Home » මගේ මව්බිමටත් එහි ප්‍රෞඪත්වයටත් හදවතින්ම ආදරෙයි

මගේ මව්බිමටත් එහි ප්‍රෞඪත්වයටත් හදවතින්ම ආදරෙයි

නාට්‍ය පිටපත් රචක කුමර වික්‍රමසිංහ

by Thanushika
March 6, 2025 11:55 am 0 comment

“අපේ හෙළ පරපුර කලා සංසදයේ එකම අරමුණ ශ්‍රී ලංකාවේ ​ඓතිහාසික ශ්‍රී විභූතිය වගේම යටගිය ඉතිහාසයේ අපේ වීර චරිත පිළිබඳ එංගලන්තයේ උපන් ලාංකික දරුවන් වගේම මේ රටේ පුරවැසියන් නාට්‍යානුසාරයෙන් දැනුම්වත් කරවීමයි..”

” ලක් ඉතිහාසයේ අධිරාජ්‍යවාදීනට එරෙහිව කැරැල්ලකට මූලිකත්වය ගෙනදුන් ගොංගාලේගොඩ බණ්ඩා පිළිබඳ කතාවක් රැගත් නාට්‍යයක් තමයි අප මේ දිනවල පුහුණුවේ යෙදී සිටින්නේ…”

එංගලන්තයේ දිගු කාලයක සිට පදිංචිව සිටිමින් එහි වෙසෙන ලාංකිකයන් එක්ව වසර ගණනාවකට ඉහතදී පිහිටුවාගත් ” හෙළ පරපුර” කලා සංසදය එංගලන්තයේ මහත් ප්‍රසිද්ධියකට පත්ව ඇත්තේය.. එහි හෙළ පරපුර කලා සංසදය සහ එහි සිදුකැරෙන නාට්‍ය කලා කටයුතු පිළිබඳ සරසවිය සමඟ කතාබහට එක්වූයේ එරට රංගන ශිල්පියකු සේම නාට්‍ය පිටපත් රචකයකු ලෙසින් ද නමක් දිනූ කුමර වික්‍රමසිංහය…

මේ වනවිට එංගලන්තයේ පදිංචියට පැමිණ පුරා වසර 50ක් සපුරා ඇති කුමර වික්‍රමසිංහ කලාකරුවා එහි වෙසෙන කුසලතා පිරිපුන් ලාංකික පිරිසක් හා එක්ව තම උපන්බිම ආශ්‍රිතව සිදුකැරෙන නාට්‍ය කලා නිර්මාණ පිළිබඳව කතා කරන්නට වූයේ මහත් අභිරුචියකිනි..මහත් ආශ්වාදයකිනි..

” මම කොළඹ ආනන්දයේ ආදි සිසුවෙක්. ඒ කාලෙත් අපේ පාසල් වේදිකාවෙත් “නරිබෑණා ” “එඥතත ර්භඤචතඪරඥප” ඇතුළු නාට්‍ය කිහිපයකම රඟපෑවා..ඒ කාලය හරිම සුන්දරයි ..හරිම රසවත් ..”

” ඒත් මට මගෙ මවුරට හැරදා වයස අවුරුදු 20දි මේ එංගලන්තයට එන්න සිදුවුණා…මෙහෙට ඇවිත් සිවිල් ඉංජිනේරු වෙස්ට් මිනිස්ටර් යුනිවර්සිටි එකේ වැඩිදුර අධ්‍යාපනයට යොමු වුණා.. මෙහෙ ජීවත්වුණාට මගේ මවුබිමත් එහි ප්‍රෞඪ ඉතිහාසයටත් හදවතින් ම ආදරෙයි..”

එංගලන්තයේ කලා රසික ශ්‍රී ලාංකිකයන් රැසක් එක්ව පිහිටුවාගත් හෙළ පරපුර කලා සංසදයේ සභාපතිධුරය හොබවන්නේ චරිතාංග නළුවකු ලෙසින් නමක් දිනූ සිනමා නළු ගාමිණී අබේසිංහය…

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කෙරුණු ජනප්‍රිය වේදිකා නාට්‍ය හිමිකරුවන් සමඟ සාකච්ඡා කොට ගිවිසුමින් බැඳී එම නාට්‍ය පිටපත ඇසුරෙන් එංගලන්තයේ වෙසෙන ලාංකිකයන් එක්ව පිහිටුවාගත් හෙළ පරපුර සමඟ සබැඳී කුසලතා පිරි ශිල්පීන් යොදාගනිමින් එම නාට්‍යය එංගලන්තයේ නම්දැරූ ප්‍රේක්ෂකාගාරයන්හි රඟදක්වනු ලබයි. එම නාට්‍යපිළිබඳ ආගන්තුක එංගලන්තයේ සුදු මෝනා මහත්වරුන් ඒවා නරඹා ප්‍රීතිවන්නේ විශ්මය මුසුවූ දෑසිනි…

අපේ කතානායක කුමර වික්‍රමසිංහ පිළිබඳ අගැයුම් කළේද හෙළ පරපුර කලා සංසදයේ සභාපති සිනමා රංගවේදී ගාමිණී අබේසිංහය…

” අපේ ලංකාවෙ අය මෙහෙට ඇවිත් එංගලන්තයට අපේකම පෙන්වන සැටි කවුරුත් දැනගන්න ඕන…කුමර වික්‍රමසිංහ කියන්නෙ දක්ෂයෙක්…අපේ හෙළ පරපුර කලා සංසදයෙ අපේම කෙනෙක් යැයි කියමින් ගාමිණී අබේසිංහ, කුමර වික්‍රමසිංහ කලාකරුවා අපට හඳුන්වා දුන්නේ..

“ඔය කැලණි පාලම…වගේ නාට්‍යය … හාස්‍යය රැගත් නාට්‍යය වගේම අප රටේ අතීතයේදී සිදුවූ ඓතිහාසික කතන්දර අප නාට්‍යානුසාරයෙන් මෙහි තියටර්ස්වල රඟදක්වනවා…අප වගේම එංගලන්තයේ පුරවැසියන් පවා මේ නිර්මාණ දැකබලා පුදුමයට පත්වෙනවා…අපේ ප්‍රෞඪත්වය ගැන නාට්‍යය මේ අය තුළ ලොකු හැඟීමකින් තෘප්තිමත් වෙනවා..එතකොට අපේ උපන් රට ගැන අප හිතේ ඇති අභිමානය තවත් වැඩිවෙනවා.”

ප්‍රියමනාප කතාබහක යෙදෙමින් එංගලන්තයේ හෙළ කලා පරපුර පිළිබඳව තවදුරටත් අදහස් දක්වමින් අපේ කුමර වික්‍රමසිංහ කීවේ

” ලංකාවේ වේදිකා ගතවූ ප්‍රකට නාට්‍ය වගේම මේ දිනවල අප අපේ ලංකාවේ අතීතයේ සිදුවූ සිද්ධීන් අලළා නාට්‍යය තනා වේදිකා ගතකිරීමයි.. එහි නාට්‍ය පිටපත් රචනයෙන් මගේ දායකත්වය ලැබෙනවා…ගොන්ගාලේගොඩ බණ්ඩා කියන අපේ රටේ වීරයා අධිරාජ්‍යවාදීනට එරෙහිව මවුරට වෙනුවෙන් කැරලි ගැසූ හැටි සටන් කළ හැටි නාට්‍යානුසාරයෙන් වේදිකා ගත කරනවා…එහි මමත් රඟපානවා..අපේ හෙළ පරපුරේ දක්ෂ ශිල්පීන් ශිල්පිනියන්ගේ දායකත්වයත් ඉහළයි… මෙම නාට්‍ය නිර්මාණ පිළිබඳ එංගලන්තයේ පුරවැසියන් ද ඉමහත් ගෞරවයකින් කතාකරන බවද කුමර වික්‍රමසිංහ මහතා කියන්නේද මහත් සතුටකිනි..

එංගලන්තයේ ඊස්ට් හැම් පැලස් තියටර් හි කුමර වික්‍රමසිංහ නිෂ්පාදක සහායක ලෙසින් වේදිකා ගතකළ ” ඩ්චනනර චඵ ච ඵචදඤ ඡචඨ” ” ව්ධ ථචද තචදඤඵ” ඇතුළු තවත් නාට්‍ය කිහිපයකම හෙතෙම නිෂ්පාදක සහ සහය නිෂ්පාදකවරයකු වූයේය…

ඔහු ගාමිණී අබේසිංහ අධ්‍යක්ෂණය කළ “කැලණි පාලම” නාට්‍යයේහි “කළු මල්ලි” චරිතයට ජීවය දුන් සැටි නරඹන්නන්ගේ මහත් ප්‍රසාදයට බඳුන් විය…

එම නාට්‍ය එංගලන්තයේ දහවාරයකටත් වඩා වේදිකා ගතකළ බවද තමන්ටද ලැබුණු ප්‍රතිචාර පිළිබඳ නිහතමානී වන බවද වික්‍රමසිංහ මහතා කීයේ මහත් සතුටකිනි.

එංගලන්තයේ ප්‍රකට අධ්‍යක්ෂවරයකු වන පීටර් හෝල් මහතා තමන් කෙරෙහි පැහැද ඔහුගේ නිර්මාණවලටද තමන් කැඳවමින් රංගන දායකත්වය ලබාගන්නා බවද කීයේ ය…

ලාංකිකයකු වන එරට වෙසෙන ප්‍රියන්ත සමරකෝන් එරටදී තැනූ “සීත හිම මාලිගා” චිත්‍රපටයේ සහ තවත් නිර්මාණයන්හි රඟපෑමට වරම් ලද හේ මීට අමතරව සෑම වසරකම සිංහල අලුත් අවුරුදු සමය අලළා වේදිකා නාට්‍යය නිර්මාණයන් ඉදිරිපත් කරන බවද කීයේය..

එරටදී හෙළ පරපුර කලා සංසදය එක්ව තැනූ කුමර වික්‍රමසිංහයන් නිෂ්පාදනයෙන්ද සහය වූ ” බණ්ඩා සහ වික්ටෝරියා රැජින ‘ නාට්‍ය නිර්මාණයට බොහෝ අගැයීම් ලද බවද කීයේ ඉමහත් සතුටකිනි.

” සුද්දන්ට විරුද්ධව කැරළි ගැසූ අපේ රටේ ගොංගාලේගොඩ බණ්ඩා පිළිබඳ නාට්‍යය වේදිකාවට ගෙනාවාම එයට ලැබුණු ප්‍රතිචාර ගැන කියන්න වචන නැහැ…හැම වසරකදීම අපි මේ වගේ නාට්‍ය දෙකක්වත් වේදිකාවට ගෙන එනවා. සිංහල අලුත් අවුරුදු වෙනුවෙන් ද නිර්මාණ වෙනුවෙන් අප කැපවෙනවා… එංගලන්තයේ අපේ හෙළ පරපුර එතරම් ප්‍රසිද්ධයි..”

සිවිල් ඉංජිනේරුවරයකු ලෙසින් රැකියාවේද නිරතව චිත්‍රපට හා වේදිකා නාට්‍යය රංගන ශිල්පියකු සහ නාට්‍ය පිටපත් රචකයකුද ලෙසින් එරට නමක් දිනූ කුමර වික්‍රමසිංහ තමන් රඟපෑ විවිධ චරිත අතරින් එල්විස් ප්‍රෙස්ලි අනුකරණය කරමින් කළ රංගනය බොහෝ ඇගැයීමට පාත්‍ර වූ බවද කීයේ සොම්නසිනි.

හෙළ පරපුර කලා සංසදයේ වේදිකා නාට්‍ය චිත්‍රපට කටයුතු ජ්‍යේෂ්ඨ රංගන ශිල්පි ගාමිණී අබේසිංහයන් යටතේ සිදුකැරෙන අතර දැන් දැන් වඩාත් නැඹුරුව කටයුතු කරන්නේ අප රටේ ​ඓතිහාසික කතන්දර නාට්‍ය ඇසුරිනි… ගොංගාලේගොඩ බණ්ඩා වේදිකා නාට්‍ය නිර්මාණයට පසුව පෘතුගීසි හමුදාව අප රටේ එදා ක්‍රියාකළ හැටි පිළිබඳ දැනුම්වත් කැරෙන වේදිකා නාට්‍යයකට දැන් සිටම සූදානමින් පසුවන බවද කුමර වික්‍රමසිංහ කීවේය..

” අපේ නිර්මාණවලදි අපේ හෙළ පරපුර කලා සංසදයේ සභාපති ගාමිණී අබේසිංහ මහත්මයා අධ්‍යක්ෂණයට අමතරව රංගනයේහි යෙදෙන බවද පැවසූ ගාමිණී මහත්මයා තමන් වඩාත් අගය කරන විශිෂ්ට කලාකරුවකු බවද කීයේය..

” මගේ රංගන ජීවිතයේ එකම රහස ප්‍රේක්ෂකයාගෙන් තමන්ට ලැබෙන ඉහළ ප්‍රතිචාරය බවද පැවසූ වික්‍රමසිංහ මහතා අප හෙළ පරපුරේ කුසලතා පිරි දක්ෂයන් සිටීමම වාසනාවක් බවද කීවේය..

” හෙළ පරපුර කලා සංසදයට එකතු වී දැනට වසර 30 කටත් වැඩි ඇති..අපේ මේ හෙළ පරපුර කලා සංසදයට එකතු වීමෙන් පසුව ගාමිණී අබේසිංහගෙන් ලද දැනුමත් එක්ක මා එතුවක් නොදුටු මගේ කලා කුසලතාවන් ගැන මටම අවබෝධ කරගන්නට අවස්ථාවක් ලැබුණා…සසර වසන තුරු නමින් ඔහු චිත්‍රපටය අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයෙත් මට රඟපාන්න අවස්ථාව ලැබුණා…ගාමිණී මහතාත් එංගලන්තයේ සිටියත් උපන් මවුරට ගැන ලොකු ගෞරවයකින් ඔහු කලා නිර්මාණ මේ රටේ වේදිකාවට ගෙන එන්නේ…එතුමා සමඟ වැඩ කරන්නත් අපි හැමෝම බොහෙමෙ සතුටුයි…”

නාට්‍ය පිටපත් රචනයෙහි මෙන්ම ලක් ඉතිහාසය පිළිබඳ ද වඩාත් දැනුමින් යුතු කුමර වික්‍රමසිංහ අප රටේ යටගිය ඉතිහාසයේ වික්‍රමාන්විත අවස්ථා හා අනුවේදනීය කතා අලළා ඉදිරියටද හෙළ පරපුර කලා සංසදයේ කුසලතා පූර්ණ සාමාජික සාමාජිකාවන් හා එක්ව නාට්‍ය නිර්මාණ ඉදිරිපත් කරන බවද කීවේ ..එංගලන්තයේ අප ජීවත්වුවත් අප රට පිළිබඳ ආඩම්බරය හා ගෞරවය අප හදවතේ ගැඹුරින් ඇති බවද පවසමිනි…

රංගන ශිල්පී කුමර වික්‍රමසිංහට සහ හෙළ පරපුර කලා සංසදයටත් සරසවිය වෙනුවෙන් සුබ පැතුම් පිළිගන්වමු.

 

[email protected]

අමල් යශෝමන් ජයසිංහ

You may also like

Leave a Comment

අප ගැන

ශ්‍රී ලාංකීය පුවත්පත් කලාවේ මහගෙදර

 

[email protected]

 

011 2 429 586
011 2 429 587
011 2 429 429

 

Web Advertising : (+94) 112 429 315

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT