ගෙලාන් මට කියවන්නට හමුවූ අමුතු ආකාරයේ නවකතාවක්. නවකතාවක් කිව්වට ඒක සාම්ප්‍රදායික නවකතාවෙන් බැහැරට ගිය ආකෘතියක් තිබුණු එකක්. විශේෂයෙන්ම එහි අන්තර්ගත කරුණු කාරණ පර්යේෂණයකින් අනතුරුව සොයා ගන්නා ලද සත්‍ය කරුණු විම සුවිශේෂයි. අනෙක් අතට මෙහි අන්තර්ගතය මෙරට මෙතෙක් අප කියවූ බොහෝ පොත පතින් දුරස්ථ මතෘකාවක් විමත් විශේෂයක්. මේ පොතින් කියවෙන්නේ විවිධ ආකාරයෙන් සිරුර අලෙවි කරන ගැහැනුන් සහ පිරිමින් පිළිබඳ. අතීතයේදි ලෝකේ පැරැණිම වෘත්තිය වශයෙන් අපි එය ගණිකා වෘත්තිය ලෙසින් හැඳීන්වුවද, වර්තමානයේ ඔවුන් නම් ලබන්නේ ලිංගික ශ්‍රමිකයන් හෙවත් ‘සෙක්ස් වර්කර්ස් ලා වශයෙනි.
ඔවුන්ගේ ජිවන අන්දරයන් විවිධය. ඔවුන් මෙකී වෘත්තිය ජිවිතයට පිවිසෙන්නට හේතු වු විවිධ ආර්ථික, සමාජිය, හා දේශපාලන කාරණා මෙහි මොනවට විග්‍රහ වන්නේය. එසේම මෙකී කාරණා විවෘතව සාකච්ඡාවට බඳුන් කරන්නට සහ ඒ ඇසුරින් නිර්මාණාත්මක කාර්යයක් සිදු කරන්නට ලේඛිකාව තුළ තිබුණා වූ විවෘත මානසික ස්වභාවයද අගනේය. විශේෂයෙන්ම ඈ මෙකී වෘත්තිය පිළිබඳ මානුෂිය සාධාරණත්වයකින් බලන්නටත්, ඔවුන් එල්ලුම් ගසට නියම නොකරන්නටත් මෙකී ග්‍රන්ථයෙන් වගබලාගෙන තිබුණි.
ඉතින් අද අපේ කතා බහ යොමු වන්නේ ‘ගෙලාන්’ නැමැති මෙම ග්‍රන්ථය රචනා කළ ලේඛිකාව සමඟ ය. ඇය ලේඛිකාවක ලෙසින් පමණක් නොව මනෝ විද්‍යා උපදේශකවරියක වශයෙන්ද කටයුතු කරන්නියකි. වර්තමානය වනවිට මෙරටින් බැහැරව සිංගප්පුරුවේ වාසය කරන ඇය පසුගියදා සිය ගෙලාන් කෘතිය ජනගත කරන්නට ලංකාවට පැමිණයාය. කෘතිය ජනගත කිරිමෙන් පසුව නැවත සිංගප්පුරුව බලා ගිය ඇය සමඟ කල මෙම සංවාදය ඇගේ ගෙලාන් කෘතිය හා ඇගේ නිර්මාණ පසුබිම පිළිබඳ වන්නකි.
ඔබ ලේඛන කාර්යයට පිවිසෙන්නේ කොහොමද?
මම ලිවීම පටන් ගත්තේ පාසල් කාලයේදිමයි. නමුත් උසස් අධ්‍යාපනය හදාරන කාලයේදී ඒක ටිකක් මඟහැරුණා. ඊට පස්සේ මම ලියන්න පටන් ගත්තේ සමාජ මාධ්‍ය හරහා. ඒකෙන් තමයි මට මගේ රටේ අයත් සමඟ නැවතත් සම්බන්ධයක් ගොඩ නගාගන්න පුළුවන් වුණේ.
ලේඛනයට ප්‍රවිෂ්ට වෙන්න ඔබට පුර්වාදර්ශ වුණේ මොනවද?
මට ජීවිතේ ගැන තියෙන ප්‍රායෝගික දැක්ම ටිකක් වෙනස් එකක්. මගේ ලේඛනයට පුර්වාදර්ශ වෙන්න ඇත්තේ ඒක කියලා මට හිතෙනවා. ඕනම දෙයක් දිහා හැමෝම දකින විදිහට එහා වෙනස්ම මධ්‍යස්ත කෝණයකින් බලන පුරුද්ද පුංචි කාලේ ඉලම මට තිබුණා. ඒ නිසාම මගේ ලියවිලි ජිවිතේ ප්‍රායෝගික පැත්ත එක්ක සම්බන්ධ වෙනවා වැඩියි. ඒක නිසා වෙන්න ඇති මිනිස්සුන්ට ඒවා වැඩිපුර දැනෙන්නේ. මගේ ලිපි සහ වීඩියෝ මේ තරම් මිනිස්සු අතරට යෑමට ඒ දැනීම ලොකු හේතුවක් වුණා කියලා මම විශ්වාස කරනවා.
ඔබ බොහෝ වෙලාවට ඔබේ අදහස් සමාජ ගත කරන්නට සමාජ මාධ්‍ය යොදා ගන්න කෙනෙක්. වර්තමාන සමාජ මාධ්‍ය සහ ලේඛනය අතර තිබෙන සබැඳීයාව ගැන ඔබේ අදහස කුමක්ද?
සෝෂල් මිඩියා මිනිස්සු අතරට එන්නේ දෙදාහ වසරෙන් පස්සේ. මේ අපි ඉන්න ඩිජිටල් යුගයේ මිනිස්සු, ජීවත් වෙන්න කාලයත් එක්ක පුදුම තරගයක් දෙනවා. ඒ වගේ වට පිටාවක ඉස්සර වගේ ටි වි එක ඉස්සරහා ලොකු වෙලාවක් රැඳෙන්න මිනිස්සුන්ට ලොකු කාලයක් නැහැ. ඉතින් බත් කන ගමන්, වැඩ කරන ගමන්, යන එන ගමන්, තමන්ගේ අතේ තියෙන ෆෝන් එකෙන්, සිංදුවක් අහන්න, තමන් කැමැති දෙයක් බලන්න මිනිස්සු ඇබ්බැහි වෙලා ඉන්නවා. ලේඛිකාවක් විදියට මිනිස්සු අතරට යෑමට තියෙන පහසු සහ පුළුල් භාවය නිසා මම මේ ක්‍රමයට කැමැතියි. ඇත්තම කිවුවොත් අනිශා ජයකොඩි කියන නම බිහි වෙන්නෙම සමාජ මාධ්‍ය නිසා තමයි. ඉස්සර වගේ දක්ෂතා හැකියා තිබෙන මිනිස්සුන්ට දැන් අවස්ථා ඉල්ලමින් එක එක තැන්වල රස්තියාදු වෙවි ඉන්න ඕන නෑ. සමාජ මාධ්‍ය නිසා ඕනම කෙනෙකුට තමන්ගේ දක්ෂතාවයක්, හැකියාවක් ඉතාම පහසුවෙන් තමන් විසින්ම සමාජ ගත කිරිමේ අවකාශය ලැබිලා තියෙනවා. තමන්ගේ සීමාවන් මොනවද කියලා දන්නවා නම්, බුද්ධිමත් නම් සමාජ මාධ්‍ය කියන්නේ ඕනම කෙනෙකුට දේවල් ඉගෙන ගන්න, දැනුම්වත් වෙන්න, ව්‍යාපාර කර ගන්න වගේම යහපත් ලෙස සමාජ ගත වෙන්න ඉතාම හොඳ අවස්ථාවක්.
ඔබ ගෙලාන්ට ප්‍රථම ග්‍රන්ථ ද්විත්වයක් එලි දක්වලා තිබෙනවා නේද?
ඔව්. මගේ පළමු වෙනි කෘති දෙක වුණේ නුරි හා නානා කියන පොත් දෙක. මේ පොත් දෙක මම හිතුවටත් වඩා ඉක්මනට මිනිස්සු අතරට ගියා. නානා කියන්නේ කාව්‍ය සංග්‍රහයක්. නුරි කියන්නේ ගැහැනු සහ මිනිස්සුන්ගේ මනුස්ස හැඟිම් සහ දැනීම් අලළා ලියවුණ වෙනස් විදියේ නවකතාවක්. නුරි නව කතාවේ තියෙන ප්‍රායෝගිකත්වය නිසාම නුරි ඇතුළේ මිනිස්සුන්ට තම තමන්ව පෙනෙන්න පටන් ගත්තා. ඇත්තම කිව්වොත් මගේ අතින් ලියවෙන හැම පොතකින්ම කුමක් හෝ ධනාත්මක සමාජ වෙනසක් ඇති කිරිම තමයි මගේ එකම අරමුණ. නුරි සහ නානා කියන මගේ මුල්ම පොත් දෙකේදිම මගේ ඒ අරමුණ සාර්ථක වුණා කියලා ලොකු ආධ්‍යාත්මික සතුටක් මට තියෙනවා.
අපි ඔබේ නවතම කෘතිය ගෙලාන් පැත්තට යොමුවෙමු?
ගෙලාන් කියන්නේ පර්යේෂණාත්මක කෘතියක්. තවත් සරලව කිවුවොතින් මේක ලිංගික ශ්‍රමිකයෝ ගැන ලියවුණු පොතක්. අවුරුදු ගණනාවක සමාජ පර්යේෂණයකින් පස්සේ, මගේ මනෝ විද්‍යාත්මක දැනුමත් එකතු කරලා, මනෝ උපදේශිකාවක් විදිහට මගේ වසර ගනණාවක අත්දැකිම් යහමින් මුසු කරලා තමයි ‘ගෙලාන්’ ලියවුණේ. අපි වගේ තුන්වැනි ලෝකයේ රටවල්වලට බොහෝ ප්‍රශ්නවලට සෘජුව සහ වක්‍රව සෙක්ස් කියන කාරණාව බලපානවා. ඒ ගැන තිබෙන නොදැනුවත්කම, සමාජ වටපිටාව සහ යම් යම් සංස්කෘතික කාරණා නිසා සෙක්ස් නිසා මිනිස්සු විඳවනවා., ජීවිත වරද්දවා ගන්නවා. , පටලවා ගන්නවා. ඒ වගේ ඇත්ත කතා සහ ඒ පිළිබඳ මනෝ විද්‍යාත්මක ඇත්ත එක්ක ලියවුණු නවකතාවක් තමයි ගෙලාන් කියන්නේ. සරලවම කිව්වොත් ගෙලාන් ඇතුළේ තියෙන්නේ ගැහැනු සහ මිනිස්සු ජිවිතේ කාටවත්ම කියන්න අකමැති මනුස්ස හැඟීම්.
ලේඛනයෙන් එහාට ගිය ඔබේ මනෝ උපදේශන භූමිකාව ගැන කතා කළොත්?
මනෝ උපදේශනය කියන්නේ මම හුඟාක් ආසාවෙන් නියැළෙන වෘත්තියක්. මම කොහොමත් මිනිස් සිත සහ හැසිරිම් ගැන ගැඹුරින් අධ්‍යයනය කරන කෙනෙක්. මනෝ උපදේශනයේදි මට දිනපතා ලොවපුරා විසිරී ඉන්න විවිධාකාර මිනිස් ජීවිත එක්ක බොහොම ළඟින් ගනුදෙනු කරන්න ලැබෙනවා. ඒ වගේම ඒ මිනිස්සුන්ගේ මානසික ගැටලු වලට පිළිතුරු දිලා ඒ ජිවිත ලස්සන කරන්න ලැබෙනවා. ඇත්තම කිවුවොත් මනෝ උපදේශනය කියන්නේ මට රැකියාවකට එහා ගිය සමාජ සේවයක්. අපේ රටේ මිනිස්සුන්ට මනෝ උපදේශනය ගැන තියෙන දැනුම සහ අවබෝධය සාපේක්ෂව අවමයි. ඒ නිසාම විසඳ ගන්න පුළුවන් ප්‍රශ්න නිසා මිනිස්සු අහේතුකව විඳවනවා. තමන්ගේ ප්‍රශ්නයකදි ඒ තියෙන සංවේදිතාවය නිසාම මිනිස්සුන්ට ප්‍රශ්නය නිවැරැදිව අවබෝධ කර ගන්න බැරිවෙනවා. එතැනදි තමයි කෙනෙක්ට මනෝ උපදේශනය අවැසි වෙන්නේ. නිවැරැදි උපදේශනය නිසා මිනිස් ජීවිත උඩුයටිකුරු කරවන්න පුළුවන්.
ඔබ විදේශයක ජිවත් වෙලා සිටියදිත් මේ තරම් ලංකාව සමඟ සම්බන්ධ වෙලා කටයුතු කරන්න හේතුවක් තිබෙනවද?
ලංකාවෙන් පිට හිටියට අපි නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත රටට ණය මිනිස්සු. ඒ ණය අපි ගෙවන්න ඕන. මොන තරම් සැප පහසුවෙන් ජීවත් වෙන්න පුළුවන් කම තිබුණත් මට ලංකාවෙන් සම්පූර්ණයෙන් මිදෙන්න බැහැ. මම හිතන්නේ රටෙන් පිටඉන්නකොට රට ඇතුළේ ඉන්නවට වඩා තමන්ගේ රටේ අගය දැනෙනවා. ලේඛනය, ගීත රචනය සහ මනෝ උපදේශනය නිසා මට මගේ රටේ මිනිස්සු එක්ක දිනපතා සම්බන්ධ වෙන්න පුළුවන් වෙලා තියෙනවා.
ඔබේ අනාගත අරමුණු සහ මිළඟ නිර්මාණ ගැන කතා කළොත්?
කවදා මැරෙයිද කියලා නොදැන වුණත් මම මගේ ජීවිතේ එක එක කොටස් වලට වෙන්කර ගෙන තිබෙනවා. ජිවිතේ දෙවැනි දශකයේදි මම විවාහ වුණා. දුවෙක් හැදුවා. ආර්ථිකව ස්ථාවර වුණා. වැඩිදුර ඉගෙන ගත්තා. සහ තවමත් ඉගෙන ගනිමින් ඉන්නවා. ඒ සියල්ලෙන් මම ඉතාම තෘප්තිමත්. ඒ වින්දනය විඳීන ගමන්ම මට ඕනේ ඊට වඩා වෙනස් දේවල් ටිකක් කරන්න. ඉතින් පොත් ලියන එක, රිසර්ච් කරන එක, අලුත් විෂයයන් ඉගෙන ගන්න එක තමයි මගේ පැෂන් එක. අපි හැමෝම මැරෙනකම් ජීවිත එක්ක හැප්පෙන්න ඕනේ. අලුත් දේවල් කරන්න ඕනේ. එතකොට තමයි ජීවත් වෙනවා කියලා දැනෙන්නේ. මම හිතන්නේ එහෙම. ලේඛනයට සම්බන්ධව ගත්තම නම් මනෝ විද්‍යාව, සමාජ විද්‍යාව, අධ්‍යාපනය, පවුල් ජීවිතය, පෞරුෂ වර්ධනය, තාරුණ්‍යයය, ළමා මනෝ විද්‍යාව සහ තවත් අංශ ගණනාවක පොත් ලියන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මේ දශකය පුරාම සමාජය ට මොනම හෝ දැනුම්වත් විමක් ලබාදීම අරමුණු කරගෙන ඒ සෑම අංශයකින්ම පොත් මගේ අතින් ලියවේවි.
ඔබේ පෞද්ගලික ජිවිතේ තොරතුරු මොනවාද?
මම විවාහකයි. මට දුවෙක් ඉන්නවා. මම කරන හැම දේකටම මට සහාය දෙන්නේ මගේ මහත්තයා. පවුලේ පූර්ණ සහයෝගය නොවන්නට මට මේ දේවල් කළමනාකරණය කරගන්න පුළුවන් වෙන්නේ නෑ. ඒ අවබෝධයට සහයෝගය, සහ තේරුම් ගැනීම මට මේ ගමන එන්න ලොකුම හයිය වෙලා තිබෙනවා.
හේමාලි විජේරත්න