Home » මම චිත්‍රපට නරඹමින් රංගනය හදාරනවා

මම චිත්‍රපට නරඹමින් රංගනය හදාරනවා

- ළමා රංගන ශිල්පී රදින් රන්දිව්

by Thanushika
May 8, 2025 1:19 pm 0 comment

සත්ව කුලයේ පක්ෂීන් අතර විශේෂත්වයක් ගෙන එන පක්ෂියකි කොහා.ජීවත් වෙන කාල සීමාව තුළදීම තමන්ට ජීවත් වීමට කූඩුවක් නොමැතිව ජීවත් වන එකම සත්වයාද කොහායි.කොහාට පිළිසරණක් වන්නේ කපුටාය. විවිධ ලී කැබල ගෙනත් කූඩුවක් සාදා කපුටී බිත්තර දැමූ පසු කෙවිලියට බිත්තර දැමීමටද කූඩුවේ ඉඩ කඩ සලසා දෙයි. තම වර්ගයා බෝ කිරීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට සත්ව කුලේද අපමණ වෙහෙසක් දරයි.එහි බැඳී පවතින අන්‍යයෝන්‍ය සම්බන්ධතාවය වේදිකාව තුළින් සිනමාවට ගෙන එමට අපූරු සිනමාපටයක් අධ්‍යක්ෂණය කිරීමට ආචාර්ය සෝමරත්න දිසානායක හා එහි නිෂ්පාදන දායකත්වයෙන් එකතු වීමට රේණුකා බාලසූරියට හැකි විය.මේ නවතම සිනමා පටය මේ දිනවල අති සාර්ථක ලෙස දිවයින පුරා සිනමා ශාලාවල තිරගත වේ. බාල මහලු වැඩිහිටි කාගෙත් ආකර්ෂණය දිනාගත් සිනමාපටයක් නිර්මාණය කර සමාජගත කිරීම ආචාර්ය සෝමරත්න දිසානායකයන්ගේ නිර්මාණ හැකියාවේ අපූර්වත්වයි. කපුටු කොහෝ සිනමාපටය කොහෝ පවුලට සහ කපුටු පවුලට කුඩා අවධිය සහ වැඩිහිටි අවධිය වශයෙන් අවධි දෙකක් පසු කරමින් එයට රංගනයෙන් දායකත්වය දෙන ළමා නළු පරපුර කා අතරත් කතා බහට ලක්වෙන චරිත බවට පත්වේ. කපුටු පවුලේ කපුටාගේ ළමා අවධිය නිරූපණය කරන රදින් රන්දිව් පසුගිය දිනක සරසවිය සමඟ ඔහුගේ රංගන දිවියේ ආ ගමන් මග ගැන සරසවිය සමඟ යෙදුණු පිළිසඳරයි .

රදින් රන්දිව් කියන ඔබ හඳුන්වා දෙන්න කැමති කොහොමද?

මගේ නම කවුරුත් දැන් දන්නවා. මම පදිංචි වෙලා ඉන්නේ හෝමාගම වලව්ව ප්‍රදේශයේය. පන්නිපිටිය ධර්මපාල මධ්‍ය මහා විද්‍යාලයේ 8 වැනි වසරේ ඉගෙනුම ලබන අතර කුඩා කල සිටම සෞන්දර්ය විෂය මාලාවට මම හරිම ප්‍රියජනකයි.ඒ කැමැත්ත නිසාම මම පාසලේ නර්තන විෂය ආශාවෙන් හදාරනවා.සෞන්දර්ය විෂයනුත් අනෙකුත් විෂයෙනුත් සමබරව හදාරමින් මගේ අධ්‍යාපනය කටයුතු මම හොඳට කරගෙන යනවා.මේ වන විට අධ්‍යාපන කටයුතුවලට මූලික තැන දෙමින් කලා ක්ෂේත්‍රයෙන් ලැබෙන නාට්‍ය කටයුතු හා සිනමා පට වලට සහ නර්තනයට මූලිකත්වයක් දෙමින් මගේ ආදරණීය අම්මයි තාත්තයි, නංගි ආච්චිලත් එක්කයි ජීවත් වෙනවා.

ඔබේ නර්තන දිවය ඔබේ ගමන් මග වෙනස් කරනවා නේද කලාවේ?

Derana little star season11 තරගාවලියේදී නර්තන අංශයේ ජනප්‍රියම තරුව හා අනුශූරතාවය ලබා ගැනීමට අවස්ථාව හිමිවෙනවා. සිය දහස් ගණනක් මෙම තරගය සඳහා ඉදිරිපත් වෙනවා.එයින් අවසන් වට කිහිපයට සියයකට වැඩි පිරිසක් පමණයි තේරී පත්වන්නේ.දෙරණ little star හින්දා තමයි මට අද නර්තන ශිල්පියෙකු ලෙස හා රංගන ශිල්පියෙකු ලෙස ක්ෂේත්‍රයට පිවිසෙන්නට අවස්ථාව ලැබෙන්නේ. පාසලේ නර්තන විෂය මාලාව උගන්වනු ලබන ශ්‍රී මාලි මිස් මට ගමන් මඟට ගොඩක් උදව් කරපු ගුරුතුමියක් වෙනවා. දහතුනෙන් පහළ සමස්ත ලංකා නැටුම් තරඟා සඳහා ඉදිරිපත්වීමට අවස්ථාව හිමිවෙනවා.

ඔබේ පළමුව නිර්මාණය ගැන කතා කරන්න කැමතිද?

මගේ පළමු නිර්මාණය වෙන්නේ මුහුණු පොතින් මාව දැකලා.ප්‍රධාන පෙළේ කිරි සමාගමක් සමඟ කරන වෙළඳ දැන්වීමක්. ඒ වෙළඳ දැන්වීමෙන් පසු තමයි මම සෝමරත්න අංකල්ගේ සිංහබාහු සිනමාපටයට සම්බන්ධ කරගන්නේ. මේ අවස්ථාවට මාව සම්බන්ධ කරන්නේ විශ්ව අයියගේ මාමා වන රාමනායක මාමාය. සිංහබාහුගේ සිංහයාගේ කුඩා අවධිය නිරූපණය කරන්නට මම ලද භාග්‍යයක් ලෙසයි මම සලකන්නේ. ඒ ගමනෙන් පසු මම ටෙලිනාට්‍ය දෙකකටත් සම්බන්ධ වුණා.

මේ වන වනවිට ඔබ දායකුණු වෙනත් නිර්මාණ මොනවාද?

මගේ පළමු සිනමා නිර්මාණය තමයි සිංහබාහු සිනමාපටය. සිංහබාහුගේ ළමා කාලයේ චරිතය නිරූපණය කරන්නේ මමයි. මෙයින් පසු හිරු නාලිකාවේ කොටස් සීයකින් යුතු “”6 pack ටෙලි නාට්‍ය හිච්චිගේ චරිතය නිරූපණය කරන අතර ITN නාලිකාවේ ඔස්සේ විකාශය කරපු…නාට්‍යයේ ප්‍රධාන චරිතය වන පැංචාගේ චරිතය නිරූපණය කළා. ඒ අත්දැකීම් සමඟ තමයි සෝමරත්න මාමාගේ කපුටු කොහෝ සිනමා පටයේ කපුටාගේ කුඩා අවධිය අවස්ථාව මට හිමිවන්නේ.

මේ සිනමාපටයට කොහොමද ඔබ සම්බන්ධ වෙන්නේ?

මේ සිනමා පටයේ නර්තන අධ්‍යක්ෂකවරයා වන්නේ චන්දන වික්‍රමසිංහ සර්.මම දෙරණ Little Star නර්තන අංශයේ ජනප්‍රියම තරුව හා සූරතාවය වීම සර්ගේ මතකයේ තිබුණ නිසා. සිනමා පටයට නර්තනයට හා ගායනයට විශේෂ දක්ෂතාවයක් දක්වන අය අතරින් තෝරා ගත් එක්කෙනෙක් වුණා. ඒ වගේම සිංහබාහු සිනමා පටයට සම්බන්ධ වීමත් සෝමරත්න මාමාගේ තෝරාගැනීමත් ඒ හරහා තමයි මට කපුටු කොහෝ සිනමා පටයට සම්බන්ධ වීමට අවස්ථාව හිමි වන්නේ.

ගෝරිල්ලො ඇවිත් වේදිකාවේදී මොකද වුණේ?

මේ නාට්‍යය නිර්මාණය කරන්නේ රේගන් තියටර් ඇකඩමියයි.තනුජා වික්‍රමසිංහ වේදිකා නාට්‍ය නිර්මාණයක් වන ගෝරිල්ලෝ ඇවිත් වේදිකා නාට්‍ය මෙවර රාජ්‍ය නාට්‍යය උලෙළෙ නාට්‍ය දහය අතරට තේරුණා.එහි ප්‍රධාන චරිතය වන ගෝරිල්ලාගේ චරිතය රඟපාන්නේ මමයි.වේදිකාවේ රඟපාන්න ලැබුණු හොඳ අවස්ථාවක් ලෙස මම මේ අවස්ථාව දකිනවා.

පවුලේ විස්තර සහ අනාගත බලාපොරොත්තු මොනවාද?

මේ තාක් දුර මාව ඇදගෙන ආපු මගේ පවුලේ සියලු දෙනාටම මම ස්තූති කරනවා.ඒ වගේම විදුහල්පතිතුමිය ඇතුළු පාසලේ සියලූම ගුරු බවතුන්ටත් මගේ මේ ගමනට උදව් කරන සියලූම දෙනාට ස්තුති පුද කරන්න අවස්ථාවක් කර ගන්නවා. කලාව තුළින් සමාජයක් සුවපත් කරනවා වගේම,වෛද්‍යවරයකු වෙලා මුළුමහත් ප්‍රජාවටම සේවය කරන්න නොනිමි ආශාවකින් පසු වෙන්නේ. අධ්‍යාපනයට මුල් තැන දෙමින් කලාවත් සමබරව කරමින් දහමට මුල් තැන දෙමින් කටයුතු කරන්න තමයි මගේ ඒකායන බලාපොරොත්තුව.

[email protected]

සටහන සහ සේයාරූ - නිශ්ශංක විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT