මෙරට සාම්ප්‍රදායික නර්තන කලාවේ මහා වෘක්ෂ ඇත්තේ අතළොස්සකිවන් සාම්ප්‍රදායික නර්තන කලාවේ ආදිතම ජානයන්ගෙන් පැවත එමින් අතීත වර්තමාන අනාගත කාලත්‍රයන්හි මෙකී විෂය ජනගත කරන්නා වූ ගුරු පරම්පරාවන්හි සුවිශේෂීතමයන් අතරින් වැජඹෙන්නා වූ ආචාර්ය රවිබන්දු විද්‍යාපතීන් පසුගියදා සිය ජීවිතයේ හැටපස්වැනි විය පූර්ණය කළේය.
අති මහත් වූ ශිෂ්‍ය පරම්පරාවකට ගුරුවෙමින් තමන් ලද ශිල්ප ශාස්ත්‍රය නොඅඩුව ප්‍රදානය කරන්නා සේම පරපුරෙන් පරපුරට තම ශිල්ප ඥානය නිර්මාණාත්මකව තිළිණ කරමින් හෙතෙම මේ රට නර්තන ප්‍රේක්ෂකාගාරය තුළඅනභිභවනීය නිර්මාණාත්මක කාර්ය සාධන යෙහි පෙළහර පෑ ඔහු ගුරුවරයෙකු වශයෙන් තෘප්තිමත් වන්නා වූ සුවිශේෂී මොහොතකට පසුගියදා එළඹියේය.
ඒ තම ශිෂ්‍ය ප්‍රවීන නර්තනාචාර්ය චන්දන වික්‍රමසිංහයන්ගේ ද කුවේණි මුද්‍රා නාට්‍යයෙහි පඬුවස් දෙව්රජගේ චරිතය නිරූපණය කරමින් තම ගෝලයා අතින් රංග වින්‍යාසයට සහ නර්තන අධ්‍යක්ෂණයට හසුවූයේය.ගුරුවරයකු වශයෙන් තමන් අති සාර්ථක ගුරුවරයකු වන්නේ තම ශිෂ්‍යයන් එය දිග්විජය කරමින් ඉදිරියට යනු දැකීමෙනි.එවන් වූ නිරාමිස ප්‍රීතියකින් තම සිත සන්තර්පණය කර ගැනීමේ වරම පෙරදා ඔහුට හිමිවූයේය මේ ඒ පිළිබඳ ඔහු සමග කළ කතා බහකි.
චන්දන වික්‍රමසිංහයන්ගේ කුවේණි මුද්‍රා නාට්‍යය පිළිබඳව ඔහුගේ ගුරුවරයකු වශයෙන් ඔබ දරන අදහස කොයි වගේද.
ලංකාවේ නර්තන ඉතිහාසයේ නැත්නම් වේදිකා නර්තන ඉතිහාසයේ මේ කෘතිය එක්තරා කඩඉමක් කඩයිම් කෘතියක් කියලා මම හඳුන්වන්න කැමතියි. මේ කෘතිය තුළ ලංකාවේ මෙතෙක් භාවිත නොවුණ ආකාරයට නූතන තාක්ෂණය වේදිකා තාක්ෂණය කියන එක භාවිතා වෙනවා. ඒකයි මම කඩයිම් කෘතියක් කියලා හඳුන්වන්නේ. විවිධ ආකාරයට අපේ වේදිකා තාක්ෂණය භාවිතා වුණු අවස්ථාවල් අපේ නර්තන කලා ඉතිහාසයේ මුද්‍රා නාට්‍ය කලාව තුළ තිබෙනවා. මෙය එහි කඩඉමක් කියලා කියන්නේ ඉතා සුවිශේෂී ආකාරයට මේක ප්‍රේක්ෂකයින්ට දැක බලා ගන්නත් තිබෙන නිසා. මේ වේදිකා තාක්ෂණය භාවිතා කිරීම තුළම එක්තරා ආකාරයකට කඩඉම් රංග කලා කෘතියක් හැටියට මේක මම හඳුන්වනවා.
දෙවෙනි එක තමයි මේක කල්පිතයක් ඇත්තටම කිව්වොත් මේක ෆැන්ටසියක් හැබැයි මේ ෆැන්ටසි එක නිර්මාණය කිරීම සඳහා චන්දනට තිබෙන පර්යේෂණය ඉතාම අනර්ඝයි.
මේ අපේ කුවේණිය. කුවේණිය පිළිබඳ අප දන්නා කතාන්දරයට එහා ගිය කරුණු කාරණා රාශියක් ඉතාම නාට්‍යමය ආකාරයට මේ නාටයය තුළ චන්දන අරගෙන ආවා. එහි වැදගත්ම තැන තමයි ඔහු මේ කතාන්දරය නිම කරන්නේ මේ කුවේණි කතාන්දරය හරහා අපේ රටේ ජාතික නැටුම් සම්ප්‍රදායක් වූ උඩරට නැටුම් කලාවේ කෝෂ්ඨාගාරය වන කොහොඹා කංකාරිය කියන ශාන්ති කර්මය ඇති වෙන්නේ මේ කුවේණි කතාවේ අවසානයට.
පඬුවස් දෙව්රජ, ඒ කියන්නේ මවිසින් රඟන චරිතයට වැලඳෙන දිවි දෝෂය සුව කිරීම සඳහා තමයි මේ ශාන්ති කර්මය කරන්නේ. ඒ හරහා තමයි උඩරට නැටුම් කලාව වර්තමානය තෙක් පරිණාමය වෙන්නේ. අන්න ඒක තවත් කඩඉමක්. ඉතාම නාට්‍යමය සහ සෞන්දර්යාත්මක විදියට මේ කෘතිය තුළ වර්ධනය වන කොහොඹා කංකාරි දර්ශනයක් දක්වා මේ කතාව පෙළ ගස්වා තිබෙන ආකාරය ඉතා අලංකාරයි. ආකර්ෂණීයයි.
දැන් පොදුවේ ගත්තම ලංකාවේ නර්තන කාල ඉතිහාසය තුළ චන්දන ලේබල් වෙලා තිබෙන්නේ වාණිජ නර්තන ශිල්පියෙක් හැටියට. හැබැයි මෙතනදි චන්දන ලොකු පියවරත් තබනවා සුභාවිත නිර්මාණ කලා මාවත වෙත. මීට කලිනුත් ඔහු ඒ වෙනුවෙන් කෘති කිපයක් කළා. නමුත් මම හිතන්නේ මේක තමයි ඔහු ඒ ගමන් මඟේ ප්‍රධාන කඩඉම් මංසන්ධිය නැතිනම් හැරවුම් ලක්ෂ්‍යය වන්නේ. ඒක ඉතාම වැදගත්. මොකද වර්තමාන අපට ලාංකේය නර්තන කලාව තුළ මේ නැටුම උත්සව අලංකරණය සඳහා යොදා ගන්නා මෙවලමක් බවට පත්වී ඇති යුගයක රංග ශාලාවට ඇවිත් නැටුම් බලන සංස්කෘතියක් නැවත ඇති කිරිමට අවශ්‍ය අවස්ථාවක චන්දන විසින් මේ කෘතිය කිරීම වැදගත් කියලා මම හිතනවා.
ඔබ මේ මුද්‍රා නාට්‍යයේ පඬුවස් දෙව් රජගේ චරිතය නිරුපණය කරනවා. මේ චරිතය පිළිබඳ ඔබේ දැක්ම කවරේද?
මගේ චරිතය පිළිබඳ කතා කළොත් විජයගෙන් පස්සේ විජයට කුවේණිය කරපු ශාපය පසුව එන රජටත් බලපානවා. ඒ තමයි පඬුවස් දෙව් රජු. ඔහුට හීනයක් පෙනෙනවා. විදුරු දිවක් තිබෙන දිවියෙක් ඇවිත් ඔහුව බය කරනවා. කියලා තමයි සඳහන් වෙන්නේ. චන්දන ඉතාම සුක්ෂම විදියට එහි මූලයන්ගේ ඉඳගෙන, ඒ සංකල්පයේ මුල ඉඳගෙන එය පරිවර්තනය කරනවා දිවි යක්ෂණියක් බවට. ඒ දිවි යකින්නගෙන් බලපාන ශාපය පඬුවස් දෙව් රජු ලෙඩ කරවනවා.
මට තිබෙන අභියෝගය වුණේ මනෝභාවයන් දෙකක් සහිත චරිතයක් වේදිකාව මත රඟපැම. එක පැත්තකින් අසරණ වුණු රජුගේ මනෝභාවයන්. අනෙක් පැත්තෙන් ඔහු රජෙක් කියන අභිමානයත් ඔහුට තිබෙනවා. එතකොට මේ ද්විත්වය සමබර කරමින් රඟපාන්න ඕන. ඒත තමයි අභියෝගය. අනෙක් කරුණ තමයි මම රංග වින්‍යාස ශිලපියෙක් හැටියට මට පුරුදු වෙනත් නළු නිළියන්ට රංග වින්‍යාසය කරලා. එතකොට මම වෙන අයව අධ්‍යක්ෂණය කරන කෙනෙක්. නමුත් මෙතනදි කරන්නේ චන්දන අපව අධ්‍යක්ෂණය කිරිමයි. ඔහුගේ රංග වින්‍යාසයට අපි නටන්න ඕන.
එදා චන්දනව අධ්‍යක්ෂණය කළ ඔබ අද චන්දන විසින් ඔබව අධ්‍යක්ෂණය කරනවා. මේ හැඟීම කොයි වගේද?
මම සාම මුද්‍රා නාට්‍යයේ චන්දනට රංග වින්‍යාසය කරලා ඔහුව අධ්‍යක්ෂණය කළා. අද ඒකේ අනිත් පැත්ත සිද්ධ වෙනවා. අද ඔහු රංග වින්‍යාසය කරලා මාව අධ්‍යක්ෂණය කරනවා. ඒක අභියෝගයකට වඩා සතුටට කාරණයක්. ගුරුවරයා පසුපස යනවාට වඩා ගුරුවරයා පසුකොට යැම තමයි සිද්ද විය යුත්තේ. ඒක සතුටට කාරණයක්. ඒ වගේම තමයි මම ඒ චරිතයට, චන්දනගේ රංග වින්‍යාසයට සාධාරණය ඉෂ්ට කරන්නටත් බැදි සිටිනවා. නළුවෝ හැටියට ඇක්ටර් ගේ කාර්ය වෙන්නේ හැමවෙලේම අධ්‍යක්ෂවරයා ඉල්ලා සිටින දේ තමන්ගේ දෘෂ්ටිකෝණයෙන් අර්ථකථනය කර ඉදිරිපත් කිරිම. අන්න ඒ අභියෝගය මම සතුටින් බාර ගත්තා. මගේ අර්ථකථනය සහිතව චන්දනගේ රංග වින්‍යාසය වේදිකාව මත මා ප්‍රතිනිර්මාණය කළා.
ඉතිහාසයේ නිර්මාණය වී ඇති අපේ මුද්‍රා නාට්‍ය කලා ඉතිහාසය තුළ ‘කුවේණි’ අපට කොයි තැන තැබිය හැකිද? ලෝකයේ ඕනම හොඳ කලා කෘතියක් ගත්තම ඒකේ අනන්‍යතාවය කොයි ආකාර වුණත්, අතීත ආකෘතියක් තුළ ඒක නිර්මාණය වුණත් එහි සන්දර්භය කාලින වුණේ නැත්නම් කෘතිය ප්‍රතික්ෂේප වෙනවා. මේ කෘතිය තුළ ඒ කාර්ය මැනවින් ඉෂ්ට වෙලා තිබෙනවා. ඒ නිසා මේ කාතිය නුතන රංග කාර්යයන්, නැතිනම් නුතන විචිත්‍ර රංග කාර්යයක් හැටියට හඳුන්වාදෙන්න කැමැතියි. මේක හරිම මොඩර්න්.
අතිත කතාවක් වුණත්, මේ තුළ වත්මන් සමාජයේ ජිවත්වන චරිත තමයි සජීවීකරණය කරන්නේ.
අපි දැකලා තිබුණ මුද්‍රානාට්‍ය කලාවන් සමඟ මෙහි දකින වෙනස්කම් මොනවාද ? අපිට ගැළපෙන්නේ කොහොමද?
ඕනම දෙයක පරිණාමයක් තිබෙනවා. දැන් මේ පරිණාමය තුළ. හරියට මානවයා වගේ. මේක ටික ටික වර්ධනය වෙනකොට අද කාලයට හොඳීන්ම ගැළපෙන නූතන මුද්‍රා නාටය කෘතියක් හැටියට හඳුන්වන්න කැමතියි. ඒක ස්ථානගත වෙන්නේ Srilanka modern dance theatreකියන ශානරය ඇතුළේ. (ලාංකේය නුතන රංගනය) ඉතාම සමකාලින කෘතිය හැටියට. ඒකයි මම කලින් කිව්වේ මේක අපේ මුද්‍රා නාට්‍ය ගමන් මඟේ එක්තරා කඩ ඉමක් කියලා.
ඔබ මේ දිනවල යෙදෙන වෙනත් කලා කටයුතු ගැන සඳහන් කළොත්?
බොහොමයක් තිබෙනවා. ඉගැන්විම් කටයුතු සුපුරුදු පරිදි කරගෙන යනවා. පසුගිය 30 වැනිදා ට මගේ 65 වැනි උපන්දිනය යෙදී තිබුණා. උපන්දිනය සැමරීම නිමිත්තෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පොඩි උත්සවයක් පැවතුණා. එහිදි විශේෂම කාර්යය වුණේ මම මීට අවුරුදු 5ට පෙර කරපු මුද්‍රා නාට්‍ය කෘති ද්විත්වයක් චිත්‍රපට වශයෙන් පෙන්වුවා. මුද්‍රා නාට්‍යයම අඩංගු වන පරිදි. මහේෂ් උමගිලිය මම ගැන පොඩි කථිකාවකුත් කළා. මේ මුද්‍රා නාට්‍ය කෘති ද්විත්වය වේදිකා ස්වරූපයත් රැකගෙන රූපගත කරලා මේ විදියට ඉදිරිපත් කිරීම නවමු අත්දැකීමක් වුණා ප්‍රේක්ෂකයන්ට.
ඒ වගේම ජනවාරි පස්වෙනිදාට මම ඔස්ට්‍රේලියාව බලා පිටත් වෙනවා. එහි ව්‍යාපෘති ද්විත්වයක් සඳහා. ඕස්ට්‍රේලියාවෙ පර්ත් නුවර සිංහල ළමයින්ට අපි නැටුම් උගන්වලා කලඑළි මංගල්‍යයක් කරනවා. ඒ අතරම ජනවාරි 18 වැනිදා ලංකේය සංස්කෘතිය පිළිබඳ සම්මේලනය ක් පැවැත්වෙනවා එහි මම දේශනයක් කිරීමටද බලාපොරොත්තු වෙනවා.
ජීවිතේ දිහා ආපසු හැරිලා බලත්දි ඔබට මොනවද හිතෙන්නේ?
ඉතාමත්ම සතුටුයි. මම හැමදාම ඉතාමත්ම සැහැල්ලුවෙන් තෘප්තියෙන් ජීවත් වුණු මනුස්සයෙක්. මටත් මගේ බිරිඳටත් දරුවන්ටත් පෞද්ගලික ජිවිතයක් සහ කලා ජීවිතයක් කියලා දෙකක් නැත. අපිට තිබෙන්නේ එක ජිවිතයයි. එ තුළ අපි සතුටින් සැහැල්ලුවෙන් ජීවත් වෙනවා. මේ වනවිට මගේ දරුවන් දෙනන්ම උසස් අධ්‍යාපනය වෙනුවෙන් විදේශ ගත වෙලා ඉන්නවා. ඔවුන් දෙදෙනාත් නර්තන කලාව වෙනුවෙන් කැප වෙනවා. මට තිබෙන්නේ පාරම්පරික උරුමයක් සමඟ ගෙන යන නිර්මාණ ජීවිතයක්. මගේ පියාගෙන් උරුම වුණු ඒ පාරම්පරික ජිවිතය මම මේ දක්වා ආරක්ෂා කරගෙන ඉදිරියට පවත්වාගෙන යනවා. මේ ජිවිතේ ගත කරත්දි මට ගල් මුල් බාධක වැට කඩොලු තිබුණේ නෑ. මගේ පාර හැමදාමත් මට පැහැදිලිව තිබුණා. හැම දෙනාම මාව ආදරෙන් පිළිගත්තා. මට හැමදාමත් මට පෙර හිටපු ජ්‍යේෂ්ට කලාකරුවෝ සහයෝගය දැක්වුවා. ඉදිරියටත් මේ සියලු දේ රැකගෙන නිර්මාණ කරමින් ප්‍රේක්ෂකයන් වෙනුවෙන් හොඳ රසඥතාවයකින් යුතු නිර්මාණ ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. මම විශ්වාස කරනවා මම ශී‍්‍ර ලාංකික ස්වභාවික නර්තන කලාව වෙනුවෙන් ඉපදුණ කෙනෙක් කියලා.
සේයාරූ – නිශ්ශංක විජේරත්න
හේමාලි විජේරත්න