Home » මම අඛණ්ඩව ලියන්න හුරුවෙලා තියෙන කෙනෙක්

මම අඛණ්ඩව ලියන්න හුරුවෙලා තියෙන කෙනෙක්

ලේඛක රශ්මික මණ්ඩාවල

by Thanushika
September 12, 2024 12:30 am 0 comment

රශ්මිකට ලිවීමේ ආශාව මුලින්ම ඇති වෙන්නේ කොහොමද?

ඇත්තටම ලිවීමේ ආසාව මුලින්ම ඇතිවුණේ අවුරුදු දහයෙදි විතර. ඒ කාලෙදි මම අභ්‍යාස පොත් අරගෙන විද්‍යා ප්‍රබන්ධ කතා ලියනවා. මොකද ඒ කාලේ මට විද්‍යා ප්‍රබන්ධ ගැන ලොකු උනන්දුවක් තිබුණා. මහජන පුස්තකාලේ තමයි ඒ දවස්වල අපි පොත් කියවපු තැන. ඉතින් ඒ කාලේ ඉඳලම ලියන්න ආශාවක් තිබුණා. මම ලියපු රචනා පවා ඉහළ පන්තිවල අයට පෙන්නනවා මතකයි. හැබැයි මම උසස් පෙළට ගණිත විෂයන් හදාරන්නෙ. ඒකත් එක්ක මගේ ජීවිතේ වෙනම පැත්තකට හැරුණ නිසා ලිවීම විතරක් නෙමේ කියවීමෙන් පවා ඈත්වුණ දීර්ඝ කාල පරිච්ඡේදයක් තියෙනවා. ඊට පස්සේ ඉතාම මෑතකදී, ඒ කියන්නෙ 2016 දි විතර තමයි මම මුලින්ම ගීතයක් ලියන්නෙ. ඒ ඇතිවුණ යම් සාර්ථකත්වයක් එක්ක මම අවුරුදු දෙක තුනක් සිංදු දහයක් දොළහක් පමණ ලිව්වා. නමුත් එතනින් එහාට දෙයක් ලියාගන්න මට බැරි වුණා. හැබැයි කුඩා කලේ කරපු කියවීම සහ ලියන්න තිබුණ ආශාව මගේ ඇතුළෙ නොනැසී පවතිනවා කියලා තහවුරු කරගන්න ඒ ලිවීම් නිසා හැකියාව ලැබුණා.

රශ්මික රචනා කරපු පළමු කෘතිය විදියට, ‘ශුක්රාන් කටාර්’ ලියවෙන්නේ කොහොමද? මොකක්ද ඊට පසුබිම?

2014 අවුරුද්දෙදි මම ලංකාවෙන් බැහැර වෙලා මැදපෙරදිග කටාර් රාජ්‍යයට යනවා රැකියාවකට. 2014 සහ 2015 කියන වසර දෙක මම ගත කළේ කටාර් රටේ. ඒ කාලය මගේ ජීවිතයේ වෙනස්ම පරිච්චේදයක්. මට නව හැඟීම් සහ අත්දැකීම් එකතු කරපු කාලයක්. එහෙන් ලංකාවට ආවට පස්සේ මැදපෙරදිග ගැන ලියවිලා තියෙන අත්දැකීම් මොනවද? කියලා කියවන්න ආසාවක් ඇති වුණා. එතනදී එවැනි පොත් හොයාගෙන යද්දී ඒ ආකාරයේ පොත් කොච්චර හිඟද කියලා මම දැක්කා. එකම එක පොතක් පමණයි ආසන්න වශයෙන් මට හොයාගන්න ලැබුණෙ. ඉතින් මම කල්පනා කළා ඇයි මම මගේ අත්දැකීම් නොලියන්නෙ කියලා. ඉතින් එක්තරා දවසක ඉතා අහඹු විදියක රාත්‍රියේදී මේකේ පළවෙනි පිටු කිහිපය ලියවුණා. ඒක මුහුණු පොතේ තිබුණු අරුණාලෝකය නම් සමූහයකට යොමු කළහම නොසිතූ ප්‍රතිචාර ලැබුණා. හුඟ දෙනෙක් එයාලගෙ අත්දැකීම් කියන්න ගත්තා. ඒ නිසා මට හිතුණා මේක දිගටම ලියාගෙන යන්න. අන්තිමට තමයි දැනුණෙ කුඩා පොතක් තරම් දේවල් ලියැවිලා තියෙන බව. ඉතින් මේ පොත ගැන කියපු වෙලාවේ සුරත් ද මැල් සහ ඔහුගේ පියා සුන්දර නිහතමානී ද මැල් තමයි මේකට ප්‍රකාශකයෙක් හොයාගන්න උපකාර කළේ. ඒ විදියට තමයි ශුක්රාන් කටාර් පොතක් විදියට සූරිය ප්‍රකාශනයක් විදියට 2019 අවුරුද්දෙ පළ වෙන්නෙ. මම ලේඛකකේ බවට නැවත උපදින්නෙ ඒ මොහොතෙ.

රශ්මික ලියපු පළමුවැනි නවකතාව විදියට ‘ත්‍රිමුර්ති’ හරහා සිදු කරන්නේ මිනිස් ජීවිතය පිළිබඳ සියුම් විවරණයක්. ත්‍රිමුර්ති හරහා ඔබ කියන්නට උත්සාහ දරන්නේ මොකක්ද? ඊට ලැබෙන ප්‍රවේශය කොහොමද?

ඇත්තටම මම ත්‍රිමූර්ති ලියන්න පටන් ගන්නෙ මගේ පාසැල් සමයේ මතක, අපි කරපු කියපු දේවල්වල මතකයන් යළි ප්‍රතිනිර්මාණය කිරීමක් විදියට. හැබැයි නවකතාව ලියාගෙන යද්දී ඒ හැඩය වෙනස් වෙලා මේ කතාව වෙනත් මානයකට යන්න පටන් ගත්තා. මේ නවකතාවේ ප්‍රධාන චරිතය වුණ නිරෝෂන් කියන යෞවනයා තරුණයෙක් ලෙස ජීවිතයේ පරිණත තත්වයට පත්වන ගමන් මග ඇතුළෙ ඔහුගේ ඒ ජීවිතය හැඩ ගස්වන කාන්තා චරිත තුනක් සහ එක් සුවිශේෂි චරිතයක බලපෑම සටහන් වෙනවා. අපේ ජීවිත හැඩ ගැහෙන්නෙ අපි මේ ලෝකය සමඟ පවත්වන සම්බන්ධතාවල ස්වභාවය මත. මෙතනදී තමා සමඟ සබඳතාවය, අනෙකා සමඟ සබඳතාවය සහ පරිසරය සමඟ සබඳතාවය කියන තුනම කෙනෙක්ට වැදගත් වෙනවා. නිරෝෂන්ගෙ ජීවිතේ මෙන්න මේ සබඳතා ගොඩනඟාගන්න උපකාර වෙන ස්ත්‍රී චරිත තුන තමයි ත්‍රිමුර්ති විදියට හඳුන්වන්නෙ. මේ සබඳතා තුනෙන් එකක් හරි මඟ හැරෙන කෙනෙක්ට එයාගෙ ජීවිතේ යම් කොටසක් අහිමි වෙනවා කියලයි මම විශ්වාස කරන්නෙ. මෙතනදී තණ්හා රති රඟා සංකේතාත්මකව මම යොදාගන්නේ පැරැණි සාහිත්‍යකරුවා මාරු දූවරු විදියට අඳුන්වමින් මාර පරාජයක් ලෙස නම් කළත් මේ චරිත ඇත්තටම කරන්නේ උපකාරයක් බව පෙන්වන්න. මේ සාහිත්‍යකරුවාගේ ක්‍රියාව නිසා කාන්තාව ගැන සමාජයේ ඇතිවෙන නරක බලපෑම අපි දකිනවා. ඒකට අභියෝග කරන්න මට උවමනා වුණා.

ඔබ සාහිත්‍ය කෘති පරිවර්තකයකු විදියට ලංකාවෙි නූතන පරිවර්තන ක්‍රියාවලිය සහ කෘතිවල ගුණාත්මකබව ගැන තියෙන්නේ මොන වගේ අදහසක්ද?

පරිවර්තකයෙකුගේ කාර්යය පරිවර්තනය කිරීම මිසක් මේවයේ ගුණ අගුණ සොයමින් කල් ගතකිරීම නෙමෙයි කියලයි මම හිතන්නෙ. ඒක විචාරකයන් විසින් කළ යුතු කටයුත්තක්. නමුත් මේ ප්‍රශ්නය අහන නිසාම මම මේකට යම් දෙයක් එකතු කරන්න කැමතියි. සාමාන්‍යයෙන් පරිවර්තනයක් සම්බන්ධයෙන් යම් විවේචනයක් එල්ල කරන්න නම් ඒ පරිවර්තන කෘතිය ගැන හොඳ හැදෑරීමක් කළ යුතුයි. වාක්‍යයක් දෙකක් අල්ලාගෙන යමක් විවේචනය කිරීම සාධාරණ නැහැ. සාමාන්‍යයෙන් පරිවර්තනයක් මුල් කෘතියෙන් සියයට අසූවක් පමණ ග්‍රහණය කරගන්නවා නම් ඒක වලංගු පරිවර්තනයක් විදියට සැලකෙනවා. මොකද සියයට සියයක් පරිවර්තනය කියන කාර්යය කිරීම කළ නොහැක්කක් නිසා. ඒ නිසා යම් විවේචනයක් සිදු කළ යුත්තේ ඒ ගැන මනාව හැදෑරීමකින් යුතුවයි. අති විශිෂ්ට ලෙස ලංකාවේ වර නැගෙන සමහර පරිවර්තනවල පවා එවැනි වැරදියට පරිවර්තනය කළ තැන් හොයාගන්න එක අමාරු නැහැ. පුද්ගලිකව අධ්‍යයනය කරද්දි මට එහෙම ඕනෑ තරම් හමුවෙලා තියෙනවා. පාඨකයන්ගේ පැත්තෙන් මෑත කාලීනව එන පරිවර්තන කියවා ගන්න බැරි බවට මැසිවිල්ලක් නැගෙනවා. මම එතනදී දකින්නෙ පරිවර්තනයක් කළාට පස්සේ ඒක නැවත සංස්කරණය කිරීමට මෑතකාලීන පරිවර්තකයන්ග් තියෙන අකැමැත්ත සහ අලස බව විදියට.

ඔබ වඩාත් ප්‍රිය කරන කෘති මොනවද කියලා මම ඇහුවොත්?

ඒක ටිකක් විශාල ප්‍රශ්නයක්. මම කැමති පොත් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම මට කියවද්දි ශානරවලට කොටුවුණ කියවීමක් නැහැ. සම්භාව්‍ය, ත්‍රාසජනක, අපරාධ, අද්භූත, වගේම ආදර කතා ආදී විදියට හැම ශානරයකම මම කැමති පොත් තියෙනවා. මාකේස්ගේ සිට කොලීන් හූවර් දක්වා මගේ කැමති පොත්වල පරාසය විහිදෙනවා. සිංහල සාහිත්‍යය ඇතුළෙ මම කැමතිම පොත් අතර බත්තලංගුණ්ඩුව, සංසාරණ්‍යයේ දඩයක්කාරයා, නේරංජනේ ස්නානේ, විරාගය, වගේම මෑත කාලීනව ප්‍රේමානිශංස, මේ රහස් කවුළුවෙන් එබෙන්න, අටවක පුත්තු වගේම ජීවිතේ ඔයිල් පැල්ලම්, ලලිත සමය වගේ බොහෝ පොත් තියෙනවා. මගේ කියවීම් අතරේ බහුල වෙන්නෙ සම්භාව්‍ය සහ නූතන විශ්ව සාහිත්‍යය. එතනදී ගීතාජලී ශ්‍රී ගෙ රෙත් සමාධි හෙවත් Tomb of Sand, ශෙහාන්ගෙ Chinaman, Seven moons of Mali Almeida,  ඔල්ගා තොකර්චුක්ගේ Flights  නම් කෘතිය. මුරකමිගෙ IQ84 නම්කරන්න පුළුවන්. ලියන්න ගියොත් ලැයිස්තුව සෑහෙන දිග එකක්.

රශ්මිකගේ සාමාන්‍යයෙන් එදිනෙදා ලිවීම කියන කර්තව්‍යය සිද්ධවෙන්නේ කොහොමද? ලියන කාලෙට හැසිරීම මොනවගේද?

මම අඛණ්ඩව ලියන්න හුරුවෙලා තියෙන කෙනෙක්. නොලියා ඉන්නෙ එහෙම නොකරම බැරි වුණ අවස්ථාවක විතරයි. හැබැයි ලිවීමේ ප්‍රමාණයන් වෙනස් වෙනවා. සමහර දවසකට වචන පන්දාහක් විතර පරිවර්තනය කරන අවස්ථා තියෙනවා. සමහර වෙලාවට වචන දෙදාහටත් අඩුයි. මගේම යමක් ලියනවා නම් ඊටත් අඩුවෙන්න පුළුවන්. සාමාන්‍යයෙන් මම උදේ හයට විතර පටන් ගත්තම එකොළහ විතර වෙනකන් එක දිගට ලිවීමේ නිරත වෙනවා. දවසේ මගේ කාර්යක්ෂම වෙලාව තමයි ඒ. එතනින් පස්සේ හවස දෙක විතර වෙනකන් මගේ විවේක කාලය. ෆිල්ම් බලන්න, වෙනත් නියමිත ගෙදර දොරේ වැඩ කරන්නෙ ඒ වෙලාවට. නැවත හවස පහේ ඉඳලා අට විතර වෙනකන් ලිවීමේ කාර්යය කරනවා. මේ කාලය නම් හුඟක් මන්දගාමී එකක් සහ බාධා වැඩි වෙලාව. දේශනවලට යන දවසට නම් රාත්‍රියට පැය දෙකක් විතර තමයි යොදාගන්නේ. පරිවර්තනය යම් මට්ටමකට වෘත්තීය වශයෙන් කරන නිසා දැන් අවසන් කළ යුතු දින එක්ක ගනුදෙනු කරන්න වෙනවා. ඒ නිසා ඒක තරමක් ආතතියක් ගේන වැඩක්. ඒ වගේ වෙලාවට මම හිතන්නෙ පරිවර්තකයෙක්ට වඩා වැදගත් දේ තමයි දැන් මට විවේකයක් ගන්න ඕන කියලා හිතෙද්දි සියලු දේම නවත්තලා දවස් කිහිපයක් ඉන්න තියෙන හැකියාව. හැබැයි ඒක හරිම මිළ අධික දෙයක් වෙලා. ලිවීම ඇතුළෙ මම හුඟක් වෙලාවට මගේම අවකාශයක් නිර්මාණය කරගන්නවා. ඒ අවකාශය බිඳීන්න වෙන අවස්ථා උදා වෙන එක තමයි වේදනාකාරීම. මොකද ඒ අවකාශයට එන්න මම ටික වෙලාවක් ගන්නවා. මම අහන නිශ්චිත ගීත සහ සංගීත ඛණ්ඩ තියෙනවා. මේවා එක්තරා විදියක පිළිවෙත් කියන්න පුළුවන්. හැම කෙනෙක්ටම එහෙම දේවල් ඇති. මගේ ලිවීම ඔහොම තමයි.

ලංකාවේ කවිය, කෙටිකතාව, නවකතාව කියවන පාඨකයා සමිබන්ධයෙන් සමහරුන්ගේ අදහස් තියෙන්නේ එතරම් සුබවාදී තැනක නෙමෙයි. සබුද්ධික කියවීමක් නෑ. විශ්ලේෂණාත්මක කියවීමක් නැ කියන එක තමා විවෙිචනය. රශ්මිකගේ අදහස මොකක්ද මෙි ගැන?

අපි සාහිත්‍යයේදී පුහුණු පාඨකයෙක් ගැන කතා කරනවා. උම්බර්තෝ එකෝ මේ සම්බන්ධව ඔහුගේ කෘතියක අදහස් දක්වලා තියෙනවා. කොහොම නමුත් ලංකාවේ පාඨකයො ප්‍රමාණයෙන් අඩුවීම තමයි අපි මුහුණ දෙන බරපතළම අභියෝගය. ඒ වගේම මේ තියෙන ආර්ථික තත්ත්වය තුළ සාමාන්‍ය කියවීම පවා අර්බුධයට ගිහින්. ඒ නිසා අපිට එකවරම පාඨකයාටම චෝදනා කරන්න බැහැ. ඒ වගේම වර්තමානයේ පාඨකයාව සබුද්ධිමත් කරන සංවාදවල අඩුවක් තියෙනවා. පවතින සංවාද බහුතරය එකිනෙකාගේ පිටකසාගැනීම් සහ මුරුංගා අත්තේ තැබීම් මිසක් අවංක විචාරාත්මක ඒවා නෙමේ. තවත් ඒවා වාණිජ අරමුණු මත පදනම්ව සිදුවන දේවල්. ඉතින් අපිට පුළුවන්ද සබුද්ධික පාඨකයෙක්ව බලාපොරොත්තු වෙන්න. මම හිතන්නෙ නැහැ. බොහොම සුළු පිරිසක් ඉන්නවා එවැනි කියැවීමක් තියෙන. ඒ අය තමයි යම් ප්‍රමාණයකින් ලිවීමේ ආශාව දල්වන්නෙ. මේ අය දේවල් හොයාගෙන ගිහින් කියවීම නිකන්ම විනෝදාස්වාත්මක වැඩකට එහා ගිය අර්ථසම්පන්න දෙයක් විදියට දකින අය. ඒ වගේම අපේ ලිවීම් ගත්තොත් ලෝකේ සමකාලීන ලිවීම් එක්ක අපි අවුරුදු විස්සක් විතර පිටිපස්සෙන් ඉන්න තත්වයක් තමයි තියෙන්නෙ. ඉතින් මේ කාරණයේදී කාටවත් චෝදනා කරනවට වඩා අපේ පද්ධතිය නැත්නම් සිස්ටම් එක හරියට ක්‍රියාත්මක වෙනවද කියන එක තමයි සාකච්ඡා කරන්න අවශ්‍ය.

ඔබේ කෘති රචනා කිරීම, පරිවර්තනය කිරීම, භාෂාව හැසිරවීම ඔබටම ආවෙිණික වුණු එකක්. ඔබෙි සාහිත්‍යමය කටයුතුවලට බලපාන ලද පුද්ගලයන් හෝ සාහිත්‍ය කෘති මොනවාද?

සාහිත්‍ය ඇතුළෙ මට ප්‍රධාන වශයෙන් බලපාපු දෙන්නෙක් ඉන්නවා. ඒ තමයි හරුකි මුරකමි සහ ඔල්ගා තොකර්චුක්. ඒ වගේම අන්තෝනියා ලොයිඩ් ජෝන්ස් සහ ඩැනියෙල් හාන් වගේ අති විශිෂ්ට පරිවර්තතකයො එක්ක වැඩ කරන්න මට ලැබිලා තියෙනවා. ඒ නිසා මම පරිවර්තනය ඉගෙනගත්තෙ හොඳම ගුරුවරුන්ගෙන් කියලා මම හිතනවා. භාෂාව හැසිරවීම ගත්තොත් මම හිතන්නේ හැම ලේඛකයෙක්ටම යම් අනන්‍ය විදියක් තියෙනවා. කොහොම වුණත් පරිවර්තනයකදී මම මුල් ලේඛකයාගේ භාෂා විලාසය රකින්න උපරිම කැපවීම කරනවා. ඒ කෙනාගේ වාක්‍යය ඒ විදියටම ලියන්න මම උත්සාහ කරනවා. ඒ නිසා මගේ පරිවර්තනවලදි පොතෙන් පොතට ඒ භාෂාව හැසිරවීම වෙනස්. මට අවශ්‍ය නෑ හැමපොතක්ම රශ්මික මණ්ඩාවලගෙ පොතක් විදියට කියවෙන්න. පරිවර්තනයකදී නම් විය යුත්තේ අදාළ මුල් ලේඛකයා මතුවීම. මගේම පොතක් ලියද්දි මම හුඟක් නිදහස්. මම කැමති අත්හදා බැලීම් කරන්න මම මගේ ලිවීම් යොදාගන්නවා.

ඔබ සාහිත්‍ය කටයුතු සිදු කරන්නේ ආත්ම තෘප්තියටද? එහෙමත් නැත්නමි වෘත්තියක් විදියට ද කියලා ඇහුවොත්?

මම කලින් කිව්වා වගේම වර්තමානයේදී නම් වෘත්තියක් විදියට තමයි කරන්නෙ. හැබැයි ආත්ම තෘප්තිය මේ වැඩවලින් තියෙනවා. මොකද ශ්‍රමයේ තරමට ගෙවීමක් මේ ක්ෂේත්‍රයේදී බලාපොරොත්තු වෙන්න බැහැ. එහෙම නැත්නම් වාසනාවකට පොතක් පිටපත් පනස්දාහක්වත් ඉක්මවලා විකිණෙන්න ඕන. ඒ නිසා ආත්ම තෘප්තිය නැත්නම් මේ කිසිවක්ම කරන්න බැහැ.

ළග ළගම එන සාහිත්‍ය මාසය වෙනුවෙන් රශ්මිකගේ සූදානම කොහොමද? අලුතින් නිකුත් වන කෘති මොනවද?

පොත් දෙකක් හෝ තුනක් නිකුත් වෙන්න තියෙනවා. මේ අවුරුද්දේ දැනට මම පරිවර්තන පහක් නිකුත් කරලා තියෙනවා. මම සැප්තැම්බරය බලාගෙනම වැඩ කරන්නෙ නැහැ. අවුරුද්ද පුරාම වැඩ කරනවා. රොමේෂ් ගුණසේකරගෙ අඥඥට පොතේ පරිවර්තනය තමයි මේ අවුරුද්දෙ මම කරපු පොත් අතරින් මම වඩා කැමති. ඒ පොත අවුරුදු තිහක් තිස්සෙ සිංහලට පරිවර්තනය නොවී තිබුණා. මම සතුටුයි දැන් සිංහල පාඨකයාට ඒක සමීප කරන්නට ලැබීම ගැන.

 

[email protected]

ඉමල්ක විතානගේ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT