රංගනයට බැඳුණු හිතැති ව පාසල් අවධියේ ම ඊට ප්‍රවිෂ්ට වන ඔහු රංගනයේ සිය හැකියා විදහා දක්වනුයේ ක්‍රමානුකූලව රංගනය හැදෑරීමට ද පසු කාලීනව යොමු වෙමිනි.
පාසල් වේදිකාව ඔස්සේ එළිමහන් වේදිකාවට පිවිස ප්‍රසිද්ධ වේදිකාව ඔස්සේ ටෙලිනාට්‍ය ක්ෂේත්රය ට ප්‍රවිෂ්ට වී කැපී පෙනෙන දායකත්වයක් දැක්වූ රංගන ශිල්පියකු ලෙස ඔහු හඳුනාගත හැකි වේ.
රංගන කාර්යභාරයෙන් එපිටට ගොස් පිටපත් රචනයට, නිෂ්පාදන කාර්යයට මෙන්ම නාට්‍ය අධ්යක්ෂණයටද නැඹුරුව කටයුතු කරන ඔහු ජයන්ත රන්කොත්ගේය.
මේ දිනවල නව වේදිකා නාට්‍ය පිටපත් දෙකක් රචනා කිරීමේ කටයුතුවල නිරතව සිටින ඔහුගේ නිර්මාණ දිවියේ සුවිශේෂ කඩයිම් පිළිබඳ කළ කතා බහකි මේ.
කලා ක්ෂේත්රයට ඔබේ ප්‍රවිෂ්ට වීම සිදුවන්නේ කොයි අවධියේද?
1977 වසරේදී. ඒ අවස්ථාවේදී පිපෙන කුමුදු කලා හවුල නමින් පැවැති එකමුතුව යටතේ කුමුදුනි හෙට්ටිආරච්චි මහත්මිය නිර්මාණය කළ කදා වළලු.. නාට්‍යයට මුලින්ම සම්බන්ධ වුණේ. ඉන්පසු අප අතරින් සමුගත් කේ. ජයසේන මහතා විසින් රචනා කළ සාලිය අශෝකමාලා කියන එළිමහන් වේදිකා නාට්‍යයේත් කේ. විල්මන් පෙරේරා මහතා විසින් රචනා කළ ‘සුලෝචනා’ නාට්‍යයේත් රඟපෑමට අවස්ථාවක් හිමිවුණා. මෙයින් අනතුරුව සමස්ත ලංකා නාට්‍ය තරගාවලියට මා විසින් ඉදිරිපත් කළ ගමයා සහ කොටියා කියන කෙටි නාට්‍යයට සම්මානයකුත් හිමිවුණා. ඒ ප්‍රවේශය සමඟ මම දිගටම කලා ක්ෂේත්රයට යොමු වුණා. ඒ අතරතුර එවකට සිටි එම්. ටියුරින් කියන කලා ශිල්පියා විසින් රචනා කර ගුවන් විදුලි ශිල්පීන් විසින් හඬ කැවූ ‘නොපතන් පුතුනේ මං කොට උඩ’ නම් වූ නාට්‍යයේ ප්‍රධාන චරිතයකට හඬ කැවීමට දායක වුණා. ඒ කාලයේදී තමයි මම කල්පනා කළේ මගේම නිර්මාණයක් එළිදැක්වීමටත්. ඒ අනුව තමයි මගේ පළමු වේදිකා නාට්‍යය නිර්මාණය වෙන්නෙ.
ඒ ගැනත් කතා කරමු
මගේ ප්‍රථම නිර්මාණය ‘මව්බිමයි අසිපතයි යන රජ’ කියන වේදිකා නාට්‍යය. එහි පිටපත් රචනය, අධ්‍යක්ෂණය හා රංගනය කියන අංශ තුනෙන්ම ඊට මගේ දායකත්වය හිමිවුණා.
ඇත්තෙන්ම ඒ නාට්‍යය වේදිකාගත කෙරුණේ තට්ටු තුනකින් යුත් විශාල වේදිකාවක් මත. ඉන්පස්සේ ඇත්තෙන්ම ඊට ලැබුණ විශාල පේ්රක්ෂක ප්‍රතිචාරය නිසා සෑම වසරකම එළිමහන් වේදිකා නාට්‍යයක් ඉදිරිපත් කරන්න පෙලඹුණා.
ඒ අනුව නාට්‍ය කීපයක්ම ඇවිළෙන ගිනිදැල්, වෛරයට උපන් ලේ, උරුමය කාටද, පෙළපතක අවසානය, ධන බලයද මිනිස්කමද, රට බාරයි නුඹට පුතේ, ස්වර්ණමාලි කියන වේදිකා නාට්‍ය නිර්මාණය කර ඉදිරිපත් කරන්න පුළුවන් වුණා.
ඔබේ රංගන කෞශල්‍යයන් මතු කරගන්න බලපෑ නිර්ිමාණ මොනවාද?
ප්‍රියංකර ජයසේකරගේ මහේෂිකා, ප්‍රේමලාල් වැලිවිටගේ ගේ නැගණිය ඔබ නිසා, මහින්ද කුරුප්පුගේ නිර්මාණය කළ අම්මෙ ඔබ නිසා, ස්ටැන්ලි රංජිත් නිර්මාණය කළ ආයාචනා, ශාන්ත හෙට්ටිආරච්චිගේ වලව්වේ හාමු, ජයරත්න කඳුබොඩගේ නිර්මාණය කළ අජාසත්ත හා විලාපය, පේ‍්‍රම ජයන්ත නිර්මාණය කළ වක්කලම, සමුදෙන්න නැගණිය හා යළිත් වසන්තය ඊළඟට නන්ද සමන් හා මහේෂ් මහ කුමාරගේ ගේ කඩතුරාව, සුජිත් නිශාන්ත නිර්මාණය කළ සතුටු කඳුළු හා ‘සසර සැරිසරන තුරා’ වැනි නාට්‍යයන් හි ප්‍රධාන චරිත රඟපාමින් රසිකයන් අතරට එන්න පුළුවන් වුණා.
වේදිකාව, සිනමාව හා ටෙලි නාට්‍යකරණය පිළිබඳ පුළුල් අවබෝධයක් කරා ඔබව වඩා සමීප කළ පුද්ගලයා කවුද?
එතුමා පතිරාජ එල්.එස්. දයානන්ද. චිත්‍රපට අධ්යක්ෂවරයකු වගේම සොඳුරු මිනිසෙක්. වසර ගණනාවක් ඔහුගේ සෙවණේ ගුරුහරුකම් අවවාද අනුශාසනා ලබමින් දැනුම පුළුල් කරගන්න මට ලොකු වාසනාවක් ලැබුණා.
ඒ අවධියේ එතුමා විසින් රචනා කරන ලද ‘තම්මැන්නා තීරේ’ කියන ප්‍රසිද්ධ ටෙලි නාට්‍යය පේ්රක්ෂකයන් වෙත ගෙන එමින් එහි සම නිෂ්පාදක සහ සහය අධ්‍යක්ෂක වශයෙන් කටයුතු කරන්නත් එහි ප්‍රධාන චරිතයක් නිරූපණයට කරන්නත් මට වටිනා අවස්ථාවක් ලැබුණා.
එය 2006 වසරේදී ප්‍රවීණ රංගන ශිල්පී ශිල්පිනියන්ගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජෝන් ද සිල්වා සමරු රඟහලේදී වේදිකාගත වුණා.
අනතුරුව එතුමාගේ මඟ පෙන්වීම හා හඳුන්වදීම යටතේ වසුදා ටෙලි නාට්‍යයේත්, ජාතික රූපවාහිනිය මඟින් විකාශය වූ ඇඟිලි සලකුණ, ගෞතමී ආදී වැඩසටහන් හා ටෙලි නාට්‍යවලට රංගනයෙන් දායකත්වය දීමට හැකි වුණා.
‘මහවිරු පණ්ඩු’ ටෙලි නාට්‍යය ඔබේ රංගන ජීවිතයේ සුවිශේෂ කඩඉමක්?
ඔව්. 2020 වසරේදී චිත්‍රපට අධ්‍යක්ෂක කලා කීර්ති සනත් අබේසේකර මහතාගේ මුණ ගැසීම සුවිශේෂයි. ඒ හමුවීම ඔස්සේ ඔහු නිර්මාණය කළ, හිරු ටීවි නිෂ්පාදනය කළ ‘මහවිරු පණ්ඩු’ ටෙලි නාට්‍යයේ රංගන ශිල්පියකු ලෙස සම්බන්ධ වීමට වගේම එහි අභරණ ශිල්පියා ලෙස කටයුතු කරන්නත් අවස්ථාවක් ලැබුණා. ඒ සඳහා උපකාර කළ ගයානි කුමාරසිංහ සහ අයෝධ්‍යා ඉඳුවරනි යන දෙදෙනාටත් මගේ ස්තූතිය පුද කළ යුතුයි.
ඉන් අනතුරුව එතුමාගේ තවත් නිර්මාණයක් වූ අසිරිමත් දළදා ගමන ටෙලි නාට්‍යයෙත් රංගනයෙන් සම්බන්ධ වීමට වගේම එහි සහය නිෂ්පාදකවරයකු වශයෙන් කටයුතු කිරීමටත් අවස්ථාව හිමිවුණා.
කලා ලොව ඔබ පැමිණි මහ ආලෝකවත් කළ බොහෝ දෙනෙක් ඉන්න ඇති
ඇත්තෙන්ම මගේ දරුවන්ගේ බිරිඳගේ සිට බොහෝ දෙනෙක් සිටිනවා. මගේ රංගන ජීවිතය ආරම්භ කිරීමට මුල් අවධියේදී රංගනය පිළිබඳ දැනුම දුන් කුමුදුනී හෙට්ටිආරච්චි මහත්මිය මට මුලින්ම මතක් වෙනවා. ඒ වගේම මගෙ කලා අධ්‍යාපනයේ ගුරුපියාණන් පතිරාජ එල්. එස්. දයානන්ද කලාකරුවාණන්. ඒ වගේම අප අතරින් වියෝ වු කේ. ජයසේන (නාට්‍ය මාමා) කේ. විල්මන් පෙරේරා මහතා, එම්. ටියුරින් මහතා, නිමල් කළුගම මහතා ආදීන් මා ගෞරවයෙන් සිහිපත් කරනවා.
ඒ වගේම මේ ගමනේදී මට නිරතුරු සහය වන උදව් උපකාර කරන බොහෝ මිතුරන් සෑම කෙනකුටම මගේ ආදර ස්තූතිය පුද කළ යුතුයි.
එසේම මේ වන විට මා සේවය කරන පැලවත්ත කිරි සමාගමටත් එහි මගේ සහෘදයන් සියලු දෙනාටත්. ඒ ආදරය සමඟ කලා ලොවේ දිගු ගමනක් යන්නයි මම බලාපොරොත්තු වෙන්නේ.
සේයාරූ – නිශ්ශංක විජේරත්න
සමුද්‍රිකා වර්ණකුල