයින් FM අධිපති අමිල සඳරුවන් මහතා, FM අඩවිය අධිපති නිරෝෂන් මහලියද්ද මහතා ආදීන් මේ මොහොතේ සිහිපත් කළ යුතුයි. මොවුන් සියල්ලන් නිසයි මට කලාවේ යම්දුරක් හෝ මෙසේ පැමිණීමට අවස්ථාව ලැබුණේ.
කලාවේ අනාගතය කෙසේද ඔබ දකින්නේ ….?
කලාවේ අනාගතයේ එතරම් සුබදායී තත්ත්වයක් මම නම් දකින්නේ නැහැ. කලාවට ප්‍රවිෂ්ටවීමට අංකුර ශිල්පීන් රැසක්, වගේම තරුණ කණ්ඩායම් මඟ බලාගෙන සිටිනවා. ඔවුන්ට අවශ්‍ය පුහුණුව ලබාගැනීමට අවස්ථා නැහැ. විවිධ දක්ෂතා පෙන්වන ගම් මට්ටමේ තරුණ තරුණියන්ට කලා ක්ෂේත්‍රයට ඒමට පැහැදිලි මාර්ගයක් මේවනවිට නැහැ. මම සිතන විදිහට අනාගතයේ කලාව සුබදායකවීමට අවශ්‍ය නම් මේ සියලුම කලාකරුවන් හඳුනාගැනීමට යම් වැඩපිළිවෙළක් රාජ්‍ය අනුග්‍රහයෙන් හෝ සිදුවිය යුතුයි. එසේ නොවේනම් කලාව සැමදාම එකම තැනක තියේවි. එසේවුවහොත් කලාවේ වෙනසක්, නව ආරම්භයක් අපට දකින්නට වෙන්නේ නැහැ. නවකයන්ට කලාවට පිවිසීමට අවශ්‍ය වාතාවරණය සැකසීමට රාජ්‍ය අංශය මැදිහත්විය යුතුයි කියන ස්ථාවරයේයි මමනම් සිටින්නේ
කලා දිවියට ඔබේ පවුලෙන් ලැබෙන සහය මොනවගේද ….?
මගේ පවුලෙන් හොඳ සහයෝගයක් ලැබෙනවා. මුලදී නම් මම කලාවට ප්‍රවේශවීම ගැන ඔවුන් එතරම් වැඩි කැමැත්තක් දැක්වූයේ නැහැ. මගේ අම්මා, තාත්තා මේ වෙද්දී කලාවේ දිශානතිය සහ කලාව තුළ මට යමක් කළ හැකි මගේ වපසරිය පිළිබඳ නිවැරැදි අවබෝධයකින් පසුවෙනවා. මේ වෙද්දී මට බොහෝ ජනාදරයක් මගේ අසන්නන්ගෙන් ලැබෙන නිසා මගේ ගෙදර අය මට පූර්ණ නිදහස ලබාදී තිබෙනවා කලාකටයුතුවල නිරතවීමට. මගේ පවුලේ අය මට අවශ්‍ය උපදෙස් නිතරම ලබාදෙනවා. කලාවේ හතරකොන හඳුනාගෙන ඉදිරියට යන්නේ කොහොමද කියා මට ඔවුන් උපදෙස් දෙනවා වගේම ආශීර්වාද කරනවා…
මනෝජ් රුක්මල් කුමාරසිංහ