36 වැනි කැලීන් සරසවිය සම්මාන උලෙළේ රණපාල බෝධිනාගොඩ අනුස්මරණ සිනමා සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවේ, මෙරට ප්‍රමුඛතම සිනමා මාධ්‍යවේදියෙකු, සාහිත්‍යකරුවකු, පුවත්පත් කලාවේදියෙකු වශයෙන් නමක් දිනා සිටින අර්නස්ට් වඩුගේ නම් වූ පත්‍ර කලාවේදියා ය.
ලාංකේය සිනමාවේ ප්‍රගමනය උදෙසා දශක හයකට වැඩි කාල පරාසයක් සිය පෑන මෙහෙයවමින් ඔහු කළ මහඟු මෙහෙවර අගය කරමින් පසුගියදා මෙම සම්මානය ඔහු වෙත පුද කරනු ලැබීය. සම්මාන උත්සව අවස්ථාවේ මදක් අසනීප තත්ත්වයෙන් පසු වූ බැවින් උලෙළට සහභාගී වී සම්මානය ලැබීමේ අවස්ථාව ඔහු වෙතින් ගිලිහී ගියද, ඔහුත් සමඟ කාලාන්තරයක් එක්ව පුවත්පත් කලාවේ නියැළී මෙන්ම සිනමා කලාවේ නියැළී ඔහුගේ හිත මිතුරු චිත්‍රපට නිෂ්පාදක ප්‍රීතිරාජ් වීරරත්න ඔහු වෙනුවෙන් මෙම සම්මානය බාර ගන්නා ලදී. සම්මාන උත්සවයෙන් පසුව අපි ඔහු සොයා ගියේ සම්මානයේ සතුට සමඟ ඔහු සමඟ බොහෝ අතීත තොරතුරු විමසනු පිණිසය.
අර්නස්ට් වඩුගේ හෙවත් අපි ආදරයට අමතන වඩුගේ අයියා ජීවත්ව සිටිනුයේ මහරගම අපේක්ෂා රෝහල අසල සහේලි ගමගේ මාවතේ ය. පුරා දශක ගණනාවක් තිස්සේ පෑනෙන් විස්කම් පාන ඔහු මේ මොහොත වන විටත් පෑන බිම තියන්නට සූදානමක් නැත. ඉදිරි කාලය ඇතුළත ඔහු අතින් ලියවුණු ග්‍රන්ථ ද්විත්වයක් එළි දකින්නට නියමිතය.
සුපුරුදු පරිදිම අපේ පැමිණීම බලාපොරොත්තුවෙන් ඔහු පෙරමග බලා සිටියේය. හැමදාමත් අපිට ලැබෙන ඔහුගේ ළෙන්ගතු ආගන්තුක සත්කාරයත් සමඟ අපි කතාබහ ආරම්භ කළෙමු.
ජීවිතයේ එක් වරක් පමණක් හිමිවන රණපාල බෝධිනාගොඩ අනුස්මරණ සිනමා සාහිත්‍ය සම්මානය ඔබට ලැබුණේ. මොකද හිතන්නේ?
අපේ සංවාදය සම්මානය පිළිබඳවම ආරම්භ කළෙමු.
“මේ සම්මානය ගැන මට දැනෙන්නේ දෛවයේ අපූරු හාස්කමක් විදිහට. මම මගේ වෘත්තීය මාධ්‍ය ජීවිතය ආරම්භ කරන්නේ ලේක්හවුස් එකෙන්. ඉස්කෝලේ යන කාලෙ ඉඳන් ලියන්න පුදුම කැමැත්තක් තිබුණා ඉස්කෝලෙන් අයින් වුණාට පස්සේ නිදහස් ලේඛකයෙක් විදිහට මම ලියන්න පටන් ගත්තා. නමුත් රැකියාවකට කියලා මුලින්ම මම සම්බන්ධ වුණේ් ලේක්හවුස් ආයතනයේ සරසවිය පුවත්පතට. මම සරසවියට සම්බන්ධ වෙනකොට විමලසිරි පෙරේරා ප්‍රධාන කර්තෘ. ලක්ෂ්මන් වික්‍රමසිංහ නියෝජ්‍ය කර්තෘ. මම හිතන්නේ මම සරසවියට සම්බන්ධ වන්නේ 1965 දී විතර. ඒ අනුව මම සරසවියේ මුල්ම සාමාජිකයින් අතරට වැටෙනවා. ඉතින් ඒ මගේ මාධ්‍ය ජීවිතයේ මුල් බිමෙන් මට සම්මානයක් ලැබෙනවා කියන්නේ ඒක දෛවෝපගත සිදුවීමක්.“
සරසවිය පුවත්පත ආරම්භ වනුයේ 1963 දීය. එසේම සරසවිය සම්මාන උලෙළ ආරම්භ වනුයේ 1964 දීය. ඒ අනුව අර්නස්ට් වඩුගේ සරසවිය පුවත්පතට සම්බන්ධ වනුයේ 1965 දීය.
මේ සියල්ල සිදුවී ඇත්තේ ළඟ ළඟ කාල පරිච්ඡේද වලදී ය. අර්නස්ට් වඩුගේ උපත ලබන්නේ දකුණු පළාතේ ගාල්ලේ ගිංතොටදීය. ඔහු අධ්‍යාපනය ලබනුයේ ගාල්ලේ ප්‍රමුඛතම අධ්‍යාපන ආයතනයක් ලෙසින් කීර්තිමත් නමක් දිනාගත් මහින්ද විද්‍යාලයෙනි. පාසල් වියේ සිටම අර්නස්ට් සාහිත්‍ය විෂයට ප්‍රිය කළේය. මේ නිසාම ඔහු ලියන්නට පෙළඹීම ඉබේම සිදුවිය.
ඉස්කෝලේ යන කාලයේ මගේ ප්‍රියතම විෂය වුණේ සාහිත්‍යය. ඒ හින්ද වෙන්නැති ලියන්න පෙළඹෙන්න ඇත්තේ. හරි අපූරු දේවල් මගේ ජීවිතේ සිද්ධ වෙලා තිබෙනවා. මම මහින්ද විද්‍යාලයේ ඉගෙන ගන්න කාලේ මගේ ඉංග්‍රීසි ගුරුවරයා වුනේ එඩ්වින් ආරියදාස. සිංහල ගුරුවරයා වුණේ අරිසෙන් අහුබුදු මහත්මයා. මේ දෙන්නම පසු කාලෙක මගේ හොඳම මිතුරන් වුණා. එඩ්වින් ආරියදාසයි, මමයි එක ස්ටාෆ් එකේ පස්සේ කාලෙක වැඩ කරනවා. ඒ වගේම තමයි රණපාල බෝධිනාගොඩ මහත්මයා මගේ හොඳම ළඟම මිතුරෙක්. මුලින් එතුමා ලේක්හවුස් දැන්වීම් කළමනාකරු විදිහට හිටියා. පස්සේ ලේක්හවුස් සභාපති වුණා. එතුමා අනුස්මරණය කරලා දෙන සම්මානයක් මට ලැබීමත් සුවිශේෂී සිද්ධියක්.
අර්නස්ට් පාසල් අධ්‍යාපනය හමාර කර ටික කලකට පසු නිදහස් ලේඛකයෙක් ලෙස විවිධ පුවත්පත්වලට ලිපි සම්පාදනය කරන්නට පටන් ගත්තේය. ඒ කාලයේ පුවත්පතක ලිපියක් පළවීම‘ යනු රජකම ලැබුණා හා සමානය. එවකට සිළුමිණ පුවත්පත ලක්ෂ 4ක් අලෙවි වාර්තා තැබූවක් විය. අර්නස්ට්ගේ ලිපියක් සිළුමිණේ් පළවන්නේ මේ කාලයේදී ය. නම සමඟ ලිපිය පළ වූ දා සිටම ඔහුට පුදුම තරමේ ජනප්‍රියත්වයක් ඇති විය. ඔහුගේ නම දකින බොහෝ දෙනා ඔහුට සුබ පතන්නට නිවසට පැමිණියේ වැල නොකැඩීය.
“සිළුමිණේ් සම්පූර්ණ පිටුවක මගේ ලිපියක් පළ වුණා. ඇත්ත වශයෙන්ම ඒ කාලයේ හැටියට ඒක දුර්වල කෙනෙකුට නම් කලන්තේ හැදිලා වැටෙන තරම් වැඩක්. මට මතකයි මම පත්තර 25ක් විතර ගත්තා. අපේ ගමේ පුදුම විදිහට ප්‍රසිද්ධ වෙලා පන්සල් වල හාමුදුරුවරු පවා මාව හොයාගෙන ආවා; සුබ පතන්න. මේ ලිපිය පළ කළේ එවකට සිළුමිණ කර්තෘ මණ්ඩලයේ සේවය කළ සුනිල් මාධව ප්‍රේමතිලක. රට රටවල මනමාලියන් තෝරන හැටි තමයි ඒ ලිපියේ තිබුණේ. රීඩර්ස් ඩයිජස්ට් එකෙන් ගත්ත ලිපියක්. ඒ වගේ පුංචිම තැනකින් තමයි මම මාධ්‍ය ජීවිතේ පටන් ගත්තේ.
අර්නස්ට් නිදහස් ලේඛකයෙකු වශයෙන් සිය මාධ්‍ය ජීවිතය පටන්ගෙන ඉන් පසු කර්තෘ මණ්ඩල සාමාජිකයකුගේ සිට මේ රටේ අතිශයින්ම ජනප්‍රිය වූ, අලෙවි වාර්තා තැබූ පුවත්පත් කර්තෘවරයෙක් දක්වාත්, ඉන්පසු කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂවරයෙකු දක්වාත්, පත්‍ර කලා ලෝකයේ හිණීපෙත්තට නැග්ගෙකි. ඔහු පුවත්පත් කලා ජීවිතයේ හැබෑ රසභාවයන් හඳුනා ගනිමින් පාඨක මනදොල සපුරන්නට හැකි, ලිවීමේ කලාව හඳුනාගෙන සිටියේය. මේ නිසාම ඔහුගේ පුවත්පත් පාඨකයින් අතර අතිශයින්ම ජනප්‍රිය විය. එකල රස ප්‍රකාශන ආයතනයෙන් නිකුත් කරන ලද සුවඳ, බිරිඳ වැනි පුවත්පත් අලෙවි වාර්තා තබමින් අලෙවි වූයේ ඒ කලාව හොඳීන් හඳුනා ගනිමින් සිටි නිසාය.
අපි මාධ්‍ය ලෝකයට එන විට පුවත්පත් සහ ගුවන් විදුලිය විතරයි තිබුණේ. අද වගේ රූපවාහිනී වට්සැප් යූටියුබ් ෆේස්බුක් වගේ සමාජ මාධ්‍ය තිබුණේ නෑ. මම ජාතික ගුවන් විදුලියේ වෙළඳ අංශයෙන් ඒ කාලේ සින්දු ඉල්ලනවා. අසන්නන්ගේ ඉල්ලීම් වලට පෝස්ට් කාඩ් 25ක් විතර යවනවා. සමහරදාට ගුණතුංග කේ. ලියනගේ ලා, පුද්ගලිකව ගිහිල්ලා හම්බවෙලා පෝස්ට් කාඩ් මිටිය දෙනවා. රේඩියෝ එකේ නම යනවා; ගිංතොට අර්නස්ට් කුමාර වඩුගේ කියලා. ඒ කාලේ ගුවන් විදුලියේ මේ නම හරි ජනප්‍රියයි. මේ ජනප්‍රියත්වය නිසා කතරගම යන බස් නවත්තනවා අපේ ගේ ඉස්සරහ. කරුණාසේන ජයලත්, ජයවිලාල් විලේගොඩ වැන්නන්ගෙන් පැන අහන්න පුරුදු වුණා. ඒ කාලේ හිටපු ප්‍රවීණතම සිනමා මාධ්‍යවේදීන් දෙදෙනා. මේ දෙන්නගෙන් මම ප්‍රශ්න අහලා යවනවා. සංස්කරණය යනු කුමක්ද? ගාමිණී ෆොන්සේකාගේ මීළඟ චිත්‍රපටිය කුමක්ද? වගේ. එහෙම පටන් ගත්ත මම පස්සේ කාලෙක ඒ ප්‍රශ්න වලට මට පිළිතුරු දෙන්න පුළුවන් වුණා.
අර්නස්ට්ගේ සිනමා පිස්සුව ඇති වී ඇත්තේ ශිෂ්‍යයෙක්ව සිටියදීය. පාසැල් මඟහැර චිත්‍රපට බලන්නට ගොස් දඬුවම් ලැබූ වාර අනන්ත විය. ඒ කාලයේ වැඩිපුර ජනප්‍රිය වී ඇත්තේ හින්දි චිත්‍රපටය. දිලිප් කුමාර් ඔහුගේ සිනමා ලෝකයේ වීරයා විය. ඉන්දියාවේ අසහාය නළුවා ඔහු විය. දිලිප් කුමාර් කොණ්ඩය පීරන විදිහට කොණ්ඩේ පීරන්නටද අර්නස්ට් හුරු විය. එකල පැමිණි සිංහල චිත්‍රපට ද නොකඩවා නැරඹූ ඔහු සිනමා කලාව තම ජීවිතය කරගත්තේය.
“ඒ කාලේ ගැලරියේ චිත්‍රපටයක් බලන්න ශත පණස් පහයි. සමහර චිත්‍රපට දහ දොළොස් වතාවක් බලනවා. මට මතකයි ‘මාතලන්‘ චිත්‍රපටය මම දොළොස් වතාවක් බැලුවා. දෙබස් කට පාඩම්. ක්ලැරිස් ද සිල්වා, කාන්ති ගුණතුංග, පුණ්‍යා හීන්දෙනිය තමයි ඒ කාලේ අපේ වීරවරියෝ. කාලයක් යනකොට මේ අය අඳුර ගන්නත් අවස්ථාවන් ලැබෙනවා. කාන්ති ගුණතුංගගේ ගම ගාල්ල – අම්බලන්ගොඩ. ඩොමී ජයවර්ධනත් අම්බලන්ගොඩ. දවසක් මට මතකයි පුණ්‍යා හීන්දෙණිය ගාල්ලට ආවා. එතනට ගිහින් හමුවෙලා කතා කරලා, අපි මිත්‍ර වුණා. පුණ්‍යාගේ ගෙදරත් පස්සේ කාලෙක මම ගිහින් ඉඳලා තිබෙනවා.“
අර්නස්ට් සිනමා පත්තර කලාවට යොමු වන්නේ ආරියරත්න කහවිට සංස්කරණය කළ කලා සඟරාවට ලියමිනි. ඒ යුගය වන විට ඔහු කලා සඟරාවට ලියූවේ නොමිලයේ ය. ගාල්ලේ සිට අතින් වියදම් කරගෙන විත් ආර්ටිකල් එක දී යාම ඔහුගේ පුරුද්ද විය. දිනක් ආරියරත්න කහවිට අර්නස්ගෙන් ඇසූයේ ‘ලේක්හවුසියට යන්න කැමති නැද්ද‘ යනුවෙනි. අර්නස්ටද ඉබ්බා දියට දානකොට ඇන්නෑවේ‘ කීවාක් මෙන් පැනලා කැමති බව කීවේය. ඒ මොහොතේම ඔහු එවකට සරසවිය කර්තෘ වූ විමලසිරි පෙරේරාට කතා කොට අර්නස්ට් ගැන කීවේය.
“මම ඉස්සරලම ලේක්හවුස් ආවේ සිකුරාදා දවසක. විමලසිරි පෙරේරා මහත්මයාගේ කාමරයට ගියා. ඔහු බොහොම ඉහළින් මාව පිළි අරගෙන කතා කළා. ඔහු මගෙන් ඇහුවා මොනවද ලියලා තියෙන්නේ කියලා. ඒ වෙනකොට ප්‍රින්ට් වුණු කලා පත්තරේ මම ගාව තිබුණා. ඒකේ මැද පිටුවේ තිබුණේ මම පුණ්‍යා හින්දෙණිය ගැන ලියපු ලිපියක්. ඒක දැකලා හරියට සතුටු වුණා. විමලසිරි පෙරේරා මාව ලක්ෂ්මන් වික්‍රමසිංහට භාර දුන්නා. එතැන් පටන් මම සරසවියේ වැඩ කරන්න පටන් ගත්තා. ඊට පස්සේ ඉතින් ලංකාවේ ඉන්න බොහොමයක් කලාකරුවන් මගේ හිතවතුන් බවට පත්වෙන්න පටන් ගත්තා.
අර්නස්ට් වඩුගේ පුවත්පත් කලාවේදියෙකු සේම ඉන් අනතුරුව සිනමා තිර කතා හා දෙබස් රචකයෙකු සහ නිෂ්පාදන කළමනාකරුවකු වශයෙන් ද පසු කලෙක හඳුනා ගත හැකිය. ඔහුගේ පළමු තිර රචනය වූයේ ‘අනූෂා‘ය. අනුෂාගෙන් පසුව ‘බට්ටි‘ හා ‘චන්දිරා‘ ඔහුගේ තිර රචනයෙන් හා දෙබස්වලින් අලංකෘත වූයේය. බට්ටි සහ චන්දිරා වික්‍රමගේ චිත්‍රකතා ඇසුරින් ඔහු සිනමාවට සකස් කළේය.
නිෂ්පාදන විධායක කළමනාකරුවකු වශයෙන් ඔහු මුලින්ම සම්බන්ධ වනුයේ ‘ජෝඩු වළලු‘ චිත්‍රපටයට ය. ඉන්පසු තුත්තිරිමල්, පොඩි නංගි, නෙළුම් සහ සමන්මලී වැනි චිත්‍රපට වල නිෂ්පාදන විධායක විය.
එදා වෙනත් මාධ්‍ය නොමැති පුවත්පත් පමණක් තිබෙන යුගයේ වුවද, ‘සිනමා සාහිත්‍යය‘ යන්න චිත්‍රපටයක අනාගතය වෙනුවෙන් සහ චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීමේදී අතිශයින්ම වැදගත් විය. අර්නස්ට් වඩුගේ වැනි සිනමා ලේඛකයන් චිත්‍රපටයේ නළු නිළියන්, අධ්‍යක්ෂකවරුන්, කාර්මික ශිල්පීන් පිළිබඳ සහ චිත්‍රපටය වෙනුවෙන් ලියන ලද ලිපි චිත්‍රපටයේ ප්‍රදර්ශන වාර වෙනුවෙන් අතිශයින්ම වැදගත් විය. එසේම එවකට ප්‍රකට සිනමා විචාරකයින් වූ කරුණාසේන ජයලත්, ජයවිලාල් විලේගොඩ වැන්නන්ගේ ආකර්ෂණීය සිනමා විවේචන හා විචාරද මේ සඳහා මහඟු පිටුබලයක් වූයේය. කෙසේ වුවද පසු කලෙක අර්නස්ට් වඩුගේ අප හඳුනා ගන්නේ මෙරට පුවත්පත් මාධ්‍යය තුළ දැවැන්ත වෙනසක් ඇතිකළ යොවුන් පුවත්පත් කලාව මෙරටට හඳුන්වා දෙමින් එය ස්ථාපනය කළ පුවත්පත් කලාවේදියෙකු ලෙසටය.
“පස්සේ කාලෙක මම නව මානයකින් පුවත්පත් කලාව දෙස බලමින් අලුත් පත්තර කලාවකට යොමුවෙනවා. මගේ බොහොම හිතවතෙක් බන්දුල පද්මකුමාර. ඔහු සරසි සහ සත්සර කියලා පත්තර දෙකක් පටන් ගත්තා. එය පුවත්පත් දෙකේ මුල්ම විශේෂාංග කර්තෘ මම. පස්සේ කාලෙක ඒක සුමති ආයතනය ගත්තා. මම එතනින් ටික කාලයකින් අයින් වුණා. ඔය කාලෙ තමයි ප්‍රීතිරාජ් වීරරත්නගේ ‘නොම්මර 17‘ චිත්‍රපටය වාර්තා පිට වාර්තා තබමින් තිරගත වුණේ්. ඔහුට වුවමනාවක් තිබුණා පත්තර ආයතනයක් පටන් ගන්න. ඔහු මට ආරාධනා කළා ඒකට සම්බන්ධ වෙන්න. ඊට පස්සේ තමයි රස ප්‍රකාශන ආරම්භ කළේ අපි ජාවත්තේ තැනක පොඩියට පටන් ගත්තේ. හරියට ජනප්‍රිය වුණා ටික කාලයකින්. රස පුවත්පත ඒ කාලයේ 75000ක් විතර ගියා. ටික කලකින් ‘සුවඳ‘ සහ ‘බිරිඳ‘ පටන් ගත්තා. ලංකාවේ විතරක් නෙවෙයි මැදපෙරදිගත් බිරිඳ ජනප්‍රිය වුණා.“
ඔහු මේ පවසනුයේ පුවත්පත් කලාවේ ස්වර්ණමය යුගයක රස තොරතුරුය. රස, සුවඳ, බිරිඳ යන සියල්ලේම ආරම්භක කර්තෘවරයා ඔහුය. එසේම මේ සියලු නම් ඔහුගේ නම්ය. ඒ විතරක් නෙවෙයි. කලා රස, සුමියුරු, අද ආදිය ද ඔහු විසින් නිර්මාණය කළ දේය. ඔහු විසින් නිර්මාණය කරන ලද හොඳම නිර්මාණය මේ සියල්ලම නොවේ. ඔහුට අනුව එය ඔහුගේ ආදරණීය දියණිය මදාරා වඩුගේය. ඔහු ආරම්භ කළ පුවත්පත් කලා දිවිය ඔප දමමින් ඉදිරියට රැගෙන ආවේ ඇය ය. පසු කලෙක ඇගේ දිවියට සම්බන්ධවෙන මෙරට අතිශය ජනාදරය දිනූ ලේඛකයා වූ සුජීව ප්‍රසන්න ආරච්චි සමග මේ ගමන් මග අද ද ඇය ඉදිරියට රැගෙන යන්නීය.
පුවත්පත් කලාව වෙනුවෙන්, සිනමාව වෙනුවෙන් මේ සා කැපකිරීමක් සේවයක් සිදුකළ ඔහු වෙනුවෙන් පිදුණු මෙවර සම්මානය දෝතින් රැගත් ඔහුගේ එකම ප්‍රාර්ථනය වූයේ ඔහු සිය වෘත්තීය ජීවිතය ඇරැඹී සරසවිය පුවත්පත නැවත මුද්‍රිත පුවත්පතක් වනු දැකීම ඔහුගේ එකම ප්‍රාර්ථනය වන බවයි!
සේයාරූ – නිශ්ශංක විජේරත්න
හේමාලි විජේරත්න