සෙංකඩගල පුරවරයෙන් ලක් මවට දායාද කළ ඇය දක්ෂ නර්තන ශිල්පිනියකි. ප්‍රාථමික අධ්‍යාපනය පාසල් තුනක නිමකළ ඇය කුඩා කල සිටම නර්තනයට දක්ෂතාවය දැක්වූවාය. එකල සෙංකඩගල පුරවරයට පමණක් නොව ශ්‍රී ලාංකීය නර්තන ආචාර්යයන් අතර ඉහළින්ම නමක් රැන්දවූයේ සුරබා ගුරුන්නාන්සේයි. ඔහුගේ දියණිය වන අයිරාංගනී රාජපක්ෂ නර්තනාචාරිනියගෙන් මහනුවර පුෂ්පදාන බාලිකාවට ඇතුළු වි එහිදී නර්තනය ආත්මය කර ගනිමින් ප්‍රායෝගිකව හා න්‍යායාත්මකව වැඩිදුර හැදෑරන්නට ඇයට ලැබුණි. සෝල්බරි සාමිතුමා විසින් විවෘත කරන ලද, ලංකාවේ මුල්ම කලායතනය වන සුරබා ගුරුන්නාන්සේ විසින් පිහිටුවන ලද මධ්‍යම කලා නුතන කලා මණ්ඩලයටද ඇයට ඇතුළු වීමට භාග්‍යය ලැබිණි. අයිරාංගනී රාජපක්ෂ ආචාර්යතුමියගෙන් පසු මහාචාර්ය වෛද්‍යවතී රාජපක්ෂ ආචාර්යවරිය යටතේ උඩරට නර්තන කලාවට අයත් සියලූම අංගයන් ඉගෙන ගන්නට ඇය එහිදී දක්ෂතාවයන් දක්වන්නේය.
සුවිශේෂී දක්ෂතාවයක් දැක්වූ ශිල්පිනියක් ලෙස ගැමි නර්තන කලාව පිළිබඳව හැදෑරීමක් කරන්නට අවස්ථාව හිමි විය. තවත් සුවිශේෂි දක්ෂතාවයක් ඉදිරියට ගෙනයාමට පියවරක් තැබුවාය. ඒ මහාචාර්ය වෛද්‍යවතී රාජපක්ෂ යටතේ කතක් නර්තන ශිල්පය හැදෑරීමට මුල පිරුවාය. ඇය උසස් පෙළ විෂය ධාරාව හැදෑරීම සඳහා කොළඹ නුගේගොඩ අනුලා විද්‍යාලයට ඇතුළු වූවාය. 1998 කාල සිමාවේදි තුරුණු ශක්ති සෞන්දර්ය චාරිකාවේදි මධ්‍යම පළාත් නිවේදන අංශයෙන් ප්‍රථම ස්ථානය ද හිමි ඈ අවසාන මහා තරගයෙන් පස්වන ස්ථානයේ ද හිමි විය. මේ හිමි වු ස්ථානයත් සමඟ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ, නිෂ්පාදකවරියක් සහ නිවේදකවරියක් ලෙස කටයුතු කරන්නට අවස්ථාව හිමි විය. උසස් පෙළ විභාගයෙන් පසු විශ්වවිද්‍යාලය සුදුසුකම් ලැබුවත් ඉන්දියානු ජනරජයෙන් හා සංස්කෘතික මධ්‍යස්ථානයෙන් ඇගේ නර්තන කෞශල්‍යය වැඩි දියුණු කර ගැනීම සඳහා ශිෂ්‍යත්වයක් පිරිනැමූ වූවාය. ඉන් අනතුරුව 2001 වර්ෂයේදී ඉන්දියාව බලා යන ඇය. භාත්ඛණ්ඩයේ සංගීත විශ්වවිද්‍යාලය (ලක්නව්) ප්‍රාසංගික කලා උපාධිය ආරම්භ කරන්නට විය. වසර අටක වැනි දීර්ඝ කාල සීමාවකින් පසු විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කරනු ලැබූ සංගීත් ප්රතියෝගතා තරගාවලියේදී භරත නාට්‍යයම්, කතක්, මණිපුරි කතකලී කියන ප්‍රධාන විෂය ධාරා හතරෙන් තරඟ වැදුණු තරඟකරුවන් පරාජය කර ශ්‍රී ලාංකික නාමය ඉදිරියට ගෙන යන්නට ඇය සමත් විය.
විශ්වවිද්‍යාලයෙන් දක්ෂතම නර්තන ශිල්පිනියට හිමි සම්මානය පිරිනැමුවාය,ඇය නමින් මේජර් වෙරෝනිකා දසනායකයි මේ ඇය සමඟ සරසවිය කළ කතාබහයි.
පසුගිය දින ඉන්දියාවේ දිගු සංචාරයක් නිරත වුණා නේද?
ඉන්දියාවේ පැට්නා නුවර අන්තර්ජාතික ක්රිෂ්ණ විඤ්ඤාණ සංගමයේ මඟින් සංවිධානය කරනු ලැබූ ක්රිෂ්ණ ජම්මාෂ්ටම් 2024 වර්ෂයේදී පවත්වන්නට යෙදුණු වැඩසටහන සඳහා මම සහභාගි වුණා. මේ සහභාගීවීමේදී ඉස්කෝන් පන්සලේදි මගේ නර්තන ප්‍රසංගයක් පැවැත්වුණා. එයට සමගාමීව පැට්නා විශ්වවිද්‍යාලයේ පාඨලීපුත්ර කොලේජ්හිදිත් මගේ තවත් ප්‍රසංගයක් පැවැත්වුණා. එහිදී ඔවුන් මාව ඇගැයීමකට ලක් කරිමටද අමතක කළේ නැහැ. මේ සියලු ප්‍රසංග අවසන් වීමෙන් පසු තමයි නැවතම ලංකාව බලා පසුගිය දින පැමිණීයේ. දැන් ඉතින් නැවතත් සුපුරුදු යුද හමුදා රාජකාරියෙහි නිරත වීම තමයි සිදුවෙන්නේ. මගේ ජීවිතයේ නර්තන කලාවේදී වැඩිම කාලසීමාවක් ඉන්දියාවේ ගත කරපු අතීතයට මාව නැවත ගෙන ගියා කියලා සිතුණා මේ ප්‍රසංගයත් සමඟ.
ඉන්දියාවේ ගත කරපු කාලය කොහොමද ?
ඒ ගත කරපු දීර්ඝ කාල සීමාව තුළදී මගේ ගුරුවරුන් ලෙස මම අදටත් දෙවිවරුන් ලෙස සලකන පණ්ඩිත් අර්ජුන් ඉෂ්රා හා බිජ්ජු මාහාරාජ් විවිධ ක්ෂේත්රවල නර්තන ශිල්පීන් රැසක් නිර්මාණය කළ ගුරුවරයෙක් තමයි මගේ ගුරුතුමා. ඔහු අපූරු නිමැවුම්කරුවෙක් කියලා මට සඳහන් කරන්න පුළුවන්. ඔහු යටතේ මම කථක් නර්තනය අධ්‍යයනය කිරීම හා ගැඹුරින් හැදෑරීමද සිදුකළා. මම ඉගෙනගත් කාල වකවානුවේදී, ඉන්දියාව වැනි කලාව තිබෙන මහා සප්ත මහා සාගරයක කලාවෙන් අල්පමාත්රයයි මට මේ ඉගෙන ගන්න ලැබුණේ. ශාස්ත්‍රානුකූල ගුරු කුල සම්ප්‍රදායට අනුව නර්තනය ඉගෙන ගැනීමට නම් ශිල්පියකුට තියෙන හොඳම තැන අද ඉන්දියාවයි. විවිධ භාෂාවන්වලින් පිරිපුන්, විවිධ ශෛලීන්ට අනුකූල නර්තන සම්ප්‍රදායන් ඉගෙන ගන්නට යන ශිල්පීන්ට නිදහසේ ඉගෙන ගැනීමට තියෙන අධ්‍යාපන කේන්ද්‍රීය ස්ථානයක් තමයි ඉන්දියාව කියන්නේ. ලැබෙන උපරිම අවස්ථාවෙන් ප්‍රයෝජනය ගෙන එහි ගොස් නර්තනය අධ්‍යයනය කිරීම ඕනෑම කෙනෙකුගේ හැරවුම් ලක්ෂ්‍යයක් වෙන්න පුළුවන්. ඒ හැරවුම් ලක්ෂ්‍යය තමයි මටත් උදාවුණේ.
මේතාක් ඔබට ලැබුණු ඇගයීම් මොන විදිහටද සිදුවුණේ?
මම 2008 වසරේ ඉන්දියාවෙන් එද්දී මුම්බායි කල්කේ කලාකාර් ස්වාමි හරිදාස් සම්මානයෙන්ද, ශ්‍රී සාර්මණි සම්මානයෙන්ද පිදුම් ලැබුවා. මේ සම්මාන කලාකරුවකුට තරුණ වයසේ දී ලබාගන්න පුළුවන් ඉහළම සම්මාන වෙනවා. මේ සම්මාන ලැබීමත් සමඟ ඕනෑම කෙනෙකුට අපව හඳුනා ගැනීමේ පහසුතාවය උදාවෙනවා. භාත්ඛණ්ඩෙ විශ්වවිද්‍යාලයේ පළමු පෙළ ප්‍රාසංගික විෂයවේදී උපාධිය පළමු පෙළ සමාර්ථයක් එක්ක සමත්වීමත්, නිත්‍ය විශාරද, නිත්‍ය නිපුන් කියන විභාගයන් වලින්
පළමු පෙළ සාමර්ථ්‍ය සහිතව සමත් වීමද සිදුවුණා. 2008/2009 වර්ෂවලදි යෞවන සම්මානයෙන්ද, 2009 වසරේ කඳුරට සංස්කෘතික සංගමයෙන් රත්න දීප සම්මානයද පිරිනැමුවා. 2010 වසරේදී සෞන්දර්යය කලා විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති විභාගය සමත්වීමත්, 2021 දී ඉන්දියානු හා ආසියානු නර්තන අංශයේ බාහිර කථිකාචාර්යවරියක ලෙස කටයුතු කරන්නට අවස්ථාව උදාවුණා. මේ වකවානුවේදීම ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය හා යාපනය විශ්වවිද්‍යාලයේ සංස්කෘතික අංශයේ සංවිධානයෙන් පළමු වරට යාපනයේ දරුවන් වෙනුවෙන් කතක් උගන්වන්න අවස්ථාවක් මට හිමිවුණා.
විවිධ නර්තන ශෛලීන් ඉදිරිපත් කරන කථක් ශිල්පිනියක් ලෙස ප්‍රේක්ෂකයා ඔබේ ග්‍රහණය රඳවා ගන්නේ කෙසේද?
කලාව කියන්නේ විශ්ව භාෂාවකි. ඉන් නර්තනය එකක් පමණයි. එය හැදෑරීම ඕනෑම කෙනෙකුට පහසු සහ අපහසු කියන කොටස් දෙකක් තියනවා. ඒ කොටස් දෙක තුළින් මම හිටියේ පහසු කියන කාර්ය තුළ පමණයි. ඕනෑම නර්තන ශෛලියක් හැදෑරීම සහ රඟදැක්වීම ලේසි පහසු කාර්යයක් නොවේ. නර්තන ශිල්පියාගේ හෝ ශිල්පිනියගේ ශරීරය නම්‍යශීලීත්වය වැඩිවුණු තරමට නර්තනයේ එන රිද්මය ප්‍රේක්ෂකයාගේ සිත් සතන් ඇද බැඳ ගැනීමට සමත් වෙනවා. ඕනෑම කලා මාධ්‍යයක් රසවිඳීන්නේ ප්‍රේක්ෂකයා විඳීන්න මිසක් විඳවන්න නෙවෙයි. ඒ නිසා ශිල්පියා ඔහුව සතුටු කළ යුතුයි. මම කරන්නෙත් ඒ කාර්යයම පමණයි. අපි සෑම මොහොතකම නර්තනයේ යෙදෙන විට ශාරීරිකව අපි ශරීරය වෙහෙසන්න ඕනෑ. කථක් නර්තනයත් ශෛලියත් ඒ වගේම තමයි. නර්තනය තුළ විවිධ ශෛලීන් තිබුණත්, හුඟක් මහන්සි වෙලා පුරුදු පුහුණුවීම් කළ යුතු නර්තන අංගයක් වෙනවා කථක් නර්තන ශෛලිය. මෙහි විශේෂත්වය වන්නේ තබ්ලාව පද මත පාදයෙන් උත්පාදනය කළ යුතු වීමයි. අනෙක් නර්තන අංගයන්ගෙන් කථක් නර්තන ශෛලිය වෙනස්ම ස්වභාවයක් ගන්නේ ඒ නිසයි. නර්තන ශිල්පියාගේ හෝ ශිල්පිනියගේ මුහුණ, දෙනෙත්, ප්‍රේක්ෂකයා හමුවේ පෙන්විය යුතුයි කතාකරන විලාසයන්. රිද්මයානුකූලව ශරීරයෙන් කතා කරනවා වගේම, පාදේනුත් අප නර්තනයේ යෙදෙන විට කතා කළ යුතු වෙනවා. වෙනත් නර්තනවලට වඩා මුළු ශරීරයම නර්තනය සඳහා යෙදවිය යුතු වෙනවා. ඇස්, මස්, ලේ, නහර එකම තැනකට ගෙන මනස එකඟතාවයෙන් පිහිටා ගත යුතුයි. මෙය යමකු හිතනවා නම් යෝගී භාවනාවක් හා සමානයි කියා එය නිවරැදිය. එය අපට මහා බ්‍රහ්මයා දුන්න වරමක් හා සමානය. මනස එක තැනකට ගෙන කරන සියලු කාර්යයන් දක්ෂ ලෙස ඉස්මතු කර පෙන්වන්නට පුළුවන් අවස්ථාවක් වෙනවා.
නර්තන ක්ෂේත්රය තුළ නර්තන ශිල්පිනියන්ට අද තියෙන පිළිගැනීම ගැන මොකක්ද හිතෙන්නේ?
භූගෝලීය විෂමතාවය අනුව අපි කේන්ද්‍රස්ථානය වෙන්නේ ආසියාතික රටක් ලෙසයි. ආසියාතික රටවල තිබෙන සංස්කෘතිය, සභ්‍යත්වය, ආගම දහම මුල් කරගෙන තමයි අපේ සියලු සිදුවීම් සිදුවන්නේ. එහිදී ස්ත්‍රියට හිමි වන්නේ තව කෙනෙකුගේ රැකවල් පැතීමයි.කුඩා, තරුණ සහ මහලු කාලයේ යන කාල ත්‍රිත්වය තුළ පියා ස්වාමියා පුතා යන තිදෙනා යටතේ ආරක්ෂාව අපේක්ෂා කරන යුගයක් බවට ආසියාතිකර ස්ත්‍රිය පත්ව තිබෙනවා. මම දකින විදිහට දක්ෂතාවයන් තියෙන සමාජගත වෙන කාන්තාවන්ට සමාජයේ ආරක්ෂාව තමාටම සපයා ගත හැකි බවයි. කිසිදු විටෙක අනුන්ගේ ආරක්ෂාවක් සහ යටතේ සිටිය යුතු බවක් මම අපේක්ෂා කරන්නේ නෑ. ස්ත්‍රියක් උණාම හොඳීන් අධ්‍යාපනය හදාරා රැකියාවක් කිරීම අද සමාජයට අත්‍යවශ්‍ය කරුණක් බවට පත්වී හමාරයි. පෙර තිබූ රාමුවෙන් එළියට පැන අපේ ගමනට අවශ්‍ය සාධක ටික අපිම සාදාගැනීම නිසා තමයි මගේ ජීවිතේ කිසිදු බාධාවකින් තොරව මගේ ගමන මම යන්නේ. එදා සමාජයේ තිබුණු බ්‍රාහ්මණ සංකල්පයන් ඇවතුම්, පැවතුම් අදටත් වලංගු උණානම් පියා ස්වාමියා පුතා කියන සංකල්පයන් තුළ අපිට ජීවත් වෙන්න වෙනවා.
මේ ආ ගමන් මගේ ඔබේ කැපවීම, උත්සාහය, උනන්දුව, හැරවුම් ලක්ෂ්‍යය වුණා නේද?
මගේ හැරවුම් ලක්ෂ්‍යය බවට නර්තනය පත්කර ගැනීමට හැකි වුණේ. අවුරුදු අටක කාල සීමාව තුළදී මම ඉන්දියාවේදී ඉගෙන ගත්ත ශිල්ප ශාස්ත්‍රය නිසයි. ස්ත්‍රියකට අධ්‍යාපනය අද අත්‍යවශ්‍ය කරුණක් බවට පත්වෙලයි තියෙන්නේ. ස්ත්‍රිය කියන්නේ අනාගතයේ ජිවි ප්‍රාණ මූලයන් ජීවයක් උප්පද්දනය කරන්නියක්, ඇය විටෙක මවක් වන්නීය. ඒ නිසා ඇය කැපවීම, උනන්දුව උත්සාහය, අධිෂ්ඨානයෙන් යුතුව කටයුතු කළ යුතු වෙනවා. මේ හේතු කාරණා නිසා තමයි මගේ ගමන සාර්ථකව එන්නට ලැබුණේ.ඒ උත්සාහය කැපවීම උනන්දුව නිසා ඉගෙන ගත්ත දේ තුළින් මෙරට හා විවිධ රටවල්වල ජනතාව සතුටු කරන්නට මට අවස්ථාවක් උදාවුණා. දරුවන්ට ආදරණීය ගුරුවරියක් වෙන්නත් අවස්ථාව ලැබුණා. සමාජයට කරන්න පුළුවන් ලොකු වැඩ කොටසක් කරන්න ඉඩ ප්‍රස්තාව උදාවුණා. අද මිල මුදලට වැඩිය හැකියාවයි ඕනෑම තැනැත්තෙකුගේ තිබිය යුත්තේ. මම හිතනවා ඒ දේ මා සතුයි කියලා. මා සතු හැකියාව නිසා ඕනෑම කෙනකු මගේ දක්ෂතාවය දකින්න, බලන්න, එයින් මොහොතක් හෝ සතුටු වෙන්න පෙලඹෙනවා. එය මා පෙර භවයේ සිට ගෙනා දෙයක් වෙන්න ඇති කියලයි මම හිතන්නේ. තවකෙකු සතුටු කරනවා කියන්නේ ලෙහෙසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒ දේ මට විශ්වයෙන් ලබා දුන්නා කියලයි මම හැම මොහොතකම හිතන්නේ. මා කරන කාර්යභාරයේ තීන්දු තීරණ ගැනීම මා සතු නිසා හොඳ නිර්මාණයක් එළියට ගෙන එන්න පුළුවන් වෙනවා. අත පය සතර හොඳීන් තිබෙන කාලවකවානුවේ එය නිවැරැදිව ක්රියාවේ යොදවා මා සතු දක්ෂතාවයන් හැකියාවන් තව කෙනෙකුට දායාද කිරීම තමයි මගේ එකම අරමුණ වෙන්නේ. ඒ නිසා මගේ හැරවුම් ලක්ෂ්‍යය උනේ මගේ නර්තන කලාවයි.
ආරක්ෂක අංශය ඉන්දියානු නර්තනය සම්බන්ධව ඉන්න එකම නිලධාරිනිය ඔබද?
2017 වර්ෂයේ මගේ ජීවිතයේ තවත් හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත්වෙනවා. ශ්‍රී ලංකා යුද හමුදා තූර්ය වාදක හා රංග කලා මණ්ඩපයට නර්තන ශිල්පීන් විශාල සංඛ්‍යාවක් අතරින් මාව තෝරා පත් කරගන්නවා.ඒ එතෙක් යුද හමුදා තුළ තිබුනේ සංස්කෘතික සහ බටහිර නර්තන කණ්ඩායම් යන කාණ්ඩ දෙක පමණයි. ඉන්දියානු නර්තන අංශයක් තිබුණේ නැහැ. ඒ නිසා 2017 වර්ෂයේදී ඉන්දියානු නර්තන අංශය නිර්මාණය කිරීමේ අරමුණෙන් සම්මුඛ පරීක්ෂණයට පැමිණි පිරිස් අතරින් මාව තෝරා පත් කරගන්නවා. මම පාසල් යන කාලේ සිටම මගේ ගුරුවරුන් කියපු දෙයක් හා ඇහුණ දෙයක් තමයි තමන් ආශා කරන දේ තමන්ගේ රැකියාව කරගන්න තියෙනවා නම් ඒක පෙර ලබපු වාසනාවක් බවයි.මටත් ඒ වාසනාව හිමිවුණා ශ්‍රී ලංකා යුද හමුදාව නිසා. දැනට ලංකාවේ සිටින පළමු ඉන්දියානු නර්තනය සම්බන්ධව යුද හමුදා නිලධාරීනිය වෙන්නේ මමයි. වෙරෝනිකා දසනායක ලෙස සිටි මම මේජර් වෙරෝනිකා දසනායක බවට පත්වුණා. මා එන විට තිබුණු ඉන්දියානු නර්තන කණ්ඩායමේ අඩුපාඩුව සම්පූර්ණ කර ඉන්දියානු නර්තන කණ්ඩායමක් බිහි කරන්නට මට හැකියාව ලැබුණා. ඒ සියලු දෙනාම දැන් යුද හමුදාව තුළ පමණක් නොව ලංකාවේ සංස්කෘතික උත්සවවලදී ඉන්දියානු නර්තනයන් ඉදිරිපත් කරනවා. එයද මා ගුරුවරියක් ලෙස ලබන සතුට අපමණයි. මේ වන විට මම ශ්‍රී ලංකා යුද හමුදා නර්තන අංශයේ ඉන්දියානු නර්තන අංශයේ අධ්‍යක්ෂිකාව ලෙසයි කටයුතු කරන්නේ.
සිනමා ක්ෂේත්රයට අවතීර්ණ වීමට අදහසක් නැද්ද?
ඇත්තටම අදහසක් මගේ හිත තුළ පහළ වෙලා තියෙනවා. ශ්‍රී ලාංකික චිත්‍රපට කලාව තුළට කථක් නර්තන කලාව අනෙකුත් නර්තනයන් සමඟ එකතු කරන්නට. මේ වනතෙක් කතක් නර්තනය සම්බන්ධව සිනමා පටයකපටයකට අවස්ථාව උදාවෙලා නැහැ. කථක් නර්තනය මුසුකරමින් හොඳ පිටපතක් කථක් ලැබුණොත් මගේ පූර්ණ දායකත්වය ඒ අධ්‍යක්ෂකවරයාට සහ නිෂ්පාදකවරයාට ලබාදෙන්නට අදහස් කරනවා.මට ලංකාවේ සිට ඉන්දියාවට අභියෝග කරන්නට අවස්ථාවක් තියෙනවා. ඉන්දියාව තුළ ඉගෙනගත්ත දේවල් අපේ ලංකාව තුළ රෝපණය කරන්න මම හරි කැමැත්තෙන් ඉන්නේ. මගේ ජීවිතයම මම කැමති අභියෝග බාරගෙන වැඩ කරන්නයි.ඉන්දියානු චිත්‍රපට නර්තන කලාව කියන්නේ මුළු ලෝකයම ප්‍රේක්ෂකයා වසඟයට පත් කරන නර්තන කලාවක්ය. අපේ රට තුළ ඉතාම දක්ෂ අධ්‍යක්ෂකවරු හා නර්තන ශිල්පීන් හා රංගනයට මෙන්ම නර්තනයට දක්ෂ රංගන ශිල්පීන් ශිල්පිනියන් සිටිනවා. මේ සියලු දෙනා අතරට කථක් නර්තනය ගෙනයන්නට පුළුවන්නම් ඒ කරන නිර්මාණාත්මක ගුණය වැඩි කරන්නට හැකියාවක් තියෙනවා. ලෝකයට අභියෝගයක් කරන්න පුළුවන් හොඳ නර්තන කලාවක් සිනමා ක්ෂේත්රය තුළින් ඉදිරියට ගේන්න මගේ අදහසක් තියෙනවා. නර්තනය ප්‍රගුණ කිරීම තුළින් සිනමා ක්ෂේත්රය තුළ මානුසීය ගති පැවතුම් තුළින් නිර්මාණය වන ශිල්පීන් පරපුරක් බිහි වෙයි කියලා මම හිතනවා. ඉන්දියාව සහ බටහිර රටවල නර්තනය හදාරන ශිල්පීන් ඔවුන්ගේ විෂය පථය තුළ මානුෂ්‍ය ගුණදම්වලින් පිරිපුන් පිරිසක් ලෙස දකින්නට පුළුවන් වෙනවා.ඒ දේ මම ඉන්දියාව තුළදී දැක්කා. විශ්ව කලාව තුළ ජීවත් වන විට මේ සැම කලා අංශයක්ම දම්වැලක පුරුක් ලෙස බැඳී පවතින්නේ. ඒ නිසා ඒ සියලු දේවල් කලාවේ නිරත වන සියලු දෙනාට වටිනවා
අභියෝගයක් එන තරමට ඔබ ශක්තිමත් කියන්නේ කෙසේද?
අපි ඉපදුණදා සිට මැරෙන තාක් කල්ම ජීවිතේ ගෙවා දමන්නේ අභියෝගත් සමඟයි. වයස අවුරුදු එකේ සිට හය දක්වා නොතේරෙන වයසක් තුළ හයේ අවුරුදු පහළොව තෙක් බුද්ධියට මුල පුරන කාලවකවානුවත්, පහළවේ සිට විසිපහ වන තෙක් තාරුණ්‍යයට එළැඹීමත් තාරුණියත් යන කාල පරාසයන් ගෙවා දමන්නේ අභියෝග මැද නොවේද? ඒ නිසා මම හිතන විදිහට ජීවිතේම අභියෝගයක් වෙනවා අපිට ජයගන්න. තමන් කරන වෘත්තිය කුමක් වුවත් ඒ වෘත්තියේ නියැළෙන විට මතුවන අභියෝගාත්මක දේවල්වලට මුහුණ නොදී පලා යනවා නම් ඔව් සෘජු බවින් යුක්ත නොවන බවයි මම දකින්නේ. වගකීම් සහ යුතුකම් කියන කොටස් තුළ රාජකාරිමය අභියෝග අපිට නිතර ලැබෙනවා. ඒවා බුද්ධිය පාවිච්චි කර විසඳා ගැනීම තමයි කළ යුතු හොඳම දේ කියලයි මම හිතන්නේ. මනස සහ සිතුවිලි උපයෝගී කරගෙන කරන නර්තන ව්‍යායාමයන් තුළ නිරත වෙද්දී අභියෝග සහ බාධා නිතරම එනවා. මගේ රාජකාරී ජීවිතයේ මම හැම දවසකම බාරගන්නේ අභියෝගයි.අභියෝග කිසි දිනක ලොකු පොඩි කියලා වෙනස් කළ නොහැකිය ඒවා අභියෝගමයි. මගේ ජීවිතයේ මම උපන්දා සිට මේ තාක් අභියෝගවලටමයි මුහුණ දී කටයුතු කරන්නේ. මගේ ජීවිතයේ මම නර්තනයෙන්ම තමයි අභියෝගවලට මුහුණ දෙන්න පන්නරය ලබාගන්නේ. නර්තන ශිල්පිනියක් වීමද අභියෝගයක් වෙනවා.අවුරුදු ගණනාවක් පුරුදු පුහුණුවීම්වල යෙදිලා මතක ශක්තිය වර්ධනය කරගෙන තව ශිෂ්‍ය පරම්පරාවකට කියාදීම යුතුකමක් වෙනවා. මා දැනට සේවය කරන යුද හමුදාවත් මට අභියෝගයක් තමයි. පිරිමින් දස දහසක් මැද කාන්තාවක් නායකත්වය ගෙන කටයුතු කරනවා කියන්නේත්අභියෝගයක් නොවේද? ඒත් අභියෝග ජයගෙන මේ හැම තැනකම ඉදිරියට යනවා නම් ආදරය කරුණාව දයාව ලැබෙන එකත් අඩු කරන්නට බැහැ. යුද හමුදාපතිතුමාගේ සිට සියලූම උසස් නිලධාරීන්ගෙන් ආදරය දයාව කරුණාව, ගෞරවය මට ලැබෙනවා. ඒ හැමවිටම අභියෝග වන සියලු දේවල් ආදරය කරුණාව තුළ ඔවුන් ආරක්ෂා කරනවා. මේ ගෙවන රාජකාරිය ජීවිතය තුළ ඇත්තටම මම වාසනාවන්තයි කියලා හිතෙනවා. මොහොතක් පාසා මනා බුද්ධියෙන් යුතුව, ඉවසීමෙන් ගතයුතු හොඳම පියවර ගැනීම තමයි මම කරන්නේ. අපේ ජීවිතයට පැමිණෙන ඕනෑම දේකට පිළිතුරු සහ විසඳුම් තිබෙනවා.ජීවිතය පරදින දේවල් වලට වැඩිය අපි සෑම මොහොතකම සිටිය යුත්තේ ජයගන්නා දේවල් පමණයි.ඕනෑ කෙනෙකුගේ කඩා වැටීම ජයග්‍රහණයක් කියලා හිතන්න ඕන.බෞද්ධ දර්ශනයට අනුව අපි සිතිය යුත්තේ උපේක්ෂා සහගතව සහ මධ්‍යම ප්‍රතිපදාව අනුවයි.එවිට අපිට එන අභියෝග ජීවිතයේ සාර්ථකත්වය කරා ගෙන යන්නට පුළුවන් වෙනවා.
ආ ගමන ආපසු හැරිලා බලපුවාම මොකද හිතෙන්නේ?
මේ ආපු ගමන් මගේ මම ගත් තීන්දු හා තීරණ හරිම පැහැදිලියි කියලා මට දැනෙනවා. කටු පඳුරු මතින් ආපු දුෂ්කර ගමනක් මල් අතුරපු යහනාවක් ළඟට එන්නට මට ලැබුණා. ජීවිතේ කඩා වැටීම් තිබුණු අවස්ථාවලදී, මාව ප්‍රතික්ෂේප කරපු මොහොතවල්වල ආපසු හැරි බලන විට හොඳ අභියෝගාත්මක ගමනක් ඇවිත් රටට යමක් දායාද කරන්නට අවස්ථාවක් උදාවුණා කියලා දැනෙනවා. ඕනෑම කෙනෙකුට එක දොරක් වැසෙන විට තවත් දොරක් විවර වෙනවා කියන්නේ සත්තියකි. උත්සාහය සහ උනන්දුව කැපකිරීම තිබෙනවා නම් ඕනෑම කෙනෙකුට තමන්ගේ අරමුණු කරා යන්නට පුළුවන්. මේ ගමන මට මගේ ජීවිතයේ ආශිර්වාදයක් වුණා කියලයි කියන්න තියෙන්නේ.
ඩාන්ස් වීඩියෝ එකක් ජනගත කලා නේද?
මගේ පළමුවෙනි ඩාන්ස් වීඩියෝ එක තමයි පසුගිය දින ජනගත කරන්නට යෙදුණේ. මම වසර ගණනාවක් තිස්සේ කරපු කථක් නර්තනයේ පර්යේෂණ අලළා පසුගිය දිනවල “තාදී “නමින් ඩාන්ස් වීඩියෝ එකක් ජනගත කරන්නට අවස්ථාව හිමි වුණා. විශාල වෙහෙස මහන්සියක් දරලා දුෂ්කරතා රැසක් මැද ගල් බොරළු හැපි හැපි නොසැලී ආපු ගමනක් නිසා අපි සිතුවා “තාදී “කියලා නම දාන්න විඩියෝවට. සම්භාව්‍ය නර්තන කලාවේ සිට මොඩර්න් නර්තන කලාවේ දක්වා තිබෙනවා. හින්දු ස්ථානයේ හා හිප්, හොප්, පොප් සමග ඩප්ස්ටෙප් ලෙස දැනට යොදාගන්නා බටහිර සංගීත ශෛලිය එකතු කරලා නව සංගීතයෙන් තාදී සංගීතවත් කරන්නට මෙහිදී එකතු වුණේ වාද්‍ය නිපුන් ශාස්ත්‍රපති ඉසුරු පෙරේරායි. තබ්ලාවෙන් එකතු වුණේ වාද්‍ය විශාරද ශාස්ත්‍රපති පේෂල මනෝජ්, නර්තන නිර්මාණය සෑහෙන කාලයක් කැප කරලා. මගේම නිර්මාණකරණයක් කළ අතර වීඩියෝ නිර්මාණකරණය නෙත්සර මුතුගලයි කලේ.
2014 වසරේ මාධූර් ක්‍රිෂ්ණා කියලා ච්චදජඥ ච්පචථච එකක් නිර්මාණය කළා නේද ?
කතක් නර්තනය උපයෝගී කරගනිමින් ඩාන්ස් ඩ්‍රාමා එකක් නිර්මාණය කළ පළමු ශ්‍රී ලාංකිකයා බවට මම පත්වෙනවා. ඒ 2014 වර්ෂයේදී.මම එයට මාධූර් ක්‍රිෂ්ණා කියලා නම යොදනවා. එහි මංගල දර්ශනයේ පැවැත්වුණේ ලක්නව්වලදි. ඉන් වසර දෙකකට පසුව නැවතත් මම 2016″ශිවෝ හම්” නමින් ශිව දෙවියන් උදේසා ඩාන්ස් ඩ්‍රාමා එකක් නැවත පැවැත්තුවා. ශ්‍රී ලාංකිකයෙක් හැටියට ඉන්දියාවේදී කළ පළමු ශිෂ්‍යාවද වන්නේ මමයි. මා ඉගෙන ගෙන ආපු කථක් නර්තන කලාව ලංකාවේ ස්ථාපිත කිරීම තමයි මගේ ඒකම අරමුණ වී තිබෙන්නේ. 2006 සහ 2010 වසරේ මගේම කියලා ප්‍රසංග දෙකකුත් මා ලංකාවේදී පැවැත්තුවා. මේ වෙන විට රටවල් කිහිපයකදීම මගේ ප්‍රසංග මම පවත්වලා තියෙනවා. මම ගත කරන තත්පරයක් පාසා වැඩ කටයුතු කරන්නේ ඒ අරමුණ ස්ථාපිත කිරීමයි. මේ වන විට ශ්‍රී බ්‍රින්දාවන් කතක් කේන්ද්‍රය නමින් මගේම කලා ආශ්රමයක් පවත්වාගෙන යනවා.මේ ආශ්‍රමය තුළ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට අවශ්‍ය හැම දෙයක් මම සපයලායි තියෙන්නේ. මේ වන විට ලංකාවේ සතර දෙසින්ම කථක් නර්තනය ඉගෙන ගන්නට සිසුන් මා ළඟට පැමිණෙනවා. මේ වෙන විට නර්තන කලාවේ ඉගෙන ගන්න තරුණ පරම්පරාව අපිට වඩා ගොඩක් ඉදිරියෙන් සිටින්නේ. ඒක නර්තන කලාවට හොඳ ප්‍රවණතාවයක් ලෙසයි මම දකින්නේ. අපි තාමත් ප්‍රවීණයන්ගෙන් උපදෙස් ගන්නවා වගේම ඔවුන් ද ප්රවීණයන්ගේ ආභාසය ලබන එක හරිම සතුටුයි. හින්දු ආගමත් එක්ක බැඳුනු නර්තන කලාවක් නිසා ඊට අදාළ සෑම උත්සවයක්ම මෙතන සැමරනවා. ක්රිෂ්ණ දෙවියන් ජීවත් වූ බ්රින්දාවන්වල පරිසරයක් ගොඩනඟා මෙහි කථක් නිර්මාණය කිරීම මගේ මූලික අරමුණ වෙනවා.
ඔබේ මේ ගමනට පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද?
මගේ මේ සාර්ථකත්වයේ පිටුපස ඉන්නේ මගේ ස්වාමියයි. මොරිස් අබේරත්න. දැනට ශ්‍රී ලංකා යුද හමුදාවේ මේජර් වරයෙක් ලෙස කටයුතු කරනවා. චූටි දුවත් සමඟ අපි තුන්දෙනා හරිම සතුටින් පවුලේ ජීවත් වෙන්නේ. මේ ගමනට අවශ්‍ය සියලූම කටයුතු හැම දෙයක්ම ඔහු හොයා බලලා කටයුතු කරනවා කියන්නේ මගේ ජීවිතයේ සෙවණැල්ල හා සමානයි. පවුල වෙනුවෙන් මගෙන් මඟහැරෙන සියලු දේම සොයා බලා ඔහුගේ අතින් සිදුවීමද විශේෂත්වයක්. ඒවගේම ඔහුගේ දෙමව්පියන් අතින්ද මේ ගමනට පුදුම සහයෝගයක් ලැබෙන්නේ. පවුලෙන් ලැබෙන සහයෝගය වගේම තමයි ශ්‍රී ලංකා යුද හමුදාවේ යුද හමුදාපතිතුමා සහ තූර්ය වාදක හා රංග කලා අධ්යක්ෂතුමා ඇතුළු කාර්ය මණ්ඩලයෙන් ලැබෙන සහයෝගයට මෙය අවස්ථාවක් කරගන්නවා ස්තුතිය පුද කරන්න.
අනාගතයේ කෙසේ විසඳෙයි කියලා හිතනවද?
ඕනෑම කෙනෙකුගේ ජීවිතයේ බලාපොරොත්තු තමයි ජීවිතයේ ජීවත් කරවන්නේ. අනාගත බලාපොරොත්තු බොහෝමයක් මගේ සිත තුළත් තිබෙනවා. මම දැනට නියුතු වෙලා ඉන්න රාජකාරිය තුළ හොඳ නිර්මාණ කරණයක් සමාජගත කරන්න තමයි මගේ ඒකායන බලාපොරොත්තුව වෙන්නේ.දුවා දරුවන් වෙනුවෙන් ඉන්දියානු ශාස්ත්‍රානුකූල නර්තනය පිළිබඳ ලියවුනු ග්රන්ථ කිහිපයක් ලියන්නටත් මගේ අදහසක් තිබෙනවා. මා යන විට කිසිවක් අරගෙන යන්නේ නැති නිසා මා හැදූ වැඩු දෙමව්පියන්ටත් මට සිල්ප ශාස්ත්‍රී දුන්න ගුරුවරුන්ටත් පාද නමස්කාර කොට හොඳ ගෝල පරම්පරාවක් නිර්මාණය කරලා මම ඉගෙන ගත්ත දේ දායාද කිරීම මගේ ඒකායන පරමාර්ථයක් වෙනවා. යමෙකු පිරිසුදු සිතින් යම් දෙයක් කළොත් ඒ දේ පිරිසුදුවම නැවත පෙරළා ලැබෙනවා. ඒ කියමන සනාථ කරමින් මම හැම දෙයක්ම හැම මොහොතකම සිදු කරනවා. ඒ වගේම තමයි එළඹෙන 2025 ජනවාරි මස 6/7දෙදින තුළ ඉන්දියාවේ හයිද්‍රභාත් ප්‍රසංගයකට ද සහභාගි වීමට මා ඇතුළු අට දෙනකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගී වීමට බලාපොරොත්තු වෙනවා. මේ සඳහා රටවල් කිහිපයක්ද එම ප්‍රසංගයේ නියෝජනය කිරීමට පැමිණෙනවා. කැනඩා ප්‍රසංගයකට ද මේ වන විට ආරාධනා ලැබිලා තියෙනවා. මේ විදිහට තමයි ඉදිරි වැඩ කටයුතු සිදුවෙමින් පවතින්නේ.
සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න