Home » මේ ඔබගේ කාරුණික සහාය මට අවශ්‍යම මොහොතයි

මේ ඔබගේ කාරුණික සහාය මට අවශ්‍යම මොහොතයි

රංගන ශිල්පී -ලලිත් ජනකාන්ත

by Thanushika
July 10, 2025 12:30 am 0 comment

” අවුරුදු 48ක රංගන ජීවිතයේදී ලැබුණු විවිධ චරිත පිළිබඳව මා තුළ තියෙන්නේ ඉහළම සතුටක්” ‘

ඔහු නමින් සිල්මේස්ස්ත්‍රී ලලිත් ජනකාන්තය. නොඑසේනම් වේදිකාවේ රූපවාහිනියේ හා සිනමා රිදී තිරයේ ඔබත් මමත් දන්නා ඔහු රංගන ශිල්පී ලලිත් ජනකාන්තය..

ලංකා විදුලිබල මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයකුව සිටි ගුණපාල හේමචන්ද්‍ර සහ රණසිංහ ආරච්චිගේ විමලාවතී දෙපළට හිමි දූ පුතුන් පස්දෙනා අතුරින් සිව්වැන්නා වන ලලිත් ජනකාන්තගේ බාල සොහොයුරා ප්‍රකට රංගන ශිල්පී ගිරිරාජ් කෞශල්‍යය.

කලකට පසුව සරසවිය වෙනුවෙන් කතාබහට එක්වූ ලලිත් ජනකාන්තයන් දැන් මා සමීපයේය..පෙරදා දුටු ජවසම්පන්න බව යම් තරමකට ඔහුගෙන් දුරස්ව ඇති බවක් හැඟුණිද ඒ පිළිබඳ විමසන්නට පසුවට තබා අපේ ආදරණිය කතාබහට මුල පිරුවෙමි.

කාටත් හුරුපුරුදු ඔහුගේ අව්‍යාජ ප්‍රියමනාප සිනහව පළමුව තිළිණ කළ හෙතෙම කතාවට එක්වූයේ මෙසේය.

” මම උපන්නෙත් ජීවත් වෙන්නෙත් කොළොන්නාවේ..මගෙ තාත්තා මේ පළාතේ බොහොම ජනප්‍රිය කෙනෙක්..තාත්තා විදුලිබල මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂකවරයකු හැටියට රස්සාව කරල පසුකලෙක පැවිදිබිමට පත්වී මේ වනවිට අපවත් වෙලා..අපෙ අම්මාත් අද ජීවතුන් අතර නැහැ..”

අපේ ආදරණිය ලලිත්ගේ ලොකු අක්කා රජයේ නර්තන ගුරුතුමියකි. ඕ නීතා රංජනීය..ලොකු අයියා කෝකිල තිස්ස වන අතර ඊළඟ අයියා උපාලි දේශප්‍රිය ය. සිව්වැන්නා මා සමග සංලාපයේ පසුවන ලලිත් ජනකාන්තය. ඔහුගේ බාල සොහොයුරා වන්නේ අපේ ආදරණිය ගිරිරාජ් කෞශල්‍යයන්ය.

‘ මට නළුවකු වන්නට ආසාව ඇතිවුණේ මගෙ ලොකු අක්කා නීතා රංජනී ඒ කාලෙ අහල පහල ගමේ දු දරුවන් එක්කාසු කරගෙන ළමා කතන්දර ඇසුරින් අක්කා හදාපු නාට්‍යවල රඟපාද්දි. ඒ කාලෙ අතිශය සුන්දරයි. මගෙ රංගන ජීවිතයට මුල් අත්පොත් තැබුවෙ මගෙ ලොකු අක්කා තමයි..මං ඉගෙනුම ලැබූ ටෙරන්ස් ඇන්ඩ් ද සිල්වා විද්‍යාලයේ වේදිකාවේ දි නම් මං මුකුත්ම කරල නැහැ.. ඒත් කුඩාකාලෙ පටන් සිනමාව වේදිකාව ගැන පොතපත කියැවීම මගෙ විනෝදාංශයක් වගෙ වුණා..බොහෝ දේවල් අවබෝධ කරගන්න ලැබුණා..ඒ දැනුම පසුකාලෙ මට ලොකු අත්වැලක් වුණා.”

‘ සරසවිය පත්තරේ නම් ගෙදරට වරදින්නෙ නැහැ’

කොළොන්නාව නගර සභා ශ්‍රවණාගාරයේදී සයිමන් නවගත්තේගමයන්ගේ ‘ සුභ සහ යස’ වේදිකා නාට්‍ය බලන්නට හිතමිතුරු අනුර චන්ද්‍රසිරි සමග ගිය ඔහු තුළ තදින් මෝදුවන්නට වූයේ නළුවකු වීම පිළිබඳ යටිසිතේ සිහිනයය.

” දැන් ඉතින් මට නාට්‍ය උණ ඉහළටම ඇවිත්..නාට්‍ය පිළිබඳ විද්වත් දේශන අසන්නට සොය සොයා ගියා. කවියන්ගේ එකමුතු රස හවුලටත් එකතු වුණා. මේ අතරේදි තමයි කවියකුද වන සේන ගනේවත්තයන් මට මුණගැසුණේ..එතුමා නාට්‍යකරුවෙක්. එවක උදයරත්නගේ චරිතයෙන් නමක් දිනූ රෝහිත සමරවීරත් හිටියා.ඒ නාට්‍ය ‘ අපෙන් එක්කෙනෙක්’ .එහි මට කෝරස් එකට අවස්ථාව ලැබුණා. ”

එම නාට්‍යයේ ප්‍රධාන චරිතයක් වූ හාමු මහත්තයාගේ චරිතයට ගත් නළුවා පුහුණුවට නොඑන විට ඒ අවස්ථාව ලැබෙන්නේ ලලිත්ටය. එය මැනවින් ඉටුකරනු දුටු සේන ගණේවත්තයන් එය ලලිත්ටම පැවරුවේය..

” ඒක තමයි මම ප්‍රසිද්ධ වේදිකාවට ආපු පළමු නාට්‍යය.. රංගනයට තිබුණු උණ තවත් වැඩිවුණා. ඒ ඕනෑකමට මම සුදර්ශියේ ගැවසෙන්න පටන් ගත්තා. සුසිලා කුරගමගෙ මහත්මියගෙ නාට්‍යයක රඟපාන්න ලැබුණා..මේ වෙද්දී ඉහළම නමක් දිනූ බොහෝ රංගන ශිල්පීන් සුදර්ශියේ එදා කට්ට කන හැටිත් මම දුටුවා..මහත් කැපවීමකින් අපේ ලලිත් ප්‍රවීණතමයන් හා එක්ව කුවේණි,මී පුර වැසියෝ, දුක්ගන්නාරාළ, සයනයේ සිහිනය, ආදී තවත් ජනප්‍රිය නාට්‍ය රැසක රඟපාන්නට හෙතෙම මඟ පාදා ගත්තේය.

” එතකොට මට විදුලිබල මණ්ඩලයේ ආධුනික කාර්මික ශිල්පි රස්සාවත් ලැබිලා..බොහොම පරිස්සමින් රස්සාවත් රැකගෙන රඟපෑමේ යෙදෙන්නට සිතා ගත්තා. මා සමඟ සිටි බොහෝ අයගේ එකම මාවත වුණේ රංගනයයි..මට රස්සාව ඕනා..රස්සාවට බාධා නොවන අයුරින් රඟපෑමත් කළා.

ඔහු රඟපෑ හුණුවටයේ කතාව නාට්‍යයේ ක්‍රෝපල් හා කස්බඩ් චරිතයනට තවමත් හේ ආදරය කරන්නේය.

වෙිදිකා නාට්‍යයෙන් ඔහු සිනමා රංගනයට හිතමිතුරු ගොළු මුහුදේ කුණාටුව ‘ සිනමා සිත්තමෙනි. ඔහු පිළිබඳව කතාබහට ලක්වූයේ සිරි පැරකුම් චිත්‍රපටයේ දුරයාගේ චරිත නිරූපණයෙනි.

‘ ගාමිණි වේරගමයන් ‘ සිරි පැරකුම් ‘ චිත්‍රපටය පිළිබඳ විචාරයේදි මගේ නමින්ම ලියා තියෙනව මම දුරයා චරිතයට සාධාරණය ඉටුකර තිබෙනවා කියලා..’

අපේ ලලිත් සිහි නැගුණු දෙයකින් සිනාසෙන්නට වන්නේය..

‘ ඔය නිදි කුමරි ටෙලි නාට්‍යයේ මම රඟපෑවෙ කෲර ගති ඇති රෝහලේ නමටත් කැලැල් වන උපස්ථායකගෙ චරිතයක්නෙ..සපරමාදු කියන දුෂ්ට චරිතයනෙ. දවසක් මහපාරෙදි කාන්තාවක් මට යන්න නොදී මග හරස් කරගෙන තමුසෙව අල්ලගන්න තමයි මං හිටියෙ කියල ඔහොම මනුස්සයෙකුට කරන්න පුළුවන්ද මනුස්සයො කියල මහ හයියෙන් බැණගෙන ගියා. මම අන්දුන් කුන්දුන් වුණා. පස්සෙ එයාගෙ දූලා දෙන්නා මැදිහත් වෙලා සමතයට පත්කළා..ඔහොම දේවල් කීපයක්ම වෙලා තියෙනවා’

ලලිත් සිය අසුනේ හරිබරි ගැසෙන්නේය.

‘ මගෙ ජීවිතයේ අරමුණු දෙකක් තිබුණා..එකක් මගෙ රස්සාවෙන් ඉහළටම යන්න. විදුලි අධිකාරි හැටියට උසස්වීම් ලබා මම විශ්‍රාම ගියේ..දෙවැන්න නළුවකු හැටියට ඉදිරියට යන්න..ලැබෙන රසික ප්‍රතිචාරවලින් මම වඩාත් ඒ ගැන තෘප්තිමත් .

‘ සමහරු අහනව ඔයා ගැන මාධ්‍යවල පළවන්නේ නැහැනෙ කියලා. ඇත්ත. මම කවදාවත් මාධ්‍යවේදීන් පස්සේ ගිහින් මං ගැන ආර්ටිකල් එකක් කරන්න කියලා ඉල්ලීම් කරල නැහැ..කවදාවත් අධ්‍යක්ෂකවරුන් පස්සෙ වැටිලා මට චරිතයක් දෙන්න කියලා ඉල්ලාගෙන ගිහින් නැහැ..මම රඟපෑව හැම චරිතවලටම මට ලැබුණු ආරාධනා මත සම්බන්ධ වුණා මිසක් ඉල්ලාගෙන ගිය ඒවා නෙවි.

මා ගැන රටට කියන්නට මාව බලන්න ආපු සරසවිය පත්තරේට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා..සරසවිය මාව බලන්නත් ආවෙ මට අවශ්‍යම අවස්ථාවකයි. ”

මේ වනවිට වේදිකා නාට්‍ය හතළිහකට ආසන්න ප්‍රමාණයක විවිධ චරිත රඟපා ඇති හේ ටෙලි නාට්‍යය ගණනාවකද රඟපා ඇත්තේය. හතළිහකට නොවැඩි සිනමා සිත්තම්වල විවිධ චරිත රංගනයෙන් කුසලතාව පෙන්නුම් කරමින් සෝමරත්න දිසානායකයන්ගේ සිනමා නිර්මාණ එකොළහේම රඟපෑමට තමන්ට ආරාධනා ලැබීම ගැන මහත්සේ අගයන හෙතෙම එය වාර්තාගත සිදුවීමක් බවද පවසන්නේය.

තම බාල සොහොයුරු ගිරිරාජ් කෞශල්‍යයන් තැනූ සිකුරු හතේ, සුහද කොකා, හා කතුරු මිතුරු ආදී චිත්‍රපට රංගනයද ඔහු ආදරයෙන් සිහිපත් කරන්නේය.

” මට ඉතිං කාලවර්ණ හැඩි දැඩි පෙනුමක්නෙ තියෙන්නෙ.. මේ නිසාම මට වේදිකා නා⁣ට්‍යවල වැඩිපුරම ලැබුණේ රජ චරිත..”

මට වේදිකා..ටෙලි හා චිත්‍රපට රංගන අවස්ථා අත හරින්නත් සිදුවුණා. රස්සාව රැකගැනීමේ අරමුණ නිසා .

මම මෙතෙක් පැමිණි දුර ගැන වගේම ලද අගැයීම් ගැනත් ලොකු තෘප්තියකින් පසුවෙනවා.

දන්නවද අමල්..මගෙ රංගන ජීවිතයට දැන් වසර 48 ක්…’

සිනාමුසු මුහුණින් යුතුවම කතාබහේ යෙදුණු අපේ ආදරණිය ලලිත් බිම බලාගත්වනම නිහඩවම සිටින්නේය..

‘ ඔබ ඉදිරියටත් රඟපාන්නේදැයි ‘ කළ විමසුමකදීය ඔහු එලෙසින් ගොළුවත රකින්නට වූයේ.

ඔහු යළි මදෙස බලා හිඳීන්නේය.ඒ මුහුණේ සිත්තම් වූ සතුට අතුරුදන්ය.

” ඔව් අමල්.මම තවදුරටත් රඟපාන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ. ඒත්.. ඒත්..මම මේ වෙලාවෙ ශාරීරිකව පීඩා විඳීනවා..”

ආදරණිය ලලිත් ජනකාන්තයන් බොහෝසේ රෝගාතුරව පසුවන්නේය. අධික රුධිර පීඩනයෙන් ද දියවැඩියාවෙන්ද පීඩිතව මේ වනවිට වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යයේ පසුවන ඔහුගේ වකුගඩු දෙකම ආබාධිත තත්ත්වයක පසුවීමෙන් ඔහු පසුවන්නේ බලවත් සිත් පීඩාවකිනි.

ඔහුට හිතවත් පිරිසක්ද එක්ව ඔහු මින් මුදවාගන්නට සාකච්ඡා ද කර ඇත්තේය..මීට වහා විසඳුම වකුගඩු බද්ධ කිරීමක් යැයි ද එම ශල්‍ය කර්මය වහා සිදුකළයුතු බවටද විශේෂඥ වෛද්‍ය අනුර හේවගේ මහතා නිර්දේශ කර ඇත්තේය.

හෙතෙම බිඳුණු ස්වරයෙන් කියන්නට වූයේ මේ ටිකමය.

” මොළයේ ලේ කැටියක් සිරවීමෙන් මා රෝගී වුණා. එයින් ඇවිද යාමේ බැරි තත්ත්වයකටත් පත්වුණා.

මගෙ වකුගඩු දෙකම ආබාධිත වුණා. එයින් පෙර තිබූ මා සතු ජවය බලා සිටියදීම හීන වුණා..රඟපෑමට තවමත් ආරාධනා ලැබුණත් ⁣මම මගේ මේ රෝගාතුර තත්වයට පිළියම් කරගත යුතුයි. මේ ශල්‍ය කර්මය නොපමාවම සිදුකළ යුතු බවයි වෛද්‍යවරුන් කියන්නේ..

මගෙ බිරිඳත් අසනීපයෙන්.දරු දෙන්නත් පිටරට..ඉතිං මගෙ ආදරණිය රසික රසිකාවන්ගෙන් ආදරයෙන් ඉල්ලන්නේ ‘ ඒ – පොසිටිව් හෝ ඕ – පොසිටිව් වර්ගයේ වකුගඩු ලබා දෙන්නේ නම් හදවතින්ම කෘතවේදී වන බවයි.. ශල්‍ය කර්මය ඉක්මනින් සිදුවිය යුතුවත් තිබෙනවා.. මට ආදරය කරන හැමදෙනාගෙන්ම කාරුණික අවධානය බලාපොරොත්තු වෙනවා.’

අපේ ලලිත් ජනකාන්තයන්ගේ දුරකථන අංකය හා වට්ස්ඇප් අංකය 0716869164 වන අතර 2/2, පැරකුම්බා මාවත, කොළොන්නාව ඔහුගේ ලිපිනය වේ.

මගේ රංගන ජීවිතයේදී වගේම මගේ ජීවිතයේ ද තව බොහෝ දුරක් යන්නට මට ආදරය කරන හැමදෙනාගේම ආදරය මට ශක්තියක්ම වේවි.

ඔහුගෙන් සමුගන්නට මොහොතක් තිබියදී ආදරණිය ලලිත් සරසවියට මුවපුරා ස්තුතිවන්ත වූයේද බිඳුණු ස්වරයෙනි.

 

[email protected]

අමල් යශෝමන් ජයසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT