චාමික හත්ලහවත්ත කියන්නේ අපට ඉන්න දක්ෂතම වේදිකා නාට්‍ය අධ්යක්ෂවරයෙක්. ඔහු කලින් කලට විවිධ අත්හදා බැලීම් කරනවා. මේ ඒ වගේ අත්හදා බැලීමක ප්‍රතිඵලයක් විදියටයි නාට්‍ය උලෙළ 20 වැනිදා එල්ෆින්ස්ටන් රඟහලේ දි වේදිකා ගත වුණේ.
ඔබත් එක්කම ක්ෂේත්රයේ නමක් දිනාගෙන සිටින කිහිපදෙනෙකුත් සමඟයි ඔබ මේ කාර්යය සිදු කරන්නේ?
මමයි, සරත් කරුණාරත්න, ජෙනට් ඇන්තනී, තරිඳු මදුශංක කියන අපි තුන්දෙනා එකතු වෙලයි අපූර්ව නාට්‍ය පාසල ආරම්භ කළේ. ඒ කියන්නේ නාට්‍ය රඟපාන්න, රචනා කරන්න, අධ්‍යක්ෂණය කරන්න, අනුශාංගික අංගවලට කැමැති අයට අයට, විශේෂයෙන් රංගනය කැමැති අයටයි මේ පාසල පටන් ගත්තේ. මෙහි වයස් කාණ්ඩ කිහිපයකින් යුක්තයි. ඒ අවුරුදු 17, අවුරුදු 18ට වැඩි අය, අවුරුදු 12-17 අතර අය, අවුරුදු 3-12 අතර අය. මේ ළමයින් සමඟ කරන ලද වැඩමුළුවල ප්‍රතිඵලයක් විදියටයි නාට්‍ය එළිදැක්ම සිදු වෙන්නේ.
‘අපූර්ව නාට්‍ය සැණකෙළිය’ පෙළ ගැසෙන්නේ ළමයින්ගේ ම වැඩක් විදියට ද?
කෙටි නාට්‍ය තුනක්, ඒ වගේ ම ස්ටෝරි ටෙලින් කිහිපයක්, පිසිකල් තියටර් වැඩ දෙකක්, පොඩි අයගේ වැඩක්, නාට්‍ය ගීත කිහිපයක් ඇතුළුව සංවිධානය වුණු වැඩකුයි අපූර්ව නාට්‍ය සැණකෙළිය කියලා කියන්නේ. මෙහිදි ළමයින් විසින් ගොඩනඟලා අපි විසින් උදවු කළ නාට්‍යයි වැඩිපුරම තියෙන්නේ. මම පාසල් දරුවන් සමඟ කළ නාට්‍යයක් මේ අය අලුතින් නිෂ්පාදනය කරලා රඟ දක්වනවා. ඒ වගේ ම එයාලා විසින් ගොඩනඟා ගත්ත ස්ටෝරි ටෙලින් අපේ උදවුවෙන් නිර්මාණය කරලා තියෙනවා. ඒ අය එකතු වෙලා කළ වැඩවලටයි අපි පහසුකම් සපයන්නන් ලෙස උදවු කළේ. එහෙම නැතිව ඒ අයගේ වැඩ අපේ වැඩ විදියට කරන්න උත්සාහ කළේ නැහැ. ඒ අය නිර්මාණය කරගත්ත පිටපත් අපිත් එක්ක සාකච්ඡා කරලා දියුණු කිරීමයි කළේ. මා විශ්වාස කරන්නේ එවැනි ඉගැන්වීමේ ක්‍රමවේදයක්. ඒ කියන්නේ බොහෝ විට තියෙන්නේ ගුරු කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමයක්. මම හිතන්නේ අවශ්‍ය වෙන්නේ ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපනයක්. මෙහිදි ළමයි විසිනුයි කතන්දර හැදුවේ. ඒවා ගොඩනැංවුවේ. අපි කළේ ඒවාට මේ විදියට කරන්න යැයි පවසමින් ගයිඩ්ලයින්ස් ලබාදීමයි.
පසුගිය 20 වැනිදා එල්ෆින්ස්ටන් රඟහලේදියි මේ සියලු නිර්මාණ වේදිකා ගත වුණේ. මේ සඳහා කලා ක්ෂේත්රයේ වගේ ම මාධ්‍ය ක්ෂේත්රයේ බොහෝ දෙනෙකු පැමිණියා. මේක අධ්‍යාපන වැඩසටහනක් නිසා ඕනම කෙනෙකුට එදිනට ඇවිත් නැරැඹිය හැකිවුණා. ඒ කොහොමද මේ ළමයින් ඔවුන්ගේ දක්ෂතා ඉදිරිපත් කළේ කියලා. ඒ නැරැඹුවට පස්සේ හිතෙන්න පුළුවන් මගේ දරුවාටත් මේ වගේ අවස්ථා ලැබුණා නම් හොඳයි කියලා. ළමයින්ට හිතෙන්න පුළුවන් මටත් මේ වගේ අවස්ථාවක් ලැබුණා නම් හොඳයි කියලා. ඒක ගැන අදහසක් ගන්නත් පුළුවන්. ඒ වගේ ම රසවිඳීන්නත් පුළුවන්.
මෙහි නාට්‍ය සැනකෙළියේ රඟ දැක්වෙන නිර්මාණ පෙළ ගැසවුණේ කුමන ආකාරයෙන් ද?
මේ නාට්‍ය සැණකෙළියේ බොහෝ විට තිබුණත් ඕලෙවල්වල ප්‍රායෝගික පුහුණුව සඳහා තිබෙන ස්ටෝරිටෙලින්. ඒ වගේ ම කෙටි නාට්‍ය. අලුත් නාට්‍ය ගීත එදින වේදිකා ගත වුණා. ඒ නිසා මේ නාට්‍ය සැණකෙළිය හොඳ අධ්‍යාපනික වැඩසටහනක්. ඕලෙවල් වගේ ම ඒලෙවල් නාට්‍ය හා රංග කලා විෂය කරන, නොකරන ඕනම කෙනෙකුට ඇවිල්ලා මේ වැඩසටහන නැරැඹිය හැකියි. ඒ වගේ ම විෂයය කරන අයට වුණත් ඒ අයගේ නාට්‍ය හා රංග කලා විෂයයට වඩාත් මේ වැඩසටහන වැදගත් වේවි. මමත් කරන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ ගුරුවරුන් පුහුණු කරන එකයි. ඒ නිසා ඒ අය පිළිබඳ තිබෙන අවබෝධයෙනුයි මා මේ කටයුත්තට මුල පිරුවේ. ළමයින්ට, ගුරුවරුන්ට අතිශය වැදගත් වැඩසටහනක්.
මෙහි සිටින්නේ මොන වගේ දක්ෂතා තිබෙන අය ද?
විවිධ දක්ෂතා තියෙන අය මෙහි සිටියා. අපිට පොඩි ළමයින් සමඟ කටයුතු කරන්න ටිකක් අපහසු වුණා. අපේ වගේ රටක පොඩි අයත් සමඟ ලොකුවට කටයුතු කෙරෙන්නේ නැහැ. ඒ නිසා මේ වැඩේ ටිකක් සංකීර්ණ වුණා. ළදරු පාසල්වල ළමයින්ගෙන් වුණත් නාට්‍ය කරනවා වගේ වැඩක් කරන එක ලෙහෙසි පහසු නැහැ. ඒ නිසා සංකීර්ණ තත්ත්වයක් මතු වුණා. ඒ වගේ ම වැඩිහිටි අයත් එක්ක කරන වැඩ ඉතා හොඳීන් කරන්න පුළුවන් වුණා.
ඔබ හැරුණු විට මෙතන සිටින අනෙක් අය ජනප්‍රිය නළුවන්. ඔවුන් සම්බන්ධ කරගැනීම මඟින් ඔබ අදහස් කළේ කුමක් ද?
මම මෙතනදි බලාපොරොත්තු වුණේ සරත්, ජෙනට් වගේ එළියෙන් දැනුම හොයා ගත්ත අයයි. ඒ අය බොහෝ විට ශාස්ත්‍රානුකූල අධ්‍යාපනය ලැබුව අය නොවෙයි. සරත් උපාධිය අරගත්තට එයා වැඩිපුර දැනුම හොයා ගත්තේ එළියෙන්. ඒ එළියේ වැඩ කරලා. ජෙනිට් ඇන්තනීත් එහෙමයි. විශ්විද්යාලයකට ගිහින් නැති වුණාට එළියෙන් හොයා ගත්ත දැනුමක් තියෙනවා. තරිඳුත් විශ්වවිද්‍යාලයේ ගිහින් ගුරුවරයකු වුණත් ඔහුටත් තියෙන්නේ එළියෙන් සොයා ගත්ත දැනුමක්. මට තියෙන්නේ අධ්‍යාපනික වශයෙන් සොයා ගත්ත දැනුමක්. මෙහිදි මට වුවමනා වුණේ ළමයින්ට මේ දෙකම ලබාදෙන්නයි. නැත්නම් අපිට බොහෝ විට පාසලකින් වගේ හමු වෙන්නේ ශාස්ත්‍රානුකූල දැනුම විතරයි. ඒත් එළියෙන් සොයා ගත්ත දැනුම. සරත්, ජෙනට්, තරිඳු මේ කියන අය නළුවන්. නළුවන් එක්ක පුහුණු වෙලා මේක කරන්නේ කොහොම ද? නළුවෝ පුහුණු කර ගන්නේ කොහොමද? කියන අභියෝගය තිබුණා. ඒ ටික සිදු වෙද්දි මම කොහොමද පැත්තක ඉඳන් සහයෝගය දෙන්නේ කියන කාරණා ටිකයි මේ වැඩසටහනේදි පෙළ ගැසිලා තිබුණේ. මේ එහෙම වුණු වැඩක් තමයි.
මෙවැනි කාර්යයක් මඟින් ළමයින් අතර ඇති වුණු සංවර්ධනය ඔබ දකින්නේ මොන විදියට ද?
මම විශ්වාස කරන දෙයක් වෙන්නේ මේ වගේ කාර්යයකින් එකපාරටම ලොකු දේවල් කරන්න බැහැ. එහෙම ලොකු දේවල් කරන්න පුළුවන් කියලා කාටහරි හිතෙනවා නම් ඒක අපහසු දෙයක්. අපට කරන්න පුළුවන් ඒ අයව දිරි ගැන්වීමයි. ඒ ළමයින්ගේ පරිකල්පනය අවුළුවීමයි. නිර්මාණශීලිත්වය පුබුදු කිරීමයි. මේ සියල්ල සිදු කරන විට මේ ළමයින් නිර්මාණකරණයට හුරු වේවි. ඒ වගේ ම රංගන ශිල්පීන් විදියට සිදු වෙන්නේ ඒ අයගේ ශරීරය රංගනයට වුවමනා විදියට සුසර කරගන්න උදවු වීමයි. ඒ වගේ ම ඔවුන් ඇතුළේ තිබෙන වැරැදි දෘෂ්ටිවාද ඉවත් කරන්න උත්සාහ කළා. අන්න ඒ කාරණා ටිකයි අප විසින් සිදු කළේ. මීට අමතරව රංගනය ගැන සිද්ධාන්ත මෙන්ම ප්‍රායෝගිකවත් අපි මේ ළමයින්ට කතා කළා. ඒ මඟිනුයි මේ ළමයි දියුණු වුණු බව මා විශ්වාස කරන්නේ. ඒ නිසා මේ නාට්‍ය සැණකෙළිය ළමයින්ට හොඳ අවස්ථාවක්.
විවිධ වයස් කාණ්ඩ අතර සිටින අය සමඟ වැඩ කිරීම ලෙහෙසි පහසු නොවන්නට ඇති නේද?
මේ වගේ තැන්වලදි අපට හම්බ වෙන්නේ දඟයෝ. පාසල්වල පාලනයක් ඇතුළේ තියාගන්න බැරි අය. සමහර වෙලාවට අධි ක්‍රියාකාරී ළමයි. සෙල්ලම් කරන්න කැමැති, මානසික සැහැල්ලුව සොයන අය. ඒ වගේ අවස්ථාවක ඒ අයත් එක්ක කටයුතු කරන විට බොහොම පරිස්සමෙන් ගනුදෙනු කරන්න ඕන. අපට පාසලේ වගේ තග දාගෙන විදුහල්පතිවරුන් වගේ කටයුතු කරන්න බැහැ. ඒ තියෙන බල අධිකාරය මඟින් ළමයින්ව පාලනය කරන්න මා කැමැති නැහැ. ඒ නිසා අපි ළඟ ළමයින්ට හැදුවේ බොහොම නිදහස් පරිසරයක්. වැරැදුණාට පස්සේ කෑගැහුවාට අපි හැමෝම බොහොම යහළුවන් විදියටයි මෙහිදි කටයුතු කළේ.
ඒ සියලු දෙනාගේ මුසු වීම අවසානයේ සිදු වන්නේ අපූර්ව නාට්‍ය සැණකෙළිය නිර්මාණය වීමයි.
පොඩි අයත් එක්ක, තරුණ – තරුණියෝ සමඟ වගේ ම වැඩිහිටියන් එක්කත් ගනුදෙනු කරන්න අපට සිදු වුණා. ඔවුන්ගේ සියලු ප්‍රශ්න ගැන මා කතා කළා. බොහොම මානුෂීය වටපිටාවකයි අපි ඔවුන්ව හැඩගැස්සුවේ. ඒක ලෙහෙසි කරුණක් නොවෙයි. ළමයින් එක්ක වැඩ කිරීම පහසු වුණේ නැහැ. ඒ අයව හසුරවන්න මා දැනගෙනයි සිටියේ. ඒ නිසා ඒ සියලු කටයුතු හොඳීන් සිදු වුණා. එහි ප්‍රතිඵලයකුයි අපුර්ව නාට්‍ය සැණකෙළිය කියන්නේ.
සටහන සහ සේයාරූ – තිලානි ශානිකා විතානාච්චි