ප්‍රවීණ රංගවේදියෙකුගේ රංගනයට ඔහුගේ රංගනය සැබැවින්ම අභියෝගයක් විය. රංගනය තුළ ඔහුගේ හැරී බැලීමක් ඇසක ඉඟියක් මුහුණේ ඉරියව්වක් සැමවිටම සිය නිර්මාණයට ගෙන ආවේ අපුර්වතම රංගනයකි. සිනමාව තුළත් පුංචි තිරය තුළත් ඔහු මේ වන විට වපුරා ඇති රංග වපසරය ඔහුගේ භාවපූර්ණ රංගනයන්ට කදිම උදාහරණ වේ. 2003 වසරේ යෙහෙලි තුළින් පුංචි තිරයට පැමිණි ඔහු 2008 වසරේ අබා චිත්‍රපටයේ තෙදමුගේ චරිතය තුළින් සිනමාවට ප්රවිශ්ට විය.
ඇඩ්රස් නෑ, දැවෙන විහඟුන්, දඩඉම, ද නිවුස් පේපර්, ගින්නෙන් උපන් සීතල, උසාවිය නිහඬයි, ප්‍රසිඩන්ට් සුපර් ස්ටාර් චිත්‍රපට තුළින් ඔහු මේ වනවිට තම රංග වපසරියේ සීමාවන් කියා පෑ නිර්මාණ අතරින් කීපයකි. මේ අතුරින් ද නිවුස්පේපර් චිත්‍රපටයේ ඔහු රංගනයේ ඉදිරිපත් කළ නැදිමාලේ පුෂ්පෙගේ චරිතය සඳහා තිස්පස් වන සරසවිය සම්මාන උලෙළේදී සරසවිය කුසලතා සම්මානයෙන් ඇගැයුම් ලබන්නට ඔහු වාසනාවන්ත විය. බොහෝවිට ප්‍රධාන දහරාවේ චරිත තුළින් අත්මිදී සුළු චරිත රංගනයන් තුළින් තම නිසක හැකියාව මේ වන විට ප්‍රදර්ශනය කර ඇති ඔහු නමින් චින්තක වාස්ය. තම රංගන ජීවිතයේ ඉතා කෙටි කාලයක් තුළ සරසවිය සම්මානයට පාත්රවීමට තරම් ඔහු භාග්‍යවන්ත විය. මෙරට සිනමා නළුවෙක් නිළියක් තම රංගනය උදෙසා ලබන ඉහළම සම්මානය වන සරසවිය සම්මානයට පාත්‍රවන්නට භාග්‍යවන්ත වූ චින්තක වාස් හා කතාබස් කරමු.
මේ දවස්වල කලාකටයුතු එහෙම කොහොමද?
ස්වාධීන රූපවාහිනියෙන් රාත්‍රී 7.30 ට විකාශය වන ජානු ටෙලි නාට්‍යයේ ඉදල හිටල මගේ චරිතයක් විකාශය වෙනවා. මම මෙහි චින්තක කියල මැරයෙක්ගේ චරිතයක් කරනවා. ඉදිරියේදී විකාශය වෙන්න තියනවා මම රඟ පෑ ටෙලි නිර්මාණ තුනක් මේ ටෙලි නාට්‍ය තුනේම චරිත විහිදෙන්නේ තමාගේ ඇතුළාන්තය සැබෑ ස්වරූපය මතුනොකොට වෙනස් ස්වරූපයෙන් ජීවත්වන්නට උත්සාහ ගන්න පුද්ගල චරිත තුනක් තමයි මේ නිර්මාණවල මම රඟපාල තියෙන්නේ.
සිනමා නිර්මාණ වෙනුවෙන් දායකවීමක් ළඟදී කළේ නැද්ද?
ෂ්‍යාම් ප්‍රනාන්දුගේ ටීච්ිමී (සන් කරමි) පි‍්‍රයන්ත කොලඹගේගේ මන්දාරම් චිත්‍රපටය, සුරීය සුළඟ චිත්‍රපටය ප්‍රදීප් ධර්මදාසගේ අයිස්ක්‍රීම් චිත්‍රපට වල රඟපෑවා. මේ අතරින් මන්දාරම් චිත්‍රපටය මේ දවස්වල තිරගතවීම ඇරැඹුවා. මෙහි මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ තරුණයෙක් මොනයම් හෝ ක්‍රමයකින් එදිනෙදා දොට්ට බැහැල තමන්ගේ අවශ්‍යතා සපුරාගෙන සවස ගෙදර ගිහින් හෙටක් ගැන නොසිතන කාගෙහරි දෙයක් මොන දේ හරි කරල කඩා වඩා ගන්න පුද්ගලයෙක්ගේ චරිතයක් තමයි කරන්නේ.
චින්තක වාස් කියන නළුවා සකල කලා සක්විති ජැක්සන් ඇන්තනීගේ සොයා ගැනීමක්?
මා මුලින්ම ටෙලිනාට්‍ය රංගනයට ගෙන එන්නේ ජැක්සන් ඇන්තනී මහත්තයා. ඒ එතුමන්ගේ අධීක්ෂණයෙන් ස්වර්ණවාහිනී නාළිකාවට නිර්මාණය කළ යෙහෙළි ටෙලි නිර්මාණය සමඟින්. පසුව ජැක්සන් ඇන්තනී මහතා අධ්‍යක්ෂණය කළ අබා චිත්‍රපටයෙන් එතුමන් මට තෙදමු කියන චරිතෙ ලබාදී සිනමාවට කැන්දාගෙන එනවා. එදා මෙදා තුර මම ටෙලි නාට්‍ය විස්සක් විතර රඟපාල ඇති චිත්‍රපටත් දහයක් පහළොවක් විතර කරල ඇති.
ඔබ රඟපෑ සිනමා නිර්මාණ අතුරින් ප්‍රේක්ෂක හදවතට ඔබ වඩාත් කතාබහක් ඇති කළේ මොන නිර්මාණවල මොන චරිත ඔස්සේ කියාද හිතන්නේ?
ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ උසාවිය නිහඬයි. ජැක්සන් ඇන්තනි අධ්‍යක්ෂණය කළ ඇඩ්රස් නෑ. සරත් කොතලාවල; කුමාරතිරිමාදුර අධ්‍යක්ෂණය කළ ද නිවුස්පේපර් ජයන්න චන්ද්‍රසිරි අධ්‍යක්ෂණය කළ ඝරසර්ප සිනමා නිර්මාණවල මම රඟපාන්න චරිත ගොඩක් මිනිස්සු අතර කතාබහට ලක්වුණා.
ඔබ රඟපෑ සිනමා නිර්මාණ අතරින් කීවෙනි සිනමා නිර්මාණය ද ඔබගේ රංගනය ඇගැයීමට ලක්වෙන්නේ?
ද නිවුස් පේපර් මගේ දහවෙනි සිනමා නිර්මාණය කියලයි මට හැගෙන්නේ. ඊට පෙරඅතුව මම රඟපෑ කිසිදු සිනමා නිර්මාණයක චරිතය කිසිදු අයුරකින් සම්මානයක් සඳහාවත් නිර්දේශ වන්නෙවත් නෑ. ටෙලි නාට්‍ය පැත්තෙනුත් එහෙමයි. සම්මානයක් තියා අඩුම තරමින් සම්මානයක් වෙනුවෙන් නමවත් නිර්දේශ වන්නේ නෑ.
වසර විස්සක පමණ රංගන ජීවිතයකට හිමිකම් කියන ඔබ හා පුරා කියා සම්මානයට පාත්රවන්නේ සරසවිය සම්මානය වෙනුවෙන්?
සරසවිය සම්මානය කියන්නේ අපේ රටේ කලාකාරයකුට ඔස්කාර් සම්මානය ලැබුණ වගේ දෙයක්. එදා මෙදා තුර සම්මානයක් තියා සම්මානයකට නිර්දේශයක්වත් නොලැබු මම හා පුරා කියල සම්මානයක් ලබන්නේ ද නිවුස් පේපර් චිත්‍රපටයේ රංගනය උදෙසා.
ඔබ රඟපෑ නිර්මාණ දෙස ආපසු හැරිල බලනකොට අධ්යක්ෂවරු ඔබව එකම රාමුවකට කොටු කරල කියා ඔබට හැගෙන්නේ නැද්ද?
මගේ ස්වරූපය හැඩරුව මුහුණේ පෙනුම මේ හැම දෙයක් වෙනුවෙන් තමයි මට මෙතෙක් චරිත ලැබිල තියෙන්නේ කියලා මම හිතනවා. විශේෂයෙන් මගේ මුහුණේ පෙනුමට මට ලැබිය යුතු හැම චරිතයක්ම ලැබිල තියනවා. මාව එහෙම කොටු කරල කියලා මම හිතන්නෑ. මගේ රංගනයේ ආරම්භක අවධියේ එහෙම කොටුවීමක් සිදුවුණා. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පාතාලයට සම්බන්ධ එදිනෙදා ජීවිතය ගැටගහගන්න චරිත මට බොහෝ විට ලැබුණේ මගේ මුහුණේ තියන පෙනුම නිසා කියල මම හිතනවා. අබා චිත්‍රපටයේ තෙදමු ටීච්මී චිත්‍රපටයේ උසස් පොලිස් නිලධාරියා ඇඩ්රස් නෑ චිත්‍රපටයේ ටියුබ් ලයිට් කන පුද්ගලයා ඒ මගේ රාමුව බිද දැමු චරිත.
පීඩිත පන්තියේ චරිත මෙතරම් ඔබ සොයාගෙන එන්නෙ ඇයි කියලද චින්තක හිතන්නේ?
මගේ මුහුණෙන් වැඩක් ගන්න පුළුවන් කියන විශ්වාසය අධ්‍යක්ෂවරුන්ට තියනවා. කාගේ හෝ එක නිර්මාණයකට මාව දායක කරගත්තොත් ඔවුන් ගේ හැම නිර්මාණයකම නොවුණත් ඒ අයගේ නව නිර්මාණ වලට මාව දායක කරගෙන තියනවා. ඒ අයට මම දෙන සහයෝගයත් මට ලැබෙන චරිතයට මම ලබාදෙන සාධාරණත්වයත් මෙහිදී ගොඩක් වැදගත් වෙනවා.
සරසවිය සම්මානය ලබන්න ඔබ වාසනාවන්ත වූ ද නිවුස්පේපර් චිත්‍රපටයේ ඔබගේ භූමිකාව වුණේ මොකක්ද?
නැදිමාලේ පුෂ්පෙ කියන පාතාලයේ සාමාජිකයෙක්ගේ චරිතයක් බන්ධනාගාරගතව ඉන්න එයින් එළියට ඇවිත් මත්ද්‍රව්‍ය ව්‍යාපාරයේ නියැලෙන පුද්ගලයෙක්ගේ චරිතයක්.
සම්මාන ඇගැයුම් ලබන මේ සිනමා නිර්මාණයට ඔබට දායක වෙන්න ලැබෙන්නේ කොයි ආකාරයෙන් ද?
මට මේ සඳහා ආරාධනා කරන්නේ සරත් කොතලාවල. ඔහු දුරකථනයෙන් මට කතා කරල කියනවා මල්ලි මේ වගේ චරිතයක් තියනවා මමයි කුමාරයි මේ චිත්‍රපටය ඩිරෙක් කරන්නේ අපිට සහයෝගයක් දීල පලයන් මෙතන කුමාරත් ඉන්නවා කියල මට ඔහුට කතාකරන්නත් ෆෝන් එක දෙනවා. කුමාරගේත් සරත්ගේත් ෆිට් එකට තමයි මේ චිත්‍රපටයේ මම රඟපාන්නේ. ගණන් මිනුම් කතා බහක් නෑ. එයාල මගෙන් අහුවෙත් නෑ. කීයක් ඕනෙද කියලත් මම ඇහුවෙත් නෑ කීයක් දෙනවද කියලවත්. ඒ චිත්‍රපටයේ රඟපෑ කවුරුවත් ඇග්රිමන්ට් ගහල රඟපෑවේ නෑ. ඒ චිත්‍රපටයේ රඟ පෑ හැම නළුවෙක් නිළියෙක්ම වේදිකාවේ සිනමාවේ පුංචි තිරයේ දැවැන්තයෝ. සමහර මම කියන දැවැන්තයන්ට දෙබස් නෑ. ඔවුන්ට රංගනයෙන් පෙනී හිටින්න විතරයි තිබුණේ. රංගන කාර්යෙන් පරිණත වූ වේදිකාව සිනමාව පුංචි තිරය තුළ බල්ටි ගහපු පිරිසක් තමයි මුළු චිත්‍රපටයේ රඟපෑවේ ප්‍රවීණයෝ සමහර අයට තිබුණේ දෙබසයි දෙකයි. ඒත් රංගනය පට්ට මරු.
නැදිමාලේ පුෂ්පෙ ඔබ ඔබ කොයි ආකාරයෙන් ද ගොඩ නැඟුවේ මේ චිත්‍රපටයට?
රඟපාන්න යන්න කලින් මට තිරපිටපතක් ලැබුණේ නෑ. කියවන්න බලාගන්න. ෂුටින් දවසේ මාව ගෙදරින් ගත්තා. වැලිකඩ බන්ධනාගාරයට ගෙනිච්චා එහෙ තමයි ෂුටින් තිබුණේ. එතනදී තමයි මට සරත් කොතලාවල චරිතෙ නම කිවේ. දෙබස් ටික මේවා කියල කිව්වේ. මට සරත් අර්ථය පැහැදිලි කළා. කුමාරත් එක්ක. සෙට් එකට ගියා රඟපාන්න. ඔහු මගේ කරට අතදාගෙන චරිතෙ මෙහෙමයි කිව්වා. මට චරිතෙට දාගන්න දෙයක් තිබුණේ නෑ මගේ ඇගෙන් පේ්රක්ෂකයා දැක්ක නැදැමාලේ පුෂ්පෙගේ නිර්මාණකරුවන් සරත් හා කුමාර ඔවුන් දෙපළට මෙහි ගෞරවය හිමිවෙන්න ඕනේ. එක දවසෙන් ෂුටින් ඉවරයි. වැලිකඩ බන්ධනාගාරයේ සිරමැදිරිය තුළ නෙලුම් පොකුණ අවට ෂූටින් කළා. දවසින් ෂුටින් ඉවරයි. මම ගෙදර. චන්දන ජයසිංහ තමයි කැමරාකරණය කළේ.
මෙවර සරසවිය සම්මාන උලෙළේ සම්මාන බලාපොරොත්තුවක් ඔබ තුළ රැදිල තිබුණද?
වසර දෙකක සම්මාන ප්‍රධානයක් මෙවර සිදුකළ නිසා මම රඟපෑ ප්රසිඩන් සුපර් ස්ටාර්, ද නිවුස් පේපර්, ගින්නෙන් උපන් සීතල චිත්‍රපට තුනක් මෙවර සම්මාන උලෙළ සඳහා තරග වැදුණා. මේ චිත්‍රපට තුනෙන් ද නිවුස් පේපර් විතර අනික මම රඟ පෑ චරිත හා සසදනකොට ඊට වැඩියමක් එහි මම හකරල තිබුණා. නමුත් මේ ද නිවුස් පේපර් චිත්‍රපටය පුරාවට රඟපෑවේ මෙරට ප්‍රවීණ කුසලතා සපිරි නළු නිළිපිරිසක් ඒ අය රංගනය තුළ ලබල තිබුණ පරිණත කමත් සුළු පටු නෑ. එවැනි කුසලතාවයන්ගෙන් සපිරි පිරිසක් තුළ මගේ රංගනය ඇගැයීමට ලක්වීමක් සම්මානයට පාත්‍ර වීමත් මම ලැබු භාගයක්. එවන් පිරිසකගේ කුසලතා රංගනයේ අභියස මගේ රංගනයේ ඇගැයුම හොයන්න. විනිශ්චය මණ්ඩලයත් ලොකු උත්සාහයක් ගන්න ඇති කියල මම හිතනවා.
සරසවිය සම්මානය ලැබීමත් සමඟ ඔබේ රංගන ජිවිතයේ වෙනසක් ඔබ අපේක්ෂා කරනවද?
මගේ පියා වින්සන්ට් වාස් අවුරුදු පණහකට වඩා චිත්‍රපට ක්ෂේත්රයේ රංගනයේ නිරත වුණා. සිනමාවේ දැවැන්ත චරිත දැවැන්ත අධ්යක්ෂවරු යටතේ රංගනයේ නියැළෙමින් කටයුතු කරල තිබුණා. නමුත් මගේපියා කළ රංගනය වෙනුවෙන් කවදාවත් සරසවිය සම්මානයට පාත්‍ර වුණේ නෑ. ඔහු රංගනය වෙනුවෙන් කළ සේවයට පසු කාලෙක සරසවිය රණතිසර සම්මානයෙන් ඇගැයුමට ලක්වුණා. චිත්‍රපට පැත්තෙන් මොනම සම්මානයක්වත් රංගනය උදෙසා තාත්තාට ලැබිල තිබුණේ නෑ. උපහාර සම්මාන හැරෙන්න.
චින්තක වාස්ට සරසවිය සම්මානය සුවිශේෂයි?
ඉස්ඉස්සෙල්ලාම මට රංගනය වෙනුවෙන් සම්මානයක් කියල ලැබෙන්නේම සරසවිය සම්මානයක්. ඒකම මට සම්මානයක්. මට නිහතමානීව සතුටු වෙන්න ආඩම්බර වෙන්න තියෙන එකම දෙයත් එච්චරයි. ලෝකේ ඔස්කාර් වගේ ලංකාවේ අපිට තියෙන ඔස්කාර් සම්මානය තමයි සරසවිය සම්මානය.
ඔබේ පියා වින්සන්ට් වාස් වසර පණහක් රඟපාලත් සරසවිය සම්මානයක් ලබන්න. වාසනාවන්ත නොවීම ගැන ඔබට යම් කනගාටුවක් නැද්ද?
එහෙම හිතෙනවා තාත්තා රඟ පෑ චිත්‍රපට දිහා බලපුවහාම නමුත් මට ඒකට හේතු හිතෙන්නෑ. ඒ කාලේ සරසවිය සම්මාන උලෙළ වා පැවැත්වුණා. සමහර උලෙළ වල තාත්තා රඟ පෑ චිත්‍රපට දෙක තුන තිබුණා. නමුත් තාත්තා එක්ක තරඟකාරීව රඟපාන්න ජෝ, ඩී.ආර්. නානායක්කාර ගාමිණි ෆොන්සේකා, ටෝනි රණසිංහ හේන්රි ජයසේන වගේ දැවැන්ත චරිත හිටියා. එකිනෙකා පරයා නැගී සිටින චරිත හිටියා. ඒ තුළ මගේ තාත්තා යට ගියා කියල මට හිතෙනවා. මගේ තාත්තා රඟ පෑ චරිත කොතරම් හොඳ වුණත් ඒ සමඟ ඒ නිර්මාණය තුළ තිබුණු අනික් චරිතය ඒ දැවැන්තකම යටපත් කළා කියලා මට හැගෙනවා. සරසවිය සම්මානයක් තාත්තට නොලැබීම ගැන තාත්තා තුළ පශ්චාත් තාපයක් හිත තුළ තියෙන්න ඇති. නමුත් කවදාවත් ඒ බවක් මටවත් තාත්තාගේ යාළුවෙකුටත් ඔහු කියලා තිබුණේ නෑ.
සරසවිය සම්මාන ලැබු නළුවෙක් විධියට ඔබේ රංගන දිසානතිය කොයි දිසාවට ද ඔබ රැගෙන යන්න අදහස් කළේ?
සරසවිය සම්මානයක් අතට ගත්තහම ගොඩක් බරයි. මේ සම්මානය මට නාම මාත්රිකව ලොකු බරක්. මම තව තව උත්සාහ කරනවා තව තව රංගනය තීව්රර කරන්න. මට බෑ මගේ රංගනය පහතට දාන්න. මොකද මම දැන් නිකන් රංග ශිල්පියෙක් නොවෙයි. සරසවිය සම්මානලාභියෙක්. මම දැනගන්න ඕනේ මගේ වෘත්තිය හරියට කරගෙන යන්න. මේ සම්මානය මට ශක්තියක් ජිවයක්. හැබැයි මට සරසවිය සම්මානය ගත්ත කියල මගේ ගාණ වැඩි කලෙත් නෑ. මගෙන් ගාණ වැඩියෙන් ඕනෙද කියල කවුරුවත් අපහසුවෙන්නෑ. මේ සම්මානය මගේ රංගනයේ තවත් පියවරක් ඉහළට එසෙව්වා මම දැන ගන්න ඕනේ මොන රඟපෑම කළත් ඒ සම්මානීය ගරුත්වය රැක ගන්න.
සම්මානය ලැබීමත් සමඟ ඔබ කළුචරිත ප්‍රතික්ෂේප කරනවද? දැන්?
මට ලැබුණු චරිතයක් ප්‍රතික්ෂේප කළේ නැති තරම්. චරිතයක් ලැබෙනවා කියන්නෙම වෙන කෙනෙක් වෙන්න ඕනෙ කියන එකමනේ. චින්තක වාස් එතනට අදාළ නෑ. ඇක්ෂන් කිව්ව ගමන් වෙන කෙනෙක් වෙන්න හැමෝටම ලැබෙන් නෑනේ නළුවෙක් නිළියෙක්ට ඇරෙන්න වෙන කෙනෙකුට ලැබෙන් නෑ වෙන කෙනෙක් වෙන්න. ඉපදුණ තමා තමාමයි වෙන කෙනෙක් වෙනවා කියන්නෙම අභියෝගයක්. මට ලැබුණ චරිත මම ප්‍රතික්ෂේප කරල තියනවා. දින දෙන්න නැතිව ගණන් මිනුම් අනුව ඒ පාර්ශ්ව වලින් සමහරවිට මාව ප්‍රතික්ෂේප වුණු අවස්ථා තියනවා. නමුත් මම කවදාවත් චරිත ප්‍රතික්ෂේප කරල නෑ.
ඔබ වරක් මේ කතාබහ තුළ කියනවා මගේ මුණ දකින අධ්යක්ෂවරු මාව එක රාමුවක චරිත වෙනුවෙන් මට ආරාධනා කරනවා කියලා. ඇයි ඔබට ඔවුන්ට යෝජනා කරන්න බැරි මාව ඒ රාමුවෙන් බලන්න එපා කියලා. මේ රාමුවෙන් ඔබට ගැලවීමක් නැද්ද? ඇයි ඔබ ඔවුන්ට යෝජනා නොකරන්නේ මේ රාමුවෙන් මාව ගලවන්න කියා?
මම එහෙම කිව්වොත් මම චරිත ඉල්ලන්නෙක් වෙනවා. කිසිවකුගෙන් මම පෞද්ගලිකව කවදාවත් චරිත ඉල්ලල නෑ. පෞද්ගලිකව ඉල්ලත් නෑ. දුරකථනයෙන් ඉල්ලලවත් නෑ. කවුරුහරි මාර්ගයෙන් ඇපයක් දාල ඉල්ලලවත් නෑ. මේ වගේ සම්මුඛ සාකච්ඡාවකදී ඉල්ලන්නෙත් නෑ. අහවල් චරිත රඟපාන්න ආසයි කියල මම ගැන විශ්වාසය තියල මගේ මුණ දිහා බලලා හරි කෙනෙක් මාව නිර්මාණයකට ගත්තොත් අනිවාර්යෙන්ම එයා බලාපොරොත්තු වුණාට වඩා හොඳට කරන්න මම කැපවෙනවා. ෂාම් ප්‍රනාන්දු ඔහුගේ චිත්‍රපටයේ උසස් පොලිස් නිලධාරියකුට ගන්නවා. රනිල් කුලසිංහ ඔහුගේ 1990 ටෙලි නාට්‍යයේ මට කෝට් අන්දවල ටීචිමී මම ආපු රාමුවෙන් එළියට ගන්නවා. මට කියන්න පුළුවන් මේ රටේ අධ්‍යක්ෂවරුන්ගේ නම් ලැයිස්තුවක් කියල මේ අයගේ නිර්මාණවල මම රඟපාන්න කැමැතියි කියලා. මම එහෙම කිව්වොත් වෙන්නේ ව්‍යංග්‍යයෙන් මම චරිත ඉල්ලීමක් මට එහෙම අවශ්‍ය නෑ. ලැබෙන දෙයක් ලැබෙන විධියට අරගෙන මගේ වැඩේ කරල දෙනවා. මට ඕනේ කාගෙවත් කීමකට මගේ ඉල්ලීමකට නැතුව අධ්යක්ෂවරයාගේ විශ්වාසයට දෙන චරිතයක් රඟපාන්න මිසක් යදින්නෙක් වෙලා චරිත රඟපාන්න නොවෙයි. කාටවත් හීන පෙන්නලා මම දකින හීන ගැන කියලා චරිත ගන්න කෙනෙක් නොවෙයි. මේ චින්තක වාස්.
ලෝක ප්‍රකට ඔස්කාර් සම්මානය වගේ අපේ ලංකාවේ නළුවෙක් නිළියක් සිනමා ක්ෂේත්රයේ ගන්න ඉහළම සම්මානය සරසවිය සම්මානය බව පුන පුනා කියන ඔබවත් ඇයි ඔබේ මුල්ම සම්මානය ගන්නවත් එදා උලෙළට පැමිණ නොහිටියේ?
මට එදා සම්මාන උළෙලට එන්න සංවිධායකයන්ගෙන් ආරාධනා පත්‍රයක් ලැබිල තිබුණා. මගේ ප්‍රථම සම්මානයත් මේක. මගේ ජීවිතයේ වේදිකාවකට නැගල හෝ නොනැග ගන්න තියන එකම සම්මානයත් මෙය විය හැකියි. ආයෙ සමහර විට මාව සම්මානයකට නිර්දේශ වෙයි නමුත් සම්මානයක් නොලැබෙයි. සමහරවිට ලැබෙන එකම සරසවිය සම්මානයත් මෙය විය හැකියි. තව සම්මාන කවදාවත් නොලැබෙන්නත් පුළුවන්. එහෙම වෙන්න බැරිකමකුත් නෑනේ. මම එදා උළෙලට සහභාගි නොවීමට හේතුවක් තිබුණා. මහ බ්‍රහස්පතින්දා කියන්නේ මහ සිකුරාදාට පෙර දවස. ශුද්ධ වූ සභාවේ කතෝලිකයන්ගේ වටිනා දවසක්. මම කතෝලික භක්තිකයෙක් නිසා සම්මානය පැවති දින මා දේවස්ථානයේ සිටිය යුතු වුණා පවුලක් වශයෙන් දරුවොත් එක්ක සම්මාන උලෙළ තිබුණේ ඔය අපට වටිනා දවසේ. සම්මාන උලෙළ වෙනස් කරන්න කියන්න මට බෑනේ. සරසවිය සම්මාන උලෙළත් දේවස්ථානයත් මට වටිනවා මේ වටිනාම දෙකෙන් ඉතාම මට වටිනා තැන තෝරාගෙන මම දේවස්ථානයට ගියා. ඒ දේ මට කරන්න සිද්ධ වුණා.
යම් විධියකින් ඔබට කලින්ම මේ සරසවිය සම්මානය ලැබෙනවා කියා ඉගියකින් හෝ දැන සිටියා නම් ඔබ මේ අවස්ථා දෙකෙන් කොතනද තෝරගන්නේ?
එහෙම මට සම්මානයක් ලැබෙනවා කියල වේලාසන නම් කරල හෝ ඉඟියක් කරල තිබුණා නම් මම තෝරගන්නෙත් දේවස්ථානය විතරයි. නමුත් මේ සම්මානය ගන්න මම ඒ වෙනුවෙන් වෙන කාව හරි දැනුම්වත් කරනවා. නමුත් මම උලෙළ පසුව යු ටියුබ් එකෙන් දකිනකොට මට හිතට දුකක් ආවා මම වෙනුවෙන් වෙන කෙනෙක් ඉදිරිපත් වෙන්න යන කාලය දැක්කම. කොහොම හරි මම වෙනුවෙන් සරත් කොතලාවල ඒ මගේ සම්මානය ආරාධිතයින් ගෙන් ලබා ගන්නවා.
මම දරුවෝත් එක්ක ඒ දවසට අනිවාර්යෙන්ම පල්ලියේ ඉදිය යුතුයි මහ බ්‍රහස්පතින්දාට මගේ අම්ම තාත්තා වුණත් අපිව පුරුදු කළේ එදාට පල්ලියේ ඉන්න. ඒ සිරිත මමත් මගේ දරුවන් සමඟ ඉදිරියට රැකගෙන යනවා. කතෝලික භක්තිකයෙක් ලෙසින්.
ඉදිරියේ කවදා හෝ දිනෙක සරසවිය සම්මාන උලෙළක් පැවති මොහොතක ඔබත් ආරාධිතයෙක් ලෙස සහභාගි වී සිටින විට ඔබටත් පශ්චාත්තාපයක් ඇතිවෙයි නේද අනේ මට මේ ස්ටේජ් එකේ සරසවිය සම්මානය මගේ අතට ගන්න බැරි වුණානේ කියලා?
කෙළින්ම මට කියන්න පුළුවන් ඔව් කියලා. ඒත් මම ඒ වෙලාවේ මට වඩාත් වැදගත් දේ තෝරගත්ත නිසා ඒ සිත් තැවුල මට දැනෙන්නේ නෑ. සරසවිය සම්මාන උලෙළක වේදිකාවට මම නැග්ගේ 2002 වසරේ ඒ මගේ තාත්තට සරසවිය රණතිසර සම්මානය ලැබෙන දිනයේ. තාත්තාගේ අත්වාරුවට හයියක් වෙන්න මට එදා තමයි දැනුණේ මේ සරසවිය සම්මාන උලෙළේ තියන මහාගම්භීරත්වය.
ඉදිරි බලාපොරොත්තුව ඔබේ සම්මාන හඹායාමේ රංගනයන් සොයා යන්නද?
මම ඇක්ෂන් කිව්වහම නළුවෙක් කට් කිව්වහම සාමාන්‍ය චින්තක වාස්. සම්මානයක් ගත්ත කියල තව වැඩිපුර මගේ රංගනයට එකතු කරන්න මම යන්නෑ. රංගනය රංගනයම තමයි. ඕිවර් ඇක්ටර් කෙනෙක් වෙනවට වඩා රියල් ඇක්ටර් කෙනෙක් වෙන්න මට ඕනේ.
සම්මානයෙන් පසු ක්ෂේත්රයේ අයගෙන් මොනවගේ ප්‍රතිචාරයක් ද ඔබට ලැබෙන්නේ?
බොහෝ දෙනෙක් දුක් වුණේ මම සම්මානය ගන්න ආපු නැති එක ගැන කියල තමයි. කවුරුත් මට ප්‍රසංසා කළා. මීට කලින් ලැබිය යුතුව තිබුණ දෙයක් පහු වෙලා හරි ලැබුණ එක ගැන කියලා.
චින්තක වාස් වඩාත් ළෙන්ගතුකම් පාන්නේ සිනමාවටද?
ඔව්. මම සිනමාවට බොහොම ළැදියි. චිත්‍රපට නළුවෙක් කියන කැටකරියට මම ගොඩක් පි‍්‍රයයි. මගේ පියා ලෙස්ටර් ජේම්ස් පිරීස්, ගාමිණි ෆොන්සේකා, ධර්මසේන පතිරාජ වගේ සිනමාවේ දැවැන්තයන්ගේ අධ්‍යක්ෂණයේ දුර ගමනක් ගියා. ඒත් මට හැගෙනවා ඒ මගේ පියා ලැබු භාග්‍ය අද අපේ ක්ෂේත්රයේ දැවැන්තයන්ගේ නිර්මාණ අතර තවමත් මම රැදිලා නැද්දෝ කියලා. සමහර වෙලාවට මට හිතෙනවා ඒ දැවැන්තයන්ගේ ඇස්මායිමකවත් මගේ ඡායාවක් තවම දකින ලැබෙන්නේ නැද්ද කියලත්. ඒ අඩුව සිනමා නළුවෙක්ට පෙම් බඳින මට හොඳින් දැනෙනවා.
සේයාරූ – නිශ්ශංක විජේරත්න
චන්දන දයාසිරිවර්ධන