මෙරට සංගීත ක්ෂේත්‍රය තුළ නව ගමනක් සනිටුහන් කළ සංගීතඥයකු වශයෙන් නවරත්න ගමගේ අප කාගේත් සම්භාවනාවට පත් වන්නෙකි. ඔහුගේ නිර්මාණ දිවිය දෙස සුපරික්ෂාකාරිව බැලුව හොත් එහි දක්නට ලැබෙන විවිධත්වය කෙනෙකුට හඳුනා ගත හැකිය. එක් වපසරියකට පමණක් කිසිදා කොටු නොවූ සංගීතඥයකු ලෙසින් නවා ව හඳුනාගැනීම සැබවින්ම යුක්ති යුක්තය. සාමාන්‍ය සරල ගී ගත්තත්, ටෙලිනාට්‍ය ගීත සහ සංගීත අධ්‍යක්ෂණය ගත්තත්, චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය ගත්තත්, ඔපෙරා සිම්පනි, සංධ්වනි ගත්තත් නවා ගේ සංගීත රිද්මය තුළ වන්නාවූ සුවිශේෂී අන්‍යනතාවයක් කෙනකුට හඳුනා ගත හැකිය.
පුරා දශක ගණනාවක් තිස්සේ සප්ත ස්වරයේ ආශ්චර්යය මෙරට ප්‍රේක්ෂක සංගීත ලෝලීන් වෙත සිය නිර්මාණ හරහා විවිධ අයුරින් ප්‍රදානය කළ නවරත්න ගමගේ පසුගියදා සිය සංගිත දිවියේ තවත් සුවිශේෂි කඩ ඉමක් සනිටුහන් කළේය. ඒ පසුගිය අප්‍රේල් 20 සහ 21 යන දෙදින කොළඹ නෙළුම් පොකුණ රඟහලේදි පැවති ‘ නවාගේ ගී – ජධතධභපඵ ධට තධමඥ ප්‍රසංගයයි. ගායක ගායිකාවන් 42ක් පිරිවරා ගනිමින් නවාගේ නිර්මාණ මිහිරියාව විඳීන්නට ප්‍රේක්ෂකයන්ට සැලස්වු ආනන්දනීය රාත්‍රීයක් වූ මෙය එක්තරා අන්දමකට ඔහුගේ නිර්මාණ ජිවිතයේ හරස්කඩක් පිළිඹිඹු කරන්නක් විය.
මින් ඉහත ඔහු මෙවැනි ප්‍රසංග දෙකක් පවත්වා තිබුණද මෙවර ප්‍රසංගය අලුත් ආකාරයේ ඉදිරිපත් කිරිම් රැසකින් සමන්විත වන්නක් විය. මෙවර ප්‍රසංගයේ නිර්මාණ පසුබිම පිළිබඳ අදහස් දක්වමින් නවරත්න ගමගේ පැවසූයේ මෙවැන්නක්.
‘‘පසුගියදා නිමාවට පත්වුණේ මගේ නිර්මාණ ජිවිතයේ මම පවත්වපු තුන්වැනි ප්‍රසංගය. මේ ප්‍රසංගය පවත්වන්නට විශේෂයෙන්ම හේතු වුණේ මගේ මිතුරන් පිරිසක් විසින් කරන ලද ඉල්ලීමක්. මම කාලයක් පුරා නාලන්දා ආදි ශීෂ්‍ය සංගමයත් සමඟ එකතුවී නිර්මාණ කටයුතුවල යෙදී සිටිනවා. ප්‍රසංගමය වශයෙන්, අධ්‍යාපනික වැඩසටහන් වශයෙන් ගීත නිර්මාණ කටයුතුවල මේ අය සමඟ මගේ නිරන්තර ගනුදෙනුවක් තිබෙනවා. ඉතින් මේ කටයුත්තෙදි චමිල- චින්තක -දිනිඳු කියන මිතුරන් මුලින්ම මට යෝජනා කළා අපි ප්‍රසංගයක් කරමු කියලා. ඒ අනුව තමයි මේ ප්‍රසංගය පවත්වන්නට අපි සූදානම් වුණේ. ඒකට අපිත් එක්ක අපේ පරණ මිතුරු කණ්ඩායමත් එකතු වුණා. අමිත්ත වීරසිංහ , උපාලි ආරියසිරි, සරත් සෝමසුන්දර, ආරියවංශ ධම්මගේ, මනුබන්දු විද්‍යාපති , සරච්චන්ද්‍ර වල්පොල, ලාලිත්‍ර පල්ලෙගංගොඩ රේණුක වෙලබඩ, වෛද්‍ය කමල් .පී. පෙරේරා, හේමචන්ද්‍ර ගමගේ ඇතුළු කණ්ඩායම තමයි මේ හැම මෙහෙයුමක්ම සංවිධානය කළේ. ‘‘
අපි මේ සඳහා ගායක ගායිකාවන් 42ක් සහභාගි කර ගත්තා. මේ හැම කෙනෙකුටම මම පෞද්ගලිකව කතා කරාම ඒ කවුරුත් මේ සඳහා සම්බන්ධ වෙන්න එක පයින්ම කැමැති වුණා. මගේ නිර්මාණ ජිවිතයේ මුල් භාගයේ පටන් මේ දක්වා මාත් සමඟ රැඳී සිටින ප්‍රවීණ ආධුනික පිරිස් හැම කෙනෙක්ම මට එක වගේ සහයෝගය දැක්වුවා. ඇත්තටම සංගීතඥයකු වශයෙන් මම හරිම භාග්‍යවන්තයෙක් කියලා මට හිතුණා. මුතුපොටකට මුතු ඇමුණුවා වගේ මේ හැම දෙනෙක්ම මගේ ප්‍රසංගය ලස්සන කළා. ඒ ගැන මට අති විශාල සතුටක් තිබෙනවා.
නවාගේ ගී කලර් ඔෆ් ලව් ප්‍රසංගය ගීතවත් කරන්නට අමරසිරි පිරිස්, සුනිල් එදිරිසිංහ, ටි.එම්. ජයරත්න, කිර්ති පැස්කුවල්, ජගත් වික්‍රමසිංහ, මරියසෙල් ගුණතිලක, සමිතා මුදුන්කොටුව, නිරෝෂා විරාජිනී, ප්‍රදිපා ධර්මදාස, උරේෂා රවිහාරි, අතුල අධිකාරි , කසුන් කල්හාර, රශ්මි සංගීතා, සශිකා නිසංසලා, ඉන්දිකා උපමාලි, කමල් අද්දරආරච්චි, උමාරියා සිංහවංශ, රයිනි චාරුකා, ක්‍රිශාන්ත එරන්දක, දයාන් විතාරණ, ඉන්ද්‍රචාපා ලියනගේ, නදික ගුරුගේ, අමල් පෙරේරා, ඉමාන් පෙරේරා, සමන් ජයනාත් ජිනදාස, කුෂානි සඳරේඛා, අනුරාධා නන්දසිරි, නදික ජයවර්ධන, මලිත් පෙරේරා, මාරියෝ ආනන්ද, ලෙස්ලි තෝමස්, උමාලි තිලකරත්න, අසිත අතපත්තු, අජිත් බණ්ඩාර, සුරේන්ද්‍ර ලෙරේරා, අමිල පෙරේරා, රවින් කණිෂ්ක, සුනීර සුමංග, රවි රොයිස්ටර්, ශානිකා සුමනසේකර, ආදිත්‍යා වැලිවත්ත, හෂේන් දුලංජන යන ගායක ගායිකාවන් සිය දායකත්වය පිරිනමා ඇත.
වර්තමානයේ සංගීත ප්‍රසංගයක් උදෙසා මෙවන් ප්‍රවීණතම, ජනප්‍රියතම ගායක ගායිකාවන් රැසක් එකමිටට එකතු කර ගන්නවා යන කාරණාවද අතිශයින්ම දුර්ලබ දෙයකි. එහෙත් මෙදා නවා ඒ දුර්ලභ අභියෝගය පහසුවෙන් ජයගෙන ඇති වග පැහැදිලි වන කරුණකි. එවන් පිරිසකගේ දායකත්වය ලබන්නට තරම් නවාගේ නිර්මාණ වපසරිය පුළුල් විමත්, විහිදිමත් මෙයට වඩාත්ම හේතු සාධක වන්නකි. මෙවන් පිරිසකගේ ආදරය ලබන්නට , ගෞරවය විඳීන්නට නවාටද ඇත්තේ දුර්ලබ වාසනාවකි. එක්කො එය ඔහු එය උත්පත්තියෙන් ගෙනා වාසනා මහිමයකි. නැතහොත් තම නිර්මාණ ඔස්සේ, දක්ෂතා පෙන්වමින් ගොඩනඟා ගත් දෙයකි.
සැබවින්ම නවාට ඇත්තේ උත්පත්තියෙන්ම රැගෙන එන දක්ෂතාවයකින් යුත් වාසනා ගුණයකි. නවාම සඳහන් කරන ආකාරයට අරමුණකින් තොරව, වෙනත් අරමුණක ආරම්භයක් වෙනුවෙන් සිත වෙහෙසත්දී ලැබුණු අරමුණක් ලෙස කලාවේ නියැළීම ඔහුට උරුම වු බව ඔහු පවසයි. මෙම ප්‍රසංගයේදි එළිදුටු ‘ නවා – ගවේෂණශීලී යුග යාත්‍රිකයා‘ නම් ග්‍රන්ථයට සිය ජිවන වතගොත සටහන් කරමින් ඔහු ඔහුගේ මේ අපූරු ජීවන වත හෙළිදරව් කරයි.
අර්ධ නාගරික ප්‍රදේශයක් වූ දෙල්කඳ -ගංගොඩවිල ප්‍රදේශයේ සාමාන්‍ය, සරල, පවුලක වැඩිමල් දරුවා ලෙසින් උපන් නවරත්න ගමගේ ට සහෝදරයන් තිදෙනෙකි. සහෝදරියන් දෙදෙනෙකි. ශ්‍රී රේවත විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන අවදියේ සිටම සංගීතය කෙරෙහි වූ නවාගේ බැඳීම අද දිනයේ ඔහු ළඟා කරගෙන තිබෙන්නාවූ ජයග්‍රහණයන්ගේ පෙර මඟ සලකුණු ලෙස සැලකිය හැකිය. උසස්පෙළ හැදෑරීම සඳහා සුභද්‍රාරාම පිරිවෙණට ඇතුළු වූ ඔහු තම ජීවිතයට අත්‍යාවශ්‍ය විසල් නැණ නුවණ පෝෂණය කර ගන්නට වූයේ එහිදීය. විවිධ පොත පත පරිහරණය කරමින්, විවිධ යහළු මිත්‍රයන් ඇසුරු කරමින් චිත්‍රපට, නාට්‍ය නරඹමින් ගතකල දිවිය අදටත් ඔහුගේ ජිවිතය එළිය කල විශ්වවිද්‍යාල වැනි බව ඔහු විශ්වාස කරයි.
‘‘මගේ පාසල් මිතුරක් වන රණවන බණ්ඩාර නිසා තමයි ඇත්තටම මම කලාවට පිවිසෙන්නේ ඔහු තමයි මාව මරදානේ පිහිටි ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ සංගීත මංජරියට එක්කරගෙන යන්නේ. ඒ කාලේ මහාචාර්ය සරච්චන්ද්‍රයන් ප්‍රංශයේ ඉඳලා ඇවිත්, නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයේ පන්ති කාමරයක සිංහබාහු නාට්‍ය පුහුණුකිරීම් කරනවා. ඒක බලන්න මාව රැගෙන ගියෙත් ඔහුම තමයි. ඊට පස්සේ මම කොළඹ කොමර්ෂල් ආයතනයට සම්බන්ධ වෙනවා රැකියාවකට. රැකියාවේ නිරත වෙමින් ඉන්න අතරතුර තමයි. මගේ කලා දිවියේ ඉදිරි ඇරඹුම පටන් ගන්නේ.”
ආරම්භයට වැටුණු පදනම ශක්තිමත් එකක් වූයෙන් නවාගේ නිර්මාණ දිවිය ආලෝකමත් වූයේය. අධ්‍යයනය තුළ පමණක්ම පිහිටා නොසිට ඔහු පර්යේෂණයෙන්, සොයා යෑමෙන් තම දැනුම් සම්භාරය වැඩි දියුණු කර ගැනීමටත් , අත්දැකීම් ලබමින් නිර්මාණ කාර්යය නව මානයන් යොමු කර වීමටත් උත්සාහ ගත්තේය. ඒ උත්සාහයන්ගේ ප්‍රතිඵලය නවා අද දිනයේදී භුක්ති විඳීන්නේය.
‘ඇත්තටම මා පිළිබඳ වන ‘නවා – ගවේෂණශීලි සංගීත යුග යාත්‍රිකයා ග්‍රන්ථය සංස්කරණය කලේ මගේ මිත්‍රවරුන් වන මනුබන්දු විද්‍යාපති, ආරියවංශ ධම්මගේ සහ සරත්චන්ද්‍ර වල්පොල විසින්. මේ ග්‍රන්ථයට අලංකාර කවරයක් නිර්මාණය කළේ මාමිත්‍ර වෛද්‍ය කමල් .ඒ. පෙරේරා. මේ ග්‍රන්ථයට රත්නශ්‍රී විජේසිංහ, රනවන බණ්ඩාර, කුමාර ලියනගේ, ජයන්ත චන්ද්‍රසිරි, දීප්ති කුමාර ගුණරත්න, රෝහණ වීරසිංහ, දිලිප අබේසේකර, සුදත් රෝහණ, යසනාත් ධම්මික බණ්ඩාර, රවින්ද්‍ර පතිරණටග්, රෙජිනෝල්ඩ් ජයමාන්න, ප්‍රසන්නජිත් අබේසුරිය, කමල් ඒ. පෙරේරා, මනුබන්දු විද්‍යාපති, කපිලකුමාර කාලිංග, ආරියවංශ ධම්මගේ, සරත්චන්ද්‍ර වල්පොල, අමිත්ත වීරසිංහ, රත්මලේ බන්දුල ගුණවර්ධන, ප්‍රදිපා ධර්මදාස, විජය නන්දන පෙරේරා, මා පිළිබඳ ලිපි රචනා කර තිබෙනවා. මේ හැම දෙයක් දිහාම බැලුවම මට හිතෙනවා මම කොච්චර වැඩ කරලා තියෙනවද කියලා. මේ පොතේ පිටු සැලසුම් සහ මුද්‍රණ අලංකරණයත්, මුද්‍රණයත් කළේ ෆාස්ට් පබ්ලිෂීන් වෙනුවෙන් ප්‍රේම් දිසානායක මහතා.
නවා ගේ සංගීත චාරිකාවේ සුවිශේෂි ගමනක් සිනමාව තුළ පිළිඹිමු වේ. සිනමා නිර්මාණ රාශියක පසුබිම් සංගීත අධ්‍යක්ෂවරයා වශයෙන් ඔහු නොයෙක් අවස්ථාවන්හිදී සම්මානයට පවා පාත්‍ර වී ඇත. මේ අතරින් මගේ මතකය නිවැරැදි නම් සංගීත භාණ්ඩ යොදා නොගෙන කටහඬ පමණක් භාවිතා කොට ඔහු චිත්‍රපටයට සංගීතය නිර්මාණය කළේය. ඒ ඉනෝකා සත්‍යාංගනි අධ්‍යක්ෂණය කළ සුළං කිරිල්ලි චිත්‍රපටයයි. නවා මෙම අභියෝගය එකල බාරගත්තේද පර්යේෂණයක් හැටියට බව මට මතකය. එවන් අභියෝග ගන්නට තරම් නිර්භීත බවක් හැම කල්හිම නවා සතුවීම ඔහුගේ මේ විවිධත්වයෙන් යුතු නිර්මාණ ගොන්නම ඔප්පුකරලයි. එසේම මෑත භාගයේ නවා විසින් සංගිත අධ්‍යක්ෂණය කරන ලද ජයන්ත චන්ද්‍රසිරි ගේ ‘මිදුණු විශ්වය’ චිත්‍රපටයද ඔහුගේ සංගීත භාවිතාවේ අරුමය පෙන්වා දෙන්නට හොඳම උදාහරණයක්ය. මේ ආකාරයෙන් ම ඔහු උදයකාන්ත වර්ණසුරිය ගේ ‘මධුර චාරිකා’, දේවින්ද කෝන්ගහගේ ගේ ‘භවතරණ’ , නිලන්ත හපන්වීර ගේ ‘තේජා’, චන්න පෙරේරාගේ ‘පුංචි වීරයෝ, ජයප්‍රකාශ් සිවගුරුනාදන් ගේ ‘කිං හන්තර්’ , අනුරුද්ධ ජයසිංහගේ ‘ ධවල දුවිලි’, සෙනේෂ් බණ්ඩාර දිසානායකගේ ‘ආදරණීය වස්සානය’, මහාචාර්ය සුනිල් ආරියරත්නගේ ‘උප්පලවණ්ණා’ , සුමිත්‍රා පිරිස් ගේ ‘යහළුවෝ’, කැලුම් පාලිත මහිරත්න ගේ ‘නිලම්බරේ’, චන්ද්‍රරත්න මාපිටිගමගෙ ‘හෙලළඟ, ඉමක පෙම, සුදත් රෝහණ ගේ ‘සුදු කළුවර, ඇතුළු චිත්‍රපට ගණනාවක සංගීත අධ්‍යක්ෂවරයාය.
මේ හැරුණු කොට ඔහුගේ සංගීත දිවිය රසවත් කළ සුවිසල් නාට්‍ය ලෝකයක් විය. වේදිකා නාට්‍ය සංගීත ලෝකයේ නවරත්න ගමගේ ගේ තැන විග්‍රහ කරන්නට අපට හැකියාවක් නැත්තේ ඒ තරමටම ඔහු වේදිකා නාට්‍ය සංගීත අධ්‍යක්ෂණය තුළ ඇසු පිරු තැන් ඇත්තෙක් වී සිටිමය. ආර්. ආර්. සමරකෝන්, ජයලත් මනෝරත්න, ඩග්ලස් සිරිවර්ධන, කපිල කුමාර කාලිංග, ඊ.එම්. ඩි උපාලි, බුද්ධික දමයන්ත, ධර්මජිත් පුනර්ජීව වැන්නන් ඇතුළුව මෙරට ප්‍රවීණතම නාට්‍යවේදින් රාශියකගේ වේදිකා නිර්මාණයන්හි සංගීතඥයා වූයේ ඔහුය. ටෙලිනාට්‍ය සංගීත නිර්මාණය පිළිබඳ ඔහුට උදාහරණ දෙන්නට නම් අපට මේ පත් ඉරු ප්‍රමාණවත් නොවේ. ඒ තරම්ම නිර්මාණ සමුහයක් ඔහු මෙරට ටෙලිනාට්‍යය කලාවට දායාද කර ඇත. වේදිකා නාට්‍ය, චිත්‍රපට, ටෙලිනාට්‍ය නිර්මාණ කටයුතු වලින් එහා ගිය සංගීත නිර්මාණයන්හි නියැළෙන්නට නිරන්තරයෙන් උනන්දුවන ඔහු අතින් සංධ්වනි ත්‍රිත්වයක්ද නිර්මාණය වී ඇත. බුදුන් දැකීම- එක්සත් ජාතින්ගේ සංගමය, පනාමුර කුංචනාද, ධම්ම- ශී‍්‍ර ලංකා බෞද්ධ සම්මේලනය එම සංධ්වනි ත්‍රිත්වයයි. මේ අතුරින් පනාමුර කුංචනාදය එවකට කාගේත් කතා බහට ලක්වු නිර්මාණයක් වූයේය.
සේයාරූ – නිශ්ශංක විජේරත්න
හේමාලි විජේරත්න