රංගන ශිල්පියකුගේ හෝ ශිල්පිනියකගේ රඟපෑම වේදිකාවෙන් ආරම්භ වීම ඔහුගේ හෝ ඇයගේ කලා දිවියට ලැබෙන ශක්තිමත් අඩිතාලමකි. වේදිකාව ඔස්සේ ලබන අත්දැකීම් පුහුණුව සුළු කොට සැලකිය නොහැක. හෙළ කලා කෙතෙහි ශ්‍රේෂ්ඨ චරිත බොහොමයක් තම පළමු පියවර තබා ඇත්තේ වේදිකාවෙනි.
වර්තමානයේ රංගනයට පිවිසෙන නවක පිරිස රඟපෑම අරඹන්නේ ටෙලිනාට්‍ය වලිනි. ඇතැම් අයට රංගනය ගැන කිසිදු දැනුමක් නැත. තම හැකියාව වේදිකාවෙන් පෝෂණය කරගනිමින් ඒ ඔස්සේ ක්‍රමානුකූලව පුහුණුවක් ලබා රංගන ශිල්පිනියක් වූ සුන්දර තරුණියක් සරසවිය සමඟින් එක්වූවාය. ඇය දිල්හාරා ජයසිංහයි. වේදිකාවේ දස්කම් දක්වන ඇය ඉදියේදී අලුත්ම සිනමා නිර්මාණයකින් ප්‍රේක්ෂකයන් හමුවීමට නියමිතයි. ඇය තම කලා හැකියාවන් පිළිබඳ තොරතුරු සරසවිය පාඨකයන් සමඟ බෙදාහදා ගැනීමට සරසවිය සමඟින් එකතු වූවාය.
සරසවිය මා ගැන කතා කිරීම මට හීනයක් වගේ. අපිට තියෙන එකම කලා සහ සිනමා පුවත්පත. ඒ ගැන මට සතුටුයි. මම කලාවට උනන්දු වුණේ පාසැල් සිසුවියක ලෙස හිටපු කාලයේ සිටමයි. ඒ වගේම බාහිර වැඩ බහුලව කළ කෙනෙක්. කලාවට, ක්‍රීඩාවට මම කුඩා කාලයේ පටන් ඇලුම් කළා. එක වසරේ සිට පහ වසර දක්වා මම ඉගෙන ගත්තෙ බෙම්මුල්ල පිටියගෙදර ප්‍රාථමික විද්‍යාලයේ. පහේ ශිෂ්‍යත්වය සමත් වෙලා වේයන්ගොඩ බණ්ඩාරනායක මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වුණා. එහිදී මම ක්‍රීඩා කටයුතු වලට වැඩි නැඹුරුවක් දැක්වූවා. උස පැනීම දුර පැනීම ඉසව් වලින් මම පළාත් මට්ටමේ ජයග්‍රහණ ලබා තිබෙනවා. ක්‍රීඩා කිරීමෙන් ලබන අත්දැකීමත් කලාවට බලපානවා. අපි ශක්තිමත් වෙනව ක්‍රීඩාවේදී. එය රංගනයේදී අපිට ප්‍රයෝජනවත් වෙනව කියල මට හිතෙනවා. විශේෂයෙන් වේදිකාවේදි ජවය කියන දේ තිබිය යුතුයි. මම පාසැලේදී සංගීතය හැදෑරුවා. සංගීත භාණ්ඩය විදිහට වයලීනය වාදනය කළා. පෙරදිග තූර්ය වාදක කණ්ඩායමේ සමාජිකාවක් විදියටත් මම කටයුතු කළා. උසස් පෙළ කරන කාලයේදී කලා කටයුතු වලින් තරමක් ඈත් වුණා. මම උසස් පෙළට තෝරා ගත්තේ විද්‍යා විෂයයන් නිසා පාඩම් වැඩ කෙරෙහි වැඩිපුර සැලකිලිමත් වුණා.
උසස් පෙළ අවසන් වූ පසුව මම බැංකු ක්ෂේත්රයේ රැකියාවක් තෝරා ගත්තා. අවුරුදු අටක් මම රැකියාවේ නිරත වෙලා සිටියා. පසුව මම එයින් ඉවත් වෙලා කලාවට යොමු වුණා. මට මුලින්ම මුණගැසුණේ ප්‍රවීණ නාට්‍යවේදියෙකු වූ කිත්සිරි මෙවන් ජයසේන සර්ව. එවැනි නාට්‍යවේදියෙක් මුණ ගැසීම භාග්‍යයක්. වේදිකා නාට්‍ය රංගනය මට ලැබුණ සුවිශේෂී වරමක්. කිත්සිරි සර්ගේ ලස්සන මුර්ගයා නාට්‍යයට සම්බන්ධ වෙන්න ලැබීමෙන් වේදිකාව ගැන බොහෝ දේ ඉගෙන ගත්තා.
එයින් පසුව පරාක්‍රම නිරිඇල්ල සර්ගේ සෙක්කුව, අසංක පෙරේරාගේ වෙල්ලස්සේ වෙඩිහඬ, අතුල පීරිස්ගේ බූරුවාධිකරණය, සුගත් මොරගහකුඹුරගේ අරුන්දතී මං මනමාලයි, මාෂල් ජනතාගේ ප්‍රාණ සංගීතමය නාට්‍යය, ශිරාන් පීරිස්ගේ අයිස් කිලර්, සුගත් සමරදිවාකරගේ පිස්තෝලේ නෑ, සුනිල් සමරකෝන් සුදු ලිගිණියෝ වේදිකා නාට්‍යවල රඟපෑවා.
මම කලා ක්ෂේත්රයට ඇවිත් අවුරුදු හතරක් පමණ වෙනවා. මට මුලින්ම හමුවූ කිත්සිරි මෙවන් සර් ගැන කතාකළ යුතුයි. ලස්සන මුර්ගයා වේදිකා නාට්‍යයේ ගීත ගයන්න තමයි මම මුලින්ම සම්බන්ධ වුණේ. සර් කිව්වා ඔයා රඟපාන්නත් උත්සාහ කරන්න කියලා. ලස්සන මුර්ගයා නිර්මාණය වුණේ Beauty and the beast නැමැති කතාව අනුසාරයෙන්. එහි රෝසියෝ කියන චරිතය රඟපාල පෙන්වන්න කිව්වා. මම රඟපාල පෙන්නුවා. මගේ රංගනයට සර් කැමැති වුණා. ඒ විදිහට තමයි මම ලස්සන මුර්ගයා වේදිකා නාට්‍යයට සම්බන්ධ වුණේ. එහි රඟපෑම් දැකල මට සුනිල් සමරකෝන් නාට්‍යවේදියාගේ සුදු ලිහිණියෝ නාට්‍යයට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. එය මංගල මඬුගල්ලගේ නිෂ්පාදනයක්.
වේදිකා නාට්‍ය ජීවිතයේ විශේෂ හැරවුම් ලක්ෂ්‍යය වුණේ පරාක්‍රම නිරිඇල්ල සර්ගේ සෙක්කුව වේදිකා නාට්‍යය. එය මට ලැබුණ සුවිශේෂ සහ වටිනා අවස්ථාවක්. 1976 වසරේ තමයි එය නිර්මාණය වෙලා තියෙන්නේ. හතරවැනි හෝ පස්වැනි නිෂ්පාදනයේදී තමයි මට අවස්ථාව ලැබෙන්නේ. සෙක්කුව වේදිකා නාට්‍යයට නවක රංගන ශිල්පීන් බඳවා ගන්නවා කියන ආරංචියට මමත් ගියා ඔඩිෂන්වලට. ඒ අවස්ථාවේ නවක ශිල්පීන් කිහිපදෙනෙක් තෝරා ගත්තා. ඒ කණ්ඩායමට මාවත් තෝරාගෙන තිබුණා. සෙක්කුව වේදිකා නාට්‍යයේ ප්‍රධාන චරිත හයක් තියෙනවා. එයින් දෙදෙනෙක් රඟපාන්නේ ගොනුන් දෙදෙනෙකුට. ඒ චරිත දෙක මුල සිටම රඟපාල තිබුණේ පිරිමි නළුවන් දෙදෙනෙක්. ඒත් පරාක්‍රම සර්ට අවශ්‍ය වෙලා තිබුණා ගැහැනු ළමයි ඒ සඳහා යොදාගන්න. වෙනසක් සිදුවෙන්න අවශ්‍ය නිසා. ඒ අනුව සෙක්කුව නාට්‍යයේ “පැඟිරා” වෙන්නේ මම. නර්තනයට ගායනයට ඇති හැකියාව පරීක්ෂා කිරීමෙන් අනතුරුව මාව ඒ සඳහා තෝරාගත්තා. සෙක්කුව වේදිකා නාට්‍යය තවමත් වේදිකා ගතවෙනවා. ඉදිරියේදී ටවර් රඟහලෙත් දර්ශන වාර කිහිපයක් තියෙනවා.
සෙක්කුව නාට්‍යය නිෂ්පාදනය කරන්නේ නිරෝෂ කවිරත්න. සුගත් මොරගහකුඹුරගේ අරුන්දතී මං මනමාලයි වේදිකා නාට්‍යයත් මේ දිනවල වේදිකාගත වෙනවා. එහි ගීත දෙකක් ගායනා කරන්නේ මා විසින්.
වේදිකාවට සම්බන්ධ වෙලා ඉන්න අතරේම මට ටෙලි නාට්‍ය ක්ෂේත්රයටත් සම්බන්ධ වෙන්න ලැබුණා. සිරස නාලිකාවේ විකාශය වූ නීල පබළු සහ වාව් මැඩම් ටෙලිනාට්‍යයේ මම රඟපෑව. එය සඳුන් රාජකරුණාගේ අධ්‍යක්ෂණයක්. මම එහි කළ චරිතය ප්‍රේක්ෂකයන් අතරට ගියා. ඒ වගේම දෙරණ නාලිකාවේ විකාශය වූ ඇපාසිංහයන්ගේ අධ්‍යක්ෂණයක් වූ ප්‍රියවදනී නාට්‍යයට සම්බන්ධ වුණා. එහි මම යශෝධා කියන චරිතයට පණදුන්නා. ජී නන්දසේනගේ අධ්‍යක්ෂණයක් වූ බේකරි ගෙදර කාංචනා වුණේ මම. මාවෝ ලක්ෂිත අධ්යක්ෂවරයාගේ ෆ්ලැට් නොවන ෆැල්ට් ටෙලි නාට්‍යයේ රඟපෑවා. එය විකාශය වුණේ ජාතික රූපවාහිනියේ. වේදිකාවේ, ටෙලි නාට්‍යයේ වැඩ කටයුතු අතරේ සිනමාවටත් සම්බන්ධ වුණා. ප්‍රවීණ චිත්‍රපට සහ ටෙලි නාට්‍ය අධ්යක්ෂවරයෙක් වන ගාමිණී හේවාවිතාරණ අධ්‍යක්ෂණය කළ රුවන් තාරකා සහ යකඩ දියණියෝ චිත්‍රපට සඳහා දායක වුණා. එහෙත් ඒවා ප්‍රධාන චරිත නෙවෙයි. රුවන් තාරකා තවමත් තිරගත වුණේ නැහැ. යකඩ දියණියෝ මේ දිනවල ඊශ්‍රාලයේ තිරගත වෙනවා. මට අලුතින්ම ලැබුණ චිත්‍රපටය “අමීගෝ”. එහි තාම රූගත කිරීම් සිදුකළේ නැහැ. නුදුරේම එහි වැඩ කටයුතු ආරම්භ වෙයි. අමීගෝ චිත්‍රපටයට මට ආරාධනා කළේ එහි අධ්යක්ෂවරයා වන සන්දේශ් බණ්ඩාර. රොෂාන් පිලපිටිය අයියාත් එයට සම්බන්ධ වෙලා ඉන්නවා.
සිනමාව ගැන කතා කරද්දී මේ දේත් පැවසිය යුතුයි. ටෙලි නාට්‍ය, සිනමා ක්ෂේත්රය කෙරෙහි මගේ හිතේ පුංචි කලකිරීමක් තියෙනවා. සමහර තැන් වලදි මාව ප්‍රතික්ෂේප කරපු අවස්ථා තියෙනවා. ලැබෙන්න තිබූ චරිත නොලැබී ගිහින් තියෙනවා. ඒ නිසා ඒ ක්ෂේත්රයන් දෙක ගැන මගේ හිතේ ලොකු හීන නැහැ. මම අදටත් කැමැති වේදිකාවට. මම හරිම ආසාවෙන් වේදිකාවේ රඟපාන්නේ. අපිට හොඳ පුහුණුවක් ලැබෙන්නෙ වේදිකාවෙන්. නිසි පුහුණුවක් සමඟ ක්ෂේත්රයට පැමිණියොත් එහි රැඳී සිටින්න පහසුයි. මට ලැබෙන චරිත වලින් යමක් කරන්න පුළුවන් නම් මම භාරගන්නවා. ඇත්ත වශයෙන්ම මම තවම ටෙලි නාට්‍යයේ, සිනමාවේ රඟපාලා නැහැ කියල මට හිතෙනවා. මට තෘප්තිමත් වෙන්න පුළුවන් චරිත ලැබිලා නැහැ එම ක්ෂේත්රයන් දෙකේ. වේදිකාවේ මට ලැබුණ චරිත ගැන මම තෘප්තිමත්. මට චරිත පිපාසයක් තියෙන්නේ. ජාතික රූපවාහිනියේ විකාශය වන ගුණාත්මක බවින් යුත් ටෙලි නාට්‍ය දකින විට ආසාවක් ඇතිවෙනවා මටත් මෙවැනි චරිත ලැබෙනවා නම් කියන සිතුවිල්ල. මම හදිසියේ යන ගමනක් නෙවෙයි මේ යන්නේ. ලැබෙන චරිත තෝරාගෙන මට යමක් කිරීමට හැකි රංගනයක යෙදෙමින් හිමින් ගමනක් යනවා. තරුණියක්, කාන්තාවක් වූ විට කතා හැදෙනවා වැඩියි. විශේෂයෙන් කලා ක්ෂේත්රයේ නියැළී සිටින අයට. එහෙත් මම හිතන විදිහට වෙනත් ක්ෂේත්රයන් වල කටයුතු කරන තරුණියන්ට, කාන්තාවන්ටත් කතා හැදෙනවා ඇති . මොනයම් ක්ෂේත්රයක සිටියත් තමන් සිටිය යුතු සීමාව දැනගෙන කටයුතු කරනවා නම් ප්‍රශ්න නැහැ. රංගනය කියන්නේ හොඳ වෘත්තියක්.
රංගනයට අමතරව මට මගේම කියලා ව්‍යාපාරයක් තියෙනවා. ජීවිතය ස්ථාවර වෙන්න නම් වෙනත් ආදායම් මාර්ගයකුත් තිබිය යුතුයි. රංගනය , ව්‍යාපාර කටයුතු වගේම මේ දිනවල මම සංගීතය පැත්තටත් යොමු වෙලා ඉන්නවා . මම ගීත ගායනයට කැමතියි. ඒ වෙනුවෙන් මේ දිනවල වැඩිපුර කාලයක් ගත කරනවා. සංගීත කණ්ඩායමක් සමඟ සම්බන්ධ වෙලා ගායිකාවක් විදිහට කටයුතු කරනවා. මුලින්ම ගීත ගායනය සඳහා මට අවස්ථාව ලැබෙන්නෙ පෙර පාසැල් ප්‍රසංගවල ගීත ගායනා කිරීම නිසා. රැකියාවෙන් ඉවත් වෙලා නිවසේ ගත කරන කාලේ මම පෙර පාසැල් ගුරු පුහුණු ඩිප්ලෝමාවක් කළා. අවුරුදු දෙකක් පමණ මම පෙර පාසලක ඉගැන්වූවා. එහි ප්‍රසංගයක ගීත ගායනය කළ නිසා තමයි මට ඒ සඳහා ආරාධනා ලැබුණෙ. මගේම ගීත නිර්මාණ තුනක් තියෙනවා. විශේෂයෙන් එහි එක් ගීතයක් ගැන සඳහන් කළ යුතුයි. “අරගල බිමක ගීතය” එහි පදරචනය සහ ගී තනුව කිත්සිරි මෙවන් ජයසේන සර්ගේ. ඔහු මගේ ගායන හැකියාව හොඳීන් හඳුනාගෙන තිබූ නිසා ඔහු මට පැවසුවා මේ ගීතය දිල්හාරාගේ හඬින් අහන්න කැමතියි කියලා. ඉන්පසු මම කියූ ගීතය ඔහු පටිගත කළා. එය අරගලය තිබූ සමයේ හමුවූ පෙම්වතුන් දෙදෙනෙක් ගැන කියවෙන ගීතයක්. ඉදිරියේදී බලාපොරොත්තුවෙන් ඉන්නවා තවත් ගීත නිර්මාණ කරන්න. ප්‍රසංග සහ විශේෂ උත්සව වලට ගායිකාවක් ලෙස සහභාගී වෙනවා. මේ හැම අංශයකින්ම දක්ෂතා පෙන්වන්න තමයි මගේ බලාපොරොත්තුව.
වේදිකාව, ටෙලි නාට්‍යය, සිනමාව ගායනය යන සිව් අංශයේම නියැළී සිටින ඇය දක්ෂතා වලින් සපිරි කලා ශිල්පිනියකි. ඇයගේ ගමන වේගවත් නැත. එනිසාම ඇයට කලා ක්ෂේත්රයේ දිගු ගමනක් යා හැකිබව නියතය.
නයනාංජලි දෙහිපිටිය