Home » රංගනයට පන්නරය දෙන්න සුදර්ශිය සූදානම්

රංගනයට පන්නරය දෙන්න සුදර්ශිය සූදානම්

සුදර්ශී සභාපති සමන්ප්‍රිය මාරසිංහ

by Thanushika
August 7, 2025 9:36 am 0 comment

ජනාකීර්ණ පෙදෙසක එක් නිසොල්මන් භූමියක සරු සාරව වැඩුණු නුග රුකකි. හාත්පස වෙලාගත් ලතාවකට වැඩුණු නුගරුක පාමුල කෙතරම් නම් හරවත් රසවත් කතා වැළලී ඇත්ද. අතීතයේ හෙළ කලාකෙත පෝෂණය කළ විශිෂ්ට කලාකරුවන්ගේ පා පහස ලැබූ ඒ කලා භූමිය තවමත් හුස්ම ගනිමින් සිටී. එය ජාතික වස්තුවකි. කලාව පිළිබඳ අංශු මාත්‍රයක වත් දැනුමක් , ඇල්මක් නැති පිරිසකගේ ග්‍රහණයට නතු වන්නට ගිය මේ කලා අසපුවට වත්මනෙහි නැවුම් බවක් එක්වීම ප්‍රීතියට කරුණකි. ” ‘සුදර්ශී’ මෙම අකුරු හතර නොදත් කලාකරුවෙකු මේ කලා ක්ෂේත්‍රයේ සිටිය නොහැකිය. සිංහල සංස්කෘතික ආයතනය නමින් හැඳීන්වෙන ‘ සුදර්ශී’ යෙන් කලාකරුවන්ට වන සේවය ඇතිමහත්ය. එයින් පන්නරය ලැබූ කලාකරුවෝ බොහෝමයක් කලා ක්ෂේත්‍රයේ දිගු ගමනක් යාමට හිමිකම් කියූහ.

වර්තමානයේ ‘ සුදර්ශී’ ය නව මුහුණුවරකින් වැජඹෙන්නට පටන් ගෙන ඇත. දක්ෂතා ඇති තරුණ පිරිසක් නිසියාකාරව දැනුමෙන් , ගති සිරිත් වලින් සහ මනා පුහුණුවකින් පෝෂණය කොට කලා ක්ෂේත්‍රයට දායාද කිරීමට ‘ සුදර්ශී’ ය අඩිතාලම දමා ඇත. එයට මඟ පෙන්වන්නා ලෙස මහඟු කාර්යයක් ඉටු කරන්නේ එහි වත්මන් සභාපති ධූරය හොබවන සමන්ප්‍රිය මාරසිංහ මහතාය. ඔහු මෙහි වැඩ භාරගත් පසුව සුදර්ශිය පිළිබඳ වැඩි

අවධානයක් යොමු කිරීම විශේෂත්වයකි. ඔහු ප්‍රථමයෙන් කරළියට පැමිණෙන්නේ රංගන ශිල්පියකු ලෙසිනි. පසුව ඔහු නිෂ්පාදන කළමනාකරුවෙකු ලෙස කලාව වෙනුවෙන් මහඟු සේවයක් ඉටු කළේය. අද ඔහු ඉන් ඔබ්බට ගොස් ලංකාවේ ජාතික සම්පතක් බඳු වූ සිංහල සංස්කෘතික ආයතනය නමින් හඳුන්වන සුදර්ශියේ සභාපතිවරයාය. රටට , කලාවට වැඩදායී කලාකරුවන් පිරිසක් බිහිකරීම සුදර්ශියේ එකම අරමුණ බවට පත්කරමින් විශේෂ රංගන ඇකඩමියක් ආරම්භ කිරීමට ඔහු මේ දිනවල ලහි ලහියේ සූදානම් වෙමින් සිටී.

ඒ බව ලොවටම දැනුම් දීමට සරසවිය ඉදිරියේ ඔහු තම හඬ අවදි කළේ මෙසේය.

සුදර්ශියේ ආරම්භය ඇති වුණේ 1954 දී. එවකට සිටි ප්‍රභූ පැලැන්තියේ අවශ්‍යතාවයකට අනුව එදා සුදර්ශිය ඉදි වූ හිබෙනවා. මෙම භූමිය වටා තිබෙන්නෙත් සංස්කෘතික මධ්‍යස්ථාන ජපන්, ප්‍රංශ, රුසියානු සංස්කෘතික මධ්‍යස්ථාන පිහිටා තිබෙන්නේ කොළඹ හතට අයත් වූ මේ ප්‍රදේශයේ. සුදර්ශිය පටන් ගත් කාලයේ සිට භාණ්ඩාගාරික ධුරය දරා ඇත්තේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය. ලක්ෂ්මන් ජයකොඩි, එස්.එම් තිලකරත්න වැනි චරිත පක්ෂ භේදයකින් තොරව මෙම ස්ථානයට රැස් වී තිබෙනවා. ඔවුන් සෑම සති අන්තයකම සුදර්ශීට රැස් වූ බව අපේ පැරණි දත්ත වල සටහන් වෙලා තිබෙනවා. ඔවුන් සති අන්තයේ මෙතනට පැමිණ කාබී විනෝද වූ බවද සඳහන්. චිත්‍රසේන , වජිරා ඒ පිරිස සමඟ ගැවසිලා තිබෙනවා. මහාචාර්‍ය සරච්චන්ද්‍රයන්ට ලලිතාව හමු වෙලා තියෙන්නෙත් සුදර්ශියේදී.

1956 වසරේදී සුදර්ශියේ ව්‍යවස්ථාව අනුව සංස්කෘතික අමාත්‍යාංශයේ ව්‍යවස්ථාව සැකසුණ බවට දත්ත තිබෙනවා. මේ සුදර්ශීය ඉදිරිපිට තිබෙන බණ්ඩාරනායකය අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාව ඉදිකිරීමෙන් පසු එහි විවෘත කිරීමේ ආරාධනා පතේ සඳහන් වෙලා තියෙන්නේ සුදර්ශී ශාලාව ඉදිරිපිට කියලා. ඒ කාර්ණාවෙන්ම පෙනී යනවා සුදර්ශියට හිමිවන පිළිගැනීම.

1963 සිට 1981 දක්වා මෙහි ලේකම් ධූරය හොබවා තිබෙන්නේ ප්‍රවීණ නාට්‍යවේදී දයානන්ද ගුණවර්ධනයන්. එතුමා තමයි සුදර්ශිය සම්පූර්ණයෙන් කලාගාරයක් බවට පත්කර තිබෙන්නේ. එතුමා වේදිකාවට පුදුමාකාර ලෙස ළෙන්ගතුව සිටි නාට්‍යවේදියෙක්. එදා අද වගේ ටෙලි විෂන්, රේඩියෝ නාලිකා තිබුණේ නැහැ. තිබුණේ වේදිකාව පමණයි. ඒ කාලේ කලාකරුවන් ඇසුරු කළේ වේදිකාව. සුදර්ශිය කියන්නේ වේදිකා රංගන ශිල්පී ශිල්පිනියන් බොහෝ පිරිසක් බිහිකළ භූමියක්. අද ජීවත් වන කලාකරුවන්ගෙන් වැඩි පිරිසක් රංගනයට පන්නරය ලබා ගත්තේ සුදර්ශියෙන්.

සුදර්ශී ආයතනය අතීතයේ සිටම සුන්දර කලා භූමියක්. ඒ කාලේ කලාකරුවන් මෙතෙනට එක් රැස්වෙලා තමන්ගේ නිර්මාණ ගැන කතාබහක යෙදුණා. ඒ කතා බහත් හරි සුන්දරයි. ඔවුන් ඒ කතා බහෙන් පසුව රූපවාහිනිය, ගුවන් විදුලියට විසිර ගියා.

මේ භූමියේ වටිනාකම කියා නිම කරන්නට බැහැ. මෙහි වටිනාකම වැඩියි. එක්තරා කාලයක මෙම ඉඩම රජයට පවරා ගන්න සැලස්මක් තිබුණා. කලාව ගැන කිසිම දෙයක් නොදන්නා , කලාව නොහඳුනන පිරිසකගේ අදහසට අනුව සුදර්ශිය අහිමි වන්නට ඉඩ තිබුණා. එය දේශපාලනික අත පෙවීමක්. එහෙත් කලාවට ලැදි කලාවට ආදරය කරන අපි නොනවත්වා සටනක යෙදුණා. එයින් අදටත් අපට සුදර්ශී භූමියේ පය තබන්නට හැකිවී තිබෙනවා.

අපේ නාට්‍යකරුවන් ධනපතියන් නොවේ. ඔවුන්ට ඔවුන්ගේ පුහුණුවීම් කරන්න, ඔවුන්ගේ නිර්මාණ එළිදක්වන්න මෙය තමයි සහන මිලකට ලබා දෙන කොළඹ අවට තිබෙන විශේෂම ස්ථානය. අපේ නාට්‍යකරුවන් නාට්‍ය නිෂ්පාදනය කරන්නේ බාධක රැසක් මැද්දේ. ඔවුන්ට වේදිකා නාට්‍ය කරගෙන යාමේදී ආර්ථික අපහසුතා ඇති වෙනවා. ඒ නිසා අතීතයේ සිටම කලාකරුවන්ට සුදර්ශිය අත්වැලක් වුණා. කෙටි නාට්‍ය කරුවන්ට ශාලාව ලබා දෙන්නේ නොමිලේ. එමනිසා ඕනෑම තරාතිරමක්ස් වේදිකා නාට්‍යකරුවන්ට මෙම භූමිය විවෘතයි.

මේ වනවිට සුදර්ශි එළිමහන් රංගපීඨයේ නාට්‍ය රඟ දක්වනවා. 2005 දී සංචාරක මණ්ඩලය මඟින් ඉල්ලීමක් කළා ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් සඳහා සංස්කෘතික සංදර්ශන මෙම එළිමහන් රංග පීඨයේ පවත්වන ලෙස. මේ වන විට එළිමහන් රංගපීඨය සඳහාම වෙන්වූ ප්‍රේක්ෂකාගරයක් සිටිනවා. මේ වනවිට සුදර්ශියේ මෙ ගොඩනැගිලි , වටපිටාව ඒ සියල්ල වැඩි දියුණු කරමින් පවතිනවා. රජය විසින් කිසිදු සහනයක් ලබා දී නැහැ. අපි එසේ ඉල්ලීමක් කරලත් නැහැ. දුන්නොත් නොගෙන ඉන්නෙත් නැහැ. විවිධ තානාපති කාර්යාලවලින් අපට යෝජනා ගෙන එනවා. ඒත් ඔවුන්ගේ කොන්දේසි වලට යටත් විය නොහැකි නිසා අප ස්වාධීනව කටයුතු කරනවා. අපට ලැබෙන විදිහට අපි මෙහි නඩත්තු කටයුතු සිදු කරනවා. සුදර්ශි කියන්නේ ජාතික සම්පතක්. එය රැක ගැනීම අප සියලු දෙනාගේ වගකීම. අපට අපේ කලාව කරගෙන යාමට මෙවැනි ස්ථාන අවශ්‍යමයි. කලාව නිසා තමයි සුන්දර මිනිසෙකු බිහිවන්නේ.

මිනිසා කලාවෙන් ඈත් වෙන නිසා තමයි අද සමාජය පිරිහීමකට ලක් වී තිබෙන්නේ. පවුලක සාර්ථක බිරිඳක්, ස්වාමිපුරුෂයෙක් බිහිවන්නෙත් කලාව, සෞන්දර්යට නැඹුරුවක් තිබුණොත් පමණයි. අද ආදරය අහිමි වූ තැන මරණයක් පවා සිදුවන්නට පුළුවන්. තරුණ පිරිස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා. මේ සෑම දේකටම හේතුව සෞන්දර්යෙන් ඈත්වීම.

කලාව ඇසුරෙන් සුන්දර, දැනුමැති කලාකරුවෙකු බිහි කිරීමේ අරණුණින් සුදර්ශියේ අපි අගනා කර්තව්‍යයක් ආරම්භ කිරීමට අඩිතාලම යොදා තිබෙනවා. අපට හොඳ නිලධාරී කණ්ඩායමක් සිටිනවා. ඒ අනුව සිංහල සංස්කෘතික ආයතනය මඟින් තිර රචනය, අධ්‍යක්ෂණය, කලා අධ්‍යක්ෂණය ඇතුළු පූර්ණ රංගන පාඨමාලාවක් සහිත ඇකඩමියක් ආරම්භ කිරීමට මේ වන විට සියලු කටයුතු සූදානම් කරමින් පවතිනවා. මෙම ඇකඩමියෙහි අධ්‍යක්ෂකවරයා වශයෙන් කටයුතු කරන්නේ අපේ රටේ ප්‍රවීණ රංගවේදියකු වන කිංස්ලි ලෝස් මහතා. ඔහු කලාවෙන් පෝෂණය වූ තැනැත්තෙක්. ප්‍රවීණ නාට්‍යවේදී ධම්ම ජාගොඩයන්ගේ මායා ශක්ති තුළින් පන්නරය ලැබූ කලාකරුවෙක්. එම නිසා සාර්ථක රංගන පාඨමාලාවක් දියත් කිරීමට අපට පුළුවන්. මෙහි පාඨ මාලා උසස් මට්ටමකින් පවත්වාගෙන යාම සඳහා දයා ශ්‍රී නරේන්ද්‍ර රාජපක්ෂ මහතා අපට සියලු පහසුකම් සලසනවා. ඔහු අපේ රටේ සිටි ප්‍රවීණ සිනමාකරුවෙකු වූ තිස්ස අබේසේකරයන්ගේ බෑනණුවන්.ලංකාවේ සිටින ප්‍රවීණතම විද්වත් පිරිසකගේ සහභාගීත්වයෙන් මෙහි දේශන මාලාව සමන්විත වෙනවා. කලා ක්ෂේත්‍රයේ සිටින පතාක යෝධයන් වශයෙන් ඔවුන්ව හඳුන්වා දෙන්න පුළුවන්.

අපට අවශ්‍ය වන්නේ සියලු දෙයින් පරිපූර්ණ වූ රංගන ඇකඩමියක් ඇති කරන්න. ලංකාවේ එවැනි ස්ථානයක් නොමැතිවීම විශාල අඩුවක්. ඉන්දියාවට තිබෙනවා පූනා විශ්ව විද්‍යාලය. ඒ මඟින් දක්ෂතාවය ඇති ශිල්පීන් බිහිවෙනවා. ලංකාවේ සෞන්දර්ය විශ්ව විද්‍යාලයට යා හැක්කේ උසස් පෙළ හොඳීන් සමත් වූවා නම් පමණයි. එහෙත් සුදර්ශිය මඟින් පවත්වන මෙම පාඨමාලාව සඳහා එවැනි සුදුසුකම් අවශ්‍ය නැහැ. ඕනෑම වයස් කාණ්ඩයක අයෙකුට මේ සඳහා සහභාගී වෙන්න පුළුවන්. අවශ්‍ය් වන්නේ කියා දෙන දේ තේරුම් ගැනීම පමණයි. රංගන ශිල්පියෙක් හෝ ශිල්පිනියක් වූ විට එයට අවශ්‍ය සෑම දේකින්ම සන්නද්ධ වී තිබිය යුතුයි.

උදාහරණයක් විදිහට ඉන්දියාවේ රංගන ශිල්පිනියක් වූ පූජා උමාශංකර් ඉන්දියාවෙන් අපේ රටට එනවිට ඇය හැම අතින්ම පරිපූර්ණයි. රංගනය, නර්තනය , ගායනය, ඉංග්‍රීසි භාෂා හැකියාව මේ සෑම දෙයකින්ම ඇය සන්නද්ධ වී සිටියා. ඒ නිසා ඇය ලංකාවේදී අති සාර්ථක වුණා. ජනාකර්ෂණීය චරිතයක් බවට පත්වුණා. ඉන්දියාවේදී ඔවුන්ට ඒ පුහුණුව හොඳීන් ලැබෙනවා. විශේෂයෙන් සඳහන් කළ යුතු කාරණයක් තිබෙනවා. එක අවස්ථාවක ළමුන් කණ්ඩායමක් ආවා ඉන්දියාවේ සිට මෙහි රූගත කිරීමකට. ඔවුන් වෘත්තීය මට්ටමේ ශිල්පීන් මෙන් හැසිරුණේ. වේශ නිරූපණය කිරීමෙන් පසු ඔවුන් ඉන්නේ පිටපත සමඟ. අධ්‍යක්ෂකවරයා සමඟ සාකච්ඡා කරනවා. වෙනත් දේවල් ගැන ඔවුන්ගෙ අවධානයක් නැහැ. ඔවුන්ගේ කොටස අවසන් වූ පසු පැත්තකට වෙලා කාටවත් බාධා නොවන ලෙස ඉන්නවා. ඔවුන්ව මනා ලෙස පුහුණු කර ඇති බවයි එයින් පෙනීයන්නේ. තවත් එක් කාරණයක් මෙහිදී සඳහන් කළ යුතුයි. මම මෑතකදී රූගත කිරීමකට සහභාගී වුණා. ඉන්දියානු සිනමා නිෂ්පාදනයක්. ඉන්දියාවේ විශිෂ්ට ගණයේ නළුවෙකු වන විජේ වර්මා ඒ සඳහා පැමිණ සිටියා. එහි රූගත කිරීම් දෙස බලන විට අපි කොතරම් පිටුපසින්ද සිටින්නේ කියා සිතෙනවා. ඔවුන් නළු නිළියන්ව සූදානම් කරන සැටි දුටුවාම පුදුම සිතෙනවා. කලා අධ්‍යක්ෂවරුන් ඉතාමත් කල්පනාකාරීව කටයුතු කරනවා. රංගන ශිල්පියාව සම්පූර්ණයෙන් ඔවුන් සූදානම් කරනවා. කුමන ආකාරයකින් රූගත කිරීම් සිදුවුවත් එ සියල්ලටම ගැළපෙන ආකාරයට. නළුවාගේ උඩුකය පමණක් කැමරාවට හසුකර ගත්තත් කලා අධ්‍යක්ෂණය සිදුකරන කණඩායම නළුවාගෙ සපත්තු ලේස් එක පවා ලස්සනට පිළිවෙළකට සකස් කරනවා. ඒ නිසා තමයි ඔවුන්ගේ නිර්මාණ ගුණාත්මක බවින් ඉහළ තත්වයක තිබෙන්නේ. ඒ තත්වය අපේ රටේ නැහැ. අපිවත් එය සකස් කළ යුතුයි.

අතීතයේ අපේ සිනමාව, ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ තමන් නියැළෙන වෘත්තිය ගුණාත්මක බව ඉහළින් පවත්වාගෙන ගිය අපූරු වටිනා චරිත සිටියා. එහෙත් ඔවුන්ව නිසි ඇගයීමකට ලක් වූයේ නැහැ. 2023 දී සුදර්ශීය අපි භාරගත්තාට පසුව එවැනි චරිත අගයන්නට තීරණය කළා. එහි අදහස ගෙනාවේ අජිත් අලහකෝන් මහතා. ඒ අනුව මුලින්ම ඇගයුමට ලක්වුණේ අපේ ජ්‍යේෂඨ සිනමා කරුවෙකු වූ සෝමපාල ලීලානන්ද මහතාව. ඉන්පසු ඩබ්ලිව්. ජයසිරි, නීල් අලස්, ආනන්ද වික්‍රමගේ වැනි කලාකරුවන්ව ඇගයුමට ලක් කරමින් උපහාර උත්සව සහ සිනමා දැක්මක් පැවැත්වූවා. මෙම අගෝස්තු දහවැනිදා තවත් එවැනිම විශිෂ්ට කලාකරුවෙකු වෙනුවෙන් උපහාර උත්සවයක් පැවැත්වීමට නියමිතයි. ඒ අපේ රටේ සිරින විශිෂ්ට නිෂ්පාදන කළමනාකරුවෙකු වන සරත් ජයසේකර මහතා. ඔහු අපේ රටේ සිටින අංක එකේ නිෂ්පාදන කළමනාකරුවෙක්. මෙවැනි කලාකරුවන්ට සම්මාන උලෙළකදී ආරාධනා පතක්වත් ලැබෙන්නේ නැහැ.

සුදර්ශිය මෙවැනි ඇගයීම් උත්සව තවත් එවැනිම කලාකරුවන් වෙනුවෙන් පැවැත්වීමට බලාපොරොත්තු වෙනවා.

මමත් රංගන ක්ෂේත්‍රයේ සිටි ශිල්පියෙක්. එකල අතිශයින් ජනප්‍රිය වූ ‘ සාජන්ට් නල්ලතම්බි ‘ වේදිකා නාට්‍යයේ මම රඟපෑවා. ඒ එක්කම නිෂ්පාදන කළමනාකරණයත් කළා. අන්තිමට මම නිෂ්පාදන කළමනාකරුවෙකු බවට පත්වුණා. ‘ අබා’ චිත්‍රපටයේ නිෂ්පාදන කළමනාකරු විදිහට කටයුතු කළේ මම. එහෙත් රංගන ශිල්පියා කියන භූමිකාවෙන් මම ඉවත් වී නැහැ.

අද මා සුදර්ශියෙහි සභාපති ධුරය දරන්නෙත් කලාවටම හිත ඇදී ගිහින් තිබෙන නිසා. තවත් පරපුරකට අපි අපේ හැකියාවන් දායාද කළ යුතුයි. රංගන ශිල්පියෙක් පමණක් නෙවෙයි පරිපූර්ණ වූ කලා ශිල්පියෙක් වන්නට නම් කලාවට ලැදි ඔබට උචිතම ආයතනය සුදර්ශියයි.

සේයාරූ – නිශ්ශංක විජේරත්න

[email protected]

 

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT