“මම මාව සෙව්වා…නොනැවතී සෙව්වා. අන්තිමේ මට මාව හමුවුණා ”
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ විශේෂ ශ්‍රේණියේ නිවේදක වසන්ත රෝහණ.
ඔහුගේ භාෂා ආඛ්‍යානය සේම ඒ කටහඬෙහි ලැගුම්ගත් හෘදයාංගම කතාලතාව ගුවන් විදුලි ශ්‍රාවක යුගසවන්පත් අතර තවත් බොහෝ කලකට ඈත් මෑත්ව නොයනු ඇතැයි හැඟෙන තරමට ආශක්තව දැනෙයි..
” මං නිවේදකයකු නොවුණා නම් එහෙනම් මම ගුරුවරයෙක්…”
අපේ සොඳුරු කතා නායක තෙමේ මා සමීපයේම අසුනකට බරදී පසුවන්නේය…මීට කෙටි වේලාවකට පෙර ගුවන් විදුලියේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මැදිරියේ සිට වෙළඳ සේවය, ස්වදේශීය සේවය හා සිටි එෆ්.එම් විකාශන ත්‍රිත්වය ඔස්සේ ‘රසකලස ” තුළින් මුදාහළ දෙස් විදෙස් තතු, සාහිත්‍යය, පාරිසරික විත්ති ආදී රට දැනුම්වත් කැරෙන කරුණුකාරණා මයික්‍රෆ්‍රෝනය හමුවේ ශ්‍රාවකයාට මනාසේ ගළපාලන අයුරු බලාහුන් මට හැඟුණේ ඔහු සන්තකයේ නිදන් වූ අපූර්වතම රසබස්වහරය. හැම යෙදුමකම සිතන්නට යමක් ඉතිරි වෙයි.
ගම්පහ, යාගොඩ ව්‍යාපාරිකයකු වූ මුනිදාස ජයසිංහ සහ ගර්ලින් පෙරේරා මවුපියනට හිමි දරු තිදෙනාගෙන් දෙවැන්නා වන්නේ මේ අපේ ආදරණිය කතා නායකයාය.
ගුවන් විදුලිය අසන්නාට මෙන්ම බොහෝ සංදර්ශන ප්‍රසංග වේදිකා මත්තේ ඈතට වුව පැහැදිලිව පෙනෙනා තරමේ රූපකායෙන් පිරිපුන් ඔහු ගුවන් විදුලියේ විශේෂ ශ්‍රේණියේ නිවේදක ශිල්පී වසන්ත රෝහණයන්ය.. නොඑසේනම් පනාවල මුදියන්සේලාගේ වසන්ත රෝහණ ජයසිංහය..
ගම්පහ, යාගොඩ ස්වර්ණපාලී විද්‍යාලයෙන් ඉගෙනුමට පිවිසි ඔහු පාසල්වියෙහිදී වඩාත් සපන්කම් පෑයේ ගණිත විෂයයෙනි.
රටක් වසඟකළ රසාලිප්ත පෞරුෂත්වයකින් පිරි ඒ හඬ සිරිත දැන් මට ඇසේ.
” මම ඉතිං උසස් පෙළ එහෙම කරලා ආර්ථික ප්‍රශ්නත් තිබුණ නිසා දරුවන් ට ගණිතය ටියුෂන් දුන්නා…මෙන්න මේ අතරෙදි තමයි මම හොඳීන් දැනගෙන හිටිය චන්ද්‍රා ප්‍රනාන්දු දොස්තර මහත්මයා ළඟට බෙහෙත් ගන්න යන්න සිද්ධ වුණේ..එතුමා ඉතිං ඒ කාලෙ ගම්පහ මහ පෙරළිකාරයෙක්..ඒ වගේම සටන්කාමියෙක්..නමුත් එතුමා දක්ෂ වෛද්‍යවරයෙක්..”
අපේ වසන්ත රෝහණයන් මේ කියන්නේ රෝහණ විජේවීරයන්ගේ බිරිඳගේ සහෝදරයා ගැනය. වෛද්‍ය චන්ද්‍රා ප්‍රනාන්දු ඔහුගේ කටහඬ පිළිබඳව ඇගැයුමක යෙදෙමින් එකහෙළාම කියාසිටියේ නිවේදකයකු වන්නට තරම් සුදුසු වටිනා කටහඬකට උරුමකම් ඇති බවකි.
” ඒ දොස්තර මහත්තයගෙ එදා කීව ඒ කතාව ගැන නම් මට ලොකු උනන්දුවක් ඇතිවුණා..”
” මම ඉතිං ඒ කාලෙ ඔය සංදර්ශන ප්‍රසංග වේදිකාවල නිවේදක කටයුත්තත් කරනවා..”
අපේ ආදරණිය වසන්ත රෝහණයන් අසුනේ තවත් හරිබරි ගැසෙමින් අව්‍යාජ සිනහවෙන් මුව සරසා ගන්නේය.
මාධ්‍ය ක්ෂෙත්‍රයේ ප්‍රකට සීලරත්න සෙනරත් මහතාගේ පණිවුඩයක් රැගෙන පැමිණි සමන් පතිරණ නමැති තරුණයා ඔහු ඉදිරියේ පෙනී සිටියේ දිනමිණ පුවත්පතක්ද අතැතිවය. ලද පණිවුඩයෙන් කියැවුණේ ගුවන් විදුලියේ නිවේදක ශිල්පීන් බඳවා ගන්නා බවට පුවත්පතේ දැන්වීමක් ඇති බවත් වහා ඊට ඉදිරිපත් වන ලෙසටය.
” ඒ 1987 ..හඩ්සන් සමරසිංහ මහත්තයා හිටියේ. මගෙ හැකියාවන් මගෙ කටහඬ පරීක්ෂණයට බඳුන් කළේ අපේ තිලකා රණසිංහ මහත්මියයි. එතුමිය ආදරයෙන් මට හැමදේම කියල දුන්නා. එතුමිය මාව කලබල කෙරෙව්වා නම් මේ විදිහට මට ගුවන් විදුලිය ඇතුළට එන්න ලැබෙන්නෙ නැහැ.. ඕන්න ඔහොමයි වසන්ත රෝහණ කියන මම ගුවන් විදුලියට සම්බන්ධ වුනේ..”
පෙරවරුවේ අරුණ කිරණ..අසන්නන්ගේ ඉල්ලීම්, ආදි තවත් ශ්‍රාවකයාට නැවුම් දවසකට ඇවැසි දිරිය, සවිය, තවත් විදිහකින් කිවහොත් ශ්‍රාවකයාට ඇවැසි ගැම්ම ලබාදෙන්නේ එම වැඩසටහන් තුළිනි. අසුභ සිතිවිලි මාත්‍රයකුදු එහි නැති. නැවුම් තතු කෙරෙන් ශ්‍රාවකයා පිබිද එයි.
” අපේ ගුවන් විදුලියෙ තවමත් අරුණ කිරණ වැඩසටහන තියෙනවා..”
අපේ වසන්ත රෝහණ කියන්නේය.
” මගෙ වැඩිමහල් සහෝදරයා සරත් ජයසිංහ. එයා ස්වාධීන රූපවාහිනියෙ කැමරා ශිල්පියෙක් හැටියට හිටියා..සහෝදරිය ප්‍රශාන්ති විශ්‍රාමිකයි.එතකොට මගෙ නංගි රේණුකා..ඇය පුවත්පත් කිහිපයකම කටයුතු කළා..ඇය ග්‍රන්ථ කතුවරියක්. ”
ආගිය කතා සිරිතේ එක් තැනකදී එසේ කී හෙතෙම මා විමසූ කරුණකදී කීවේ මේ ටිකය.
“ඔව්..අමල්..අභියෝග ආවෙ මේ ඇතුළතින් නම් නෙවි.. බාහිරින්. පවතින රජය කුමක් වුවත් ජනතා ඡන්දයෙන් තේරී පත්වූ රජයකට අප පක්ෂපාතී විය යුතුයි. එම රජයේ වැඩ පිළිවෙළ රැකගැනීම අප කළයුත්තක්..එයයි වැදගත්. ඉහළ පුටු පෙරළුණා.. අපේ වැඩ කොටස අප කරගෙන යනවා…මේක දේශපාලන මඩගොහොරු බවට පත්වු අවස්ථාද නැත්තෙ නැහැ. කා තුළත් විවිධ මත තිබෙන්නට පුළුවන්..ඇත්තම කියනවානම් මම කිසිම වෘත්තිය සමිති ව්‍යාපාරයකට සම්බන්ධ කෙනෙක් නෙවි. නිවැරදි තැනදි නිවැරදි දේට අප අත ඔසවනවා..”
හෙතෙම තිරහඬින් කියන්නේය.
මඳ වේලාවක් නිහඩවම පසුවූ අපේ සහෘදයාණෝ මේසය මත තම දෑඟිලි තරයේ බැඳ එදෙස බලා ගැඹුරු සුසුමක් හෙළූහ.
” හිතට වේදනාවයි..මේ වහලය යට එකට හුන් වටිනා හිතවතුන් අද අප අතර නැහැ…ඒක පපුවට බරක්..තවමත් දුකක්. ප්‍රේමකීර්ති…කේ.ඩි.කේ..කෝ..එයාලත් එක්ක මට හැරෙන්නවත් බැහැ.. අපත් එක්ක හිටි අය අද කෝ..කීර්තිමත් ඉතිහාසයක හිටි අය අද කෝ. මේ මුකුත්ම අප අරන් යන්නෙ නැහැ….”
“ලබන සැප්තැම්බර් 16 වනදාට මගෙ 60 උපන්දිනය…සැප්තැම්බර් 15 දා රාත්‍රි වනතුරු මම මගේ ආයතනය සමඟ කරන යුතුකම ඉටු කරනවා..එතැනින් අහෝසියි..”
ඔහු සමීපයේ ඇති ජනේලයෙන් එපිට ඈත බලාගත්වනම නිහඩවම හිඳී…
අපේ ආදරණිය වසන්ත රෝහණයන් සන්තකයේ මාධ්‍ය මෙහෙවරට ඇලුම් පානා ව්‍යවසායකයන් බොහෝ පිරිසක් සිටිති..ගුවන් විදුලියේ අභ්‍යාස ආයතනයේ ඔහු වරෙක ගුරුවරයෙකි..
“මගේ මේ වෘත්තිය පිළිබඳව මම ඇත්තෙන්ම තෘප්තිමත්. මේ කටයුත්ත මට නොලැබුණා නම් මම අදටත් ගුරුවරයෙක්…මම මගේ වෘත්තිය ජිවිතය ආරම්භ කළේ ගුරු භූමිකාවෙන්..අපි අපේ රටට ආදරෙයි. අපේ රටේ වටිනාකම් ලොවට කියාදෙන්න ඕනා…සංචාරක ව්‍යාපාරයට වගේම තේ ක්ෂේත්‍රයට මම කැමතියි.
ඔබ වඩාත් කැමැති දේ යැයි විමසූ විටදී අපේ ආදරණිය වසන්තයන් සිනාපිරි මුවින් වදනින් කීයේ ‘ මං තේ වලට බොහොම කැමති.” කියාය.
හරබර සුමට ළතෙත් ගුණයම සිරිමත් කරනා ඔහුගේ නිවේදන කලාවෙහි උත්තුංග සිරිතට පෙම් බැන්දෝ සහසකි. එමෙන්ම හේ ගී පද රචකයෙකි… ජගත් වික්‍රමසිංහ ගැයූ ‘ ඉසුරු කොදෙව්වේ ” අමරසිරි පීරිස් ගැයූ ” වසත් කළ…’සනත් නන්දසිරි යන්ගේ ” අහස් විල ” ආදී හෙටටත් මතකයට තුරුලුවන ආදරණිය ගීත රචනා 70 කටත් එහා ඔහු අතින් ලියැවී ඇත්තේය.
” විශ්‍රාම ගියාට පස්සෙ නිදහසේ මං ලියූ වටිනා හොඳම ගීත තෝරා සංයුක්ත තැටියක් කරන්නත්…ඒ පිළිබඳව පොතක් ලියන්නත් හිත තියන් ඉන්නවා..”
ඔහු බිම බලා සිනාසෙන්නේය…
” අපි අනුනට ගරු කරමින් ඒ වගේම හදාරමින් අපි අපේ වෘත්තිය ගරුත්වයද රැකගනිමින් මේ ගමන බොහොම කැපවීමෙන් ආවේ…දැන් ඉන්න අයගෙන් ඉතාම සුළු පිරිසක් එවැනි වටිනාකමින් කටයුතු කිරීම දක්නට ලැබීමත් හිතට මහා සතුටක්. ඒ වුණාට දැන් මේ ක්ෂෙත්‍රයේ ඉන්න වැඩි පිරිසක් මුහුදු කොල්ලකරුවෝ..මංකොල්ලකාරයො වගේ..පිරිසක්. එයාලා අනුන්ගෙන් අරගෙන එයාලටම අභියෝග කරන පිරිසක්..නමුත් වැදගත් වන්නේ අලුත් දේවල් බිහිකිරීමයි.”
ඔහු කියන්නේය.
” තමන් උගත් ආඛ්‍යානය ඉදිරියට ගෙන යා යුතුයි. මා වුණත් එහෙමයි..ඕනම කෙනකුට එය කළ හැකියි”
මට බොහොම සුන්දර මිනිසුන් හමුවුණා..අපේ වික්ටර් .ටී.ඇම්…අමරසිරි..සුනිල්…කසුන් කල්හාර. මනෝජ්….කසුන්ට හොඳට උයන්න පුළුවන්..කසුන්ගෙ තාත්තා මට සමීප වුවත් අද කසුන් මට බොහොම සමීපයි.ඒ ආදරය…ඒ සුන්දර ඇසුර…සුන්දරම මිනිසුන්…රසවත් ඇයිහොඳයිකම්…වටිනාකම කියන්න බැරිතරම්…”
අපේ ආදරණිය සංලාපය අපේ ප්‍රේමණීය රසවතාණෝ තමන්ට හුරු අපූර්වතම කතා සිරිතෙන් තව තවත් සිරිමත් කරන්නාසේය.
අපේ වසන්ත රෝහණයන්ගේ ප්‍රේමනීය බිරිඳ රූබී ජයසිංහ මහත්මිය වෘත්තියෙන් ඕ වෛද්‍යවරියකි. එකම දියණිය දෙව්දින් කාව්‍යා හෝටල් සංචාරක ක්ෂෙත්‍රයේ නිරතව සිටී.
” අනේ නැහැ…දරුවන් කැමති දිශාවට යන්න දෙන්න ඕනා..එයාත් මේ ක්ෂෙත්‍රයට ආ යුතුයි කියා දෙයක් නැහැ..මං මගෙ දූට මං කියන්නේ කරනදේ හරියටම කරන්න කියන ටික විතරයි…”
ඔහු ඒ ටික කීවේ මා විමසූ පැනයකදීය..
” මම මගේ ජීවිතයේ මටම ආවේණික රටාවකින් මම හිතන්නේ..බලන්නේ..ඉදිරියට ගෙනියන්නේ..මම හිතලයි වැඩ කරන්නෙ..ජිවිතය ගැන වුණත් එහෙමයි. කෙනකුගෙ නිහතමානී ගුණයට උපමා දෙන්න බැහැ..නිහතමානී ගුණය ඒ තරම් බොහොම වටිනවා. අලුත් දෙයක් කරන්න නිහතමානී වෙන්න..අපේ නව පරපුර වෙනුවෙන් කියන්න තියෙන්නෙ මේ ටිකයි..හදාරන්න..හදාරන්න…අලුත් දෙයක් කරන්න..”
අප අතර හදිසියේ නැගි නිහඬතාවය අපේ රසවතා හිත තවන වදනින් බිඳ දමන්නේය.
” මම මුකුත්ම ඉල්ලා නැහැ.. කවදත් මම මමම තමයි…මම මාව හෙව්වා..මට මාව හමුවුණා…”
” ඔව් අමල්…ගොඩක් දේ මට අහිමි වුණා..ප්‍රථම ප්‍රේමයේ සිට… මට අයිතිදේ මම හිමිකර තියෙනවා..”
” අවුරුදු 35ක මගේ වෘත්තිය ජීවිතයේදී මම පුටුවක ඉඳගත්ත කෙනෙක් නෙවි…මේ මම..මම ඉඳගෙන තියෙන්නෙ නිවේදක පුටුවේම විතරයි. මටයි කියල වෙන්කළ පුටුවක් මට නැහැ…ඒත්..මට හිමි නිවේදක පුටුව මට පූජනීයයි…අමල්…පෙරහරේ යන ඇතා පෙරහරේ නැතිව අන්තැනක උන්නත් පිදුමට බඳුන් වෙනවා..ඒක ඇත්තක්නේ..පුද්ගලයා මත නිලතල දිගහැරෙන්නේ…”
අපේ ආදරණිය වසන්ත මුදුබැල්මකින් යුතුව මදෙස බලා හිඳීන්නේය..
බොහෝ වෙලාවකට පමණ පසුව ඔහු හඬ නගා සිනාසෙන්නේය.ඒ සිනා හඬද ගැඹුරුය.
“බැහැ..බැහැ..මට ගයන්න තියා කවියක්වත් කියාගන්න බැහැ…කොටින්ම රඟපෑමත් මට කොතැනකදිවත් බැහැ..”
හේ යළි සිනාසෙන්නේය..
ඔහු වටා පිරුණු ඔහුගේ ශිෂ්‍ය සංඛ්‍යාව පිළිබඳව හෙතෙම උතුරා ගිය සතුටකිනි.
” මගේ ඉගැන්වීමේදී ජීවිතය..විවිධ පැතිකඩයන්…අලෙවි ප්‍රවර්ධනය , උත්සව සංවිධාන මෙකී නොකී බොහෝ කරුණු පාදක කරගනිමින් මමද ඉගෙන ගනිමින් මම උගන්වනවා”
ඔහුගෙන් සමුගෙන යන්නට අවසරය පතද්දී අපේ ආදරණිය සංලාපයට වචන කිහිපයක් එකතු කොට මා දෑත අල්වා ගත්තේය.
” මාව බලන්න ආවාට සරසවියට ස්තුතියි !
අමල් යශෝමන් ජයසිංහ