Home » රෝස ආදරේ මට වාසනාව ගෙනාවා

රෝස ආදරේ මට වාසනාව ගෙනාවා

අධ්‍යක්ෂ/තිර රචක හර්ෂ උඩකන්ද

by Thanushika
January 30, 2025 10:59 am 0 comment

2025 නව වසර ආරම්භයේදීම සිංහල සිනමාවේ දිගහැරුණු ප්‍රථම චිත්‍රපටය වූයේ රෝස ආදෙර්ය. එහි අධ්‍යක්ෂවරයා වනුයේ තරුණ හදවත් නිර්මාණයෙන් ස්පර්ශ කරන හර්ෂ උඩකන්දයි. ඔහු තිර රචකයෙක්, ගීත රචකයෙක්, රංගන ශිල්පියෙක් මෙන්ම නිෂ්පාදකයෙක් ලෙසද කටයුතු කරයි. ඔහුගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය උලත් එකයි පිළත් එකයි චිත්‍රපටයයි. කොළඹ සන්නිය රිටන්, ගෝරි, ෆේස් ටු ෆේස්, සේද මාවත සහ කබඩි හර්ෂ විසින් අධ්‍යක්ෂණය කළ අනෙකුත් චිත්‍රපටයි.

හර්ෂ උඩකන්ද සිනමාවේ පමණක් නොව ටෙලි තිරයේත් දස්කම්පාන අධ්‍යක්ෂවරයෙකි. ගමට ඇවිල්ලා ටෙලි නාට්‍යය ඔස්සේ ටෙලි කලාවට පාතැබූ හර්ෂ, ලොක්කී ටෙලි නාට්‍ය මාලාව අධ්‍යක්ෂණය කරමින් රසික හදවත් දිනා ගත්තේය.

පසුගියදා ඔහු සරසවිය හමුවට පැමිණියේ ඔහුගේ හත්වැනි සිනමා නිර්මාණය පිළිබඳ කතා කරන්නටයි.

රෝස ආදරේ දක්වා ආ ගමන්මඟ පිළිබඳ පැහැදිලි කළොත් ?

රෝස ආදරේ මගේ හත්වැනි සිනමා නිර්මාණය. මම සිනමාවට පා තබන්නට කලින් සිතුවේ අවුරුදු හතළිහක් පනහක් වගේ වයසේදී චිත්‍රපටයක් කරන්න. ඒත් පසුව ඒ සිතුවිල්ල වෙනස් වුණා. සරසවිය පුවත්පතේ එදා සේවය කළ ප්‍රසාද් සමරතුංගත් මමත් එකතු වෙලා තමයි මගේ මුල්ම චිත්‍රපටයේ පිටපත ලිව්වේ. එය තමයි උලත් එකයි පිළත් එකයි චිත්‍රපටය. 2015 වසරේදී අපි එය රූගත කළා.

ඊට පෙර මම වෙළෙඳ දැන්වීම් නිර්මාණය කළා. ස්වාධීන රූපවාහිනී සේවයේ පෝදා ඒකාංගික ටෙලි නාට්‍ය මාලාවක් කළා. එතැන් පටන් ආ ගමන්මඟ තමයි මේ.

2025 වසර ඔබට වාසනාව රැගෙන එන වසරක් වේවිද?

ඔව්. අනිවාර්යයෙන්. රෝස ආදරේ මගේ හත්වැනි චිත්‍රපටය. 2025 වසර ආරම්භ වුණේ රෝස ආදරේ චිත්‍රපටයෙන්. ඒ නිසා Lucky Seven  කිව්වොත් නිවැරැදියි. රෝස ආදරේ මට වාසනාව ගෙන ආ චිත්‍රපටයක්.

රෝස ආදරේට ලැබෙන ප්‍රතිචාර කොහොමද ?

ඉතාමත් ඉහළයි. රෝස ආදරේ ට්‍රේලර් එක දාපු දවසේ පටන් ඉහළ ප්‍රතිචාර ලැබුණා. යූ ටියුබ් එකේ චිත්‍රපටයක ට්‍රේලර් එකක් ට්‍රෙන්ඩින් දර්ශකයකට ආ පළමුවතාව තමයි රෝස ආදරේ. චිත්‍රපටය තිරගත වෙන්න පටන්ගෙන මුල් දෙක තුනේදීම කොළඹ අවට සිනමා ශාලා හවුස් ෆුල් වුණා. එය අපට ලොකු උත්තේජනයක් වුණා. ඒ වගේම නරඹපු පිරිසගෙන් රෝස ආදරේට ලැබෙන ප්‍රතිචාර ඉතාමත් ඉහළයි.

රෝස ආදරේ කතාව ස්ව නිර්මාණයක්ද ? නැතහොත් විදේශීය චිත්‍රපටයක කොපියක්ද?

මේ කතාව ලිව්වේ අනූජ් රණසිංහ. අපි එකතු වෙලා වෙනස් විදිහකට කරන්න හිටපු චිත්‍රපටයක්. අනූජ් මේ කතාව ලියල තියෙන්නේ නාකොලොප්සි කියන රෝගය ගැන හොඳීන් අධ්‍යයනය කරලා. මේ රෝගය ගැන ලෝකයේ චිත්‍රපට එකක් හෝ දෙකක් නිර්මාණය වෙලා තියෙනවා. ඒවායින් ආභාසය අරගෙන තියෙනවා.

ඒත් අපි එයින් වෙනස් වූ අපේ නිර්මාණයක් ලෙස රෝස ආදරේ නිර්මාණය කළා. අපි කළේ මේ රෝගය ගැන කතා කිරීම පමණයි. ඒ නිසා මෙය අපේම චිත්‍රපටයක් ලෙස හඳුන්වන්න පුළුවන්.

ඔබ ඔබේ නිර්මාණ තුළින් නවකයන්ට ක්ෂේත්‍රයට එන්න අතහිත දෙනවා. රෝස ආදරේ තුළිනුත් අලුත් නළු නිළියන් කිහිපදෙනෙක් ඔබ සිනමාවට හඳුන්වා දෙනවා. ඒ පිළිබඳ විස්තර කළොත් ?

ඔව්. මම මගේ නිර්මාණවලට අලුත් ශිල්පීන් දායක කරගන්නවා. රෝස ආදරේටත් එහෙමයි. නිසල හෙට්ටිආරච්චි මුලින්ම එන්නේ ටෙලි නාට්‍ය රංගන ශිල්පියෙක් විදිහට. ඔහු මා අධ්‍යක්ෂණය කළ “ලොක්කී” ටෙලි නාට්‍යයේ රඟපෑවා. ඉන්පසු තමයි ඔහුව රෝස ආදරේ චිත්‍රපටයට තෝරා ගත්තේ. ඔහු දක්ෂයෙක්. ඒ වගේම තමයි රූමලී කෙෂීඩා, නිමේෂ් එදිරිසිංහ, පැතුම් රුක්ෂාන් සිනමාවට හඳුන්වා දුන්නා. පැතුම් ටෙලි නාට්‍යවලට නවකයෙක් නෙවෙයි. ඔහු ටෙලි නාට්‍ය රාශියක රඟපාලා තියෙනවා. ඒත් රෝස ආදරේ තමයි ඔහුගේ පළමු චිත්‍රපටය. මම හිතනවා ඔවුන් සියලු දෙනා සිනමාව පැත්තෙන් සාර්ථක වෙයි.

රෝස ආදරේ ප්‍රධාන නිළි චරිතය රඟපාන්නේ ලංකාවේ ජනප්‍රිය නිළියක් වන දිනක්ෂි ප්‍රියසාද්. චිත්‍රපටය සඳහා ඇගෙන් ලද සහයෝගය කෙසේද ?

දිනක්ෂි කියන්නේ වර්තමානයේ සිටින දක්ෂ ජනප්‍රිය නිළියක්. ඇය හරි සතුටින් සහ කැමැත්තෙන් චරිතය බාරගත්තා. නිසල සිනමාවට නවකයෙක්. ඒත් ඇය ඒ ගැන කිසිම වෙනසක් පෙන්නුවේ නැහැ. රෝස ආදරේ චිත්‍රපටයේ තියෙනවා තොල් සිපගන්නා දර්ශනයක්. නිසල සමඟ කිසිම පැකිළීමක් නැතිව ඇය ඒ දර්ශනය කළා. ඇගෙන් හොඳ සහයක් ලැබුණා රෝස ආදරේට. දිනක්ෂි සමඟ මම වැඩ කරපු පළවෙනි වතාව. ඇය වගේ නිළියක් සම්බන්ධ කරගන්න ලැබෙන එක අධ්‍යක්ෂවරයෙක්ගේ වාසනාවක්.

ලාල් වීරසිංහ කියන්නේ සිංහල සිනමාවේ මීට කාලයකට පෙර සිටි ජනප්‍රිය රංගන ශිල්පියෙක්. ඔහුත් රෝස ආදරේට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ පිළිබඳ ඔබේ අදහස?

ඔව් ලාල් වීරසිංහ කියන්නේ එක්තරා යුගයක් නියෝජනය කළ ජනප්‍රිය රංගන ශිල්පියෙක්. ඔහු මගේ හොඳ මිත්‍රයෙක් වගේම මගේ ව්‍යාපාරික සඟයා. මම ඔහුට රෝස ආදරේ ගැන කිව්වා. කිව් සැණින් ඔහු කැමැත්ත දුන්නා. රඟපෑම සඳහා කිසිදු මුදලක් අය කළේ නැහැ. ලාල් වීරසිංහ රංගන ශිල්පියාගේ දායකත්වය රෝස ආදරේට ආලෝකයක් ගෙන ආවා.

ඔබ ටෙලිනාට්‍ය සහ සිනමාව යන ක්ෂේත්‍රයන් දෙකෙහිම කටයුතු කරන පුද්ගලයෙක්. ඔබ වඩාත් කැමැති මින් කුමන අංශයටද?

දරුවෝ දෙදෙනෙක් ඉන්නවා නම් ඒ දෙදෙනාගෙන් කොයි දරුවාටද ආස කියල කියන්න බැහැ. දෙදෙනාටම එක හා සමාන ආදරයක් තිබිය යුතුයි. සිනමාව, ටෙලි නාට්‍ය අංශ දෙකේම මම වැඩ කරන නිසා ඒ දෙකටම මම එක හා සමානව කැමතියි. සිනමාව කියන්නේ එක් ක්ෂේත්‍රයක්. ටෙලි නාට්‍ය කියන්නේ තවත් පැත්තක්. මේ දෙක දෙවිදිහක් වුණාට ඒ අංශ දෙකේම වැඩ කරන්න මට හැකියාව තියෙනවා. මම අධ්‍යක්ෂණය කරන ටෙලි නාට්‍යවලට කැමැති වෙනම රසිකයන් පිරිසක් ඉන්නවා. චිත්‍රපට සඳහා වෙනම රසික පිරිසක් ඉන්නවා. ඉතින් මම මේ සියල්ල සමබරව කරගෙන යනවා.

ඔබට හොඳ නිෂ්පාදකයෙක් චිත්‍රපටය සඳහා දායක කරගැනීමට හැකිවූ බව ඔබ නිතර සඳහන් කරන කාරණයක්. ඒ පිළිබඳ තොරතුරු පැහැදිලි කළොත් ?

ඇත්තටම මට හොඳ නිෂ්පාදකයෙක් ලැබුණා. ඒ ගැන සතුටුයි. අශෝක ජයකොඩි මහතා මට ලොකු සහයෝගයක් දුන්නා. ඔහු මට පූර්ණ සහය දුන්නා චිත්‍රපටයේ වැඩකටයුතු නිදහසේ කරගෙන යන්න. බාධාකිරීම්, බලපැම් සිදුකළේ නැහැ. ඒ නිසා රෝස ආදරේ චිත්‍රපටය ලස්සනට කරන්න පුළුවන් වුණා.

රෝස ආදරේ කතාව ලියැවෙන්නේ ජනප්‍රිය නළුවෙක් වන අනූජ් රණසිංහ විසින්. ඇයි රෝස ආදරේ චිත්‍රපටයේ චරිතයක් රඟනොපෑවේ ?

රෝස ආදරේ කතාව ලිව්වේ අනූජ්. තිර පිටපත ලිව්වේ මම. අපි දෙන්නා මේ චිත්‍රපටය කරන්න සැලසුම් කරන්නේ මීට අවුරුදු හතකට කලින්. ඒත් අපි දෙදෙනාම කාර්‍ය බහුල නිසා එකිනෙකාට හමුවෙන්න කාලය නැති වුණා. ඒ අතරේ අනූජ් විදේශගත වුණා. ඔහු තමයි මෙහි ප්‍රධාන චරිතය කරන්න හිටියේ. පසුව ඔහුගේ ආශීර්වාදයත් සමඟ නිසල හෙට්ටිආරච්චි ප්‍රධාන චරිතයට අරගෙන චිත්‍රපටය කළා. රෝස ආදරේ කියන්නේ අනූජ් සහ මම දැකපු හීනයක්.

චිත්‍රපට ප්‍රචාරය සම්බන්ධයෙන් මාධ්‍යයෙන් ලැබෙන සහය කෙසේද ?

මේ වගේ අපිට සම්මුඛ සාකච්ඡාවකට ආරාධනා කරල අවස්ථා දෙනවා අඩුයි. ඉස්සර ඉඳන් අපිට සහයෝගයක් දුන්නා ලේක් හවුස් ආයතනය. සරසවිය පුවත්පත

දැන් පුවත්පත්වල තත්ත්වය වෙනස් වෙලා. ඇතැම් පුවත්පත් මහජනතාව අතට පත්වෙන්නේ නැහැ. තාක්ෂණික දියුණුවත් සමඟ දැන් සියල්ල වෙනස් වෙලා. නිෂ්පාදකයන් මහන්සි වෙලා ඇතැම් මාධ්‍යවලින් ප්‍රචාරයක් ඉල්ලාගෙන යන තැනට පත්වෙලා. මාධ්‍ය සහ සිනමාව එකට බැඳී තිබිය යුතු දෙයක්. දැන් ප්‍රශ්නය වෙලා තියෙන්නේ ලොකු එකමුතුවක් නැතිකම. ඒ ඒ ක්ෂේත්‍රයන් පිළිබඳ නිසි අවබෝධයක් නැති අය ඒ ඒ තැන්වලට පත්වූ විට තමයි ඔවැනි ගැටලු මතු වෙන්නේ.

රෝස ආදරේ ගැන ප්‍රේක්ෂකයන්ට කුමක්ද කියන්න තියෙන්නේ ?

රෝස ආදරේ වටා විශාල ප්‍රේක්ෂකයන් පිරිසක් එකතු වෙලා ඉන්නවා. ඒ ගැන සතුටුයි. මේ වෙනකොට සිනමාශාලා පිරී ගිහින් තියෙනවා රෝස ආදරේ බලන්න. ප්‍රේක්ෂකයන්ට ස්තූතියි රෝස ආදරේට ආදරේ කළාට. ඉදිරියටත් අපේ නිර්මාණ සමඟ එකතු වෙන්න, ඒවා රස විඳීන්න කියල මම ඉල්ලා සිටිනවා.

මේ දිනවල ඔබේ රෝස ආදරේ තිරගතවන මොහොතේ ආදරය ගැනත් කතා කරමුද?

ඔව් ආදරය ගැන කතා කරන්න කවුරුත් කැමැතියි. ආදරය විඳීන්න, ආදරය ලබන්න අපි හැමෝම කැමැතියි. ජීවිතයට ආදරය අවශ්‍යයි. මමත් ආදරය විඳලා තියෙනවා. විරහව විඳලා තියෙනවා. දැන් ආදරය විඳීමින් ඉන්නවා. ඇත්තටම මට දැන් ලැබෙන ආදරය සුන්දරයි.

ආදරණීය බිරිඳ ශලනිගෙන් ලැබෙන සහය කෙසේද ඔබේ නිර්මාණ කටයුතු සඳහා ?

ඇගෙන් හොඳ සහයක් ලැබෙනවා. රෝස ආදරේ චිත්‍රපටයේ විධායක නිෂ්පාදිකාව විදිහට ඇය කටයුතු කළා. ඇයට ක්ෂේත්‍රය පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා. ශලනි මට නිදහසේ වැඩ කටයුතු කරගෙන යන්න ඉඩදීලා තියෙනවා. ඇයට මා ගැන සහ මම කරන වැඩ කටයුතු ගැන හොඳ වැටහීමක් තියෙනවා. ඇය මට ශක්තියක්.

ඔබගේ සිනමා නිර්මණ තුළින් ශලනිව අපට දැකගන්න ලැබේවිද?

ඇය කැමැති ටෙලි නාට්‍යවලට. ශලනි මුලින්ම පැමිණියේ ටෙලි නාට්‍යවලින්. ඇය හුරුවෙලා තියෙන්නේ එයට. සිනමා නිර්මාණයකට දායක වෙන්න ශලනි එතරම් කැමැත්තක් නැහැ. බලමු ඉදිරියේදී .ඇය සිනමාවට එයිද කියලා. ශලනි චිත්‍රපටවල රඟනොපෑවත් මම කරන චිත්‍රපටවල තිරය පිටුපස සිට ඇය දෙන සහය මිල කරන්න බැහැ.

2025 වසර ආරම්භයේදීම අපට රස විඳීන්නට ලැබුණේ රෝස ආදරයකි. අධ්‍යක්ෂ හර්ෂ උඩකන්ද තරුණ හදවත්වලට ආමන්ත්‍රණය කරන නිර්මාණ තිළිණ කරන සුන්දර තැනැත්තෙකි. ඔහුගේ කලා කටයුතු වලට ශක්තියක් වන ඔහුගේ ආදරණීය බිරිඳ ශලනී ප්‍රනාන්දු ටෙලිනාට්‍ය ශිල්පිනියකි. හර්ෂ සරසවිය සමඟ කතාබහට එක්වූ මොහොතේ ඇය තම ආදරණීය ස්වාමිපුරුෂයා ගැන කතාකළේ දැඩි ආදරයකිනි.

මම තමයි හර්ෂගේ පළමු රසිකයා. ඔහුගේ රෝස ආදරේ සමඟින් තමයි මම මේ දවස්වල ජීවත් වෙන්නේ. රෝස ආදරේ කියන්නෙ ලස්සන කතාවක් රැගත් චිත්‍රපටයක්. අපිට හොඳීන් දැනෙන නිර්මාණයක්. වසර මුලදීම රෝස ආදරේ ඔහුට වාසනාව රැගෙන ආවා. විධායක නිෂ්පාදිකාව විදිහට මම රෝස ආදරේට සම්බන්ධ වුණා. සැබෑ ජීවිතයේදීත් ඔහුට උපරිම සහය දෙමින් ආදරය විඳීමින් සතුටින් ජීවත් වෙනවා.

2025 වසර ආරම්භයේදීම සිනමාවේ මැවුණු රෝස ආදරේ රෝගී තරුණයෙක් වටා ගෙතුණු සුන්දර කතාවකි. තරුණ හදවත් ස්පර්ශ කරන සිනමා සිත්තමකි. හර්ෂ උඩකන්ද විසින් අධ්‍යක්ෂණය කරන තවත් අපූරු චිත්‍රපටයක් මේ වසරේදී ප්‍රේක්ෂකයන්ට තිළිණ කිරීමට නියමිතය.

රෝස ආදරේ සුවඳ විඳීන්නට ඔබටත් ආරාධනා ….

සේයාරූ – නිශ්ශංක විජේරත්න

[email protected]

නයනාංජලි දෙහිපිටිය

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT