ලාංකේය සාහිත්‍ය ක්ෂේත්රය තුළ වර්තමානයේ සිටින ලේඛිකාවක ලෙස නර්මදා රංගොඩගේ කැපී පෙනෙන්නකි. ඇය විසින් කුලුඳුලේම රචනා කළ ‘බාඳුරා’ නවකතාව ලංකාවෙි පාඨකයන් තදින් වැළඳගත් කෘතියකි. ඇය විසින් රචිත ‘අග රැජින’, ‘පරිචාරිකා’, ‘උතාරා’ සහ ‘සාෂා’ නවකතා පෙළ පාඨකයන් අතර බෙහෙවින් ජනප්‍රිය විය. ලේඛිකාවක වන නර්මදා රංගොඩගේ තම ලේඛක දිවිය පිළිබඳ කථා කිරීමෙි අරමුණින් සරසවිය හා මෙසේ එක්වීය.
නර්මදාට ලිවීමෙි ආශාව මුලින්ම ඇති වෙන්නේ කොහොමද?
මම ඇත්තටම ලියන්න කලින් කියවන්න පුරුදු වෙච්ච කෙනෙක්. ඒ පුරුද්ද මට ඇතිවුණේ මගේ ගෙදර පරිසරය ඇතුළෙන්මයි. මට මතකයි, පුංචි කාලේ අපේ අම්මා යශෝධරාවත, සුභාෂිතය, ලෝවැඩ සඟරාව වගේ කවි අපිට ඇහෙන්න ගේ ඇතුළේ ගායනා කරනවා. ඒ වගේම විදුහල්පතිවරයෙක් වුණු මගේ තාත්තා, හැම සිකුරාදා දවසකම පාසල් පුස්තකාලයෙන් මටත් අනෙක් සහෝදර සහෝදරියන්ටත් කියවන්න එක්කෙනාට එක පොතක් බැගින් ගේනවා. ඒ ගේන පොත් අපි හුවමාරු කරගෙන කියවනකොට සතියට පොත් දෙක තුනක් කියවනවාමයි. එතනින් ඇති වුණ කියවීමේ හුරුව නිසා අදටත් මම සෑහෙන්න පොතපත කියවනවා. ලිවීම ගැන කිව්වොත් පාසල් යන කාලයේ මගේ පුරුද්දක් තිබුණා, එක්සයිස් පොත්වල පොඩි පොඩි කතා ලියලා පන්තියේ යාළුවන්ට කියවන්න කියලා දෙන. මගේ පළවෙනි පාඨක පිරිස බිහිවුණේ මගේ පාසල ඇතුළෙන්. මුලින්ම මගේ ලිවීමේ ආශාව ඇති කළේ ඒ මගේ පාසලේ මිතුරියන්. ඊටපස්සෙ ෆේස්බුක් සමාජ ජාලය ඔස්සේ අඳුනගත්තු මගේ පාඨකයෝ.
ඔබ රචනා කරපු පළමු නවකතාව විදියට, ‘බාඳුරා” ලියවෙන්නේ කොහොමද? මොකක්ද ඊට පසුබිම වුණේ?
මාතර නගරයෙනුත් කිලෝමීටර් ගණනාවක් ඇතුළේ තියෙන හක්මන කියන ප්‍රදේශයේ ඉඳලා, රැකියාවක් සඳහා පළමුවෙන්ම කොළඹ ආපු මට, කොළඹ නගරය පෙනුණේ ඉතාම වෙනස් ආගන්තුක පරිසරයක් විදිහට. රැකියාවෙන් පසු ලැබෙන අමතර විවේක කාලයේ දි, ඇහැට දකින දේවල් සහ මගේ කාර්යාලීය පරිසරය ඇතුළේ දකින දේවල් එකතු කරගෙන මට හිතුණා යම්කිසි කතාවක් ගොඩනගන්න. මේ වෙනකොට ෆේස්බුක් අවකාශයේ කතා අරණ නමැති නවකතා ලියන්නන්ගේ සහ කියවන්නන්ගේ සමූහයක් තිබුණා. මම මට හිතෙන දේවල් එක්ක චරිත කිහිපයක් ගොඩනඟලා පළමුවෙනි කොටස් පහක් විතර ෆේස්බුක් අවකාශයට එකතු කරනකොට මට අති විශාල පාඨක ප්‍රතිචාර ප්‍රමාණයක් හම්බවුණා. ඊට පස්සේ මම බාඳුරා නවකතාව කොටස් 160ක් දක්වා දීර්ඝ වශයෙන් ෆේස්බුක් අවකාශයේ රචනා කළා. මේ කතාවේ පළමු කොටස් සියය වගේ පහුවෙනකොට, කතාව කියවන පාඨකයන්ගෙන්ම මේ කතාව නවකතාවක් වශයෙන් මුද්‍රණය කරන්න කියලා නිරන්තරයෙන් ඉල්ලීම් ලැබෙන්න පටන්ගත්තා. ඒ අනුව තමයි බාඳුරා නවකතාව 2021 අවුරුද්දේදී මුද්‍රණය වෙන්නේ.
නර්මදා මෙි වසරේ ලියපු ‘පරිචාරිකා’ නවකතාව මිනිස් ජීවිතය පිළිබඳ සියුමි විවරණයක්. පරිචාරිකා හරහා ඔබ කියන්නට උත්සාහ දරන්නේ මොකක්ද? ඊට ලැබෙන ප්‍රවේශය කොහොමද?
පරිචාරිකා නවකතාව රචනා වෙන්නේ ඇත්තටම මම අප්සරාවන්ගේ දේශය හෙවත් සුන්දර කාම්බෝජයේ ජීවත් වෙච්ච කාලයේ ලබපු අත්දැකීම් ඇසුරෙන්. 90%කට වඩා බෞද්ධයන් ජීවත්වෙන ඒ රටේ දී මට මුණ ගැහුණු චරිත කිහිපයක් එකතු කරගෙන, ඒ රටට පැමිණෙන ශ්‍රී ලාංකික තරුණ යුවලකගේ ජීවිත අත්දැකීම් මේ කතාව හරහා සාකච්ඡා වෙනවා. ඒ යුවලට ලංකාවෙන් පිටව යන්නට හේතු වුණු කරුණු වගේම, කාම්බෝජියාවේ ප්නොම් – පෙන්හ් අග නගරය ඇතුළත ඔවුන්ට ගතකරන්න සිදුවෙන ජීවිතයත් මේ කතාව ඇතුළේදී පැහැදිලි කරනවා. ඊට අමතරව මේ කතාවේ කතා නායිකාවට කාම්බෝජියාවේ රාත්‍රී සමාජ ශාලාවක සේවය කරන ලින්ඩා නමැති කාන්තාවක් මුණහැහෙනවා. ඇය ඇසුරින්, වර්තමානයේ නවීන තාක්ෂණය ඔස්සෙන් තමන්ගේ ශරීරයේ හැඩය සකස් කරගෙන, රාත්‍රී සමාජ ශාලාවල සේවය කරමින් ඉහළ ධනයක් උපයන විදේශ රටවල්වල ජීවත් වන “ඉහළ මුදලක් ගෙවා ලබාගත යුතු ගණිකාවන්” පිළිබඳවත් මේ නිර්මාණයට මා එකතු කර තිබෙනවා.
ඔබ ලේඛිකාවක් විදියට ලංකාවෙි නූතන සාහිත්‍ය සහ පාඨකයා පිළිබඳ තියෙන අදහස මොකක්ද?
ඇත්තටම අතීතයට සාපේක්ෂව වර්තමානයේ නව තාක්ෂණයත් එක්ක සාහිත්‍ය වගේම පාඨකයා විශාල ඉදිරි ගමනකට එකතු වෙලා තියෙනවා කියන එකයි මගේ හැඟීම. උදාහරණයක් විදියට අපි නවකතාව ගත්තොත්, අතීත නවකතා පොතක් අතට ගත්තට පස්සේ අපි ඒකේ ලේඛකයා පිළිබඳ දකින්නේ පසු කවරේ තියෙන පුංචි ඡායාරූපයෙන් විතරයි. අතීතයේ හිටපු ලේඛකයෙකුට තමන්ගේ නවකතාව සම්බන්ධයෙන් ලැබෙන විචාර මෙන්ම විවේචන කියන දෙකම ලැබෙන්නේ ලිපි මාර්ගයෙන්. නමුත් අද බොහෝ ලේඛක ලේඛිකාවන් ෆේස්බුක් වැනි සමාජ ජාලා හරහා පාඨකයන් සමඟ සම්බන්ධ වෙනවා. අදාළ ලේඛකයාගේ අලුත් නිර්මාණ මොනවද සහ ඒ නිර්මාණ කියවපු අයට සෘජුවම ලේඛකයාට ප්‍රතිචාර ලබා දෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා. අනිත් අතට අලුතින් සාහිත්‍ය ක්ෂේත්රයට එකතු වෙන අයට තාක්ෂණය නිසා තමන්ගේ නිර්මාණ ඉදිරිපත් කරන්න හොඳ වේදිකාවක් ඉදිවෙලා තියෙනවා. මේක ලංකාවට පමණක් නොවෙයි මුළු ලෝකයටම පොදු තත්ත්වයක්. ඉතින් සෑම ක්ෂේත්රයක්ම තාක්ෂණයත් එක්ක ඉදිරියට ගමන් කරන මේ කාලයේ, සාහිත්‍ය සහ පාඨකයා කියන අංශ දෙකටත් ජංගම දුරකථන භාවිතය, අන්තර්ජාලයේ නොයෙකුත් සාහිත්‍යමය කරුණු සහිත වෙබ් අඩවි, රධභබභඡඥ මඪඤඥධ නාලිකා වගේ දේවල් වල බලපෑම ලැබෙන එක හොඳ සාධනීය කාරණයක් විදියට මම දකිනවා.
ඔබ වඩාත් ප්‍රිය කරන කෘති මොනවද කියලා මම ඇහුවොත්?
ඕනම කෙනෙකුට කියවන්න ලැබෙන කෘතිවල විවිධ ප්රවර්ගයන් තියෙනවනේ. නවකතා, කෙටිකතා, පරිවර්තන, පර්යේෂණ ග්රන්ථ වගේ. මේවා අතරින් මම ගොඩක් දුරට ප්‍රිය කරන්නෙ ස්වතන්ත්‍ර නවකතා කියවන්න. නම් වශයෙන් ප්‍රිය කරන කෘති වෙනම සඳහන් කරනවාට වඩා ඒ ගැන මගේ තියෙන සමස්ත අදහස කිව්වොත්, සාමාන්‍යයෙන් මම මට ලැබෙන කාලය අනුව අතට අහුවෙන ඕනම පොතක් කියවනවා. ඒ කියන්නේ අර පොඩි කාලේ ගෙදරට සීනි එහෙම නැත්නම් පාන් රාත්තල ඔතාගෙන ආපු පත්තර කඩදාසිය පවා කියවන්න පුරුදු වෙච්ච පුරුද්ද තාම තියනවා. නවකතාවක් කියවන හැම අවස්ථාවකම ඒක මට දැනෙන්නේ චාරිකාවක් යනවා වෙනම ලෝකයක ජීවත් වෙනවා වගේ හැඟීමක්. වඩාත්ම ප්‍රිය කරන්නේ ස්වතන්ත්‍ර නවකතා කියන එකෙන් අදහස් වෙන්නේ මම අනෙකුත් ශානරයන්ට අයිති පොත් කියවන්නේ නෑ කියන එක නෙමෙයි. නමුත් පොත් පිළිබඳ තෝරාගැනීමක් කරනකොට මා කැමති ලේඛක ලේඛිකාවන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. ඒ අයගේ පොත්වලට ප්‍රමුඛස්ථානය ලබා දෙන ගමන්, නව පරපුරේ අයගෙත් පොත් කියවනවා.
නර්මදාගේ සාමාන්‍යයෙන් එදිනෙදා ලිවීම කියන කර්තව්‍යය සිද්ධවෙන්නේ කොහොමද? ලියන කාලෙට හැසිරීම මොනවගේද?
මම දිනපතා ලියන කෙනෙක් නෙමෙයි. මම ලියන්නේ මට ලියන්න ඕන කියලා හිතෙන වෙලාවට. සමහරවිට අවුරුද්දක් දෙකක් යනකන් ලියන්න හිතෙන්නේ නැති වෙන්න පුළුවන්. මම එහෙම කිසිම දෙයක් ලියන්නේ නැතුව, ලියන්නේ මොනවද කියලා හිතාගන්න බැරුව, කිසිම දෙයක් හිතට එන්නේ නැතුව අවුරුදු දෙකක් විතර කාලයක් එක දිගට නිශ්ශබ්ද වෙලාම හිටියා. නමුත් ලියන්න ගත්තොත් එක දිගට ලියනවා. ඒ වගේ ලියන්න හිතෙන වෙලාවක් ආවට පස්සේ මම ලියන නිර්මාණය ඇතුළේ මම ජීවත් වෙන්න පටන් ගන්නවා. චිත්‍රපටියක් වගේ කතාවේ අවස්ථා සිදුවීම් මගේ මනසේ මැවෙන්න පටන් ගන්නවා. එතකොට ඒක මුල ඉඳලා චරිත ගොඩනඟලා අවසානයක් දක්වා ගෙන යන තෙක්, මම ඉන්නෙ කතාව ඇතුළේ. ප්‍රශ්නයට අනුව ලියන කාලෙට හැසිරීම කොහොමද කියන කාරණයට උත්තරයක් දුන්නොත්, ඒ වගේ ගැඹුරින් හිතලා ලියාගෙන යන සමහර වෙලාවල් වලදී මට මගේ අවට තියෙන අනෙක් කිසිම දෙයක් වැදගත් වෙන්නේ නෑ. ලේඛිකාවක් විදිහට පෞද්ගලිකව මම හිතන දෙයක් තමයි, මම ලියන දේකින් පළමුවෙන් මට තෘප්තිමත් වෙන්න හැකිවෙන්න ඕන. මා අතින් ලියවෙන දෙයකින් මට තෘප්තිමත් වෙන්න බැරි නම්, ඒක දහ වතාවක් හරි සංශෝධනය කරලා නැවත නැවත ලියනවා මිසක් මම ඒක පාඨකයාට එහෙම ඉදිරිපත් කරන්නේ නෑ.
ලංකාවෙි කවිය, කෙටිකතාව, නවකතාව කියවන පාඨකයා සමිබන්ධයෙන් සමහරුන්ගේ අදහස් තියෙන්නේ එතරමි සුබවාදී තැනක නෙමෙයි. සබුද්ධික කියවීමක් නෑ. විශ්ලේෂණාත්මක කියවීමක් නෑ කියන එක තමා විවෙිචනය. ඔබෙි අදහස මොකක්ද මෙි ගැන?
මම නම් හිතන්නේ පාඨකයා කියන කුලකය ඇතුළත හැම වර්ගයටම අයිති අය ජීවත් වෙන්න ඕන. ඒකේ විදග්ධ ප්රබුද්ධ ප්‍රජාව වගේම ඉතාම සාමාන්‍ය කියවීමක් තිබෙන පුද්ගලයන් පවා ඉන්න ඕන. එක එක්කෙනාගේ කියවීම් එක එක ආකාරයි. එකම නිර්මාණයක, පාඨකයො දහ දෙනෙක්ගෙ කියවීම ගත්තොත්, ඒ දහ දෙනා අල්ලගන්නේ එකිනෙකට වෙනස් තැන්වලින්. පාඨකයන් කියන්නේ විවිධ දැනුම් මට්ටම්වලින් සමන්විත විවිධ ජීවිත අත්දැකීම් තියෙන පුද්ගලයන්ට. එතකොට සබුද්ධික සහ විශ්ලේෂණාත්මක කියවීම් හැම කෙනෙක්ගෙන්ම එකම ආකාරයකට බලාපොරොත්තු වෙන්න බෑ. මිනිස්සු නොකියවාම ඉන්නවට වඩා හොඳයි මොනවාම හරි දෙයක් කියවන එක කියලයි මම හිතන්නේ.
ඔබගේ නවකතා සියල්ලම වගේ ස්ත්‍රීය පිළිබඳ ගැඹුරු නිරික්ෂණයකින් ලියවුණු ඒවා. ඔබ ස්ත්‍රිය සමිබන්ධ මෙතරමි ලාලසාවකින් රචනා කරන්නේ ඇයි?
ඒකට ප්‍රධාන හේතුව මමත් කාන්තාවක් වීම වෙන්න ඇති. මගේ නවකතා නිර්මාණවලට මම බොහෝ දුරට පාදක කරගන්නේ මානව හැඟම්. එතන දී අදාළ චරිතය ස්ත්‍රියක් ද පුරුෂයෙක් ද කියන එකට වඩා මම සෑම චරිතයකටම නිර්මාණය ඔස්සේ උපරිම සාධාරණයක් ඉෂ්ට කරන්නයි උත්සාහ කරන්නේ. නමුත් ඔය මාතෘකාවේදී ගොඩක් දෙනෙක් මගේ පොත් ගැන ‘කාන්තාවන් පිළිබඳ වැඩිපුර’ ලියවුණු පොත් කියල හිතන්නේ මම පොත්වලට දාලා තියන නම් නිසා. නමුත් ඒ කතා සියල්ලම ඇතුළේ පිරිමි චරිත පිළිබඳත් ඔවුන්ගේ හැඟීම් පිළිබඳත් වෙනමම සියුම් ලෙස සාකච්ඡාවට ගෙනෙනවා. අනෙක් අතට මම ස්ත්‍රීන් පිළිබඳ විස්තර සහිතව ලියන්න පෞද්ගලිකව කැමතියි. මොකද කාන්තාව කියන්නේ ජලය වගේ තැනැත්තියක්. ඇය තමන්ට ලැබෙන ජීවිත අත්දැකීම් ඇසුරින් වෙලාවකට අයිස් කන්දක් වගේ ගනකම් වෙනවා. මහා නැව් පවා ඒ අයිස් කන්දේ හැපුණොත් ගිලෙනවා. අනිත් අතට ඒ කාන්තාවම ඇතැම්විට ගංගා ජලය මෙන් නිදහසේ ගලා යනවා. කිසිම ගඟක් තමා ඉදිරියට එන බාධකයක් නිසා නතර වෙන්නේ නෑ මුහුද සොයාගෙන යනවා මිසක්. බොහෝ කාන්තාවන් සතුව ඒ ධෛර්යය තියෙනවා. ඒ නිසා මම ඔවුන් ගැන ලියන්න කැමතියි.
නර්මදාගේ කෘති රචනා කිරීම, භාෂාව හැසිරවීම ඔබටම ආවේණික වුණු එකක්. ඔබේ සාහිත්‍යමය කටයුතුවලට බලපාන ලද පුද්ගලයන් හෝ සාහිත්‍ය කෘති මොනවාද?
මගේ නවකතාවලදී මම උත්සාහ කරනවා කතාවෙන් කතාවට පාවිච්චි කරන භාෂා රටාව වෙනස් කරන්න. උදාහරණයක් විදිහට අග රැජින නවකතාවේ තියෙන්නේ පුරාතන සිංහල භාෂාවට ඉතාමත් සමීප පැරණි භාෂා රටාවක්. නමුත් සාෂා කියන පොත ගත්තොත් ඒකෙ තියෙන්නේ මේ වර්තමාන සමාජයේ නවීනතම තරුණ පරම්පරාවේ භාවිත වෙන වචන. අනෙකුත් නවකතාවල තියෙන්නේ සාමාන්‍යයෙන් ඕනෑම නවකතාවකදී හම්බවෙන සරල සහ පහසුවෙන් අවබෝධ කරගත හැකි භාෂා රටාවක්. ඉතාම කුඩා කාලයේ කියවපු පන්සිය පනස් ජාතක පොතේ ඉඳලා, ඊට පස්සේ කියවපු බොහෝ කෘතිවලින් මගේ සාහිත්‍යමය කෘතිවලට වක්රාකාර බලපෑම් සිද්ධ වෙන්න ඇති. උදාහරණයක් විදිහට කිව්වොත් මගේ ප්‍රියතම ලේඛක ලේඛිකාවන්ගේ ලැයිස්තුවේ ඉන්න එක ප්‍රධාන චරිතයක් තමයි ප්‍රවීණ ලේඛිකා සුනේත්‍රා රාජකරුණානායක මහත්මිය. එතුමියගේ නවකතා නිර්මාණවලත් භාෂා රටාව පවා එකිනෙකට වෙනස් වෙන අවස්ථා ඕන තරම් තිබෙනවා. එතුමිය විසින් මෙතෙක් ලියපු සෑම නවකතාවක්ම පාහේ මම කියවලා තියෙනවා. ඒ වගේ, මම කියවන අනෙකුත් නවකතාවලින් ලැබුණු භාෂා රටාවන් මගේ කෘතිවල භාෂා හැසිරීම කෙරේ බලපාන්න ඇති.
ඔබ සාහිත්‍ය කටයුතු සිදු කරන්නේ ආත්ම තෘප්තියටද? එහෙමත් නැත්නමි වෘත්තියක් විදියට ද කියලා ඇහුවොත්?
මේකට දිය හැකි පැහැදිලිම පිළිතුර ආත්ම තෘප්තිය සඳහා. මම ලියන්නේ මගේ සතුට වෙනුවෙන්. මම හිතන විදිහට ලේඛකයෙක් කරන්න ඕනෙ තමන්ගෙ හිතට නැගෙන හැම සිතුවිල්ලක්ම මුද්‍රණය කරලා පාඨකයාට ලබා දෙන එක නෙමෙයි. තමන් ලියන්නෙ මොකක්ද, ලියන්නෙ කා වෙනුවෙන්ද කියන වගකීමක් ලේඛකයාට තියනවා. ලංකාව වගේ අඩු ආදායම් ලැබෙන රටක ප්‍රකාශන ආයතනයක් හරහා ප්‍රසිද්ධ කරන පොතකින් ලැබෙන සම්මත 10%ක කර්තෘ භාගය කියන මුදල, වෘත්තියක් විදියට ලේඛනයම කරගෙන ඉන්න කෙනෙකුට ජීවත්වෙන්න ප්‍රමාණවත් නැහැ. මොකද අපේ රටේ ගොඩක් වෙලාවට ලේඛකයෙක් එක අවුරුද්දට ලියන්නේ එක පොතක් හෝ දෙකක් වගේ. විදේශ රටවල නම් වෘත්තියමය ලේඛකයෝ කියන්නෙ ධනවත් අය. අපේ රටේ වෘත්තියක් විදියට ලේඛනය පමණක්ම කරගෙන යන කෙනෙකුට ඒකෙන් විතරක් ජීවත් වෙන්න ටිකක් අමාරුයි මං හිතන්නේ.
ළග ළගම එන සාහිත්‍ය මාසය වෙනුවෙන් නර්මදාගේ සූදානම කොහොමද? අලුතින් නිකුත් වන කෘති මොනවද?
මම සාමාන්‍යයෙන් සාහිත්‍ය මාසය ඉලක්ක කරගෙනම ලියන කෙනෙක් නෙමෙයි. නමුත් සාහිත්‍ය මාසය සැප්තැම්බර් එනවා කියන එක මගේ ලිවීමට උත්තේජනයක්. ඒ කිව්වේ, එතකොට මට ඉලක්කයක් තියෙනවා සැප්තැම්බර් වෙද්දි මම මේ ලියන නිර්මාණය සාර්ථක අවසානයක් කරා ගෙනියන්න ඕන කියන එක. 2024 අවුරුද්දෙ සාහිත්‍ය මාසය වෙනුවෙන් දැනට නීලෝත්පලා සහ ලියතඹර නමින් කෘති දෙකක් නිකුත් වෙලා තියෙනවා.
ඉමල්ක විතානගේ