” උපතින්ම මා ලද කටහඬ දායාදය මතු උපදින ආත්මවලදීත් මට ලැබෙන්නයි කියන ප්‍රාර්ථනයක් මගෙ හිතේ තියෙනවා..”
“මට තවමත් ගායනය පුළුවන් වගේම දැනටත් මට ප්‍රසංග වේදිකාවට ආරාධනා ලැබෙනවා ..”
මේ අපේ සොඳුරු කතා නායිකාව ගී ලොව වඩාත් ප්‍රකටව පසුවන්නේ කිවයුත්තක් නොසගවා කෙළින්ම කියනා සත්‍යවාදී ශිල්පිනියක් ලෙසින් යැයි කිවහොත් එය වඩාත් නිවැරදි යැයි හැඟේ..
ළමාවියේ පටන් ගී ලොවට එක්වූ ඕ තොමෝ දිනාගන්නට සමත් වූ රසික ආදරයද අදටත් බඳුන්වෙමින් සිය රම්‍ය ගායන සිරිතෙන් ඈ ලද ජයග්‍රාහී සම්මානද බොහෝය….
පිළියන්දල නගරයට නුදුරුව වෙසෙන මේ ගායන ශිල්පිනියගේ සුවදුක් විමසනු රිසියෙන් මා ගිය ගමනේදී ඕ මහත් සතුටකින් යුතුව පිළිගත්තාය…
” මාව බලන්නට ආපු මල්ලිටත් සරසවිය පත්තරේටත් ගොඩාක් ස්තුතිවන්ත වෙනවා..”
දැන් ගෙයි මැදසාලයේ ඇයත් මමත් සොඳුරු සංලාපයේය…
ඩොටී ජයසේකර සහ සයිමන් පීරිස් මවුපිය දෙපළට දූ පුතුන්ම සත්දෙනෙකි. තාත්තාට වඩා අම්මා කලා ක්ෂෙත්‍රයට ලැදි තැනැත්තියකි. ඇය සිනමා සහ ටෙලි නාට්‍ය නිළියකි.
අපේ කතා නායිකාවගේ ලොකු අක්කා චන්ද්‍රා බන්ධුමතීය. දෙවැන්නා අයියා වන සරත් කුමාරසිරි අද ජීවතුන් අතර නැත. තෙවැන්නිය මා සමීපයේම සිට කතාබහට එකතු වූ ආදරණිය කතා නායිකාවය. සිව්වැන්නා රංජිත් ජයසිරි ඔහුද අද අප අතර නැති. නිහාල් පද්මසිරි පස්වැන්නාය. ඉන්ද්‍රා ශ්‍රීමතී සයවැන්නිය වන අතර සත්වැන්නිය හිමාලි දමයන්තියය..
1947 ක්වූ ජුලි මස 27 වැනිදා කිරුළපන නිවසේදීම මෙලොව එළිය දුටු මිල්ලනියගේ රූපා ඉන්දුමතී හෙවත් රටක් සිය මාධූර්යය හඬ සිරිතෙන් තෘප්ත කළ ගායන ශිල්පිනිය රූපා ඉන්දුමතී මහත්මියය.
පළමුවෙන් වැල්ලවත්ත ලංකාධාර බාලිකා විදුහලටද එතැනින් නුගේගොඩ සමුද්‍රදේවී බාලිකා විදුහලේද ඉගෙනුම ලද ඈ කිරුළපන බලපොකුණ සාධු දහම් පාසලේද කීර්තිමත් සිසු දැරියක වූවාය.
ඕ සිය කටහඬ අවදි කරන්නීය..
” මම පුංචි කාලෙදිත් ගායනයට හරිම කැමතියි. ඒ වගේම හුඟක් අය මං දක්ෂයි කියලත් කියල තියෙනවා. ඉතින් මල්ලි ..අපේ දහම් පාසලේ ත්‍යාග ප්‍රදානෝත්සවයකට කරුණාරත්න අබේසේකර මහත්මයා තමයි ආවෙ.. මම එදා පද්‍ය ගායනයක් ඉදිරිපත් කළා..එතකොට මට වයසත් අවුරුදු හතරක් පහක් විතර ඇති. මගේ පද්‍ය ගායනය අහපු කරුණාරත්න අබේසේකර මහත්මයා දහම් පාසලේ විදුහල්පති බස්නායක මහත්තයාට කියල තියෙනව මේ ළමයව ගුවන් විදුලියේ සරස්වතී මණ්ඩපයට එක්ක එන්න කියලා..ඒ වගේම ඒ පද්‍ය ගායනා තරඟයෙන් ප්‍රථම ස්ථානය ලැබුවෙත් මමයි.”
ඕ මුවපුරා සිනාසෙන්නීය.
එදා ගුවන් විදුලියේ විජිතානන්ද මැණික්දිවෙල වැඩසටහන යටතේ දහම් පාසල් බෝසත් ළමා ළපටියෝ හි ගායන දස්කම් පෑ අපේ ආදරණිය කතා නායිකාව ගුවන් විදුලියට පැමිණියේ එසේය.
දැන් ඇයට අවුරුදු දහසයක් පමණ ය..ගුවන් විදුලියේ සරල ගී පරීක්ෂණයකට පෙනී සිටි ඈ “බී” ශ්‍රේණියේ ගායන ශිල්පිනියක වෙමින් සරල ගී වැඩ සටහන්වලද නිරත වන්නීය.
“අනේ මට මුල්කාලෙදි අතදුන්නෙ වික්ටර් දළුගම..ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු ..සනත් නන්දසිරි ..ප්‍රේමකීර්ති මහත්වරුන්…මගෙ පළමු ගීතය තමයි ” හද පුද අසුනේ..” ප්‍රේමකීර්ති ලියූ ගීතය..එයාලා අපි හරිම සමීපයි…”
සනත් නන්දසිරි මහත්තයා මට ගීත තුනක් හදා දුන්නා. අපේ මල්කාන්ති පීරිස් මෝනාත් මමත් එකට යුග ගායනා කළා.”
දැන් අපේ ආදරණිය රූපා ඉන්දුමතී මහත්මිය ගුවන් විදුලියේ ගී ගායනයට අමතරව එහි ගුවන් විදුලි නාට්‍යවලට හඬ කවන්නියකි. පද්‍ය ගායනයේද…විරිදු..ජන ගී..නූර්ති ගී..ශිල්පිනියක ලෙසින් ද නමක් දිනා ගත්තාය…ගජමුතු..මොනරතැන්න…මුවන් පැලැස්ස ආදී තවත් නාට්‍ය රැසකට ඈ කටහඬ මුසු කරන්නීය.
“ඇයි…මම පාසලේ සමස්ත ලංකා ගායන තරඟවලදී පළමු තැන අරගෙනත් තියෙනවා..”
ඕ ගායනයට අමතරව සෝමපාල මුදුන්කොටුව ගුරුතුමා යටතේ උඩරට නැටුම හදාරා ප්‍රාරම්භය හා මධ්‍යම විභාගයන්ද සමත් වූවාය..ඒ වනවිට ඇයට වයස පහළොවකි.
වයසින් අවුරුදු දහසයේදී සරල ගී ගායිකාවක වූ ඕ චිත්‍රපට පසුබිම් ගායිකාවක වන්නට වරම් ලද්දාය..එය සමූහ ගායනයකි. “කළ කළදේ පල පලදේ” චිත්‍රපටයේ ය. ලතා වල්පොල..සුජාතා අත්තනායක..මොහිදීන් බෙග් ආදීහු එක්ව ගැයූහ.
ඇය තනිව ගැයූ ගායනය වනුයේ අබුද්දස කාලේ චිත්‍රපටයේ රඟපෑ විජිත මල්ලිකාටය..මේඝ ගර්ජනා ගුවන් ගීතයට අපේ අමරදේව මහත්තයා අපේ ගෙදරටම ඇවිත් මාව ඒ ගීතයට තෝරා ගත්තෙ.”
“කොහොමත් මම චිත්‍රපට පනහකට පමණ පසුබිම් ගීත ගැයුවා…ජෝති..මිල්ටන්..එම්. එස් සමඟත් මම යුග ගීත ගැයුවානෙ.. ”
මා විමසූ පැනයකදී ඈ කියන්නීය.
තනිනොතනියට ගමනට බිමනට ළඟම පසුවන්නේ අම්මාය…තම දියණිය රූපා කලා ලොව හිණිපෙත්තේ තබන්නට ඒ අම්මා ඇයට දිරි දුන්නාය…
“මගේ හැම ජයග්‍රහණයකදීම මට මගෙ සෙවණැල්ල වගේ ළඟ උන්නෙ මගෙ අම්මා ”
දැන් අපේ සොඳුරු කතා නායිකාව තුරුණු වියේය. ඇය මුලපිරූ ආදර කතාවක්ද තිබිණි. එහෙත් දෙපාර්ශවයෙන් එල්ලවන තර්ජන ගර්ජන බාධා එමටය. තමන්ට ඇති ආදරය නිසාම අම්මා දියණිය වෙනුවෙන් දරාගත්තාය..
“අපෙ අම්මා එයාවයි මාවයි එක්ක ගිහින් අපේ විවාහය ලියාපදිංචි කරවූවා…
එයා තමයි ලක්ෂ්මන් රුද්‍රිගු..”
1968 දී ඇයගේ ජීවන සහකරු වූ ලක්ෂ්මන් ගී ගයනවා වුවද ප්‍රකට නැති…ඒ වනවිට රූපා රටම දන්නා ගායන ශිල්පනියකි. දැන් දැන් දෙදෙනාම ගායන ලොවෙහි යුග ගීතයෙන්ද රසික සිත් වසඟ කළේය..
“සුවඳට මල මෙන් යස හැඩට කැපේ…” යුග ගීත ඇතුළු තවත් ගීත රැසක් ජන සිත්සතන්හි තවමත් නොමැකී පවතී.
විවාහයෙන් ඔවුනට තිළිණ වූ පුතුන්ම තිදෙනෙකි. ලොකු පුතු නුවන් රසංජනය..අකිල අංජන දෙවන පුතුය. තෙවැන්නා රුවන් අචින්ත පුතුය. තම පුතුන් මේ වනවිට රටට බරක් නැති යහපත් පුතුන් ලෙසින් දිවිගෙවීම ඇයට ඇත්තේ හිතපුරා පිරුණු අපමණ සතුටකි.
උඩරට නැටුම් හැදෑරූ ඇය ගුරු වෘත්තියට එක්වූවාය. නොඑසේනම් ඕ නැටුම් ගුරුවරියක වූවාය..ඒ පාමංකඩ සංඝමිත්තා බාලිකා විදුහලේය…
1979 දි ගුවන් විදුලියේ ශ්‍රේණිගත කිරීමක් තිබුණා .. එම පරීක්ෂණයට ආවෙ ඉන්දියාවෙ මහාචාර්ය දීපාල් නාත් කියන මහත්මියක්.. මමත් පරීක්ෂණයට පෙනී සිටියා. එයින් මම විශිෂ්ට ශ්‍රේණියේ ගායන ශිල්පිනියක් බවට පත්වුණා. මුළු ලංකාවෙන්ම මම 7 වන ස්ථානයට පත්වුණා..ඉතින් මට සතුටුයි..”
ලක්ෂ්මන්ටයි මටයි දැන් ප්‍රසංග වේදිකාවෙ හොඳ ඉල්ලුමක් තියෙනවා..අපි දෙන්නම සංගීත වේදිකාවෙ…”
1972 දී ඈ සහ ඔහු වෙනුවෙන් දයානන්ද කුමාරසිරි ගී පද රචකයා අතින් විදුලි දුම්රිය හෝ රූපවාහිනී හෝ පෙනෙනාතෙක් මානයේවත් නැති යුගයකදී අනාගතය සියැසින් දුටුවාසේ ලියැවුණු “විදුලි දුම්රියේ චංචල නාදය සවනට වැකෙන සඳේ..” නම් අපූර්වතම ගීතය ගැන වෙනමම කතාකළ යුතු තරම්. එම යුග ගීතයෙන් තව තවත් ලක්ෂ්මන් රූපා දෙපළ තවත් ඉදිරියට ගියේය..
අපේ ආදරණිය රූපා ඉන්දුමතී ගේ “රූපා ගී සරණිය” රටපුරා ගියේය..එයද ගීත ලෝලීහු අදරින් වැලඳ ගති. ප්‍රංශයටද එය රැගෙන ගියේය..එපමණක් ද නොව කැසට් පට..සීඩී පටවලටද ඈ ගායනා මුසුවිණි.
මේ වනවිට ඇයගේ ගායන ප්‍රතිභාවෙන් ඈ පිදුම් ලද සම්මාන ගොන්නක් මා අසල රාක්කයක පිරී තිබෙනු පෙනේ..
“මං ලබන්න ඇති හැම සම්මානයක්ම මම ලැබුවා..”
“අද වාගෙ නොවෙයි අපේ ගායක ගායිකාවන්..අද ඉන්න ඈයො නම් අපිව අඳුරන්නෙවත් නෑ වගේ.. එදා අප අතර තිබුණු එකමුතුකම සහෝදරත්වය දැන් දකින්නවත් නැහැ. අපි ප්‍රසංගයකට යන්නෙ එකම වාහනේක..මිනිස්සුන්ට නටන්න ලැබෙන්නේ එම්.එස් අයියාගෙ ගායනයේදි.. මුලින් අමරදේව…ලස්සන පිළිවෙළකට..ඒත් දැන් කොහොමද..පටන් ගත්ත වෙලාවෙ ඉඳන් වාදක මණ්ඩලයත් නටනවා. නටන්නම දෙනවා..අතට ලැබෙන්නේ කීයද ඒ හැම සතේම ජෝති අයියා අපි හැමෝටම වියදම් කරනවා.. එදා කවුරුවත් කුහක නැහැ.”
” අදටත් ලතා..සුජාතා..චන්ද්‍රිකා වගේ ළඟම කීපදෙනෙක් මගෙන් දුක සැප අහනවා. ඒ ළෙන්ගතුකම් අදත් එහෙමමයි…”
මොහොමඩ් සාලි..කරුණාරත්න අබේසේකර …සනත් නන්දසිරි …එම්.කේ රොක්සාමි..ෂෙල්ටන් පෙරේරා…ප්‍රේමකීර්ති..අනුෂා ගෝකුල මහත්මිය වගේම තවත් අය මම ආදරයෙන් නිතර සිහිපත් කරනවා..මගෙ අම්මාගෙ උනන්දුව නිසාමයි මට මේ තරම් සාර්ථක ගමනක් එන්න ලැබුණේ..අම්මා කොහේ හරි තැනෙක ඉඳන් මට අදටත් ආශිර්වාද කරන බව මට විශ්වාසයි…රූපා ඉන්දුමතී නම හදන්නට මගෙ අම්මා තමයි මං ළඟම සිටියේ…”
මල්ලි ..දැන් මට වයස 77ක්..මට අදටත් ප්‍රසංග වලට ආරාධනා ලැබෙනවා වගේම මට තවමත් ගයන්න පුළුවන් ..ලැබෙන ආරාධනා වලට මම යනවා”
1999 දී බිහිසුණු අනතුරකට ඈ මුහුණ පෑවාය…එක් ප්‍රසංග වේදිකාවකදී පිපිරී ගිය බෝම්බ ප්‍රහාරයකින් ඈ බරපතළ තුවාල ලද්දාය.
” මම අවුරුදු එකහමාරක් වම් පාදයට හානි වෙලා එක්තැන් වෙලා දුක් වින්දා. ඇන 12 ක් දමාපු සැත්කමක් කළා. කිසි කෙනෙක් උදව් කළේ නැහැ. ඒ මේ රටේ හැටිනෙ…”
ඈ එය කීවේ කනස්සලු ස්වරයකිනි.
ඇයගේ ගීත සමහරුන් තමන් සන්තක කරගන්නට යෑමෙන් ඇයට අත්වූ අපහසුතා ද ඈ කියන්නීය.
ලොකු පුතු එහිදී ඇයට සවියට සිටියේය..
“මං කවදාවත් මගෙ ගීත අතහැරල අනුන්ගෙ ගීත ගයන්න ගිහින් නැහැ..අදත් සමහරු ඒ දේවල් කරනවනෙ..මගෙ අනන්‍යතාවය මට හොඳටම ඇති. මගෙ ආරම්භය ගුවන් විදුලියෙන්. සමහරු බොහෝ කෙනහිලිකම් කළා…”
එක ගඟක ඉවුරු දෙක කවදා….ලොවක් බලන්නට..සුවඳට මල..මගෙ පුතු හරි හපනා…දේශයෙන් දේසේ බලා..විදුලි දුම්රියේ..එක කුඩේ යටින්…ආදී අතිශය ජනප්‍රිය ගීතසේම තවත් ඈ ගැයූ ගීත රාශියකි…හේම ශ්‍රී ද අල්විස්..රත්නා ලංකා අබේවික්‍රම …ලයනල් සී.ද අල්විස් …ආදී තවත් ගී පද රචකයිනට ඈ කෘතවේදි වන්නීය..
“මං සුපර් ග්‍රේඩ් නිසා ගුවන් විදුලියෙන් ගීත හයක් කරන්න අනුමැතිය දුන් අවස්ථා තියෙනවා. වෙසක් නාට්‍යවල වගේම ආරාධනා ලැබුණු තවත් නාට්‍ය වලට ගී ගයන්න යනවා…”
ඇයගේ අව්‍යාජ සිනහව තවමත් එලෙසමය..මම විමසන ලද පැනයකින් ඈ බිමබලාගත්වනම සිට පසුව මදෙස බලා මෙසේ කියන්නීය..
” මීටත් වඩා මට වෙනස්ම ගමනක් යන්න තිබුණා. දයානන්ද ගුණවර්ධන ගෙදරටම ආවා එයාගෙ නාට්‍ය නිර්මාණවලට මාව සම්බන්ධ කරගන්න. මධුර ජවනිකා නාට්‍යයට කතා කළා.. මගෙ බොහෝ දේ ඇහිරුණා.. මට සබකෝලය නැහැ. ඕනම දේකට ඕනැම තැනකදි මම ඉදිරිපත් වෙනවා..ඒ මගෙ උපන් ගතිය..”
” හැබැයි මම තනිවෙලා නම් නැහැ..මට ආදරය කරන වටිනා රසික පිරිසක් අදත් මා සමඟ ඉන්නවා. ”
ඈ නිවසට නුදුරු විහාරස්ථානයේ පොහෝදින පෙහෙවස් සමාදන් වන්නීය…විහාරස්ථානයේ කටයුත්තකදී ඈ තමන්ට හැකි අයුරින් සම්මාදම් වන්නීය..
“පින් දහම් ජිවිතයකට ඕනෑමනෙ මල්ලි..මගෙ රත්තරන් දරුවන් මට ආදරෙයි…මා ගැන බලනවා. ඉතින් දරුවන් තමයි මගෙ සැනසීම..එයාලත් හොඳීන් ඉන්නවා…
ඇයට දුරකතන ඇමතුමක් මෑත දිනකදී ආවේය. ඒ හඬ ලතා වල්පොල මහත්මියගෙනි. ඈ මෝක්කාඩු කියන්නී ඇයට කෝල් නොකිරිමෙනි. දෙදෙනාම සතුටු සංවාදයේය..
එක තැනකදී අපේ රූපා ඇයට මෙසේ සිනාසී කියන්නීය..
” නැහැ..නැහැ..ලතා අක්කේ…ඔයාට දිගාසිරි වේවා…රූපාගෙ මළගෙදර ගිහින් මං හැඬුවා කියල දවසක ඔයා කියාවි..”
දැන් දෙදෙනාම උස් හඬින් සිනාසෙති…ඒ දිගුකලෙක සිට ගායන ක්ෂෙත්‍රයේ දී බැඳී අපරිමිත මිතුදහමය.
සේයාරූ – පාලිත ශ්‍රී ලාල් ආටිගල
අමල් යශෝමන් ජයසිංහ