Home » මෙය කණ්ඩායම් හැඟීමකින් කළ අපූර්ව නිර්මාණයක්

මෙය කණ්ඩායම් හැඟීමකින් කළ අපූර්ව නිර්මාණයක්

by Thanushika
July 18, 2024 12:30 am 0 comment

ලෝකය උදෙසා කළා වූ මහා සත්‍යවාදි සෙවීමක නිවීම පිළිබඳ බුද්ධ දර්ශනය ඇසුරේ වැඩෙන අපට අවබෝධයක් ඇත්තේය. ඒ මහා සත්‍යවාදි සෙවීම වෙනුවෙන් වූ නික්මීම හෙවත් අභිනිෂ්ක්‍රමණය ගැනද අපි අවබෝධයක් සහිත වෙමු. ඒ අවබෝධය ඇසුරේ අබිනික්මන් කරන්නකුගේ හදක රිද්මය වචනාකාරව පබැඳූ මොහොතක එයම සප්ත ස්වර මුසු නෙක නාද රටා ඇසුරේ පෝෂණය කොට අගනා ගැයුමක් ලෙසින් ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කළ සිද්ධාර්ථ නම් අපූර්ව ගීතයේ නිර්මාපකයන් සමඟ කළ කතා බහකි මේ.

සිද්ධාර්ථ ගීතය ගැන එහි රචකයා විදිහට මොන වගෙ පැහැදිලි කිරීමක් ද ඉදිරිපත් කරන්නේ?

මේ ගීතය හැමෝම දන්න මාතෘකාවක් ගැන ලියවුණු ගීතයක්. හැබැයි ඒ ගැන ලියවිලා තියෙන්නේ ටිකක් අඩුවෙන්. ඒ අතරට එකතුවුණු මේ ගීතය අභිනිෂ්ක්‍රමණය ගැන ලියැවුණ ගීයක්. මේ ගීතයේ රචනා ශෛලිය ටිකක් වෙනස් විදියට ගොඩනඟලා තියෙන්නේ; සම්ප්‍රදායික ක්‍රමයෙන් ටිකක් මිදී.

සිද්ධාර්ථ කුමරු අභිනිෂ්ක්‍රමණය ගැන ලියැවුණු ගීතයක් විදිහට නික්මීම ගැනයි අපේ වැඩි අවධානයක් යොමුවුණේ. ඉතින් ඒ තේමාවට අදාළව හිතන්න දෙයක් එක්ක මේ ගීතය ඉදිරිපත් කරන්න අපි පදමාලාවෙන්, සංගීතයෙන්, ගායනයෙන් වගේම රූපරචනයෙන් උත්සාහ දැරුවේ.

අපේ දැනුමට අනුව සිද්ධාර්ථ කුමරු, ලෝක සත්ත්වයා දුකින් එතෙර කරවන්න නික්මෙන්නේ දුකින් නෙවෙයි. සියලු සැප සම්පත්වලින් පූර්ණව සිටි මොහොතක. ඒ අදහස නිර්මාණාත්මකව කියන්න තමයි අපට ඕන වුණේ එසේම අපේ වෑයම වුණේ.

එතනදි සම්ප්‍රදායික රචනා ශෛලියෙනුත් ටිකක් බැහැරව ලියවුණු ඒ පදමාලාවට සාලිය ඇතුළු කණ්ඩායම හරි ලස්සන නිමාවක් දී තිබෙනවා කියන එකයි මම විශ්වාස කරන්නේ.

සාලිය කොහොමද මෙහි සංගීත නිර්මාපක විදිහට මේ නිර්මාණයට ප්‍රවේශ වන්නේ?

මේ පද රචනාව මගේ අතට ලැබෙන්න මගේ මිතුරා සහන් ද සිල්වාගෙන් ඒ රචනාව දුටු මොහොතේ පටන් මගේ මනසට ඇතුළු වෙන්න පටන් ගත්තා මෙන්න මේ මේ වගෙ දේවල් එක්ක මේ පද රචනාව මුසු විය යුතුයි කියලා. මොකද ඒ වෙනකොටත් මේ වගේ නිර්මාණයකට සංගීතය මුසු කරන්න ලොකු කැමැත්තකින් හිටියෙ.

එතනදි මට අභියෝග කීපයක් තිබුණා. එකක් තමයි අපේ පරපුරට දේශීය ජන සංගීත දැනුම තිබෙනවාද කියලා සමාජයට තිබෙන ගැටලුව. මොකද අපි නූතන නිර්මාණකරුවන් විදිහට නව තාක්ෂණය එක්ක පමණක් ගනුදෙනු කළ හැකි පිරිසක් විදියටයි හඳුනාගෙන ඉන්නේ. නමුත් අපි නව පරපුර විදියට මේ ගැන වැඩි අවබෝධයකින් කටයුතු කරන්න උත්සුක වෙනවා. මොකද නිර්මාණ කාර්යයේ දී හොඳ රියැදුරෙකුගේ වගකීම අපි දැරිය යුතුයි. අප ළඟ ඇති තාක්ෂණය හොඳීන් හැසිරවීමේ හැකියාව අපි අතට ගෙන නිර්මාණ කාර්යයේ යෙදිය යුතුයි කියන එකයි මම නිතරම විශ්වාස කරන්නේ. ඒ අවබෝධය සහ හැඟීම එක්කයි සිද්ධාර්ථ ගීතයට සංගීතය නිර්මාණය කරන්න මම පෙලඹෙන්නේ.

එතකොට මම උත්සාහ කළේ කොහොමද තාක්ෂණය එක්ක ඒක යොදාගෙන සිද්ධාර්ථ වගෙ ගීතයක් හොඳ නිර්මාණයක් විදියට එළියට ගන්නෙ කියන එක.

එතනදි නලින්ගෙ පද ටික, වෙන්වී යන්නම් යසෝදරා මම… කියල ඔහු ලියනකොට මට දැනෙන්න පටන් ගත්තා ඒකෙ ලොකු හැඟීමක් බරක් තිබෙන බව. මේ අභිනිෂ්ක්‍රමණය කියන්නෙ කම්පාවට පත්ව නොව අවබෝධය සමඟ සත්‍යය සොයා යන ජවසම්පන්න ගමනක් බව.

එතනදි කොහොමද මගෙ මනසෙ නැගෙන නාද මාලා ටික ලස්සන ට පෙළගස්වන්නෙ කියල මම ගොඩක් කල්පනා කළා ඒ විදියට මේ නිර්මාණයේ සංගීත නිමැවුම සම්පූර්ණ කළායින් පස්සේ රුසිත් අතට පත්කළේ එයාගෙ කොටස කරන්න. මේක ලස්සනට ගයන්න කියලා.

රුසිත් කොහොමද ඒක පෝෂණය කළේ ?

මම හදල දුන්න පසුබිම තවත් ඉහළට අරන් මේ ගීතය ගොඩක් ලස්සනට ම ගැයුවා කියල මම විශ්වාස කරනවා. හැබැයි අපි රුසිත් ට නිදහස දුන්න. ඒ සමඟ මම කිව්වෙ සියයට සියයක් නවක ගායන ශිල්පියකු විදියට ඔයාගෙ හැකියාව පෙන්නන්න කියල.මොකද මේක රුසිත් ගෙ පළවෙනි ගීතය.

නලින් ලියපු විදියට ම මට පෙන්නන්න ඕන වුණේ සිද්ධාර්ථ කුමරගෙ ඒ වීර්යය. මොකද අපි ජවසම්පන්නම අවධියේදී තමයි අපට වීර්යය එන්න ඕන සියල්ල අත් හරින්න. ඒක තමයි මේ ගීතයේ සාකච්ඡා වෙන්නෙත්. ඒක වෙනත් විදිහකින් කිව්වොත් සියල්ල හැර දැමිය යුත්තේ සියල්ල නැති වුණ දා නොවෙයි සියලු දේ තිබෙන තැනදියි කියන එක යි. ඒක ධර්මයට අදාළ ව බැලුවොත් එය තේරුම් ගත යුතුත් එය තේරුම් ගන්න පුළුවන් හොඳ ම කාලයේදී යි. ඒ කාරණාවත් මැනවින් දනවන්න තමයි මේ නිර්මාණය ඔස්සේ අපි ඔක්කොටම අවශ්‍ය වුණේ.

මෙහි සංගීත අධ්‍යක්ෂණය ගැනත් විශේෂිත ව කතා කළ යුතුයි කියා හැඟෙනවා.

ඔව්. ඒ ගැන අවධානය යොමු කිරීම හොඳ දෙයක්. මොකද සාම්ප්‍රදායික ව බෞද්ධ ගීතයකට යොදා ගන්නා නාද මාලාවලට එහා ගොස් මේ ගීතයේ සංගීතය ගොඩනැගී තියෙන බව ප්‍රේක්ෂකයන් හඳුන ගැනීම අපට වැදගත්. එතනදි අර මුලින්ම අපි කතා කළ කරුණු අභිනිෂ්ක්‍රමනය කියන ලොකු අරමුණ තීව්‍ර කරන්න යොදා ගන්න ඕන කියන අරමුණ එක්කයි මෙහි සංගීතය ගොඩ නැගෙන්නෙ. මේ අරමුණ එදාටත් අදටත් මහා ගැළපීමක් ඇති අරමුණක්. ඉතින් ඒ අරමුණ වචනවලට පෙළ ගැස්වූවාම ඒක සංගීතය ඔස්සේ තීව්‍ර කරන්න මට අවශ්‍ය වුණා. ඉන් පස්සෙ රුසිත් ඒ පසුබිම තවත් ඔප්නංවන්න ඔහුගේ ගායනය ඔස්සේ දායකත්වය දුන්නා.

රුසිත් කොහොමද මේ අවස්ථාව ඔයාගෙ පසුබිම තුළ ඉදිරිපත් කරන්න උත්සාහ කළේ ?

මේ මගෙ පළවැනි ගීතය. එය මගෙ අතට ලැබුණ ගමන් මට ලොකු අවබෝධයක් තිබුණේ නැහැ. කොහොමද මේකට ප්‍රවේශ වෙන්න ඕන කියල.

ඒත් දින කීපයක් ගියා ට පසු මම ඒ ගීතය ගැන අවබෝධයක් ඇති ව පුහුණුවීම් ආරම්භ කළා. ඊට පස්සෙ මට ගොඩක් ආස හිතුණා මේ නිර්මාණය එක්ක වැඩ කරන්න. ඇත්තටම මම ඒ වෙනුවෙන් ගොඩක් මහන්සි වුණා. ඉතින් මේ අවස්ථාව ගැන සතුටුයි.

මේ නිර්මාණය වර්ණවත් වෙන්න ඔබ එකිනෙකා ට කොයි වගේ නිදහසක් ද තිබුණේ ?

අපි ඔක්කොටම ඒ නිදහස තිබුණා. ඒක ඇත්තටම අවශ්‍ය ම දෙයක් නිර්මාණකරුවකුට. ඒ නිදහස තුළ අපි හැමෝම උපරිමයෙන් අපි අපගේ දායකත්වයන් සමඟ මේ නිර්මාණයට සහභාගී වුණා කියල අපි විශ්වාස කරනවා. ඒක ලොකු හැඟීමක් ඇති ව සම්පූර්ණ කළ නිර්මාණයක්.

තවත් විදියකට කිව්වොත් එහි අවසානය තෙක් ම මේ වෙනුවෙන් කළ ලස්සන රූප රචනය තෙක්ම කණ්ඩායමක් විදියට ඉඳීමින් කළ වෙනස් නිර්මාණයක් සිද්ධාර්ථ.

ගීතය – සිද්ධාර්ථ

ගායනය – රුසිත් විභාශිත

පද රචනය – නලින් පලිහේන

තනුව සහ සංගීතය – සාලිය ඉලංගසිංහ

රූප රචනය – අර්ජුන දිසානායක

මෙහි ප්‍රථම රූපවාහිනී එළිදැක්වීම කළ දෙරණ අරුණ සහ ලෝකය සහ ලෝකයෝ වැඩසටහන් විධායක නිෂ්පාදක කේ.සී.සාරංග මහතාට, ගීත නිර්මාණය සහ රූප රචනය සඳහා සහයෝගය ලබාදුන් නිලක්ෂ ෆ්‍රීසන්, මධූෂ් සාවින්ද, දිනන්ජන මදුසංක, දර්ශන අමරසිංහ, ක්‍රිෂාන්ත විරාජ්, කාංචන උඩුගම, සහන් ද සිල්වා, හිරාන් විජේසේකර සොහොයුරන්ට සහ මාළිගාකන්ද රජමහා විහාරාධිපති හිමියන්ටත්, යශෝධ ගජනායක සහ අල්කෙමි රෙකෝඩ්ස් කණ්ඩායමේ, දමිත් වෙලිකල, පවන් අන්ජන සොහොයුරන්ට ස්තූතිවන්ත වෙමු.

 

[email protected]

සමුද්‍රිකා වර්ණකුල

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT