වේලාව දහවල් එකට පමණ ඇත. එදින දැඩි හිරුරැස් පොළවට පතිත නොවූ දවසකි. මා රැගත් වාහනය පාදුක්ක මාර්ගයේ ගොස් මලගල ප්‍රදේශයට සේන්දු වීමට පැයක් පමණ ගතවිය. මහ මාර්ගය අසළ පිහිටා තිබූ බාලසූරිය වලව්ව ඉතා ගරු ගම්භීරව මම එන දෙස බලා සිටියේය. වලව් භූමියට ඇතුළුවන ස්ථානයේ ආරක්ෂකයන් මෙන් සිටි ඉපැරැණි සිමෙන්ති කුලුනු කියාපෑවේ බාලසූරිය වලව්වේ තේජාන්විත බවයි. වලව්වේ ඉදිරිපස ගේට්ටුවෙන ඇතුළුවන වාත් සමඟ දසත පුරා සුවඳ විහිදුවාලන රූස්ස සල්ගසකි. බාලසූරිය වලව්වේ ගම්භීරත්වයත් සමඟ මුසුවූ සුන්දරත්වය කියා පෑමට එය කදිම නිදසුනකි.
එදින බ්‍රහස්පතින්දා දිනයක් විය. වෙනදාට බාලසූරිය වලව්වෙන් නොපෙනුනු කලබල කාරී ගතියක් එදින දිස්විය. තරුණයන් පිරිසක් නවීන පන්නයේ ඩ්‍රෝන කැමරාවක් හසුරවන ආකාරය මා දුටුවේ වලව්වට ඇතුළුවන විටදීමය. තරුණයෙකු දුන් සංඥාව හේතුවෙන් වලව්ව් තුළට ඇතුළුවීමට මට මඳකට ප්‍රමාද කිරීමට සිදුවිය.
එදින මා, බාලසූරිය වලව්වට යාමට විශේෂ නිමිත්තක් තිබුණි. සිනමා තිරය මත දිගහැරීමට සූදානම් වන නවතම සිනමා සිත්තමක දර්ශන කිහිපයක් වලව්වේදී රූගත කෙරෙන බව ආරංචි වී තිබුණි. ඒ ඔස්සේ පාදුක්කේ මලගල පිහිටි බාලසූරිය වලව්වට යෑමට මා තීරණය කළෙ ඒ නිසාවෙනි.
ඩ්‍රෝන කැමරාව වලව්ව ඉහළින් වට කිහිපයක් එහා මෙහා යනතුරු මන අවට පරිසරයේ සුන්දරත්වය වින්දෙමි. මඳ වේලාවකින් තම රාජකාරිය නිමකළ ඩ්‍රෝන කැමරාව මහපොළොව සිප ගත්තේය. ඉන්පසු මට වලව්ව ඇතුළතට යාමට අවසර ලැබුණි.
වලව්වට පා තැබුවා පමණි. ඉතාමත් උස් හඬින් කාට හෝ දොස් නඟන කාන්තාවකගේ හඬින් මම මඳක් තැති ගත්තෙමි.
” තෝත් ආවද බොල මෙතෙනට”
” පලයන්………….යන්ට මෙතනින්”
ඒ වදන් පෙළෙහි එක් වචනයක් මෙහි සඳහන් කිරීමට අපහසුය. බොහෝ දෙනෙක් එවැනි වචන හඳුන්වන්නේ සිංහල භාෂාවේ තිබෙන සුද්ද සිංහල වචන ලෙසිනි.
ඒ වචන මාලාව අනුව, ඒ උස් හඬ අනුව මට තිගැස්මක් මෙන්ම කුතුහලයක්ද ඇතිවිය.
එහෙත් ක්ෂණයකින් ඇසුණු කට්…..කට්…. යන සුපුරුදු වචනය නිසා වලව්වේ ඇතුළත වන දේ මට සිතාගත හැකිවිය. එය සැබෑවටම කියන ලද්දක් ලෙස මා සිතුවත් එය එසේ නොවීය. එය චිත්‍රපට දෙබස් ඛණ්ඩයකි. ‘ඇයයි මමයි’ නවතම චිත්‍රපටයේ ඇතුළත් දෙබස් ඛණ්ඩයකි.
‘ඇයයි මමයි’ යනු රජීව් සිවදාසන්ගේ අධ්‍යක්ෂණයෙන් යුත් කුලුඳුල් චිත්‍රපටයයි. රජීව් යනු අපේ රටේ ප්‍රවීණ සිනමා සහ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකවරයෙකු වූ වී සිවදාසන්ගේ පුත්‍රයාය. සරසවියේ මා දුටු ඔහු ඉතාමත් සුහද ලීලාවෙන් පිළිගත්තේය. මම ආ කාරිය කල් තියා දැන සිටි ඔහු මට අවැසි දේ කර ගැනීමට පූර්ණ අවසරය සහ නිදහස ලබා දුන්නේය. ඒ ලබා දුන් අවසරයෙන් මට අවශ්‍ය වූයේ උස් හඬින් වලව්වේ ආධිපත්‍යය පතුරවන ඒ කාන්තා චරිතය කවුරුන් දැයි දැනගැනීමටය. සිනමාවේ රසබර, හරබර ඕපාදූප සෙවීම අපට අයත් රාජකාරියකි. එය අකුරටම ඉටු කිරීම අපසතු යුතුකමකි.
නිල් පැහැති ඔසරියකින් සැරසී වලව්වේ ළමාතැනී ලෙස උජාරුවෙන් හාන්සි පුටුවකට වී සිටියේ අපේ රටේ ජ්‍යේෂ්ඨ රංගන ශිල්පිනියක් වූ නෙතලි නානයක්කාරයි. හීන් සීරුවේ ඈ දෙසට පිය නැගූවේ ඇය සමඟ කතාබහ කිරීමටය. ඒ අවස්ථාවේ තමා ආරූඪ කරගත් චරිතයෙන් බැහැර වී සිටියත් ඇගේ මුහුණෙහි දිස්වූයේ අහංකාර තේජස් පෙනුමකි. ඇය තවමත් ඈ රඟපෑ චරිතයෙන් බැහැර වී නැතිදැයි මට සිතුණි. මා දුටු සැණින් සුන්දර සිනහවක් පෑ මට අසන්නට තවත් දෙබස් ඛණඩයක් උස් හඬින් කීවාය.
” ඉස්සර අපි පාරේ යනකොට ගමේ එවුන් කාණුවට බහිනවා”
ඒත් ඒකට දැන්”
දැන් ඉන්න එවුන් පාරේ යන්නේ අපිවත් පහුකරගෙන”
” ඔන්න ඔය වගේ දෙබස් තමයි මට කියන්න තියෙන්නේ. මම රඟපාන්නේ වලව්වේ අත්ත්ම්මාගේ චරිතය. වලව්වේ ළමතැනී තමයි මම. ඒ නිසා වලව්වේ ආධිපත්‍ය පතුරවගෙන ඉන්නේ. ඒ වගේම හැමෝම යටත් කරගෙන ජීවත් වෙන චරිතයක්.
ඒ නෙතලි නානයක්කාර රංගන ශිල්පිණියගේ වදන්ය. ඇය එතැන ජ්‍යේෂඨතම ශිල්පිනිය වුවත් ඇය සියලුම දෙනා සමඟ සිනහව පිරි මුහුණින් යුතුව කතා බස් කරමින් සිටියාය.
මඳ වේලාවකට රූගත කිරීම් නතර වූයේ දිවා ආහාර වේල සප්පායම් වීම සඳහාය. ඒ වන විට දිවා ආහාර ගන්නා වේලාව පසු වී තිබුණත් එහි සිටි ඇතැම් ශිල්පීන් එතෙක් වේලා තම ආහාර වේල ගැනද තැකීමක් නොකළේ ඔවුන්ට පැවරී තිබූ කාරිය කලට වේලාවට ඉටු කළයුතු නිසාය.
වලව්ව මැද කැටයම් සහිත මේසය වටා කාන්තාවන් කිහිප දෙනෙකු ගඩුගුඩා වල රස බලමින් සිටියෝය. මටද එහි රස බැලීමට ආරාධනා ලැබුණි. මමද ගඩුගුඩා ගෙඩිවල රස බලමින් එහි සිටි ශිල්පීන් සමඟ රසබර කතාවකට හවුල් වුණෙමි.
කෑම මේසය අසල අසුනක වාඩි වී සිටි මහත්මයෙකු වලව් භූමියේ තිබෙන පළතුරු ගස් පිළිබඳ තොරතුරු කියමින් සිටියේය. ඔහු චිත්‍රපටයට සම්බන්ධ ශිල්පියෙකු නොවන බව මට වැටහී ගියේ එවිටය. අසල සිටි අයෙකුගෙන් ඔහු ගැන විපරම් කළ විට දැනගන්නට ලැබුණේ බාලසූරිය වලව්වේ වත්මන් හිමිකරුවා ඔහු බවය. චිත්‍රපටයේ වගතුග සොයනා අතරේ බාලසූරිය වලව්වේ ඉතිහාස කතා පුවත පිළිබඳ දැනගැනීමට අවශ්‍ය යැයි හැඟුණි. ඔහු වෙත සුහද සිනහවක් පෑ මා ඔහුව කතාවට හවුල් කර ගත්තෙමි. මා දුටු ඔහුට මට දැනගන ගයුතු කාරණය කුමක්දැයි දැනෙන්නට ඇත.
1928 දී තමයි මේ වලව්වට ගෙවදිලා තියෙන්නේ. ඒ අපේ ආතාගේ කාලේ. ජේමිස් බාලසූරිය කියන්නේ මගේ ආතා. 1928 වලව්වට ගෙට ගෙවදීමට පෙර තුන් මාසයක් වස් වසලා කඨින පිංකමකුත් කරල තමයි ගෙවදිලා තියෙන්නේ. මේ වලව්ව පිහිටලා තියෙන්නේ අක්කර දොළහක ඉඩමක. වලව්ව් හදලා මේ වන විට අවුරුදු අනූ අටක් වෙනවා. මේ පැත්තට කියන්නේ මලගල කියලා. වලව්වේ වත්මන් අයිතිකරු මම. මමත්, මගේ බිරිඳයි, දුවයි, පුතයි සමඟ මෙහි ජීවත් වෙනවා. මේ වලව්ව නිතර නිතර ටෙලිනාට්‍ය සහ චිත්‍රපට රූගත කිරීම් සඳහා ලබා දෙනවා.
කෙටි විවේකයක සිටි කාර්මික ශිල්පීන් නැවතත් ක්‍රියාකාරී වූයේ ඊළඟ දර්ශන රූගත කිරීම් සඳහාය. පසෙක වූ කාමරයක තරුණ රංගන ශිල්පිනියකට ලස්සන කරමින් සිටියේ වේශ නිරූපණ ශිල්පී සුරේෂ් ඉන්දිකය. තිරයට පෙනෙන මුහුණු හැඩකර, ඔපකර ගන්නේ වේශ නිරූපණ ශිල්පියාය. ඔහු රූ ගන්වමින් සිටියේ පසුගිය සරසවිය සම්මාන උලෙළේදී හොඳම නැගී එන නිළිය ලෙස සම්මානනීය වූ සන්තුෂ්කි අභිලාෂිවය. ඇයව රූ ගන්වා අවසන් වූ පසු ඉන්දිකව මගෙ කතාබහට හවුල් කරගැනීමට හැකිවිය.
රජිව් සිවදාසන්ගේ චිත්‍රපටයකට සම්බන්ධ වෙන්න ලැබීම සතුටක්. මම ඔහුගේ පියා වන වී සිවදාසන් මහතාගේ චිත්‍රපට දෙකක වැඩ කරලා තියෙනවා. ඔහු මනුස්සකමින් පිරි පුද්ගලයෙක්. කිසිම වෙලාවක තවත් කෙනෙකුගේ හිත රිද්ද්වන්නේ නැහැ. ඇයයි මමයි චිත්‍රපටයේ වැඩ කරන්න ලැබීම මට ලැබුණ භාග්‍යයක්.
වලව්වේ දියණිය ලෙස රඟන සන්තුෂ්කි මල් මල් ගවුමකින් හැඩ වී සිටියාය. ඇයට ඒ මල් සහිත ගවුමද කදිමට ගැළපී තිබුණි. ඇයව රූ ගැන්වීමෙන් පසු ඇය පිටපත කියවමින් ඉදිරි දර්ශනයට තම සිත කරමින් සිටියාය. ලද අවස්ථාවේ ඇයත් මා හා කතාබහට එක් වූවාය.
මම වලව්වේ දියණිය සාරදා. මම මේ පවුලේ හැමෝටම වඩා වෙනස්. ආසාධාරණය ඉදිරියේ කතා කරන චරිතයක්. වලව් මානසිකත්වය ඔලුවේ තියා ගෙන වැඩ කරන ගැහැනු ළමයෙක් නෙවෙයි සාරදා කියන්නේ. ඇය ගමේ අනික් තරුණියන් හැසිරෙන ආකාරයට ජීවත්වන තරුණියක්.
සන්තුෂ්කි ‘ ඇයයි මමයි’ චිත්‍රපටයේ ඇගේ භූමිකාව ඉතා කෙටියෙන් පැහැදිලි කළාය. ඉන්පසු ඇය නැවතත් තමා අත තිබූ පිටපතට නෙතත්, සිතත් යොමු කළේ ඉදිරි දර්ශනය සඳහා ලකලැහැස්ති වීමට තිබෙන නිසාවෙනි.
නැවතත් කැමරා ශිල්පියා ඇතුළු කාර්මික ශිල්පීහු කඩිගුලක් ඇවිස්සුණාක් මෙන් යුහුසුලුව එහා මෙහා යමින් ඉදිරි දර්ශනය සඳහා අවශ්‍ය මෙවලම් සූදානම් කරන්නට වූහ.
මේ අතරතුර ඔසරියකින් සැරසුණ උඩරට මැණිකේ කෙනෙකුගේ පෙනුමැති සුන්දර කාන්තාවක් අසල වූ කාමරයක සිට පිටතට පැමිණියාය. ඇය අප කවුරුත් හොඳීන් හඳුනන මාලි ජයවීරගේ රංගන ශිල්පිනියයි. ඇයද අනෙක් ශිල්පීන්මෙන් ඉතාමත් සුහද ලීලාවෙන් සරසවියට තම චරිතය පිළිබඳ පැහැදිලි කිරීමක් කළාය.
මගේ චරිතය විශාකා. වලව්වේ අම්මා මම. මමත්, මගේ මහත්මයත් (සනත් ගුණතිලක) පුතත්, දුවත්, මගේ නැන්දණියත් තමයි මේ වලව්වේ ජීවත් වෙන්නේ. විශාකා කියන්නේ අහිංසක චරිතයක්. වලව්වේ සිදුවෙන සෑම ප්‍රශ්නයකටම ඉතාමත් ඉවසීමෙන් මුහුණ දෙමින් පවුල් ජීවිතයක් ගතකරන මවක්. ඇය දරුවන්ට ආදරෙයි. තමාගේ දුවට මුහුණපාන්නට සිදුවන්නට වෙන සෑම ප්‍රශ්නයකදීම විශාකා ඇයව බේරා ගන්නවා.
ඒ මාලි ජයවීරගේ ගේ භූමිකාවේ ස්වභාවයයි. ඒ අතරතුර සහය අධ්යක්ෂවරයාගේ හඬ අවදි වුයේය.
අපි පොඩි පුහුණුවීමක් කරමුද? ඒ හඬට කීකරු වූ සාරදා ( සන්තුෂ්කි ) තම පෙර පුහුණුවීමට සූදානම් වූවාය. ඇයට තිබුණේ මහ වැස්සක තෙමීගෙන වලව්වට දිවයන දර්ශනයකි. එවිටම සහය වේශ නිරූපණ ශිල්පියෙක් ඇගේ වරලස වතුරෙන් තෙත් කරන්නට විය.
වැස්සේ තෙමෙන්නට නම් වැසිබර කාලගුණයක් තිබිය යුතුයි. එක වැසි වළාකුළක්වත් නොමැති අහසින් වැසි වැටෙන්නේ කෙසේද? එය ගැටලුවකි. එහෙත් සිනමාවට එය ගැටලුවක් නොවේ. හිරු රැස් නැහැවෙමින්, නිල්වන් අහස් තලයක් තිබුණත් මහවැසි, අකුණු, කුණාටු මැවීමට සිනමාකරුවන්ට හැකියාව ඇත. එසේ බැලුවහොත් සිනමාව මැජික් එකකි. එය සැබෑවකි. මා වලව්වෙන් පිටතට පැමිණියේ මේ මහවැස්ස ඇද හැලෙන්නේ කෙසේද කියා දැන ගැනීමටය. එය අපට ප්‍රශ්ණයක් නොවන බව දැන ගත්තේ වලව්ව මිදුලේ නවතා තිබූ රතු පැහැති ජල බවුසරය දුටු විටය. කාර්මික ශිල්පීන් කෘත්‍රිම වැස්සක් වැස්සවීමට ලහි ලහියේ සූදානම් වූහ. සාරදාට ( සන්තුෂ්කි ) වැස්සේ තෙමෙන්නට මහවැස්සක් ඇතිකළෙ ස්වභාවිකවම වැස්සක් ඇතිකළේ ස්වභාවිකවම වැස්සක් ඇද හැලෙන පරිද්දෙනි. සිනමාව මායාවක් ලෙස හැඳීන්විය හැක්කේ ඒ නිසා බව ඒ දර්ශනය දුටු විට ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකිය.
එසේ පුහුණුවීම් පැවැත්වෙන අතරතුරේ ‘ ඇයයි මමයි’ චිත්‍රපටයට සම්බන්ධ වන තවත් චරිතයක් සමඟින් කතාබහ කිරීමට මඟපෑදිණි. ඇය සාගරිකා ජයමාන්නයි. ඇය මෙම චිත්‍රපටයේ කේශාලංකාර ශිල්පිනිය ලෙස කටයුතු කරන්නීය.
මම සිවදාසන් මහත්මයාගේ සෑම නිර්මාණයකටම පාහේ දායකත්වය ලබා දුන්නා. මේ නිර්මාණය රජිව්ගේ වුණත් මෙහි සිටින දැවැන්ත හෙවණැල්ල තමයි සිවදාසන් මහත්මයා. මමත් මෙහි පුංචි චරිතයක් රඟපානවා. වලව්වේ මෙහෙකාරියගේ චරිතය. නිෂ්පාදන කණ්ඩායම සමඟත් වැඩ කරනවා. ඒ වගේම මෙම චිත්‍රපටයේ කොණ්ඩා සැකසුම් ශිල්පිණියත් මා නිසා රංගනය පැත්තෙන් වැඩි දායකත්වයක් දෙන්න අමාරුයි. අපි හරි විනෝදෙන් තමයි මෙතන වැඩ කරන්නේ.
සාගරිකා ඒ අවස්ථාවේ සිටියේ නිෂ්පාදන කණ්ඩායමේ සාමාජිකාවක් ලෙස නොව කෑම මේසය උඩ තබා තිබූ ගඩුගුඩා වට්ටියේ අයිතිකාරිය ලෙසය. සාගරිකාට උපරිම සහයක් ලබාදීමට සන්තුෂ්කි අභිලාෂගේ මවද ඉදිරිපත් වී සිටීම කාටත් නෙත ගැටුණු දසුනක් විය.
මේ සියල්ල වන අතරේ කිසිදු කලබලයක් නොමැතිව නිවසේ කොණක වාඩි වී රූගත කිරීම්, පෙර පුහුණුවීම් දෙස නිසොල්මන්ව බලාසිටි ප්රතාපවත් චරිතය ගැනද නොලියාම බැරිය. ඒ මුළු කලා ක්ෂේත්රයම හොඳීන් දන්නා වී.සිවදාසන් මහතාය. අවශ්‍ය උපදෙස් දෙමින් , සිදුවන දේ ගැන හොඳීන් අවධානය යොමු කරමින් ‘ ඇයයි මමයි ‘ චිත්රපයට යෝධ ශක්තියක් සපයන්නේ සිවදාසන් මහතාය. ඔහු සමඟ වචනයක් හෝ කතා නොකර සිටිය නොහැකිය. ඔහු අපදුටු සැණින් ඔහුගේ දයාබර හඬ අවදි කළේය.
මේ චිත්‍රපටය මගේ පුතා රජීව්ගේ. ‘ ඇයයි මමයි’ කියන්නේ එයාම ලියපු කතාවක්. එයා විශ්වවිද්‍යාලයට යන කාලේ. චිත්‍රපටයේ වැඩ ආරම්භ කරන්න හිටියේ 2020 දී. ඒත් කොවිඩ් වසංගතය නිසා ඒ වැඩකටයුතු සිදුවුණේ නැහැ. ඒ නිසා රජීව් නැවතත් ඇමරිකාවට ගියා. ඉන් පස්සේ ටිකක් කල් අරගෙන නැවත සූදානම් වෙලා මේ චිත්‍රපටය කරන්න ඔහු සූදානම් වුණා. එහි ඇතැම් චරිත වෙනස් කරල අලුතින් චරිත එකතු කරගෙන තමයි ඔහු නැවතත් චිත්‍රපටය කරන්න තීරණය කළේ. කුතුහලය පිරි ඇයයි මමයි චිත්‍රපටය අනිවාර්යෙන්ම සාර්ථක චිත්‍රපටයක් වන බව මට විශ්වාසයි.
පියෙකු විසින් තම එකම පුතුට ලබා දෙන ඒ ශක්තිය, ආශීර්වාදය ‘ ඇයයි මමයි’ ඉදිරියට ගෙන යන්න ශක්තියක් බව කිව යුතුයි. සිවදාසන් මහතා සමඟ කතාබහ අවසන් කරනවාත් සමඟ වලව්වේ එක් පැත්තක කාමරයක තවත් දර්ශනයක් සඳහා ලක ලැහැස්ති වෙමින් තිබුණි. කැමරාශිල්පීන්, කලා අධ්යක්ෂවරයා එහි පෙරමුණ ගනිමින් අවශ්‍ය කටයුතු සූදානම් කරන්නට විය. තරුණයින් කිහිපදෙනෙකු පරණ කැටයම් සහිත ඇඳක් ඔසවා ගෙන ගොස් කාමරයේ කොණකින් තැබීය. තෙත බරිත වූ සාරදා කැමරාවට මුහුණදීමට සූදානමින්ය. එසැණින් ඇසුණේ වැසි වැටෙන හඬක්ය. මා වලව්වේ පිටුපසට හනිකට පා තැබුවේ සැබෑ ලෙසම වැසි වැටෙනවාදැයි බැලිමටය. නැත. මා නැවතත් රැවටුණා පමණි. මින් පෙර දුටුවාක් මෙන් එය කෘත්‍රිම වැස්සකි. එහෙත් ඒ වැස්ස පතිත වන්නේ පෙර කී කාමරයේ ජනේලය ළඟට පමණි. මේ සිදුවීම් කෙතරම් අපූරුදැයි මට සිතුණි. මේ අපූර්වත්වය මැවීමට කාර්මික ශිල්පීන් කෙතරම් නම් වෙහෙසෙනවාද? සිනමා ශාලාවකට ගොස් පුළුල් තිරයක සිනමා පටයක් නරඹා එහි ගුණදොස් කියන්නට කොතරම් පිරිස් සිටියත්, තිරය පිටුපස සිට වෙහෙස වන ශිල්පීන්ගේ ගුණ වයන්නට නම් කිසිවෙක් නැත.
මම මේ සියල්ල ගැන විපරම් කරමින් අවශ්‍ය කරුණු ගොනුකර කරගත්තෙමි. මට ඔවුන්ගෙන් සමුගැනීමටද කාලය පැමිණ ඇති බව නම් මට කල්පනාවට ආවේම නැත. එහෙත් තවත් එක් චරිතයක් මුණගැසිය යුතුය. ඔහු චිත්‍රපටයේ දැවැන්ත කාරියක් ඉටු කරන තැනැත්තාය.ඔහු කීර්ති රුවන්. ඔහු මේ චිත්‍රපටයේ සහය අධ්‍යක්ෂවරයාය. ඔහු අතිශය කාර්ය බහුල වුවත් සරසවියේ මා සමඟ කතාබහ කිරීමට අමතක නොකළේය.
මම මින් පෙරද සිවදාසන් මහතා සමඟ වැඩ කරලා තියෙනවා. සහය අධ්යක්ෂවරයා විදිහට. මම පොඩි කාලේ මුලින්ම බැලුවෙත් සිවදාසන් මහතාගේ නිර්මාණයක්. ඔහුගේ පුත් රජීව් සිවදාසන්ගේ චිත්‍රපටයක සහය අධ්යක්ෂවරයා වන්නට ලැබීමත් භාග්‍යයක්. ‘ ඇයයි මමයි’ අභිරහස්, කුතුහලය දනවන කතාවක්. ආදරණීය යුවළකගේ ජීවිත බිඳී යන ආකාරය මේ කතාවෙන් කියැවෙනවා. මෙහි රූගත කිරීම් සඳහා නාගරික පරිසරය වගේම මුහුදුකරයේත් සිදුකෙරෙනවා. මෙහි පිටපත් රචිකාවක් වන තනූජා ලුම්බිණි අතින් ලියැවුණා. ඇය දක්ෂ ගුවන් විදුලි, ටෙලිනාට්‍ය පිටපත් රචිකාවක්. ඉදිරියේදීත් මෙහි රූගතකිරීම් සිදු කෙරෙනවා. මේ වලව්වේ වගේම කොළඹ, ඉංගිරිය, දඹුල්ල ආදි ප්‍රදේශ වල ඉදිරියේදීත් රූගත කිරීම් කරන්න බලාපොරොත්තු වෙනවා.
කීර්ති අප සමඟ කතාබහේ යෙදී සිටියත් ඔහුගේ අවධානය යොමු වී තිබුණේ ඉදිරි දර්ශන රූ ගත කිරීම් සඳහාය. එබැවින් ඔහුව නිදහස් කළ යුතුය. ඔහුට සුහදව සමුඩ්ගුන් මටද දර්ශන තලයෙන් සමුගැනීමට කාලය ළංවී තිබුණි. රෑ බෝ වන්නට කලින් මා පත්තර මහගෙදරට සේන්දු විය යුතුය. ‘ ඇයයි මමයි’ දර්ශන තලයෙන් සමුගැනීමට සැරසෙනවාත් සමඟ එතනට පැමිණියේ අපේ කාලයේ සුපිරි තරුව වූ, සිනමාවට අරවින්දයක් බඳු වූ සනත් ගුණතිලකයන්ය. ඔහු තවමත් සිනමාවේ සුපිරි තරුව නේදැයි ඔහු දුටු සැණින් මට සිතුණි. සනත් ගුණතිලකයන් සමඟ සල්ලාපයේ යෙදීමට අවශ්‍ය වුවත් කාලය එයට හරස් විය. කෘත්‍රිම වැසි දෙස දෑස අයාගෙන බලා සිටි මට සැබෑවටම මහ වැස්සකට හසු වීමට ඉඩකඩ ඇති බව ඈත අහස්කුස දෙස බලූ විට තේරුම් ගියේය. එබැවින් ‘ ඇයයි මමයි ‘ දර්ශන තලයෙන් සමුගත්තේ රජීව් සිවදාසන්ගේ කුලුඳුල් නිර්මාණයට සහය වන සියලු දෙනාට සුබ පතමිනි.
අවසාන වශයෙන් සරසවිය සිනමා පුවත්පත වෙනුවෙන් ‘ ඇයයි මමයි’ දර්ශන තලයට මාහට ආරාධනා කොට අවශ්‍ය සියලු පහසුකම් සපයා දුන් චිත්‍රපට අධ්යක්ෂ චන්දන එදිරිසිංහ මහතාටද විශේෂ ස්තූතිය.
නයනාංජලි දෙහිපිටිය