– මේ වැඩසටහන ලංකාව පුරා රැගෙන යෑම අපේ කැමැත්ත
– අපි තුන්දෙනා දැනුණු දේවල්, අත්විඳී දේවල් බොහෝමයක් මෙහි තිබෙනවා
කවිය වනාහි නිර්මාණකරුවකුගේ නිර්මාණ දිවියේ කොටසකි. හදවතට දැනෙනා බොහෝ සියුම් දේද, බොහෝ සංවේදී වූ කාරණා ද කවි සිතක තැන්පත් වනුයේ වෙනස් අයුරිනි. නිර්මාණකරුවකු ඒවා බැහැර කරනුයේ ද ඉතා අපූර්ව අයුරිනි. නොඑසේ නම් සොඳුරු අයුරිනි.
ශමිලා තෙවරප්පෙරුම නූතන පරපුරේ කිවිඳීයක ලෙස ප්‍රභාමත් ලේඛන චාරිකාවක නිරත වීමට උත්සාහ දරන්නියකි. ‘සසර පුරුද්ද’ ඇගේ කාව්‍ය සංග්‍රහය ඊට නිදසුනකි. ගීත රචනයටද දස්කම් දක්වන ඈ පසුගියදා තවත් නිර්මාණ සගයන් දෙදෙනකු සමඟ එක්ව නව ගීත ඇල්බමයක් ජනගත කළාය. මේ ඒ පිළිබඳ කළ කතාබහකි.
‘ පිබිදෙන සිහින ‘ වැඩසටහන ඔබේ නිර්මාණ දිවියේ කඩඉමක්. ඒ ගැන කතා කරමු
අපි තුන්දෙනෙක් එක්වී කළ වැඩසටහනක් එය. නුවන් ප්‍රියංග හපුහෙට්ටි, පුෂ්ප කුමාර ආරියරත්න සහ මා , අපි තිදෙනා ලියූ ගීත, ඇල්බමයක් ලෙස එළිදැක්වීම හා ඒ ගීත ප්‍රසංගයක් විදියට ඉදිරිපත් කිරීමක් එදා සිදු වුණේ. ඇත්තෙන්ම බොහෝ දෙනකුගේ සිහිනයක් තමයි තමන්ගෙ නිර්මාණයක් එළිදැක්වීම. ඉතින් ඒ හීනය තමයි අපි සැබෑ කරගත්තේ. එහිදී මගේ ගීත දොළහක්, නුවන් ප්‍රියංග සොහොයුරාගෙ ගීත විසි හතරක් සහ පුෂ්පකුමාර ආරියරත්න සොහොයුරාගෙ ගීත විස්සකුත් වශයෙන් යොදාගෙන තමයි අපි මේ ගීත ඇල්බමය කළේ.
කොහොම ද ඔබ තිදෙනාගේ නිර්මාණ මිත්‍රත්වය ගොඩනැඟෙන්නේ ?
අපි කාලයක සිට මුහුණු පොතේ ලියනවා. නුවන් ප්‍රියංග සොහොයුරා ව මා දැන සිටියා. ඔහු අපේ පළාතේ කෙනෙක්. පුෂ්පකුමාර ආරියරත්න සොහොයුරා මුහුණු පොතේ නිර්මාණ ඔස්සේ හඳුනාගනු ලැබුවේ.
මෙහි අඩංගු ගීත කුමන තේමාවක් ඔස්සේ ලියැවුණු ඒවාද ?
නිශ්චිත තේමාවක් හෝ විශේෂයක් නැහැ. නොයෙක් තේමාවන් ඔස්සේ ලියැවුණු ගීත මෙහි ඇතුළත්. අපි තුන්දෙනාට දැනුණු දේවල්, අත්විඳී දේවල් බොහෝ මෙහි තිබෙනවා.
අපේ අරමුණක් තමයි ලංකාව පුරා මේ වැඩසටහන රැගෙන යන එක.
ඔබේ නිර්මාණ පසුබිම ගැනත් ටිකක් කතා කරමු
මම කුඩා කාලයේ ඉඳන් කවි ලියනවා. හැබැයි ඒ ගැන ලොකු තේරුමක් නම් තිබුණේ නැහැ. නමුත් මට මතකයි ගුරුතුමියන් කියනව පුතේ ඔයාට කවි ලියන්න පුළුවන් කියල. විශේෂයෙන් ම උසස් අධ්‍යාපන කටයුතු සඳහා ඇතුළත් වූ නුගේගොඩ ශාන්ත ජෝසප් බාලිකා විද්‍යාලයේ දී තමයි ලිවීම ගොඩක්ම වර්ධනය වුණේ. විශේෂයෙන් ම ඒ කාලයේ මම නාට්‍ය හා රංග කලාව ඉගෙන ගත්තේ ජයලාල් රෝහණ සර්ගෙන්. එතුමාගෙන් මට ඉගෙන ගන්න ලැබුණු දේවල් විශාල යි. ඒ වගේම මම ඉගෙනුම ලැබූ දහම් පාසලේ ආභාසයත් මගෙ නිර්මාණ කටයුතුවල දියුණුව සඳහා ලොකු අනුබලයක් ලැබුණා. ඉන් අනතුරුව තමයි මුහුණු පොතේ කවි ලියන්න ගත්තේ. ඒවා පසුව ගීත බවටත් පත් වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස තමයි ‘සසර පුරුද්ද’ කියන කාව්‍ය සංග්‍රහය එළිදැක්වුණේත්.
ඔබේ වෘත්තිය ගැනත් ටිකක් කතා කරමු.
මේ දිනවල මම පෞද්ගලික අංශයේ රැකියාවක නිරත වෙලායි ඉන්නේ. ඊට අමතරව ත්‍රී භාෂා පෙරපාසල් පුහුණු පාඨමාලාවක් හදාරා තියෙනවා. ඒ යටතේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා සහය වීමත් මේ දිනවල සිදු කරනවා. ඊට අමතරව නවකතාවකුත්, කුඩා දරුවන් සඳහා කවි හා ගීත පොතකුත් සම්පාදනය කරමින් ඉන්නවා. ඒ නිර්මාණ ටිකත් ඉක්මනින් ම එළිදක්වන්න තමයි බලාපොරොත්තුවෙන් ඉන්නෙ.
ශාමිලා අතින් ලියැවුණු අලංකාර පද රචනාවක් (සසර පුරුද්ද කාව්‍ය සංග්‍රහය)
පාට පාටින් හෙන්දිරික්කා
පුසුඹ විහිදන යාමයේ
දෑස් මානයෙ කණාමැදිරි එළි
දිලී නිවෙනා රෑ යමේ
මගේ ජීවන ගීතිකාවේ
පද අතර නැවතුණ දිනේ
පින්සාර නුඹෙ සොඳුරු සිත ළඟ
ලැගුම් ගත්තෙමි මේ භවේ
වයන සත්සර රටා අතරේ
මගේ මුළු හිත හෙල්ලුණා
පිරී දෙසවන් ගයන තාලෙට
නුඹට මා තව ළං වුණා
නිහතමානි ළබැඳී බැල්මට
වශීවී මා සැනසුණා
ළෙන්ගතුව නුඹ පිදුව සෙනෙහස
බෝ මැඬක සිසිලක් වුණා
සඳ කුමරු නැති අමාවක රෑ
වුවද නුඹගේ ගුණ නිසා
තරු කිනිති මැද පහන් තරුවක්
දිලෙයි අඳුරම දුරලලා
වාසනාවකි භාවනාවකි
මගේ කුමරුනි මට ඔයා
සසර සරනා තුරා මා ලද
එකම තිළිණය නුඹ තමා
ගායනය මංජුලා දිල්රුක්ෂි
සංගීතය ආනන්ද වෛද්‍යසේකර

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු
සංගීත කණ්ඩායම