රාජ්‍ය සේවයෙහි නිරත නවකථා ලොවට බැඳී නොතිත් ආශාවෙන් රුක්මන් දේවප්‍රිය වික්‍රමආරච්චි විසින් ලියන ලද ප්‍රේමාන්විත නවකතාවක් වූ “සත්සර දෝණි” ඔහුගේ කුලුඳුල් නවකථාවයි. එය මිනිස් දිවියේ දෛනික රිද්මය විග්රහ කැරෙන්නක් යැයි පවසන මෙම නවකථාවේ කතුවර රුක්මන් දේවප්‍රිය වික්‍රමාරච්චි මහතා සමඟ කරන ලද සංලාපයකි මේ
ඔබ පිළිබඳව පළමුවෙන් යමක් කීවොත් ?
මම කොළඹින් ඉතා බැහැර ග්‍රාමීය පරිසරයකට නෑකම් කියන මිද්දෙණිය කියන ගම් පළාතේ.. මිද්දෙණිය ගමේ මහා විද්‍යාලයෙන් සාමාන්‍ය පෙළ විභාගයට පෙනී ඉඳල උසස් පෙළ හදාරන්නට බෙලිඅත්ත මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වුණා.. පාසල්වියේ පටන් මම පොතපතට සමීපයි.. මගෙ කුඩා අවධියෙන් උපහාසාත්මක කතන්දර කියැවීමට තමයි වඩාත් ආශා කළේ. ඒ ඒ චරිත පිළිබඳව ගළපන්නට වෑයම් කළ හැටි අදත් මට මතකයි.
ඔබගේ මේ සත්සර දෝණි යොවුන් නවකථාව ගැන කතා කළොත් ?
සත්සර දෝණි මගේ ප්‍රථම නවකතාව..නවකථා ලොවට පිවිසෙන්නට දන්නා කියන කාලෙ පටන්ම පොතක් ලියන්නට මට ලොකු උනන්දුවක් ආසාවක් තිබුණා..මේ ඒ උත්සාහයේ ප්‍රතිඵලයක්.
යොවුන් ප්‍රේමය පිළිබඳ නවකථා අපට බොහෝවිට ඇස ගැටෙනවා..එවන් හුදු සරල වෑයමක ප්‍රතිඵලයක් ද මේ ඔබේ නවකථාවත් ?
බැලූ බැල්මට එලෙසින් පෙනුණත් මේ නවකථාව තුළ ඊටත් එහාගිය සෞන්දර්යාත්මක පැතිකඩක් ගැන වගේම නූතනයේ පවතින සමාජ තත්ත්වයන් පිළිබඳව මෙහි ගැඹුරින් විග්රහ කෙරෙනවා.
සත්සර දෝණි නවකථාව පිළිබඳ අන්තර්ගතය ගැන සඳහන් කළොත් ?
සංගීතයට ඇලුම් කරන සංගීතය මත්තේම සිත තබා සිටිනා යෞවනියක හා හද්දා පිටිසර පළාතකින් නගරයට පැමිණි යෞවනයකු අතර හමුවීමක සංසිද්ධියක් තමයි මින් කියැවෙන්නේ. එම දෙදෙනාගෙ අසමාන තැන් සහ එකිනෙකා අතර දෝලනය වන සිතිවිලි ධාරාව මෙහි දැක්වෙනවා. සෞන්දර්යාත්මක කෘතියක් වුවත් අත්දැකීම් එකතුවක සහ ජිවිතයේ ගැඹුරක් ගැන මෙයින් විග්රහ කෙරෙනවා.
මෙවන් තේමාවකට සජීවි හේතු තිබෙනවාදැයි විමසුවොත්…?
සත්‍ය වශයෙන්ම මට උවමනා වූයේ දෛනික ජිවිතයේ යම් යම් සිද්ධීන් සමඟ ගළපා විග්රහයක යෙදෙන්නයි. එය කෙතරම් දුරට සාර්ථක වී ඇත්දැයි සොයා බලන්නට පාඨකයාට බාර කරනවා. කොටින්ම කිවහොත් මිනිස් දිවියේ දෛනික රිද්මය විග්රහ කැරෙන නවකතාවක්. නූතන තත්ත්වයන් පිළිබඳව කියැවෙන නවකතාවක්.
මේ ඔබේ වෑයම වෙනුවෙන් විශේෂයෙන් කතාකළයුතු දේ තියෙනවාද ?
සත්සර දෝණි මගෙ මුල්ම නවකතාව..මා තුළ කුඩාවියේ පටන් තිබූ සිහිනයක ප්‍රතිඵලයක්. මේ වෙනුවෙන් මට අතහිත දුන් එස්. ගොඩගේ පොත් සමාගමේ ගොඩගේ මැතිඳුන්ට මම හදවතින්ම කෘතවේදී වෙනවා. එතුමා නොවන්නට නවකථා ලොවට එකතුවීමේ සිහිනය සැබෑවක් නොවන්නටද තිබුණා…ඒ වගේම මේ වෙනුවෙන් මට සහය දුන් හැමදෙනාටම මම ස්තුතිවන්ත වෙනවා.
අමල් යශෝමන් ජයසිංහ