දේශීය සිනමා වංශ කතාවේ අපට නිළි රැජිනන් දෙදෙනෙකු හමුවේ. එක් අයෙක් වනුයේ රුක්මණී දේවියයි. දෙවැන්නිය මෙරට සිනමාවේ කිරුළදරන් සිටිනා නිළි රැජිනි මාලනී ෆොන්සේකාය. සිනමා අධිරාජ්‍යයක රාජනීය වනවා යනු එසේ මෙසේ කරුණක් නොවේ. එය හැම දෙනෙකුටම ලැබෙන වාසනාවක්ද නොවේ. එක අතකට එය සංසාරගත පින් මහිමයක ප්රතිඵලයක්දැයි ද සිතේ.
මාලිනී සෙනෙහෙලතා ෆොන්සේකා ඒ පින්සාර ළඳ 1947 අප්‍රේල් 30 වැනිදාවක මෙලොව ජනිත වන්නේ කැලණියේදීය. එකොළොස් දෙනෙකුගෙන් යුත් විශාල පවුලක තුන්වැන්නිය ලෙස ජන්ම ලාභය ලැබූ ඇය රිදී හැන්ද කටේ තබාගෙන ඉපදුණු තැනැත්තියක නොවීය.
නුගේගොඩ රජයේ පාසලෙන් අකුරු කිරීම ඇරැඹූ ඇය ද්වීතීයික අධ්‍යාපනය ලබනුයේ කැලණිය ගුරුකුල විද්‍යාලයෙනි. ඇගේ රංගන ප්රවිෂ්ටයට පදනම වැටෙනුයේ ගුරු කුලයේදීය. එහි නර්තනය ඉගැන්වූ එස්. මලල් ගුරුතුමා ඇගේ රංගනයට පදනම දැමූ විශේෂිතයා විය. ඒ අනුව ඇය ප්‍රසිද්ධ වේදිකාවට පිවිසෙනුයේ එච්. ඩී. වීරසිරි නිර්මාණය කළ “නොරත රත නාට්‍යයේ රඟපාමිනි. ඉන්පසු අමල්බිසෝ, ඉව බව නැති ලොව, ගුත්තිල, එරබදු මල් පොට්ටු පිපිලා, හිරු අවරට ගියාදෝ, අකල් වැස්ස, සයුරෙන් ආ ළඳ, නුවණ පොදිය, බක තපස්, නිදිකුම්බා, ලිය තඹරා ආදී නාට්‍යයන් හි ඇය රඟපෑවාය.
මාලිනියට සිනමා ගමන් මඟට පාර වැටෙනුයේද වේදිකාව නිසාය. අකල් වැස්ස නාට්‍යයේ කළ රංගනය දුටු ජෝ අබේවික්‍රම ඇය තිස්ස ලියන සූරියගේ “පුංචි බබා” චිත්‍රපටයට තෝරා ගන්නේය. එකී රංගනයෙන් ඇය විදහා දැක්වූ ප්‍රතිභාන්විත රංගන කාර්යයට දිනෙන් දින ඇය සිනමා අඹරේ දිදුලන තාරකාවක් බවට පත්වූවාය.
මාලිනියගේ රංග කාර්යයේ දුටු සුවිශේෂී ලක්ෂණයක් වූයේ ඇය වේදිකාවෙන් පැමිණි එලියක වුවද අධිරංගනයක ලක්ෂණයන් ඇගේ සිනමා රංගනයන් හි දක්නට නොලැබීමය. ඉතාම කෙටි කලක් ඇතුළත ඇය දේශීය සිනමාවේ අග්‍රගන්‍ය නිළි රැජින හෙවත් නිලි තාරකාව බවට පත්වූවාය. රුක්මණී දේවියට පසුව මෙතෙක් මෙකී තත්ත්වයට පත් එකම නිළිය ඇය වූ අතර ඇගේ රංගන භාවිතාව රුක්මණී දේවියගෙන් මෙන්ම රංග කාර්ය න්‍යායිකව හදාළ ලාංකේය සිනමාවේ ප්‍රථම නිළිය වූ අයිරාංගනී සේරසිංහගෙන්ද වෙනස් වූයේය. එසේම මේ තත්ත්වයට ළඟා වීමට ඈ පසුකර ඒමට සිදුවූ අභියෝගාත්මක රංග කාර්යයන්ගෙන් හෙබි නිළි පෞරුෂයන්ද කොතෙකුත් විණ. ඒ අතර ජීවරාණි, සන්ධ්‍යා කුමාරි, විජිත මල්ලිකා, අනුලා කරුණාතිලක, පුණ්‍යා හීන්දෙනිය, ක්ලැරිස් ද සිල්වා, ශෝබනී අමරසිංහ වැනි එකල තරු ගුණය ගොඩනගාගෙන තිබූ නිළියන්ද විය.
මේ සියල්ල අතරින් ඈ ඇයටම අනන්‍ය වූ රංගන පෞරුෂයන් නිර්මාණය කර ගනිමින් එතෙක් බිහි වී තිබූ ලාංකේය සිනමාවේ විවිධ ධාරා අතික්‍රමණය කරමින් උඩුගං බලා පැමිණ මෙරට සිනමා අධිරාජ්‍යයේ කිරුළ පැලඳ ගත්තීය. ඇය තිරයේ මැවූ පෙම්වතිය මෙරට සියලු තරුණයන් අපේක්ෂා කළ පෙම්වතිය බවට පත්කරලීමට ඇය සමත් වූවාය. විශේෂයෙන් හැත්තෑව අසූව දශකයන්හි මෙරට තරුණ පරම්පරාව තම ප්‍රේම ප්රාර්ථනාවන්හි පෙම්වතිය වූයේ මාලිනීගේ රූපකායෙන් හෙබි පෙම්වතියෝය. හැම විටම ඇය එකල මෙරට පෙම්වතියන්ගේ රෝල් මොඩ්ල් එක විය. එසේම සිය දහස් ගණන් මෙරට තරුණ පරපුරේ සිහින විජිතයේ පෙම්වතිය වූයේ ඇයයි.
ඇගේ රංගනයේ සුවිශේෂත්වය දෙස සුපරීක්ෂාවෙන් බලන කල කලාත්මක වේවා වාණිජ වේවා ඕනෑම නිර්මාණයකට සුදුසු වන ආකාරයේ රූපකායක් ඇය සතු විය.
වාණිජ සිනමාවේ නැටුම් ගැයුම් වැයුම් සමඟ ඇගේ රංඟ ස්වභාවයෙන් පරිපූර්ණ නිර්මාණ එදා සිනමා ශාලා තුළට ජන ගංගාවන් ගලා ඒමට තරම් උත්තේජන සැපයුවේය. දැන් මතකද, හතර දෙනාම සූරයෝ, එදත් සූරයා අදත් සූරයා, තුෂාරා, ආවා සොයා ආදරේ, පෙම්බර මධු, අපේක්ෂා, වසන්තේ දවසක්, මිහිඳුම් සිහින, ආරාධනා වැනි චිත්‍රපට ඔස්සේ ජනප්‍රිය සිනමාව ජයගත් ඇය වසර කිහිපයක්ම සරසවිය සම්මාන උලෙළින් ජනප්‍රියම නිළිය ලෙස සම්මාන දිනා ගත්තීය. ඒ 1980, 1981, 1982, 1983, 1984, 1985 සහ 1986 යන වසරවල පැවැති 8, 9, 10, 11, 12, 13, 14 වැනි සරසවිය සම්මාන උලෙළවලදීය.
ඒ සමඟම ඇය 1980 දී හොඳම නිළිය (හිඟන කොල්ලා) 1982 හොඳම නිළිය (ආරාධනා) 1983 හොඳම නිළිය (යස ඉසුරු) 1985 ජූරියේ විශේෂ සම්මාන (සසර චේතනා අධ්යක්ෂණ හා රංගනය වෙනුවෙන්) සහ 1988 දී සරසවිය රණ තිසර සම්මානයෙන් පිදුම් ලබන්නීය.
ඇගේ සිනමා ගමන්මඟ පුරා විවිධ චරිත නිරූපණය කිරීමේ සුවිශේෂීභාවය ප්‍රකට කරයි. ඒ අතර ප්‍රධාන චරිත, කුඩා චරිත, සංකීර්ණ චරිත, පැතලි චරිත, කළු චරිත, සුදු චරිත මෙකී නොකී වර්ගයන් වේ.
චිත්‍රපට නිළියක වශයෙන් පමණක් නොව පසුකලෙක චිත්‍රපට නිෂ්පාදිකාවක ලෙසින්ද ඇය සිනමාවට දායක වූවාය. සිනමාවේ අභිවෘද්ධිය වෙනුවෙන් නළු නිළි සංගමය පිහිටුවීමටද ඇය පුරෝගාමී වූවාය. පසු කලෙක ටෙලි නාට්‍ය රංගනයට හා ටෙලි නාට්‍ය අධ්යක්ෂණයට ද පිවිසි ඇය අන්තර්ජාතික සම්මාන ජාතික සම්මාන රැසකටද හිමිකම් කීවාය. දේශපාලන ක්ෂේත්රයට ද පසු කලෙක පිවිස පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක ලෙසින්ද කටයුතු කළාය.
ඇය පැලැඳී කිරුළ අදටත් මේ මොහොතේත් ඈ හිසට පැලඳ තැබීමම ලාංකේය සිනමා අධිරාජ්‍යයේ අධිරාජනිය ඇය බව සනාථ කරන්නට තවත් හේතු කාරණා අවශ්‍ය නොවන බවට ඔබ සැමදා සාක්ෂි දරනු ඇත.
සේයාරුව ශාන් රූපස්සර
හේමාලි විජේරත්න