Home » මට ඕනෑ වුණේ විවිධ චිත්‍රපට

මට ඕනෑ වුණේ විවිධ චිත්‍රපට

ප්‍රවීණ සිනමාවේදී -උදයකාන්ත වර්ණසූරිය

by Thanushika
October 24, 2024 10:16 am 0 comment

උදයකාන්ත වර්ණසූරියගේ නවතම චිත්‍රපටය වන ‘ ගිනි අවි සහ ගිනිකෙළි’ චිත්‍රපටය මේ දිනවල ප්‍රදර්ශනය වෙමින් පවතිනවා. මිට වසර විසිපහකට පමණ ඉහතදි අපට මතකයි ඔහු මෙම චිත්‍රපටයේ පළමු කොටස තිරයට රැගෙන ආවා. එයින් ඔහු සිනමාවට හඳුන්වා දුන්නේ ‘තුම්මුල්ලේ පද්මේ’ නම් චණ්ඩියෙක්. දැන් වසර විසිපහකට පසු ඔහු සිංහල සිනමාවට මෙහි දෙවැනි කොටස හරහා තවත් අලුත් චණ්ඩියෙක් හඳුන්වා දෙනව. ඒ ‘ බෝගහවත්තේ ලකී’ . කාලයෙන් කාලයට, තාලයෙන් තාලයට චණ්ඩිත් අලුත් වෙනවා. ඔවුන්ගේ ස්වරූපයන් සහ ක්‍රියා කලාපයන්ද වෙනස් වෙනවා.

ලාංකේය සිනමා ඉතිහාසයේ උදයකාන්ත වර්ණසූරිය ගේ සිනමා ලැයිස්තුව බොහෝ දිර්ඝ එකක්. මේ දිවල තිර ගත වනුයේ ඔහු විසින් අධ්‍යක්ෂණය කරන ලද 27 වැනි සිනමා නිර්මාණයයි. මෙකී ගමන් මග දෙස විමසිල්ලෙන් බලන්නෙකුට ඔහුගේ සිනමා මගේ විවිධ හැඩතල විවිධ අයුරින් හඳුනා ගත හැකියි. ඔහු ගේ නිර්මාණ දිවියෙන් විද්‍යමාන වන සුවිශේෂි ලක්ෂණය වනුයේ ඔහු කිසිදු දිනක එක් ශානරයක චිත්‍රපට කෙරෙහි අවධානය නොදැක්විමයි. සිනමා නිර්මාණ 27ක් වූ ඔහුගේ චිත්‍රපට ලැයිස්තුව ගත් කල එහි විවිධ ශානරයන්ගෙන් යුත් චිත්‍රපට දක්නට ලැබේ.

ඔහුගේ නවතම සිනමා නිර්මාණය පිළිබඳත් , ඔහුගේ සිනමා දිවියේ නවතම තතුත් පිළිබඳ කළ විමසුමකට පසු ගිය දිනක අපි ඔහු හමුවුණා. මේ ඔහු සමඟ කළ කතා බහෙන් සැකසුණකි.

මේ දිනවල ඔබේ නවතම චිත්‍රපටය වන ‘ගිනි අවි සහ ගිනි කෙළි’ ප්‍රදර්ශනය වෙමින් පවතිනවා. මොනවද ලැබෙන ප්‍රතිචාර?

ඇත්තටම ලැබෙන ප්‍රතිචාර නම් ඉතාම ඉහළයි. හැම කෙනෙක්ම චිත්‍රපටයක් විදියට ඒක අගය කරනවා. බලන අයගේ ප්‍රතිචාර නම් හරියට ලැබෙනවා. පොඩි ප්‍රශ්නෙකට තිබෙන්නේ මේක විනෝදාත්මක චිත්‍රපටයක් නොවන නිසා පවුලේ පිරිසට නරඹන චිත්‍රපටයක් නොවීමයි.

ඔබේ ගිනි අවි සහ ගිනි කෙළි 1 චිත්‍රපටයෙන් ඔබ තිරයට රැගෙන එන්නේ ‘තුම්මුල්ලේ පද්මෙව. මේ පාර රැගෙන එන්නේ වෙනත් චණ්ඩියෙක් නේද?

කාලෙන් කාලෙට චණ්ඩි එනවානේ. චණ්ඩින්ට තියෙන්නෙත් බොහොම සුළු ආයුෂ ප්‍රමාණයක් නේ.

මේ චණ්ඩි දෙන්නා අතරේ වෙනස් කම් තියෙනවද?

මෙහෙමයි. මේ කතා දෙකම ලිව්වේ අනුර හොරේෂස්. එයා ජීවත් වුණු ප්‍රදේශවල දැකපු කියපු, අදුර ගත්තු, අහල තියෙන කතා ඇසුරු කරගෙන තමයි මේ චණ්ඩි නිර්මාණය වුණේ. ඇත්තටමත් ඔහු චණ්ඩි ඇසුරු කරලා තිබෙනවා. ඒ චණ්ඩිම නොවුණත් ඒ ඇසුරින් ලැබුණු අත්දැකීම් අනුව තමයි ඔහු මේ කතා ලියන්නේ. තුම්මුල්ලේ පද්මේ කියන්නෙත් ඒ වගේ එක කාලයක හිටිය චණ්ඩියෙක් තමයි. ඒක ඔහුගේ අන්වර්ථ නාමයක්. අපි යොදා ගත්ත. කාගෙවත් සත්‍ය නම් දාන්න අපට සදාචාරාත්මක අයිතියක් නෑනේ. ඉතින් පළවෙනි චිත්‍රපටයේ කතා කළේ එක්තරා කාලෙක හිටපු ඒවගේ චණ්ඩියෙක් සහ ඔවුන්ගේ කල්ලි අතර තිබුණු ගැටුම් පිළිබඳයි. ඒක එදා තිබුණ වගේම අදත් තිබෙනවා. ඒ වගේම මේ කතාවෙන් දේශපාලනඥයන් මේ මැර කල්ලි භාවිතා කරන ආකාරයක් පිළිඹිඹු කරනවා. දේශපාලනඥයන් තමන්ගේ අභිප්‍රායයන් මුදුන් පත් කර ගැනීම සඳහා මේ අය භාවිතා කරනවා. ඒ මැරයොත් දේශපාලනඥයන් ගේ බල පුළුවනකාර කම භාවිතයට අරගෙන විවිධ වංචා දුෂණයන්හි යෙදෙනවා. ඒ කියන්නේ කුඩු වෙළඳාම වැනි නීති විරෝධී ව්‍යාපාර කර ගන්න ඉඩ හැරියා. ඒ වගේම දේශපාලනඥයන් තමන්ගේ එදිරිවාදිකම් පිරිමහ ගන්නත් මේ අය භාවිතා කළා.

ඔබේ අලුත් චණ්ඩියා ‘බෝගහවත්තේ ලකී’. අපි ඔහු ගැන කතා කරමු. ?

එක එක කාලෙට එක එක චණ්ඩි එනවනේ. ඒ වගේ මේ කාලේ මගේ චණ්ඩියා ‘බෝගහවත්තේ ලකි’. ගිනි අවි සහ ගිනි කෙලි දෙක කොටසින් අපි හඳුන්වා දෙන්නේ මේ චණ්ඩියායි. මෙතන චණ්ඩි දෙන්නෙක් ඉන්නවා. මේ චණ්ඩි- චණ්ඩි අතරත් යම් යම් ගැටුම් තිබෙනවා. ඒ වගේම මිත්‍ර සම්බන්ධ කමුත් තිබෙනවා. පසුගිය කාලයේ මේ රටේ සිදුවුණු සිදුවීම් සමඟ වුණ ගැටුම් හා දේශපාලන සම්බන්ධතා පදනම් කරගෙන තමයි මම මේ චිත්‍රපට කතාව ලියුවේ. අනුර හොරේෂස් ගේ කතාවෙන් මම වෙනමම තිර රචනයක් ලිව්වා. ඔහුගේ පොතටම වහල් නොවි මම අහපු දැකපු සිද්ධිත් අරගෙන තමයි මේ තිර රචනය කළේ. මේක චිත්‍රපට නිර්මාණයේ වාර්තාමය ස්වරූපයකින් එන දෙයක් නොවේ. මේකට ලස්සන කතාවක් ගොතලා මම චිත්‍රපටයක් ලෙස ට එළිදැක්වූවා.

ඇත්තටම ගිනි අවි සහ ගිනි අවි -1 ආපු කාලේ තුම්මුල්ලේ පද්මෙගේ චරිතය ප්‍රේක්ෂකයින් වැලඳ ගත්තා. වර්තමානයේ මෙවන් චරිතවලට ප්‍රේක්ෂක ප්‍රතිචාර තියෙයිද?

ගිනි අවි සහ ගිනි කෙළි පළමු කොටස ප්‍රදර්ශනය වෙලා දැන් අවුරුදු 25ක් වෙනවා. ඔබ කියන විදියට ඒ තරමට මිනිස්සු මේකට කැමති වෙයිද කියන ප්‍රශ්නය තියෙනවා තමයි. මොකද මේ කාලය වනවිට ඔය කියන නරුම දේශපානලනඥයන් සහ චණ්ඩින් හැමෝම ප්‍රතික්ෂේප කරනවා. ඒ ප්‍රතික්ෂේප කිරිම් උඩ චිත්‍රපටයක් විදියට මේක නරඹන ප්‍රේක්ෂකයින් අතින් මේක ප්‍රතික්ෂේප විමේ ඉඩ කඩකුත් තිබෙනවා. නමුත් මම නිර්මාණකරුවෙක් විදියට මේක මගේ තවත් එක් චිත්‍රපටයක් පමණයි. මට ආසාව තිබුණේ විවිධ ගණයේ විවිධ ශානරයන් යටතේ නිර්මාණ ඉදිරිපත් කිරීම පමණයි.

ඔබට ගින අවි සහ ගිනි කෙළි චිත්‍රපටයේ දෙවැනි කොටසක් කරන්න හිතුණේ ඇයි?

මේකට එදා ඉඳලම ඉල්ලුමක් තිබුණා. මේ චිත්‍රපටයේ පළමු කොටස අවසානයේ ඉදිරියේදි දෙවැනි කොටසක් බලාපොරොත්තු වෙන්න කියල තමයි මම චිත්‍රපටය අවසාන කරන්නේ. ඉතින් ඒ කාරණාවත් බලපෑවා මෙහි දෙවනි කොටසක් කරන්න. එක පැත්තකින් ඒක ප්‍රේක්ෂකයන්ට දුන්න පොරොන්දුවක්. නමුත් අවුරුදු 25ක් ගියා ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න. මෙවැනි චිත්‍රපටයක් කරන එක ඇත්තටම හරිම වෙහෙසකර කටයුත්තක්. නිර්මාණයක් විදියට මගේ හිතට රූප රාමු ගොඩාත් එනවා. සිද්ධි ගොඩාක් මැවෙනවා. ඒ ආසාවත් එක්ක තමයි මම මේ චිත්‍රපටය කළේ. අවුරුදු 25ත් ගියා වුණත් මේ චිත්‍රපටය පිළිබඳ මම හරිම තාප්තිමත්. සිනමාත්මක පැත්තෙන්, සිනමා සිද්ධාන්ත සමඟ, මම ලබපු අත්දැකීම් එක්ක මම හොඳ නිර්මාණයක් කළා කියන තෘප්තිය මට තියෙනවා. මේක පිළිගන්නවාද? නැත්ද? කියන කාරණාව තියෙන්නේ ප්‍රේක්ෂකයින්ගේ අතේ. ඒකට මට මුකුත් කියන්න බෑ.

ඔබ තුම්මුල්ලේ පද්මේ විදියට එකල සිටි ජනකාන්ත නළුවකු වු ජැක්සන් ඇන්තනි යොදා ගත්තා. මේ පාර ඔබ යොදා ගන්නේ දක්ෂ නළුවකු වන ඉසුරු ලොකුහෙට්ටි ආරච්චියි. මේ තෝරා ගැනීම ගැන ඔබ මොකද හිතන්නේ?

ඇත්තටම අපිට හැමදාම එකම නළුවෝ ගේන්න බෑනේ. ඒ ඒ කාලෙට ගැළපෙන කෙනක් ගේන්න ඕන. ජැක්සන් අද හිටියා නම් ඒත් ඔහු අද මේ චරිතයට නොගැළපෙන්න තිබුණා. ඉතින් අද මම දකින හොඳ රංගන ශිල්පියෙක් තමයි ඉසුරු කියන්නේ. අනිත් ප්‍රධාන චරිතය රඟන නළුවා තමයි ධනුක දේශාන් මේ චණ්ඩින් දෙන්න අතරෙ තමයි මේ චිත්‍රපටය දුවන්නේ. මේ දෙන්නා අතරේ යම්කිසි වයස් පරතරයකුත් තිබුණා. ඒ වයස් පරතරයටත් මේ දෙන්නා හරියටම ගැළපුණා. ඒ නිසා මම ඒ දෙන්නව මේ චිත්‍රපටයට යොදා ගත්තා. ඊට අමතරව මම මේ චිත්‍රපටයට ලකී ඩයස්, රොජර් සෙනවිරත්න, කුමාර වදුරැස්ස, රත්නා ලාලනි, අනුර බණ්ඩාර රාජගුරු, ශ්‍රීමාල් වෙඩිසිංහ වැනි නළු නිළියන් යොදා ගත්තා

මතුපිටින් බලන කල මෙය ක්‍රියාදාම චිත්‍රපටයක් විදියට දැනුණට මෙහි යටිපෙළින් ගැඹුරු දේශපාලනික විග්‍රයක් කරනවා. ඔබට අවශ්‍ය වුණේ ඒක ඉස්මතු කරන්න නොවෙයිද?

එය තමයි මගේ අභිප්‍රාය වුණේ. මැරයෝ දෙදෙනා අතර වන ගැටුම මතුපිට අර්ථය පමණයි. මේ අය තමන්ගේ බලය වෙනුවෙන් ක්‍රියා කරන්නේ කොහොමද? කියන කාරණය මෙහි යටිපෙළින් දැක්වෙනවා. කොහොම නමුත් මට ඕන කළේ සිනමාත්මක නිර්මාණයක් කිරිමයි.

අපි අධ්‍යයන කරපු ආකාරයට ඔබ විවිධ ශානරයන්ගෙන් යුත් චිත්‍රපට රැසක් නිර්මාණය කරලා තියෙනවා. ආපස්සට හැරිලි බලත්දි මොකද හිතෙන්නේ?

මේ දිනවල ප්‍රදර්ශනය වෙන්නේ මගේ 27 වැනි සිනමා නිර්මාණයයි. ආපස්සට හැරිලා ඉලත්දි මට මගේ අතීතය මතක් වෙනවා. අවුරුදු 13-14 කාලේ ඉන්ම මම සිනමාවට ආදරය කළා. මම එතැන ඉදලම සිනමාව ඉගෙන ගන්න පටන් ගත්තා. මගේ ආසාව තිබුණේ චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් වෙන්න. මට ඒ සිහිනය සැබැ කර ගන්න පුළුවන් වුණේ මට අවුරුදු 32ක් වුණාට පස්සේ. නමුත් මම උත්සාහ කළේ මට අවුරුදු 25ක් වෙනකොට මේ සිහිනය සැබෑ කර ගනක්න. ඒක කර ගන්න බැරි වුණා. ආසාව තිබුණට එතැනට යන එක ලෙසි වැඩක් නොවෙයි. හරි සිනමාකරුවෙක් වෙන්න අසීරුයි. මට තියෙන්නේ පොත පත කියවලා, චිත්‍රපට බලලා, අත්දැකීම් ලබලා ආපු දැනුමක්. ඒක වෙන්න දිර්ඝ කාලයක් ගත වෙනවා. චිත්‍රපටයක් කරලා, සම්මානයක් අරන් පැත්තකට වෙලා ඉන්න මට ආසාවක් තිබුණේ නෑ. මට මේ ක්ෂේත්‍රෙය් දිග ගමනක් යන්නයි ඕන කරලා තිබුණේ. මගේ පළවෙනි නිර්මාණය වු‍ණේ ‘මහමෙර උසට’ චිත්‍රපටය. ගිනි අවි සහ ගිනිකෙළි තමයි මගේ දෙවැනි නිර්මාණය වුණේ. ඒ නිර්මාණය තමයි අධ්‍යක්ෂවරයෙක් විදියට, නිර්මාණකරුවෙක් විදියට මාව ඉහළට ඔසවා තැබුවේ. ඒක තමයි මගේ සිනමා ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය වුණේ. ඒක මගේ ජිවිතේ විතරක් නොවෙයි, සිනමාවෙත් එක්තරා අන්දමක හැරවුම් ලක්ෂ්‍යයක් වුණා. ඊට පස්සේ මම යකඩ පිහාටු, රෝස වසන්තය, බහු භාර්යා, රන් කෙවිට, කොස්තාපල් පුඤ්ඤසෝම, ගින්දරි, මධුර චාරිකා, බන්ධනය ඇතුළු චිත්‍රපට ගණනාවක් නිර්මාණය කළා. මේ චිත්‍රපට විවිධ ශානරයන්ට අයිති වුවක් වුණා. මම ළමා චිත්‍රපට කළා. වැඩිහිටි චිත්‍රපට කළා. ක්‍රියාදාම චිත්‍රපට කළා. ඒ එක්කම හාස්‍යෝත්පාදක චිත්‍රපට කළා. මෙ සියල්ලන්ගෙන්ම මිදුණු මැද මාවතේ චිත්‍රපයට කළා. සම්භාව්‍ය චිත්‍රපට කළා. ඉතින් මේ ශානරයන් හමුවේ මම විශ්වාස කරනවා මම නිර්මාණකරුවෙක් විදියට තෘප්තිමත් කරලා. කිසිම චිත්‍රපටයකට මම බොරු කරලා නෑ. නමුත් සාර්ථක අසාර්ථක, ප්‍රේක්ෂක ප්‍රතිචාර විවිධයි. අද මම චිත්‍රපට නිර්මාණකරුවෙක් හැටියට තෘප්තිමත් තැනක ඉන්නේ පසුබැසීම්, ජයග්‍රහණ එය හැමදේම ජිවිතයේ තිබෙනවා. නමුත් ඉතින් මෙහි රැදි සිටීම තමයි වැදගත් වෙන්නේ.

තවත් ඔබට ඉදිරියේදී සිදුකිරිමට විවිධ නිර්මාණ තිබෙනවාද?

ඔබ තිර රචනා 7ක් විතර දැනටත් මම ගාව තිබෙනවා. මම දන්නේ නැමගේ ශරිර සෞඛ්‍ය, වයස එක්ක මේවා එක්කොම කරන්න මට කොයි තරම් ශක්තියක් තිබේද කියල. මගේ බලාපොරොත්තුව ඉතින් මේ සියල්ලම නිර්මාණ විදියට එළි දකිනවා දැකීමයි.

ගිනි අවි සහ ගිනිකෙළි 2 න් පසුව ඔබ මොනවද කරන්නෙ?

නිර්මාණ කිහිපයක්ම තිබෙනවා. ගිනි අවි සහ ගිනි කෙළි 2 කරන්න ඉස්සරලා මම සාජන්ට් පුඤ්ඤසෝම කියලා චිත්‍රපටයක් කළා. ඒක කොස්තාපල් පුඤ්ඤසෝම ගේ දෙවැනි කොටස විදියට නොවෙයි කළේ වෙනම නිර්මාණයක් විදියට. ඒක ඉදිරියේදි තිර ගත විමට නියමිතයි. තව මගේ අදහසක් තිබෙනවා පැරණි චිත්‍රපට වලින් කිහිපයක දෙවැනි කොටස නිර්මාණය කරන්න. ඒ අතර බහු භාර්යා, රන්කෙවිට, හිරිපොද වැස්ස වැනි නිර්මාණ තිබෙනවා. ඉතින් මේවා සඳහා දැන් ලැස්ති වෙනවා.

 

සේයාරූ – නිශ්ශංක විජේරත්න

[email protected]

හේමාලි විජේරත්න

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT