සංගීත ලෝකය දිග් විජය කරනවා යනු ලෙහෙසි පහසු කාරණයක් නොවෙයි. ඒ වෙනුවෙන් හැකියාව, දක්ෂතාවය සේම වාසනා මහිහයක්ද තිබිය යතුය. තමන් සතු ඉලක්ක හඹා යෑමට හැකියාව දක්ෂතාවය පමණක්ම නොව උත්සාහය, කැපවිම යන්නද අත්‍යාවශ්‍යයෙන්ම බලපාන්නේය .මේ සියල්ල එක්තැන් වූ තැන යමෙකුගේ සාර්ථකත්වයේ රහස නිර්මාණය වන්නේය. එවන් සාර්ථකත්වයකින් තම ජීවිතය සෞන්දර්ය චාරිකාවක වාසභූමියක් කර ගත් අපේ කාලයේ සංගීතඥයෙකු මෙන්ම ගායකයකු වන කසුන් කල්හාරත්, මේ හා සමානවම ගායන හැකියාවැති සේම උත්සාහයත්, කැපවීමත් දරා ගනිමින් සංගිත ගමනෙහි අති සාර්ථකව නියැළෙන කුෂාණි සඳරේකා පිළිබඳ මේ සටහන ලියවෙනුයේ ඔවුන් දෙපළ පෙරදා ගෙවුණු අපුරුතම විදේශ සංචාරයන්ගේ සොඳුරු මතකයද සමරමිනි.
කසුන් හා කුෂාණි ගැන මෙරට සංගිත ලෝලී රසික රසිකාවන්ට අමුතුවෙන් විස්තර කළ යුතු නොවේ. ඔවුන් දෙදෙනාම සතු වන්නේ, මෙරට සංගිත ක්ෂේත්රයේ කාලාන්තරයක් පුරා නිධන් කොට පැවති, රසික රසිකාවන් අශ්ලාදයෙන් වැලඳ ගත් සංගීත නින්නාදයන්හි අපූර්ව ජානය. ලාංකේය සංගිත ඉතිහාසයේ මියුරුතම තනු නිර්මාපකයා වශයෙන්, රටක් වසඟ කළ ගීත නිර්මාණ රැසක් නිර්මාණය කළ සංගීතවේදී එච්. එම්. ජයවර්ධනයන්ගේ ස්වර රටා කසුන් තුළින් නොදකි නම් එයමය විශ්මයට කාරණය. අද අප එය දකිනුයේ එච්. එම්. ජයවර්ධනයන් අබිබවා ගිය, වර්තමාන සංගීත ලෝකයේ අනාගතය නිර්මාණය කරන සුවිශේෂී ස්වර ඥානයක හිමිකරුවා ලෙසිනි. එසේම ඔහුගේ ආදරණීය මෑණියන්ගේ, මෙරට රසික ජනතාව ලද ආශ්වාදනිය මියුරු හඬ පෞරුෂයද අපට කිසිදා අමතක කළ නොහැකිය. පියාගේ ස්වර ඥානයත් මවගේ ආදරණීය හඬ පෞරුෂයත් ජාන මිශ්‍රව කසුන් නමින් මෙරට බිහිකළ මේ අපූර්වතම මිනිසා තමන්ටම අනන්‍ය වූ සංගීත ගමනක් නිර්මාණය කරමින් සුවහසක් මෙරට ගීත ශ්‍රාවක සිත් වසඟයට ගෙන ඇත්තේය.
කුෂාණි වෙනුවෙන්ද මෙවැනි සටහනක් අපට ලියා තැබිය හැකිය. ඈට හිමිව ඇත්තේ අසාමාන්‍ය හඬ පෞරුෂයකි. විටෙක මේ හඬ තුළ අප දේශීය නාද රටාවන්ගෙන් සැදුම් ලත් අපේ ආරයේ හඬක් ඇයට ඉදිරිපත් කළ හැකිය. තවත් විටෙක එය භාරතීය රාගධාරී සංගීතයේ භාවනාවක් වන් රාග මිශ්‍රිත සම්භාව්‍ය සංගීත රසයකින් යුත්, ශ්‍රාස්ත්‍රීය හඬක් රැගෙන එන්නිය. මේ සියල්ල අබිබවමින් අවශ්‍ය නම් ඇයට බටහිර උරුවට හඬ රැගෙන යමින් උච්ච ස්වර ස්ථානයන්ය යමින් මතු දැක්වූ සංගීත ආරයන් සියල්ල යටපත් කරමින් බටහිර පන්නයේ ගායිකාවක් බවටද පත් විය හැකිය. මේ සියල්ල එකම හඬකින් එක් තැනැත්තියක් සතු වීමද එක්තරා අන්දමකට දුර්ලබ සිද්ධියකි.
දෙදෙනාම සතුවන මේ දුර්ලබ හැකියාවන් එකිනෙකට මුණ ගැසීමෙන් නිර්මාණය වන ගැයුම් එසේනම් කෙතරම් සුන්දර විය යුතුද? ඒ අපූර්වත්වය මේ මොහොත වන විටත් අපේ රටේ ප්‍රේක්ෂකයින් මනා සේ රස විඳීමින් සිටින්නේය. මේ සඳහා හොඳම උදාහරණයක් වනුයේ කසුන් සහ කුෂාණි ගායනා කරනා ‘සරා සඳේ….’ ගීතයය.
පසුගිය මාසය පුරා මේ දෙදෙනාගේ විස්මිත හඬ රැගත් ගී සුසංයෝගයෙන් යුරෝපයේ රටවල් කිහිපයක ප්‍රේක්ෂක ජනතාව ආදරයෙන් බෙදා හදා ගත්තේය. ඒ ඔවුන් දෙදෙනා විසින් සිදුකළ යුරෝපා සංචාරයේ විවිධ ප්‍රසංග හේතු කොට ගෙනය. පසුගිය නොවැම්බර් මාසය පුරා යුරෝපයේ රටවල් කිහිපයකම මේ ආදරණිය හඬවල් රැව් පිළිරැව් දුන්නේය. මෙරට පමණක් නොව විදේශීයව ජීවත්වන බොහෝ ශ්‍රී ලාංකිකයෝ ආදරයෙන් මේ ප්‍රසංග වැලඳ ගත්තේය.
‘‘කසුන් සහ මගේ ගීත ප්‍රසංගයක් කරන්න ඕන කියන ආරාධනාව අපිට මුලින්ම ආවේ ස්වීඩනයෙන්. මේ ප්‍රසංගය අපි පැවැත්වුයේ ස්වීඩනයේ ‘ නොදර්න්’වල. ‘කසුන් – කුෂානි ලයිව් ඉන් කොන්සර්ට්’ නමින් විශාල ශාලාවක තමයි ඔවුන් මේ ප්‍රසංගය සංවිධානය කරලා තිබුණේ. ස්විඩනයේ ජීවත්වන විශාල ශ්‍රී ලාංකිකයන් ප්‍රමාණයක් මේ ප්‍රසංගයට සහභාගි වෙලා තිබුණා. ස්විඩනයේ ‘නොදර්න්’ වල පළමු වතාවට තමයි මේ වගේ ප්‍රසංගයක් පවත්වලා තිබුණේ. මීට පෙර වෙන වෙන පළාත්වල පවත්වලා තිබුණට කිසිම ආටිස්ට් කෙනෙක් මේ පළාතේ ප්‍රසංගයක් පවත්වලා තිබුණේ නැ. කසුනුයි මමයි තමයි පළවෙනි වතාවට මේ ප්‍රසංගයට සහභාගි වුණේ. මෙතනට එක් රැස් වෙලා හිටියේ හරිම ආදරණීය පිරිසක්. අපි අර කතාවට කියන්නේ මියුසික් ලවර්ලා කියලා. අන්න ඒ වගේ පිරිසක් තමයි මෙතනට සහභාගි වෙලා හිටියේ.
මේ ප්‍රසංගයේදි කසුන්ගේ ගීත, මගේ ගීත, අපි දෙන්නගෙම අම්මලා, තාත්තලාගේ ගීතත් මෙහිදි ගායනා කළා. ඔවුන් ඒ ගීත හරියට ප්‍රිය කළා. අපි දෙන්නගේ යුග ගීතත් කිහිපයක් ගායනා කළා.
කුෂානි හා කසුන් ස්විඩනයේ පැවැත්වූ මෙම ප්‍රසංගයෙන් පසුව ඔවුන් දෙදෙනා ඉතාලිය බලා පිටත්ව ගියේය. එහි ප්‍රදේශ කිහිපයකම ප්‍රසංග සංවිධානය කර තිබුණු අතර, ඒ අතර වෙරෝනා, මිලානෝ, නාපොලි සහ රෝමය ද විය. ඉතාලියේ පැවැත්වු පළමු ප්‍රසංගය ඔවුන් පැවැත් වුයේ ‘වෙරෝනා’ වලය.
ඇත්තටම ‘වෙරෝනා’ නගරයේ ප්‍රසංගය සඳහා ජන ගඟක් ගැලුව කිවුවොත් නිවැරැදියි. අපි දෙන්න ඇමරිකාව වැනි රටක මින් පෙර ප්‍රසංගයක් පවත්වලා තිබුණට ඉතාලියේ අපි දෙන්නගේ ප්‍රසංගයක් පවත්වලා තිබුණේ නෑ. මේ ප්‍රසංග මාලාව සඳහා ස්විඩනයේ හැර අපිත් සමඟ ගායන ශිල්පි චාමර විරසිංහත් සහභාගි වූණා. අපි තුන්දෙනාම තමයි මේ ප්‍රසංග සඳහා ඔවුන් සහභාගි කර ගත්තේ. වෙරෝනා නගරයේ ප්‍රසංගයෙන් පස්සේ අපි තුන්දෙනාම ‘නාපොලි’ නගරයට ආවා. එතැනත් සංවිධානය කරලා තිබුණේ එවැනිම ප්‍රසංගයක්.
ඊට පස්සේ අපි තුන්දෙනා ප්‍රංශය බලා පිටත් වුණා. ප්‍රංශයේ පවත්වපු ප්‍රසංගයත් ඉතාමත්ම සාර්ථක වුණා. අපි මෙහෙදි දැක්ක සුවිශේෂම කාරණාව වෙන්නේ, මේ ප්‍රසංගය නරඹන්න ඇවිත් හිටිය අපේ ගීත ලෝලී මිතුරු මිතුරියන්ට අපේ හැම ගීතයකම වචන පාඩම් තිබීමයි. ඔවුන් සියලු දෙනාම අපිත් එක්ක ඒ ගීත ගායනා කළා. ඇත්තටම අපි තුන්දෙනාටම පුදුමයි ඒ තරම් ඒ ගීතවල වචන ඔවුන්ට මතක තිබුණේ කොහොමද කියලා. අපේ ජනප්‍රිය ගීත ගැන නම් කිසිම තර්කයක් නෑ. නමුත් ඒ තරම් ප්‍රසිද්ධ නොවුණ අපේ ගීතවල පවා වචන ඔවුන්ට මතක තිබුණා. කසුන්ගේ සහ චාමරගේ ගීත ගැන නම් මට සැකයක් තිබුණේ නෑ.නමුත් ඔවුන්ට මගේ ජනප්‍රිය නොවුණ ගීතත් මතක තිබුණා. ඇත්තටම මේ සෙනඟ මේ විදියට දකින කොට අපිට විශාල සතුටක් දැනුණා. අපි තුන්දෙනා විවිධ වේරියේෂන්ස් තිබෙන කලාකරුවන් තිදෙනකු නිසා මේක නරඹන්නත් විවිධ රස කාමිත්වයන් තිබෙන පිරිස් පැමිණ සිටියා. ඔවුන් අතර සමහරුන් වාඩිවී ගීත අහන අය. සමහරුන් හිටගෙන ගීත රස විඳීන අය. තවත් සමහරු නටමින් ගීත රසවිඳීන අය. ඒ වර්ණවත් රාත්‍රියේ මේ ආකාරයට ඔවුන් අපේ ප්‍රසංගය රස වින්දා.
මෙම ප්‍රසංග සඳහා ද මින්ටර්ස් සහ චෙෆ් සංගීතයෙන් සංගීත කණ්ඩායම් තුනක් අපිට සහයෝගය දැක් වුවා ඔවුන් ඉතාම හොඳීන් අපේ ගීත පුරුදු පුහුණු වී තිබුණා. ඒවගේම තමයි බොහෝ රසිකයන් අපේ චිත්‍රපට ගීත වලටත් කැමැත්තක් දැක්වූවා. චිත්‍රපට ගීත කිහිපයක්ම එහිදී ගායනා කරන්නට යෙදුණා.
කසුන් සහ කුෂාණි ගායනා කරන ‘සරා සදේ…’ ගීයට ඉතාම ඉහළ ගණයේ ප්‍රතිචාර ලැබී තිබෙන අතර, එහිදි කසුන් විසින් මිට කලකට ඉහත ‘ආදරණිය වස්සානය’ චිත්‍රපටය වෙනුවෙන් ගායනා කරන ලද ගීතයටද විශාල ඉල්ලුමක් තිබුණු බවය.
“ඇත්තටම අපේ මේ සංචාරය අතරතුරදී ලද විවේකයන් මේ රටවල විවිධ ස්ථාන නරඹන්නටත් අපි යොදා ගත්තා. ප්‍රංශයට ගිය මොහොතේ අයිපල් කුලුන නරඹන්නටත්, ඉතාලියට ගිය මොහොතේ වතිකානුව, කොලෝසියම් වැනි ස්ථානත් අපි නැරඹුවා. කොහොම වුණත් මේ සංචාරය කසුන්ටත් මටත් සුවිශේෂී සංචාරයක් වුණා. අපි දෙන්න එක්ව ගිය දෙවැනි විදේශ සංචාරය වුණේ මේක.
ඉතාලියේදි අපිට අපුරු අත්දැකීම් ටිකකටත් මුහුණ දෙන්න සිද්ධ වුණා. ඉතාලියේ මිලානෝ නගරයේ එක් ප්‍රසංගයක් සංවිධානය කර තිබුණා. අපට ප්‍රසංගය සඳහා සහභාගි වීමට ඒමට සෑහෙන දුරක් ට්‍රැවල් කරන්න තිබුණා. මේ ප්රශ්නය නිසා නියමිත වේලාවට වඩා පැය 3-4ක් ප්‍රමාදයකින් තමයි අපි ප්‍රසංගය පවත්වන ස්ථානයට ආවේ. ඇත්තටම අපි හිතුවා මේ නිසා අපිට සෑහෙන ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිද්ධ වෙයි කියලා. නමුත් අපි වෙනුවෙන් ආපු ඒ රසික පිරිස් ඉතාම ඉවසිලිවන්තව ඒ පැය දෙක තුන අපි වෙනුවෙන් හිටියා. අපි ආපු ගමන් හරිම ආදරෙන් ඔවුන් අපිව බාර ගත්තා. අපිට හිතා ගන්න බැරි වුණා ඔවුන්ගේ ඉවසිලිවන්ත භාවය ගැන. ඇත්තටම අපිට තේරුණා මේ රසික රසිකාවන් කොයි තරම් අපිට ආදරේ කරනවද කියලා. අපේ නිර්මාණවලට කොයි තරම් ඔවුන් බැඳීලා ඉන්නවද කියලා. අපි කොහේ ගියත් මිනිස්සුන්ගේ ආදරේ වෙනස් වෙන්නේ නෑ කියලා අපිට දැනුණා.
කොහොමත් අපි මේ සංචාරය වෙනුවෙන් මාසයකට ආසන්න කාලයක් වැය කළා. දැන් අපි ඉදිරි වැඩ කටයුතු වෙනුවෙන් වෙලාව වෙන්කරගෙන තිබෙනවා. අපි ඉදිරියට අලුත් නිර්මාණ ටිකක් එළි දක්වන්න සූදානමක් තිබෙනවා.
හේමාලි විජේරත්න