Home » මේ සංවාදවල අධ්‍යාපනික අගයක් තිබෙනවා

මේ සංවාදවල අධ්‍යාපනික අගයක් තිබෙනවා

මාධ්‍යවේදී, ලේඛක චන්න බණ්ඩාර විජේකෝන්

by Thanushika
October 2, 2025 12:30 am 0 comment

හැත්තෑව දශකයේ සිනමාව, එහි පසුබිම හා  ප්‍රවීණයන් සමඟ කළ සාරගර්භ සාකච්ඡා ඇතුළත් BEHIND THE SCENES  කෘතිය ඔක්තෝබර් මස 3 වැනි දා සවස 3:00ට කොළඹ අන්තර්ජාතික පොත් ප්‍රදර්ශනයේදී එළිදැක්වීමට නියමිතය. දශකයකට ආසන්න කාලයක් පුරා සිංහල සිනමාවේ ස්වර්ණමය යුගයේ එහි පෙළහර පෑ කීර්තිමත් රූපණවේදීන්, අධ්‍යක්ෂවරුන් ඇතුළු කණ්ඩායම් සමඟ කළ පුවත්පත් සාකච්ඡා එකතුවක් මීට ඇතුළත් ය. අත්දැකීම් සපිරි ලේඛකයකු වන චන්න බණ්ඩාර විජේකෝන් විසින් මෙම කෘතිය සම්පාදිත ය. මේ එම කෘතිය පිළිබඳ කෙරෙන විමසුමකි.

අලෙවිකරණ ක්ෂේත්‍රයේ කටයුතු කළ ඔබ ලේඛන කලාවට එක් වූයේ කොහොමද ?

මගේ මුල් වෘත්තීය වූ අලෙවිකරණ ක්ෂේත්‍රයේ වැඩ කරන ගමන් අසූව දශකයේ අග භාගයේ ඉඳන් තමයි ලියන්න යොමු වුණේ. නිදහස් ලේඛකයකු විදියට. අජන්තා රණසිංහ මහත්මයා තමයි ලේඛන කලාවේ මගෙ පළමුවැනි ගුරුවරයා වුණේ. ඊළඟට ප්‍රවීණ මාධ්‍යවේදියකු වූ බන්දුල පද්මකුමාර මහතාගෙන් ලැබූ ගුරුහරුකම්. මුලින්ම මම ලියන්න පටන් ගත්තෙ සිංහල බසින්. නවයුගය සඟරාවට. පසුකාලිනව තමයි ඉංග්‍රීසි බසින් ලිවීම ආරම්භ කළේ. මේ වන විට පූර්ණ කාලිනව ලේඛකයකු විදියට කටයුතු කරනවා.

ලේඛකයකු විදියට සිනමාව වැනි විෂයක් ගැන ඇල්මක් ඇති වුණේ කොහොමද ?

සිනමාවට ඇති වු නැඹුරුව ගැන කතා කළොත් ඒ පසුබිම් මතක මගෙ ළමා කාලය තෙක් ඇදී යනවා.ඇත්තටම මගෙ පියාගෙ පුංචි සම්බන්ධයකුත් තිබුණා කලාවට. රේගු නිලධාරියකු වශයෙන් කටයුතු කළ අවධියේ මගෙ අප්පච්චි බොහෝ පිරිසක් හඳුනාගෙන හිටියා. කලාකරුවනුත් ඇතුළුව. ඒ තිබුණ දැන හැඳුනුම්කම් එක්ක ඒ කාලෙ අපටත් කලාකරුවන් ගැන දැනගන්න ඉඩක් ලැබුණා. ඒ වගේම අපෙ අම්මාට ඥාතිත්වයක් තිබෙන කලාකරුවනුත් කීපදෙනෙක්  හිටියා. ඔවුනුත් අපේ ගෙදර ආව ගියා. ඒ අතරෙ අප්පච්චි අපව චිත්‍රපට බලන්න එක්කරගෙන යන පුරුද්දකුත් ඒ කාලෙ තිබුණා.ඉතින් ඔය ඔක්කොමත් එක්ක වෙන්න ඇති මටත් නිරායාසයෙන් ම කලාවට හිත යන්න ඇත්තෙ.

BEHIND THE SCENES  කෘතියේ විශේෂත්වයත් ටිකක් පැහැදිලි කර ගනිමු.

අවුරුදු ගානක්, ඒ කියන්නෙ අවුරුදු දහයක් පමණ කලාකරුවන් සමඟ ඩේලි නිව්ස් පුවත්පතට කළ සම්මුඛ සාකච්ඡා එකතුවක් තමයි Behind The Scenes නමින් ජනගත වෙන්නේ.

මුලිනුත් කීව වගේම පොඩි කාලෙ සිටම මම සිනමාවට ගොඩක් කැමති කෙනෙක්. මා වටපිටාවෙ ගොඩනැඟී තිබුණ පසුබිම, ඒ වගේම කලාකරුවන්ගෙ ඇසුර, ඔක්කොමත් එක්ක සිනමාවට විශාල ඇල්මක් ඇතිවී තිබුණත් කලාකරුවන් සමීපව ඇසුරු කරන්න අවස්ථාව උදා වුණේ ඩේලි නිව්ස් පුවත්පතට සම්බන්ධ වීමත් සමඟයි. මම වඩාත් ආස කළ කලාකරුවන් එහෙම නැතිනම් සිනමා ශිල්පීන් මුණ ගැසී සිදු කළ සම්මුඛ සාකච්ඡා රාශියක් අඛණ්ඩව ඩේලි නිව්ස් පුවත්පතට ලබා දීමට මට ඒ ඔස්සේ අවස්ථාව හිමි වුණා. ඒ මහඟු අවස්ථාව උදා වුණේ රසික සෝමරත්න සොහොයුරාගේ මඟ පෙන්වීම ඔස්සේයි. මේ අවස්ථාවේ මම ඒ කාරණයත්  ගෞරව පූර්වකව මතක් කරනවා.

මේ කෘතියට අන්තර්ගත වෙන්නෙ හැත්තෑව දශකයේ සිනමාවට සම්බන්ධ රූපණවේදීන් ඇතුළු සිනමා ශිල්පීන් සමඟ කළ රසවත් හා හරවත් සාකච්ඡා එකතුවක්. මේ සාකච්ඡා සිනමා රසිකයන්ට අංශ ගණනාවකින් වැදගත් බව මගෙ විශ්වාසයයි. ඒ යුගයේ සිනමාව, විශේෂයෙන් එය කර්මාන්තයක් ලෙස ක්‍රියාත්මක වූ විදිය, ඒ යුගයේ සිනමාකරුවන්ගේ සිතුම් පැතුම්, ඔවුන් සිනමාවේ උන්නතිය උදෙසා දැක්වූ දායකත්වය වගේම හැත්තෑව දශකයේ සිනමාව ස්වර්ණමය යුගයක් සේ සැලකීමට හේතු පාදක වූ කරුණු කාරණා රාශියක් මේ සාකච්ඡාවල අන්තර්ගත වීම මේ කෘතියේ විශේෂත්වයක්. හැත්තෑව දශකය සිනමාවේ ස්වර්ණමය යුගය ලෙස අප හැඳීන්වූ යුගයේ එහි කටයුතු කළ ජනප්‍රිය ම කලාකරුවන් ගණනාවක් සමඟ සිදු කළ සාකච්ඡාවලදී සිනමාව අරබයා ඔවුන්ගේ දැක්ම හා සිනමා කර්මාන්තය ගැන ඔවුන්ගේ වූ අවබෝධය ඒ ලියවිලිවලින් හඳුනාගන්න පුළුවන්. ඒ කාරණා ඇත්තෙන්ම ඒ යුගයේ සිනමාවට ආදරය කරන අයට වගේම මේ යුගයේ නවක රූපණවේදින්ටත්, සිනමා කර්මාන්තයේ නියැළෙන්නන්ට හා විද්‍යාර්ථීන්ටත් බොහෝ ප්‍රයෝජනවත් විය හැකියි. ඒ නිසා මා මෙය දකින්නෙ එක පැත්තකින් හැත්තෑව දශකයේ සිනමා කර්මාන්තයේ රසාලිප්ත කතා එකතුවක් සේම අධ්‍යාපනික වටිනාකමක් ද සහිත ග්‍රන්ථයක් ද විදියටයි.

ඔබ මේ කෘතියේ පරිච්ඡේද කීපයක් ඔස්සේ කරුණු ගණනාවක් සාකච්ඡාවට ලක් කරනවා

මම මේ කෘතියේ අංශ තුනක් යටතේ මගෙ සාකච්ඡා ගොනු කර තිබෙනවා.

රූපණවේදීන් සමඟ කළ සාකච්ඡා, චිත්‍රපට අධ්‍යක්ෂවරු හා කැමරා අධ්‍යක්ෂවරු සමඟ කළ සාකච්ඡා සහ මා ලියු චිත්‍රපට විචාර වශයෙන් කොටස් තුනක් යටතේ මේ පොතේ සිනමාව පිළිබඳ කරුණු අන්තර්ගත වෙලා තිබෙනවා. ඒ ඔස්සේ හැත්තෑව දශකයේ සිනමාව පිළිබඳ පුළුල් අවබෝධයක් ලබා ගැනීමේ වටපිටාවක් නිර්මාණය වෙනවා. එහි  අන්තර්ගත කරුණු සියල්ලක් සිනමාව අරබයා ඔවුන්ගේ අත්දැකීම්.

සිය වෘත්තීය ගමනේ රසාලිප්ත අවස්ථා ඇතුළුව සිනමාව යනු කුමක්ද, එය කර්මාන්තයක් ලෙස වර්ධනය වීම කෙරේ බලපාන කරුණු මොනවාද එදා සිනමාව තුළ එය කොතෙක් දුරට ඉටු වී තිබුණාද ආදි වශයෙන් ඔවුන්ගේ කතා බහ තුළ ඉතා වැදගත් කරුණු රැසක් මේ සාකච්ඡා ඔස්සේ නිරාවරණය වෙනවා. ඒවා නූතන සිනමා කර්මාන්තයේ දියුණුවටත් වැදගත් සංවාද වේවි.

මේ ග්‍රන්ථය එළිදැක්වීමට බලපෑ කරුණු මොනවාද ?

මූලිකව කරුණු කීපයක් හේතු වුණා.

භාෂා කීපයකින් ලියන ලේඛකයකු විදියට වගේම පරිවර්තකයකු විදියටත් සිංහල බසින් නිකුත් වූ පොත් තමයි මෙතෙක් තිබුණේ. ඔය අතරෙ ඉංග්‍රීසි බසින් නවකථාවක් ලියමින් සිටින මොහොතක තමයි මම කල්පනා කළේ ඇයි මම ඊට කලින් මේ සාකච්ඡා එකතුව ඉදිරිපත් නොකරන්නේ කියල. ඒ ඔස්සේ තමයි එතෙක් මා මා කළ සම්මුඛ සාකච්ඡා රාශියක් අතුරින් හැත්තෑව දශකයේ සිනමාව අළලා කළ සම්මුඛ සාකච්ඡා එකතුවක් විදියට මෙය එළිදැක්වීම වැදගත් වෙයි කියා කල්පනා කළේ.

ඒක මුලින් කතා කළ ලෙසම සිනමාව ගැන උනන්දුව දනවන තොරතුරු කියවිය හැකි කෘතියක් සේම සිනමාව ගැන හදාරන නවකයන්ට තොරතුරු ලබාගත හැකි හොඳ මූලාශ්‍රයක් වනු ඇති බවත් මා කල්පනා කළා.

විශේෂයෙන් සිනමාව නැවතත් පණ ගසා එන මෙවැනි යුගයක එය කර්මාන්තයක් විදියට කෙසේ සකස් විය යුතු ද යන්න මේ සාකච්ඡා ඇතුළෙ එදා ප්‍රවීණයන් දැක්වූ අදහස් ඉතා වැදගත් වනු ඇති බවයි මගේ හැඟීම වන්නේ.

සේයාරූ – නිශ්ශංක විජේරත්න

[email protected]

සමුද්‍රිකා වර්ණකුල

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT