Home » මාලිනි ෆොන්සේකා සන්ධ්‍යා රාණිට වඩා වාසනාවන්තයි

මාලිනි ෆොන්සේකා සන්ධ්‍යා රාණිට වඩා වාසනාවන්තයි

යළිත් පිපෙන ‘ආකාස කුසුම්’ ගෙනෙන ප්‍රවීණ සිනමාවේදී ප්‍රසන්න විතානගේ

by Thanushika
April 24, 2025 12:39 pm 0 comment

ප්‍රවීණ සිනමාවේදී ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘ආකාස කුසුම්’ චිත්‍රපටය නිර්මාණය වූයේ මිම. 35 සිනමා පටයක් ලෙසය. එය නවීන තාක්ෂණයට අනුව යමින් 4K සිනමා පටයක් බවට පසුගියදා පරිවර්තනය විය. එළඹෙන අප්‍රේල් 30 වැනිදා ට යෙදෙන ලාංකේය සිනමාවේ නිළි රැජින ගේ 78 වැනි උපන්දිනය නිමිති කොට ගෙන ‘අකාස කුසුම්’ චිත්‍රපටය සිනමාශාලා කිහිපයක යළි නිදහස් කිරීමට බලාපොරොත්තු වන් අතර, මේ ඒ පිළිබඳව අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ සමඟ කළ කතා බහකි මේ.

ආකාස කුසුම් 4ඬ තාක්ෂණයට පරිවර්තනය වෙනවා. එය යළි නිදහස් කිරීමේ අරමුණ කුමක්ද?

ආකාස කුසුම් චිත්‍රපටය ලෝක මංගල දර්ශනය පැවතුණේ 2008 ඔක්තෝබර් මාසයේ පූසාන් චිත්‍රපට උළෙලේදී. ඊට පසුව ගෝව නගරයේ පැවති ඉන්දිය අන්තර්ජාතික චිත්‍රපට උළෙලේදී මාලිනි ෆොන්සේකාට ඒ වෙනුවෙන් රජත මයුර සම්මානය ලැබුණා. ඇය තෙවතාවක්, ඉතාලියේදී ඕස්ට්‍රේලියාවේදී සම්මාන උත්සව වලදී හොඳම නිළිය වශයෙන් නාම යෝජනා වුණා. 2009 දි තමයි ශ්‍රි ලංකාවේදි මේ චිත්‍රපටය තිරගත කළේ. දින 75ට එහා මේ චිත්‍රපටය මෙහි තිර ගත වුණා.

ඊට පස්සේ රුපවාහිනියෙන්, ඩීවීඩී තාක්ෂණයෙන් මේ චිත්‍රපටය නරඹන්න අවස්ථාව ලැබුණා. නමුත් දැන් අපි මේ චිත්‍රපටය ඩිජිටල් කරන්නේ ඇයි කියන ප්‍රශ්නේ බොහෝ දෙනාට ඇත. ඒකට හේතුව තමයි අපේ සියලුම චිත්‍රපට වියැකි යන තත්ත්වයට පත්වෙලා තිබෙනවා. මොකද නෙගටිව් පටය කාලයක් සමඟ වියැකෙනවා. අන්තර්ජාතික සංරක්ෂණාගාරවල චිත්‍රපට සංරක්ෂණය කරන්නේ පැය 24 පුරාම සෘණ 17 ක උෂ්ණත්වයක් පවත්වාගෙන යමින්. මම ශ්‍රී ලංකාවේ සංරක්ෂණාගාරයට ගිහින් නෑ. නමුත් මම ස්තුති වන්ත වෙනවා ශ්‍රී ලංකා සංරක්ෂණාගාරයේ තමයි මේ ආකාස කුසුම් පිටපත තියලා තිබුණේ. මිමි 35 පිටපත. වාසනාවකට මෙහි නෙගටිව් පටය හොඳ තත්වයෙන් තිබුණා ඉන්දියාවේ ප්‍රසාද් රසායනාගාරයේ. ප්‍රසාද් රසායනාගාරය කියන්නේ සංරක්ෂණාගාරයක් නොවෙයි. එහි මේ නෙගටිව් පටය හොඳ තත්ත්වයෙන් තිබිම නිසා මේ චිත්‍රපටය ඩිජිටල් කරන්න ලොකු කරදරයක් වුණේ නෑ.

මෙය ඩිජිටල් මාධ්‍යයට පරිවර්තනය කිරිමට සිද්ධ වෙන්නේ පටප පටය ලෝකයේ ප්‍රදර්ශනය වීම අහෝසි වෙමින් ගිහිල්ලා තිබෙන නිසා. එතකොට සිනමා ශාලාවල මිමි35 ප්‍රක්ෂේපණ යන්ත්‍ර තව දුරටත් නැහැ. ලංකාවේත් ඒ තත්ත්වය ඒ විදියට වෙමින් පවතිනවා. මේ රටේ චිත්‍රපට දහසකට වඩා හැදිලා තියෙන්නේ නෙගටිව් පටය පදනම් කරගෙන. ඒ නිසා මේ චිත්‍රපට අනාගත පරපුරකට දකින්න අවස්ථාවක් නැතුව යනවා. චිත්‍රපටයත් ප්‍රතිෂ්ඨාපනය කරන්න වියදමක් යනවා. විදේශිය ආයතන මැදිහත් වෙලා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ‘නිධානය, ගම්පෙරළිය වැනි චිත්‍රපට මේ විදියට ප්‍රතිෂ්ඨාපනය කළා. ඒ වගේම ධර්මසිරි බණ්ඩාරනායකගේ ‘තුන්වෙනි යාමය, හංස විලක් වගේ චිත්‍රපට කළා. ධර්මසේන පතිරාජ ගේ ‘පාරදිගේ’ චිත්‍රපටය කළා. නමුත් බහුතරයක් ඒ විදියට ප්‍රතිෂ්ඨාපනය වි නැහැ. මෙන්න මේ අඩුව පුරවන්න තමයි ආකාස කුසුම් ඩිජිටල් කරන්නේ. ඒ කියන්නේ අනාගත පරපුරට මේ චිත්‍රපටය දකින්න ලැබෙන්නේ නැ ඩිජිටල් නොකොළොත්. අද අපි යු ටියුබ් එකට ගිහිල්ලා බැලුවොත් නවසිය හතළිස් ගණන්වල කරපු හින්දි චිත්‍රපට පවා ඉතා හොඳ මට්ටමින් අපට බලන්න පුළුවන්. මොකද ඒ හැම එකක්ම ප්‍රතිෂ්ඨාපනය කරලා තිබෙනවා. ප්‍රතිෂ්ඨාපනය නොකළොත් අපේ සිනමාවේ ගාමිණි වේවා, ටෝනි වේවා, ජෝ වේවා මේ කාගෙවත් චිත්‍රපට අපට, මතු පරපුරකට බලන්න ලැබෙන්නේ නෑ. අපේ සිනමාවේ ඉතිහාසය නොදැන අපි කොහොමද ඉදිරියට යන්නේ?

එහෙම වුණාම කෙනෙක් හිතනවා ඔහු තමයි හැම දෙයක්ම පටන් ගත්තේ කියලා.

සිනමාව කියන්නේ අති විශාල රෝදයක්. එක්තරා පරම්පරාවක් මේක යම් දුරක් කරකවනවා. ඊළග පරම්පරාව මේක තව දුරකට ගෙනියනවා. මේ විදියට මේක දිගින් දිගටම සිද්ධ වෙනවා.

ආකාස කුසුම් පිළිබඳ නැවත ගත්තොත් මේ චිත්‍රපටය ප්‍රතිෂ්ඨාපනය කළේ චෙන්නායි හි ප්‍රසාද් රසායනාගාරයේ. මේ සඳහා අපි ආර්ටිපිෂල් ඉන්ටර්ලිජන්ට් කියන ඒ අයි තාක්ෂණයත් අපලි මේ සඳහා යොදා ගත්තා. ඒ අයි තාක්ෂණය සහ මනුෂ්‍ය ශ්‍රමය කියන භාවිතාවන් දෙකම යොදා ගෙන තමයි මේ චිත්‍රපටය ප්‍රතිෂ්ඨාපනය කළේ.

එක පැත්තකින් මේ චිත්‍රපටය ඩිජිටල් කරන්න එක හේතුවක් වෙන්නේ මාලිනි ෆොන්සේකාට කරන ගෞරවයක් වශයෙන්. ඇගේ ජිවිත කාලය තුළ ඇගේ රංගනය කල් ඉකුත් නොවන්න කටයුතු කරන්න. මම විවිධ සිනමා උළෙල වලදී මේ චිත්‍රපටය නරඹද්දී මට හිතුණා ඇගේ රංගනය කිසිසේත්ම කල් ඉකුත් වි නෑ කියලා. ඇයට කරන ගෞරවය තමයි එය සංරක්ෂණය කරන එක. ඒක මට හිතෙනවා ඉදිරියට පුර්වාදර්ශයක් වේවි කියලා.

මේ ක්‍රියාවලිය ආරම්භ වෙන්නේ කොහොමද?

මගේ මතකයේ හැටියට 2020 දී වගේ මේ චිත්‍රපටය දත්ත වලට පරිවර්තනය කරලා තියා ගත්තා. මේ චිත්‍රපටයට නිෂ්පාදනයෙන් දායක වුණේ එච්. ඩී. ප්‍රේමසිරි මහත්මයා සහ ඉන්දියාවේ ශ්‍රි කර් ප්‍රසාද් මහතායි. දැන් මෙහි ප්‍රතිෂ්ඨාපන කටයුතු අවසන් වි තිබෙනවා. එළඹෙන අප්‍රේල් 30 වැනිදා මාලිනි ෆොන්සේකා මහත්මියගේ 78 වැනි ජන්ම දිනයට සමගාමීව මේ චිත්‍රපටය සිනමා ශාලා කිහිපයක රි රිලීස් කරන්න අපි සූදානම් කරලා තිබෙනවා. ලංකාවේ චිත්‍රපට සංරක්ෂණය කලාට රි රිලීස් එකක් විදිහට කරලා තියෙන්නේ නිහාල්සිංහයන්ගේ ‘වැලිකතර‘ චිත්‍රපටය විතරයි. ඒ දේ කළෙත් එතුමාගේ තනි දායකත්වයෙන්. ඔහු ඒක කරපු නිසා තමයි අදත් යු ටියුබ් එකෙන් හෝ කෑලි කෑලි හෝ වැලිකතර බලන්නේ.

ඇත්තටම අපි අපේ චිත්‍රපට නිතරම දකින්නේ ඉරි ගිහිල්ලා වගේ නම්, වහිනවා වගේ නම්, පිච්චිලා වගේ නම් එය එසේ විය යුතු නෑ. අද තාක්ෂණය තිබෙනවා අලුත් චිත්‍රපටයක ප්‍රමිතියෙන්ම, විශේෂයෙන් නෙගටිව් පටලයෙන්, එදා දැක්කටත් වඩා හොඳට චිත්‍රපටය බලන්න. ආකාස කුසුම් ප්‍රතිෂ්ඨාපනයෙන් පසු බලත්දි මාලිනියගේ රංගනයේ සියුම් තැන් තවත් ඔපවත්ව බලාගත හැකියි කියලා මට හිතුණා.

ආකාස කුසුම් චිත්‍රපටය ආව කාලේ ඔබගෙන් බොහෝ දෙනෙක් ප්‍රශ්න කළා මෙ මාලිනියගේ කතාවද? කියලා අහලා ඒ ගැන දැන් ඔබට මොනවද කියන්න තියෙන්නේ?

සන්ධ්‍යා රාණි කල්පිත චරිතයක්. නමුත් එයට මාලිනි අක්කා දුන්න උත්තරය හරි අපූරුම උත්තරයක්. එය ප්‍රකාශ කළේත් මට මතක විදියට සරසවිය පුවත්පතටමයි. ‘ඒ මම නොවෙයි කියලා මම කොහොම කියන්නද?. ඒ තමයි මාලිනි අක්කගේ උත්තරය. මම හිතන විදියට ඒකට හේතුව සියලුම නිළියන්ගේ චර්යා රටාවන් මේකට ඇතුළත් වෙනවා. නිළියක් වුණාම ඇයට ඇගේ පෞද්ගලිකත්වයක් නැති වෙනවා. ඇයට ජීවත් වෙන්නට සිදු වෙන්නේ සමාජය විසින් ගොඩ නගන ලද ප්‍රතිරුපයක් තුළ. එතකොට ඇයට මඟ හැරෙන්නේ ඇයව. එම නිසා මේ චිත්‍රපටයේ මම උත්සාහ කළේ විශේෂයෙන් ජනකාන්ත තාරකාවක් සන්ධ්‍යා රාණි නමින් සියලු දෙනාගේම නියෝජනයක් ලෙසින් ඉදිරිපත් කිරිමට. එය ආසියාතික විය හැකියි. යුරෝපයේ විය හැකියි. මේ මොහොතේ සිද්ධ වෙන, චිත්‍රපට ජීවිතයේදි සිද්ධ වෙන සිදුවිම් හරහා ඇයට තමන්ගේ ජීවිතය දෙස හැරිලා බලන්න සිද්ධ වෙනවා. ජීවිතයේදි මනුශයයෙකුට ලැබිය හැකි ලොකුම දේ තමයි තමන් තමන්ව තේරුම් ගැනිම. ඇමරිකානු හොලිවුඩ් නළු ජෝන් බෙන්ඩ් වරක් පවසනවා. ‘මම ලෝකෙ ගැන සම්පූර්ණයෙන් නොදැන මැරෙන්න සූදානම්. නමුත් මම මම ගැන සම්පුර්ණයෙන් නොදැන මැරෙන්න සූදානම් නෑ කියලා. ඔන්න ඔය අත්දැකීමමයි සන්ධ්‍යා රාණි මුහුණ දෙන්නේ. මම හිතනවා මාලිනි අක්කා ඉතාමත්ම නිර්ලෝභී වුණා ඇය දන්න දේ , ඇය දුටු දේ, සමහර විට ඇගේ ජිවිතයේ සමහර දේ මේ චරිතයට ඇතුළු කරන්න. ඒක තමයි විශිෂ්ට නිළියකගේ සලකුණ.

ඔබේ සිනමා ජිවිතයේ, ඔබ නිර්මාණය කළ නිර්මාණ අතර කාන්තා චරිත රාශියක් තිබෙනවා. ඒ අතර සන්ධ්‍යාරාණි කොතැනද ඉන්නේ?

මම පිරිමියෙක් හැටියට කාන්තා චරිතය හරහා කාන්තාව තේරුම් ගන්නට උත්සාහ කරනවා. කාන්තාවට අපි දෙන්න ඕන, හිමිවිය යුතු ගෞරවය අපේ කලාපය තුළ ලැබෙන්නේ ඉතා අඩුවෙන්. ඇයට නිසි ගෞරවයක්, ඇයට හිමි තැනත්, ඇයව තේරුම් ගැනිමත්

ඇයගේ දෘෂ්ඨිකෝණයෙන් බැලිම වැදගත්. මම අභියෝග කරන්නේ මටමයි. ආකාස කුසුම් එවැනි අභියෝගයක් කර ගත් අවස්ථාවක්. පිරිමියෙක් වෙලා කාන්තාවක් තේරුම් ගන්න තමුසෙට පුළුවන්ද? කියන කාරණාව. මේ අතරතුරම මේ චිත්‍රපටය තිරගත වුණාට පස්සේ තරුණයෙක් මාලිනි අක්කගේ නිවෙස ඉදිරිපිටට පැමිණිලා තිබෙනවා. සන්ධ්‍යා රාණිට හිටියේ දුවෙක් නොවෙයි පුතෙක් කියලා, ඒ පුතා මමයි කියලත් කියලා තිබුණා. ඒ වගේ සිද්ධිත් වෙලා තිබුණා. ඒ කියන්නේ ඒ අය මේ සිද්ධිය ඇත්තට ගත්තා.

නිළියකගේ සැබෑ ස්වරූපය පිළිබඳ අවබෝධ කරගන්නට මට මාලිනි අක්කම කියපු කතාවක් මතක් වෙනවා. මාලිනි අක්කා රුක්මණි දේවියගේ සිට ඊට පසු පරම්පරාවල් වල සෑම නිළියකම ආශ්‍රය කරලා තිබෙනවා. 70 දශකයේ චිත්‍රපට රූ ගත කිරීමක් නිම වෙලා දහවල් ආහාරය සඳහා ගියාම මාලිනි අක්කා කෝසස් ආහාරයට ගන්නා විට අසල මේසයක සිට රුක්මණි දේවිය ප්‍රඩක්ෂන් එකෙන් දුන් බත් පාර්සලය ආහාරයට ගනිමින් ඉදලා තිබෙනවා. මේ වෙලාවේ රුක්මණි මාලිනි දිහා බලලා හිනාවෙලා තිබෙනවා. මාලිනි අක්කා කියනවා ඇයට එදා පොළොව පලාගෙන යන්න තරම් ලැජ්ජාවක් ඇති වුණා කියලා. ඒ හිනාවේ තිබුණේ මටත් එහෙම කාලයක් තිබුණා ළමයෝ කියන්න වගේ දෙයක්ලු. ඉතින් ආකාස කුසුම් කියන්නෙත් එවැනි දෙයක්. පවතින්නේ නැති දෙයක්ත ටික කාලයකින් ඇය වෙත එල්ල වූ විදුලි එළි වෙනත් කෙනෙත් වෙත එල්ල වෙනවා. නමුත් මාලිනි ෆොන්සේකා පෞද්ගලිකව වාසනාවන්ත වෙලා තිබෙනවා සිනමා ක්ෂේත්‍රය තුළ අවුරුදු 50 වැඩි කාලයක් තම ජනප්‍රියත්වය එක විදියටම පවත්වගෙන යන්න. ඒ නිසා මම කියන්න කැමතියි සන්ධ්‍යා රාණි කියන්නේ මාලිනි අක්කා තරම් වාසනාවන්ත නොවූ නිළියක් කියලයි.

ආකාස කුසුම් වගේම ඔබේ අනිත් චිත්‍රපටත් මේ විදියට ප්‍රතිෂ්ඨාපනය වෙනවද?

මගේ සැම චිත්‍රපටයක්ම සංරක්ෂණය කරලා තිබෙනවා. රටවල් දෙකක. එකක් ජපානය සහ අනෙක සිංගප්පුරුව. මින් ඉදිරියට සෑම චිත්‍රපටයක්ම එසේ සංරක්ෂණය වෙනවා. දැනට මේ චිත්‍රපට දත්තවලට පරිවර්තනය කරලා තිබෙනවා. ඒවා අනාගතයේද් ෆෝකේ තාක්ෂණයෙන් හෝ ඉදිරියේදී පැමිණෙන වෙනත් දියුණු තාක්ෂණයකින් හෝ ප්‍රේක්ෂකයන්ට දැක ගන්න පුළුවන් වෙයි.

 

[email protected]

හේමාලි විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT