සිනමාව රසවිඳින පුංචි පොඩිත්තන්ගේ ආදරය දිනූ සෝමෙ මාමා ඒ වගේම පුංචි පොඩිත්තන්ට කවදත් සුන්දර සිනමා අත්දැකීම් ලබන්නට සිනමා සිත්තම් බොහොමයක් රැගෙන එමින් පුංචි පොඩිත්තන් අතර ආදරණීය බවක් දිනූ රේණු නැන්දා මෙන්න තවත් අපුර්වතම සිනමා අත්දැකීමක් රැගෙන තව නොබෝ දිනකින් පුංචි දරුවන් අතරට එන්න සූදානම් වෙනවා. මේ සුබ ආරංචියේ තොරතුරු කියන්නත් එක්ක අපි හමුවුණා පුංචි දරුවන්ගේ ආදරය දිනූ සෝමෙ මාමාත් (ආචාර්ය සෝමරත්න දිසානායක)රේණු නැන්දාත් (රේණුකා බාලසුරිය)
සෝමෙ මාමේ කියන්නකො බලන්න අපි වෙනුවෙන් මේ ගමන මොනවගේ චිත්‍රපටයක් ද හැදුවේ කියලා?
මම මේ චිත්‍රපටය නම් කරල තියෙන්නේ කපුටු කොහෝ කියල. මේ නිර්මාණය අපිට අලුත් අත්දැකීමක්. මේක පර්යේෂණයක් අලුත් අත්හදාබැලීමක් නිර්මාණකරුවෙක් හැටියට මෙවැන්නක් මීට පෙර මම අත්විඳල තියනවා. මගේ සිනමා අධ්‍යයන කටයුතු වලදී මම මෙය පිළිබඳ දීර්ඝ ලෙස අධ්‍යනයන් සිදුකළා. නමුත් මේ අයුරින් ලංකාවේ නිර්මාණ බිහිවුණේ නෑ. හුඟක් අය මේකට අත තියන්නත් බයවුණා. හැබැයි අපි එක දෙයක් හිතේ තියාගන්න ඕනේ. කලා මාධ්‍යයන් එකිනෙකට එකක් සම්බන්ධයි. කවිය කෙටි කතාව, නවකතාව වේදිකාව, සිනමාව සංගීතය නර්තනය චිත්‍ර මුර්ති මේ හැම එකක්ම එකිනෙකට සම්බන්ධයි.
කවියක් ගත්තොත් එයට චිත්‍රයක් තියනවා. කතාවක් තියනවා. සමහරවිට දිගු කතාවක් තියනවා. නැත්නම් කෙටි කතාවක් තියනවා. ඒ වගේම කවියක් කියල ඉවර වෙනකොට චිත්‍රයක් මවා ගන්න පුළුවන්. ඒ විධියට ඕනෑම මාධ්‍යයක් ගත්තහම ඔය ප්රභේදයන් වැඩිම ගණනක් සහ සම්බන්ධ කරගෙන සම්මිශ්‍රණය කරගෙන කරන දෙයක් තමයි සිනමාව තුළ තියෙන්නේ ඊට වඩා තාක්ෂණය පැත්තෙන් වඩාත් දියුණු නිසා අනෙක් මාධ්‍යයන් හා සසඳන විට ආකර්ෂණීයභාවයක් ජනපි්රයභාවයක් සිනමාවේ තියනවා. සිනමාව හා අනෙක් ශානරයන් අපි මීට කලින් සම්බන්ධ කරගෙන තියෙනවා. සංගීතය, නර්තනය, විලාසිතා, සාහිත්‍ය මේ හැම දෙයක්ම සිනමාවට සම්බන්ධවෙලා තියනවා කියන දේ අපි දන්නවා.
නමුත් වේදිකාව සිනමාවට සම්බන්ධ වීම නම් අපිට එතරම් හුරු දෙයක් නොවෙයි.
මේ නිර්මාණය තුළ මම කරන්නේ වේදිකා නාට්‍යයක් කැමරාවකින් රූගත කරල එය සිනමා තිරයේ පෙන්වන තරම් සරල වැඩක් නොවෙයි. එහෙම වැඩත් තියනවා අපේ සම්භාව්‍ය නාට්‍ය බොහොමයක් වීඩියෝපට හැටියටත් තියනවා. ඒවා රූපවාහිනී මාධ්‍යයෙන්. සමාජ මාධ්‍ය ඇසුරින් නැරීමටත් තියෙනවා. නමුත් කපුටු කොහෝ සිනමා නිර්මාණය එවැනි වැඩක් නොවෙයි. අපි වේදිකා නාට්‍ය අනූසාරයෙන් වේදිකා නාට්‍යයේ තියන ශිල්පීය ක්‍රම ඒ විධියට භාවිතා කරමින්. නමුත් සිනමාවට අවශ්‍යය තාක්ෂණය මෙවලම් ඒ අයුරින් භාවිතා කරමින් සිනමාරූපීය බව භාවිතා කරමින් මේ දෙකේ සංකලනයක් හැටියට තමයි කපුටු කොහෝ නිර්මාණය අපි අත්හදා බැලීමක් කරන්නේ.
මෙහි තාක්ෂණික පැත්ත අන්තර්ගතය ගැන කතා කළොත් මම මීට අවුරුදු හතරකට පහකට කලින් පාසල් නාට්‍යයක් කරනවා කියා හිතාගෙන පාසලක ආරාධනයක් මත රචනයක් කළා. ඒක තමයි මේ තුළ අන්තර්ගත වෙලා තියෙන්නේ. නමුත් මේ කතාව ලියල ඉවර වුණාට පස්සේ මට ලෝභ හිතුණා මේක පාසල් නාට්‍යයකට නාස්ති කරන්නේ ඇයි කියලා. මේක හරි ලස්සන දෙයක්නෙ. මේකෙන් ලොකු දෙයක් කරන්න පුළුවන්නේ කියල හිතල පාසල් නාට්‍යයක් කරන එක නතර කරල හිටියා. වෙනත් නිර්මාණ වලට යොමුවීම නිසාම මේ කතාව නිර්මාණයක් ලෙස එළිදක්වන්න යොමුවීමක් සිද්ධ කළේ නෑ.
අපිට වෙනත් ප්‍රායෝගික ප්‍රශ්නත් තිබුණා. ඒ ප්‍රශ්නත් සමඟ අපිට ලොකු චිත්‍රපටයකට වියදම් කරන්න තරම් ආර්ථික පහසුකම් තිබුණේ නැති නිසාත් විශාල පිරිවැයක් කර අපි නිර්මාණය කළ සුනාමි චිත්‍රපටය කොරෝනා වසංගත සමයට හසුවී ආර්ථික වශයෙන් අපි ලොකු කඩා වැටීමකට ලක් වූ නිසාත් තවමත් ඒ අසීරුතාවය තුළ ජීවත්වන නිසාත් විශාල පිරිවැයක චිත්‍රපටයක් වෙනුවෙන් අපිට යාමට අසිරුයි. ඒ නිසාම මේ චිත්‍රපටය කොහොම හරි කරනවා කියන මතයේ හිදිමින් අපේ ශක්ති ප්‍රමාණයෙන් කපුටු කොහෝ කරන්න අපි අදහස් කළා. මේ වෙනකොට මේ චිත්‍රපටයේ බොහෝ වැඩ අවසන් කරල තියෙන්නේ මේ වසර අවසන් වීමට කලින් නත්තල් වලට කලින් චිත්‍රපටයේ සියලු වැඩ අවසන් කරන්නයි අපේ සුදානම. ඉන්පසු ලබන වසරේ අපට ලැබෙන අවස්ථාවේදී චිත්‍රපටය මුදාහරින්න අපි බලාපොරොත්තු වෙනවා.
සෝමෙ මාමා මේ චිත්‍රපටයට අන්තර්ගත කරල තියෙන්නේ මොන වගේ කතා සංකල්පයක්ද?
අපි දන්න කතාවක් තමයි මම මේ සඳහා පාදක කරගෙන තියෙන්නේ. කපුටාගේ කූඩුවේ කොහා බිත්තර දානවා කියන කතාව අපි දන්නා දෙයක්. මම ගමේ හැදිච්ච කෙනෙක් විධියට මේක අත්විදල තියනවා. මම දැකලත් තියනවා කූඩුවෙන් කොටල පන්නනවාත් අපේ වැඩිහිටියෝ කියල තියනවා. කපුටො කොටන්නේ කොහා පැටවුන්ට කියලා. කොහා කූඩු හදන්න දන්නැති සතෙක්ලු. කොහා බිත්තර දමන්නේ කපුටු කූඩුවේලු. මම මේ කතාව ජනප්රවාදයේ තියන දෙයක්ද කියලත් සොයා බැලීමක් කළා. නමුත් මම ඇසින්ම දැක්කා මෙය සත්‍ය සිදුවීමක් බව මගේ නිවසේ ජනේලයෙන් මම පිටත බලාගෙන ඉන්නකොට දවසක් මේ වගේ සිද්ධියක් වුණා. එදා මට සිතුවිල්ලක් ආව මේ සිද්ධිය හොඳ මුලාශ්‍රයක් නේ. කතන්දරයක් හදන්න කියලා අපිටත් තියන ප්‍රශ්නයක්නේ මේ. ජාතීන් අනුව භාෂාව අනුව අපි එක එක වර්ගවලට බෙදිල අපේ ජාතිය උතුම් ජාතිය අපි තමයි හැදෙන්න ඕනේ. අනික් ජාතීන්ට වඩා අපි ඉහළින් ඉන්න ඕනේ. එකට ඉන්න බෑ. අපිට අපේ ජාතීන් වර්ග දෙකක් අපි කතා කරන භාෂා දෙකක් කපුටාත් කොහාටත් ඒ ප්‍රශ්නෙ ඇති කියල මම හිතල අපි අවට පවතින මේ අවාසනාවන්ත වි්යසනයට මේක මුලාශ්‍රයක් කරගෙන නිර්මාණයක් කරන්න හිතාගෙන තමයි මම කපුටු කොහෝ නිර්මාණය ලියන්න පටන් ගත්තේ.
කපුටො කොහෝ අනෙකුත් සිනමා නිර්මාණවලින් වෙනස් වන්නේ කොහොමද සෝමෙ මාමේ?
මේ කතාවේ තියන අනික් විශේෂත්වය තමයි මේ චිත්‍රපටය සංගීතමය නිර්මාණයක්. මේ චිත්‍රපටයට ගීත විසිහයක් ඇතුළත් කරල තියනවා. මම දන්නෑ ගීත විසි හයක් තියන චිත්‍රපටයක් මීට කලින් සිංහල සිනමාවේ නිර්මාණය වුණා ද කියලත් එහෙම නොවුණොත් ඒකත් වාර්තාවක්. මේ චිත්‍රපටයේ අපි භාවිතා කරන සංගීත රටාව අපේ ජනනාද රටා මාලා ආශි‍්‍රතව තමයි නිර්මාණය වන්නේ. අපේ ජනකවි පතල් කවි කරත්ත කවි නැළවිලි කවි වැදී ගීත ආදී විවිධ ජන ගී ආශි‍්‍රතව තමයි මේ චිත්‍රපටයේ සංගීතය නිර්මාණය වන්නේ. අපේ රටේ මේ විෂය පිළිබඳ සම්පතක් හැටියට සලකන්න පුළුවන් මහාචාර්ය සමන් පනාපිටිය මහතා තමයි මේ නිර්මාණයේදී සංගීත අධ්‍යක්ෂණය කරන්නේ. එතුමා මම හිතුවාටත් වඩා සුන්දර සංගීත රටාවක් මේ චිත්‍රපටයට නිර්මාණය කරල තියනවා. අනික් පැත්තෙන් මේ චිත්‍රපටයට නර්තනයත් එකතු කරල තියනවා. නර්තනය සංගීතය සම්මිශ්ර වූ නිර්මාණයක් හැටියට කපුටු කොහෝ නිර්මාණය කරල තියනවා. මේ කතාවේ රටාවේ හැටියට වේදිකාවේ රඟදක්වන නාට්‍යයක ස්වරූපයෙන් නිර්මාණය වන නිසා සංගීතයත් නර්තනයත් මෙයට සම්මිශ්‍රණව පවතිනවා. සමන් පනාපිටියගේ මියුරු සංගීතය කථනයට චන්දන වික්‍රමසිංහයන් නර්තනයන් අභිනයන් හරිම සුන්දර ආකාරයට ඉදිරිපත් කරල තියනවා.
කපුටු කොහෝ ගැන අපිට කියන රංගන පිරිවර ගැන සඳහන් කළොත් ?
මම සිනමාවට හඳුන්වා දුන් මගේ සිංහබාහු සිනමා නිර්මාණයේ සිටි සුප්පා දේවි චරිතය රඟපෑ අභිලාශී සන්තුශ්කී මේ චිත්‍රපටයේ කපුටීගේ චරිතය කරනවා. රංගනයට ගායනයට නර්තනයට එක සේ දක්ෂ අමන්ද්‍යා උත්පලී කෙවිලිගේ චරිතය කරනවා. මගේම සුරිය අරණ චිත්‍රපටයේ ඉරෙන් හදෙන් එළිය අරන්… ගීතය ගායනා කරමින් කලා ක්ෂේත්රයට පැමිණි හර්ෂණ දිසානායක කොහාගේ චරිතය කරනවා. ගායකයෙක් ලෙස අපි කවුරුත් හඳුනාගෙන සිටින හර්ෂණ නළුවෙක් ලෙස හා පුරා කියා බවුතිස්ම කරන්නෙත් මේ නිර්මාණය සමඟින් සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙක් සංගීත ගුරුවරයෙක් වන ඩිලාන් සමරවික්‍රම කපුටාගේ චරිතය කරනවා. රදීන් රන්දිව්, සනුලි දුල්සේයා, රුසිරු විදුනිත, සිහේලි තූර්යා කපුටු පැටවුන් හා කොහා පැටවුන් ලෙසත් මෙහි රඟපානවා.
සෝමෙ මාමා කපුටු කොහෝ තිරරචනය මොනවගේ දිශානතියක් කරාද යොමු කළේ?
මගේ කතාවේ හැටියට කපුටාගේ කූඩුවේ කෙවිලි බිත්තර දානවා. කොහා කූඩු හදන්න දන්නැති නිසා. බිත්තර දෙකක් කෙවිලි දානවා. තව බිත්තර දෙකක් කපුටි දානවා. කූඩුවේ බිත්තර හතරක් තියනවා. මෙයින් කපුටු පැටව් දෙන්නෙකුයි කොහා පැටවු දෙන්නෙකුයි ඇති වෙනවා. මේ පැටව් දන්නෑ ඔවුන් කපුටු පැටවුන්ද ද කොහ පැටවුන් ද කියල ඔවුන් කූඩුවේ එකට හැදෙනවා. මෙහෙම හැදෙන පැටව් ලොකු වුණාම එකට කතා කරන්න පටන් ගත්තට පස්සේ තමයි දැනගනනේ කපුටෝ පැටවු කවුද කොහාපැටවු කවුද කියලා ඒ වෙලාවේ කපුටෝ කොහා පැටවුන්ට කොටල පන්නන්න හදනවා. කොහා ඇවිත් කොහා පැටව් ගෙනියන්න හදනවා. හැබැයි පැටව් හතර දෙනා කියනවා අපිට වෙන්වෙන්න බෑ කියලා. අපි හැදුණේ එකට සෙල්ලම් කළේ එකට අපි සහෝදර සහෝදරියෝ අපිට වෙන්වෙන්න කියලා බෑ කියල එයාල කෑම වර්ජනයක් කරල උපවාස කරනවා. එතනදී පැටවු අහනවා ඇයි අපි වෙන්වෙන්නේ කියලා. එතකොට වැඩිහිටියෝ කියනවා. මුන් අපේ ජාතිය නොවෙයි. උන් කතා කරන්නේ වෙන භාෂාවක්. අපේ ජාතිය උතුම් ජාතිය කියල ජාතිවාදය මෙතනට ගේනවා. නමුත් පැටවු කියනවා ඔයාලගේ ජාතිවාදී ප්‍රශ්න අපිට වැඩක් නෑ. අපිට ප්‍රශ්නත් නෑ. අපි එකට එක කූඩුවේ හැදුණානම් අපිට එකට ඉන්න ඕනෙ කියල එයාලගේ තර්කය ඉදිරිපත් කරනවා.
අපි අපේ රටේ ළමා පරපුරෙන් බලාපොරොත්තුවන්නේ මෙන්න මේකයි. අපි මොන ජාතියේද මොන ආගමේද මොන භාෂාවද කතා කරන්නේ. මොන ප්‍රදේශයට අයත් ද මේවා අපිට වැඩක් නෑ. අපි එක තැනක හැදුණානම් එකට ජීවත් වෙන්න ඕනෙ කියන පණිවිඩය මට දෙන්න ඕනෙ කළා. අන්න ඒ දේට වාහකයෙක් විධියට මුලාශ්‍රයක් තමයි. මේ පිටපත් රචනය තුළ මම කළේ.
කවදත් නිෂ්පාදන කළමනාකරණයෙන් අර්ථපතිත්වයෙන් නිෂ්පාදකවරයෙක් ලෙස කටයුතු කරමින් ගුණාත්මක රසවින්දනයක් රැගත් සිනමා නිර්මාණ අපට තිළිණ කරන රේණු නැන්දා කපුටු කොහෝ ගැන මොකද කියන්නේ?
මේක වෙනස්ම වැඩක්. අලුත්ම වැඩක්. අපිටත් අලුත් වැඩක් අපේ ලංකාවටත් අලුත් වැඩක්. මේ චිත්‍රපටයේ තියන දර්ශන තල වෙනත් චිත්‍රපටයක වගේ නොවෙයි. මේක අපේ ලංකාවට අලුත් අත්දැකීමක් යුරෝපය එහෙම නැත්තම් ජාත්‍යන්තර සිනමාව තුළ ගත්තහම මේ වගේ චිත්‍රපට ලෝකයේ තියෙනවා. හැබැයි ලංකාවට මේක පර්යේෂණයක්. අලුත් අත්දැකීමක් ඒ වගේම තමයි අපේකම අපේ ජන නාද රටා අපේ ලේවල තියන දේශීයත්වය සියලුම දේවල් අපි කියනවා නේ දවසින් දවස පරිහානියට යනවා කියලා. ඊළඟ පරම්පරාවට යන්න විධියක් නෑ කියලා මම හිතනවා. කපුටු කොහෝ කියන්නේ අලුත් ගමනක්. අලුත් ආරම්භයක් අපේ දේශීයත්වයට දෙන අලුත් පිම්මක් කියල පැය එක හමාරක් තුළ අපේ මතු පරම්පරාවට අපි අපේ කියන අපේ ලේවල තියන දේ ඊළඟ පරම්පරාවේ ලේ වලට දැනෙන විධියට ගෙනි යන්න හොඳ වාහකයෙක් මේ කපුටු කොහෝ වෙයි කියල මම හිතනවා මොන විධියට මෙය චිත්‍රපටයක් හැටියට සාර්ථක වෙයි ද කියල චකිතයක් තියනවා අපිට මේ ආකාරයේ සිනමා නිර්මාණයක් ගැන අවබෝධයක් නැති නිසා. නමුත් ලොකු විශ්වාසයක් තියනවා. මෙය සිනමාත්මකව රසවිඳීමට පුළුවන් අනුසාරයන් හැමදෙයක්ම මෙහි අන්තර්ගතවෙලා තියනවා කියලා. මම විශ්වාස කරනවා පස්ස පැත්තේ තියෙන්නේ මොනවද කියල බලන එක නොවෙයි. තිරය දිහාබලා ගෙන කපුටු කොහෝ නරඹයි කියන විශ්වාසය මා තුළ තියනවා. ඒදේ අපි මෙය රූගත කරන කොට අපිවිසින්ම අත්වින්ඳා මේ චිත්‍රපටයේ නියැළී ඉන්න සියලුම පිරීස් තමන් කරන වැඩේ අමතක වන තරමට වේදිකාව දිහා බලන්හිටියා. මෙහි රූපගත කිරීම වෙද්දී ඒක නිසා මම විශ්වාස කරනවා මේක ආකර්ෂණීය සිනමා නිර්මාණයක් වෙයි කියලා.
රේණු නැන්දා ගීත විසිහයක් ඇතුළත් චිත්‍රපටයක් නිෂ්පාදනය කරන පළමු අවස්ථාවත් මේ නිර්මාණය වෙන්න ඇති?
ඔව් මේ නිර්මාණයට ඩිලාන් සමරවික්‍රම, හර්ෂණ දිසානායක, ලක්ෂණා ලක්මිණි, අමන්ද්‍යා උත්පලී, චෙනිත සන්තිෂ්, ලන්දූ සෙට්ටිනායක, ලක්දම් ලයනිත, සිහේලි තූර්යා ගායනයෙන් දායක වෙනවා.
සංගීතමය, වේදිකා සිනමා පර්යේෂණාත්මක නිමැයුමක් ලෙස රිදී තිරයට එන කපුටු කොහෝ සඳහා නිර්මාණ දායකත්වය සිදුවෙන්නේ කවුරුන් සමඟ ද?
මහාචාර්ය සමන් පනාපිටිය සංගීත අධ්‍යක්ෂණයෙන්ද?
නිර්මාණී ප්‍රනාන්දු වස්ත්‍රාභරණයෙන්ද, වීදුර අබේධීර වේශ නිරූපණයෙන් ද චන්දන වික්‍රමසිංහ නර්තන අධ්‍යක්ෂණයෙන් ද ජානක ප්‍රසාද් කලා අධ්‍යක්ෂණයෙන් ද ආනන්ද බණ්ඩාර වර්ණ සංකලනයෙන්ද, සසික රුවන් මාරසිංහ ශබ්ද සංකලනයෙන් ද චාමර සේලාර සහාය අධ්‍යක්ෂණයෙන් ද අජිත් රාමනායක සංස්කරණයෙන් ද විශ්වා බාලසුරිය කැමරා අධ්‍යක්ෂණයෙන් ද රේණුකා බාලසුරිය නිෂ්පාදන කළමනාකරණයෙන් සහ නිෂ්පාදනයෙන් ද ආචාර්ය සෝමරත්න දිසානායක තිර රචනයෙන් හා අධ්‍යක්ෂණයෙන් මෙයට දායක වෙනවා.
චන්දන දයාසිරිවර්ධන