Home » මට චරිතයක් ලැබුණම ඒක මම මගේ කර ගන්නවා

මට චරිතයක් ලැබුණම ඒක මම මගේ කර ගන්නවා

ප්‍රවීණ රංගනවේදිනී නීටා ප්‍රනාන්දු

by Thanushika
August 22, 2024 8:41 am 0 comment

ගැහැනියකගේ ජිවිතයේ උත්කර්ෂවත්ම අවස්ථාව මවිපදවිය හිමිවීමය. මවක් සහ දරුවෙකු අතර වන බැදීම විස්තර කරන්නට අකුරු වලට පුළුවන් වෙයි යැයි සිතීමද උගහටය. එය ඒ තරමටම අසීරු සංවේදි කාරණාවකි. තම රුධිරය කිරි බවට පරිවර්තනය වන්නේ මේ අපුරු බැදීම තුළ වන්නාවූ ආශ්චර්යමත් ක්‍රියාදාමය නිසාය. දරුවෙකු වෙනුවෙන් මවකට අත්හැරිය නොහැකි කිසිවක් නොවන්නේ එහෙයිනි. මෙවන් ආශ්චර්යයක් සමඟින් උරුමවන මවිපදවිය ලද ගැහැනියක තම ප්‍රාණ සමවන් දරුවන් උදෙසා වන ආදරණීය බැදීම් කෙලෙසක අතහරින්නේද?

තමන් ආදරයෙන් හදා වඩා කවා පොවා උස් මහත් කල දරුවකු මත් රකුසාට බිලිවනු දෑස අභියසම දකින මවකට ඒ දුක් කෙලෙසක නම් ඉවසිය හැකිද? මත් රකුසාටම බිලිවන ඒ ජිවිතය තම නිවෙස තුළම එල්ලී ප්‍රාණය නිරුද්ධ සිරුරකව තිබෙනු දකින්නට තරම් ඒ මව අවාසනාවන්ත වි තිබිණ. එතැන් පටන් ඇය ඇගේ ජිවිතය කැප කරනුයේ තම පුතු බිලිගත් මත් ද්‍රව්‍ය සමාජය පුරා ව්‍යාප්ත කරන්නාවූ අකෘතඥ මිනිසුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවන්නටය. සිතේ කොයි තරම් සවියක් තිබුණද දේශපාලනයෙන්, ඇති හැකි කමින් අග තැන්පත් හොර ජාවාරම්කාර මිනිසුන්ගෙන් බේරෙන්නට මේ අහිංසක මවටද හැකි වන්නේ නැත. එහෙත් ඈ සිය අවසන් හුස්ම සැඟවෙන තුරුම සටන් වදිනුයේ තමන්ට තම දරුවා අහිමි කළ මත් රකුසා ව්‍යාප්ත කරන්නා වූ මිනිසුන්ට එරෙහිවය.

අසිමිතව උපන් දාරක ස්නේහයක් සමඟ සමස්ත සමාජයක යහපත් වෙනුවෙන් තම ජීවිතය උකසට තියන්නට සමත් වු මවකගේ චරිතය මේ දිනවල අපට මුණ ගැසෙනුයේ, ‘කම්බිලි’ චිත්‍රපටය හරහාය. ඒ සඳහා ජීවය දෙන්නී මෙරට සිනමා වංශ කතාව තුළ තම අනන්‍යතා රංගනය ප්‍රකට කල ප්‍රවීණ රූපණවේදිනී නීටා ප්‍රනාන්දු ය.

‘කම්බිලි’ චිත්‍රපටයේ තිර පිටපත කියවන විට මම දැන ගත්තා මේ චරිතයේ තිබෙන බර කොච්චරද කියලා. මට මුලින්ම හිතුණේ මේක හරියට 70 දශකයේ චිත්‍රපටයක් වගේ නේද කියන කාරණාවයි. ඒ කාලේ කතා වලින් අපි දුටු ආදරය මුසුවුණු, ඒ වගේම සමාජයට යම් යහපත් පණිවිඩයක් ලබා දෙන කතාවක් තමයි ‘කම්බිලි’ චිත්‍රපටයේ අඩංගු වෙලා තිබුණේ. ඉතින් තිර පිටපත කියවනවිටම මම තීරණය කලා මේ චරිතය මම බාර ගන්නවා කියලා.”

නීටා ප්‍රනාන්දු යනු චරිතාංග නිළියක වශයෙන් මෙරට පමණක් නොව අන්තර්ජාතිකවද සම්මාන පිට සම්මාන දිනා ගත් නිළියකි. ඇයට චරිතයක රුව ගුණ තේජස තිරයේ මවන්නට ඇති හැකියාව පිළිබඳ අමුතුවෙන් යමක් අප විසින් කතා කල යුතුව නැත. එහෙත් ඈ චිත්‍රපටයක යම් චරිතයක් බාර ගත්විට ඒ වෙනුවෙන් සුදානම් වන්නීය. ඒ වෙනුවෙන් පේ වන්නීය. ඇගේ සිත කය වචනය යන තිදොරම ඉන්පසු වැය වන්නේ ඇය බාර ගත් චරිතය වෙනුවෙනි. ඒ කැපවීමේ තරම කෙතෙක් දැයි ඇය අපට පසක් කරනුයේ ජාතික වශයෙන් හෝ අන්තර්ජාතික වශයෙන් ලබන්නා වු ජයග්‍රහණ යන් ගෙනි.

කම්බිලි චිත්‍රපටයේ ඇය ‘ලලිතා අම්මා’ය. ලලිතා අම්මා යනු ගමක ජීවත් වන අහිංසක ගැහැනියකි. ඇයගේ ජීවන වෘත්තිය වනුයේ රබර් කිරි කැපීමය. ආර්ථික අපහසුතා රාශියක් මැද ජීවිතය ගෙනයන ලලිතා අම්මාගේ එකම පුතු මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි විම නිසා සිදුවන අනර්ථකාමී සිද්ධි රාශියකින් මෙම චිත්‍රපටයේ කතාව ගෙතී ඇත.

ඇත්තටම මම මේ චරිතය කියව ගෙන යත්දි මට මේ චරිතය නිරූපණය කිරීමේ ආසාවක් ආවා. එක පැත්තකින් කිරි කපන ගැහැනියකගේ චරිතය මගේ රංගන දිවියේ මම මීට කලින් නොලද අවස්ථාවක්. අනෙක් පැත්තෙන් මේ චරිතය කිසියම් සමාජ මෙහෙවරක් වෙනුවෙන් කැප වෙන චරිතයක්. ඒ මෙහෙවරට මගේ දායකත්වය ලබා දීම මම කලයුතු යුතුකමක් විදියට දැක්කා. මේ චරිතය වෙනුවෙන් ලියවි තිබුණු බොහෝ දර්ශන මගේ හදවත කම්පා කළා. බොහොම දුප්පත් විදියට අඳීන පළඳීන මේ ගැහැනියගේ පුතා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමෙන් පසුව අම්මාගේ කනේ තිබෙන කරාබු දෙක පවා බලහත්කාරයෙන් ගලවගෙන යනවා. ඒ සංවේදි දර්ශන ඇත්තටම මම කළේ හුඟාක් හැඟිම්බරව. කොහොම වුණත් ඒ අම්මට තමන්ගේ දරුවව මත් රකුසාගෙන බේර ගන්න බැරි වෙනවා. අන්තිමේ දරුවගේ ජීවිතේ අහිමි වෙනවා. ඊට පස්සේ මේ අම්මා කැප වෙන්නේ අනිත් දරුවනුත් මේ මත් රකුසාගෙන් බේර ගන්න. ඒත් ඇයට ඔවුන් සමඟ වැඩි කල් සටන් කරන්න බැරි වෙනවා. එහෙත් ඇය ඇයගේ පන තිබෙන තාක් කල් මත් රකුසාට එරෙහිව සටන් වදිනවා. මම හරිම කැමැත්තෙන් මේ චරිතය රඟපෑවේ. සමාජයට යමක් තිළිණ කිරිම උදෙසා නිර්මාණය වුණු ලලිතා අම්මා චරිතයට මම ආදරෙයි.”

නීටා මවකගේ චරිතය රඟපෑ පළමු අවස්ථාව මෙය නොවේ. මින් ඉහත ඈ රඟපෑ මවගේ චරිත ද්විත්වයක් වෙනුවෙන්ම ඇය අන්තර්ජාතික සම්මානයට පාත්‍ර වුවාය. ඉන් ප්‍රථම අවස්ථාව වූයේ ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘පවුරු වළලු’ චිත්‍රපටයයි. ඉන් මෑතම අත්දැකීම වනුයේ විසාකේස චන්ද්‍රසේකරම් අධ්‍යක්ෂණය කළ ‘පාංශු’ චිත්‍රපටයයි. පාංශු වෙනුවෙන් ඈ අන්තර්ජාතික සම්මාන මෙන්ම මෙරට දි පැවැත්වූ සම්මාන උළෙල ද්විත්වයකදිම හොදම නිළිය ලෙසින් සම්මානයට පාත්‍ර වුවාය. ඒ අතර පසුගිය සරසවිය සම්මාන උළෙලින්ද ඇය පාංශු වෙනුවෙන් හොඳම නිළිය සම්මානය දිනා ගත්තාය.

‘‘ඇත්තටම මට හරි සතුටුයි මම ‘පාංශු’ චිත්‍රපටයේ රඟපාපු මවගේ චරිතයත් සම්මානයට පාත්‍ර වුණා. ඒ චරිතයත් නැතිවුණු පුතකුගේ දුක් දරා ගන්නා මවක්. මගේ සැබෑ ජීවිතේ මට මවිවත් භාවය අහිමි වුණත් රංගනය තුළ ඒ මව්වත් භාවය නිරූපණය කරන්න මට අවස්ථා ගණනාවක්ම හමුවුණා. ඒ ගැන මට ලොකු සතුටක් තිබෙනවා. ඒ වගේම තමයි ඒවා සම්මානයට පාත්‍ර වන තරමේ චරිතාංග රංගනයන් බවට පත්වුණා. සැබෑ ලෙසින් මට ඒ අත්දැකීම ලැබිලා නොතිබුණත් මවකගේ ඒ සංවේදි ගුණාංග මම හොඳීන් නිරූපණය කර තිබෙනවාය කියන එක සමස්ත සමාජයම පිළි අරගෙන තිබෙනවා. ඒ අතින් මම වාසනාවන්ත නිළියක්.”

සැබවින්ම ඇය වාසනාවන්ත නිළියක් බව අප අමුතුවෙන් සඳහන් කළ යුතු නැත. ඇය ඇයගේ යොවුන් වියේදී මෙරට ජනප්‍රියතම චිත්‍රපට අධ්‍යක්ෂවරුන් සමඟ යෞවනයේ දඟකාර චරිත උපරිමයෙන් නිරූපණය කළාය. සිය රංගන ජිවිතයේ උපරිම තලයේ සිටියදී ආදරය වෙනුවෙන් තමන් වඩාත් ආදරය කල සිනමාවද හැර දමා ගිය තැනැත්තියකි. ඒ ඇගේ විවාහයත් සමඟ විදේශ ගතවීම නිසාය. ඒ කැප කිරීම වෙනුවෙන් පෙරලා වසර ගණනාවකට පසු යළි ඇයට සිනමාව තිළිණ වන්නේ ආදරයට දැක්වූ කැපකිරීමට ලැබූ උත්තරීතර තිළිණයක් ලෙසින්ය.

ඇත්තටම මම මගේ සිනමා ජිවිතයේ හොඳම කාලයේ, මට චිත්‍රපට ගණනාවක් ලැබෙමින් තිබුණු යුගයේ මම සිනමාව අතහැරලා විවාහ වෙලා විදේශ ගතවුණා. ඒ ගැන මට පොඩි හෝ කනගාටුවක් නෑ. මට ආදරය කරපු ආදරණීය හිතක් එක්ක මම ඉතාම හොඳ යුග ජිවිතයක් ගතකළා. මම කරපු ඒ කැප කිරීමටද මන්දා මට වසර ගණනාවකට පසු ආයෙත් සිනමාවට එන්න ලැබුණා. මගේ ආදරය විසින්ම ආයෙත් මාව සිනමාවට කැන්දගෙන ආවා. එදා ඉදන් මම මේ දක්වා සිනමාවේ රැදී සිටිනවා. මගේ සිනමා ගමන් මගේ සම්මාන ලැබීමත් ඒ දෙවැනි උත්පත්තියෙන් පසු ආරම්භ වෙනවා. ඒ සම්මානත් මේ දක්වාම මට ලැබෙමින් පවතිනවා. මම හිතනවා මම අවංකව සිනමාවට ආදරය කරපු නිසා වෙන්න ඇති මේ තරම් මට ලැබිම් තියෙන්නේ කියලා. නැත්නම් බොහෝ විට මගේ වයසේ අය සිනමාවෙන් දුරස්ව සිටින කාලයේ මට තවමත් අපුරු චරිත ලැබෙමින් පවතිනවා. ඒක මගේ වාසනාව. මට චරිතයක් ලැබුණොත් ඒක මම මගේ කර ගන්නවා. ඕනම චරිතයක් සාර්ථක වෙන්න නම් මුලින්ම අපි ඒ චරිතයට කැමැති වෙන්න ඕන. අපි ඒ චරිතයට ආදරේ වෙන්න ඕන. එතකොට තමයි අපිට ඒක නිසි ආකාරයෙන් පන පිහිටවලා නිරූපණය කරන්න පුළුවන් වෙන්නෙ.

ඇගේ නිර්මාණ ජීවිතය තව දිගුයි. ඉදිරියේදි තිරගත වීමට නියමිත චිත්‍රපට ද බොහෝයි. නිලන්ත හපන්වීරගේ ‘තේජා‘ ඒ අතර තවත් චිත්‍රපටයක්. එපමණක්ද නොව උදාර පල්ලියගුරු අධ්‍යක්ෂණය කළ නවතම චිත්‍රපටය වන ‘ගිගලෝ‘ හි ඇගේ අමුතු රැඟුමක් දැක ගත හැකියි.

‘‘උදාරගේ ‘ ගිගලෝ‘ ටිකක් අමුතු තේමාවක් රැගත් චිත්‍රපටයක්. ඒ වෙනසට මම කැමැතියි. ඒ වගේම තමයි චමින්ද ඉලුක්වෙල ගේ ‘මාගම්සෝලි’ චිත්‍රපටයටත් මම හුඟාක් කැමැතියි. මම නිරූපණය කරන්නේ පුතෙක් සාසනයට පුජා කරන මවකගේ චරිතයක්.

ඇයට නිර්මානකරණයේ යෙදෙන්නට අවැසි විවේකී මනසක් අවශ්‍යය. වසර ගණනාවක් තිස්සේ ඒ විවේකී මනස ඇය විසින් ගොඩ නගාගෙන ඇත. දැන් ඇය බොහෝ බැදීම් වලින් දුරස්ථය. ඇගේ ස්වාමි පුරුෂයා මෙයට බොහෝ කලකට පෙර නික්ම ගොස්ය. ඉන්පසු ඇය ඇගේ මව වෙනුවෙන් තම කාලය වෙසෙසින්ම කැප කළාය. දැන් ඇයද ඇගෙන් දුරස්ව බොහෝ දුර ගොස්ය. ජිවිතයේ හුදකලාව පාලුව ඇයටද නොදැනෙනවා නොවන්නට පුළුවන. එහෙත් ඈ ඒ වෙනුවෙන් බොහෝ දේ නිර්මාණය කරගෙන ඇත. නිහඩව බොහෝ දේ කරමින් ඒ පාලුව හුදකලාව දුරස් කරගෙන ඇත.

‘ජිවිතේ දිහා ආපස්සට හැරිලි බලත්දි මට සතුටුයි. මගේ ජිවිතේ නිළියක් විදියට ගත්තත් මම සාර්ථකයි. සාමාන්‍ය ගැහැනියක් විදියට ගත්තත් මම සාර්ථකයි.

 

[email protected]

හේමාලි විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT