Home » මියයන්න කලින් හොඳ කලා නිර්මාණ ඉතුරු කරනවා

මියයන්න කලින් හොඳ කලා නිර්මාණ ඉතුරු කරනවා

රංගන ශිල්පී, අධ්‍යක්ෂ කීර්ති කේ. රත්නායක

by Thanushika
October 9, 2025 12:45 pm 0 comment

වේදිකාවේත්, පුංචි තිරයේත් රසික ප්‍රසාදය නොඅඩුව ලැබූ රංගන ශිල්පියෙකු වූ කීර්ති කේ. රත්නායක මේ දිනවල ඔහුගේ නවතම ප්‍රාසංගික ටෙලි නිර්මාණයේ කටයුතු ආරම්භ කර තිබේ. රංගන ශිල්පියෙකු ලෙස දීර්ඝකාලයක අත්දැකීම් ඇති ඔහු දක්ෂ චරිතාංග නළුවකු ලෙස ද ප්‍රේක්ෂක අවධානයක් දිනාගත් රංගන ශිල්පියෙකි. නාට්‍ය හා සාහිත්‍ය කලාව පිළිබඳ විචාරකයකු හා ගුරුවරයෙකු ද වන ඔහු ලේඛකයෙකු ද වන්නේය. සාහිත්‍ය කලාව, නාට්‍යය ගැන ඔහු ලියා ඇති ග්‍රන්ථ කීපයක් ද වේ. වේදිකාව හා පුංචි තිරය ඔස්සේ රසික හදවත් දිනාගත් කීර්ති කේ. රත්නායක රිදී තිරය බැබළවීමටද මේ වන විට සමත්ව සිටී.

ඔබේ රංගන ජීවිතයේ දිගු අත්දැකීම් එක්ක වෙනස් හැඩයක් එකතු කරගනිමින් නිර්මාණය කරන අලුත්ම ටෙලි නිර්මාණය ගැන මුලින්ම කතා කරමු.

මේ දිනවල මම කොටස් හැටක පමණ ප්‍රාසංගික ටෙලි නිර්මාණ කටයුත්තක් එක්ක ටිකක් කාර්යබහුල වෙලා ඉන්නෙ. “මූණු” ලෙස එය ඉදිරියේදි ඔබට දකින්න හැකි වේවි. එය රචනා කරන්නෙත් අධ්‍යක්ෂණය කරන්නෙත් මමමයි. විශේෂයෙන් වේදිකාවේ දක්ෂයන් රැසක් මේ නිර්මාණයට දායක වෙනවා. ඒක හරි විශේෂ එකතුවක් විදියට මේ කාරණයේදී දකින්න පුළුවන්. මෑත කාලයේ එබඳු පිරිසක් එකට එක්වූ නිර්මාණයක් නොවන තරම්.

මෙතනදී මට මූලික ව ඕන වුණේ ටෙලි නාට්‍ය නරඹන්නන්ගෙ සිතත් මනසත් වෙනස් නොවී නිර්මාණය වෙත රඳවා තබාගත හැකි විදිහේ නිර්මාණයක් ගැන හිතන්න. ප්‍රාසංගික ගුණය වගේම හදවතයි බුද්ධියයි දෙකම ප්‍රකම්පනය කළ හැකි ගුණයේ නාට්‍යයක් කරන්නෙ කොහොමද කියන එක ගැන මම අවධානය යොමු කළේ. ඉතින් ඉතා සාර්ථකව ඒ නිර්මාණයේ කටයුතු මේ දිනවලදී සිදු වෙමින් තිබෙනවා.

ඒ වගේම රංගනයෙන් දායක වන ටෙලි නාට්‍ය තුනක් මේ දිනවල විකාශය වෙනවා. එකක් තමයි ජාතික රූපවාහිනියේ විකාශය වන ඉර හැංගිලා ටෙලි නාට්‍යය. ඉතාම හොඳ ප්‍රතිචාර තිබෙන නාට්‍යයක්.

නිර්මාණයක් කියල කියන්නෙ මැනිය නොහැකි කියන අර්ථයෙන් ගැනෙන දෙයක්නෙ. එතකොට නිර්මාණයක් ඇතුළෙ තිබෙන කළු හෝ සුදු ගණයේ ඕනෑම චරිතයක් ඇතුළෙත් ඒ දෙලක්ෂණයම තිබෙන්න ඕනෑ. ඒ අනුව මේ මහපොළොවෙ රිද්මයට අනුව ජීවත් වන චරිත තමයි මේ නිර්මාණ ඇතුළට අරගෙන එන්නෙත්.

එතනදී අපි ඒ නිර්මාණය හරියට තේරුම්ගෙන කටයුතු කරාම පේ‍්‍රක්ෂකයන්ට එය සමීපව දැනෙනවා.

වෘත්තීය රංගන ශිල්පියෙකු විදියට නිර්මාණ වෙන්කර තෝරා බේරා ගැනීමට ඔබට හැකියාවක් තිබෙනවාද ?

රංගනය කියන්නෙ මගෙ වෘත්තිය. ඒ යටතෙ අපට ලැබෙන චරිත සමඟ වැඩ කළ යුතුයි. ඔබ ඇසූ දේට පිළිතුර වෙන්නෙ ඒක. නමුත් මට ලැබෙන හැම භූමිකාවක් ඇතුළෙම ඒක හරියට කරන්න මම උත්සාහ කරනව. ඉතින් ඒ නිසාදෝ මේ දිනවල ඒ විවිධ චරිත මිනිස්සු අතරම ජීවත් වෙනවා. නිසා හොඳ ප්‍රතිචාරයකුත් තිබෙනවා.

ඊට අමතරව නව චිත්‍රපට කිහිපයකටත් මම රංගනයෙන් දායක වෙනවා.

එකක් තමයි සුමිත් ගල්හේනගෙ සඳලි කියන චිත්‍රපටය. එහි මමත් ජගත් චමිලත් ප්‍රධාන භූමිකා දෙකක් නිරූපණය කරනවා. එය ඉක්මනින් ප්‍රදර්ශනය ආරම්භ වේවි.

ඊටත් අමතරව ශ්‍රී ලංකා හා ඉන්දීය නිර්මාණකරුවන් රැසකගෙ සංයෝගයෙන් තැනෙන ඉතා හොඳ නිර්මාණයකට දායක වෙන්න මට අවස්ථාව ලැබී තියෙනවා. අඒඒඛ තමයි ඒ අලුත්ම සිනමා නිර්මාණය. එය ශේන් ආර්‍යන් නිලාම්ගේ අධ්‍යක්ෂණයක්. ඒ වගේම අශෝක් ජයකොඩිගේ නිෂ්පාදනයක්. එය සැලසුම් වී තිබෙන්නෙ ඉන්දියාවෙත් ඒ වගේම යාපනයේත් රූගත කිරීම් සිදු කිරීමටයි. එහි රූගත කිරීම් සමඟ ඉදිරි කාලය ගත වේවි. එහි මට ලැබී තිබෙන චරිතය ගැන මම හරිම තෘප්තිමත්.

අඒඒඛ මගෙ අලුත්ම සිනමා නිර්මාණය ඇතුළෙ දකුණු ඉන්දියානු රංගන ශිල්පී වේල රාමමූර්ති සමඟ ලංකාවේ සම්මානනීය ශිල්පීන් ගණනාවක් සමඟ වැඩ කරන්න ලැබී තියෙනවා. මම විශ්වාස කරනවා එය මගේ රංගන ජීවිතයේ විශාල අවස්ථාවක් විදියට.

ඒ වගේම මට ලැබුණ වයධම්මා සංකාරා කියන චිත්‍රපටයත් ගොඩක් විශේෂ චිත්‍රපටයක්. එහි සෞම්‍ය ලියනගේ, ධර්මප්‍රිය ඩයස් වැනි රූපණවේදීන් සමඟ මම ප්‍රධාන භූමිකාවක් නිරූපණය කරනවා. එහි රූගත කිරීම් වෙනුවෙනුත් මේ කාලය තුළ මගේ දායකත්වය ලබා දීමට බලාපොරොත්තු වෙනවා.ඒ කටයුතුත් මැද තමයි මගේ අලුත්ම නිර්මාණයේ කටයුතුවලටත් මේ දිනවලදී අවධානය දීල තිබෙන්නෙ.

රූපවාහිනිය ඉදිරියේ වාඩිවී ටෙලි නාට්‍යයක් නරඹන ප්‍රේක්ෂකයන්ගේ සිතුම් පැතුම් වෙනස්. රූපවාහිනී මාධ්‍යයෙන් ඔවුන්ට ලබා දෙන නිර්මාණ ගැන නිර්මාණකරුවන්ටත් ප්‍රේක්ෂකයන්ටත් සතුටු විය හැකිද ?

ඇත්තටම අද වෙද්දී රූපවාහිනිය කලා මාධ්‍යයක් විදියට භාවිත වනවාට වඩා විවිධ පාරිභෝගික අරමුණු ඉටු කෙරෙන වෙළෙඳ මාධ්‍යයක් බවට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා මේ මාධ්‍යයේ ප්‍රචාරය වන බොහෝ නිර්මාණ වේවා වැඩසටහන් ඇතුළෙ තිබෙන්නෙ වෙළෙඳ අරමුණු යි.

සාහිත්‍යක හෝ වෙනත් කලා වැඩසටහන් වේවා, මොන හැඩයේ වැඩසටහන් ඇතුළෙත් තිබෙන්නෙ වෙළෙඳ උපක්‍රමම තමයි. එතකොට ශිල්පීන් විදියට මේවායේ කටයුතු කරන අපට මේවාට දායක වෙන්න වෙලා තිබෙනවා.

මේ වටපිටාව නිර්මාණකරුවන් විදියට ඔබට අගතියක් නොවෙයි ද ?

ජීවිතය මේ වෙද්දී දශක පහක් පමණ ගෙවූ මිනිසෙකු විදියට මම ගොඩක් උත්සාහ කරල තිබෙනව දේවල් වෙනස් විදියට කරන්න. වෙනස් කරගන්න. නමුත් ඒ කාලය පුරා ජීවිතයේ අපි විඳී අත්දැකීම් එක්ක සමහර විට අපිට ඒ වෙනස සම්පූර්ණ කරගන්න නොහැකි වේවි. සමහර විට ලෝකය අපව නොහඳුනගෙනම මේ නොයෙක් උත්සාහයන් අතරතුර අප මිය යාවි. නමුත් යහපත් උත්සාහයන්, කලාව වෙනුවෙන් හොඳ දේවල් සමඟ කරන අභ්‍යාසයන් අත් හරින්නේ නෑ.

නූතන රංග භූමියේ හැඩය ගැන ඔබේ අදහස මොන වගේද ?

රූපණය කියන දේ විෂයක් නෙ. එය විද්‍යාත්මක විෂයක්. ඒ නිසා ඒක හැදෑරිය යුතුයි, හදාරමින් අභ්‍යාස කරමින් ඒ ගමන යා යුතුයි කියන දේ මම අදහනවා.

නමුත් නූතන රූපණවේදීන් චරිතයක් නැත්නම් භූමිකාවක් කියල හිතන්නෙ මතුපිට රූපය කියලයි.

චරිතයකට පිවිසෙන ආකාර දෙකක් අපට හඳුනා ගන්න පුළුවන්. අභ්‍යන්තර සමාරෝපය සහ බාහිර සමාරෝපය වශයෙන්. එතනදී ඒ අභ්‍යන්තර සමාරෝපයට මැනවින් ප්‍රවේශ විය හැකි ගණයේ ශිල්පීන් අල්පයි. අපේ රටේ ගත්තත්. බොහෝ දුරට ඇඳුම් පැලඳුම්, සම හා අනිකුත් බාහිර ගුණාංග මැනවින් යොදාගනිමින් පෙනී සිටින පිරිසක් තමයි රංගන කාර්යයේ බොහෝ විට කාර්යබහුල ව කටයුතු කරනු අපි දකින්නෙ. මා කියන්නෑ සියලු දෙනා කියලම. මොකද තරුණ පරම්පරාව ඇතුළෙ හොඳ කියවීමක් ඇති අය, ඒ වගේම ඊට උත්සාහයක් දරන දරුවන් අපට හමු වෙනවා. ඔවුන් ගැන සතුටුයි.

ඇත්තෙන්ම අපේ පරපුර රංගන කාර්යයට හැඩගැසුණෙ වෙනම විදියකට. රංගනය කාර්‍යයක් විදියට ගත්තහම ඊට පිවිසෙන්නෙ වෙනමම විදියකට.

ඉස්සෙල්ලාම අපි අවධානය යොමු කරන්නෙ මොකක්ද මගෙ චරිතය කියල. එතකොට ඒ චරිතය කොහොමද විකාශය වෙන්නෙ, ඒ වගේම එහි පෙළ ආදී ගැන තමයි අපේ පරපුරේ අය උනන්දු වුණේ. කතා බහ කළේ ඒ වගෙ දේවල්.

නමුත් අද ගොඩක් අය කතා කරන්නෙ ඒ වගෙ දේවල් ගැන නෙවෙයි. කීයක් මේකට ලැබෙනවද කියන දේ මතම තමයි අනිකුත් දේවල් තීරණය කරන්නෙ. එකම දිනය ඇතුළෙ කාර්යයන් කීපයක් යොදාගෙන ඔවුන් එන්නෙ. ඔවුන් නිතරම අතේ තිබෙන දුරකතනයේ රැඳෙන්නෙ. ජංගම දුරකතනය නරක මාධ්‍යයක් නෙවෙයි. නමුත් එය අපි යොදාගන්න විදිහ ගැනයි අපිට සාකච්ඡා කරන්න වෙලා තිබෙන්නෙ. අද පරපුර ඒ ඔස්සේ වෙන ලෝකයක් ආකර්ෂණය කරගනිමින් ජීවත් වෙන්නෙ. මිනිස් ගනුදෙනු සිදු නොවන තරම් අද මේ නැඹුරුව හේතුවෙන්.

රංගන කාර්‍යයේදී දෙබස් කියවීමකට එහා ගිය දේවල් රූපණවේදීන් අවධානයට ගත යුතුයි. චරිතවලින් වෙනස් වෙන්නෙ කොහොමද කියන එක. නමුත් ඔවුන්ගේ ඇඳුම් පමණයි වෙනස් වෙනස් වෙන්නෙ.

එක් පැත්තකින් ඔබ ගුරුවරයෙක් විදියට කටයුතු කරන කෙනෙක්. මේ කාරණාවලට යෝජනා කරන විසඳුමක් තිබෙනවා ද ?

අවුරුදු තිස්පහක් පමණ ගුරුවරයෙක් විදියටත්, විචාර කාර්‍යයටත් විනිශ්චයකරුවෙක් විදියටත් නාට්‍ය කලාවේ කටයුතු කරන කෙනෙක් විදියට මම ඒ කාර්‍යය ඇතුළෙ මට කළ හැකි පරිදි මම අදහස් බෙදාගන්නවා. ඒ කියන්නෙ මගෙ දේශනවලදි , මම ලියන පොත්පත්වල මම ඒක කරන්න උත්සාහ කරල තිබෙනවා . එය කරල තිබෙනවා වගේම දැනුත් එය කරමින් ඉන්නවා. නමුත් ගැටලුවක් විදියට තිබෙන්නේ මේ කියන දේ අහනවද කියන එකයි. කලා නිර්මාණයක් දැනෙන, එය විඳීන ඇස් තුනක් තිබෙනවා නෙ නේද. මසැස, මනස සහ නුවණැස වශයෙන්. නමුත් අවාසනාවකට මසැස පමණයි මේ පරම්පරාවට තිබෙන්නෙ. මසින් හැදුණු ඇස් දෙකෙන් පමණක් ඔවුන් බොහෝ දේවල් නිර්වචනය කරගන්නවා. එය නුවණැස ට දාලා, නැතිනම් එය හදවතට දාලා මනස ඔස්සේ හොඳ දේවල් ආනන්දයෙන් ප්‍රඥාවට යොමු කරගෙන වින්දනය කරන පිරිසක් නැහැ. නමුත් අපි උත්සාහ කරනවා අපි මිය යන්න පෙර හොඳ දේවල් ටිකක් කොහොම හරි ඉතිරි කර යන්න. ඇත්‍තෙන්ම මගෙ විෂය යටතෙ මේ වෙනකොටත් කලාව සාහිත්‍යය යටතේ පොත් කීපයක්ම ලියල තියෙනවා. ඉදිරියටත් ඒ දේවල් එක්ක ඒ විදියටම මම ඉන්නවා. නමුත් මේ කියන ලියන දේවල් මේ ප්‍රායෝගික භූමිය ඇතුළෙ සිදු නොවන විට මහ යෝධ දුකක් හිත ඇතුළෙ තැන්පත් වෙන එක වළක්වන්න බැහැ.

මේ වෙද්දී අලුත් යමක් ලියමින් ද ඉන්නේ?

ඇත්තෙන්ම. මගෙ කෙටිකතා එකතුවක් ඉදිරිපත් කරන්න බලාගෙන ඉන්නවා. ඒකෙ කටයුතු සිදුවෙමින් තිබෙනවා. ඊට අමතරව රසවින්දන වැඩසටහන් පාසල් හා විශ්වවිද්‍යාල මට්ටමින් මේ වෙද්දී සිදුකරගෙන යනවා. ඒ වගේම එය විවිධ ආයතනික මට්ටමින් වගේම විදේශයේත් සිදු කරන්න දායක වෙමින් ඉන්නවා.

එක පැත්තකින් “පොත” නැතිනම් “කියවීම” අද සාම්ප්‍රදායික තැනින් එහාට ගිහින් තිබෙන අවධියකටයි අපි පා තබා සිටින්නෙ. ඒ අතරෙදි පොත් ලියන අය ගැන වැඩි අවධානය දුන්නත් කියවන අය ගැන තොරතුරු අඩුයි. ඒ ලියන දේවල් ඇත්තෙන්ම කියවනවාද කියන දේ බලන්න වෙලා තියෙනවා. මොකද අද පොතක් ඇතුළෙ තියෙන්නෙ නමක්. ඉතිහාසයේ එහෙම නෙවෙයි වුණේ. අපට තිබුණෙ පොතක්. උදාහරණ ලෙස ගුරුළුගෝමී වැනි කතුවරු, බුත්සරණ, අමාවතුර වැනි පොත්. ඒවා මිනිස්සු දැනගෙන හිටියා. නමුත් අද එහෙම එකක් නැහැ. එක අතකින් එය විවිධ වූ දිගුකාලීන සමාජ ආර්ථික කාරණාවලම ඵල ලෙස තමයි අපට ගන්න වෙන්නෙ. ක්‍රමිකව සාහිත්‍ය කලාව මැරි මැරී ආ සමාජ ක්‍රමයක් ඇතුළෙ ඒක නොවී තිබෙන්නෙ නැහැනෙ නේද.

 

සේයාරූ – නිශ්ශංක විජේරත්න

[email protected]

සමුද්‍රිකා වර්ණකුල

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT